This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 26 February 2017

ශාන්ත සෙබස්තියන්තුමා මිහිදන් කර ඇති පැරණි රෝම උමං සොහොන

ශාන්ත සෙබස්තියන්තුමා යනු ලොව පුරාම වෙසෙන කිතුනුවන් අතර විශාල භක්ති-ආදරයකට ලක්වූ ක්‍රිස්තියානි ආගමීක විශ්වාසය වෙනුවෙන් දිවිපිදූ (martyrdom) ප්‍රාණ පරිත්‍යාගවරයෙකි (martyr). ක්‍රි. ව. 256 දී නිරිත දිග ප්‍රංශයේ වෙරළ අද්දර පිහිටි කුඩා නගරයක් වන නර්බෝනා (Narbonne) නගරයේ උපතලද මෙතුමා ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා (Emperor Diocletian) විසින් රෝමයේදී මරාදමනු ලදි. එහෙත් එතුමාගේ නාමය සහ විශ්වාසය අදටද එතුමා ජීවත්වූ ප්‍රදේශයෙන් සැතපුම් දහස්ගනනක් ඈත එපිට ප්‍රදේශයන්වල ජනයා අතර පවා  ලැගුම්ගත්තකි. 

පුංචි රෝමයවූ අපගේ මීගමුව නගරයේ පමණක්  ශා. සෙබස්තියන් මුනිදුන් වෙනුවෙන් ඉදිකළ විශාල දේවස්ථාන දෙකක් කටුවපිටිය සහ වැල්ලවීදිය ප්‍රදේශයේ ඉදිකර තිබේ. ඊට අමතරව තවත් කුඩා දේවස්ථාන දෙකක් මීගමුව ඇළපාර පෙරියමුල්ලේ සහ මීගමුව පළගතුරේ කුඩා ලෙල්ලම ඉදිරිපිට ඉදිවී ඇත. ඉන් තුනක් ගැනම මම මීට පෙර මෙහි සටහන්කර තිබේ. ඒවා

1.මීගමුව කටුවපිටිය ගම, එහි ශා. සෙබස්තියන් පල්ලිය සහ කතෝලික පල්ලියේ දේශීය ලක්ෂණ (මෙතැනින් පිවිසෙන්න)

2.මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!(මෙතැනින් පිවිසෙන්න)

3.ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්(මෙතැනින් පිවිසෙන්න)

ආදී ඉහත යොමු ඔස්සේ කියවිය හැක. මෙම පල්ලිවල මංගල්‍යය සමයේ  නිතර වාදනය වූ 'නර්බෝනා නගරයේ වීරයනී' නම් ගීතිකා ඛණ්ඩය පවා තවමත් මා සවනේ රැදී තිබේ. 

එම නිසාම වරක් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට දකුණු ප්‍රංශයේ තුළුස් (Toulouse) නුවර දක්වාවූ දුම්රියෙන් ගමන් කරමින් සිටින විට එම මාර්යේ පිහිටි නර්බෝනා (Narbonne) නගරයට ගොඩවී එය කුමනා කරාදැයි විමසා බැලීමට මම අමතක නොකලෙමි. සෙබස්තියන් මුනිදුන් ගැන කථා පුවත අප ග්‍රාමයේ පිහිටි ඉහත පල්ලි  ඔස්සේ කුඩාකල සිටම අප හදවත් තුල තැම්පත්වී, මුල් බැසගෙන තිබුනේ ඒ ආකාරයටය. 

කෙසේවුවද, සිය ළමා කාලයෙන් වැඩි කොටසක් ඉතාලියේ මිලානෝ නගරයේ  ගෙවූ සෙබස්තියන් මුනිදුන් රෝම අධිරාජ්‍යය වෙනුවෙන් සටන්කල සෙන්පතියෙක් විය. එහෙත් ඔහු රහසිගතව ක්‍රිස්තියානි ආගම වැළදගත් තැනැත්තෙක් බව රෝම හමුදා නිලදාරීන්ට සොයාගෙන තිබේ. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල, රෝම අධිරාජ්‍ය තුල ක්‍රිස්තියානි ආගම ඇදහු තැනැත්තන්ව දසවද දී මරාදමන ලදී. 

