This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 31 May 2019

ජනාධිපති සිරිසේන මෝදිගේ පදවිප්‍රාප්තියේ විශේෂ ආරාධිතයෙක්වීම

ඉන්දීය මහමැතිවරණයට අගමැති මෝදි ඉදිරිපත්වෙන්නේම පසමිතුරු පාකිස්ථානය සමග යුද්ධයකට අරඅදිමිනි. එහෙත් පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් ඒ ගින්න ඇවිලීමට ඉඩ දුන්නේ නැත.

නමුත් මෝදී දිගටම ''ආක්‍රමණිකයින්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහිව හින්දු ඉන්දියාවක්'' වෙනුවෙන් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීය. මේ අතර ඉන්දියානු ඔත්තුසේවා ලංකාවට අනතුරු අගවනවා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ලවිය හැකිබව දැන්වීය. එය හුදු අනතුරු ඇගවීමකි. ප්‍රහාරය එල්ලකරන අයගේ නම්ගම්, ප්‍රහාරය එල්ලවිය හැකි ස්ථාන ආදී කරුණු එම අනතුරු ඇගවීමේ අඩංගුවිය. කොටින්ම, ප්‍රහාරයට පැයකට කලින් පවා ප්‍රහාරකයෝ දැන් පිටත්වු බව දැන්වීය. ඒ තරම් තොරතුරු ඔවුන් සතුවිය. 

පාර්ලිමේන්තුව විසින් පත්කල පාස්කු ප්‍රහාරය ගැන සොයාබැලීම පත්කළ කමිටුවේ සාක්ෂි කැදවීමේදී නැවත නැවත හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති, ජනාධිපති සිරිසේන ප්‍රහාරය ගැන දැනගෙන හිටියා බවය. එය කෙතෙක් මතුව ආවේදයත් ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙකු විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන කලින් දැනගෙන නොසිටි බව කියන්නට විය. කෙසේවුද, හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර අද (31/05/2019) ගොනුකළ පෙත්සමේ දකවා ඇත්තේ ප්‍රහාරය නොවැලක්වීමේ වගකීම ජනාධිපතිවරයා සතුවෙන බවය. ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෝදිගේ මැතිවරණ සටන උච්චම අවස්ථාවට පත්කළ බව පැහැදිලිය.

දැන් ජනාධිපති සිරිසේන ඉන්දියානු මැතිවරණයෙන් අතිමහත් බහුතරයක් දිනූ අගමැති මෝදිගේ දෙවනවර පදවිපාත්‍රියේ විශේෂ අමුත්තෙකු ලෙස ඉන්දියාවට සම්ප්‍රාප්තවී සිටී. පසුගියවර ඉන්දියාවට ගියවිට ජනාධිපති සිරිසේනව නොසලකාහැර තිබු මෝදී මෙවර උත්සවාකාරයෙන් ඔහුව පිලිගෙන තිබේ. ඉන්දීය ඔත්තුසේවය (රෝ) තමන්ව මරන්න යනවා යැයි කියූ ජනාධිපති සිරිසේන දැන් මෝදි සමග ඉතා කුළුපගය. 

මේ වෙනසට හේතුව පාස්කු ප්‍රහාරයද? එය නොවැලක්වීමද? 

පැහැදිලිවම මෝදිගේ චන්ද ව්‍යාපාරය මෙම ප්‍රහාරයෙන් වඩාත් කුල්මත්විය. ඔවුන් නිතර මැතිරූ ''මුස්ලිම් හතුරා'' මෙන්න මේතමයි දැක්විය හැකි ආකාරයට මෝදුවී ආවේය. ඔහුගේ ජන්ද ව්‍යාපාරය මෙම ප්‍රහාරය දිගින් දිගටම භාවිතාකලේය. ඒ අර්ථයෙන් මෝදී ලා මේ ප්‍රහාරයෙන් ප්‍රහාරයෙන් ලැබුවන්ය. ඔහු හැර තවත් පාර්ශව තිබේ. ඒ අය කවුද යන්න ක්‍රමයෙන් හෙළිකරගත යුතුව ඇත. ඇත්තවශයෙන්ම, මම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ලියන මෙවැනි රචනාවල එක් අරමුණක් වනුවේ එම ප්‍රහාරය නිසා සුගතියට සහ අගතියට පත් පාර්ශව මොනවාද යන්න සොයාබැලීමය. මේම ප්‍රහාරයෙන් විපතට පත් මූලික පාර්ශවයවනුවේ ලංකාවේ කිතුනුවන් බව පැහැදිලිය. එමෙන්ම මුස්ලිම් ජනයාද මේම ප්‍රහාරයෙන් අගතියට පත්ව තිබේ. ඔවුන් දැන් කබලෙන් ලිපට වැටී ඇත. ඒමෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තය සහ වෙළද ක්ෂේත්‍රයද, පොදුවේ මුළු මහත් ලංකාවමද අනතුරට හෙලා තිබේ. පැහැදිලිවම අගතියට පත්ව ඇති පාර්ශ්ව හදුනාගැනීම අපහසු නැත. එහෙත් සුගතියට පත්ව ඇති පාර්ශව මොනවාද කියලා හදුනාගැනීම එතරම් ලෙහෙසි නැත. ඒ සදහා අප දිගින් දිගටම විවිධ පෙළගැසීම් ගැන සලකා බැලිය යුතුයි. 

ප්‍රහාරය සිදුකලේ සහරාන්ලා බවට සැකයක් නැත. මා කියවූ ලෙස සහරාන් ලාගේ මුල් ඉල්ලකය වී ඇත්තේ දිගන ප්‍රහාරයට අවුරුද්දක් පිරෙන විට ප්‍රහාරයක් එල්ල කිරීම බව දක්වා තිබේ. ඒ අයගේ මුල් ඉල්ලකය වෙනස් කලේ කවුද? ISIS ලු. ඒ කවුද? කොහොමද? කෙසේද? යන්න ආදී හෙලිවීමට තව බොහෝ කල් යනු ඇත. ISIS ගැන විශ්ලේෂණය කරන විශ්ලේෂකයින්ට අනුව ISIS ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ ආන්තවාදීන් ISIS වෙනුවෙන් එම තෝරාගැනීම කල බව දක්වා තිබුණි. එහෙත් ලංකාවේ කණ්ඩායම් සහ ISIS අතර සම්බන්ධීකරණය සම්බන්දයෙන් ඉන්දියාවේ කණ්ඩායම් (එහි ඔත්තුසේවා) යම් ආකාරයකට දායකවී තිබේද? එසේම කිසිදු බාධාවකින් තොරව මෙම ප්‍රහාරය දියත්වීමට ලංකාවෙන්ම සහයෝගයක් ලැබී තිබේද? එය පහල තැනකින් නොව ඉහලින්ම තැනකින්වුද විය හැක. සහරාන්ව අත්අඩංගුවට ගැනීමට සිටි නි. පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම, ආරක්ෂක මණ්ඩලය තමන්ට කැමති අය පමණක් කැදැවීම, ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකිරීම වැනි කරුණු සම්බන්දයෙන් ආරක්ෂක ඇමති ජනාධිපති සිරිසේනට එල්ලවෙන චෝදනාවලින් ඔහුට පැන යෑමට නොහැක. 

කෙසේවුවද කාදිනල්තුමා දැක්වූ ලෙසම මේම ප්‍රහාරය පිටිපස අප නොහිතන ජාත්‍යන්තර බලවේග පවා සිටිය හැකි බව ඉවත් හෙළිය නොහැකි පදනමකි. අවාසනාවට මේ සියලු බලවේගවල සිය අරමුණු මුදුන්පත්කර ගැනීමට යන්නේ මහජනයාගේ ලේ ගංගා මතිනි.

ජයාරූපය: ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට විරුද්ධව ඉන්දියාවේ මෝදිගේ පාලනය නිසා වඩාත් පීඩාවට පත්ව ඇති ඉන්දියානු මුස්ලිම් සහ කිතුනු ජනයා එක්ව 24/04/19 පැවැත්වූ 'United against Hate' උද්ගෝෂණයකින් උපුටා ගත්තක්. එම උද්ගෝෂණයේදී මතුවූ අදහසක්වුයේ ත්‍රස්තවාදය යනු හුදෙක් මුස්ලිම් දෙයක්ම පමණක්ම නොවන බවය: "Terrorism is not just about Muslims; it's a much bigger problem. The two great religions, Christianity and Islam, can walk together, as suggested by the pontiff. But we need more dialogue to eliminate the chain of bloodshed. For us, the attack on the mosques of Christchurch and against the churches in Sri Lanka have the same importance."

මාකස් ප්‍රියන්ත පෙරේරා.
31/05/2019.

Saturday 25 May 2019

මෝදිගේ ජයග්‍රහණය ගැන ඉන්දිය කිතුනුවන් භීතියට පත්ව ඇත්තේ ඇයි?

ඉන්දියාවට ක්‍රිස්තියානි ආගම හදුන්වාදුන්නේ ක්‍රි.ව. 52 තරම් ඈත කාලයේදීය. ඒ ජේසුගේ ගෝලයෙකුවූ තෝමස් අපෝස්තුළුවරයා විසිනි. ඔහුට මෙන්ම ඔහුගේ ශ්‍රාවකයින්ටද අත්වූ ඉරණ ඛෙදනීයය. තෝමස් අපොස්තුවරයා තමිල්නාඩුවේදී මරාදමන ලදී. සෙසු ක්‍රිස්තියානීන් බොහෝ දෙනෙකුද මරා දැමු අතර ඉතිරිවූ ස්වල්පය ඉතා රහසිගතව සිය විශ්වාසය සහ ඇදහිල්ල ආරක්ෂාකර ගත්හ. 

