This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 28 February 2016

මීගමුවේ වතුර ප්‍රශ්නය සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....

මීගමුවේ වතුර ප්‍රශ්නයක් තිබේ. ඒ වතුර නැතිකම නොවේ. බොහෝ තැන්වල අඩි කිහිපයක් කැපූවිට පවා වතුරු සොයාගත හැක. එහෙත් වතුර ලවන රසින් යුතුය. විශේෂයෙන්ම මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි මීගමුවේ වෙරළ අද්දර බොහෝ ප්‍රදේශවල මෙන්ම කලපුවත් මුහුදටත් මැදිව පිහිටි මුන්නක්කරය, තලාදූව, දූව, පිටිපන, තලාහේන, බසියාවත්ත, දුන්ගාල්පිටිය, පෝරුව ආදියෙහිද, උතුරැ කෙලවරේ පිහිටි පෝරුතොට, පල්ලන්සේන ආදී ප්‍රදේශවලද,  කට්ටුව, පලගතුරේ, දළුවකොටුව සහ දළුපොත ආදී බොහෝ ප්‍රදේශවලද වතුර ලවන රසින් යුතුය. එහෙයින් මීගමුවේ වතුර ප්‍රශ්නය යනුවෙන් හදුන්වනුවේ ලවන රසින් තෝර පිරිසිදු ජලය සපයා ගැනීමය. 

අතීතයේ පටන් පැවති මෙම ප්‍රශ්නය ඒ කාලයේ විසදාගත් එක් ආකාරයක් ගැන මීට වසර 165කට පමණ පෙර එනම් 1849 දී An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) නමින් කෘතියක්  ලියන Charles Pridham දක්වයි. ඔහු මීගමු කුට්ටිදූව ප්‍රදේශයේදී මැටියෙන් තැනූ හිස් භාජන රාත්‍රීකාලයේදී වැල්ලේ ගිල්වා තබා උදෑසනදී පිරිසිදු, මිහිරි රසැති වතුර රැස්කිරීම සදහා යෙදවූ පිරිස් සිටි බව වාර්තා කරයි. එම කෘතියේ 641 පිටුවේ දැක්වෙන එම විස්තරය ඔහු රචනා කර ඇත්තේ මෙසේය: 'The water is extremely brackish, unless it be procured from Kottidewe, or Children's Island, where persons are employed for the purpose of sinking pitchers, in the sand over-night, which in the morning are found full of pure and sweet water that has filtered in the interval' Charles Pridham, (1849), An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) T. and W. Boone 29 New Bond Street, London, page 641. මීගමුව ගැන ඔහු තවත් විස්තර දක්වා ඇති අතර එම කරුණු කාරණා පසු දිනක සටහන් කිරීමට බලාපොරොත්තුවෙමි.

මෙම කරුණට තවත් එකතු කිරීමක් කරන R. L. බ්‍රෝහියර් (R.L. Brohier) ගේ 'Links between Sri Lanka and the Netherlands' (1978) කෘතියේ දක්වනුයේ ලන්දේසීන් මීගමුව දිස්ත්‍රික් පරිපාලන ඒකකය සදහා භාවිතාකල ලාංචනය (Coat Arms)වන,  'වතුර සහ බදුන' ලාංචනය  මීගමුවේ මෙම වතුර එකතු කිරීමේ ආකාරය සහ මේ පළාතේ පැවති මැටි කර්මාන්තය මත පදනම්ව නිර්මාණය කරගත්තක් බවයි. ඔහු එය රචනාකර ඇත්තේ පහත ආකාරයට: 'Perhaps this simple domestic practice, coupled with the fact that pottery was a handicraft in the district, inspired the design for the arms.' (page  36). එම ලාංචනය පහතින් දැක්වේ.
ලන්දේසීන් සිය පරිපාලන ඒකකවල ලාංචන සදහා සෑමවිටම තෝරාගත්තේ එම පළාත් සහ බැදි, එම පළාතටම විශේෂ යමකි. ඔවුහු යාපනයේ ලාංචනය සදහා තල්ගසද, කොළඔ සදහා කොළ පිරි අබ ගසද යොදාගත් අතර මීගමුව සදහා එහින් භාවිතා කර ඇත්තේ  මීගමුව සමග බැදුනු, මීගමුවට සම්බන්ද යමක්ය යන්න පැහැදිලිය. ඉහත විස්තරවල සදහන් ආකාරයේ භාජන කිහිපයක් තවමත් මීගමුවේ  ස්ථාන කිහිපයක මෙන්ම කිහිපදෙනෙකු සතුවද තිබේ. ඒ අතුරින් වැඩිදෙනෙකුගේ නෙතගැටුණු භාජනය වූයේ කලින් මීගමුව Brown's Beach හෝටලය පිටුපස වෙරළේ  තබා තිබු පහත බදුනය. 


කෙසේවුවද, මීගමුවේ වැඩිවෙන ජනග්‍රහණය හමුවේ ඉහත මීගමු කුට්ටිදූවේ වතුර රැස්කිරීමේ ක්‍රමය තවදුරත් භාවිතා කල නොහැකිව ඇති අතර කුට්ටිදූවේ ප්‍රදේශයේ ඉදිකිරීම්ද කුට්ටිදූවේ ඉහත  වතුර එකතු කිරීමේ ක්‍රමය කාලයේ වැලිතලාවට එම භාජන සමගම වළලා දැමීමට හේතුවන ලදී.    

ඉන් අනතුරුව, ජනයා පිරිසිදු ජලය සපයාගත හැකි ළිං තිබු තැන්වලට ගොස් වතුර ගෙනඑම සිරිතක් ලෙස සිදුකර ඇත. මෙම ලිපියේ මුලින්ම එන පින්තුරයේ දක්වනුයේද එවැනි ආකාරයට කළවලට වතුර පුරුවාගත් කාන්තාවක් ඔරුවකින් ගමන්කරන ආකාරයයි. ඇය වතුර රැස් කරගෙන ඇත්තේ මීගමු කොටුව ආසන්න තැනකින් විය යුතුය. මීගමු වැල්ල වීදිය ආරම්භයේ පිහිටි 'ළිං ගෙදර' නොහොත් 'කටු-කුරුදු ගේ' ඉතා මිහිරි, පිරිසිදු වතුර තිබු ළිදක් පැවති කොටුව අසල නිවෙස්වලින් එකකි. ශාන්ත ලූසි (St.Lucy) නිවස ලෙස නිලවශයෙන් හදුන්වන මෙම නිවාස ඉඩම් හිමි වැවිලිකරුවෙකුවූ  බෙන්ටලී ගැස්පර් ප්‍රනාන්දු (Bentley Gaspar Fernando) මහතාට අයත්ව තිබු අතර දැන් එහි පදිංචිව සිටිනයේ ඔහුගේ මුනුබුරෙකුවන අමිත්ත්‍රනාදන් (Amirthanathan) මහතාය. ඔවුන් සතුව එසේ වතුර රැස්කල හෝ වතුර රැස්කිරීමට පැමිණි පිරිස් ඔවුන්ට තෑගිකල භාජන කිහිපයක් වේ. එය පහතින් දැක්වේ. තවද මෙම ලිපියේ මුලින්ම එන පින්තුරයේ  වතුර  භාජන රැගත් ඔරුව ගමන්
කරනුයේ මුන්නක්කරය
ප්‍රදේශයට විය යුතුය.  එහි 
පසකින් ඇති මීගමු කොටුවේ පිහිටි එංගලන්ත
සභාවට අයත් ශා. ස්ටීවන්
පල්ලිය 1936 දී පැවති ආකාරය ඉතා දැකුම්කළුය.  හද කම්පාකරවන සුළුය.
එය මා මෙතෙක් එකතුකර ඇති මීගමුව සම්බන්ද ඡයාරූප, ලිපිලේඛාන, post card සහ වාර්තා ආදිය අතර ඇති  වඩාත් සිත්ගත් පින්තුර අතරින් එකකි. 


තවද මීගමුවේ වතුරගෙන යන කාන්තාවන්ගේ තවත් ඡයාරූපයක් 1910දී පලකල Henry William Cave ගේ (1910) 'The Ceylon Government Railway' කෘතියේදවේ. එය මෙම ලිපියේ අවසානයට පළවේ. මීගමු රේගුපාරේ මැද සිටගෙන ඇති මෙම ඡයාරූපයේ වතුර ගෙනයන කාන්තාවන් පමණක් නොව, එවකට පැවති මුන්නක්කරය මහ පාලමද, පැරණි ලන්දේසි නගර සංවර්ධන සැලැස්ම අනුව ඉදිවූ කලපුව අසල බැම්මේ කොටසක්ද, රා, අරක්කු, බියර් හෝ වෙනත් මත්පැන් ප්‍රවාහනය සදහා යොදාගත් පීප්ප කිහිපයක්ද ඇතිබව එම ඡයාරූපය හොදින් බැලූවිට පෙනේ. 

කෙසේවුවද, මීගමුවේ වතුර ගැටළුවට ස්තීර විසදුමක් ලැබුනේ මීගමුවට ජාතික ජලාප්‍රවාහන මණ්ඩලය විසින් මහඔය පදනම් කරගනිමින් ජලය සම්පාදනය කිරීමට ආරම්භ කිරීමත් සමගය. ඒ විජයපාල මෙන්ඩිස්  මහතා මීගමුවේ නගරාධිපතිවරායව සිටි සමයේය. මුලින්ම උස්‌ටැබවල්  බදු ජල ටැංකි ඉදිකර ජලනළ මගින් ජල සම්පාදනය කිරීම සිදුකළහ. අදටත් පෙරියමුල්ල අභයසිංහපුර, කාමච්චෝඩයේ සහ කොච්චිකඩේ නගරය යන ප්‍රදේශවල මේම වතුර ටැංකි දැකිය හැක. පසුව 1980 දශකයේදී  මීගමුව 'සෝන්ඩර්ස්' පාරේ ජල පිරිපහදු සහ ජලාප්‍රවාහන ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග නළජලය සැපයීම ක්‍රමවත් කරන ලදී. අද මීගමුවේ පිටිපන, පිටිපන විදිය, පේරුව සහ පෝරුතොට වැනි ස්ථාන කිහිපයක හැර මීගමුවේ බොහෝ පාරවල් අසල එවැනි පොදු ජලනළ හෝ කරාම දැකිය නොහැක. කලක් එවැනි පොදු ජලනළ බහුලව දැකිය හැකිවූ වූ අතර එම ජලනළ අසල වූ ගෙඩි, පනිට්ටු, බාල්දි, බාස්කට්, කෑන් ආදියෙන් සමන්විතවූ පෝලිම මීටර් කිහිපයක් දිගුවිය. ඒ වෙනුවට අද සීයට අනුවකට (90%) වඩා මීගමුවේ නිවෙස්වලට ජලය සපයා තිබේ. එහෙත් මීගමු ජලාප්‍රවාහන මණ්ඩලය කිසිවෙකු පදිංචි නැති හිස්ඉඩම් වලට ජලය සැපයීම ප්‍රතික්ෂේප කර තිබේ. එය එක් ආකාරයකින් අදායමක් ලැබන්නේ නැති, බිලක් කැඩෙන්නේ නැති තැන්වලට ජලය සැපයීම නොකරන බවට ඉගියකි. ජල බිලද මීගමුවේ ජනයාගේ තවත් ප්ර්ශනයකි. එහෙත් ඔවුන් ඒගැන මැසිවිලි නගනවාට වඩා ජලය මෙන්ම ධනයද පරිස්සමින් කළමනාකරණය කරගනිති. සීයට සීයක්ම මීගමුවේ ජල ප්‍රශ්නය විසදාගැනීමට ආසන්න මේ මොහොතේදී අප පසක්කල යුතු කරුන වන්නේ එය අපේ  ජනයා ඉතිහාසය පුරාම වදවිදි ගැටළුවක් බවත්, එය  කාලාන්තරයක් පුරාම මීගමුවේ ජනයා ඉල්ලා සිටි ඉල්ලීමක ප්‍රතිපලයක් බවත්ය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
(28/02/2016).

