This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 31 May 2015

හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන නොසලකා හැරී මීගමුව මහ රෝහල සිය සත් මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වේ.

.


පසුගිය වසර 15ක කාලය තුල මීගමුවේ ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි 03ක් ඉදිවිය. ඒ මීගමුව මහ රෝහලේ මහල් හතක ගොඩනැගිල්ල, මීගමුව නව බස් නැවතුම්පොළ හෙවත් නව බස් පර්යන්තය සහ මීගමුව නව අධිකරණ සංකීරණය ය. 

 මින් පළමුවැන්න වූ මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල 2000 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් දියත්කල ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මුලික රෝහල් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යට‍තේ ඉදිවූවකි. එම ව්‍යාපෘතිය යට‍තේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 02කට මහල් ගොඩනැගිලි  ලැබුන අතර ඉන් එකක් ගම්පහත් අනික මීගමුවෙත් ඉදිකරන ලදී. ගම්පහ රෝහලේ ඉදිවූ ගොඩනැගිල්ල නිරුපද්‍රිතව තවමත් හොද සේවයක් සපයයි. එහෙත් මීගමුව රෝහලේ ඉදිවූ  සත් මහල් ගොඩනැගිල්ල ඊයේ සිට නිල වශයෙන් භාවිතයෙන් ඉවත්කර ඇත. ඒ මොරටුව විශ්වවිද්‍යාල මගින් එය කඩාවැටීමට ආසන්න යැයි නිලවශයෙන් තීරණය කල නිසාය. දැන් එහි සිටි 5,000කට අධික රෝගීන් සහ කාර්ය මණ්ඩලයත්, එහි ඇති දැඩි සත්කාරක ඒකකය සහ වෙනත් උපකරණත් ලහි ලහියේ ඉවත්කරමින් තිබේ. 

මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල මේ ආකාර ඉරණමකට ගොදුරුවුයේ හදිස්සියේ ඇතිවූ තත්වයක් නිසා නොවේ. එය ගොඩනැගු දා පටන්ම එහි වහලේ සිට දිය කාන්දුවක් තිබුණි. ක්‍රමයෙන් එය විශාලව කුඩා දියපහරක් ලෙස වර්ධනය වී වහලේ සිට දිගින් දිගටම ජලය ගලායන්නට විය. එම ජලකාන්දුව නිසා එහි බිත්තිවල දියසෙවල පවා බැදී, බිත්ති ඉරිතලමින් තිබුණි. එහෙත් විවිධ පැලැස්තර  යොදමින් දිගින් දිගටම මෙම රෝහල් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත්තා මිස එය අනාගත පරපුරටත් ප්‍රයෝජනයක් ගතහැකි ලෙස නිවැරදිව ප්‍රතිසංස්කරණ කිරීමට පසුගිය කිසිම රජයක් කටයුතු නොකරන ලදී. 

