This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 5 May 2023

ඊජිප්තුවේ ෆාරුක් රජ කී අවසාන රජ සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජ

ලොව අවසාන වශයෙන් ඉතිරිවන්නේ එංගලන්තයේ රජත්, කාඩ් කූට්ටමේ රජවරුනුත් පමණක් යැයි 1952 දී බලයෙන් පහ කළ ඊජිප්තුවේ සහ සූඩානයේ අවසාන රජ වූ පලමු වන ෆාරුක් රජ වරක් දක්වා තිබුනි: Soon there will be only five Kings left - the King of England, the King of Spades, the King of Clubs, the King of Hearts and the King of Diamonds.


ෆාරුක් රජගේ එම ප්‍රකාශයට පෙරත්, ඉන් පසුවත් ලෝකය රජවරුන්ගෙන්, රජ පවුල්වලින්, එකින් එක නිදහස් වෙමින්, ඉවත් කරමින්, පලවා හරිමින් තිබුනි. එම නිසාම අද වන විට ලෝකයේ කිසියම් ආකාරයකින් මහේශාක්‍යය අර්ථයෙන් අර්ථ දක්වන රජ පවුලක් ඉතිරිවී ඇතොත් ඒ අතර ඉහලින්ම ඇත්තේ බ්‍රිතාන්‍යය රජ පවුල බවට කිසිදු සැකයක් නැත.

ප්‍රතිසංස්කරණවාදීන්ගේ සිට ජනරජවාදීන් දක්වා ද, රාජාණ්ඩු විරෝධීන් දක්වා ද, බ්‍රිතාන්‍යයේ දේශපාලන ධාරාවන් වරින් වර ඉස්මතු වෙමින්, තීව්‍ර වෙමින්, තහවුරු වෙමින් ගලා යන නමුත් බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය මෙන්ම රජ පවුලද අදටත් එරට තුළ තදින්ම මුල්බැස්ගෙන ඇත.

එහිලා හේතුවී ඇත්තේ බ්‍රිතාන්‍යයන් සිය රාජකීයන්ට දක්වන පක්ෂපාතීවය ද, ගතානුගතික සම්ප්‍රදායන් හා පෞරාණික වටිනාකම් පිලිබදව එරට ජන සමාජය තුළ තහවුරු වී ඇති ආකල්ප ද, රජ පවුල සහ රාජකීයත්වය එරට ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රීය අංගයක් වශයෙන් සලකන නිසා ද, එරට ක්‍රමික දේශපාලන විකාශනයේ අදටත් ශේෂව ඇති එහෙත් වියකී යා නොදී රැකගත යුතු සලකුණක් වශයෙන් සලකන නිසා ද, එක්සත් රාජධානිය මෙන්ම පොදු රාජ්‍යය මණ්ඩලය ද එකට බැද තබන බැම්ම ලෙස එරට රාජකීයත්වය සලකන නිසා ද, එරට මෙන්ම එහි යටත් විජිතයන්ගේ, ඩොමීනියන් රාජ්‍යයන්ගේ සහ ස්වායත්ත රාජ්‍යන්ගේ ද රාජ්‍ය නායකයා හෝ නායිකාව ලෙස බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජින සලකන්න නිසා ද, නැතහොත් මෙකී සහ නොකී සියළු හේතු සාධක නිසා ද, යන්න වෙනම වෙන්කර ගත නොහැක්කකි.

එම නිසාම අද (06/05/ 23) බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍ය මේ යුගයේ පවත්වන අද්විතීය රාජාභිනන්දන රාජාභිෂේකයක් බව පැහැදිලිය.

බ්‍රිතාන්‍යයේ රජගේ ඔටුනු පැලදවීම රාජාභිෂේක - මෞලි මංගල්‍යය ඒ පදනමින්ම විග්‍රහ කරගැනීමට රාජකීයත්වයට ඇලුම් කරන්නෙකු වීමට හෝ බ්‍රිතාන්‍යයෙක් වීමට හෝ ඔවුන්ගේ ගැත්තෙක් වීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යමක ඇති, එයටම හිමිවූ හෝ එයට ආරෝපණය කර ඇති අගය එම වටිනාකමින්ම විමසා බැලීමය. අන්ධයාට මැණිකෙන් ඇති වැඩක් නැත්තා සේම ඒ ඒ කරුණු ඒ ඒ ආකාරයෙන් විමසා බැලීමට ‍යොමු නොවී අපි අපේම සීමා තුළ හිර වන්නෙමු නම්, අපිට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකයේ ද කිසිදු කලාවක්, වටිනා කමක්, අගයක්, විචිත්‍රණයක්, සම්ප්‍රදායක් හා සංස්කෘතියක් දැකිය නොහැක්කාය.

අද පවත්වන බ්‍රිතාන්‍යයේ මෞලි මංගල්‍යය සැලසුම් කර, සුදානම් කර ඇත්තේ ද එහිලා යොදාගන්නා ඔටුනේ සිට අත් පලදනාව දක්වා ද, ඇදුම් ආයිත්තම් වල ඇති බොත්තම් හී සිට සෑම අංගයක්, අංගයක් පසාම කිසියම් පදනමක්, කලාවක්, ඉතිහාසයක්, වටිනාකමක් හා අගයක් ජවලිත කිරීමේ අටියෙනි.

එකී සෑම අංගයක් සහ අයිතමයක් ගැන වෙන වෙනම විමසා බැලිය හැක. පොත් ගණන් ලිවිය හැක. එහෙත් අවශ්‍යය වන්නේ යමක වටිනාකම එහි ඇති වටිනාකමින්ම විමසා බැලීමය. බ්‍ර්තාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂකය ද විමසා බැලිය යුත්තේ ඒ අර්ථයෙන්මය. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම්‍ ය. 

දකුණු අප්‍රිකාවෙන්, ඉංදියාවන් සහ වෙනත් රටවලින් රැගෙනා රජගේ ඔටුන්නේ ඇති දියමන්ති/මැණික් ආදිය එකී යටත් විජිතයන්ට නිසි වටිනාකමක්  නොගෙවා රැගෙනා දියමන්ති යැයි කීමට අපි ඉතා හොදින් හුරුවී සිටන්නෙමු. එහෙත් පොලොවෙන් මතුවූ වටිනා පාෂාණයකට වඩා වැඩි යමක් නොවු එකී දියමන්ති සහ මැණික් ආදියට අද ඇති වටිනාකම හිමිවී ඇත්තේ එවා ඉතා සියුම් ලෙස, සිය දහස් වාරයක්, කපා, ඔපදමා, සුවිශේෂී හැඩයක් සහ විශිෂ්ඨ ස්ථානයක වැජබවීම නිසා යැයි අපි අමතක කරති. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම්‍ යැයි මම දැක්වුයේ එහිනි.


මාකස් ප්‍රියන්ත පෙරේරා

06/05/23

No comments:

Post a Comment