This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 25 May 2023

Tina Turner මීගමුවට Set වීම


මීගමුව කාමාච්චෝඩේ රා තැබෑරුම අසල තිබුන නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාවේ චිත්‍රපටි පෙන්වන්න කලින් චිත්‍රපටි ශාලාවේ සෙනග අසුන් ගන්නා අතර තුර ශාලාව කුල්මත් කරමින් නිතර වාදනය වෙන ගීත එකතුවක්  තිබුනා. ඒ ගීත එකතුවේ තිබුනේ එක ගීත ඇල්බමයකට (album) අයත් ගීත නෙමේ. නමුත් එක් ගායිකාවකට අයත් ගීත එකතුවක්. ගායිකාව තමයි Tina Turner. 

නඩරාජා ටෝකීෂ් හෙවත් මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු Tina Turner ගේ ගී එකතුවට 1990 ගණන්වල අලුතින් නිකුත්වු ඇගේ I Don't Wanna Fight, Simply The Best, We Don’t Need Another Hero, What's Love Got to Do with It, වගේම ඇය Ike Turner එක්ක නිර්මාණය කල Proud Mary, Nutbush City Limits වගේ ගීතත්, ඇය Ike Turner ගෙන් වෙන් වෙලා තනියම performed කරන්න ගත්ත 1980 ගණන්වලින් පසු ගැයූ Private Dancer, Better Be Good to Me, Steamy Windows වගේ ගීතත් තිබුනා.  මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු එම ගී එකතුව පිටු පස පැහැදිලිවම Tina Turner ගේ දැඩි රසිකයෙක් ඉන්න ඇති. එම රසිකයා Tina Turner ගේ music career එක මුල ඉදලා අගට follow කල තැනැත්තෙක් බවට කිසිම සැකයක් නෑ. අපිට ඒ සිංදු එකතුව තුබූ කැසට් එක අයිති කාටද, එම රසිකයා කවුද කියලා හොයන්න වුවමනාවක් තිබුනේ නෑ... අපි හෙව්වේ Tina Turner ගැන.. ඇගේ music ගැන..

ඔය කියන 1990 ගණන්වල යුරෝපය දෙවනත් කල pop රැල්ල ලංකාවට ගසාගෙන ආව කාලය. ඔය කාලේ මැඩෝනලා, විට්නි හියුස්ටන් ලා, සින්ඩි ලූපර් ලා, ටිනා ටර්න ලා, ජෙනට් ජැක්සන්ලා, සමන්තා ෆොක්ස් ලා, සෙලින් ඩියෝන්ලා වගේ ගායිකාවන් තොග පිටින් අපේ ලෝකවල හොල්මන් කරපු කාලේ... 

ඔය අතරින් Tina Turner ව අපේ ගමට සෙට් වෙන ගතියක් තිබුනා..ඒ ඇගේ කඩ හඩ. ටී වී එකෙන් අපි දැක්ක ඇගේ ජව සම්පන්න ගායනය. කට ඇරල කෑ ගහලා, ස්ටේජ් එකේ දගල ලා ෆුල් විසෙන් ඇය සිංදු කියන විදිහ, උස මහත කළු මාළු ගෑනියෙක් වගේ ඇගේ පෙනුම...ඕවා සියල්ල අපේ ගමට, මීගමුවට හොදට සෙට්වෙලා ගියා.. ටිනා ටුනා (tuna) කියලත් සමහරු කිව්වා. කොහොමත් ටීන ලා, tuna ලා (කෙලවල්ලෝ) අපේ පැත්තේ එමටයිනේ...

Tina Turner ගැන කියද්දී අපේ ගම්වල නිතර කියවුන දෙයක් තමයි "ඔය ඔක්කොම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් ආව අයනේ" කියන එක. ඒක ඇත්ත. ටීනා ටර්නත් පල්ලියේ ගීතිකා කණ්ඩායමේන් (church choir) එකෙන් අත්පොත් තැබූ  gospel singers ලා වගේ පසුබිමක් සහිත අය තමයි. එහෙත් ඇයව ගායිකාවක් කලේ පල්ලියේ කන්තාරු කණ්ඩායම නෙමේ, ඇගේ සැමියා වූ Ike Turner. 

