This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 28 April 2022

ගෝල්ෆේස් අරගලය සහ නඩු තීන්දු

විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න ඊයේ (27) නියෝග කල බව කියවුවෙමි.

ඊට පෙර දින අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කර තිබුනු බවද දැනගැනීමට ලැබුනි.

ඊටත් පෙර, එනම් මේ වසරේ පෙබරවාරි 17, ත්රස්ත ප්රහාරයක් එල්ලවන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ව, නාමල් බලල්ලේ, ආදිත්ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කෙරුනි.

එමෙන්ම එම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේදී රජයේ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් කර තිබු හිටපු රාජ්ය බුද්ධි අංශ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන්නේ යැයි කියමින් ඔහුටත්, දේශපාලන අධිකාරියක් පැවතිද් දී රාජ්ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකියි කියමින් නීතිපතිවරයාටත් කෙලින්ම ඇගිල්ල දිගු කල ඍජු නඩු තීන්දුව ගැන ලෙස නිකුත් කර තිබුනි.

මේ අධිකරණ තීන්දු පැහැදිලිවම කිසිදු බලපෑමකට යටත් නොවී, නිතියේ ආධිපත්යය ඉහලින්ම ඔසවා තබමින් ලබාදුන් ප්රබල තීන්දු බව පැහැදිලිය.

වික්ටර් අයිවන් වැනි අය නිතර ලියන දෙයක් වනුයේ යම් යම් සිද්ධින් වාර්තාවූවද රටේ විධායකය සහ ව්යවස්ථාදායකයට සාපේක්ෂව අඩුවෙන්ම බිදවැටුන, අඩුවෙන්ම නරක් වු ආයතනය අධිකරණය බවයි. ඉහතින් දැක්වු නඩු තින්දු ද එහිලා තවත් හොද නිදර්ශන වීමට හැක.

එමෙන්ම: "මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසායි, හෙල්පින් හම්බන්තොට නම් රාජ්ය නොවන සංවිධානයක් හරහා සුනාමි ප්රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා" යැයි කියූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සිදුකල ප්රකාශයත්, එම නඩු කටයුත්තත් අධිකරණ ක්රියාවලිය පිලිබද කලු පැල්ලමක් එක් කිරීමට සමත්වූ නිදර්ශන ලෙස පෙන්වා දිය හැක.

එහෙත්, සරත් එන්. සිල්වා සිය තීන්දුව ප්රකාශ කරන අවධියේත්, මුලින් සදහන් කල රබුක්කන ඝාතකයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දුන් නියෝගයත්, අරලියගහ මැදුර අවටින් විරෝධතා කරුවන් ඉවත් කිරීමට සිදුකල ඉල්ලීම ප්රතික්ෂේප කරන තීන්දුවත්, නිලන්ත ජයවර්ධනට සහ නීතිපතිවරයාට ඇගිල්ල දිගුකරමින් දුන් තීන්දුව නිකුත්කරන කාලෙයේත් පැහැදිලි වෙනසක් තිබු බව පෙනේ. ඒ, අධිකරණය ක්රියාවලියට පිටින් යුක්තිය වෙනුවෙන්, එක්කෝ විශාල මහජන බලයක් ක්රියාත්මක වෙමින් පැවැතීමයි, නැතහොත් එලෙස විශාල බලයක් ක්රියාත්මකවෙමින් නොපැවතීමයි.

පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශාල මහජන ක්රියාකාරිත්වයක් ඇති බව අපි දනිමු. එමෙන්ම රාජපක්ෂලාට එරෙහිව මේ යුගයේ මේ වනවිට විශාල මහජන ක්රියාකාරිත්වයක් දැකිය හැකිය. එහෙත් සුනාමි මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද රාජපක්ෂව නිදහස් කරන තීන්දුව ප්රකාශ කරන සමයේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු මහජන ක්රියාකාරිත්වයක් නොතිබිණි. එකල මහජනයා යනුවෙන් යමක් තිබේද යන්න ගැනද තිබුනේ සංවාදයක් පමණි. ඒ තරමටම මහජන ක්රියාකාරිත්වය පැවැතියේ උදාසීනවය.

