This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 27 May 2020

අරුමුගම් තොන්ඩමන්: සීයාගේ චරිතා ප්‍රදානයවත් නිම නොකල මුණුබුරා


අරුමුගම් තොන්ඩමන් (Arumugam Thondaman) මියගොස් ඇත. ඔහු දේශපාලනයට පැමිණියේ තම සීයාවූ තොන්ඩමන් (S.Thondaman) ගේ උරුමය ඉදිරියටගෙන යාමටය. 

සිය සීයාවූ සෞම්‍යමුර්ති තොණ්ඩමන් (S.Thondaman) ගේ ස්වයං චරිතාප්‍රදානයේ (Tea and Politics An Autobiography. vol.2, 1994) දෙවන වෙළුමේ 77 වෙනි පිටුවේ දක්වා ඇති ආකාරයට  1947 මැතිවරණය වනවිට නුවරඑළියේ ලියාපදිංචි චන්ද දායකයින් ගණන 24, 295ක්ව තිබුණි. නමුත් 1948 නොවැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල පුරවැසි පණත (The Ceylon Citizenship Act No. 18 of 1948) සම්මතකලායින් පසුව 1950වන විට නුවරඑළියේ චන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් හිමිවුවන් ගන්න 9,279කට සීමාකෙරුණි. එකී පිරිස අතුරින්ද චන්දහිමි නාමලේඛනයට සිය නම ඇතුලත්කර ගැනීමට හැකිවුයේ දෙමළ මිනිස්සුන් 319කට පමණි. 15,000 අදික අනෙක් සියළු දෙනාටම ශ්‍රී ලංකා පුරවැසිකම අහිමිකර තිබුණි.

එතෙක් පටන් සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ (S.Thondaman) දශක පහකට (අවුරුදු 50කට) වඩා දිවගිය දේශපාලනය තුල ඔහු සටන්කලේ ලංකාවේ පුරවැසිකම අහිමිවුණු වතුකරයේ වසර 100කට වඩා ජීවත්වුණු ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාට ශ්‍රී ලංකාවේ පුරවැසිකම දිනාදීමටය. ඔවුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික තත්වයන් නන්වාලීමටය. වතුකරයේ දෙමළ ජනයාගේ 'ඉන්දියානු දෙමළ' (Indian Tamils of Sri Lanka) අනන්‍යතාවය ආරක්ෂා කරලීමටය.

ඒ සදහා ඔහු පිහිටුවා ගත් ලංකා කම්කරු කොංග්‍රසය (Ceylon Workers' Congress) තුන් ආකාරයට කටයුතු කරන ලදී. එක් අංශයක්වුයේ ලංකා කම්කරු කොංග්‍රසය නම් වෘත්තිය සමිතියය. ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී වෘත්තිය සමිතියක්වූ ලංකා කම්කරු කොංග්‍රසය වතුකම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම්, වැටුප්, දීමනා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙනත් අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කළේය. ඒ සමග  ක්‍රියාත්මකවූ අනෙක් අංශය වුයේ ලංකා කම්කරු කොංග්‍රසය නමින්ම පිහිටුවා තිබු දේශපාලන පක්ෂයය. එය මැතිවරණ සදහා තරගකරමින් ආසන දිනාගනිමින්, ආණ්ඩුවල කොටස්කරුවන් වෙමින් සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට කටයුතුකළේය. 1947 සිට 1952 දක්වා සෞම්‍යමුර්ති තොණ්ඩමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කලද නැවත පාර්ලිමේන්තුවට ඔහු තේරීපත්වෙන්නේ  1960දීය. එකී කාලය තුල සෞම්‍යමුර්ති තොණ්ඩමන් රටක් නැති ජනයාගේ නිලනොවන මන්ත්‍රීවරයා ලෙස දිටම සක්‍රිය දේශපාලනයේ නිරතවිය. 1960 සිට නැවත ක්‍රමයෙන් ආසන දිනාගනිමින් සෞම්‍යමුර්ති තොණ්ඩමන් ලංකා දේශපාලනයේ රජුන් තනන්නාගේ භූමිකාවට පනපෙව්වේය. ඒ මෙන්ම ඔහු ලංකා දේශපාලනය තුල සිංහල දේශපාලන පක්ෂ තුල ඇති අවස්ථාවාදය හොදහැටි හෙලිකල දේශපාලකයෙකු ලෙසද නමක් දිනාගෙන සිටියේය. විශේෂයෙන්ම එක් සිංහල පක්ෂයක් බලයේ සිටිද්දී දෙමළ ජනයාට යමක් දෙනවාට විරුද්ධ පක්ෂයේ සිටින අනෙක් සිංහල දේශපාලන පක්ෂය විරුද්ධව කටයුතු කරන හැටි උදාහරණ සහිතව හෙළිකිරීමට සෞම්‍යමුර්ති තොණ්ඩමන් සමත්වූ බව T.Sabaratnam විසින් 1990දී පලකල 'Out of Bondage - The Thondaman Story' නම් කෘතියේ දක්වාතිබුණි: (S)''Thondaman explained the bi-polar nature of Sri Lankan politics and the relative organizational strengths of the United National Party (UNP) and the SLFP''. එම කටයුතු සියල්ල අතර සෞම්‍යමුර්ති තොණ්ඩමන් දෙමළ වතුකම්කරු ප්‍රජාවතුල සිය පාරම්පරික වාර්ගික ඉන්දියානු අනන්‍යතාවය ප්‍රවර්ධනය කිරීමටත්, එකී අනන්‍යතාවය නොනැසී පවත්වාගෙන යෑමටත් ඉන්දියානු තානාදිපති කාර්යාලය, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සහයෝගය ලබාගනිමින් විවිධ වැඩසටහන් දියත්කරමින් අවශ්‍ය සංස්කෘතික දායකත්වය සිය ජනයාට ලබාදීමට තරම් සවිඥානික දේශපාලනික චරිතයක්යද විය.

සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ (S.Thondaman) දේශපාලන ජීවිතය කෙතරම් සාර්ථකවුවාද කිවහොත් පුරවැසිභාවය අහිමිවූ වතුකම්කරුවන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට 1988දී රණසිංහ ප්‍රේමදාස රජය යටතේ නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදීමට ඔහු සමත්වන ලදී. එම ජනයාට ලංකාවේ පමණක් නොව ඉන්දියානු පුරවැසිභාවයද ලබාදී ඔවුන් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයන් හිමි ජනකොටසක් බවට පත්කිරීමටද ඔහු සමත්විය. වරක් රටක් අහිමි ජනකොටසක්වූ වතුකරයේ ජනයා සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ දේශපාලනය නිසා රටවල් දෙකක් හිමි ජනකොටසක් බවට පත්විය. එමෙන්ම 'ඉන්දියානු දෙමළ ජනයා' නමින් වෙනස්ම වාර්ගික අනන්‍යතාවයක් ලංකාව තුල ගොඩනැන්වීමටද සෞම්‍යමුර්ති තොණ්ඩමන් සමත්විය. අද වුවද 'ඉන්දියානු දෙමළ' යනුවෙන් වෙනස්ම වාර්ගික කොටසක්  ජන සංඛ්‍යා ලේඛනවල සදහන්වන්නේ ඔහුගේ එම දේශපාලනය නිසාය. තවද වතුකරයේ ඉන්දියානු දෙමළ සම්භවයක් ඇති ජනයාගේ ජන්දය නොමැතිව, ඔවුන්ගේ නියෝජිතයින්ගේ සහයෝගය නොමැතිව, ශ්‍රී ලංකා ආණ්ඩුවකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇති කරලීමටද සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ දේශපාලනය සාර්ථකවිය. ඒ සියල්ලම තුල  වතු කම්කරුවන්ගේ ජීවන තත්වය, සමාජ, ආර්ථික, අධ්‍යාපන  තත්වයන් යම් ප්‍රමාණයකට හෝ ඔසවා තබන්නටද ඔහුට හැකිවිය.

ඔහුගේ මෙම අද්වීතිය දේශපාලන ගමන ගැන සියළු විස්තර මුළුමනින්ම වාර්තා කර තබන්නට වෙළුම් දෙකක ස්වයන් චරිතා ප්‍රදානයක් (Tea and Politics An Autobiography, vol. 1&2: My Life and Times) ලේඛනගතකර පලකිරීමටද ඔහු කටයුතු කළේය.  1994 පළකරනලද ඔහුගේ එම චරිතා ප්‍රදානයේ දෙවන වෙළුම අවසාන්වනුයේ 1977 දක්වා ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබද තොරතුරුත් සමගය. එකී කෘතිය අවසන් කරමින් සෞමමුර්ති තොන්ඩමන් ලියා ඇත්තේ 1978 පසු ඔහුගේ  දේශපාලනදායකත්වයන් ගැන ඊලග වෙළුමේ පළකරනු ලබන බවය: “The next stage of my story, which will set out in the next chapter – the First in Volume Three of my Autobiography. It will take my story forward from 1978 to the present day.” එහෙත් ඔහුට සිය චරිතා ප්‍රදානයේ තුන්වන වෙළුමක් ලියා ඉවරකරන්නට බැරිවිය, 1999දී සෞමමුර්ති තොන්ඩමන් මහතා මියගියේය.