අද ඉන්දියාවේ කිතුනු ජනගහනය මිලියන 28ක් හෙවත් එරට ජනගහනයෙන් 2.3%ක් තරම්වූ සුළුතරයකි. ඉන් මිලියන 19.9ක් හෙවත් මුළු කිතුනු ජනයාගෙන් 1.55% ක්ම කතෝලිකයින්ය. එහෙත් 14%ක් වූ මුස්ලිම් ජනගහනය හැරුණු විට කිතුනුවන් ඒරට දෙවන සුළුතරය. ඒරට ජනගහනයෙන් 80%ක බහුතරයක් වන හින්දුන් හා සැසදීමේදී කිතුනුවන් නොසැලකිය හැකි තරම් කුඩා පිරිසක්වුවද, ඔවුන්ට එල්ලවෙන තර්ජන, ප්‍රහාර, මරාදැමීම්, දුෂණය කිරීම්වල නම් අඩුවක් නැත. 

පසුගිය වසර 10ක කලය තුලදී එවැනි සිද්ධීන් 12,000 ක් වාර්තා වී ඇති අතර කතෝලික මෙන්ම ක්‍රිස්තියානි පල්ලි 1200යකට වැඩි ප්‍රමාණයට පහරදී සුරුවම් පවා විනාශ කරන ලදී. මරාදැමූ සහ ශාරීරක හිංසනයට ලක්වූ පියතුමන්ලා, මෙන්ම කන්‍යා සොයුරියන්ද එමටය. කිතුණුවන්ව පණපිටින් පුළුස්සා මරා දැමූ සිද්ධීන් වාර්තාවේ. අවාසනාවකට ඉන්දියාවේ සිදුවූ වැඩිම ක්‍රිස්තියානි විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා වැඩියෙන්ම සිදුවී ඇත්තේ ඉන්දියාවේ මෝදී අගමැතිවරයා වශයෙන් පත්වූවාට පසුවය. එමෙන්ම ක්‍රිස්තියානීන්ට එරෙහිව වැඩිවශයෙන් හිංසාකාරී ක්‍රියා සිදුව ඇත්තේ කේරලය, ගෝවේ, කල්කටා වැනි කිතුනුවන් වැඩිවශයෙන් ඉන්න පලාත්වල නොව ගුජරාත්, ආන්ද්‍රා, මධ්‍ය ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ්, ඔරිස්සා සහ තෙලගනා වැනි ප්‍රාන්තවල ජීවත්වෙන කුඩා කුඩා ක්‍රිස්තියානි ජන කොටස්වලටය

දැන් ඔහු නැවත වරක් කලින් අවස්තාවටත් වඩා වැඩි බහුතරයකින් බලයට පත්ව ඇත. සංක්‍රමණිකයින්ගෙන් සහ ආක්‍රමනිකයින්ගෙන් විනාශවූ හින්දුස්තානය නැවත ගොඩ නැගීමට බලාපොරුත්තුවන ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ක්රිස්තියානින්ට මරණ බය ගෙන දීමට සමත්ව සිටී. ප්‍රධාන විපක්ෂයේ අගමැති අපේක්ෂකයා වූ ඉන්දියානු කොංග්‍රසයේ රාහුල් ගාන්ධි පවා "මහගෙදර" තිල්සිට පරාජය විය. එහිදී ඔහුගේ මව ඉතාලි ජාතික කතෝලික කාන්තාවක්යැයි කියවූ වාර අනන්තය. අම්මා කතෝලිකයෙක්වීම පමණක් නොව සීයා මුස්ලිම්වීමත් රාහුල් ගාන්ධිට මෙන්ම ගාන්ධි පවුලට විරුධවද, ඉන්දීය කොංග්‍රසයට විරුද්ධවද යොදාගන්නා ලදී. එසේ සිදුවුයේ මෝදිගේ හින්දුත්ව ප්‍රතිපත්තිය තවතවත් තහවුරු කිරීමෙන් අටියෙන්ය. පාකිස්තානයට විරුද්ධව යුද්ධයකට අර ඇදීම මෙන්ම ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් මෝදිගේ මුස්ලිම් විරෝධී, සංක්‍රමණිකයින්ට සහ ආක්‍රමණිකයන් එරෙහි හින්දුස්ථානයක් වෙනුවෙන්වූ මැතිවරණ ව්‍යාපාරය විසින් දිගින් දිගටම යොදා ගත් එම මතවාදීමය පදනම සමග මුසුකල ආර්ථික වර්ධනය පිළිබද පුරාජේරුද මෝදිගේ දැවැන්ත ජයග්‍රහණය තහවුරුකිරීමට හේතුවිය තුනෙන් දෙකක බලයකට ආසන්න මේ මැතිවරණ ජය එරට සුළුජන කොටස්වලට දැවැන්ත අනතුරු ඇගවීමක් සිදුකර ඇත. 


මන්දයත් මහජාතිය ජාතිවාදයෙන් මුසපත්වන සෑමවිටම එහි ගොදුර බවට පත්වන්නේ සුළු ජන කොටස් වන බැවිනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
25/05/2019 

Thursday 23 May 2019

අපි ඉතිහාසයක් ජීවත්කරන ජනතාවක්

කවුරුහරි හිතුවානම් සුමාන දෙකෙන් අමතකවෙයි කියලා, ඒගොල්ලන්ට වැරදිලා.

කිතුනුවෝ කියන්නේ අවුරුදු 2000කට කලින් මරාදාපු තමන්ගේ ශාස්තෘවරයාවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් තවමත් සමරණ පිරිසක්. සිය විශ්වාසය සහ ඇදහිල්ල නිසා සිය ජීවිත පරිත්‍යාගකල දහසකුත් එකක් සාන්තුවරු සමරණ මිනිස්සු. 

එහෙව් අපි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරාදැමූ අපේ නම් නොකල ප්‍රාණ පරිත්‍යාගීන්ව කිසිදා අමතක කරයිද? නැහැ. ඒ අපි ඉතිහාසයක් ජීවත්කරන ජනතාවක් නිසා. 

If anyone thought that everything will be forgotten in 2 weeks, I'm afraid they are wrong. 

Christians are not such people. They are still remembering their son of God who was killed 2000 years ago, and their saints who have sacrificed their lives for their belief and faith.

So do you think these people will forget the people who were killed in Sri Lanka's Easter Sunday massacre? I'm afraid it is not going to happen because we are the people who keep history alive. 

Marcus Priyabtha Perera
21/05/2019
(One month to Sri Lanka Easter Sunday Attack) 

අපි යුක්තිය ඉල්ලන්නේ ඇයි?




Can one do evil without being evil? කාට හරි පුලුවන්ද දුෂ්ට වැඩකරන්න එයා ඇත්තටම දුෂ්ටයෙක් නොවී? Hannah Arendt (1963) අහපු මේ ප්‍රශ්නය ඇගේ පොත (Banality of Evil) කියවපු දවසේ ඉදලා මගේ හිතේ පැලපදියම් වෙච්ච ප්‍රශ්නයක්. 

මනුස්සයෝ විදිහට ඉන්න අමුනුස්සයෝ කොහේ හරි සිදුකරපු මේලේච්ච ක්‍රියාවක් ගැන කියවන්න, දකින්න ලැබෙන හැම වාරයක් ගානෙම මට ඔය ප්‍රශ්නය මතක්වෙනවා. අපේ රටේ, අපේ ගමේ, අපේ පළාතේ, අපි දන්න කියන අයට වෙච්ච් විනාසේත් එක්ක මට ඔය ප්‍රශ්නේ, ආපහු, ආපහු, ආපහු පාරක් මතක් වෙනවා. එත් එක්කම මතක්වෙන තව දෙයක් තියෙනවා, ඒ අනෙකාගේ දුෂ්ට කම් තුලත් දුෂ්ටයෙක් නොවී ඉන්න ඕනෑයි කියන එක. එහෙම නොවුනොත් අපිත් නතර වෙන්නේ එතනමයි. 

අන්තිම මෙලෙච්ච අපරාදයක් සිදුවුනත් අපේ සිත් තුල දුෂ්ටකම් රජකරවන්න ඉඩනොදී සාමයෙන් පසුවෙන්න සැලැස්වීමට අපේ ධර්මයත්, අපේ කාදිනල්තුමා ඇතුළු අපේ ආගමීක නායකත්වයත් සමත්වුනා. අපිට වෙච්ච දේ ගැන අපි පළිගන්න ගිහින් අනේකාව විනාශ කරන්න අපේ මිනිස්සු කටයුතු කලේ නැහැ. අපව දුෂ්ටයන් කරන්න දුෂ්ටකම අපේ සිත් තුලට ඇතුල්වීමට ඉඩ නොදී ඉන්න අපේ ධර්මයටත්, අපේ ආගමීක නායකත්වයත් සමත්වුනා. අපි මෙතක් සිටියා වගේම දිගටම ඒ විදිහටම ඉම්මු. අපි අපිට කලදේට යුක්තිය සහ සාධාරණය ඉල්ලනේ දුෂ්ටකමින් නේම්යි , මෙවැනි දේවල් නැවත නැවත සිදු නොවිය යුතු නිසයි. ඒ හැම මනුෂයක් ගේම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තියෙන නිසයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/05/2019 

Sunday 19 May 2019

කිතුනුවන්ට යුක්තිය ඉටුකරන්නේ කවුද? කවදාද?


ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව සිය ඉතිහාසයේ මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට පසුගිය පාස්කු ඉරිදා (21/04/2019) ලක්විය. 