මේ අනුව පෙනී යන්නේ රටේ මිනිස්සු වන මහජනයා ක්රියාකාරීව සිටින්නේ නම් රටේ නීතිය පමණක් නොව දේශපාලකයෝද, දේශපාලන බලය පමණක් නොව, මහජන මුදල් පවා අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද දැඩි උනන්දුවක්, අවධානයක් යොමුවෙන බවයි.

ගෝල්ෆේස් අරගලයේ වටිනාකම මතුවෙනුවේ එතැනදීය. ගෝල්ෆේස් අරගලය පෙන්වාදෙන්නේ මිනිසුන් හැමදාම කරබාගෙන සිටින්නේ නැති බවය. ඔවුන් නැගිටින දිනක්ද එන බවය. එලෙස මිනිස්සුන් නැගී සිටින විටක, එය විකුණා හෝ තමාගේ මඩිය තරකර ගැනීමට හදන 'කොවුලන්' වන් චරිතවලටද එවැනි මහජන අරගලයක ඉඩක් නැති බව ගොල්ෆෙස් පිටියට වහන 'යූ ටියුබ්' නාලිකාකරුවන් එලවා දැමීම තුල පවා කියවිය හැක. තම තමන්ගේ ගොඩවල් ගොඩ ගසා ගන්නවා වෙනුවට නිර්මාණශිලී දෙයක් රැගෙනවිත් අරගලයත් ජනතාවත් පෝෂණ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටී. අපට අවශ්ය වන්නේ එවැනි සමාජයක් නොවේද?

මහජන අභිලාෂයන් මතුකරන.. ජාති,ආගම්,භාෂා, පක්ෂ අනුව එකිනෙකා බෙදා එකිනෙකා යටනොකරන ජනතාවක් ගැන බලාපොරොත්තුවක් දල්වන්න..මහජන ක්රියාකාරිත්වයක් මතුකරන...ගෝල්ෆේස් අරගලය රැකගත යුත්තේ අන්න ඒ නිසාය. එවැනි මහජන ක්රියාකාරිත්වයක් ඇති රටක කිසිදු බලපෑමකින් තොරව තීන්දු, තීරණ, නියෝග නිකුත්වෙනු ඇතැයි යන්න දැන් නිකුත්වෙන අධිකරණ තීන්දු ඇසුරින් පවා ඕනේ නම් හිතා ගැනීමට පුලුවන. එසේ නොවුහහොත් සිදුවන්නේ සුමිනා ආධාර සොරා කෑ හොරුන් රජවීම වැනි තක්කඩි සමාජයක් දිගටම රජ වීය.


මාකස් ප්රියන්ත පෙරේරා

28/04/22

Thursday 21 April 2022

පාස්කු ප්‍රහාරයට අදට වසර 03යි. අපි ඔවුන් කිසිසේත් අත් නොහරිමු!!

2019 අප්‍රියල් 21 එල්ලවූ පාස්කු ප්‍රහාරයට අදට (21/04/2022) වසර තුනක් ගතව අවසන්ය. එහෙත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකරගැනීමේ උත්සහයන් කිසිසේත්ම අවසන්ව නැත. අද රට පුරාත්, ලොව පුරාත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමරමින් සිදුකරන විවිධ සමරු වැඩසටහන් ඊට උදාහරණය. 'ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවිය යුතුය, පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමට සියළු කරණු හෙලිකරගත යුතුය', යන හඩ අද වඩ වඩාත් තීවුරව, පෙරටත් වඩා ශක්තිමත්ව පෙරට පැමිණ රට තුලත්, ලොව පුරාත් රැව් පිළිරැව් දෙමින් ඇත. 