මීගමුවේ ප්‍රාදේශීය මාධ්‍ය සහ රටේ ප්‍රධාන මධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් නොයෙක් වර අවධානය යොමුකලද, මීගමු ජනතා සංවිධානයන් කෙතෙක් කරනු ඉදිරිපත් කලද, හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ අදාල සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ නිලධාරීන්වත් මේ ගැන කිසිවක් සිදු නොකරන ලදී. අඩුම තරමින් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල  සම්බන්දයෙන් එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් කර නැතුවාට සැක නැත. ඔහු එසේ මේ ප්‍රශ්නය ගැන දැනුවත්ව, එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත්කර තිබුනේ නම් ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී, එනම් 01/01/2015 දින, මීගමුව 'ලේයිටං පාර්ක්' හී පැවැති ඔහුගේ රැලියේදී 'තමන් මහින්ද රාජපක්ෂ රජයට මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කල නමුත් ඔහු එය අවඥාවෙන් බැහැර කල බව' කියනු ඒකාන්තය. ඒ වෙනුවට මීගමුව 'ලේයිටං පාර්ක්' හී ඔහුගේ රැලියේදී ඔහු කලේ, ජාතික වීරයන්ට වඩා විජාතික වීරයන් හොදින් අදුනන, මීගමුවේ ජනයා 'චූන්' කිරීමට ඇමෙරිකාවේ සිවිල් සහ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සටන්කල ක්‍රිස්තියානි පුජකයෙකු වූ මාටින් ලුතර් කිං ගැන කථා කිරීමය. ඔහු කරන්නේ ද මාර්ටින් ලුතර් කිං කල ඉතිහාසගත කාර්ය මෙන් කාර්යක් යැයි පසක් කරදීමට වෙර දැරීමය. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වරයාව සිටි මහින්ද රාජපක්ෂ රජයේ පසුගිය වසර දහයක කාලය තුල මීගමුව මහ රෝහලේ සිදුවූ විශාලම සංවර්ධනය නම් එතෙක් කුඩාවට පැවති මීගමුව රෝහලේ බුදුකුටිය කඩා රෝහල් භූමියේ පර්ච්ස් ගණනාවක පැතිරෙන ලෙස විශාල බුදුමැදුරක් ඉදිකිරීමය.  රෝහලේ  ගොඩනැගිලි වල වැහි වතුර බේරෙන, බිත්ති වල දියසෙවල බැදී, වැසිකිලි ඉතිරී, ඇදන් නොමැතිව බිම හා බංකුවල රෝගීන් වැතිරී සිටින, මැසි මදුරු උවදුර ඉයවහ ගිය තත්වයක් තුල පමණක් නොව, මීගමුව රෝහලට බෙහෙත් ගැනීමට පැමිනෙන ප්‍රදේශයේ බහුතරයක් වූ ක්‍රිස්තියානි ජනයාට දැඩි ආගමික පීඩනයක්ද එල්ල කරන තත්වයක් තුලය.  

දැන් මෙම රෝහල් ගොඩනැගිල්ලේ සිටි 5,000කට අධික රෝගීන් සහ කාර්ය මණ්ඩලය මීගමුව රෝහලේ වෙනත් ගොඩනැගිලිවලට මාරු කරමින් ඇති අතර දැනටමත් අධික රෝගීන් පිරිසක් සිරවී සිටින මීගමුව මහ රෝහල මෙම නිසා දැඩි අර්බුධයකට යන බව නැවත කිවයුතු නොවේ. අනෙක් අතට මෙම තත්වය මීගමුව පුරා පිහිටුවා ඇති නවලෝක, ආසිරි, ආවේ මරියා, දිසානායක ආදී රෝගීන්ගේ සෑම ලේ බිංදුවක්ම, කදුළු පොදක්ම මුදල් ආකරයක් කරගත් පෞද්ගලික රෝහල්වලට නම් අතිමහත් සම්පතකි. 

වෙන්නප්පුව, මාරවිල, නාත්තන්ඩිය, දන්කොටුව වැනි පුත්තලම් දිස්ත්‍රික්කයේ පමණක් නොව, කුලියාපිටිය, ගිරිඋල්ල, මීගහකොටුව වැනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලින් ද, දිවුලපිටිය, කටාන, මරදගහමුල, ජා ඇල වැනි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලින් ද, කටුනායක නිදහස් වෙළද කලාපයෙන්ද, විදේශිකයන් ද ඇතුළුව  දිනකට 8,000 -15, 000 ක් අතර රෝගීන් පිරිසක් පැමිනෙන මීගමුව රෝහලේ දැන් උද්ගතවී ඇති තත්වය ගැන මෛත‍්‍රීපාල සිරිසේන රජය ඉතා ඉක්මනින්, වැඩි අවදානයකින් යුතුව, ඉතා ඉහල යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ. ඒ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේන් ඔහුට වැඩිම චන්ද ප්‍රමාණයක් හෙවත් වැඩි චන්ද 27, 000 ක් ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජය ද ඔහුට හිමිකර දුන්නේ මීගමුවේ ප්‍රගතිශීලී ජනයා වන නිසාත්, මිගමුව රෝහලේ කඩා වැටීම ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කල කාලයේදී ඔහුගේ සේවයට කළු පැල්ලමක් එකතු කරන නිසාත්ය.  