Tuesday, 23 February 2016

අභාවයට ගිය කලාවක් ජීවත්කල ඇන්ටන් ජෝන්ස්

මම ඇන්ටන් ජෝන්ස්ගේ රසිකයෙකු නොවේමි. එමෙන්ම, මම ඇන්ටන් ජෝන්ස්ගේ රසිකයෙකු නොවන්නේකුද නොවෙමි. එය ද්ත්ව-නිශේධන තර්කයක් මෙන්ම විරුද්ධාභාෂ තර්කයක්වීමටද, එසේ නොවීමටද පුළුවන. එහෙත් මට කීමට  ඇත්තේ මම ඔහුගේ  රසිකයෙකුවුවද, නොවුවද මා හැදීවැඩුනේ ඔහුගේ ගීත නිතර ඇසෙන වටපිටාවකය. ඒ මීගමුවේය.  මීගමුවේ බොහෝ නිවෙස්වල පමණක් නොව, 'කොරොස්ම' (පාස්කුකාලය) කාලය හැර බොහෝදුරට අනෙක් සෑම   සති අන්තයකම පාහේ යෙදෙන පල්ලියේ මංගල්ලයක් වෙනුවෙන් පවත්වන සංගීත සංදර්ශන සදහා ඇන්ටන් ජෝන්ස් නොවරාදවාම සහභාගීවූ කාලයක් තිබුණි. නැත්නම් වෙනකවුරැන් හෝ ඔහුගේ සින්දු කියනු ඒකාන්තය. ඒහින් ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු මාගේ කනට ඉතා හුරුය. ඇතැම් පදවැල් පවා තවමත් මතකය.

ඒ අතර, 1971 අප්‍රියල් කැරැල්ල සමයේදී  ඉතා සහාසික ලෙස මරා දැමූ ප්‍රේමවතී මනන්පේරී තරුණියගේ ඝාතනය ගැන ඔහු ගැයූ "ප්‍රේමවතී මනන්පේරී තරුණිය......., කතරගමේ සිටිය රූප රැජිණිය......" ගීතයද, 
1974/12/04 දින ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටි සප්ත කන්‍යා කදුවැටියේ හැපී  191 දෙනෙකු මරු කැදවූ 'මාර්ටින් එයාර්' සමාගමට අයත් C. D. 08 ගුවන් යානා අනතුර ගැන ඔහු    ගැයූ  "කන්දේ    හැපුනා මහා වනාන්තරේ.. සී. ඩී. අට අහස් යන්තරේ, මාරුවා ආකල මිතුරේ බේරෙන්න බැහැ සසරේ....."යන ගීතයද

1982 දී සිය බිරිද, දරුවා සමග ඩොලර් 300,000ක් ඉතාලි රජයෙන් ඉල්ලා මගීන් 340ක් සිටි අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයින්ග් 747 ගුවන් යානය පැහැර ගත් සේපාල ඒකනායකගේ කථාව...  "ගුවන් ගමන් ඉතිහාසයේ පිටුවක් පෙරලා, සියුම් ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා .. අමුනුෂ්‍යය කමයි දක්ෂකමයි එකට එක්කලා, ලක්ෂ 60 යි අබු දරුවෝ ගත්තා බේරලා.........." යන  ගීතයද,  
"පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ.......', සමන් කුමාර දරුවා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා මරාදැමීම ගැන ලියවුනු "බුදුන් තුන්වරක් වැඩි ශ්‍රී ලංකා ද්වීපය..කුමක්ද මේ ලංකාවටවුනු විනාශය..'' ආදී ගීතයද, 'අසයි බයයි ඒ බෝට්ටුවේ නමයි....", "මඩකලපුව, අම්පාරේ, කල්මුනේ, සමන්තුරේ......", "අදින්න මිනි ගවුම අදීන්න...." ආදී  බොහෝ ගීතවල පද  මට තවම මතකය. 

මෙලෙස ඔහු ගැයූ ගීත අතර විනෝදාත්මක, වීරත්ය ගැන මෙන්ම  ශෝකානුකූල  ගීතද විය. මීගමුවේ පල්ලි වල මංගල්ලවලට ගී ගැයීමට ඔහු පැමිණිවිට අදාල පල්ලියේ ශාන්තතුවරයා හෝ ශාන්තතුවරිය වෙනුවෙන් ඒ මොහොතේම  තැනූ ගීතයක් ගැයීම  ඔහුගේ සිරිත වී තිබුණි.  සංගීත ප්‍රසංග සදහා ගී ගැයීමෙදී ඔහු බොහෝ දුරට ගැයූවේ "අදින්න මිනි ගවුම අදීන්න", "සිගීරි ගිරි ශිඛරය කසුපු රජගේ බල කොටුවයි", "ශාන්ත අන්තෝනි මුනිතුමා", "කොමල පපා, මුකුළු පපා අපේ ලගට එන්නකෝ ", "පොළොන්නරුවේ පොඩි විජේ" ආදී ගීතය. 

එහෙයින් අඩන්න ඕනෑ ගීතවලට  ඔහු නටන්න සින්දු කීවේ නැත. ඔහුගේ වඩා ජනප්‍රිය වූ ගීතයවූ 'ප්‍රේමවතී මනන්පේරී' වැනි ගීත ඔහු කිසිදුවිටක සංගීත සංදර්ශනයක කියනු මම අසා නැත. ඒහින්, ඔහුට තැන නොතැන ගැන පැහැදිලි අවබෝදයක් තිබුණි.  
1937 දී කොළඹ, හල්ස්ඩොරෝෆ් පාරේ, බර්ගර් පවුලක උපන්  ඇන්ටන් ජෝන්ස් වෘත්තීයෙන් බංකු සේවකයෙක් විය. 1970 දශකයේදී ගීත ගායනයට එළබෙන ඔහුගේ බොහෝ ගීත රචනා කර ඇත්තේ තොටළග ටේලර් කෙනෙක් වූ  ජේ.ඩී. සුමතිපාල සහ ඇන්ටන් අයිසෙක් විසින් බව මම අසා ඇත. ඔහු ඒ බව, ලංකාවේ දිළිදු ජනයාට සහ කලාකරුවට නිතර අත-හිත දෙන ස්විඩනයේ පදිංචි රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රියාත්මක කරන 'මීගමුවේ රොෂාන් පදනම' විසින් 2012 දී සංවිධානය කල ශ්‍රී ලංකාවේ බයිලා ගායකයන් වෙනුවෙන් මීගමුවේ පැවැත්වූ උපහාර උළෙලේදී ද සනාථ කරන ලදී. එම උපහාර උළෙලේල දිගුකලක් අසනීපවී සිටි ඔහුට  දැක්වූ මහත් ප්‍රනාමයක් වූ අතර  ඇන්ටන් ජෝන්ස් මහතා ප්‍රසිද්දියේ ගී ගැයූ අවසාන අවස්ථාව එය වියයුතුය. 

ඇන්ටන් ජෝන්ස් මහතා ගායකයෙක් ලෙස සත්‍ය සිදුවීම පදනම් කරගත් ගී ගැයීම සම්බන්දයෙන්  විශාල නමක් දිනාගෙන සිටි ගායකයෙකි. වරක් ලංකාවේ ළමා රක්ෂණ අධිකාරියේ සේවය කල මාගේ මිතුරෙක් පැවසූ ලෙස, ලංකාවේ ළමයෙක් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ ප්‍රථම සිද්ධිය ලෙස සලකන සමන් කුමාර දරුවාගේ මරණය ගැන සැකවින් දැනගැනීම සදහා ඔහු සිදුකර ඇත්තේ ඇන්ටන් ජෝන්ස් මහතා ඒ සම්බන්දයෙන් ගයා ඇති ගීතය ශ්‍රවණය කිරීමය. ඒ අනුව ඔහු සිය ගායක දිවිය තුල අපරාධ වාර්තා සැකවින් සකසා තැබීමද සිදුකර ඇත. එපමණක් නොව ප්‍රේමවතී මනන්පේරී  ඝාතනය, සප්ත කන්‍යා ගුවන් අනතුර, පොඩි විජේ සහ සේපාල ඒකනායක ගැන, නිල්වලා ගගේ අනතුර, නැගෙනහිර සුළි සුළග ආදිය ගැන වර්තමාන පරපුරට දැනගැනීමට ක්‍රමයක්ද ඉතිරිකර ගොස් ඇත. මන්ද අද එවැනි දෑ පිලිබදව කිසිදු අවබෝධයක් නුතන පරපුරට නැති අතර මාධ්‍ය මගින්ද එවැනිදෑ ගැන දැන ගැනීමට ඇති ඉඩ අඩුය. අනෙක් අතට, ඒවෙනි මාතෘකාවන් ගැන ගී ගැයූ එකම ගායකයා ඔහු පමණක්ම විය. 

