This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 18 July 2019

තිරිගු පිටි ගණන් ගියා නේද? ඇට ටිකක් එවන්නද?


පාන් හදන තිරිගු පිටි ලංකාවේ ජනයා අතර මුල්බැසගන්නේ වැඩි ඈතකදී නොවේ, දෙවන ලෝක යුද්ධ සමයේය. ඒ ශ්‍රී ලංකාවේ සහල් අවශ්‍යතාවය සපුරාගැනීම සදහා සහල් ගෙනාවගත් බුරුමය දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ආක්‍රමනයට නතුවීම නිසා රටේ ඇතිවු සහල් හිගය පියවා ගැනීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඕස්ට්‍රේලියාවෙන් තිරිගු පිටි ගෙන්වා පුද්ගලයෙකුට ග්‍රෑම් 225 බැගින් බෙදාදීමත් සමග තිරිගු පිටි මහජනයා අතර වඩා ප්‍රචලිතවිය. 

එම කාලයේම ශ්‍රී ලංකාවේ සහල් හිගය පියවීම සදහා ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය දිරිමත් කිරීමටත් බ්‍රිතාන්‍යයන් කටයුතු කළේය. එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ කෘෂිකර්ම ඇමතිවරයාවූ D.S. සේනානායකගේ ව්‍යාපෘති සම්බන්දයෙන් බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රවේශයවුයේ එමගින් යුද්ධ සමයේ ඇතිවී තිබු සහල් හිගයට යම් පිළිසරණක් වේය යන්නය. ''සිරිපාද කන්ද තරම් මුදල් වියදම් උනා'' යැයි ප්‍රතිවාදීන් D.S. ගේ මින්නේරිය, කන්තලේ, කලලු වැව, කහගහ කොලනිය වැනි ගොවිජනපද ව්‍යාපාර සම්බන්දයෙන් චෝදනා නගද්දී එම ව්‍යාපෘති  සාර්ථකත්වයකට ගෙන ඒමට හැකිවුයේ යුද්ද සමයේ යටත් විජිත පාලකයා ලබාදුන්න එකී සහයෝගයත් සමගය.

කෙසේවුවද, යුද්දෙන් පස්සෙත් ලංකාවට තිරිගු පිටි දිගින් දිගටම ගෙන්වන්නට සිදුවිය. මන්දයත්, පාන් සදහා රටේ විශාල ඉල්ලුමක් පැන නැගී තිබුණ බැවිනි. එම නිසාම නිදහසින් පසුව පත්වූ සෑම රජයක්ම  ඕස්ට්‍රේලියාවෙන් පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයෙන් පවා පාන්පිටි ගෙන්වීමට කටයුතු කළේය. ඇමරිකාවේ PL480 ගිවිසුමෙනුත් පාන්පිටි ලංකාවට ගෙන්වා ගන්නා ලදී. තිරිගුපිටි හෙවත් පාන්පිටි ඒ කාලේ හදුන්වාදුන්නේ 'ඇමරිකන් පිටි' නමිනි. පාන්, බනිස්, රොටි කෑම ලක්වැසියන් අතර ප්‍රචලිතවීමත් සමග පාන්පිටි පිටරටින් ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වියදමක් දැරීමට සිදුව ඇත.    

මේ තත්වය තුල පාන්පිටි ගෙන්වීම වෙනුවට ශ්‍රී ලංකාවට තිරිගු ඇට ගෙනවිත් පාන්පිටි නිෂ්පාදනය කිරීම අරභම්බ කරනුයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනියව සිටි ''සිය රට දේ සිරිසැප දේ'' යැයි යන ආදර්ශ පාඨය පෙරටුකරගත් 'සමගි පෙරමුණ ආණ්ඩුව' පැවති 1976 දීය. ත්‍රිකුණාමල වරායේ කොනක සිංගප්පූරු සමාගමක් තිරිගු ඇට පිටි කරන කර්මාන්තශාලාවක් ආරම්භ කරනුයේ ඒ සමයේය. එම සිංගප්පූරු සමාගම ලාභය පමණක් නෙව තිරිගු ඇට පිටි කිරීමෙන් ඉතිරිවන හොදම හරියවු 30%ක් පමණවන නිවුඩ්ඩ සහිත කොටස සිංගප්පුරුවට රැගෙන යන ලදී. සිංගප්පූරුව විසින් එම යුගයේ සිදුකල සාර්ථක ආයෝජනවලින් එකක් ලෙස ත්‍රිකුණාමලයේ පිහිටවූ ඔවුන්ගේ ඉහත කර්මාන්ත ශාලාව නම් කර තිබුණි.  