ඒ හරියටම මීට වසර 10යට කලින්, 2009 මැයි 19දා, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්දේ අවසාන දිනයේදී ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලීම පරිදි ඉතිරිවී සිටි LTTE සටන්කරුවන් සහ ඔවුන්ගේ දරුපවුල් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට බාරවීම සදහා සම්බන්දීකරණය කල ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා අතුරුදහන්වී වසර 10යකට පසුවය

හමුදාවට බාරවෙන්නේ නම් LTTE සටන්කරුවන්ට සහ ඔවුන්ගේ දරුපවුල්වලට ආරක්ෂාව සපයන බවට ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් සහතිකකර ප්‍රකාශයට පත්කළ නිසා ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා එහිලා මැදිහත්ව කටයුතු කළේය. ඒ අනුව 360ක පිරිසක් ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාගේ වචනය පිළිගෙන හමුදාවට බාරවිය.  ආරක්ෂක හමුදාවල බස්රථවලට මේ පිරිස පටවාගෙන යද්දී ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාත් එක් බසයකට ගොඩවී ඇත්තේ තමන්ගේ වචනය විශ්වාස කර බාරවූ පිරිසගේ ආරක්ෂාව ඇත්තටම සහතික කරනවාද සොයා බැලීමටය. එහෙත් අද වනතුරුද හමුදා බස්වල එසේ රැගෙන ගිය කුඩා දරුවන් ඇතුළු 360 දෙනාද, ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාද සොයාගැනීමට නැත. ඔවුන්ට සිදුවූ දෙයක් පිලිබදව ශ්‍රී ලංකා රජය හෝ ආරක්ෂක හමුදා කිසිවක්  ප්‍රකාශ නොකරයි.  ඒ සම්බන්දයෙන් කිසිදු පරීක්ෂණයක්ද සිදුකර නැත. උත්තර දීමටද කිසිවෙක් ඉදිරිපත් නොවේ. අවාසනාකට ශ්‍රී ලංකා කතෝලික සභාව අඩුම තරමින් ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාට සිදුවූ දෙය ගැන හෝ සොයාබැලීමට විධිමත් පරීක්ෂණයක් ඉල්ලනේද නැත. 



පසුගිය කාලේ මැල්කම් රන්ජිත් කාදිනල්තුමා නිතර මතුකළ ''ලාංකීය කිතුනුවන්ගේ පෝෂණය සදහා බෞද්ධ සංස්කෘතිය ඉවහල්වූ'' බව මෙන්ම ''මගේ සංස්කෘතිය බෞද්ධ'' යැයි යන්න මුලින්ම කියු පියතුමෙක්වූයේ බුත්තල විසු මයිකල් රොද්‍රිගු පියතුමාය. එතුමාව 1987 නොවැ. 10 දින, හීෂණ සමයේදී, නාදුන්න තුවක්කුකරුවන්ගේ ගිණුමට බැරකර මරාදමන ලදී. ඒ කවුද? කුමක් සදහාද? යන්න සොයාබැලා දැනගැනීමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය උන්නදු නොවීය.  මයිකල් රොද්‍රිගු පියතුමා ප්‍රදේශයේ ඉඩම් උක්වගාකරුවන්ට අයත්වීමට විරුද්දව හඩනැගුවෙක් නිසා ඉඩම් සහ ව්‍යාපාර හිමි ධනපතීන්ගේ ඉල්ලකයක් බවටද, ප්‍රදේශයේ ජනයා මයිකල් රොද්‍රිගු පියතුමා යටතේ සංවිධානයවීම නිසා ප්‍රදේශයේ භික්ෂුන්ගේ සහ බෞද්ධ නායකයින්ගේ නොරිස්සීමටද  භාජනයවුවෙක් විය. මයිකල් රොද්‍රිගු පියතුමාගේ ඝාතනය ගැන තවමත් කිසිදු පරීක්ෂණයක් සිදුව නැත. ශ්‍රී ලංකා කතෝලික සභාවද ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් සුදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවක්ද නොපෙනේ.

එම භීෂණ සමයේම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකටව සිටි, කටාන-හල්පේ පල්ලියේ ශ්‍රී ලාල් පියතුමාද අභිරහස් ලෙස මිය ගියේය. ඒ ගැන මෙන්ම මීගමුව මල්වත්ත පාරේ සා. ජෝසජ් දේවස්ථානය තුලදී මරාදැමූ ආබා කොස්තා පියතුමා ගැනද පරීක්ෂණයක් ඉල්ලා හඩ නැගීමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ප්‍රමාණවත් කිසිවක් නොකලේය. ආබා කොස්තා පියතුමාව මරා දැමීම ගැන ප්‍රදේශයේ ප්‍රකට දේශපාලකයෙකුටද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද එල්ලවූ චෝදනා ගැන පරීක්ෂණයක් සිදුකලයුතුව තිබුණි. එහෙත් ඒ සම්බන්දයෙන් කිසිවක් සිදුනොවීය. 



1995 ජුලි 09 වෙනිදා යාපනේ නවාලි සා. පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දැමීම නිසා පල්ලියේ සිටි 125 දෙනෙක් මිය ගියේය. යාපනේ රදගුරුවරයාගේ සහ ද්‍රවිඩ දේශපාලන බලවේගවල දැඩි බලපෑම නිසා  ඒ ගැන සොයාබැලීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය කොමිසමක් පත්කළේය. එම කොමිසමෙන්ද වැඩක් නොවිණි. එම කොමිසමේ අවසන් නිගමන ගැන එම ප්‍රදේශයේ ජනයාගේ අදහසවුයේ ''අපි අපටම බෝම්බ ගහගත්තා'' වැනි අදහසක් කොමිසමේ වාර්තාවෙන් කියවෙන බවය. එම බෝම්බ ප්‍රහාරය සම්බන්දයෙන් මෙන්ම, කොමිසමේ නිගමන ගැනද, අදාල වරදකරුවන්ට එරෙහිව ක්‍රියා නොකිරීම ගැනද එල්ලවූ විරෝධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් 1995 දෙසැම්බරයේදී යාපනේ අල්ලාගැනීමත් සමග ඇතිවූ විජයග්‍රාහී මානසිකත්වයත් සමග යටපත්කර දමන ලදී.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී හලාවත ධීවර උද්ගෝෂණයකදී මරා දැමු හලාවත ඇන්ටනී සම්බන්දයෙන්ද, කටුනායකදී මරා දැමු රොෂේන් චානකව මරාදැම්මා සමබන්දවද, රතුපස්වලදී එල්ලවූ හමුදා ප්‍රහාරයෙන් බේරීම සදහා පල්ලිය ඇතුලට පැමිණි සිටි මිනිස්සුන්ටද ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පල්ලිය ඇතුලට පැමිණ ලේ හැලෙන තුරු පහරදීම ගැනද, ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් විරෝධයක් සහ ශක්තිමත් ක්‍රියා මාර්ගයකට නොඑලබෙන ලදී. එම මරණ ගැන කාදිනල් රන්ජිත් මැල්කම් ඒ සම්බන්දයෙන් අනුගමනය කලේ උදාසීන පිළිවෙතකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ පාස්කු ඉරුදින සාහසික කිතුනු සංහාරය නිසා විපතට පත් ජනයාට සියළු සහයන් සහ සහනයන් සපුරමින් සිටියද, යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමට මැල්කම් රන්ජිත් කාදිනල්  ප්‍රමුඛ ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් ලෙස සක්‍රියව දායක වෙන බවක් නොපෙනේ. එය අපේ ජනයා තවත් අනතුරකට ගොදුරුවීමට ඇති ඉඩකඩ නොවැලක්වීමකි.

ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාට සහ ශ්‍රී ලංකා කතෝලික සභාවට   හිමිවිය යුතු පැසසුම්, ප්‍රසංසා එතුමාට ලබාදීම අවශ්‍ය දෙයකි. විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග රටතුල වර්ගවාදී ගැටුම් ඇතිවීම වැලක්වීමට කටයුතු කිරීමට ඔවුන් දැක්වූ මැදිහත්වීම විශේෂයෙන්ම අගය කලයුත්තකි.

ඒහෙත් අප අමතක නොකළ යුත්තේ ලංකාවේ මුල්ම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්වරයා යනු  වර්තමාන කාදිනල් රන්ජිත් මැල්කම්ට පමණක් නොව අද ලංකාවේ කතෝලික සභාවටද මහගු පරමාදර්ශී නායකත්වයක් දුන්න තැනැත්තෙක් බවය. කුරේ කාදිනල්තුමා දේශපාලකයන් පස්සේ ගියේ නැත. කොටින්ම, සිය ජීවිතකාලය පුරාම රටේ අගමැතිවරයාව සහ රාජ්‍ය නායකවරයාව (විලියම් ගොපල්ලව ව) මුණගැසී ඇත්තේ දෙපාරකි.  ඔහු දේශපාලකයින්ට බැන බැන සිටියේ ද නැත. ඔහු  ශ්‍රී ලංකා කතෝලික සභාව ගොඩනැගීමට සිය මුළු ශක්තියම යෙදවීය. පදවි පියතුමන්ලාව බිහිකිරීමටද, ජාතික දෙව්සත්හල් සැදීමටද, තේවත්ත ජාතික බැසිලිකාව වැනි පල්ලි හැදිමටද, ගුරු විදුහල් බිහිකිරීමටද, කතෝලික පාසැල් බිහි කිරීමද, ගොවිපොළවල් බිහිකිරීමටද ඔහු කටයුතු කළේය.