එහෙත් තරුණ රෝම සෙන්පතියෙක්වූ සෙබස්තියන් හට අවස්ථාවක් දුන් රෝම නිලධාරීන් ඔහු සිය ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, සෙසු ක්‍රිස්තියානීන්වද අල්ලාදෙන්නේ නම් ඔහුව නිදහස් කොට නැවත සිය තනතුරේම පිහිටවිය හැකි බව දන්වා ඇත. එහෙත් ඔහු සිය විශ්වාසය සහ ආගම වෙනුවෙන් දිවිපිදීම තෝරාගෙන තිබේ. ඒ අනුව ගසක බැද හේවායින් විසින් දුනුවිද මරාදැමීමට ක්‍රියා කලද ඔහු මිය නොයන ලදී. පසුව මාරාන්තික තුවාල ලබා සිටියදී ක්‍රිස්තියානීන් විසින් ඔහුව මුදාගෙන නැවත සුවපත්කර තිබේ. 

අනතුරුව ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා  (Emperor Diocletian) ගමන්කරන මාර්ගයේ රැදී සිට ඔහු පැමිණිවිට ඔහු සමීපයටම ගොස් තමා මියගියේ නැති බවත්, ක්‍රිස්තියානි ආගම එසේ ක්‍රිස්තියානීන් මරා දමා යටපත් කල නොහැකි බවත්, එහෙයින් ක්‍රිස්තියානනීන්ට එරෙහි මර්ධනය නතර කරන  ලෙසත් දියෝකිලේටියන් අධිරාජ්‍යයාගෙන් (Emperor Diocletian) ඉල්ලා ඇත. එහිදී නැවත අත් අඩංගුවට ගත් මෙතුමාව අධිරාජ්‍යාගේ අණ පරිදි මැරෙන තුරු කටු සැමිටියෙන් (scourge) පහරදී මරණයට පත්කර පැරණි රෝම අපද්‍රව්‍ය ප්‍රවාහක කානුවට (Cloaca Maxima) ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තල්ලුකර දමා තිබේ. 

එහෙත් එදින රාත්‍රීයේදී ඔහුගේ සිරුර වැටී ඇති තැන තවත් ක්‍රිස්තියානි බැතිමතෙකුට සිහිනයෙන් දැකගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව ක්‍රිස්තියානීන් ඔහුගේ සිරුර සොයාගෙන පැරණි රෝම නගර පවුරෙන් (The Aurelian Wall) එපිට පිහිටි ක්‍රිස්තියානීන් භාවිත කල පැරණි රෝම උමං සොහොනක (catacomb) තැම්පත් කර තිබේ. 

අද Catacombe San Sebastiano පල්ලිය ඉදිකර ඇත්තේ එම උමන් සොහොන මතය. ක්‍රිස්තියානි වාර්තාවලට අනුව මෙම ශා. සෙබස්තියන්  උමන් සොහොන තුල පේදුරුතුමාගේ සහ පාවුළුතුමාගේ සිරුරුද කලක් තැම්පත් කර තිබේ. ඒ ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ ක්‍රි.ව. 1-322 අතර කාලයේදීය. එකල කිලෝමීටර් 12ක් දුරට විහිදී තිබු  මෙම උමන් සොහොන මෙන්ම තවත් එවැනිම සොහොන් 55 රෝම නගර පවුරෙන් එපිට පිහිටා තිබී සොයාගෙන ඇත. ඉන් බොහෝමයක් එකල විසු ක්‍රිස්තියානී ජනයා විසින් භාවිතා කර තිබේ. එහෙත් අද මහජනයාට නැරබීමට විවෘතව ඇත්තේ 05ක් පමණි. 

කෙසේවුවද, රෝමයේ ශා.පීතර බැසිලිකාව ඉදිකළවිට  පේදුරුතුමාගේ සිරුර එම බැසිලිකාවේද, පාවුළු තුමාගේ සිරුර රෝමයේ ශා. පාවුළු බැසිලිකාව ඉදිකලවිට එහිද තැන්ම්පත්කර තිබේ.  එහෙත් ශා. සෙබස්තියන්තුමාගේ සිරුර පිහිටි උමන් සොහොන මතම එතුමා නමින් ක්‍රි.ව. 4වෙනි සියවසේදී මෙම දේවස්ථානය ඉදිකර එතුමාගේ සිරුර එහි තැම්පත්කර තිබේ. එමෙන්ම එතුමාව මරා දැමුවේ යැයි සැලකෙන Palatine කන්ද මතද San Sebastiano al Palatino නමින් 10වෙනි සියවසේ ඉදිකළ දේවස්ථානයක් ශා. සෙබස්තියන්තුමා නමින් පිහිටුවා ඇත. එහෙත් San Sebastiano fuori le mura (Basilica of Saint Sebastian outside the walls) හෙවත් San Sebastiano ad Catacumbas (Saint Sebastian Catacumbas) නම් මෙම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය රෝමයේ පිහිටි කතෝලිකයන්ගේ  ප්‍රධාන වන්දනීය ස්ථාන 07න් (Seven Pilgrimage Churches of Rome) එකකි. සෙසු දේවස්ථානය වනුයේ ශා. පීතර බැසිලිකා, ශා. පාවුළු බැසිලිකා, ශා. ජෝන් ලේටරන්, ශා. මේරි මැජෝරේ, ශා. ලෝරන්ස් සහ ශුද්ධවූ කුරුසේ බැසිලිකා දේවස්ථානය.