ත්‍රිකුණාමලයේ දැන්ඇති තට්ටු 07ක් උස ප්‍රීමා තිරිගුපිටි කම්හල බිහිවෙන්නේ 1977 පසුවය. එකම කර්මාන්ත ශාලාව සදහා විවිධ රටවලින් තිරිගු ඇට ගෙන්වනු ලැබේ. වර්තමානයේ  ලෝකයේ ප්‍රධාන වශයෙන් තිරිගු නිපදවන රටවල් වනුයේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය සහ යුරෝපා සංගමයට අයත් වෙනත් රටවල්ය. මේ දිනවල තිරිගු මොට්‍රික් ටොන් එකක මිල  ඇමරිකන් ඩොලර් 223 සිට 142 දක්වා විවිධ වර්ගවල අනුව මිල ගණන් නියමවන තිරිගු මිල දර්ශකය එතරම් වේගයෙන් උච්චාවචනය වෙනබවක් නොපෙන්වයි. එසේ වනුවේ තිරිගු නිපදවන රටවල් සියල්ලම පාහේ සිය දේශීය අවශ්‍යතාවය සදහා ප්‍රමුඛතාවයදීම නිසාය. එහෙත් තිරිගු නිපදවන සෑම රටක්ම පාහේ අපනයනය සදහාද ප්‍රමාණවත් තරම් තිරිගු නිපදවනු ලැබේ. බ්‍රිතාන්‍යයේ වුවද වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන පහක පමණ ප්‍රමාණයක් තිරිගු නිපදවන අතර ඉන් 84%ක්ම දේශීය පරිභෝජනය සදහා යොදාගැනේ. 

එසේ ගත්කල පේනී යනුවේ පාන්, බනිස්, පේස්ට්‍රි, කේක්, රොටි ආදී කෑම ජාති බහුලව භාවිතාකරන රටවල් ඔවුන් වවා ඔවුන් පරිබෝජනය කරන අතර, ශ්‍රී ලංකාව වැනි රටවල ජනයා ඔවුන් වවන දේ ණය වී ආනයනකර පරිබෝජනය කරයි. එය එම රටවලට ආර්ථිකමය වශයෙන් මෙන්ම පරිබෝජන රටාව අනුවද ගැටළුවකි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/07/2019

Tuesday 2 July 2019

පාස්කු ප්‍රහාරයෙන් දරුවන් අහිමිවූ ඩෙන්මාර්ක් බිලියනපතියා ව්‍යාපාර කටයුතු කිහිපයකින් ඉවත්වේ. දැඩි ක්‍රියාමාර්ගයකට පෙළගැස්මක්?


සිය දරුවන් 04 දෙනා සහ භාර්යාව සමග ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයට ලක්ව, කොළඹ Shangri-La හෝටලයේදී දරුවන් 3දෙනෙකුම අහිමිවූ ඩෙන්මාර්ක් ජාතික බිලියනපතියෙකුවන Anders Holch Povlsen මහතා ව්‍යාපාර කිහිපය අධ්‍යක්ෂකධුරවලින් ඉවත්වී තිබේ. 

ලෝකප්‍රකට ASOS, Zalando, Bestseller, Vila, Jack & Jones ආදී ඇදුම් විලාසිතා අලෙවිකරන ආයතන කිහිපයක්ද, UKMail, DHL ආදී වෙනත් ආයතන කිහිපයක්ද, වර්ග කිලෝමීටර් 1000ට අධික දේපලක් ස්කොට්ලන්තයේද, තවත් එවැනිම දේපල සමුහයක් රුමේනියාවේ සහ ඩෙන්මාර්කයේද හිමිකරගෙන සිටින Anders Holch Povlsen මහතා මෙසේ අධ්‍යක්ෂකධුරවලින් ඉවත්වී ඇත්තේ Vila සහ Bestseller ව්‍යාපාර ජාලයට අයත් සමාගම් කිහිපයකිනි. 

ඒ අතරින් Vila ව්‍යාපාරික ආයතනය යනු Anders Holch Povlsen මහතා 1990 සිට අධ්‍යක්ෂධුරය දැරූ මෙන්ම ඔහුගේ ව්‍යාපාරික ජීවිතයේ සාර්ථකත්වයට වඩාත් දායකවූ ව්‍යාපාර ආයතනයවිය. මීට අමතරව ඔහු කොටස්හිමිකරගෙන සිටි සමාගම් රාශියකම කොටස් විකුණා දමමින් සිටින බවද වාර්තාවේ. ඒ අතර UKMail සහ DHL ආදියදවේ. දැන් UKMail ආයතනය DHL ආයතනය සමග ඒකාබද්ධවී සිටී. 

පාස්කු ප්‍රහාරය නිසා සිය දරුවන් 04 දෙනාගෙන් 03 නෙකුම අහිමිවීමේ ශෝකය ඔහුට, ඔහුගේ බිරිදට සහ ඉතිරිවී ඇති එකම දරුවාට පමණක් නොව ඔහුගේ ව්‍යාපාරයන්වලටද තදින් බලපා තිබේ. සිය දරුවන්ගේ මරණය ගැන ශෝකය පලකරමින්, දහස්ගණන් ශෝකපත් එවූ සියල්ලන්ටම ස්තූතිය පලකල කරමින් අදහස් දක්වා සිටි ඒ මහතා එවන් විපතක් වෙන කිසිවෙකුට නොවේවා යැයි ප්‍රාර්ථනා කළේය. 