එසේ වන්නේ;  

(1.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල මලල්ගොඩ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ FBI පරීක්ෂණ වාර්තාව ආදී ඉහතකී සියළු පරීක්ෂණ වාර්තාවල කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම සමග සබදතා පැවැත්වූ තවත් පිරිස් ඇති බව හෙළිවී ඇති නිසාත්, එකී පිරිස් අතර ශ්‍රී ලංකා ආරක්ෂා අංශයේ බුද්ධි අංශයට සම්බන්ද පිරිසක්ද සිටින බව කියවීමත්,

 (2.) ප්‍රහාරය, ප්‍රහාරකයින්, ස්ථානයන්, දිනය ආදී නම්, ගම් ඇතුළු සියළු විස්තර හෙළිවී තිබියදීත් රජයේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ආදී නිලධාරින් සහ බලධාරීන් පිරිසක් ප්‍රහාරය වලක්වා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් කිසිදු උත්සහයක් නොදරා ඇති බව සහ  ප්‍රහාරකයින්ට කිසිදු බාධාවකින් තොරව සිය විනාශකාරී කෘර අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉන් ඉඩප්‍රස්තා විවරවූ බව හෙළිවී ඇති නිසාත්,

 (3.) ප්‍රහාරය සහ ප්‍රහාරකයින් ආදිය  පිලිබදව  තොරතුරු විමර්ශන කල ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට  ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේම නිලධාරින් පිරිසක්  විසින්  බලපෑම් එල්ලකර වලක්වා ලූ බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු පෙත්සමක් මගින් දැනුම්දීමත්, 

(4.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල වාර්තා සහ සාක්ෂි පිලිබදව අපරාධ නිතියමය දෘෂ්ටි කොණයකින් බලා කටයුතු කල දප්පුල ද ලිවේරා හිටපු නීතිපතිවරයා 'පාස්කු ප්‍රහාර පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව' පෙනී යන්නේ යැයි  ප්‍රකාශ  කිරීමත්,

 (5.) පාස්කු ප්‍රහාරයේ එල්ලවන්නේ රටේ ජාතික ආරක්ෂාව බිදවැටී ඇති නිසා බව කියමින්  ජාතික ආරක්ෂාව ගොඩනැගීමට ජනවරමක් ඉල්ලා, විශාල ජනවරමකින්  බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා දිගින් දිගටම  හඩ නගන කොලබ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා දුරකථනයෙන් අමතා 'රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව කරුනුකොට ගෙන පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මිට වඩා යමක්  කල නොහැකි බව ජනාධිපතිවරයා තමාට දැන්වූ බව කාදිනල්වරයා හෙළිකිරීමත් තුල,

 පාස්කු ප්‍රහාරය පිලිබදව සැගවුණු, හෙළිනොකළ කිසියම් දෘඩ කරුණු කරනා රාශියක් ඇති බව වඩ වඩාත්  තහවුරු වී ඇති  නිසාය.

 මෙකි  කරුණු  කරණා රාශිය නිසාම ගෝඨාභය  රාජපක්ෂ කදවුරේ වර්ගවාදී, ජාතිවාදී බලවේග පමණක් නොව ත්‍රස්‌තවාදී කටයුතු පිලිබදව විශේෂ හැදෑරීම්  ඇත්තෙකු යැයි කියා ගන්නා රොහාන් ගුණරත්න ආදීන් ප්‍රවර්ධනය කල ''පාස්කු ප්‍රහාරය එල්ලවෙන්නේ ලොව පුරාම හිස ඔසවා ඇති ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රථිපලයක් ලෙස යැයි'' යන ප්‍රවේශය බිදවැටී: ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයද 'Deep state' න්‍යායික ප්‍රවේශය  ඔස්සේ විග්‍රහ කරන විවිධ රාජ්‍යයවල දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සහ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරගැනීමට හෝ ලගාකර ගැනීමට ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත හෝ අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්ක්ද? යන්න  තහවුරු වීමය.