එතෙක් Anna Bullock වු ඇයව Tina Turner කලේ Ike Turner. ඔහු ඒ වන විටත් සංගීත කණ්ඩායමක් ඇති club වල සින්දු කියන්නෙක්. ටිනා තමයි ඔහුව හොයාගෙන ගිහින් ඔහුට එකතුවෙන්නේ. ඒ එකතුව තුල දෙදෙනාටම දිගු ගමනක් යන්න පුලුවන් වෙනවා...එතෙක් අන්ත දරිද්‍රතාවයෙන්, දෙමාපියන් ගේ පවා ආදරය අහිමි කමින්, නොසලකා හැරීමට ලක්ව, අනාගතයක් ගැන බලාපොරොත්තු නැතිව, ජීවිතයේ ගැහට සංගීතයට යට කිරීමට ඉඩ දෙමින් නිස්සාර ජිවිතයක් ගතකරමින් සිටි Anna Bullock ට Ike Turner ජීවිතයක් ගෙනත් දෙන්නෙක් වුනා. ගැහැනු ළමයි තුන් දෙනෙක්වුනු Anna Bullock හෙවත් ටිනා ටානර්ගේ පවුලේ බාලම දැරිය වු ඇය නිතර කියපු දෙයක් තමයි ඇය ඇගේ දෙමාපියන්ට අවශ්‍ය නොවූ (unwanted child) දැරිවියක් බව. පියාගේ වදබන්ධනයන්ගෙන් පීඩා විදිමින් සිටි ඇගේ මව පියාගෙන් වෙන්වී යෑමට උත්සහ කල මුත් ඇගේ උපත නිසා ඇගේ මවට තවත් අවුරුදු ගණනාවක් සිය පියාගේ වදබන්ධනයන් ඉවසා සිටීමට සිදුවූ බව ඇය දක්වා තිබෙනවා. එය ඉතා වේදනාකාරී හැගීමක්...එහෙම හැගීමක් එක්ක ඇයට සිය ළමා කාලය වගේම ගැටවර වියත් ගෙවන්න වීම මොන තරම් නම් වේදනාත්මකද? ඊ ලගට ඇයට ඇගේ ජීවිතයටම එය අත්දකින්න වුනාම මොන තරම් අභාග්‍යයක්ද? 