අනෙක් අතට මීගමුව රෝහලට මෙම ගොඩනැගිල්ල ලබාගැනීමට දැඩි උනන්දුවෙන් ක්‍රියා කල හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ගේ බිරිද මෙන්ම මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කල සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද අමාත්‍යවරියක්ව සිටින තත්වයක් තුලත්, ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත්ව මීගමුව ජනයාගේ චන්ද ලබාගැනීමට බලාපොරොත්තු වෙන නිමල් ලන්සා, සරත් ගුණරත්න, රොයිස් විජිත වැනි මහත්වරැන් ලහි ලහියේ කටයුතු කරමින් සිටින තත්වයක් තුලත්, මීගමු මහ නගරසහා මැතිවරණ ඉදිරියේදී පැවැත්වීමට ඇති තත්වය තුලත්, මීගමුව රෝහලේ මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ලබදෙන්නට ඒ සියල්ලන් එකහෙලා කටයුතු කල යුතුව ඇති බව අවදානයට ලක් කල යුතුය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
31/05/2015. 

Tuesday, 26 May 2015

ඉච්චාභංගත්වයට පත් ලාංකිකයාගේ ඉරණම වීඩියෝපටි 05කින්.


ශ්‍රී ලාංකිකයන් තම රටේ උද්ගතවී ඇති  සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ කෙතෙක් දුරට මානසික වශයෙන් ව්‍යාකුලතාවයන්ට පත්ව තිබේදැයි යන්නට ඕනෑ තරම් සාක්ෂි ඔවුන්ගේ පුවත්පත්, රුපවාහිනී, නාට්‍ය, චිත්‍රපටි සහ face book පිටු දෙස බැලීමේන් සොයාගත හැක. එහෙත් පසුගිය සතිය තරම් එහි පැති කඩවල් රාශියක් එකවර ලෝකයට ප්‍රකාශ වූ වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය. ඒ අතරින් වඩාත් අවධානයට ලක්කල යුතු වීඩියෝ පටි 05 ක් පහත ආකාරයට ගොනුකළ හැක. 

1. වාසු ගේ කුණුහර්ප වර්ෂාව. 

වියපත්, අත්දැකීම් බහුල, ප්‍රගතිශීලී දේශපාලනඥයකු ලෙස නමක් දිනා සිටි වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුව තුල මෙතෙක් පවත්වාගෙන ගිය සිය සංයමය හදිසියේම බිදදමා ගනිමින් අගමැතිවරයාට කුණුහර්පයෙන් බැනවදින ලදී. එය ඔහු හිතාමතා කල දෙයක් නොව ඔහුගේ මානසික පීඩනය කටින් පිටවීමකි. වාසුදේව නානායක්කාර මහතාට දැනෙන මෙම පීඩනය කුමක්ද ? එය ඔහු වර්තමානයේ නියෝජනය කරන 'මහින්ද රාජපක්ෂවාදී දේශපාලන කදවුරට' අනුව නම් 'සුදුවෑන් වෙනුවට සුදුපෑන්' ආදේශවීමක් නිසා සිදුවුවකි. යහපාලනය යටතේ රනිල් වික්‍රමසිංහගේ සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව නීතියේ අධිකාරීත්වය මත සිය දේශපාලන ප්‍රතිමල්ලවයන් ලුහුබැදයාම තුල පැරණි රෙජීමයේ සිටි දූෂිත දේශපාලනඥයන් අනිවාර්යෙන්ම දැඩි පීඩනයකට ලක්ව ඇත. එහෙත් වාසු එලෙස දූෂිත දේශපාලනඥයන් ලෙස හැදින්විය නොහැකි වුවද එම ගොඩින් ආපසු හැරීඒමක් ඔහුට නැත. ඒ කාලාන්තරයක් තිස්සේ ඔහු පෙනීසිටි අධිරාජ්‍යවිරෝධී සහ  UNP විරෝධී සටන්පාඨ දැන් තරම් පහසුවෙන් ඔසවාගෙන සිටීමට වෙන තැනක් ඔහුට නොමැතිවීම නිසාය. යහපාලනය ය‍ටතේ අඩුම තරමින් ‘නිදහස සහ සාධාරණත්වය’ මුල්කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ගමනක් සදහා නව රජය උපායමාර්ගීකව හෝ මුලපිරීමක් සිදුකලේ නම් අඩුම තරමින් රටේ සෙසු ප්‍රගතිශීලී කොටස්වලටද, වාසුදේවට ද යම් බලාපොරෝත්තුවක් ජනිත කරගැනීමට තිබුණි. එහෙත් දැන් සිදුවෙමින්  තිබෙන්නේ පරණ ආකාරයටම හිතමිතුරන් රජ කරන, තෝරාගත් පිරිසකට පමණක් රාජ්‍ය සම්පත් බෙදාදී, සෙසු සියල්ලන් වෙනුවෙන් රාජ්‍ය මර්ධනය දියත් කරන, අකාර්යක්ෂම තවත් රෙජීමයක් රට තුල නැවත බිහිවෙමින් තිබීමය. තමන් සිටි රෙජීමයට කුණුහරුපයෙන් නොබැන්න වාසුදේව, දැන් කුණුහරුපයෙන් බනින්නේ මේ ගැන දැනී නම් එයින් කියවෙන්නේ ගමේ අරක්කු ටිකක් බීගත් කෙනෙකුට වඩා යමක් දැන් ඔහුට කල නොහැකි බවයි. 