මේ අතර ලංකාවේ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට තිබු බව දැන් ලොවපුරාම පිළිගැනීමට ලක්ව ඇත. විශේෂයෙන් ආරක්ෂක ඇමති, ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය වගකීම් ඉටු නොකර ඇති බවත්, ජීවිත සිය ගණනක් අනතුරේ හෙලා ඇති බවත් ලෝක මාධ්‍ය ඔස්සේ හෙළිදරුව්වෙමින් තිබේ. 

මේ තත්වය හමුවේ වෙනත් කවරෙකු හෝ බිල්ලට දී තමන්ගේ ඇග බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දගදරමින් සිටී. එහිලා ඔහු ප්‍රථමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට වරද පවරා නිදහස්වීමට දැරූ උත්සහය දැන් අසාර්ථකවී ඇති තත්වයක් තුල හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂාක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මත වගකීම පවරා නිදහස්වීමට උත්සහ කරමින් සිටී. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පාස්කු ප්‍රහාරයේ වගකීම කවරකුට හෝ පවරා නිදහස්වීමට උත්සහ කරන්නේ මාස දෙකක් ගතවී තිබුනද පාස්කු ප්‍රහාරය ගැන මතකය අමතකවී නොයාමත්, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නැගීම ලංකාව තුල පමණක් නොව ජාත්‍යන්තරවත් වර්ධනයවීමේ තත්වයක් තුලය. එය තමාට සිරදඩුවම් පැනවීම්ක් දක්වා පමණක් නොව සිය පවුලේ සමාජිකයින්ට පවා යුරෝපය ඇතුළු රටවල් රාශියකට ඇතුල්වීමට සහ ආයෝජනය කිරීමට පවා අවස්ථා අහිමිකිරීමට හේතුවන තත්වයක් දක්වා වර්ධනයවේ යැයි යන අනතුරු ඇගවීමක් ජනාධිපතිවරයාට කවරකු හෝ ලබාදී ඇති බවක් පෙනේ. 

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමට ඩෙන්මාර්කයේ බිලියනපති Anders Holch Povlsen මහතාට සහ Alex Nicholson මහතාට දිනපතා ඉල්ලීම් ඉදිරිපත්වෙමින් ඇතැයි කියවේ. පාස්කු ප්‍රහාරයෙන් Alex Nicholson මහතාගේ දරුවන් දෙදෙනාම මෙන්ම සිය බිරිදවූ සිංගප්පූරුව කේන්ද්‍රකරගත් ප්‍රකට නීතිවේදිනියකවූ Anita Nicholson මහත්මියද මියගියහ. 

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටුකරගැනීමට ජාත්‍යන්තර වශයෙන් මැදිහත්විය යුතුයැයි යනුවෙන් ඉල්ලාසිටින පිරිස අතරට අළුතින්ම එකතුවෙමින් සිටින පිරිස වනුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් දිගින් දිගටම හඩ නැගූ පිරිස්ය. ශ්‍රී ලංකාව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති, ඔවුන් සමුල ඝතනයවීමට ඉඩ සලසන වර්ගවාදී රාජ්‍යයක් යැයි නිතර හඩ නගන ඔවුන් දැන් පෙන්වා දෙන්නේ එය දෙමළ ජනයාගෙන් නොනැවතී නව වටයකින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයා වෙතද පැමිණ ඇති බවයි. 

වර්ධනය වෙමින් ඇති මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා කතෝලික සභාව කුමන ක්‍රියාමාර්ගයකට යොමුවේදැයි යන්න ගැන සියල්ලෝ විමසීමෙන් පසුවෙති. විශේෂයෙන්ම යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීම සදහා මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ඇතුළු ශ්‍රී ලංකා කතෝලික සභාවට වඩ වඩාත් සක්‍රියව දායකවෙන්න යැයි ඉල්ලීමද දිනෙන් දින ඉහල යමින් තිබේ. එය වතිකානුව දක්වා හමා යෑමට වැඩි කලක් නොයන ඇත.

මෙම පෙළගැසීම් අතරතුර ඩෙන්මාර්ක් ජාතික බිලියනපති Anders Holch Povlsen මහතා සිය ව්‍යාපාරික වගකීම්වලින් තරමක් නිදහස්වෙමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ද නැති කණ්ඩායම් කිහිපයක් මුණගැසෙමින්, ස්කොට්ලන්තයේ මේ දිනවල සිදුකරමින් සිටින්නේ කුමක්දැයි යන්න ගැනද අවධානය යොමුවෙමින් පවතී.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
02/07/2019