ඒ සියල්ලටම වඩා ඇන්ටන් ජෝන්ස් අපේ රටේ නැතිවී ගිය කලා සම්ප්‍රදායක් නවීකරණය කර ඉදිරියට ගෙන යෑමට කටයුතුකල  අද්විතීය කලා කරුවෙක් බව මම දක්වමි. නැතිවී ගිය කලා සම්ප්‍රදාය ලෙස මා මෙහිදී දක්වනුයේ 'බයිලා' ගායනා නොවේ. කවි කොළය. දැනට දශක ගනනාවකට පෙර ලංකාවේ සිදූවන බොහෝ සත්‍ය සිදුවීම් සම්බන්දයෙන් කවි කොළයක් නිකුත්වූ අතර කවියන් බස් රථවල, දුම්රියවල හෝ වෙනත් මහජනයා රැස්වෙන ඕනෑම තැනක එම  කවි කොළය කියවමින්, කවි කොළ විකුණමින්, මහ ජනයාට හෘදයාන්ගම පුවත් බෙදාහරිමින් ජීවිකාව ගෙවුහ. එසේ කවි කොළ කියූ, කවි කොළ ව්‍යාපාරයක්සේ කරගෙන ගිය T.B. තෙන්නකෝන් (වර්තමාන ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ පියා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පළාත් සභා මංත්‍රීවරයාගේ සීයා) 1956 දී දබුල්ලෙන් පාර්ලිමෙන්තුවට පවා තේරීපත් විය. එහෙත් ගුවන් විදුලිය හෙවත් රේඩියෝවේ නැගීමත් සමග 'කවි කොළ කලාව' අතුරුදහන්විය. මෙසේ අභාවයට ගිය 'කවි කොළ කලාව' ඇන්ටන් ජෝන්ස් විසින් නැවත ජීවත් කල බවට මම තර්ක කරමි. ඔහුගේ සියළුම ගීත පැහැදිලිවම කලකට පෙර කවි කොළවල පලවන ආකාරයේ පුවත් රැගත් ගීතය. ඇන්ටන් ජෝන්ස් එම සම්ප්‍රදාය නුතන විකාශන මාධ්‍යන්ට ගැලපෙන ලෙස, වේග රිද්මය සමග මුසුකර  බයිලා ගායනයක් දෙස සමාජයට රැගෙන යනලදී. එය කවි කොළයටත් වඩා ප්‍රබලය. එහෙත් මුල් පදනම එකමය. ඇන්ටන් ජෝන්ස් කර ඇත්තේ හුදු බයිලා ගායකකුට වඩා 'කවි කොළ කලා සම්ප්‍රදාය' නවීකරණයකර නුතන ශ්‍රාවකයාට රැගෙනයාම බව මගේ තර්කයය. එනයින්, ඇන්ටන් ජෝන්ස්ට ලංකාවේ අද බොහෝ ගායකයන්ට වඩා සුවිශේෂ අනන්‍යතාවයක් තිබේ. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
23/02/16

Saturday, 20 February 2016

'ගී කියන කුරුල්ලා මරාදැමීම පාපයකි' - හාපර් ලී: ඔබ සමාදානයේ සැතපේවා !!!

පසුගිය වසරේ (2015) ජුලි මාසයේ දිනක ලන්ඩන් නගර මාධ්‍යයේ පිහිටි සියලුම ප්‍රධාන පොත් කඩවල් මාධ්‍යම රාත්‍රිය දක්වාම විවෘතව පැවතිනි. රාත්‍රී 07වන විටත් Trafalgar Square හී Waterstones පොත් සාප්පුව ඉදිරිපිට වූ පෝලිම අඩුම තරමින් නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දක්වාවත් දීර්ඝ විය. Charing Cross පාරේ පිහිටි ෆොයිල්ස් (Foyles) පොත් සාප්පුවේද තත්වය එයම බව මට මිතුරෙක්ගෙන් දැන ගැනීමට ලැබුණි. සාමාන්‍යයෙන් මෙවැනි පෝලිම්ගැසී කඩ ඉදිරිපිට ජනයා රැස්කකා සිටින්නේ නත්තල් දිනට පසුදා එලෙබෙන Boxing Day සේල්වලට හෝ Black Friday සේල්වලටය. ඒත් ඒ brand label ඇදුම්, ඉලෙක්ට්‍රොනික් බඩු හෝ ගේදොර බඩුමුට්ටු මිලට ගැනීමටය. එහෙත්, පොතක් මිලදී ගැනීමට පොත් සාප්පු ඉදිරිපිට මෙවැනි ආකාරයෙන් දිග්ගැස්සුනු පෝලිම් ගැන ඇසූවිට ලංකාවේ අපිට නම්  පුදුම හිතෙනු ඇත. 

නමුත් විස්තරය දන්නා අයට නම් එහි අරුමයක් නැත. මන්ද ජනයා එසේ පෙළගැසී සිටියේ  හාපර් ලී (Harper Lee) නම් ඇමෙරිකානු ජාතික නව කථාකාරියගේ දෙවන පොත වන 'Go Set a Watchman' නවකථාව මිලට ගැනීමටය. ඇරත්, ජනයා මෙසේ පෝලිම්ගැසී සිටිනුයේ ඇගේ මෙම නවකථාව මුද්‍රණය  වී ඇත්තේ සීමිත පිටපත් කිහිපයක් පමණක් බව කලින්ම නිවේදනය කර තිබු නිසාය. තවද,  ඒවන විටත් 88වන වියේ පසුවූ ඇය, බොහෝදුරට පලකරන අවසාන නවකථාව මෙය වියහැකි බව බොහෝදෙනා විශ්වාස කළ නිසාය. ඒ සියල්ලටත් වඩා, ඇය මෙලෙස නැවත නව කථාවක් පලකනුයේ ඇගේ මුල්ම සහ එකම නවකථාවවූ 'To kill a Mockingbird' (1960) පලකර වසර 55කට පසුවය. ඇය පලකල එම එකම නවකථාව ඇයව සාහිත්‍යය ලෝකයේ ඉහලින්ම ඔසවා තබා තිබුණි. ඇයගේ 'To kill a Mockingbird' නවකථාව ඇමෙරිකාවේ නම් සලකනුයේ 'සෑම ඇමරිකානුවෙක්ම කියවිය යුතු නවකථාවක්' ලෙසය. බ්‍රිතාන්‍යයේ නම් එය සලකනුයේ 'බයිබලයට පමණක් දෙවෙනි අධ්‍යාත්මක සහ සදාචාරාත්මක ඇගයුම් සහිත කෘතියක්' ලෙසය. එනයින්ම, ඇයගේ මුල්ම නවකථාව ලෝකයේ යම් කලාපයක වෙසෙන මිනිසුන් පිරිසකගේ ආකල්ප වෙනස්කල, ඔවුන් තුල පහන් ගැහීම් මතුකළ, ඔවුන් ජීවත්වූ සමාජය වඩා යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමට මගපෑදූ කෘතියක් බව පැහැදිලිය.

හාපර් ලී හෙවත් Nelle Harper Lee උපන්නේ 1928 දී ඇමරිකාවේ ඇලබාමා (Alabama) ප්‍රාන්තයේය. ඇය සිය ළමා කාලය ගෙවනුයේ උග්‍ර ආර්ථික අර්බුදයක් පැවති 1930 දශකයේය (the great depression). එමෙන්ම, ආර්ථික අර්බුදය සමාජ අර්බුධයක් බවට පත්ව අමෙරිකාවේ කළු-සුදු වර්ග භේදය උඩුදුවමින් පැවති යුගයකය. විශේෂයෙන්ම, ඇය ජීවත්වූ ඇලබාමා(Alabama) ඇතුළු දකුණු ඇමෙරිකානු ප්‍රාන්තවන දකුණු කැරලයිනා (South Carolina), ලුසියානා (Louisiana), මිසිසිපි (Mississippi) වැනි ප්‍රදේශ සුදු වර්ගවාදය මුල් බැසගත් ප්‍රාන්ත ලෙස සැලකන ලදී. එම පළාත්වල විසූ කළු ජාතිකයන්ට, සුදු ජාතිකයන්ගෙන්  විවිධ අමානුෂික වදහිංසාවලට මුහුණපෑමට සිදුවූ  බව  ප්‍රකටය. හාපර් ලී 'To kill a Mockingbird' (1960) නවකථාව පදනම් කරගන්නේ ඇය ජීවත්වූ මෙම නිර්ධය වටාපිටාවය.

නවකතාව කේන්ද්‍ර කරගන්නේ හය හැවිරිදි  ස්කවුට් හෙවත් Jean Louise Finch (Scout) නම් ගැහැණු දරුවාය. ඇය එක්තරා ආකාරයකට හාපර් ලීගේම ළමාවිය නියෝජනය කරන චරිතයකි. අනෙක් චරිතවනුයේ ඇගේ වැඩිමහල් සොහොයුරා වන ජේම් (Jem), පාසැල් නිවාඩු කාලයේදී පමණක් ඔවුන් ජීවත්වන ඇලබාමා හී මේයිකොම්බි (Maycomb) නම් කුඩා නගරයට පැමිණෙන ඩිල් (Dill) නම් මිතුරා සහ ඇටිකස් (Atticus Finch) නම්  ඔවුන්ගේ නීතීඥයෙකුවන පියාය. ඇය ජීවත්වන පවුලේ මව මියගොස් ඇති අතර ගෙදර වැඩට කළු ජාතික කාන්තාවක් වේ. ස්කවුට්, ගස් කෝලන්වල නගිමින් සිය සොහොයුරා සමග හරි හරියට කොලුවැඩ කරන තරමක කොලුකෙල්ලේකි. ඇයට ප්‍රථමයෙන්ම ඇතිවන කුතුහලය වනුයේ සිය පියාට විවිධ දෑ ගෙන එන 'කනින්හැම්' (Cunningham) නම් ගොවියාගේ දිලිදුකමය. අනතුරුව ඇය ඇතුළු ළමයින් තිදෙනාගේම කුතුහලය යොමුවන්නේ අවට නිවාසක සිටින ළමයෙකු කවදාවත් එලිය නොයන්නේ ඇයි යන්න ගැනය. 'බූ' යනුවෙන් හදුන්වන එම ළමයා, මන්ද මානසික හෝ කිසියම් අබාධයකින් පෙලෙන භයානක ළමයෙක් බව අහල පහල වැඩිහිටියන්ගෙන් ඔවුන්ට දැනගැනීමට ලැබේ. ඊලගට සිය පියාට අනෙක් ඇමෙරිකාවන් මෙන් තුවක්කුවක් නැත්තේ ඇයි?  ඔහු පාපන්දු ක්‍රීඩාවට යන්නේ නැත්තේ ඇයි ආදී ප්‍රශ්නය. 


එහෙත් ඔවුන්ගේ ළමා ලෝකයට නියම ප්‍රශ්නය පැමිනෙන්නේ සිය පියා සුදු ජාතික ස්ත්‍රීයක් දුෂණය කිරීම සම්බන්දයෙන් දෙවේෂ්සහගත ව්‍යාජ චෝදනාවක් ලබන කළු ජාතිකයෙක් වෙනුවෙන් නීතීඥයෙකු වශයෙන් පෙනීසිටීමත් සමගය. එය සිය පියාට සුදු ජාතිකයන් අතර දැඩි වර්ගවාදීගෙන් අවමානයත්, කළු ජාතිකයන් අතර ඉහල පිළිගැනීමත් ඇති කරවන්නක්වේ. එහෙත් නඩුවේදී ඉහත දරුවන්ගේ පියා (ඇටිකස්) සාක්ෂි සහිතව කළු ජාතිකයා  නිර්දෝශ බව ඔප්පු කලද ජුරිය කළු ජාතිකයාව වරදකරුවා කරයි. 

එය, සමාජය කෙතරම් වර්ගවාදීද, කෙතරම් වැරදීද යන්න නඩුව නැරබීමට යන මෙම ළමයින්ට පසක්කරදේ. එයටත් වඩා භයංකර වනුයේ, දුෂණයට කළවුවායැයි කියන සුදු ජාතික ස්ත්‍රීයගේ පියා මෙම දරුවන් ඝාතනය කිරීමට තැත් කිරීමය. එසේ වනුවේ එම නඩුවේදී   අදාල ස්ත්‍රීය  දුෂණයට කළවී නොමැති බවත්, ඇය කළු ජාතිකයා ගැන ඇතිවූ ආශාව නිසා ඔහුව පොළබවා ගැනීමට උත්සහ කරඇති බවත්, එම ස්ත්‍රීගේ පියා විසින් ඇයට එමනිසා දරුණු ලෙස පහර දී බොරු චෝදනා නගා ඇති බවත් උසාවියේදී මහජනයා ඉදිරියේ ඔප්පු කිරීම නිසා ඔහු උරණ වන නිසාය. එම දරුවන්ව ඒ මාරයාගෙන් ගැලවා ගන්නේ මන්ද මානසික හෝ කිසියම් අබාධයකින් පෙලෙන භයානක ළමයෙක් ලෙස සමාජයෙන් සගවා තබන 'බූ' නම් අසල්වැසි ළමයාය. 