2. වයසක අම්මලාටත් පාට් දාන පොලීසිය 




උතුරේ දීත්, රටේ සෙසු  ප්‍රදේශවලත්, නිදැල්ලේ ජීවත්වන  දැඩි මානසික ව්‍යාධියකින් පෙලෙන තිරිසනුන් විසින් විනාශකර දැමු  සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ කුරිරු ඝාතනය සම්බන්දයෙන් ප්‍රධාන චුදිතයෙක් නිදහස් කිරීම නිසා කුපිතවූ උතුරේ ජනයා උසාවියටත්, පොලිසියටත්, බන්ධනාගාර නිලධාරීන්ටත් විරුද්ධව ප්‍රචණ්ඩ විරෝධයක නිරතවූ බව වාර්තාවිය. එය සාමකාමීව ඇරබි උද්ගෝෂණයකට පොලිසීය 'පාට් දැමීම' නිසා ප්‍රචණ්ඩ උද්ගෝෂණයක් බවට පරිවර්තනය වුයේද ? නැතහොත්, උද්ගෝෂණය  ප්‍රචණ්ඩ වූ නිසා පොලිසීය 'පාට්' දැමීමට සිදුවූයේ දැයි නොදනිමු. පොලිසීය මර්ධනකාරී රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසකි. එයටත් වඩා එය බලයේ සිටින්නන්ගේ අතකොලුවකි. එහෙත් ලංකාවේදී පොලිසීයට ජාතික සහ වාර්ගීක මුහුණුවරක්ද තිබෙන බව ඉහත වීඩියෝවෙන් පෙනේ. එහි එන සංවාදයට අනුව උතුරේ උසස් පොලිස් නිලධාරීයා වයසක දෙමළ අම්මා කෙනෙකුට කියනුයේ "උබලාගේ මිනිස්සු උබලා හදාගනිල්ලා, අපිට ඇගිලි දික්කරන්න එන්න එපා, මෙතනින් එහාට ගිහින් වෙච්ච දේ දන්නවානේ?" වැනි ප්‍රජාපීඩක පිළිතුරකි. එය පසුගිය ජන සංහාරක යුද්ධය දෙමළ ජනයාට නැවත සිහිකැදවන, එම ඉරණමම නැවත නැවතත් දෙමළ ජනයාට අත්කරදෙන බවට තර්ජනය කිරීමකි. දකුණේ ශ්‍රී ලංකා රජයන් කෙතෙක් වෙනස්වුවද, යහපාලනයක් දිනවීමට තොග පිටින් චන්දය දී එයට දායක වුවද, ව්‍යවස්ථා සංශෝධනය මගින් තවමත් ක්‍රියාත්මක නොවන ස්වාධීන කොමිෂන් සභා කෙතෙක් පත්කලද,  දෙමළ ජනයාට  මුහුණදීමට ඇති වාර්ගීක හිංසනය තවමත් නිමා වී නොමැති බව මේ වීඩියෝව නැරබු විට පෙනේ. එය තවදුරටත් වෙනත් ජාතියකගේ ආධිපත්‍යට යටවී සිටීමට වඩා තමන්ගේම වූ රටක ජීවත්වීම සදහා වූ ඔවුන්ගේ යටපත්කල දේශපාලන අබිලාෂයන් නැවත නැවතත් ශක්තියත් කරයි. එමගින් මානසික මෙන්ම ශරීරික පීඩනයක් දෙමළ ජනයා තුල දිගින් දිගටම ලියලීමට හේතුවේ.