Tina Turner ගේ සැමියාවූ Ike Turner ගෙන් ඇයට විදින්න වුනෙත් බරපතල වදබන්ධනයක්. ඇය එක තැනකදී කියනවා ඇගේ ශරීරයේ එක කොටසක් නැතිව ඇතිලු ඔහුගෙන් වද නොවින්ද.. හිංසාවට වේදනාවට පත් නොවෙච්ච..Ike Turner සමග 16 වසරක ඇගේ විවාහය මුල් කාලයේ ඉතා සාර්ථක වූවක්. ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධ වෙනවා, හොදින් මුදල් උපයනවා, රට පුරාම සංගීත ප්‍රසංග පවත්වනවා, පිරිමි දරුවන්ම 4 දෙදෙනෙක් ලැබෙනවා.. එත් ඒ විවාහය, ඒ එකතුව, ක්‍රමයෙන් බිද වැටෙනවා..එයට හේතුව  Ike Turner මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වීම කියලා කියනවා...ඒත් මත්ද්‍රව්‍ය වලින් Ike Turner මුදවාගන්න ටිනාට හැකිවෙන්නේ නෑ...දෙදෙනාම එකිනෙක්කෙනාගෙන් දුරස්වෙනවා.. Ike Turner ටිනා ව ගොඩ නගන්න, ගොඩ දාන්න, කටයුතු කලත් ඔහුට අවශ්‍යම අවස්ථාවේ Tina Turner ගෙන් ඒ උදව්ව ඔහුට හම්බවෙන්නේ නෑ..Ike Turner ව ගොඩ දාන්න ටිනට බැරිවෙනවා. එනිසාම Ike Turner වරක් ටිනව මරන්න ගියා ගියලා ඇගේ ජීවිත කතාව අයත් චිත්‍රපටයේ තියෙනවා.. ගැහැනියෙක් කොහොමද  "මේ මිනිහා මාව මරන්න යන්නේ" කියලා හිතන තැනක ඉදන් තවදුරටත් එකට පවුල් කන්නේ ? ඔවුන් කටුක ලෙස දීර්ඝ දික්කසාද නඩුවකින් පස්සේ වෙන් වෙනවා.. Ike Turner තමන් සමග කාලයක් ජීවිතේ එකට සැප දුක බෙදා ගත්ත Tina Turner ගේ නම තමන්ට අයිතියි කියලා Tina Turner කියන නමේ අයිතිය ඉල්ලනවා.. ඒ නම යටතේ උපයූ වත්කම් ඉල්ලනවා... සල්ලිත් එක්ක මිනිස්සු මොන තරම් නම් නරුමයෝ වෙනවද? උසාවිය Tina Turner ගේ නමේ අයිතිය Tina Turner ටම දෙනවා. ඒත් දික්කසාදයෙන් පස්සෙත් Ike Turner බාරගත්ත ප්‍රසංග කිහිපයකම  එකට වැඩ කරන්න ඇයට නියෝග කරනවා..

ඉන් අනතුරුව Tina Turner වගේම Ike Turner ත් ක්‍රමයෙන් නිවී යනවා.

එහෙත්, දික්කසාදයෙන් පස්සේ, ඔය කලබැගෑනි ඔක්කොම ඉවරල වෙලා, අවුරුදු 4 - 5 කට පස්සේ, හදිස්සියේම ටීනා ආපහු පත්තුවෙනවා...ඉතා දීප්තිමත් ව පත්තුවෙනවා...නැවතත් බැස නොයන්නටම පත්තුවෙනවා - We Don’t Need Another Hero...We Don’t Need Another He.ro.. ඔව් අපිට තවත් වීරයෙක් ඕන නෑ.. ඇයම වීරයා වෙනවා... වේදිකාව දෙවනත් කරන...මුළු වේදිකාවම එක මිට ට, එක පොදියට කැටිකර ගන්න..දැවැන්ත වීරවරියක් වගේ ඇය සංගීත රසකාමීන්ගේ ලෝකය ආක්‍රමණය කරනවා... ඇගේ What's Love Got to Do with It ගීතය සමග ඇය අපේ ලෝකයේ සදහටම වාඩිලා ගන්නවා...එය අපේ විතරක් නෙමේ මුළු ලෝකයටම ගායිකාවක් ගැයූ අති සාර්ථක ගීත කිහිපයෙන් එකක් බවට පත්වෙනවා... 

ඇගේ මේ දෙවෙනි ගමනට ප්‍රධාන වශයෙන් හේතුවුනේ සංගීත ලෝකයට ඒවන විට අළුතින්ම හදුන්වා දුන් Synthesiser නැතිනම් ඉලෙක්ට්‍රොනික ඕගන් සංගීතය හේතුවුනා කියලත් කියනවා...අපි දන්නවා Tina Turner වගේම Ike Turner ගේ මුල් කාලින සින්දු ඔක්කොම වගේ Cover Songs. ඒ කියන්නේ කලින් කෙනෙක් කියපු සින්දු අළුත් විදිහට කියපු එක. ඒත් ඇගේ දෙවෙනි ගමන එහෙම නෑ. ඇය ඇගේම අනන්‍යතාවක් එක්ක එන්නේ...අපි දන්න Tina Turner අර 80/90 ගණන්වල ආව ඇග කුල්මත් කල ජවසම්පන්න Tina Turner මිසක්, 60/70 කාලේ Covers කියපු ටිනා ටානර් නෙමේ...