මේ සියල්ල හමුවේ මෙම ළමයින්ගේ  සමාජ දෘෂ්ටිය සකසන්නේ සිය පියා විසිනි. කිසිවෙක් සමග සන්ඩුවට නොයන්න, සැමට සාධාරණව සලකන්න, පොදු එකගතාවන්ට පැමිනෙන්න, වෙඩි තියන්න ඉගෙන ගත්තද මිනිසාට කිසිම කරදරයක් නොකරන Mockingbird වැනි ගී කියන කුරුල්ලන් වැනි අහිංසකයන් මරාදැමීම පාපයකි, මුහුණට කෙළ ගැසුවත් ගැටුම් වලට නොගොස් නීතියානුකුලව කටයුතු කරන්න ආදී අදහස් මෙම දරුවන්ගේ පියා වන ඇටිකස් විසින් නිතර  කියාදෙයි.

එහෙත් මුළු නවකථාව පුරාම ඉහත සියළු සිදුවීම් සහ සංවාද දිගහැරනුයේ  මා ඉහත සදහන් කර ඇති වාර්තාකරණයට වඩා ඉතා සිහිල්, සිනිටු සහ ආකර්ශ්නීය කථා විලාසයකිනි. විශේෂයෙන්ම ළමයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කථාව දිග හැරෙන නිසා පාඨයන්ට මේ සියළු සිදුවීම් කෙරෙහි ඇති කරනුයේ කම්පාවක් මුසුවන පශ්චාත්තාපයකි.

විශේෂයෙන්ම, ඇය මෙම කෘතිය පලකල 1960 දශකයේදී පැනනැගී, මාටින් ලුතර් කින්(Martin Luther King, Jr.), මැල්කම් එක්ස්(Malcolm X) ආදීන් නායකත්වය දුන් ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (African-American Civil Rights Movement) මතුකළ කරුණු ගැන වඩා සානුකම්පිත ආකාරයකින් බැලීමට  ඇමරිකානු ජනයාව යොමුකිරීමට මෙම නවකථාව මහගු සේවයක් කලබව පෙනේ. එහෙත් එය කිසිම අයුරින් රුසියානු විප්ලවකාරී දේශපාලන ක්‍රියාකාරීත්වයන් (Russian Revolution 1905-1917) මතුවූ සමයේ මැක්සිම් ගෝර්කිගේ (Maxim Gorky) 'අම්මා' (The Mother-1907) නවකථාව සිදුකල කාර්යභාරයට කිසිම ලෙසකින් සමාන නොවේ. ඒ වෙනුවට 'To kill a Mockingbird' නවකථාවේ දායකත්වය වඩාත් සමපාතවනුයේ 1960 දශකයේදී  ඇමෙරිකානු ක්‍රිස්තියානි සභාවල් එකට එක්වී ගොඩනගාගත් 'කිතුනු වටිනාකම් මුල්කර ගත් වර්ගවාදයෙන් තොර, සාදාරණ සහ යුක්ති සහගත ඇමෙරිකානු සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කාර්යභාරයටය. එම ක්‍රිස්තියානි සභාවල් නිලවශයෙන්  කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට සහය පලකල, කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී. හාපර් ලීගේ 'To kill a Mockingbird' (1960) නවකථාව ඇමෙරිකාව තුල ජනප්‍රියවීමට ඉහත සමාජ-දේශපාලන පෙළගැසීම්ද හේතුවන්නට ඇත. කෙසේවෙතත් එය කිසිම ලෙසකින් දේශපාලන නවකථාවක් නොවේ. එය බොහෝ සෙයින් හැදින්විය හැක්කේ ළමා නවකතාවක් ලෙසය.

තවද, හාපර් ලීගේ 'To kill a Mockingbird' නවකථාවේ ඇය භාවිතාකල 'ගොතික්' ශානරයද මෙම නවකථාවේ සාර්ථකත්වයට සහ එය සමාජයමත විශාල බලපෑමක් ඇතිකිරීමට ඉවහල්වූ බව පෙනේ. සාමාන්‍යයෙන් අදුරු, බිහිසුණු මිනීමැරුම්, ගුප්ත අපරාධ ආදිය කැටිකොටගත් නවකථා සදහා නවකථාකරුවන් බහුලව භාවිතාකරන 'ගොතික්' ශානරය ඇය මෙම නවකතාවට භාවිතාකර තිබීම තුල පාඨයන්ට මෙම කතාවේ දරුවන් ජීවත්වන සමාජය කෙතරම්  අදුරු, බිහිසුණු සමාජයක්ද, අප ඔවුන් එයින් මුදාගත යුතු නොවේදැයි යන්න නිතැතින්ම ඒත්තු ගන්වයි.

ඇයගේ මෙම නවකථාව කළු-සුදු චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනයකර ඇති අතර එය නවකථාවක් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට සමත්වූ   චිත්‍රපට කිහිපයෙන් එකකි. හාපර් ලී ගේ නාමයත්, ඇයගේ 'To kill a Mockingbird' නවකථාවත් පාඨකයන් තුල තවදුරටත් ජීවත් කිරීමට එම චිත්‍රපටය සමත්වී ඇත. ඇය එක් නවකථාවක් පමණක් ලීයූවද, එමගින් ඇය සමාජය තුල ඇති කළ චින්තන විපර්යාසය කෙබදු ආකාරවුවක්දැයි යන්න  එම චිත්‍රපටය නැරබීමෙන් පමනක් පවා උකහාගත හැකිබව මාගේ විශ්වාසයයි. 1961 දී ඇමරිකාවේ නුතන ශාස්ත්‍රීය සාහිත්‍ය නිර්මාන සදහා පිරිනැමෙන ඉහලම සම්මානයවන 'Pulitzer Prize' සම්මානයෙන්ද, 2007 දී ඇමරිකානු සාහිත්‍ය සදහා හිමිවන ජනාධිපති සම්මානය ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා අතින් ඇය හිමිකර ගන්නේද ඉහත පසුබිම තුලය.

එහින් සමාජයක්, පරම්පරා ගණනක් නැවත සිතන්නට යොමුකර මනුෂ්‍යත්වය පසක්කර දුන්, හාපර් ලී ඔබ සමාදානයේ සැතපේවා !!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
20/02/2016.

Tuesday, 16 February 2016

ලන්ඩන් නිදහස් දින සමරුව ගැන පසු අදහසක්

ඉකුත් පෙබරවාරි 04 දිනට යෙදුන ශ්‍රී ලංකාවේ 68වෙනි නිදහස් දිනය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබු සමරු උත්සවයට සහභාගීවීමට ලැබුණි. 

වැඩබලන මහ කොමසාරිස්තුමා වන සුගීෂ්වර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවති අතර ජාතික ගීය සිංහලෙන් ගයා, පොල්තෙල් පහන දල්වා, ආගමික වතාවත් සිදුකර, වැඩබලන මහ කොමසාරිස්තුමා කථාවක් පවත්වා, අනතුරුව ජාතික ගීය දෙමලෙන්ද ගයා උත්සව සභාවේ වැඩ අවසන් කර කැවූම්-කොකිස්-කිරිබත් මෙන්ම වඩේද,  අක්බර් තේ හා නෙස්කැෆේ කෝපිද පිළිගැන්වූ තේපැන් සංග්‍රහයකින් නිමකරන ලදී.

ආගමීක වතාවත් පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේද, සිවාසිරි සුප්‍රනායම් කුරුක්කල්තුමාද, දයා දර්ශන පියතුමාද, මවුලාවි මොහොමඩ් අන්නාස්තුමාද විසින් ද සිදුකරන ලදී. 

රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ධර්මදේශනා සිදුකරන ලදී. ප්‍රථමයෙන් සිංහලෙන් ධර්මදේශනය කල බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකාව වසර 2500කට වඩා කාලයක් තුල විවිධ පරසතුරු අක්‍රමණවලට මුහුණ දෙමින්, ඒවා පරාජය කරමින්, රට-ජාතිය-ආගම ආරක්ෂා කරගනිමින්, අපේ අනන්‍යතාවය සහ නිදහස රැකගැනීමට කටයුතු කල ආකාරය සිහිපත් කලහ. එහිලා දිවිහිමියෙන් කටයුතු කල රජවරු, විරුවන්, කැප්පෙටිපොළ නිලමේතුමා, ශ්‍රී සුමංගල හිමියන් සහ අනගාරික ධර්මපාලද,  හිටපු ජනාධිපති තුමා ඇතුළු අපේ රටේ සියළු  රාජ්‍ය නායකයන්ද එම අවස්ථාවේදී උන්වහන්සේ සිහිපත් කරන ලදී .

අනතුරුව, සිවාසිරි සුප්‍රනායම් කුරුක්කල්තුමා හින්දු ආගමික වතාවත් සිදුකර රටට සහ වැසියන් සුභ පතන ලදී.   
ඉන් අනතුරුව දයා දර්ශන පියතුමා, බයිබලයේ නව ගිවිසුමේ, මැතිව්තුමාගේ සුවිශේෂයේ 5 පරිච්චේදයේ 1-12 වගන්තිවල සදහන්, "සිතින් දිළින්දෝ භාග්‍ය වන්තයෝය, මක්‌නිසාද ස්‌වර්ග රාජ්‍ය ඔවුන්ගේය.... ධර්මිෂ්ඨකම නිසා පිපාසය විඳින්නේ භාග්‍යවන්තයෝය මක්‌නිසාදයත්, ඔවුහු පරිපූර්ණ කරනු ලබන්නෝය.... සාමය ඇති කරන්නො භාග්‍ය වන්තයෝය..." ආදීය සදහන් ජේසුතුමාගේ කන්ද උඩ දේශනය ඇසුරින් මනුෂ්‍ය වටිනා කම් අවධාරණය කිරීමට කටයුතු කරන ලදී. තවද, අතින් බත්කන අපට ඇගිලි පහම ඉතා හොදින් පැවතීම වැදගත් බවත්, එක් ඇගිල්ලක් තුවාලවුවහොත් හෝ හොදින් ක්‍රියාත්මක නොවුනහොත් බත්කෑමට කෙතරම් අපහසුදැයි උපැහරණක් දක්වමින් විස්තර කරන ලදී. ලෝකයේ සුන්දරම රටවලින් එකක් වන ලංකාවේ ඉපදීමට වරම්දීම ගැන දෙවියන්ට ස්තුතිකරමින් සිය ආගමික වතාවත් අවසන් කරන ලදී.

අනතුරුව, ඉස්ලාම් ආගමික වතාවත් සිදුකල මවුලාවි මොහොමඩ් අන්නාස්තුමාද සිය ආගමික වතාවත්වලින් අනතුරුව සුභ පැතුම් එක්කරන ලදී. 