ශා. සෙබස්තියන්තුමා ඇතුළු සියළු ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරුන් මට සිහිකරනුයේ ක්‍රිස්තියානි  සුභාරන්චිය නොනැසී, සියවස් ගණනාවක් පවත්වාගෙන යෑමට කෙතරම් නම් පිරිසක් ජීවිත පුජාවෙන් කටයුතු කර තිබේද යන්නය. ඔවුන්ගේ ප්‍රාණ පරිත්‍යාගයන්, ජීවිත පුජාවන් නොවන්නට කිතුදහම  අද ලබා ඇති අද්වීතීය ස්ථානය කිසිසේත්ම හිමි කර නොගැනීමට පවා ඉඩ තිබුණි. අද ඇතැම් මුලධර්මවාදීන් කතෝලික සභාව ශාන්තුවරයන් ස්මරණය කරනුයේ ඇයිදැයි අසන අවස්ථා තිබේ. එහෙත් ශාන්තුවරයන්ගේ ඉහත ප්‍රාණ පරිත්‍යාගයන් නොවන්නට එසේ ඔවුනට වාද කිරීමට පවා ක්‍රිස්තියානි දහමක් ඇතැම් විට ඉතිරිවීමට ඉඩ නොතිබිණි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
26/02/17.


 


Sunday, 19 February 2017

ශා. පාවුළුතුමා මරාදැමුවේ යැයි සැලකෙන ස්ථානයට ගියෙමි.

ඉතාලියේ රෝම නගර මාධ්‍යයේ සිට කිලෝමීටර් 12ක් පමණ ඇතින් ඇති පැරණි රෝම නගර පවුරෙන් එපිටින් පිහිටි ශා. පාවුළුතුමා මරා දැමුවේ යැයි සැලකෙන ස්ථානයට යෑමට ලැබුණි. මගේ කුතුහලය වුයේ කුඩා කාලයේ අප අසා ඇති ලෙස  ශා. පාවුළුතුමාගේ හිස ගසා දමා මරණවිට ඔහුගේ හිස වැටුන ස්ථාන 03ක දිය උල්පත් මතුවුයේද යන්න දැක ගැනීමය. මා අසා ඇති කථාව ලෙසම පාවුළුතුමා හිස ගසා මරාදැමු ස්ථානයේ එලෙස ඔහුගේ හිස වැටුන තැන් තුනක මතුවූ දිය උල්පත්  තුනක් San Paolo alle Tre Fontane නම් එම ස්ථානයේ දැකිය හැක.

පාවුළුතුමා, ඔහුගේ ඉගැන්වීම, ඔහුගේ ජීවන චරිතය, සහ ඔහුගේ මරණය ගැන මා බොහෝ දේ කියවා ඇත. විශේෂයෙන්ම යුදෙව් ජනයා අතරින් පැන නැගුන ක්‍රිස්තියානි ආගම ලෝක ව්‍යාප්ත ආගමක් බවට පත්කිරීමට ඔහු විශාල මෙහෙයක් කල තැනැත්තෙකි.  
බයිබලේ නව ගිවිසුමට අයත් පොත් 27න් 13ක් පමණ සකස්වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් ඇතුලත් ලිපි ලේඛන ඇසුරිනි. සැතපුම් 10,000ක් පමණ අතිවිශාල ප්‍රදේශයක පයින් ඇවිදීමින් කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම් ගොඩ නැගු ඔහු ඊට වඩා විශාල ප්‍රදේශයක් පුරා මුහුදු මගින් යාත්‍රාකර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කර තිබේ. 