1962 කුමන්ත්‍රණය දඩමීමාකරගෙන කතෝලික ආගම ඇදහු නිලධාරීන් රජයේ ඉහල තනතුරුවලින් අයින් කරද්දී ඒ අයට අවශ්‍ය නීතිමය කටයුතුවලට ඔහු උදව් කළේය. කතෝලික පාසැල් රජයට පවරාගෙන කතෝලික ජනයාගේ අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා දැනුම මොටකර දැමීමට කටයුතු කරද්දී ඒ සම්බන්දයෙන් විවිධ ක්‍රියාමර්ග ගත්තේය. සභාවේ ගිහි පැවැදි සංවිධාන කැදවා උද්ගතවී ඇති තත්වය ගැන සාකච්ඡා කලේය. රෝහල්වල, පාසැල්වල ඇප උපස්ථාන කටයුතු කල, ඉගැන්වීම් කටයුතු කල විදේශීය සිස්ර්ලා, පියතුමන්ලාගේ වීසා තහනම්කර රටින් පිටුවහල් කිරීමට සිරිමා බණ්ඩාරනායක රජය කටයුතු කලවිට අඩුම තරමින් ඔවුන්ගේ වීසා අවසන්වනතුරු හෝ ඔවුන් මෙරට රදවා තබාගැනීමට ඔහු  සටන් කලේය. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට කඩදාසි නොදී එම පත්තරය වසා දැමීමට ආණ්ඩුව උපක්‍රම යොදද්දී ඊට වඩා උපායශීලීව කඩදාසි පමණක් නොව මුද්‍රණ යන්ත්‍ර පවා ගෙන්වා ගැනීමට  කාදිනල් කුරේ පියවර ගත්හ. එතුමා ඔහුගේ ඥාතීන් කිසිවෙකුට ඔහුගේ තනතුරුවලින් කිසිම ලාභයක් ලබාගැමීමට ඉඩ දුන්නේ නැත. එවැනි වාසි සලසාගැනීමට ක්‍රියාකල ජයමාන්න කෙනෙකුට සිදුවූදෙයක් පිලිබදව මීගමුවේ ජනයා දනී. කාදිනල් කුරේ මිශ්‍ර විවාහවලට ඉතාම තදින් විරුද්ධවූ බව සත්‍යකි. ඒ තමන්ගේ ප්‍රජාව දිය නොවී ආගමික විශ්වාසය තුල රැකගැනීම සදහාය. එතුමා කතෝලිකයින් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය විය යුතුයි ඉතා තදින් පේනවා දුන්නේ අනාගතයේ තම ප්‍රජාව සංස්කෘතික වශයෙන්එහෙටත් නැති මෙහෙටත් නැති පිරිසක් හෙවත් ගන්දබ්බ තත්වයකට පත් නොවීම සදහාත්, අපේ අනන්‍යතාවය රැකගැනීමේ වැදගත්කමක් ඇති බව දුටු නිසාත්ය. එවැනි ප්‍රවේශයක් අද වෙනදාට වඩා අවශ්‍යය බව කාදිනල් මැල්කම් රන්ජිත් ඇතුළු ලංකා කතෝලික සභාව තේරුම්ගත යුතුව තිබේ. 



ලංකාවේ අංක එකේ සිංහල-බෞද්ධ ජාතිවාදියෙක් වන චම්පික රණවක මහතා පසුගියදා දෙරණ 360ට වැඩසටහනේදී කියා සිටියේ  පෘතුගීසින් මුස්ලිම්වරුන් මරද්දී බේරාගත්තේ සිංහල රජවරුන් බවත්, ලන්දේසීන් කතෝලිකයින්ව රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට බැදෙන්නට කියලා බලපෑම් කරද්දී මාතලේ දිස්ත්‍රික්කයේ වහකෝට්ටේ ගමට පැමිණි පවුල් 24ට ආරක්ෂාව දුන්නේ සිංහල රජවරුන් බවත්, සිංහල රජවරු හැමදාම එසේ  සුළු ජාතීන්  අරාක්ෂා කල බවත් දැක්වීය. එහෙත් ඒ කතාව තවත් කියන්නට දැන් නොහැක. අද එහෙම සිංහල රජවරු නැත. එය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී හොදටම පෙනුනි. ප්‍රහාරයක් එල්ලවෙන බව පමනක් නොව, එල්ලවෙන්නේ පල්ලිවලට බවද දැන දැන ක්‍රිස්තියානීන් මරාදැමීමට ඉඩදී ශ්‍රී ලංකා රාජ්‍ය බලධාරීන් සහ නිලධාරීන් බලාසිටියහ. කිතුණුවන්ව දැන දැන බිල්ලට දුන්හ. අහිංසක මිනිස්සු සිය ගණනින් මැරි යන්නට ඉඩදී බලන් උන්හ. 
අපි කොතරම් සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් අපේ උපරිමදායකත්වය උපරිමයෙන් ලබාදෙමින් රට ජාතිය දියුණු කිරීමට කොතරම් කැපවීමෙන් ක්‍රියාකලද, ඔවුහු අපිට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නේ නැත. අපේ ජනයාගේ දක්ෂකම් මත කණ්ඩායමට එක්වුවද,  ඒකී කණඩායම් තුල හොදින් ක්‍රීඩා කරමින් දිනවා දුන්නද, කණඩායමේ නායකයා කිතුනුවෙක් වෙනවා දැකීමට ඔවුහු අකමැතිය. කණ්ඩායමේ ක්‍රීඩකයන් ''පිතා පුත්‍රයා දානවාට'' (කුරුස ලකුණ අදිනවාට) ඔවුහු ඇමතිය. මුළුරටම මර බීයෙන් එලියටවත් බහින් නැතිව වෙසක් කලාප පවා තහනම් කරපු අවස්ථාවේ, ''අපේ පාස්කුව අපිට නැතිවුනාට අපි උබලාගේ වෙසක් නැතිවෙන්න ඉඩ තියන්නේ නැහැ'' යැයි කියා කිතුනු කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ පල්ලිවලත් වෙසක් කූඩු සදා උපරිමයෙන්ම වෙසක් උත්සවය සමරන්නට කටයුතු කරනවාට ඔවුහු කැමති නැත. වෙසක් කූඩුවේ කුරුසේ ගැහැව්වේ ඇයි? කියා ඔවුන් ප්‍රශ්න කරති. සමහර තැන්වල එසේ කුරුස ලකුණ යෙදු කූඩු ගිනි තබා තිබේ. පල්ලිවල පවා වෙසක් කූඩු හදමින් වෙසක් සැමරූ කිතුනු කෙල්ලෝ කොල්ලන්ගේ මහන්සියට හිස නමා ස්තූතියි කියනවා වෙනුවට ඔවුහු ''අපේ ධර්මචක්‍රය පල්ලියට ගියේ කෙසේද?'' කියා ප්‍රශ්න කළේය.

ලාංකික කිතුනුවා ජීවත්වන්නේ මෙවැනි වටපිටාවක බව පැහැදිලිවම අවබෝධකර ගත යුතුය. ඔවුන්ට යුක්තිය දිනාදීමට කාදිනල් මැල්කම් රන්ජිත් ප්‍රමුඛ ලාංකික කතෝලික සභාව අසමත්නම් ඔවුන්ට යුක්තිය සහ සදාරණත්වය දිනා දෙන්නේ කවුද? මියගිය අපේ සහෝදර සහෝදරියන්ට පමණක් නොව ජීවත්වී සිටින කිතුනුවන්ටවත් යුක්තිය ඉටුකරන්නේ කවදාද?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/05/2019 


Friday 17 May 2019

කිතුනුවන් වෙසක් උත්සවය සැමරිය යුත්තේ ඇයි?

වෙනදා නොතිබි උනන්දුවකින් කිතුනුවන් මෙවර වෙසක් උත්සවය සැමරීමට සූදානම්වෙමින් සිටී. බොහෝ කිතුනු නිවෙස්වල මෙන්ම පල්ලිවලද ධර්ම චක්‍රය සහ කුරුස ලකුණ රැගත් වෙසක් කූඩු, බකට්, පහන්වැටවල් සහ කිතුනු කොඩිය සමග බෞද්ධ කොඩියද ලෙළ දෙවමින් තිබේ. 

මේ අතර, "වෙසක් කූඩුවේ කුරුසේ සලකුණ යෙදීම හරිද?" "ධර්ම චක්‍රය සමග කුරුස ලකුණ එකට පෑහෙන්නේ කෙසේද?'' "මුන් අපේ වෙසක් කූඩුවට කුරුස ලකුණ යොදා එකටත් කෙලියා නේද?" වැනි ප්‍රශ්න 'තුලාව' සහ වෙනත් facebook පිටුවල මතුකර තිබීමද දැකිය හැකිවිය. මේ ගැන අවධානය යොමුකළ 'සිරිලක කිතුනු සසුන' වැනි කිතුනු facebook පිටු  'වෙසක් කූඩුවේ කුරුස ලකුණ යෙදීමට බෞද්ධ ජනයා අකමැති බව පෙනීයන බැවින් කරුණාකර කුරුස ලකුණ ඉවත්කර වෙසක් කූඩු සාදන්න'  යනුවෙන් ඉල්ලා සිටී බවද දැකිය හැකිවිය.  

ඇත්තවශයෙන්ම, වෙනදාට වඩා වෙසක් සැමරුම සදහා කිතුනුවන්  විශාල උනන්දුවකින් කටයුතුකලේ පසුගිය අප්‍රියල් 21වෙනිදා ඉස්ලාමීය ජෙහාඩි අන්තවාදීන්ගේන් එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමගය.  ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීම් පැහැරහැරීම නිසා සිදුවූ ඒ මහා මිනිස් සංහාරයේදී  කිතුනුවන් 250කට වඩා මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම අවස්ථාවේදී රටේ බුහුතර ජනයාවන සිංහල-බෞද්ධ ජනයා සාතිශ්‍යය කණගාටුවට පත්ව ඇප-උපස්ථානයන්, උපකාරයන්, කරුණාව, දයාව සහ මෙත්‍රීය කිතුණු ජනයාවෙත යොමුකරනලදී. වෘර්ක දේශපාලකයන් කෙසේවුවද සාමාන්‍ය ජනයා කටයුතුකලේ ඒ ආකාරයටය. එසේ වැඩුණු සහෝදරත්වය සහ ලෙන්ගතුකම තුල ඒ දිනවලම කිතුනු  facebook පිටුවල නිතර ලියවුනු වැකියක් වඩාත් ජනප්‍රිය වන්නටවිය. ඉන් කියවුනේ ''අපේ පාස්කුව අපිට නැතිවුනාට උබලාගේ වෙසක් උබලාට නැතිවීමට අපි ඉඩතියන්නේ නැහැ, මෙවර අපිත් වෙසක් සමරනවා''යන්නය. එය ඉතා වේගයෙන් කිතුනු ජනයා වැළදගත්තා පමණක් නොව කිතුනු දේවස්ථානවල පියතුමන්ලා පවා ''එන්න අපි මෙවර පල්ලියේත් වෙසක් සමරමු!!'' යැයි කිතුනු ජනයාට ආරාධනා කරන ලදී. මෙවර වෙසක් සැමරුමට කිතුනුවන් වෙන කවරදාකටවත්  වඩා උනන්දුවන්නේ එවැනි පසු බිමක් තුල. ඒ එවැනි ලෙන්ගතුකමක් සහ සහෝදරත්වයක් තුලය. දින 40ක් ක්‍රිස්තුස්වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින්, නිරාහාරව සිටිමින්, එකවරු අල්ලමින්, තමන් ආශාකරන කරන කුමන හෝ දෙයක්    කැපකරමින් ගතකල චාතාරික සමය නිමවා උත්සවාකාරයෙන් සැමරීමට සිටි අපේ පාස්කුව අපට අහිමිවුවද, අපට අහිමිවූ සතුට බෞද්ධ ජනයාට සිය වෙසක් දිනයේදී අහිමිවීමට ඉඩ නොතිබිය යුතුය යන තිර අදිටනින් කටයුතු කිරීමට කිතුනුවන් ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එවැනි පසුබිමක් තුල අප හදන වෙසක් කූඩුවේ කුරුස ලකුණු නොදිය යුතුබව මගේද පෞද්ගලීක මතයයි. 