 වැඩබලන මහ කොමසාරිස්තුමාවන සුගීෂ්වර ගුණරත්න මහතා අනතුරුව පැවති සිය කථාවේදී ශ්‍රී ලංකාව කෙතරම් අපුර්ව රටක්දැයි මතුකරන ලදී. අපමණ ගැටළු, ගැටුම් සහ විවිධ අර්බුධ හමුවේ අපි රටක්, ජාතියක් වශයෙන් පෙරට පැමිණ ඇති ආකාරය, ලබා ඇති ජයග්‍රහණය ආදිය එතුමාගේ කථාවට අන්තර්ගතවී තිබුණි. 

එහෙත් ඒ සියල්ලටම වඩා මා සිත්ගත්තේ පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ඉංග්‍රීසියෙන් කල මධුර ධර්මදේශනය. බුදුදහමේ උගන්වන අපරිහානී ධර්මවල එන කරුණු 07 වන 1. සමගියෙන් වාසය කිරීම 2. සාමයෙන් රැස්වීම, සාමයෙන් සාකච්ඡා කර, සාමයෙන් විසිරයාම 3. රටේ ඇති පැරණි නිතී අඛණ්ඩව පිළිපැදීම 4. වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම සහ ඔවුන් රැකබලා ගැනීම 5. සියළු කාන්තාවන්ට ගෞරවයෙන් සැලකීම සහ ඔවුන් සහ ළමයින් රැකබලාගැනීම 6. රටේ ඇති සියළු ආගම්වලට එකහා සමානව සැලකීම 7. තමන්ගේ නගරයට නොවැඩි රහතන්වහන්සේලා වැඩමකරවීම සහ රහතන්වහන්සේලා රැකබලාගැනීම ආදිය එම ධර්මදේශනයේ පදනම විය

එය ඇසූ මට  එකවරම සිහියට නැගුනේ අද මානව හිමිකම් කතිකාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාව මගින්ද අවධාරණය කරන බොහෝ කරුණු කරණා මීට වසර 2500කට පෙර කාලයක වදාල බුද්ධ දේශනයේ ඇතුලත්වී තිබුනා නේද?  ජේසුතුමාගේ කන්ද උඩ දේශනයට වසර 600කට පෙර බුදුන් වහන්සේ ඒ කරුණු මතුකර තුබුණා නේද? දතට දතක් ද, ඇහැට ඇහැක් යැයි උගන්වා තිබූ, මෝසෙස්ගේ දසපනත මුලික නිතිය කරගත්, සම්ප්‍රදායක යුදෙව් සමාජයක ඉපිද-වැඩුන ජේසුතුමන්ට, 'දෙවියන්ට ප්‍රේම කරන්න', 'අසල්වැසියන්ට ප්‍රේම කරන්න', 'වෙෙරය වෙනුවට සමාව දෙන්න' ආදි සිතුවිලි පැමිණියේ පෙරදිග පැවති මෙවන් දර්ශනවලින්දජේසුතුමා ඉන්දියාවට පැමිණ බුදු දහම ඉගෙනගත්තා යැයි ඇතැමුන් තර්ක කරන්නේ ඒම කරුණු මත පදනම්වද? පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු  'යෝ වද තම් පවරෝ මනු ජේසූ'  හුදු ස්ථානෝචිත ප්‍රඥාව පිළිබද ප්‍රකාශනයකට  සීමා කරනවාට වඩා බුදුදහම ('ජේසූ' හෙවත් ජ්‍යෙෂ්ඨ යන අර්ථයෙන්ම) ක්‍රිස්තියානි ආගමට වඩා  ජ්‍යෙෂ්ඨයි නේද ? හෙන්රි ස්ටීල් ඔක්කොට් තුමා ලංකාවට එන්නේ ඒ ක්‍රිස්තියානියට වඩා ජ්‍යෙෂ්ඨ ධර්මය කුමක්දැයි යන්න සොයාගැනීමට නේද? බටහිර බුදුදහම වේගයෙන් පැතිරෙන්නේ, පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ ඉංග්‍රීසියෙන් කල  උක්ත ධර්මදේශනයේදී  සාකච්ඡාකල අපරිහානී ධර්මවල එන කරුණු ආදිය ක්‍රිස්තියානියට වඩා පෙරාතුව බුදුන්ගේ දේශනා තුලින් සාකච්ඡා කර ඇති නිසා නේද ? ආදිය යය. 

එහෙත්, 

පුජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේ සිංහලෙන් කල ධර්මදේශනයේදී මෙවැනි කරුණු සාකච්ඡා නොකළේ ඇයි? 

එතුමන්ගේ සිංහල ධර්මදේශනයේදී ලංකාවේ වසර 2500ක කාලයක් තුලවූ විවිධ පරසතුරු අක්‍රමණ ගැන, රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනීම පිලිබදව, අපේ අනන්‍යතාවය සහ නිදහස රැකගැනීම පිලිබදව සහ දිවිහිමියෙන් කටයුතු කල රජවරු, විරුවන්, නායකයින් සිහිපත් කිරීම මිස ඉංග්‍රීසියෙන් වදාල අපරිහානී ධර්ම ආදි බුදුදහමේ උගන්වන මහා  ඥාන ප්‍රභාව සිංහලෙන් මතු නොකළේ ඇයි? දැයි මට සිතුනි. ඇතැම් විට එය සිංහලෙන් වැදෑරීමට වඩා  ඉංග්‍රීසියෙන් වැදෑරීම එතනට වඩාත් සුදුසුයැයි එතුමන්ට සිතුනේදැයි මම නොදනිමි. එනයින්ම, නැවත මාගේ මනසට ඇදී ආවේ මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය දෙසීමට පෙර  ඇසූ: "රජතුමනි, ඒ බොහෝ අඹ ගසුත්, වෙනත් ගසුත්, හැර තවත් ගස් තිබේද?" යන පැනය හා බැදුණු කරුණුය. 

කෙසේවුවද, උත්සව සභාවේ වැඩ අවසන්වූ පසු, දන්නා හදුනන කිහිපදෙනෙකු සමග සතුටු සාමිච්චියේ යේදී, තේපැන් සංග්‍රහයට පහත මහලට පැමිණි මට, ජාතික ගීය දෙමලෙන් ගැයූනූ විට මහත් ආශ්වාදයෙන්, උස්‌ හඩින්,  එය දෙමලෙන් ගැයූ කාන්තාවක්, සිය පිගානට බෙදාගත් කිරිබත් සහ ලුණු-මිරිස් අතින් අනමින් 'yes, it's true we can't eat rice with a sore finger' (ඉදිමුණු ඇගිල්ලක් එක්ක අපිට අතින් බත් කන්න බැහැ) යැයි කියනු ඇසුවෙමි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/02/2016.

Sunday, 14 February 2016

බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd කියලා දැනගත්තහම බදාගන්න හදන්නේ ඇයි ?

ක්‍රිෂානි ජයසිංහ 'දන්නො බුදුන්ගේ' ගීතය ගායනය කල ආකාරය හරිද? වැරදිද? යන්න ගැන ලාංකීය සමාජයේ මත දෙකක් තිබෙන බව පැහැදිලිය. ඇතමේක් එය ගීතයට සහ ශ්‍රද්ධාවට හානියක් සිදුකර නැති බවද, සමහරක් අය එය එසේ සිදුවී ඇති බවටද වාද කරනු පෙනේ. ඒ සියලු අදහස් විවිධ පුද්ගලයන්ගේ  රුචි-අරුචිකම්, ඇගයුම් සහ පිළිගැනීම් මත පිහිටා ඉදිරිපත්කර තිබේ. 'දන්නො බුදුන්ගේ' ගීතයේ මුල් කෘතිය (original version) ගැන සෙවීමට වෙහෙසවෙන ඔවුන් තම තමන්ගේ පෞද්ගලික රුචි-අරුචිකම්, ඇගයුම් සහ පිළිගැනීම් තාමට ලැබුනේ කෙසේදැයි සොයාබැලීමට උනන්දු නොවේ.  

කෙසේවෙතත් මෙම 'දන්නො බුදුන්ගේ' ගීතයේ මුල් කෘතිය (original version) ගැනද සාකච්ඡාවක්ද තිබුණි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සිය facebook පිටුවේ මෙසේ ලියා තිබුණි: "නිදහස් දිනයේ 'සිරිසඟ බෝ' නුර්තියේ එන ' දන්නෝ බුදුන්ගේ ' ගීය කිෂානි ජයසිංහ විසින් ගයනා කළ ආකාරය 'අපේ කම' විනාශ කිරීමේ තවත් අවස්ථාවක් වශයෙන් හඳුන්වන කතාවලින් මාධ්‍යය පිරිලා . දෙරණ වැඩසටහනකත් 'ගඩොල් බාගයකින් ' ගැසිය යුතු බවට තර්ජනයක් කරනු මම දුටුවා. නුතන සිංහල සංගීතයේ ඉතිහාසය ගැන ටිකක් දන්නා අය හිතනවා මේක ජෝන්ද සිල්වා ගේ නාට්‍යයට විශ්වනාත් ලෞජි නම් ඉන්දීය (පාර්සි ජාතික ) සංගීතඥයා කළ original නිර්මාණයක් කියල. නමුත්ඇත්තටම මේක ලෞජි ලිව්වා නෙමෙයි . එයා සාමාන්‍යයෙන් කලේtunes උස්සන එකයි. ජෝන් ද සිල්වාගේ වචන වලට එයා කවදාවත් ගී නිර්මාණය කලේ නැහැ. එයා ඉන්දියාවෙන් ගෙනාපු ready made තනුවලට ජෝන් ද සිල්වා වචන ලිව්ව එකයි ඔහුගේ නුර්ති ගී වල කතාව. ලෞජි මේක කේරලෙන් උස්සපු එකක්. එයාගේ අනිත් ගී එක්ක බලද්දී මේක හුඟාක් වෙනස්. ඒක රාගධාරි ගීයක් නෙමෙයි , බටහිර උපන් ගීයක්. මට මේ ගි තනුව 1994 දී කේරලේ ජන ගී කණ්ඩායමක් විසින් වයලින් වාදනයක් ලෙස ඉදිරිපත් කරනු අහන්න ලැබුණා. කේරලේ සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේක ඒ ගොල්ලන්ගේ ජන ගීයක් කියල. නමුත් මට එහෙදි කතෝලික පියතුමෙක් කිව්වා කේරලේ ට ඒක ගෙනාවේ බොහෝ කාලයකට පෙර ( 19 ශතවර්ෂය අග ) missionary fathers ල කියල . ඔහුගේ අනුමානය වුනේ මේක ජර්මන් සම්භාව්‍ය සංගීතඥයෙක් ගේ තනුවක් කියල ; ඒක ඇත්තටම වැග්නර් ගේ ! Sunil Wijesiriwardhane  (6 February at 20:34)"

එහෙත් ක්‍රිෂානි ජයසිංහගේ 'දන්නො බුදුන්ගේ' ගීතය ගායනා කල ආකාරය ගැන විශාල ගෝෂාවක් මතුවුයේ දෙරණ නිවේදකයෙක්වූ සංඛ අමරජිත් එය බල්ලන් උඩු බිරීමක් ලෙස සදහන් කිරීමත්, බල්ලන් උඩුබුරාගෙන එනවිට අපි කරන්නේ ගල් ගැසීම නොවේ දැයි මාධ්‍ය හරහා යෝජනා කිරීමත් සමගය. විමල් වීරවංශගේ 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' හී ඉහත නිවේදකයාගේ ප්‍රකාශය උපුටා දැක්වුයේ සංඛටත්  වඩා නින්දිත සහ සාහසික ආකාරයටය, එනම් 'මද කිපී ලතෝනි දෙන බැලලියන් ගඩොල් බාගයකින් ගසා පන්නනු.. ‘දන්නෝ බුදුන්ගේ’ විකෘති ගීතයට සංඛගෙන් මල්ටි බැරල් ප‍්‍රතිචාර'(February 7, 2016 at 12:01 am | lanka C news,http://lankacnews.com/sinhala/main-news/140328/) යක් ලෙසය. 