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය හුදෙක් ජුදෙව් ජනයාට පමණක් නොව ලොව පුරා වෙසෙන සියළු ජාතින්ට විමුක්තිය අත්කරදෙන්නක් යැයි මුලින්ම ප්‍රකාශකල තැනත්තන්ගෙන් කෙනෙකුවූ පාවුළු තුමා. ක්‍රිස්තියානින්වීමට යුදෙව්වන් මෙන් චර්මච්දනයෙන් තොරව බවුතිස්මය යටතේ සිදුකල හැකිබව පෙන්වාදෙන ලැබුවෙකි. ග්‍රීක යුදෙව්වෙකු මෙන්ම රෝමානු පුරවැසියෙකුවූ ඔහු ග්‍රීක දර්ශනය මෙන්ම ජුදෙව් නීතීය පිලිබදව හැදාරූවෙකු බව පෙනේ. විශේෂයෙන්ම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරවන රෝමය, බයිසන්තියම සහ ඇතැන්ස් නගරවෙත ක්‍රිස්තියානි දේවධර්මය ගෙනයෑමටත්, එම නගරවල ක්‍රිස්තියානි ආගම මුල්බැස ගැන්වීමේත් අවශ්‍යතාවය වෙනුවෙන් නිතර පෙනීසිටි අයකි. 

දීර්ඝ ධර්ම ප්‍රචාරක චාරිකාවලින් පසුව නැවත ජෙරුසලමට ඇතුල්වී ප්‍රධාන ජුදෙව් දේවස්ථානයේ ජේසු ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්  පිළිබදව දේශනයක් කිරීමට උත්සහ කලවිට ජුදෙව්වන් විසින් මාර දැමීමට උත්සහ කල නමුත් රෝම සෝල්දාදුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව රෝම පුරවැසියෙකු ලෙස රෝම අධිකරණයේ පිහිට පැතීම නිසා රෝමයට පිටත්කර තිබේ. 

එලෙස රෝම අත්අඩංගුවේ සිටියදී ඔහුට යම් නිදහසක් ලැබී ඇති අතර ඒම නිදහස උපයෝගී කරගෙන රෝමය තුලද ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කර තිබේ. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල පාවුළුගේ කටයුතු සම්බන්දයෙන් කිපුණ රෝම නිලධාරීන් නීරෝ අධිරාජ්‍යාගේ ක්‍රිස්තියානි මර්ධනය අනුව යමින් ඔහු අල්ලා හිසගසා මරාදමා ඇත. එහෙත් ක්‍රි. ව. 1 සිට ක්‍රි. ව. 322 දක්වා කාලය තුල ක්‍රිස්තුධර්මය තහනම් කරමින්, ක්‍රිස්තියානින් සමුල ඝහතනය ක්‍රිස්තියානි ආගම මර්ධනය කර යටපත් කර දැමීමට උත්සහ කලද එය ලෝක ව්‍යාප්ත ආගමක් බවට පත්කිරීමටත්, එය නොනැසී පවත්වාගේන යාමටත් සමත්වූයේ පාවුළු වැනි පුද්ගලයින්ගේ මැදිහත්වීම නිසා බව පැහැදිලිය. 

ජේසුගේ ගෝලයෙකු නොවූ නමුත් පසුව ක්‍රිස්තියානි ආගම වැළදගත් පාවුළුගේ මැදිහත්වීම තුල ක්‍රිස්තියානි ආගම තවත් කුඩා යුදෙව් සංගයක් නොවී ඉන් ඉවත්ව පුළුල් ආගමක් බවට පත්වුවද, පවුළුගේ ඉගැන්වීම් සම්පුර්ණයෙන්ම යුදෙව් ආගමික ඉගැන්වීම්වලින් සහ යුදෙව් සිරිත්විරිත්, සහ ඇතැම් යුදෙව් නීතීවලින් සහමුලින්ම මිදුනක් නොවන බව මගේ කියවීමය. ඒ පිලිබදව පසුව සටහන් කරමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/02/17


Thursday, 9 February 2017

සමලිංගිකත්වය සහ මනුෂ්‍යත්වය

සමලිංගිකත්වය පිළිබද විශාල සාකච්ඡාවක් සිංහල සමාජයේ දැන් දැකිය හැක. එය එක්තරා ආකාරයකට සමලිංගිකත්වය පිළිබදව ඇති නිතීමය තහංචි සහ සීමා පිලිබදව කතිකාවකින් ආරම්භවී පසුව එය  සිංහල සමාජයේ විවිධ පැතිකඩවල් පිළිබද විවේචනාත්මක කතිකාවක් බවට පත්ව ඇත. 