මම නම් විශ්වාස කරන්නේ Tina Turner ගේ අති සාර්ථක දෙවන සම්ප්‍රාප්තියට හේතුව Synthesiserවත්, ඉලෙක්ට්‍රොනික සංගීතයවත් නෙමේ...ඇගේ ජීව්ත අත්දැකීම...යටපත්කල නොහැකිවූ ඇගේ හැකියාව..අප්‍රතිහත ධෛර්යය.. නොනැවතිය නොහැකිවු අභිප්‍රාය...ඇගේ passsion එක... මම හැමදාම කියන දෙයක් තමයි...fashion එක නෙමේ කාරණය passsion එකයි කාරණය කියන එක...passsion එකට ඕනෑ දුක්ප්‍රාප්තියක් විදින්න පුලුවන් හැබැයි යටපත් කරන්න බෑ.. fashion (විලාසිතා/ විච්චුරණ) කරන ගැනූන්ට වඩා passsion ( අභිප්‍රායක්/දැඩි උවමනාවක්/ ලලසාවක්) තියෙන ගැහැනුන්ව කිසිසේත්ම නවත්වන්න බෑ..යටපත් කරන්නත් බෑ..ඒ අය නැගිටිනවා නැගිටිනවාමයි..Tina Turner කියන්නෙත් එහෙම passsion එකක් තිබ්බ ගැහැනියෙක් !!❤️❤️

මාකස් ප්‍රියන්ත පෙරේරා 

25/05/23

Wednesday 10 May 2023

රාජාභිෂේකය සහ කතෝලික පල්ලිය


මීට වසර 70කට පෙර, එනම් 1953 දී, පැවැති දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍යයට බ්‍රිතාන්‍යයේ සිටින කතෝලිකයින්ට ආරාධනා කලේ නැත. ඒ යුගය වන විටත් කතෝලික සභාව සහ එංගලන්ත සභාව ඇතුලත් ප්‍රෙතස්තන්ත සභා අතර තිබුන විරසකය එයට හේතුවයි.

කොටින්ම කිවතොත් 1558 දී එංගලන්තයේ අටවන හෙන්රි රජ එංගලන්තය කතෝලික සභාවෙන් ඉවත් කර, පාප්තුමාගේ නොව එරට රජ හෝ රැජිනගේ නායකත්වයෙන් යුතු, එංගලන්ත සභාව හෙවත් ඇංගිලිකන් නමින් අලුත්ම ප්‍රෙතස්තන්ත කිතුනු සභාවක් ගොඩනැගුවායින් පසුව රාජාභිෂේකය හෝ වෙන මොනයම්ම හෝ රාජකීය කටයුත්තකට එරට කතෝලික සභාව සම්බන්ධ කරගත්තේ නැත. 1908 දී නැවැත ප්‍රතිස්ථාපනය කරන තුරුම කතෝලික සභාව මෙරට පැවැත ඇත්තේ කිසියම් ආකාරයට නොනිල තත්වයකය.

ඉන් අදහස් වන්නේ කතෝලිකයන් එංගලන්තයේ නිල රාජ්‍යය කටයුතුවලට, සැමරුම්වලට බදවා ගැනීම හෝ සහභාගි නොවු බවක් නොවේ. මට ඊයේත් පල්ලියේදී හමුවු තැනැත්තියක් දක්වා සිටියේ දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය ඔවුන් පවුලක් ලෙසත්, එකතුවක් ලෙසත්, සැමරු බව ඒ වන විටත් වයස අවුරුදු හතරක්වු ඇයට හොදින් මතක බව දක්වා සිටියාය.