 

3. විජේදාස රාජපක්ෂගේ 'සිංහල රට කෝ' ප්‍රකාශය සහ එහි ප්‍රතිචාර


ඉහත සදහන් කල උතුරේ සිදුවීම් සම්බන්දයෙන් සිංහල වාර්ගීක පදනමක සිට ප්‍රශ්න කරන සිංහල මාධ්‍ය සේවකයේක්ගේ ප්‍රශ්නයකට පිලිතුරක් ලෙස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටිනුයේ රටේ ව්‍යවස්ථාපිත පිළිගැනීම්වලට අනුව 'සිංහල' රට කියා දෙයක් නොමැති බවත්, සෑම ජනවර්ගයකටම සමාන අයිතීවාසිකම් ව්‍යවස්ථානුකූලව තහවුරුකර ඇති බවත්ය. එහෙත් විජේදාස රාජපක්ෂ මහතාගේ පිළිතුර සම්බන්ධයෙන් දැන් නොයෙකුත් මාධ්‍ය තුලින් විරෝධයක් මතුව ඇති අතර සිංහල බහුතරයක් වෙසෙන රට සිංහල රට නොවෙන්නේ කෙසේදැයි ඔවුන් අසයි. ව්‍යවස්ථානුකූලත්වය කෙසේවෙතත් ශ්‍රී ලංකාව සිංහල රට ලෙස පිළිගත යුතුයැයි ප්‍රකාශකරන්නන් දැන හෝ නොදැන පහසුවෙන්ම අමතක කරන කරුණු කිහිපයක් වේ. එනම් බ්‍රිතාන්‍යයේ බුහුතර ජනවර්ගය ඉංග්‍රීසින් හෙවත් එංගලන්ත ජාතිකයන් වුවද,  එංගලන්තය කියා රාජ්‍යක් නොමැති බවත් ඇත්තේ මහා බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් රාජධානිය නම් රාජ්‍යක් පමණක් බවත්ය. එමෙන්ම ඉංග්‍රීසින් උඩරට අල්ලාගෙන මුළු රටම ඒකීය රාජ්‍යක් ලෙස පාලනය කිරීමට පෙර ඔවුන් ලන්දේසින්ගෙන් ගිවිසුමක් මගින් පහතරට  පවරා ගත්බවත්, ලන්දේසින් එය පෘතුගීසින්ගෙන් අල්ලාගත්තක් වන බවත්, පෘතුගීසින් මෙහි පැමිණෙන විට  පරරාජසේකරම්, සංකිලි වැනි පාලකයින් පාලනය කල යාපනය රාජධානිය යනුවෙන් වෙනමම පාලනයක් උතුරේද, කෝට්ටේ යනුවෙන් දකුණේ වෙනම පාලනයක් තිබු බවත්, පසුව කෝට්ටේ නැවත තුනට (රයිගම, සීතාවක සහ කෝට්ටේ) කැඩුන බවත් අමතක කරති. ඒ අනුව ශ්‍රී ලංකාව මුල පටන්ම ඒකීය රාජ්‍යක්ය, එහි වෙනත් ජාතීන් හෝ පාලකයන් පාලනය කල ප්‍රදේශ නොපැවතිනි යැයි ගොඩනගා ගත් අසත්‍ය උපකල්පනයන් ඔස්සේ එය සිංහල ආධිපත්‍ය යටතේ පැවතිය යුතු යැයි මායාවේ සිටිමින් අනවශ්‍ය අරගලයක නිරන්තරයෙන් නියැලීමට සිදුව ඇති  නිසා ලේ කකියවන දැඩි මානසික පීඩනයකට ලක්ව සිටීමට රටේ ජනයාගෙන් කොටසකට සිදුව තිබේ. 