විශේෂයෙන්ම,  යටත්විජිත පාලකයන් විසින් හදුන්වාදුන් සමලිංගිකත්වය නීතී විරෝධීය යන නිතීමය රාමුව වෙනස් කිරීම තුල සමලිංගිකත්වය නීතිගත වන්නේද? නීතිමය වශයෙන් එය කවරාකාරවුවද එය සමාජයේ දිගින් දිගටම පැවති, තවමත් සක්‍රීයව පවතින, ලිංගික චර්යාවක් බැවින් එය තවදුරටත් නීතීය මගින් අවහිර කිරීම තුල  සිදුවන්නේ මානව හිමිකම් කඩ කිරීමක් නොවේද?  යනාදී ලෙස නීතීය සහ නීතීය වෙනස් කිරීම පදනම් කරගත් විවාදයක් මෙම කතිකාවේ එක් පැත්තකින් පැනනැගී ඇත. 

තවත් පැත්තකින් විවාදයට ලක්කර ඇත්තේ සමලිංගිකත්වය කෙතරම් ස්වාභාවිකද? සදාචාර සම්පන්නද? යන්නය. මෙහිදී සමලිංගිකත්වය ස්වාභාවිකද, නැත්ද, යන්න තීරණය කිරීමට අදාල වනුයේ ස්ත්‍රී+පුරුෂ විෂමලිංගික සම්බන්දතා  ප්‍රජනන ක්‍රියාවලියට දායක වන්නක්වීම නිසා සහ සමලිංගිකත්වය එසේ නොවන්නක් වීම තුලය.  එනයින්ම දරුවන් නොමැති, ප්‍රජනන ක්‍රියාවලියට දායක නොවන, විෂම ලිංගිකයන්ද ආන්තීයකරණයකට ලක්කර ඇති බව වටහාගත යුතුය. 

එමෙන්ම සදාචාර සම්පන්න භාවය තීරණය කිරීමෙහිලා බොහෝදුරට අදාලවී ඇත්තේ ආගමික ඉගැන්වීමය. ඒ අතුරින් විශේෂයෙන්ම ආබ්‍රහමික ආගම් (Abrahamic religion) වන ජුදා, ක්‍රිස්තියානි සහ ස්ලාම් ආගම්ය. සමලිංගිකත්වය පිලිබදව   ආබ්‍රහමික ආගම්වල (Abrahamic religion)  ස්ථාවරය වන 'පාපයක්' යන්නට වඩා වෙනස් ස්ථාවරයක් හින්දු සහ බෞද්ධ ආගම් තුල දරණ බව  පෙනේ. විශේෂයෙන්ම ඉන්දීය හින්දු සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන්(transgender) Hijra සහ Aravani ආදී ලෙසද, තායිලන්ත බෞද්ධ සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන් (transgender) සහ සමලිංගිකත්වයන් Kathoey හෝ katoey ආදී ලෙස සුවිශේෂී තත්වයකලා යම් ගරුත්වයක් ඇතිව සැලකීමද එයට උදාහරණය.   

ආබ්‍රහමික ආගම් සමලිංගිකත්වය පිලිබදව සිය මතය සකස්කර ගැනීමෙහිලා බොහෝදුරට යොදාගන්නේ සොඩොම් සහ ගොමෝරා (Sodom and Gomorrah) නගර විනාශයන් පිළිබද  කථාවස්තූන්ය. දෙවියන් විසින් එම නගර විනාශ කිරීමට හේතුව ලෙස දක්වන 'පාපයන්' අතර සමලිංගිකත්වයද පැවති බව දැක්වේ. කෙසේවුවද ආබ්‍රහමික ආගම් (Abrahamic religion) අතරින් වඩාත් ප්‍රචලිත ක්‍රිස්තියානි ආගම තුල ඉගැන්වෙන  'පැරණි ගිවිසුමේ' (Old Testament) දෙවියන් 'වරදට දැඩි දඩුවම් දෙන දෙවිකෙනෙකු ලෙස දැක්වුවද, එතුමාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් පදනම් කරගත් 'නව ගිවිසුම' (New Testament) තුල දෙවියන්වහන්සේව දක්වනුයේ සමාවදෙන, අසීමිත ප්‍රේමයකින් යුත් තැනැන්වහන්සේ කෙනෙකු ලෙසය. සමලිංගික ප්‍රජාව විනිශ්චය කිරීමට මම කවරෙක්ද? (Who am I to judge gay people?) යන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශය පදනම්වන්නේ එම අදහස තුලය.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉහත ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු ලියූ ගිය වසරේ ප්‍රකාශයට පත්කල The Name of God is Mercy (2016)
කෘතියේ දක්වනුයේ 'ඇතැම්විට අපි අනෙකා විනිශ්චය කිරීමට, හෙලා දැකීමට වැඩි පෙලබවීමක් ඇති බවත් එය ජේසුතුමන්ගේ ඉගැන්වීමට ඉදුරාම වෙනස් බවත්ය'. (sometimes we, too, like to reproach others, to condemn others... that I may at least honour who you are, God of infinite bounty, invoking, accepting, and celebrating your sweet mercy...) 