ඇත්ත වශයෙන්ම දෙවන එලිසබෙත් රැජිනගේ යුගයේදී කතෝලික සභාවත්, බ්‍රිතාන්‍යය රජ පවුලත්, එංගලන්ත සභාවත් අතර සම්බන්ධය දැඩිව වර්ධනය විය. ඇය පාප්වරු කිහිපදෙනෙකුවම වතිකානුවටම ගොස් බැහැ දැකි, දෙවන ජුවාම් පාවුළු පාප්තුමාට බකින්හැම් මාලිගාවට පවා ආරාධනා කළ, හිටපු අගමැති ටෝනි බෙලෙයාර්ට කතෝලික ආගමට බැදීමට ඉඩ දුන්, එංගලන්ත සභාවේ පියතුමන්ලාට සහ බිශොප්වරුන්ට කතෝලික සභාවේ පුජකවරය ලැබීමට ඉඩදුන්, තැනැත්තියකි.

එකී වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසම මෙවර තුන්වන චාල්ස් රජතුමාගේ රාජාභිෂේකයට එංගලන්තයේ සභ වේල්සයේ අගරදගුරු කාදිනල් Mark O'Toole අගරදගුරුවරයාට නිලවශයෙන් ආරාධනා කලා පමණක් නොව අභිනවයෙන් පත් තුන්වන චාල්ස් රජට ආශිර්වාද කිරීමටත් ආරාධනා කලේය.

වසර 500යකට පසු ලද මේ අවස්ථාව බ්‍රිතාන්‍යයේ කතෝලිකයන් මහත් හරසරයෙන් සැමරීය. ඊයේ (07/05/23) අප අයත් මෙරට මීසමේ, අපේ පල්ලියේද, එම සැමරුව මහත් උද්‍යෝගයකින් සංවිධානය කර තිබුනි.

විවිධ අර්ථ දැක්වීම් තුල බෙදී වෙන්වී ඇති සියල්ලන් එකට එක්වී එකම අවස්ථාවක් එකට සමරනු දැකීම තරම් තවත් ප්‍රීතියක් එහි නොවිනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

08/05/23

Friday 5 May 2023

ඊජිප්තුවේ ෆාරුක් රජ කී අවසාන රජ සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජ

ලොව අවසාන වශයෙන් ඉතිරිවන්නේ එංගලන්තයේ රජත්, කාඩ් කූට්ටමේ රජවරුනුත් පමණක් යැයි 1952 දී බලයෙන් පහ කළ ඊජිප්තුවේ සහ සූඩානයේ අවසාන රජ වූ පලමු වන ෆාරුක් රජ වරක් දක්වා තිබුනි: Soon there will be only five Kings left - the King of England, the King of Spades, the King of Clubs, the King of Hearts and the King of Diamonds.


ෆාරුක් රජගේ එම ප්‍රකාශයට පෙරත්, ඉන් පසුවත් ලෝකය රජවරුන්ගෙන්, රජ පවුල්වලින්, එකින් එක නිදහස් වෙමින්, ඉවත් කරමින්, පලවා හරිමින් තිබුනි. එම නිසාම අද වන විට ලෝකයේ කිසියම් ආකාරයකින් මහේශාක්‍යය අර්ථයෙන් අර්ථ දක්වන රජ පවුලක් ඉතිරිවී ඇතොත් ඒ අතර ඉහලින්ම ඇත්තේ බ්‍රිතාන්‍යය රජ පවුල බවට කිසිදු සැකයක් නැත.

ප්‍රතිසංස්කරණවාදීන්ගේ සිට ජනරජවාදීන් දක්වා ද, රාජාණ්ඩු විරෝධීන් දක්වා ද, බ්‍රිතාන්‍යයේ දේශපාලන ධාරාවන් වරින් වර ඉස්මතු වෙමින්, තීව්‍ර වෙමින්, තහවුරු වෙමින් ගලා යන නමුත් බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය මෙන්ම රජ පවුලද අදටත් එරට තුළ තදින්ම මුල්බැස්ගෙන ඇත.