4. කෑන්ස් සම්මානයෙන් පිදුම් ලද 'ධීපන්' චිත්‍රපටිය කියන කථාව




මෙවර කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම්දෝ" රන් සම්මානය දිනාගත් 'ධීපන්'  නම් ප්‍රංශ චිත්‍රපටිය ලාංකිකයන්ගේ මානසික පීඩනය දෙස නැවත වරක් වෙනත් ආකාරයකින් එබී බැලීමක් කරයි.  යුරෝපයේ නීති විරෝධී සංක්‍රමණයන් පිළිබදව සාකච්ඡාව නැවතත් අළුත් කල මෙම  චිත්‍රපටියේ  රගපාන්නේ සැබෑ ලෙසම ප්‍රංශයට නීතිවිරෝධීව  සංක්‍රමණය වූ  එල්.ටි.ටි.ඊ යේ ළමා සොල්දාදුවෙකුව සිටි අන්තෝනිදාස් ජේසුදාසන්ය. හොරෙන් ප්‍රංශයට ඇතුල්වන 'ධීපන්' තවත් එවැනිම හොරෙන් පැමිණි සංක්‍රමණිකයන් දෙදෙනෙක් සමග එක්ව ව්‍යාජ පවුලක් ගොඩනගාගෙන   කෙසේ හෝ ප්‍රංශයේ නැවතීමට උත්සාහ කරන්නේ සිය මවු රටට වඩා හොදට විදෙස් රටක ජීවත්විය හැකි නිසාය. එහෙත් 'ධීපන්' චිත්‍රපටයේ කථාව අන්තෝනිදාස් ගේ කථාවටම පමණක් සීමා නොවන්නකි.  සැබෑ ලෙසම ජීවිත අවදානම ඇති නිසා සිය මවුබිම හැර දා පැමිණි ශ්‍රී ලාංකිකයන් මෙන් නොව එයට වඩා කිහිපගුණයකින් වැඩි පිරිසක්  ශ්‍රී ලංකාව අතහැර ගොස් කෙසේ හෝ විදෙස් රටක පුරවැසිකම අත් කරගැනීමට දැඩි වෑයමක නිරතවේ. ඇතැමුන්  ශ්‍රී ලංකාව තමන්ට කිසිසේත්ම වාසයට සුදුසු නැති රටක් යැයි කියමන් ව්‍යාජ වාර්තා සකසමින් අදාල රටේ බලධාරීන්ට තමන් උපන්, හැදීවැඩුනු, මව්රට සිය පෞද්ගලික වාසිය සදහා නිර්ලැජ්ජිතවත්, ද්වේශසහගතවත් පාවා දෙයි. එසේ කරන අතරම තමන්ට නවාතැන් දෙන සුදු මිනිසුන්ගේ රටේ මිනිස්සුන්ට වඩා තමන්ගේ රටට ඉතා උසස් සංස්කෘතියක්, සභ්‍යත්වය ඇතැයි පුරසාරම්, පුරාජේරු දෝඩති, සුද්දන් මෝඩ අශිෂ්ටයන් යැයි කියමින් ඔවුන්ව හෙළාදකිති. එසේ කරන අතරම මව්බිමේ තමා සමග එකම ජීවන අරගලයක නිරතවූ සිය මිතුරන්ට තමන් දැන් සිටින විදෙස් රටේ ගත කරන්නේ සුපිරි ජීවිතයක් යැයි මවාපාති. ඒ රටේ සංවර්ධනය, යටිතල පහසුකම් කම් සහ අපහසුවකින් තොරව ජීවත්වීමට ඇති හැකියාව ගැන අලංකාර චිත්‍ර මවති. ඒ සංක්‍රමණය වූ රටේ කෙසේ හෝ පුරවැසි බව ලබන තාක්කල් ශ්‍රී ලාංකිකයන් පසුවන මානසික පීඩනයේ ස්වභාවයය. 