ඇත්ත වශයෙන්ම, වෙසක් කූඩුවේ කුරුස ලකුණ නොයේදුවද නූතනයේ උත්සවාකාරයෙන් සමරණ වෙසක් උත්සවය බෞද්ධයන්ට ලැබුනේ කිතුනුවන්ගෙන්ය. ඒ බව ලාංකීය සිංහල-බෞද්ධ සමාජය ගැන සමාජ විද්‍යාත්මක පරීක්ෂණ ග්‍රන්ථ ගණනාවක්ම ලියු, ලංකාවෙන් බිහිකළ ලෝපතල විශිෂ්ඨ මානව සහ සමාජ විද්‍යාඥානයෙක්වන මහාචාර්ය ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) ගේ ග්‍රන්ථ රාශියකම  දක්වා තිබේ. රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) එක්ව සිදුකල ඉතාමත් තියුණු ශාස්ත්‍රීය අධ්‍යනයක් අනුව  1988දී ලියවුනු 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (page 202-242) නම් කෘතිය ඒ බව වඩා විස්තරාත්මකව දැක්වේ. 

ලංකාවේ උත්කර්ෂවත් ලෙස 'දැන් සමරන වෙසක් උත්සවය' සැමරීමට පටන්ගෙන ඇත්තේ අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුලින් බවත්, එහිදී ඔවුන්  ක්‍රිස්තියානි ජනයා සිය නත්තල සැමරීමට භාවිතා කරන නත්තල් කාර්ඩ් (Card), කැරොල්, නේක වර්ණ සැරසිලි අදියෙන් ආභාෂය ලබා වෙසක් සුබ පැතුම් පත්, බොදු බැති ගී සහ වර්ණවත් වෙසක් සැරසිලි සහිත උත්සවයක් බවට වෙසක් උත්සවය පත්කළ බවත් දක්වයි. 

මින් අදහස් කරන්නේ බෞද්ධයන් මීට පෙර වෙසක් උත්සවය පැවැත්තුවේ නැති බවක්වත්, වෙසක් උත්සවය යනු බුදුන්වහන්සේගේ තෙමගුල සමරණ උත්සවය බව යටපත්වී ඇතිබවවත් නොවේ.

වෙසක් උත්සවය යනු බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සමරණ ලොව පුරාම වෙසෙන බොදුනුවන්ගේ සම්බුදු තෙමගුල සමරණ උත්සවය බව අප යලි යලිත් මතක්කර ගතයුතුය.

රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකරයන්ගේ (Gananath Obeyesekere) 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (1988) කෘතිය ඇසුරින් පෙන්වාදෙනුයේ බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීමත පදනම්වූ මෙරට බෞද්ධ ජනයාගේ නුතන වත්පිළිවෙත්, වතාවත්, ආගමික ආයතන පමණක් නොව ඔවුන් අති උත්කර්ෂවත්ව සමරණ වෙසක් උත්සවය ඉහල උත්සවත්ශ්‍රීයකින් පැවැත්වීමේහිලා ඔවුන් ක්‍රිස්තියානි ආගමත්, එහි සංස්කෘතියත්, බටහිර යටත්විජිත පාලකයන් මෙරටට ගෙනා බටහිර ශිෂ්ටාචාරයේ බොහොදේවල්ද උකහාගත්බවත්, අදාලකරගත්බත්, යොදාගත්බවත්ය. 

මෙම තත්වය වඩාත් විද්‍යාමාන නිසාම සිංහල අවුරුදු උත්සවය සමරන්නේ නැති මීගමුව වැනි අපේ පළාත්වල වෙසක් උත්සවයට දන්සැල්දීමට, බකට්-කූඩු ආදිය එල්ලීමට කලාන්තරයක් තිස්සේ පුරුදුවී සිටී. 

කෙසේවුවද, සංස්කෘතියක් තවත් සංස්කෘතියකින් උකහාගැනීම හෝ ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් ආභාෂය ලැබීම පොදුවේ ලෝකය පුරාම සිදුව ඇත්තක් බව, එයත් පොදු සත්‍යක් බවත් අප අමතක නොකළ යුතුය.  කිතුනුවන් ඉතා ඉහලින් සමරණ නත්තල් උත්සවයේ තත්වයද එසේය. එහි ඇති උත්සවාලන්කාර අංග, නත්තල් ගස් සහ සැරසිලි ආදිය එක් සංස්‌කෘතියකට හෝ එක් ශිෂ්ටාචාරයකට අයත් නැත. විවිධ සංස්කෘතීන්ගෙන්, විවිධ ශිෂ්ටාචාරවලින් එකතුවූ අංගවලින් ගොඩනැගුනකි. එනයින්ම වෙසක් උත්සවයටද එය පොදුය.

බෞද්ධාගම ලංකාවට හදුන්වාදීමෙන් පසුව මෙරට පැවති ශිෂ්ටාචාරය තව තවත් වර්ධනයවූ බව පැහැදිලිය. ඉන් අනතුරුව මෙරට සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය හැඩගැස්වීමෙහිලා යටත්විජිත පාලනය ඔස්සේ ලංකාවට උරුමවූ ක්‍රිස්තියානි ආගමත්, එහි සංස්කෘතියත්, බටහිර ශිෂ්ටාචාරයත් නිතැතින්ම බලපෑ බව අප පිළිගතයුතුය. නුතන ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැන්වීමටද, එය වඩාත් ඔපවත් කිරීම සදහා එය වඩා වඩාත් දායකවී ඇත. මෙරට ශිෂ්ටාචාරයට පමණක් නොව රටේ වැඩි දෙනා භාවිතාකරන භාෂාවටද එය එසේමය. සිංහල භාෂාවේ අද භාවිතා කරන හාර ලක්ෂයකට අධික වචනවලින් බහුතරයක් මෙරටටම ආවේනික නැත. වෙනත් සංස්කෘතියකින් හෝ වෙනත් ශිෂ්ටාචාරයකින් පැන නොනැගී ලංකාවටම පමණක් අනන්‍වූය වචන ඇත්තේ ඉතා ස්වල්පයකි. සිංහල හෝඩියේ තත්වයද එසේමය. 

මා මේ කරුණු මතුකරනුයේ මේක අපේ ජාතියේ, අපේ ආගමේ, අපේ සංස්කෘතියේ, අපේ ශිෂ්ටාචාරයේ, අපේම අපේම අපේ දෙයක් යැයි කියමින් ඉරිගසා, වැටකොටු බැද බෙදා වෙන්කර ගැනීමට නොහැකි බව පැහැදිලිවම කීමටය.

පොදුවේ අද සියළු මිනිස් සමාජ, සියළු ආගම්, සියළු සංස්කෘතීන් සහ සියළු ශිෂ්ටාචාරයන් අනෙක් මිනිස් සමාජයන්ගෙන්, අනෙක් ආගම්, සංස්කෘතීන්, සහ ආභාෂය සහ පෝෂණය ඇතිව සකස්වී ඇත. කිතුනුවන් මේ තත්වය වඩා හොදින් දැනගත යුතු පිරිසකි. ඔවුන් එක් ආගමක් ඇදහුවද එක් ජාතියක්, එක් ජාතික අනන්‍යතාවයක්, එක් භාෂාවක් නියෝජනය නොකරයි. ආබ්‍රම්හම් වැනි එකම මූලයකින් පැන නැගුනද එකම භාෂාවක් සහ එකම සංස්කෘතික පදනක් මත පදනම්වූ  යුදෙව් සහ ඉස්ලාම් ආගම්වලින් කිතුනුවන් වෙනස් වෙන්නේද එම නිසාය.  ඇත්තවශයෙන්ම, කතෝලික යන්නෙහි තේරුම විශ්වීය යන්නය. ඔවුන්ගේ ජාතිය මනුෂ්‍ය ජාතිය මිස වෙන වෙන ජාතික අනන්‍යතාවයන් නොවේ. ඔවුන්ගේ රට දේශසීමාවලින් බෙදා වෙන්කරනලද එක් රටක් නොව දෙවියන්වහන්සේ මවාවදාළ මේ ලෝතලයමය, මුළුමහත් විශ්වයමය.