එහිලා හේතුවී ඇත්තේ බ්‍රිතාන්‍යයන් සිය රාජකීයන්ට දක්වන පක්ෂපාතීවය ද, ගතානුගතික සම්ප්‍රදායන් හා පෞරාණික වටිනාකම් පිලිබදව එරට ජන සමාජය තුළ තහවුරු වී ඇති ආකල්ප ද, රජ පවුල සහ රාජකීයත්වය එරට ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රීය අංගයක් වශයෙන් සලකන නිසා ද, එරට ක්‍රමික දේශපාලන විකාශනයේ අදටත් ශේෂව ඇති එහෙත් වියකී යා නොදී රැකගත යුතු සලකුණක් වශයෙන් සලකන නිසා ද, එක්සත් රාජධානිය මෙන්ම පොදු රාජ්‍යය මණ්ඩලය ද එකට බැද තබන බැම්ම ලෙස එරට රාජකීයත්වය සලකන නිසා ද, එරට මෙන්ම එහි යටත් විජිතයන්ගේ, ඩොමීනියන් රාජ්‍යයන්ගේ සහ ස්වායත්ත රාජ්‍යන්ගේ ද රාජ්‍ය නායකයා හෝ නායිකාව ලෙස බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජින සලකන්න නිසා ද, නැතහොත් මෙකී සහ නොකී සියළු හේතු සාධක නිසා ද, යන්න වෙනම වෙන්කර ගත නොහැක්කකි.

එම නිසාම අද (06/05/ 23) බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍ය මේ යුගයේ පවත්වන අද්විතීය රාජාභිනන්දන රාජාභිෂේකයක් බව පැහැදිලිය.

බ්‍රිතාන්‍යයේ රජගේ ඔටුනු පැලදවීම රාජාභිෂේක - මෞලි මංගල්‍යය ඒ පදනමින්ම විග්‍රහ කරගැනීමට රාජකීයත්වයට ඇලුම් කරන්නෙකු වීමට හෝ බ්‍රිතාන්‍යයෙක් වීමට හෝ ඔවුන්ගේ ගැත්තෙක් වීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යමක ඇති, එයටම හිමිවූ හෝ එයට ආරෝපණය කර ඇති අගය එම වටිනාකමින්ම විමසා බැලීමය. අන්ධයාට මැණිකෙන් ඇති වැඩක් නැත්තා සේම ඒ ඒ කරුණු ඒ ඒ ආකාරයෙන් විමසා බැලීමට ‍යොමු නොවී අපි අපේම සීමා තුළ හිර වන්නෙමු නම්, අපිට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකයේ ද කිසිදු කලාවක්, වටිනා කමක්, අගයක්, විචිත්‍රණයක්, සම්ප්‍රදායක් හා සංස්කෘතියක් දැකිය නොහැක්කාය.

අද පවත්වන බ්‍රිතාන්‍යයේ මෞලි මංගල්‍යය සැලසුම් කර, සුදානම් කර ඇත්තේ ද එහිලා යොදාගන්නා ඔටුනේ සිට අත් පලදනාව දක්වා ද, ඇදුම් ආයිත්තම් වල ඇති බොත්තම් හී සිට සෑම අංගයක්, අංගයක් පසාම කිසියම් පදනමක්, කලාවක්, ඉතිහාසයක්, වටිනාකමක් හා අගයක් ජවලිත කිරීමේ අටියෙනි.

එකී සෑම අංගයක් සහ අයිතමයක් ගැන වෙන වෙනම විමසා බැලිය හැක. පොත් ගණන් ලිවිය හැක. එහෙත් අවශ්‍යය වන්නේ යමක වටිනාකම එහි ඇති වටිනාකමින්ම විමසා බැලීමය. බ්‍ර්තාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂකය ද විමසා බැලිය යුත්තේ ඒ අර්ථයෙන්මය. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම්‍ ය. 