ඉන් අනතුරුව සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කරගෙනයෑමට ඔහුගේ මුනුබුරෙක්වූ අරුමුගම් තොන්ඩමන්ව (Arumugam Thondaman) ලංකා කම්කරු කොංග්‍රසයේ (Ceylon Workers' Congress) නායකයා ලෙස පත්කරගන්නා ලදී. පසුව ඔහු ඉන්දියානු සම්භවයක් ඇති වතුකම්කරුවන්ගේ ජන්ද මතින් මහජන නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව විවිධ රජයන්වල ඇමති ධුරයන්ගෙන් පිදුම් ලද්දාහ. සීයාගේ කාලේ මෙන් නොව අරුමුගම් තොන්ඩමන් කාලයේදී ලංකා කම්කරු කොංග්‍රසය (Ceylon Workers' Congress) කෑලි කෑලිවලට කැඩිලා ගියා පමණක් නොව වතුකම්කරු සටන්ද දියාරුවිය. සීයා ගොඩනගාදුන් ජන්දගොඩ උඩ දමමින් යසඉසුරින් පිරි ජීවිතයක් ගතකලා මිස අරුමුගම් තොන්ඩමන් මුනුබුරා සෞම්‍යමුර්ති තොණ්ඩමන් මෙන් වතුකම්කරුවන් වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරය ඉටු නොකරනලදී.

මට නම් අරුමුගම් තොන්ඩමන් යනු තමාට අනාගතයක් ගොඩනගා බන්දේසිය පිටින් බෙදු සිය සීයාවූ සෞමමුර්ති තොන්ඩමන් (S. Thondaman) ගේ ස්වයන් චරිතා ප්‍රධානයේ (Tea and Politics An Autobiography) තුන්වන වෙළුමවත් අවසන් නොකර මියගිය කමකටනැති මුනුබුරෙකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
27/05/2020.

9 comments:

  1. WELL DONE MARCUS PERERA ITS 100% TRUE STOTY AS I AM INDIAN TAMIL I KNOW HOW ITS HAPPEN .VERY GOOD LETTER .

    ReplyDelete
  2. ලංකාවට නිදහස ලැබෙනකොට වතු දෙමෙල්ලුන්ට තිබුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පුරවැසි කමක්. පුරවැසි පනතින් කලේ වතු දෙමළු ටික දෙනෙක්ට හෝ ලංකා පුරවැසිකම ලබාදීමයි.

    ReplyDelete
  3. he was mo beeter tham vasidewa

    ReplyDelete
    Replies
    1. He (Vasu) is 80 years old now,should retired from active politics.

      Delete
  4. True
    Grand son did nothing to the people of upcountry.But,he lived a lavish life gathering more properties from the money of poor workers.

    ReplyDelete
    Replies
    1. Yes,he seems to be a fun loving character,not a die hard politician like his grandfather.

      Delete
  5. ඔබේ කතාව පිලිගන්නවා.
    මන් හැටන්වල අවුරුද්දකට වඩා කාලයක් ජිවත් උනා.දන්නවද? වතු කම් කරුවන් තොන්ඩමන්ට හරි ආදරෙයි.සමහරවිට ඒ සීයා නිසා වෙන්න පුළුවන්.නමුත් අද වතු දෙමල ජනතාව ඔහුට කරන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා උන පි.දිගම්බරම්ට සපෙක්ෂවයි.ඔය දෙන්නගෙන් එක්කනේක්වත් හැටන් නගරයේ අඩුපාඩු දැකල ඒවා සංවර්ධනය කරන්න හැදුවේ නෑ.නමුත් තොන්ඩමන් හැම තිස්සෙම වතු ජනතාව එක්ක කතා හිටිය.දිගම්බරන්ට විරුද්දව මුනට මුණ ගේම ඉල්ලුව.ඒවාට වතු ජනතාව කැමති.තව දේවල් තියෙනව කියන්න කියනවනම්.

    ReplyDelete
    Replies
    1. දිගම්බරන් සහ අරුමුගම් අතරත් අරුමුගම් සහ සුරේෂ් වඩිවේල් අතරත් ඇති විරුද්ධවාදීකම් සලකා බලද්දී දිගම්බරන් සහ අරුමුගම් අතර ඇති ගැටුම මතවාදී ගැටුමක් ලෙසත්, අරුමුගම් සහ සුරේෂ් වඩිවේල් අතර ඇත්තේ පුද්ගලික කොන්තරයක් ලෙසත් සැලකිය හැකියි නේද?

      Delete