පාප්තුමාගේ මෙම කෘතිය සම්බන්දයෙන් අදහස් දක්වා තිබු lesbian, gay, bisexual සහ transgender ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලෝක ව්‍යාප්ත සමාජ ජාලයන් කිහිපයක්ම දක්වා තිබුනේ එය  'නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව ඇති නිමක් නැති විවාදය යම් තුලනාත්මක අන්තයක් දක්වා යොමුකිරීමට' මගපෑදිය හැකි කෘතියක් ලෙසය. 

නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව විවාදය ගැන අවධානය යොමුකිරීමේදී පෙනී යන එක් කරුණක් වනුයේ lesbian, gay, bisexual සහ transgender ප්‍රජාව අතර ඇති ඇතැම් ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති නමුත් එම චර්යාවේම නිරතවන සමලිංගිකයින්ව විෂම ලිංගිකයන් විසින් හෙළාදකින බවය. මෙහිදී  හෙළාදැකීමට ලක්ව ඇත්තේ අදාල ලිංගික චර්යාව නොව තවත් මනුෂ්‍යයෙක්වම වීම තුල  යම් මනුෂ්‍ය සමාජයක ඇති අගතිගාමීත්වය  කියා පාන්නකි. 

සමලිංගික ප්‍රජාව අතර ඇති ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති සමාජයක් විසින් සමලිංගික ප්‍රජාව සුළුතර ජනකොටසක් හෝ පීඩිත ජන කොටසක් හෝ ශාරීරික වශයෙන් අව-වර්ධිත ජන කොටසක් ලෙස සැලකීමද, එසේ සලකා සමලිංගික ප්‍රජාව විශේෂ/සුළුජන/පීඩිත/උපසංස්කෘතික ජන කොටසක් ලෙස නම් කර ඒ වෙනුවෙන් සුවිශේෂී නීති සම්පාදනය කිරීමද, මේ අනුව නිවැරදි නොවේ. 

සිදුවිය යුත්තේ ඔව්හුද මනුෂ්‍යන් බව ඒත්තුගැනීමය. සෑම මිනිසෙකුටම එක සමාන අයිතීන් ඇති බව පිළිගැනීමය. 

වෙනත් වචනයෙන් කියතොත් අද යහපත් මනුෂ්‍ය සමාජයක් ලෙස පිලිගැනෙනුයේ මහත්මා ගාන්ධිගේ අදහස් (Yes I am, I am also a Muslim, a Christian, a Buddhist, and a Jew) ගලපමින්, කුමාර් සංගක්කාර කල "මම දෙමළ,සිංහල,මුස්ලිම් සහ බර්ගර්. මම බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි" යන්නේම තවදුරටත් ඉදිරියට ගිය සමාජයකි. එනම් "මම විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, මිශ්‍ර ලිංගික, ස්වයන් වින්දකයන්, gay, lesbian, bisexual සහ transgender'' යැයි කීම පිළිබද විචිකිච්ඡාවක් නොමැති සමාජයක් මිස එසේ කීවිට අනෙකාගේ කකුල් දෙක මැද්ද ගැන විමසිලිමත් වන විලම්භීත සමාජයක් නොවේ. 
*ඉහත දැක්වෙනුවේ බ්‍රිතාන්‍යයේ 6 වසරෙන් ඉහල පාසැලක (secondary school) බිත්තියක තිබු බිත්ති සගරාවකි. එය සමලිංගික ප්‍රජාවද එදිනෙදා ජීවිතයේදී මුණගැසෙන සාමාන්‍ය මනුෂ්‍යයන්ම බව ඉගැන්වීමට යොදාගත්තකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(09/02/17).