දකුණු අප්‍රිකාවෙන්, ඉංදියාවන් සහ වෙනත් රටවලින් රැගෙනා රජගේ ඔටුන්නේ ඇති දියමන්ති/මැණික් ආදිය එකී යටත් විජිතයන්ට නිසි වටිනාකමක්  නොගෙවා රැගෙනා දියමන්ති යැයි කීමට අපි ඉතා හොදින් හුරුවී සිටන්නෙමු. එහෙත් පොලොවෙන් මතුවූ වටිනා පාෂාණයකට වඩා වැඩි යමක් නොවු එකී දියමන්ති සහ මැණික් ආදියට අද ඇති වටිනාකම හිමිවී ඇත්තේ එවා ඉතා සියුම් ලෙස, සිය දහස් වාරයක්, කපා, ඔපදමා, සුවිශේෂී හැඩයක් සහ විශිෂ්ඨ ස්ථානයක වැජබවීම නිසා යැයි අපි අමතක කරති. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම්‍ යැයි මම දැක්වුයේ එහිනි.


මාකස් ප්‍රියන්ත පෙරේරා

06/05/23

Tuesday 2 May 2023

2004 ජායාරූපයකින් කියවෙන මහාපරිමාන කරවල වෙලෙන්දන් අපහරණය කිරීමට පෙර මීගමුව වෙරළ


The beach near the Negombo fort in 2004 before it was destroyed and disfigured by dryfish merchants. Photo courtesy: Nirmal Dewasiri මීගමුවේ කොටුව පිට්ටනිය අසල වෙරළ තීරය දැක්වෙන මෙම ජයාරෑපය උපුටා ගත්තේ නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ facebook පිටුවෙනි. 2004දී ගනු ලැබුවක් යැයි සදහන් මේ ජයාරෑපය අද මේ වෙරළ තීරය දකිනවාට වටා සම්පුර්ණයෙන්ම වෙනස්‍ ය. දැන් මේ වෙරළ තීරණය මුළුමනින්ම අත්කරගෙන ඇත්තේ කරෝල වෙලෙන්ඳන් කිහිප දෙනෙකි

අප පාසැල් යන කාලයේ මෙම වෙරළ; පලාතේ ධීවරයන්ගේ ධීවර යාත්‍රාද, මාළු බේරන සහ දැල් මහන ධීවරයන්ද, මාළු වෙලෙන්දන් සහ සුළු පරිමාණයේ කරවර වේලන්නද, පාසැල් ලමුන්ද, කුඩ යට කූඩුවු පෙම්වතුන්ද, සරුංගල් යවන්නන්ද, අන්නාසි හා කඩචෝරු විකුණන්නන්ද, රා, අරක්කු, සිගරට්, ගංජා බොන්නන්ද, ඉස්සා වඩේ සහ බැදපු මාළු විකුණනන්ද, 'ටොෆි- සිගරට්-නයිස්-බොම්බමුටේ', විකුණන්ද, ඔහේ - මෙහෙ ඇවිද යන්නන්ද, ඉබාගාතේ යන බල්ලන්, බළලුන් සහ ගවයන්ද, සිගමන් යදින්නන්ද, 'රත්‍තරන් පෙම්පුරානේ සිතුවම් මකා' දමන ඩොල්කි වාදකයින්ද, දාඩිය පිහමින් කැමරා කරකවමින් පොටෝ ගන්නා සංචාරකයින්ද නොඅඩුව දැකිය හැකි නිදහස් වෙරළ තීරයක් විය.

එහෙත් 2005 පසු මේ වෙරළ සම්පුර්ණයෙන්ම පාහේ කරවල වෙලෙඳන් කිහිපදෙනෙකු අත්කර ගත්තේ නිමල් ලංසා මංත්‍රිවරයාගේ පූර්ණ අනුග්‍රහය ඇතිවය. පසෙකින් පිහිටි, පසුව සිනමා ශාලාවක්වු, පැරණි 'මීපුර පුරහල' නම් මීගමුව නගර සභාවේ පැරණි නගර ශාලාව කඩා ඉවත්කල නිමල් ලංසා මංත්‍රිවරයා මෙම වෙරලේම මීගමුවට අඩුවක්ව පැවැති පුලුල් මාළු වෙලද සංකීර්ණයක්ද ඉදිකලේය. වෙරලේ ඉතිරි කොටස කරෝල වෙලෙඳන් අතට පත්කරන්නේ එම ක්‍රියාදාමයේම තවත් කොටසක් වශයෙන්ය.