එහෙත් ඔවුන් ජීවත්වෙන ඒ ඒ රටවල පමණක් නොව විවිධ මිනිස් සමාජ තුලද ඔවුන් කලයුත්තේ කුමක්ද යන්න ඔවුන්ගේ කිතුනු ආගම තුල උගන්වා ඇත. එනම් මුහුන්වීමය. ඒ ඒ රටවල, ඒ ඒ මිනිස් සමාජවල පිපෙමින්, එම රටවල් සහ එම ජන සමාජ පුබුදුවා විකසිත කිරීම ඔවුන්ගේ දූත කාර්යය. එහින් ශ්‍රී ලංකා කිතුනුවන්ද කල යුත්තේ අපිත් මේ ජාතියේමයි, අපිත් මේ සංස්කෘතියේයැයි, අපෙත් ඇත්තේ මේ ලේමයි කීම වෙනුවට  අපි පෙනී සිටින්නේ විශ්වීය සංස්කෘතියක් සහ යහපත් මිනිස් ශිෂ්ටාචාරයක් වෙනුවෙන් බව මේ වෙසක් උත්සවයේදීද සාක්ෂි දැරිය යුතුය. පාස්කු ඉරිදා දිවිපිදුවේ එවැනි අරමුණක් වෙනුවෙන් පෙනී සිටි අපේම සහෝදර සහෝදැරියන් පිරිසක් අප සියල්ලන් පිළිගත යුතුය. 

ඔබ සැමට සිරි සුබ වෙසක් උත්සවයක් වේවා !!!

මා මිට පෙර වෙසක් උත්සවයන් අලලා ලියූ 'වෙසක් උත්සවයට උත්සවත් ශ්‍රීය ලැබීම සහ වෙසක් මුද්දර පිළිබද කථාවක්' (එය මෙම යොමුවෙන් කියවිය හැක) යන ලිපියද, එමෙන්ම 'වෙසක් දේශපාලනය' (එය මෙම යොමුවෙන් කියවිය හැක) යන ලිපියද කියවන මෙන් ඉල්ලා සිටිමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
17/05/2019 





Friday 10 May 2019

කටුවපිටිය දේවස්ථානයට පැමිණි භික්ෂූන්වහන්සේලා

පසුගියදා භික්ෂූන් වහන්සේලා පිරිසක් පාස්කු ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවපිටිය දේවස්ථානයට පැමිණ එය සුද්ධ පවිත්‍රකරනු දුටුවෙමි. එය බොහෝදෙනාගේ පැසසුමට ලක්වුවකි. නලින්ද සිල්වා වැනි ජාතිකවාදීන් පවා දක්වා තිබුනේ 'හාමුදුරවරුන් පල්ලි අතුගෑම සහජීවනය ඇති කර ගැනීමට මගක්' ලෙසය. තවද එය 'කතෝලික පල්ලිවලට පමණක් නොවෙයි මුස්ලිම් පල්ලිවලටත් හින්දු කෝවිල්වලටත් ව්‍යාප්ත කල යුත්තක්' ලෙසත් ඔහු දක්වා තිබුනි. සමාජ මාධ්‍ය තුල මෙන්ම වෙනත් මාධ්‍ය තුලද විශාල වශයෙන් ප්ර්චරයවුණු මෙම භික්ෂූන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය පැහැදිලිවම අගය කලයුත්තකි. එය වෙනත් ආගමක් අදහන ජනකොටසකට සිදුවූ විනාශයකදී ඔවුන් සිය සාතිශ්‍ය කණගාටුව බෙදාගැනීමකි. එකිනෙකා අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමකි. 

එහෙත් මේ සත්ක්‍රියාව සදහා නායකත්වය දුන් භික්ෂූන්වහ්සේලා කවුද? ඔවුන් ලබාදුන් පණිවිඩය කුමක්ද? යන්න ගැන එතරම් අවධානයක් යොමු නොවූ බව මගේ අදහසය. මේ සදහා නායකත්වයගෙන ක්‍රියාකළේ ගාල්ලේ, බද්දේගම සමිත ස්වාමීන්වහන්සේයි. උන්වහන්සේ කාලයක් තිස්සේම ලංකාව පුරාම විවිධ ජාතීන් සහ ආගම් අතර සාමය, සමානාත්මතාවය සහ නිදහස ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකළ ස්වාමීන්වහන්සේ කෙනෙක්ය. දශක ගණනාවක් පුරාම සමසමාජයක් වෙනුවෙන් වූ වාමාශික දේශපාලනයක නිරතවු උන්වහන්සේ මීගමුවේ සමසමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන් සදහා මෙන්ම වෙනත් සමාජ දේශපාලන ක්‍රියාකාරකම් සදහාද නිතර මීගමුවට මෙන්ම රටපුරාම විවිධ ප්‍රදේශවලට ආ ගිය, මීගමුවේ පමණක් නොව රටපුරාම විවිධ ආගමීක සහ වාර්ගික ජන කොටස් අතර සාමය, සහෝදරත්වය, නිදහස සහ සහජීවනය වෙනුවෙන් ක්‍රියාකාරී හඩක් නගන ස්වාමීන්වහන්සේ නමකි. එම උන්වහන්සේ සමග තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් එකට එක්ව මෙම ක්‍රියාකාරීත්වයට දායකවීම අප සියල්ලන් අගය කල යුත්තකි. 

මේහිදී උන්වහන්සේ දැක්වූ අදහස් සම්බන්දයෙන්ද අපේ අවධානය යොමුවිය යුතුය. උන්වන්සේ දැක්වුයේ ''බෞද්ධ භික්ෂූන්වහන්සේලා ලෙස සහෝදර කතෝලික ජනයාට සිදුවූ මේ විනාශය ගැන කම්පාවෙන බවත්, ඕනෑම ජනතාවකට තමන් අදහන ආගම නිදහසේ අදහාගැනීමට අයිතියක් තිබිය යුතු බවත්, ඒ අයිතිය අද කතෝලික ජනයාට අහිමිවී ගිය අවස්ථාවක් බවත්, ඒ තත්වය නැවත ඇති නොවීමට, ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇතිකර ගැනීමට, ලංකාව වඩාත් සාමකාමී තැනක් බවට පත්කරගැනීමට ඔවුන් කැපවෙන බවත්'' ය.

ඇත්තවශයෙන්ම ලංකාව තුල පමණක් නොව ලෝකයේ ඕනෑම රටක් වඩාත් සමකාමී තැනක් බවට පත්කළ හැක්කේ අරක රැකුනොත් මේක රැකෙයි, මේක රැකුනොත් අරක රැකෙයි ආදීන් ලෙස එක් ජාතියක හෝ එක් ආගමක හෝ ආධිපත්‍ය තහවුරුකිරීම තුල නොව සියළු ජාතීන් සහ ආගම් අතර සාමය, සමානාත්මතාවය, සහෝදරත්වය, නිදහස සහ සහජීවනය තහවුරුකිරීම තුල නොවේද?

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/05/2019 

Sunday 5 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය, මෙතැනින් කොතැනටද?


පාස්කු ඉරිදාට පෙර දින, එනම් ආලේලුයියා සෙනසුරාදා,  ලෙස්ටර් නගරයේ වෙසෙන  සිංහල කිතුනුවන් විසින්  සිංහල දිව්‍ය පුජාවක් සංවිධානයකර තිබු බැවින් එයට සහභාගීවීම සදහා අප එහි මිතුරෙකුගේ නිවසට ගොස් සිටියේ ලොවපුරාම වෙසෙන වෙනත් කිතුනුවන් මෙන් ඉකුත් අප්‍රියල් 21වෙනිදාට යේදී තිබුන පාස්කු උත්සවය සැමරීමටය. බොහෝ රෑ බෝවනතුරු එහි සතුටු සාමිච්චියේ යේදීසිටි අප නින්දට වැටුනේ පාන්දර 2කට පමණය. එහෙත් අළුයම පහ පමණවන විට මගේ දුරකථනය නාදවන්නට විය. පාස්කුවට සුබපැතීමට මිතුරන්ගෙන් ලැබෙන සුපුරුදු දුරකථන ඇමතුමක් වියහැකියැයි අනුමානකල මම මුලින්ම එයට ප්‍රතිචාර නොදැක්වීය. එහෙත් එක දිගටම දුරකථනය නාදවන්නටවීමත්, ඇමතුම් එන්නේ විවිධ පුද්ගලයින්ගේන්වීමත් නිසා පුරුදු පදිරි ''හලෝ මචන්'' යැයි කිව්වා පමණි; ''මල්ලී මුළු කටුවපිටිය පල්ලියම ඉවරයි, අපි මේ දැන් මිනී අදිනවා මල්ලි, මොකද්ද මේ වෙන්නේ කියලා හොයලා බලන්න මල්ලී" යැයි කියා දුරකථනය විසන්ධිවිය. ඒ සමග තවත් දුරකථන ඇමතුමක් ලැබුණ අතර ඉන් කියවුනේ ''මචන් කටුවපිටියේයි, කොච්චිකඩේයි පල්ලි දෙකටම බෝම්බ ගහලා මචන්, මේ මොකක්ද වෙන්නේ මචන්" යැයි විමසීය. හොයලා බලලා කියන්නම් යැයි පිළිතුරුදුන් මම ඉන් පසුව මගේ මිතුරාවද ඇහැරවාගෙන රෑපවාහිනී සහ වෙනත් විද්‍යත්මධ්‍ය ඔස්සේ මෙන්ම ඥාතීන්ට, මිතුරන්ට  දුරකථන ඇමතුම් දෙමින්ද ඔවුන් පිලිබදව මෙන්ම තත්වය පිළිබදවද සොයා බලන්නට විය.        