ඇත්තටම, ඒම නිවේදකයා මෙන්ම 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' ද ක්‍රිෂාලි ජයසිංහගේ 'දන්නො බුදුන්ගේ'  ගායනා ගැන අදහස් දැක්වුයේ අපේ රටේ වටිනා කියන දේවල් විනාශ කිරීමට වත්මන් රජය කටයුතු කරන්නේ යැයි යන්න සමාජගත කිරීමටය. ක්‍රිෂාලිගේ ගායනයද එහිම තව දිගුවක් බව ඒත්තු ගැන්වීමටය. 

එහෙත් ක්‍රිෂානි ජයසිංහ ලොව පිළිගත්, විවිධ සම්මාන දිනූ, අනතර්ජාතික වශයෙන් ගෞරවයට පාත්‍රවූ, බ්‍රිතාන්‍ය රැජිනගෙන් සහ චාල්ස් කුමාරයාගෙන් පවා ඇරයුම් ලැබූ, කොළඹ උසස් පාසැලක  ඉගෙනගත්, අපේම රටේ අපේම එකියැක් යැයි පැතිර යෑමත් සමග දෙරණ නාලිකාව අඩියක් පස්සට ගෙන සිය නිවේදකයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව පලකරන ලදී.  
එහෙත් කණගාටුව පළකිරීම පමණක් ප්‍රමාණවත් නැත, දෙරණ ආයතනය ලෙසද සමාව ඉල්ලිය යුතුය, ඒ වගේම අදාල නිවේදකයා තවදුරත් සේවය යෙදෙවිය යුතුද කියා දෙරණ ප්‍රකාශ කරනවා නම් හොදය, මන්දයත් අදාල නිවේදකයාට ඇත්තේ ඉතා සීමිත දැනුමක් සහ මෙලෙච්ච හැදියාවක්ය, එවැනි පුද්ගලයෙක් මාධ්‍ය කටයුතුවල නිරතවීම මහජනයාගේ බුද්ධිම වර්ධනයට කරන අපරාධයක්ය, ඒවගේම දෙරණට ද කැලලක්ය... ආදිය ලෙස සමාජ මාධ්‍ය තුලින් විරෝදයක් නැගී ඒමත් සමග  දෙරණ එම නිවේදකයාගේ (සංඛ අමරජිත්) සේවය අත්හිටුවූ බව වාර්ථාවේ. 


එහෙත්, සංඛ අමරජිත්ගේ වචන ටික ඔහුටත් වඩා නින්දිත සහ සාහසික ආකාරයට නැවත පලකල විමල් වීරවංශගේ 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' ඒ සම්බන්දයෙන් අද වන තුරම කිසිම කණගාටුවක් පල නොකරන්නේ  තමන් දැන්වත්ම කලේ  කැත වැඩක් බව ඔවුන් දන්නා නිසාය. 

ඔපෙරා ගායනා රසවීදීමට සාමාන්‍යයෙන් තරමක් අපහසු බව සත්‍යකි. ලෝකප්‍රකට ඉතාලි ජාතික පවොරොටිගේ (Luciano Pavarotti) ඔපෙරා ගායනයක් (Tenor) ඇසූ ගමන් රසවිදීමට සුද්දෙකුට තියා ඉතාලිකාරයෙකුටවත් බැරිය. ඒ සදහා යම් දැනුමක් සහ ශික්ෂණයක් අවශ්‍ය. එහින් ක්‍රිෂාලි ජයසිංහගේ ඔපෙරා ගායනයක් (Soprano) ගැන ශ්‍රී ලාංකීකයන් අතර හාහුවක් පැතිරීම ගැන පුදුම වියයුතු නැත. එහෙත් නිවේදකයෙක් එවැනි ගායනයකට ගල් ගැසීමට  යෝජනා කිරීම? 

දෙරණ සමග ආරව්වක පැටලී සිටින, අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාට අනුව නම් එය එම ආයතන ප්‍රධානින් ගෙන්වා ප්‍රශ්න කලයුතු, විකාශන බලපත්‍රය ගැන රජයට නැවත සිතා බැලීමට සිදුවන ප්‍රශ්නයකි. 

එහෙත්, රටවැසියන් ලෙස  අප ජීවත්වෙනුවේ, හැදී වැඩුනේ, බල්ලන්ට ගල් ගැසීමට කුඩා කල සිටම ඉඩදී ඇති, එය  ළමා කාලයේ සිටම සාමාන්‍ය දෙයක් ලෙස සලකන, ඇතැම් විට එසේ කලයුතුම යැයි කියා සලකන සමාජයකය.

 එහෙත්, ඒ ගල් ගසන්නේ අපේ බල්ලාට නොව අපේ නොවන බල්ලාටය. අපේ බල්ලා වුවද උඩු බුරන විටය. විශේෂයෙන්ම, තැනක් නොතැනක් නැතිව රස්තියාදුවෙන, දඩාවතේ යන, කන්න දෙයක් නැතිව හොරාකන බල්ලාටය. ඒ 'අපේ දේ කයි' යන බයට හෝ 'අපිව කයි' යන බයටය. එහෙයින්, කුරුල්ලන්ට, සමනලුන්ට හෝ වෙනත් එවැනි සතෙකුට ගල් ගැසීමට එපා කියන අපිම, දඩාවතේ යන, අපේ දේ කන්න හදන හෝ අපිව කන්න හදන ඕනෑම වල් බල්ලෙක්, පර බල්ලෙක් හෝ එවැනි ඕනෑම බල්ලෙකුට ගල් ගැසීමට සංඛ අමරජිත් මෙන්ම අපිද ඉදිරිපත් නොවන්නේද? ඒ ඔහුව  පමණක් නොව අපිවද කාලයක් තිස්සේ පුරුදු පුහුණු කල ආකාරයය. 

එහෙත් බල්ලා ඇල්ශේෂන් එකෙක් නම්, පොමනේරියන් එකෙක් නම්, රිච් බැක් එකෙක් වැනි පොෂ් එකෙක් නම් !!!
 දඩාවතේ යන එකෙක් වූවත්, අපේ දේ දී හෝ ඌව අපේ කරගන්නට උත්සහ කරන්නේද  නැතිද?  

රටක්, ජාතියක් ලෙස ඒ ගැන තවත් ඉගෙන ගැනීමට අවශ්‍යනම් දැන් දෙරණ ඇතුළු රටේ අනෙකුත් මාධ්‍යය බලන්න. වැඩිය අවශ්‍ය නැත මේ ඉරිදා දිවයින පත්තරය (14/02/16) බලන්න. බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd වගේ පොෂ් බල්ලෝ කියලා දැනගත්තහම බදාගන්න හදනවා නේද ? අනේ අර  සංඛ අමරජිත්. 


මාකස් ප්‍රියන්ත පෙරේරා
14/02/16.


Wednesday, 10 February 2016

රන් පදක්කම් 7 යි: ඒත් නම කියවද්දී අපේ නෙමේ වගේ හිතෙනවාද? එසේනම්

 මැතිව් අබේසිංහට 
දැන් රන් පදක්කම් 07කි. 
මෙවර සාක් තරගයෙන් වැඩිම  
 රන් පදක්කම් 
 දිනු ක්‍රීඩකයා ඔහුය.
එහෙත් රටේ ඔහු ගැන ලොකු කථාවක් නැත.

ඊට අමතරව, ඔහු  රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්ද දිනාසිටියි. 
එහෙත් කිසිවෙකුට ඔහු ගැන හංකවිසියක් නැත. 

ඔහු දිනු සියළු පදක්කම් සටහන් වී ඇත්තේ 
ඔහුගේ මෙන්ම රටේද නම ඉදිරියේය.
 එහෙත් රටේ ඔහු ගැන වැඩි සද්දයක් නැත.

 මෙතෙක් ලංකාව වෙනුවෙන් 
ක්‍රීඩකයෙක් දිනාගත් 
වැඩිම පදක්කම් ගණන දිනාගත්තේ ඔහුය.
ඒ 91කේදී ජුලියන් බෝලින් තැබූ වාර්තාවෙන් පසුවය.
එහෙත්
එදා මාධ්‍ය බෝලින් ගැන කථාකල තරම්වත් අද මාධ්‍ය 'මැතිව්' ගැන කථා  නොකරයි
 ඒ කාලය වෙනස් නිසාද?
 නැත්නම් රටේ මිනිස්සු වෙනස්වී ඇති නිසාද? 

බෝලින්ලාගේ,  මැතිව්ස්ලාගේ නම් 
හේෂන්ලාගේ, දිනේෂ්ලාගේ නම් මෙන් උස්‌ හඩින් නොකියවේන්නේ කට හුරු නැති කමටද? 
නැතිනම් අපේ යැයි නොහැගිනෙන නිසාද? 
 එසේ නම් 
ගෞතම වැනි නම් 
අපේ කටවලින් හොදින් කියවෙන්නේ කෙසේද?
ඒ කාලයක් තිස්සේ අපිට පුරුදු පුහුනු කල නිසාවත්ද? 

මැතිව් මෙන්ම ගෞතමද එතෙර ශිල්ප ප්‍රගුණ කර මෙතෙරට අගයන් ගෙනදුන් අයය.

මැතිව්ගේ මුල් නම කියවන්න බැරි නම්
ඔහුගේ දෙවන නම කියවන්න.
අබේසිංහ යැයි කියන්න. 
එවිට ඔබට සිංහයා මතක්වේවී,
සිංහ-ලේ මතක්වේවී. 
එවිට ඔබට ඉන්දියාවේදී ඉන්දියානුවන් පරදා
ලක්මව රනින් සැරසූ උදාර සිංහ පුත්‍රයෙක් හමුවේවී. 

නමින්, වාසයෙන් හෝ ආගමෙන් වෙනස්වුවද 
මැතිව්ලාස්ලා, රාහීම්ලා ඉටුකළේ ඒ ඔබේ සිහිනයය. 
ඒහින් දැන්වත් ඔවුන් වෙනුවෙන්  
සිංහනාද නගන්න පසුබට නොවන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/02/16


Monday, 8 February 2016

ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්

මීගමුව ඇළපාරේ පිහිටි ශා. සෙබස්තියන් මුනිදුන්ට කැපකල කුඩා දේවස්ථානයේ ශා. සෙබස්තියන් සුරැවම ඉකුත් ජනවාරී 31 වෙනිදා මහ දවාලේදී කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබේ. 