එසේ වෙරළ අත්කරගත් කරවල වෙලෙඳන් කිහිප දෙනා ඈත එපිට වෙරළ තීරයන්ගෙන් පවා ලොරි ගනන් මාළු ගෙන්වාගෙන මහා පරිමාණයෙන් මාළු කරෝල කිරීමට කටයුතු කලේය. අද මුලු වෙරළම එකම කරවල වාඩියකි. ප්‍රදේශය පුරාම අපද්‍රව්‍යය ය. කරෝල දුගන්දය දැන් මීගමුව නගරයම ගදගස්සන තැනක් බවට පත් කර ඇත. එහෙත් අසල ඇති අධිකරණයටවත්, එහි නිතිවේදීන්ටවත්, මීගමුව පලාත් පාලන කාර්යාලයටවත්, අධ්‍යාපන කාර්යාලයටවත් එහි නිලධාරි/ නිලධාරිනියටවත් එහි වගක් නැත.

නුවරඑලියේ සංවර්ධන විමසා බලන ජනාධිපති රනිල් ලා මීගමුව 'නරාවාස' වී ඇති හැටි බලන්නට එහි යන්නේ නැත. එහෙත් මීගමුවේ ජනයා නම් රනිල් සහ ඔහුගේ UNP ට ඇති තරම් ගොඩ පිටින් චන්දේ දී ඇත. එහෙත් ඔවුන් මීගමුවට කල දෙයක් නැත. කලක් දිස්ත්‍රික්කයක්වු මීගමුව ගම්පහ නමින් බිහිකල නව දිස්ත්‍රික්කයකට ඈදා මීගමුවට හිමිවිය යුතුව තිබූ වැදගත්කම හීන කලේද 1977 බලයට පත්වූ UNP යම.

මේ කාරණා ගැන මීගමුවේ ජනයාගේ අදහස් උදහස් අපි නිතර මතුකරමින් සිටින්නෙමු. ඒ ගැන අවධානය යොමුවන තෙක්ම අපි මේ කාරණා මතුකල යුතුමය. නැති නම් මීගමුවේ අද පවතින ජරාජීර්ණ තත්වය එහි ස්වභාවය සේ ස්ථාපිත විය හැක.

නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ (2004) ඉහත ජයාරෑපය වැදගත් වන්නේ නිමල් ලංසලා 2005 සිට අපට අහිමි කල අපේ නිදහස් වෙරළ තීරය අපට ජයාරෑපයක් ඔස්සේ හෝ නැවැත මතකයට නැගෙන නිසාය. මෙම වෙරළ තීරය ගැන මම මීට පෙරද ලියා ඇත. ඒවා පහත යොමු ඔස්සේ කියවිය හැක. අවසාන වශයෙන් කිව හැක්කේ වෙරලේ යනු ධීවරයා ද ඇතුලත් මහජනයාට අයත්වන්නක් මිස මුදලාලිලා කිහිප දෙනෙකුට අයත් භූමියක් නොවේ. කරවල මුදලාලිලා කිහිපදෙනෙකු මෙසේ අත්කරගෙන සහමුලින්ම වනසා, විනාශ කර ඇත්තේ පිදුවේ මහජනයා භුක්තිවිදි මහජනයාට අයත් පොදු දේපොළකි. එහි පොදු අයිතිය නැවැත තහවුරු කල හැක්කේද මහජනයාටම.

මාකස් ප්‍රියන්ත පෙරේරා

02/05/23