5. මුස්ලිම් ආගම අතහැර ක්‍රිස්තියානි ආගම වැලද ගත් රිෆ්කාගේ කථාව



කෙසේ හෝ තමන් පයතැබූ රටේ  පැලපදියන් වූ පසු තම නව නවාතැනේ හැඩ-රුව හදුනාගන්නවා වෙනුවට තමන් අත්හැර ආ සිය මවු රටේ තමන් හැදී වැඩුනු සංස්කෘතියේ යහගුණ-සුවද නැවතත් හබා ගොස් රැගෙනවිත් සිය දරුවන් මත පැටවීමේ උත්සහයක මේ ශ්‍රී ලාංකිකයන් දැඩි උත්සාහයක නිරතවේඇමැරිකාවේ CBN නාලිකාව විකාශනය කල ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් පවුලක දැරියක් වූ රිෆ්කා ක්‍රිස්තියානි ආගම වැලද ගැනීමේ කථාව එයට එක් උදාහරණයකි. එයද ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ  මානසික පීඩනයේ තවත් පැතිකඩක් ගෙනහැර පායි. සිය රටේ සිට වෙනත් දේශයකට ගොස් පුරවැසිකම් ලැබුවද, අදාල රටේ තත්වයනට බොහෝ දෙනෙකුට හැඩගැසීමට නොහැකිව තිබේ. මව්බිමේදී තමා වටේ එතී තිබූ සංස්කෘතික වධබන්දනයන්ගෙන් ඔවුන්ට නිදහසක් නැත. එවැනි ශ්‍රී ලාංකීක දෙමාපියන් නිසා වඩාත් පීඩනයකට  පත්වනුයේ ඉහත වීඩියෝවට පාදක වන රිෆ්කා වැනි දරුදැරියන්ය. එයින් නිදහස පතන රිෆ්කා වැනි ශ්‍රී ලාංකීක දරුවන්ට මෙම ආගන්තුක රටවල් තුල  බොහෝදුරට මරු වැල් පෑගේ, බොරු වලවල් වල වැටේ.  එහෙත් වාසනාවකට  රිෆ්කාට  හමුවුයේ එවැනි මාරුවැලක් නොව තමාගේ දෙමාපියන් අදහන ආගමට වඩා නිදහස් වෙනත් ආගමකි. එහෙත් දැඩි මුස්ලිම් බැතිමතුන් වන සිය දෙමාපියන්ට පවුලේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම සිය දරුවාගේ නිදහසට වඩා වැදගත් වීම නිසා රිෆ්කාට  මුහුණ දීමට සිදුවනුයේ සිය ජීවිතයත් මරණයත් අතර යුද්ධයකටය. එය  රිෆ්කාට පමණක් පොදු නොවූ ඉරණමකි. 

ඉහත වීඩියෝ 05 පැහැදිලිවම තම රටේ උද්ගතවී ඇති  සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුධ හමුවේ ශ්‍රී ලාංකීකයන්ට මුහුණ පෑමට සිදුව ඇති මානසික ව්‍යාකුලතාවයන්ගෙන් එක් දශමයක් පමණක් පෙන්නුම් කරයි. එහෙත් එහි ක්ෂේත්‍රය ඊට වඩා පුළුල්ය, විශාලය. අවාසනාවකට මේ අයිස් කන්ද ගැන  නොව  එහි ඉතා කුඩා තුඩක් ගැනවත් ලංකාවේ විධිමත් හෝ පොදු අවදානයක් නොවේ. මෙයට විසදුමක් ලෙස බොහෝ ශ්‍රි ලාංකිකයන් කුමකින් හෝ 'මත්වීම' තෝරාගෙන  සිය අර්බුදය යටපත් කරගැනීමට ඉහල නැබුරුවක් දක්වයි. ඔවුන්ගේ 'මත්වීම' මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වලට පමණක් සීමා නොවන බව පෙනේ. එය ආගමින්, ජාතියෙන්, දේශපාලනයෙන් හෝ සෝබනයෙන් මත්වීම දක්වා දික්වේ. ස්වරූපය කුමක්වුවද එය ගෙනෙනුයේ තාවකාලික සහනයක් පමණක් වන අතර විනෝදයක් ලෙස පෙනෙන විදවීමක් පමණක් ඉතිරිකර යයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/05/2015.

Thursday, 21 May 2015

මැයි 19 පණිවිඩය: ඒකීය රාජ්‍ය වෙනස් කල යුතුය!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ එහි ජනයාගෙන් කොටසක්  තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයේ ජයග්‍රහණය ද, තවත් කොටසක් වෙනම රාජ්‍යක් සදහා වූ ඔවුන්ගේ අරගලයේ පරාජයද, පොදුවේ සියල්ලෝම එහිලා බිලිවූ ජනයාගේ  ව්‍යාසනයද සැමරිය යුතු,  මැයි 18/19 යන දිනයන් හීදීත්, අනෙක් සෑම දිනයකමත්, අමතක කරනුයේ බෙදුම්වාදී යුද්ධයට හේතුවුයේ කුමක් ද යන්නය. 

එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' වැරදි නිසා පැන නැගුනක් බව මීට වසර ගණනාවකට පෙර, එනම් 2005 වැනි කාලයකදී, ශ්‍රී ලාංකීය බුධිමතුන්, වියතුන් සහ ප්‍රබුද්ධ දේශපාලනයක නිරතවූවන් පැහැදිලිවම එකගත්වයකට පැමිණ පොදුවේ පිළිගෙන තිබු කරුණකි. එහෙත් යුද්ධ ජයග්‍රහණයේ උද්දාමයත් සමග බොහෝ දෙනෙක් එය අමතක කර දමා  තිබේ.