ඒ අනුව පැවසිය හැක්කේ සාමයෙන්, සමගියෙන්, සතුටින් ජීවත්වූ ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව ලාංකික කිතුනුවන් සිය ඉතිහාසයේ මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට ලක්වී ඇති බවය. 1995 ජුලි 09වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ලකළ ප්‍රහාරයකින් විනාෂවූ යාපනේ නාවාලි ප්‍රදේශයේ පිහිටි සා. පේදුරු පාවුළු පල්ලිය තුල සිටියදී මියගියේයැයි සැලකෙන 125 දෙනෙකුගේ මරණවලින් අනතුරුව  කිතුනු දේවස්ථානයකට එල්ලවූ මෙලේච්චම ප්‍රහාරය මෙයය. ලාංකීක කිතුනුවෝ නැවතත් සමුහ ඝාතනයකට ලක්කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය කිතුනු පල්ලි මෙන්ම සංචාරක හෝටල්ද ඉල්ලකරගත්තද, පැහැදිලිවම එය ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කරගත්තකි. ප්‍රහාරයෙන් වැඩිම පිරිසක් මියගොස් සහ තුවාල ලබා ඇත්තේ පාස්කු ඉරිදා දේවස්ථානවලට රැස්ව සිටී පිරිසය. එයිනුත් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ අපගේ මීගමුව නගරයේ කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයට එල්ලකල ප්‍රහාරයෙනි. එහි පමණක් 111කට අධික පිරිසක් මියගොස් 200කට වැඩි පිරිසකට තුවාල සිදුව ඇත. කොච්චිකඩේ සා. අන්තෝනි දේවස්ථානයට සිදුවූ ප්‍රහාරයෙන් මෙන්ම මඩකලපුවේ සියොන් ක්‍රිස්තියානි පල්ලියට එල්ලවූ ප්‍රහාරයෙන්ද 100කට අසන්න පිරිසක් මියගොස් තිබේ. මේ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස 300කට ආසන්න නම් ඉන් 220 වැඩි පිරිසක් මියගොස් ඇත්තේ  කිතුනුවන්ය. එයිනුත් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මීගමුවේය. මේ අනුව ප්‍රහාරය පැහැදිලිවම කිතුනුවන් ඉලක්ක කරගෙන දියත්වුවක් බවත් පැහැදිලිය. 

එහෙත් සියළු ජාතීන් සහ ආගම් සමග ලංකාව තුල මෙන්ම ලෝකය තුලත් සාමයෙන් සතුටින් සහ සහජීවනයෙන් ජීවත්වෙන කිතුනු ප්‍රජාවන් ඉලක්කකරගෙන ප්‍රහාර එල්ල කරන්නේ කවුද? කාගේ උවමනාවටද? මෙම තත්වය ජාතික මෙන්ම අන්තර් ජාතිකවද විමසා බැලිය යුත්තකි. 

ක්‍රි.ව. 1989 දී සෝවියට් දේශයේ බිදවැටීමත් සමග දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට පැනනැගී ශීත යුද්ධ සමය (Cold War) ලෙස හැදින්වූ කාලය නිමාවිය. ඉන් අනතුරුව උදාවූ යුගය හෙවත් 1990 පසු යුගය ආගමීක, වාර්ගික සහ ජාතීන් අතර ගැටුම් යලි සක්‍රියවූ යුගය බවට පත්විය. එක් එක් ජාතික රාජ්‍යන් මට්ටමින් විවිධ ආගමීක සහ වාර්ගික ගැටුම් පැවතියද ඒ සියල්ල අභිබවා ඉස්ලාමීය ආගමික අන්තවාදී ප්‍රහාරයන් වඩාත් කෲර සහ සහාසික ලෙස ඉස්මතුවිය. සිරියාවේ සහ උතුරු ඉරාකයේ සිටි ඉස්ලාමීය සටන්කාමීන් ISIS සංවිධානය බිහිකර ගැනීමත් ඔවුන් ලොව පුරාම සිටින මුස්ලිම්වරුන් සදහා ‘උම්හා’ (Ummah) රාජ්‍යක් බිහිකිරීමට යුද්ධයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග එක් එක් රටවල  රැඩිකල් ඉස්ලාම් සටන්කාමීන් එයට එක්වීමත් සිදුවිය. 

විශේෂයේන්ම 1. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යන් රැඩිකල් ඉස්ලාම් ආගම (Wahhabism) ප්‍රවර්ධනය කිරීමට  පුජකයින් සහ දේශකයන් පුහුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම දිගටම සිදුකිරීමත්, 2. එසේ මතවාදී ලෙස රැඩිකල්වුවන් විසින් සම්ප්‍රදායක මුස්ලිම් ආගමීක නායකයින් අභිබවා  මුස්ලිම් පල්ලිවල සහ ආගමීක පාසැල්වල (Madrasa) බලය අල්ලාගැනීමත්, 3. එකී රැඩිකල්  ඉස්ලාමීය ආගමික ප්‍රවණතා තවදුරත් පෝෂණය කිරිමට ඉවහල්වූ ආක්‍රමණශීලී ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික අරමුණු මුල්කරගත් විදේශ ප්‍රතිපත්තියක් බටහිර රටවල් සහ රුසියාව අනුගමනය කිරීමත්, 4. ඊශ්‍රරායලය දිගටම පලස්තීන මුස්ලිම් ජනයා ඉලක්කකරගත් ප්‍රහාර දියත්කිරීමත්, 5. මැදපෙරදිග අත්තනෝමතික රෙජීමයන් ඉවත්කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙන් එම කලාපයේ විවිධ රටවල් ආක්‍රමණයකිරීමත් ආදිය හේතුකොටගෙන  ලොව පුරාම වෙසෙන ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ලෝක ව්‍යාප්ත මුස්ලීම් රාජ්‍යන් වෙනුවෙන් සටන්කිරීමට අවශ්‍ය තරම් රැඩිකල් ඉස්ලාමීය සටන්කාමීන් බිහිකර ගැනීමට අඩුවක් නැතිව ඉවහල්විය. එම නිසාම ලොව පුරාම ඉස්ලාමීය ප්‍රහාරවල අඩුවක් නොවීය. එකී ඉස්ලාමීය සටන්කාමීන්ගේ මුලික ඉලක්කයවුයේ ලොව පුරාම වෙසෙන, කිතුනුවන්, අන්‍යය ආගමීකයින්, බටහිර ජාතීන්, රුසියාව, ඊශ්‍රායලය, චීනය, ජපානය සහ ගෝලීය ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික උරුමයන්, කොටස්කරුවන් සහ  ඔවුන්ගේ දේපොළය. ඒ සියල්ල ඉස්ලාම් ආගමේ සතුරන් ලෙස හැදින්වූ අතර ඒවා සියල්ල පිටුදැකීම සදහාවූ යුද්ධයක් හෙවත් jihad යුධයක් ඔවුන් නිරතවී සිටී. එම යුද්ධයකට ලංකාව ලක්වන්නේ කෙසේද? 

පැහැදිලිවම 1985 පමණ වනවිට ලංකාව පුරාම රැඩිකල් ඉස්ලාමීය ප්‍රවණතා හිස එසවන්නට විය. විශේෂයෙන්ම නැගෙනහිර පළාතතුල පැතිරගිය වහබ්වාදය කල්මුනේ මුස්ලිම් පල්ලියක තිබු පැරණි මුස්ලිම් සොහොන් පාලකයක් කැඩීමෙන්  මුස්ලිම් පල්ලිතුලද බලය තහවුරුකරගත් බව කියවේ. එම ප්‍රවණතාව රට පුරාම පැතිරගිය අතර මීගමුව නගරයේ පිහිටි  කාමච්චෝඩේ සහ පෝරුතොට  මුස්ලිම් පල්ලිතුල පිහිටි පැරණි සොහොන් සහ සොහොන් පලක ඉවත්කිරීම දක්වා පැතිරිණි. ඒ සමග ලංකීක ඉස්ලාම් බැතිමතුන්ද මැදපෙරදිග ස්ලාම් බැතිමතුන් මෙන් ඇදුම් පැළදුම් ඇදීමටත් මෙතෙක් ඔවුන් පොදුවේ භාවිතාකල දෙමළ බසවෙනුවට අරාබි බස බහුලව භාවිතා කිරීමටත් පෙලබුනි. ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් ජනයාට සහ ඔවුන්ගේ රටවලට එල්ලවන ප්‍රහාර සම්බන්දයෙන් සිකුරාදා  ආගමීකවතාවත්වලින් පසු බටහිර තානාධිපති කාර්යාල ඉදිරිපිට විරෝධය දැක්වීම බහුලවශයෙන් දැකිය හැකිවිය. එහෙත් යුද්ධ ජයග්‍රහණයෙන් පසු ඔදවැඩී ගිය සිංහල-බෞද්ධ ජාතිකවාදීන් විසින් ඉන් අනතුරව  මුස්ලිම් ජනයා ඉලක්කකර ගැනීමත් නිසා එතෙක් ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන්ට විරෝධය දක්වමින් පොදු මුස්ලිම් අනන්‍යතාවයක් තුල පෙළගැසෙමින් සිටි ලාංකීක මුස්ලිම් ප්‍රජාව අභ්‍යන්තර දේශපාලන ප්‍රවණතාව හේතුකොටගෙනද වඩ වඩාත් රැඩිකල්වීම සිදුවිය. විශේෂයෙන්ම දැන් සාකච්ජාවෙන කරුණු අනුව පෙනී යනුවේ බොදුබල සේනා, මහසෝන් බලකාය, වැනි අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකින් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණදීම සදහා මුස්ලිම් ප්‍රජාව ආයුද සන්නද්ධව සිටිය යුතුය වැනි අදහසක් ඇතැම් රැඩිකල් මුස්ලිම් තරුණයන් අතර මුල්බැසගත් බවය. 