ඒ ප්‍රදේශයේ ජනයා පල්ලියේ මංගල්ලය සදහා සුදානම්වෙමින් සිටියදීය. මෙම  සිදුවීම සිදුව තිබේන්නේ දවසපුරාම දේවස්ථානයේ තීන්ත අලේපකර, අවට පරිසරය පිරිසිදු කරමින් මංගල්ලය සදහා සුදානම්වෙමින් සිටි පිරිස දිවා ආහාරය ගැනීම සදහා සිය නිවෙස්වලට ගිය මොහොතේදීය. හැමතැනම සොයාබැලුවද සුරැවම සොයාගැනීමට නොහැකිවුයෙන් ප්‍රදේශයේ ජනයා මීසම භාර පියතුමාට අදාල සිද්ධිය දන්වා ඇත. මෙම  පල්ලිය අයත්  පෙරියමුල්ල මීසම්භාර පියතුමා දක්වා ඇත්තේ 'සුරැවම සොරාගත් අයට  දඩුවම් දීම දෙවියන්ට භාරකර, අපි පල්ලියේ  මංගල්ලය සුපුරුදු ලෙස කරමු යන්නය.  

එමගින් එම පියතුමා ජනයා අතර ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීමට මෙන්ම, භක්තිය ඇත්තේ සුරැවම් තුල නොව භක්තිවන්තයන්ගේ හදවත් තුලයැයි  යන්න පසක්කර දීමටද එය අවස්ථාවක් කරගෙන තිබේ. ඒ අනුව ප්‍රදේශයේ ජනයා පොලිසියටවත් මෙම සොරකම පිළිබදව පැමිණිලි කොට නැත. පසුගිය ඉරිදා එනම් 07/02/16 වෙනි දින, කලින් සුදානම් කරගත් ලෙසම, ඇළපාර ප්‍රදේශයේ ජනයා පල්ලියේ මංගල්ලය සුපුරුදු ලෙස උත්සවාකාරයෙන් පවත්වා ඇති අතර ඒ සදහා පෙරියමුල්ල මීසම භාර පියතුමා  ගම්පහ මොරකැටිය පල්ලියේ තැම්පත් කරඇති කොහොබ ලීයෙන් තැනූ ශා. සෙබස්තියන් සුරැවමක් ගෙන්වාගෙන ඇත. 

සමස්ථයක් වශයෙන්, මීසම භාර පියතුමා මෙම සිද්ධියේ දී ඉතාමත් ආදර්ශමත් ලෙස ප්‍රදේශයේ ජනයා සනසවමින්, අනවශ්‍ය ගැටුම් කිසිවකින් තොරව, ඉතා සාමකාමී ලෙස ප්‍රශනය විසදමින් හොද දහම් පණිවිඩයක් ලබාදී ඇති බව පෙනේ. ඒ සදහා අප සියල්ලන්ම එතුමන්ට ස්තූතිවන්ත විය යුතුය.

එහෙත් මෙම සිද්ධිය ඇසුරෙන්වත් මීගමු ජනයා සිය සංස්කෘතික උරුමයන් ආරක්ෂාකර ගැනීමට් මෙයට වඩා උනන්දුවිය යුතුබව  ඉගෙනගත යුතුය. වාර්තාවන අන්දමට මෙම සොරාගෙන ඇති ශා. සෙබස්තියන් සුරැවම ආසන්න වශයෙන් වසර 100ක්වත් පැරණිය. වර්තමාන පල්ලිය ඉදිකීරීමට පෙර තල්ගස් තිබූ මෙම පල්ලිය පිහිටි වත්තේම කුඩා මණ්ඩපයක තම්පත් කර තිබු මෙම ශා. සෙබස්තියන් සුරැවම  අවට ජනයාගේ නිතර භක්ති ආදරයට පත්වුවකි. 

මීට පෙරද මීගමු කට්ටුව පල්ලියේ  සුරැවමද මෙලෙස සොරකම් කර තිබූ අතර එහිදීද මීසම භාර පියතුමා කටයුතුකර ඇත්තේ ඉහත ආකාරයටමය. 

එහෙත් මෙවැනි සොරුන්ගෙන් සංස්කෘතික උරුමයන් රැකගැනීමට මෙයට වඩා ජනයාගේ උනන්දුවක් සහ මැදිහත්වීමක් අවශ්‍යව ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
08/02/2016.

Wednesday, 3 February 2016

ලංකාවේ පළමු නිදහස් දිනය මීගමුව සැමරූ අයුරු.

1948 පෙබරවාරි 04 දින කොළඹ පැවති ලංකාවට නිදහස ලබාදීමේ මුලික උත්සවයට සමගාමීව රටේ විවිධ පළාත්වලද ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා විවිධ උත්සව පවත්වා ඇති බව එවකට පළවූ පුවත්පත් වාර්තාවලින් හෙළිවේ.  

මේ අතරින් ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා මීගමුවේ පැවති විවිධ උත්සව සහ සමරු වැඩසටහන්වලට යම් විශේෂ අවදානයක් යොමුවූ බව කලක් කොළබ සරසවියේ සහ දැන් නෙදර්ලන්තයේ Leiden සරසවියේ සේවය කරන මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ Dressing the Colonised Body: Politics,Clothing and Identity in Colonial Sri Lanka (2003) කෘතියේ 26-27 පිටුවලත්, නැවතත් ඇයගේම Sri Lanka in the Modern Age. A history of contested identities (2006) කෘතියේ 150-152 පිටුවලත් එන විස්තරවලින් පෙනේ. 

එම විස්තර වලට අනුව මෙන්ම එවකට පළවූ පුවත්පත් වාර්තාවලට අනුවද ලංකාවේ පලමු නිදහස් දිනය සැමැරීම සදහා උත්සව 04ක් 1948 පෙබරවාරි 04 දින මීගමුවේ පවත්වා තිබේ. 

ඉන් මුල්ම උත්සවය ආරම්භ වී ඇත්තේ උදැසන 10.30ට, ලංකාවේ ප්‍රධාන දේවස්ථාන කිහිපයෙන් එකක්වන මීගමුව මහවීදියේ ශාන්ත මරියා පල්ලියේ පැවති දේවමෙහෙයකිනි. කමිස, සාරි, කෝට්, කබා, කුර්ත මෙන්ම ජාතික ඇදුමින් සැරසුන පිරිස් පිලිගැනීමට  මීගමු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ/ බාලදක්ෂකාවන් දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිට ඇති අතර විශාල ජනතා සහභාගීත්වයක් පැවතිබව වාර්තාවේ. සීනු ගසමින්, ගීතිකා කියමින් මහත් උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇති මෙම උත්සවයෙන් අනතුරුව ආහාරපාන සංග්‍රහයක්ද පවත්වා ඇත. 
මෙම උත්සවය අවසානවනවාත් සමගම තවත් පිරිසක් මීගමුව මහවීදිය ශාන්ත මරියා පල්ලියට පිටුපසින් පිහිටි 'උස්පිල ගෙදර' නම් පැරණි නිවසක් අසල ශ්‍රී ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණ කර ඇත. ඒ   ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවටගෙන ඉංදියාවට පිටත්කර යැවීමට පෙර මෙම නිවාසේ රැයක් ලැගුම් ගත්තේ යැයි විශ්වාස කරන බැවිනි. එම යුගයේදී දෙමළ ජාතික මහළු යුවලකට අයත්ව තිබු මෙම නිවාස පසුව 1960 දශකයේදී ගැලැස්ටන් ප්‍රනාන්දු මහතා මිලටගෙන තිබේ. 1980 දශකයේදී ඔහුගේ පුත් රාජ් ප්‍රනාන්දු විසින් මෙම නිවාස ‘ශ්‍රී වික් රාජ්’, ලෙස නම් කර තිබේ.  
                         කෙසේවුවද, 1948 පෙබරවාරි 04 දින මෙම නිවාස ඉදිරිපිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කල පිරිස්වල විශ්වාසයවී ඇත්තේ මෙම නිවස මීගමුවේ සිටි ප්‍රකට 'සූර්යකුල' තුනෙන් එකක්වූ  කුරුකුලසූර්යවරුන්ගේ 
නායකයෙක්වූ,  කුරුකුලසූර්ය මුදියන්සේට අයත්ව තිබූවක් බවයි. මීගමුවේ මෙම 'සූර්යකුල' සහ 'සූර්යවරුන්" ගැන මම මීට පෙර (06/11/2015 දින,පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය) යන ලිපියේ ලියා ඇත. එය මෙතනින් කියවිය හැක.

එහෙත් මීගමුවේ ප්‍රධාන නිල නිදහස් සමරු උත්සවය පවත්වා ඇත්තේ මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) මීගමුවේ (අද විනාසයට යාමට ඉඩ හැර ඇති) පැරණි ලන්දේසි කොටුව ඉදිරිපිට ඇති කොටුව පිටියේය(Negombo Fort Esplanade)එවකට මීගමුව නගරාධිපති වරයා වූ, මීගමුව, පෙරියමුල්ල, කැනල් පාරේ මඩු සුරැවම අසල නිවසේ පදිංචිව සිටි C.M.ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. සැමදා යුරෝපියානු ක්‍රමයට කාලිසම්-ෂර්ට් සහ ටයි-කෝට් ඇදි එවකට මීගමුව නගරාධිපති C.M.ප්‍රනාන්දු මහතා මෙම නිදහස් දින උත්සවයට ජාතික ඇදුමින් සැරසී සිට ඇති බව වාර්තාවේ. දහස් ගණනින් ජනයා පැමිණ ඇති මෙම උත්සවය ජාතික කොඩිය ඔසවා ආරම්භකර ඇති  අතර දිළිදුන්ට ආහාරපාන ලබාදීමක් ද සිදුකර ඇත. 

උත්සවයේ වැදගත්ම අංගය වී ඇත්තේ 1927 නොවැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා  මීගමුවට පැමිණි ඉංදියානු නිදහස් සටනේ වීරයාවූ,  ඉංදියාවට නිදහස දිනාදුන් මහත්මා ගාන්ධි තුමාව සැමරීමය. මහත්මා ගාන්ධිතුමාගේ මීගමු ගමන ගැන (11/12/15 දින මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය )  මා ලියූ සටහන මෙතනින් කියවිය හැක.

ලංකාවේ පළමු නිදහස් දිනය සැමරීම රටේ විවිධ පළාත්වල  මේ ආකාර ලිහිල් සහ විවිධාකාර වීම ගැන කරුණු දක්වා ඇති ඉතිහාසය පිළිබද මහාචාර්යවරියෙකුවන නීරා වික්‍රමසිංහ, කතෝලිකයන් බහුතරක් වෙසෙන මීගමුවේ පැවති ලංකාවේ පළමු  නිදහස් උත්සවයේදී ලංකාවේ  නිදහස දිනාගැනීමට සම්බන්ද කිසිවකු සමරන්නේ නැතිව, ලංකාවේ නිදහසට කිසිසේත්ම සම්බන්දක් නැති, ඉංදියාවේ මහත්මා ගාන්ධිව සහ දෙමළ සම්භවයක් ඇති, ජාතික වීරයෙකු ලෙස පිළිනොගන්නා, දුෂ්ඨ පාලකයෙකු ලෙස සලකන ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කිරීමේ අදාලත්වය ගැන ඇගේ ඉහත පොත්වල ඇය ප්‍රශ්නකර  තිබේ. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මෙන්ම මහත්මා ගාන්ධිතුමාද මීගමුවට පැමිණි ඇතිබව සහ ඒහින් මීගමුවේ ජනයාට ලංකාවේ පළමු නිදහස් දිනයේදී ඔවුන් දේපලව අනුස්මරණය කිරීමට සාධාරණ හේතු තිබූබව ඇයගේ අධ්‍යනවලට හසුනොවී තිබීම කණගාටුවට කරුණකි.  