 ඒ ඔස්සේ, පාස්කු ප්‍රහාරය යනු ශ්‍රී ලංකා දේශපාලන බලය හැසිරවීමට ගත්  උත්සහයක්ද? යන්න දැඩි විමසුමකට ලක් කරන පසුබිමක් ගොඩනැගී ඇත. තවද එම කාරණයම පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාව  පැහැදිලිවම  මතුකර තිබේ. පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරුණු ජනවාරි 15 දින රාගම තේවත්ත  බැසිකාවේ පැවති දෙවියන්ට මොරගැසිමේ දේව මෙහෙයේදී ''පාස්කු ප්‍රහාරය ජන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක්'' යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් කල ඉතා තීරණාත්මක ප්‍රකාශය මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමුඛ යුක්තිය  සහ සත්‍ය පිලිබදව මොරගසන සෑම සියළු දෙනාම ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහි කෙලින්ම ඇගිල්ල දිගුකරන තත්වයකට ගමන්  කර ඇත්තේ  ඉහත විස්තර කරන ලද  කරුණු-කරනා පදනම්  කරගෙනය.

ශ්‍රී ලංකාව වූ කලී කාලාන්තරයක් තිස්සේම දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ රාජ්‍යයක් බව නොරහසකි. ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම එහි ආණ්ඩුද ප්‍රචණ්ඩත්වය විසින් දුර්මුඛ කරන ලද වාර අපමණය. සාහසිකත්වය සහ ඝාතන ඔස්සේ දේශපාලන බලය අත්කර ගැනීම මෙන්ම දේශපාලන බලය ස්ථාපිත කරගැනීම් පිළිබවද නිරන්තරයෙන් අවධාරණයට ලක්කරන, කුතුහලයට  සහ  බුද්ධියේ විමසුමට ලක්කරන සිද්ධීන් අපමණය. ඝාතන  ඔස්සේ දේශපාලන බලය අත්කර ගන්නේ යැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍යයක පාස්කු ප්‍රහාරය යනුද තවත් එවැනිම එක් සිද්ධියක් විය හැක. 

එහෙත් එය එසේ වියයුතුද? එසේවීමට ඉඩ හැර තවදුරටත් අප බලාසිටිය යුතුද? දෙසිය හැට නම දෙනෙකු ඝාතනය කර, පන්සියකට වැඩි පිරිසකට තුවාල සිදුකර එකී ලේ කදුල ගංගා ඔස්සේ කිසිවෙකු බලයට එන්නේ නම් තවත් කෙනෙකු බලය සදහා ඊටත් වඩා විශාල විනාශයක්   නොකර සිටිද? 

ඝාතන ඔස්සේ බලය අත්කරගන්නා, බලය ස්ථාපිත කරගන්නා ඉතිහාසය අවසන්කල යුතුය. මනුෂ්‍යත්වය, යුක්තිය, සත්‍යය, සාධාරණත්වය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන සමාජයක් ගොඩනැගිය යුතුය. පාස්කු ප්‍රහාරයට වසර තුනක් පිරෙන අද දින, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තියත්, පාස්කු ප්‍රහාරයේ සත්‍යයත් වෙනුවෙන් අඛණ්ඩව හඩ නගන අද දිනත්,  අප අදිටන් කරගත යුත්තේ එයයි. පාස්කු ප්‍රහාරයත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්වත් අපි කිසිදිනක අත් නොහරිමු. මන්දත්,ඝාතන සංස්කෘතියෙන් අත්මිදීමේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැලවීමේ පණිවිඩය පාස්කු ප්‍රහාරයේ වින්දිත්යන්ට යුක්තිය  ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමේ අරගලය තුල ගැබ්වී ඇති නිසාය !!!     

මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/04/2022