එයින් කියවෙනුවේ ලාංකීය මුස්ලිම් ප්‍රජාව  ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් සම්බන්දව සක්‍රියව සිටින අතරම ජාතික වශයෙන් බොදුබල සේනා, මහසෝන් බලකාය වැනි අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකින් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණදීමට රැඩිකල්ලෙස මෙන්ම අඩුම තරමින් කඩුකිනිසි ආදියෙන්වත් යුතුව සුදානම් සිටිබවකි. නැගෙනහිර පළාත නියෝජනය කරන අතාවුල්ලා මන්ත්‍රීවරයාවරක් පාර්ලිමේන්තුව තුල කියා සිටියේ මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරයක් රටම ලේවිලක් කිරීමට හේතුවන බවය (ඒවා ගැන පරීක්ෂණ නොකෙරුණි). එහෙත් මෙලෙස අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී  ව්‍යාපාරයකට මුහුණදීමට  ගොඩ නැගුන රැඩිකල්, සන්නද්ධ, ඉස්ලාමීය කණ්ඩායමක් ක්‍රිස්තියානි ජනයා ඉලක්ක කලේ ඇයි? පැහැදිලිවම එය ජාත්‍යන්තර උවමනාවක් අනුව සිදුවුවකි. මහනුවර ප්‍රහාරයට වසරක් පිරීම නිමිතේන් සුදානම්වූ
ඔවුන් ඒ වෙනුවට පාස්කු ඉරිදා ප්‍රහාරයකට යොමුකළේ ISIS ජාත්‍යන්තර ජාලය බව එක් සැකකරුවෙක් පාපොච්චාරණය කල බව මම එක් පුවත්වාර්තාක කියවීමි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය දියත්කල ලාංකීය ඉස්ලාම් සටන්කාමීන් ISIS ත්‍රස්තයන් සමග සම්බන්දව බවටත්, ඔවුන් කඩු කිනිසවලින් පමණක් නොව වඩාත් ප්‍රබල පුපුරන ද්‍රව්‍යවලින් සංවිධානයවී සිටිබවත් දැන් සියල්ලෝම දනී.  එම ප්‍රහාරය ISIS ත්‍රස්තයන් එම ප්‍රහාර සිය මූලෝපායික සැලසුම් සමග සමපාතවීම සදහා කිතුනු පල්ලි සහ විදේශිකයන් පැමිණෙන හෝටල් ආදිය ඉලක්කරගෙන තිබේ. මෙවැනි පෙළගැස්මක් පිලිබදව වාර්තාවූ සැනින්ම  විදේශ බුද්ධි අංශ ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර ඇති බවත්ද, ආරක්ෂක ලේකම්වරයා මේ ගැන දැනුවත්ව සිටිබවද ඔහු මධ්‍ය සමග කල කථාවෙන් කියවේ. ඔහු කිව්වේ ප්‍රහාරයක් දියත්වෙන බව දැනන් සිටියද එය මෙතරම් විශාල PR

එසේනම්  කුඩා හෝ ප්‍රමාණයේ ප්‍රහාරයක් කිතුනු ආගමික ස්ථානවලට හෝ හෝටල්වලට එල්ලවීමට ඉඩ හැර බලා සිටියේ ඇයි? 

එය බෞද්ධ පන්සලකට නොව වෙනත් ආගමික ස්ථානයකට එල්ලවෙන ප්‍රහාරයක් නිසා බෞද්ධ ආගමික ස්ථානයකයට එල්ලවෙන ප්‍රහාරයක් ගැන  යොමුවෙන තරම් අවධානයක් හෝ හැගීමක් මේම අනතුර ගැන  ශ්‍රී ලංකා බලධාරීන්ට  නොදැනෙන්නේද? වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ අතිශය බහුතරයක් රටේ මහා ජාතික අනන්‍යතාවය වන ග්‍රාමීය සිංහල-බෞද්ධ ජන පදනමකින් පැමිණි අයගෙන් සැදුම් ලද්දක්වීමත්, ලාංකික සමාජයේ අතිශය මිශ්‍ර සමාජ සැකැස්ම ගැන ඔවුන්ගේ ආකල්ප සහ ප්‍රවේශයන් ගැන විමසාබැලීම වැදගත්බව මෙහි අදහසයි.

ලංකාවේ ඉහල රාජ්‍යය නිලධාරීන් අකර්මන්‍ය නිසාද? නැතහොත්  අදාල ආරක්ෂක කටයුතු කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවට හුදෙක් ලියුම් එහෙට මෙහෙට පාස් කිරීම පමණක් හුදෙක් සිය රාජකාරිය යැයි සිතා සිටීම නිසාද? මෙහිදී මතුකළ යුතු තවත් කරුණක් වන්නේ කිසියම් හේතුවක් මත් මහරගම කතෝලික දේවස්ථානයට උදේ 6.30 පමණ පැමිණි පොලිස්නිලධාරීන් දෙදෙනෙක් එහි මීසම් භාර පියතුමාට (ජූඩ් නිකුලස් ?) ප්‍රදේශයෙන් යම් අනතුරුදායක තත්වයක්ගැන දැනුම් දී ඇතිබවත්, එම පියතුමා දේවස්ථානයට ජනයා ඇතුල්වීමෙන් පසුව ගේට්ටුව වසා පුජාව පැවැත්වූ බව වාර්තාවීමය. ඒ අනුව අනතුර ගැන හෝ කුමන හෝ අනතුරක් ගැනයම් නිලධාරියෙක් ක්‍රියා කල අතර අතිමහත් බහුතරයක් එසේ නොකළ බවත් පෙනී යන්නකි. 

මෙවැනි ප්‍රහාරයක් ගැන අවශ්‍යතරම් තොරතුරු පැවතියේදී  දේශපාලන වාසි සලසා ගැනීම සදහා ප්‍රහාරය එල්ලවීමට ඉඩ හැර බලධාරීන් බලා සිටියාද?  1983 කළු ජූලියේ සිට එවැනි දේශපාලන පෙළගැසීම් ලංකාවට අලුත් තත්වයක් නොවේ. 1983 රට පුරාම ජාතිවාදේ කෝලාහල ඇතිවූ විට එය මර්ධනය කිරීමට ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව දින තුනක්ම බලා සිටි අතර පසුව විරුද්ධ පක්ෂ තහනම් කරමින් එය දේශපාලන වශයෙන්  යොදාගැනීමට ඔවුන් කටයුතු කලේය. මෙවරද එවැනි  ප්‍රහාරයකින් වාසි සලසා ගැනීමට බලාපොරොත්තුවුයේ දැයි විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇති බල දේශපාලන ගැටුම රට මෙන්ම රටේ ජනයාද උවදුරේ හෙලන ලදී.  ජනාධිපති පත්කළ ආරක්ෂක ලේකම්වරයා කිතුනු ආගමික ස්ථානයකට හෝ විදේශිකයන් ලැගුන් ගන්නා හෝටලයකට ඉස්ලාමීය අන්තවාදීගේන් එල්ලවිය හැකියැයි වාර්තාවූ කුඩා ප්‍රහාරයකට හෝ පැවති ඉඩ කඩ වසා නොදැමුවේ එමගින් 1. රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් මර්ධනය කර  රැඩිකල් සිංහල-බෞද්ධ ප්‍රජාව සතුටු කිරීමට ඉඩක් විවර වෙන නිසාද? 2. එවැනි ප්‍රහාරයකට කිතුනුවන් බිලිදීමට ඉඩහැර එක්සත් ජාතික පක්ෂයේ කතෝලික ජන්ද පදනම බිද දැමිය හැකි යැයි ගණනය කල නිසාද? 3. එමෙන්ම කිතුනු ජන්ද පමණක් නොව, මෙවැනි ප්‍රහාරයක් නිසා ඇතිවෙන ජාතිවාදී ප්‍රවණතා හමුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි මුස්ලිම් ජනයාගේ ජන්ද පවා අහිමි කිරීමට හැකි බව එම ගනණය කිරීමට ඇතුලත්වීමට ඉඩ තිබුණි. 4. තවද අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ආර්ථික වැඩපිළිවෙල මෙන්ම ජාත්‍යන්ත්ර ප්‍රසාදයද අහිමි කිරීම මෙන්ම  5. අන්තවාදය මර්ධනය කිරීමට සිදුකරන මෙහෙයුම් ඔස්සේ ආරක්ෂක ඇමති ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහල දමාගැනීමටද වුවද හැකි බවද,   එවැනි ප්‍රහාරයකට බලධාරීන් දැනුවත්ව ඉඩ හැරියේ නම්  අත්කරගත හැකි දේශපාලන වාසි අතර තිබෙන බව පෙනේ. 

ඒමෙන්ම ආරක්ෂක  විෂය අගමැති රනිල් වික්‍රමසිංහ හෝ රජය අත නොපවතින, ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට අගමැතිවරයාට ආරාධනා නොකරන තත්වයක් තුල, මෙවැනි ප්‍රහාරයක් ගැන කිසියම්ම හෝ තොරතුරක් අගමැතිවරයාට හෝ රජයට වාර්තාවුයේ නම් කිසියම්ම හෝ ක්‍රියා මාර්ගයක් නොගත්තේ එහි වරද ජනාධිපතිවරයා අත පටවා අත සෝදාගැනීමට හැකි වෙන නිසාය. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඉතා අවම මට්ටමක පවතින තත්වයක් තුල සහ ඒමගින් ආර්ථීකයට එල්ලවෙන බලපෑම හමුවේ අගමැතිවරයා හෝ රජය එවැනි ප්‍රහාරයකට ඉඩ නොතිබීමට ඉඩ ඇත. 

අනෙක් අතට රාජපක්ෂ කදවුරට මෙම තොරතුර ආරංචි වුයේ නම් ඔවුන් ඒ සමබන්දයෙන් කිසිවක් නොකරන බවද පැහැදිලිය. 

කෙසේවුවද අවසාන වශයෙන් බිලිවුයේ මෙරට සාමකාමීය ජන කොටසක්වූ කිතුනුවන්ය. මෙවැනි මෙලෙච්ච ප්‍රහාරයකින් ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය කිසිවක් කලේ නැත. මෙවැනි විනාශයක් හමුවේ පවා ශ්‍රී ලංකා  කිතුනුවන් මෙසේ හෝ ශක්තිමත්ව සිටින්නේ කාදිනල්තුමාගේ මගපෙන්වීමද, ප්‍රදේශවාසීන්ගේ මහත්වූ කැපවීමද, ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ මැදිහත්වීමද, ශ්‍රී ලංකික සැමගේ සහ සාමයට ලැදි ලෝකවාසී ජනයාගේ සෝසුසුම් සහ යහපත් ප්‍රාර්ථනා මත මිස කිසිදු දේශපාලකයෙකුගේ කිසිම ශක්තියක් සහ ආරක්ෂාවක් මත් නොවේ, එය ඉදිරියටද එසේමය.

(ඉතිරි කොටස පසුව ලියමි)

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
05/05/2019.