කෙසේවුවද, ඉහත නිදහස් දින උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ කරමින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයේන් මහාචාර්ය නීරා වික්‍රමසිංහ මහත් ඇගයීමකට ලක්කර තිබේ. මීගමු දිස්ත්‍රික් සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර ඇත්තේ  මහත්මා ගාන්ධිමෙන් නිදහස දිනාගැනීමට සටන්කල හෝ ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටිබවත් එම අඩුව නිදහසින් පසුව එළබෙන යුගයේදී අපට විශාල අඩුවක් ලෙස මතුවෙන බවය. ඔහුගේ එම වචන ගැන ඇය ඇගේ පොතේ දක්වා ඇත්තේ මෙසේය: "By honoring the Indian nationalist leader instead of any sons of the soil, any Ceylonese national hero, the chairman of the Negombo UC was making a clear and uncompromising political statement. Ceylon had no real nationalist fighter, no leader of the messes who united or attempted to unite classes, castes and religions of the caliber of Mahatma Gandhi." (Dressing the Colonised Body: Politics, Clothing and Identity in Colonial Sri Lanka, (2003), page 26)

මේ ආකාරයට උදෑසන 10.30ට ආරම්භවූ මීගමුවේ පැවති ලංකාවේ පළමු නිදහස් දින සමරු වැඩසටහන් අවසාන වනුයේ ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමේ ප්‍රධාන උත්සවයේ බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් රාජාසන කතාව පැවැත්වීම සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය මීගමුව නව තානායමේ පැවැත්වීමෙන් බව පෙනේ. 

එය 2012 මාර්තු මස 04 වන දින ලංකාදීප online හී පළවූ පුවතක් මගින් අදාල ඡයාරූප සහිතවම ස්ථීරකල අතර ඒ අනුව  1948 පෙබරවාරි 04 දින මෙරට ප්‍රථම නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය සහ ඔවුන් දෙපලගේ සමුගැනීමේ සාදය පවත්වා ඇත්තේ මීගමුව නව තානායමේය.
මේහි දැක්වෙනුවේ මීගමුව නව තානායමේදී බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයාත්, එම මැතිනියත් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දින රාත්‍රී ආහාරය ගත් මොහොත යැයි සදහන් එම පුවතේ පලවූ ඡයාරූපයය. ඉහත රාජකීය භෝජන සංග්‍රහය පැවති මීගමුවේ නව තානායමයම වූ කලී මම ඉතා මෑතකදී සොයාගත් ලෙස බ්‍රිතාන්‍ය 6 වන ජෝර්ජ් රජතුමා රජවීමට පෙර ඔටුන්න හිමි කුමාරයෙක් දෙසද, මා මීට කලින් මගේ facebook පිටුවේ ඡයාරූප සහිතව පලකල ලෙස බ්‍රිතාන්‍යයේ 2වෙනි එලිසබෙත් රැජින 1954 දීද පැමිණි, 1940 දශකය උදාවෙන විටත් විවිධ රටවල සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පලකල, දැන් මීගමුවේ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විසින් අසල වෙරළ තීරය අත්කරගෙන පරිසරය වනසමින්, දුගන්දයෙන් මුළු පළාතම අපාගත කරමින් සිදුකරන මාළු කරෝල කිරීමේ ව්‍යාපාරය නිසා විනාශවී ගොස් ඇති අතීතයේදී මහත් කීර්තියක් ඉසිලූ තානායමකි. විශේෂයෙන්ම මුහුදු ආහාර පිළිගැන්වීම අතින් වඩා හොද නමක් දිනාගෙන තිබූ තානායමකි. අදටද බ්‍රිතාන්‍ය ග්ලොස්ටර් ආදිපාදවරයා සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා රාජ්‍ය භෝජන සංග්‍රහය බුක්තිවිදී ශාලාවේ පසුබිමෙහි වූ ලී තිරය මීගමුව නව තානායමේ ඇති අතර 2013 අගෝස්තුමාසයේදී මට එය ඡයාරුප ගතකිරීමට හැකිවිය. එය ලංකාදීප පුවතේ පළවූ මුල් ඡයාරුපය හා මනාව සැසදේ. 

කොළඹ සිට සැතපුම් 23 ගෙවා, ගාලුමුවදොර හෝටලය වැනි හෝටල් කොළඹ ඕනෑ තරම් පැවතියේදී, ග්ලොස්ටර් ආදිපාදවරයා ඇතුළු පිරිස භෝජන සංග්‍රහයකට මීගමුවට පැමිණිම සහ මීගමුව නව තානායාමේ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීම විය හැක්කක් වන්නේ මීගමුව නව තානායාමට උරුමවූ ඉහත පසුබිම නිසා වියයුතුය. ඒහෙත් ග්ලොස්ටර් ආදිපාදවරයා නිදහස් උත්සවය සදහා ශ්‍රී ලංකාවට පැමිණියේ දින කිහිපයට පමණක් වීමත්, එවකට පැවති 'මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර සහ මීගමුව ගුවන් තොටුපල (වර්තමාන කටුනායක ගුවන් තොටුපල) පැවතියේ මීගමුව අසල වීමත්, එමෙන්ම 1940 හේ දශකය උදාවීමටත් පෙර සිටම මීගමුව නව තානායම යුරෝපයේ පවා සංචාරක ප්‍රවර්දන දැන්වීම් පල කල ලෝ පසිදු ස්ථානයක් වීමත් නිසා ලංකාවේ පළමු නිදහස දිනයදා රාජ්‍ය භෝජන සංග්‍රහය මීගමුවේ නව තානායමේ පැවැත්වීමට තිබු ඉඩකඩ දෙගුණ තෙගුණ කරනු නියතය.

කෙසේවුවද, මහවීදිය ශාන්ත මරියා පල්ලියේ දේවමෙහෙයෙන් අරඹා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා මහත්මා ගාන්ධි සමරා, ග්ලෝස්ටර් ආදිපාදගේ සමුගැනීමේ සාදයෙන් අවසන්වූ දිනය පුරාම දිවගිය අපූරු නිදහස් දින සමරුවක් ලංකාවේ පළමු නිදහස් දිනය යෙදුන 04/02/1948 දිනයේ මීගමුවේ පැවති බවට ඉහත තොරතුරු සාක්ෂි සපයයි. එහෙත් කෙතරම් අදාල තොරතුරු, දත්ත, සහ කරුණු-කරනා ඉදිරිපත්කලද ලංකාවේ කිතුනුවන්ගේ අගනගරය හෙවත් 'පුංචි රෝමය' (Little Rome) ලෙස සලකන මීගමුවට නූතන ලාංකීය ඉතිහාසය තුල හිමිවිය යුතු වැදගත්කම ලබාදීමට මැලිවෙනබව පෙනේ. ඉහින් සදහන් කල මීගමුව නව තානායම මෙන්ම මීගමුව ලන්දේසි කොටුව ආදී මීගමුවේ සියලු පැරණි ස්ථාන සියල්ල කිසිදු රැකවරණයකින් තොරව විනාශවීමට ඉඩහැර ඇත. ඒ පිලිබදව කිසිදු රජයකින් කිසිවක් කරන්නේ නැත. එහෙයින් අපට නැවත සිහියට නැගෙනුයේ මීගමුවේ පවතී ලංකාවේ පළමු නිදහස් දින සමරු උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා දැක්වූ අදහසය. එනම් ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටිමේ අඩුව තවදුරටත් තදින් දැනෙන බවයි.


මාකස් ප්‍රියන්ත පෙරේරා
04/02/16.

Monday, 1 February 2016

යහපාලන රජයෙන් ධීවර ගැටළුවලට විසදුම් ඉල්ලා මීගමුවේ දැවැන්ත ධීවර රැළියක්.

ලංකාවේ වයබදිග වෙරළේ සිට බස්නාහිර උතුර දක්වාවූ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම පෙදෙස් වන මන්නාරම, සීලාවතුර, බත්තලංගුණ්ඩුව, කල්පිටිය, තලවිල, පුත්තලම, එළුවන්කුලම, හලාවත, අබකදවිල, බැරුදැල්පොල, තොඩුවාව, මාරවිල, උල්හිටියාව, වෙන්නපුව, කම්මල සහ මීගමුවේ ධීවර ජනයාගේ සහභාගීත්වයෙන් මීගමුවේ දැවැන්ත ධීවර රැළියක් දැන් (01/02/2016) පැවැත්වේ.

දැනටමත් මීගමු වැල්ලවීදිය ශා. සෙබස්තියන් දෙවස්ථානයෙන් ගමන් අරභා ඇති මෙම පෙළපාලිය මීගමු මහ නගර සභා පිටියට පැමිණීමෙන් අනතුරුව රැස්වීමක් පැවැත්වීමට නියමිතය. 

ලෝක වෙළදපොලේ තෙල් මිලඅඩුවුවද යහපාලන රජයෙන් ධීවරයන්ගේ තෙල්මිල සම්බන්දයෙන් කිසිදු සහනයක් නොලැබීම, තහනම් දැල් භාවිතය සම්බන්දයෙන් රාජය නිසි පියවර නොගැනීම, ඉන්දීය ධීවරයන් දිගින් දිගටම අපේ මුහුදේ මසුන් ඇල්ලීම ගැන රජය නිසි පියවර නොගැනීම, නව වරාය නගරය නිසා සිදුවිය හැකි හානී ගැන ධීවරයන්ව කිසිදු දැනුවත් කිරීමක් සිදුනොකිරීම, ධීවරයන් සදහා ශීතාගාර ඉදිකිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්නොකිරීම සහ මාළු වෙළදාම පිළිබද ගැටළු මෙන්ම තවත් දහසකුත් එකක්  ධීවර ගැටළුවලට අවදානය දිනාගැනීම මෙම රැළියේ අරමුණයි. 

කෙසේවුව මෙම දැවැන්ත ධීවර රැළිය සදහා ජාතික මාධ්‍යයවලින් තවමත් කිසිදු අවදානයක් යොමුව නැති බව පෙනේ. 

මන්නාරමේ සිට බොහෝ ධීවර ගම්මානවලින් බස්රථ 30කට වඩා මීගමුවට පැමිණ ඇති මෙම  ධීවරයන්ගේ රැළිය සදහා මීගමුවේ කතෝලික පියවරුන්ගේ සහභාගීත්වය ලබාදී ඇත. 

වැඩි විස්තර පසුවට.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/04/2016.