 හරි හෝ වැරදි, සිය මුළුමහත් දේශපාලන ජීවිතය පුරාම එකම මතයක් වෙනුවෙන් නොවෙනස්ව පෙනීසිටි ශ්‍රී ලංකාවේ එකම දේශපාලනඥයා වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි අයෙකු හැර ඉහත නිගමනය එදා නිර්මාණය කිරීමට දායක වූ ජයදේව උයන්ගොඩ, නිර්මාල් රන්ජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යා ආචාර්යවරුන්වත් ඒ වෙනුවෙන් ඍජුව පෙනීසිටීන බවක් අප ඔවුන්ගේ ශිෂ්‍යන්ව සිටි කාලයේ මෙන් දැන් නොපෙනේ. ඒ වෙනුවට සිංහල-බෞද්ධ ජාතිකත්වය ගැන කතිකාවේ යලියලිත් පැටලී සිටී. එය හේතුව නොව පලය ය. එනම් ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' වැරදි නිසා සමස්ථ ශ්‍රී ලංකා භුමිප්‍රදේශයම වසා පැතිරිය හැකි ශ්‍රී ලාංකීය ජාතිකත්වයක් ගොඩනැගීම වෙනුවට එකිනෙකට පසමිතුරු සිංහල-බෞද්ධ ජාතිකත්වයකුත්, දෙමළ-ඊළාම් ජාතිකත්වයකුත් ශ්‍රී ලංකා භුමිප්‍රදේශ දෙපළු කරමින් බිහිවු බව අමතක කර තිබේ. 

 ශ්‍රී ලංකාවේ පුර්ව යටත්විජිත යුගයේදී එතරම් අධිනිෂ්ශිත නොවූ සිංහල සහ දෙමළ වාර්ගීක අනන්‍යතාවයන් අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලියත් සමග  නිදහස ලබන විට නිෂ්ශිත දේශපාලන අධිඒකකයන් සේ ගොඩනැගී තිබුන අතර බෞද්ධාගමට නිසි තැන හෙවත් රාජ්‍ය අනුග්‍රහය ලබන ආගම වීමේ උවමනාව ප්‍රමුඛ කරගත් සටනද ඉන් පරිබාහිරව පැවතිනි. 

පශ්චාත් යටත්විජිත  ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' නායකත්වය ගන්නා  ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන වැනි මෙරට සිංහල කොම්ප්‍රදෝරු ධනපතීන් එය දියත් කරන්නේම සෙසු ජන කොටස් බැහැර කිරීමේ සහ ඔවූන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්  යටපත් කිරීමේ ක්‍රියාදාමයන් ඔස්සේය. ඔවුන් එය එවකට රටේ සිටි ජනග්‍රහනයෙන් සීයට 11 (11%)ක් වූ ඉන්දියානු දෙමළ වතුකම්කරුවන් ගේ පුරවැසිභාවය නැතිකළ 1948 පුරවැසි පනත ඔස්සේ දියත්කරන විට, එයට විරුද්ධව එස්. ජේ. වී. චෙල්වනායගම් දෙමළ ජනයාගේ අයිතීන් මුල්කරගත් 'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂය 1949 දී බිහිකරන ලදී. 

ශ්‍රී ලංකාවේ සිංහල දේශපාලනඥයන් සෙසු ජන කොටස් බැහැර කර, ඔවුන්ගේ පාරම්පරික බිම් අත්පත් කරගෙන, අනෙකුත් ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයන්  යටපත් කිරීමේ  දේශපාලන  ක්‍රියාදාමයක නිරතවී ඇතැයි චෙල්වනායගම් පුරවැසි පනත සහ ඩී. එස්. සේනානායකගේ ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ දියත්වූ ගොවිජනපද පිහිටවීමේ වැඩපිළිවල විවේචනය කරමින් දෙමළ ජනයාට එයට එරෙහි වෙනම දේශපාලන ගමනක් ඉදිරිපත් කිරීමට උත්සහකලද 1952 මැතිවරණයේදී එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ එම දේශපාලනයත්, ඔහුගේ ආසනයත් ද්‍රවිඩ ජනයා විසින් පරාජය කර  වාර්ගීක දේශපාලනයකට ඔවුන් අතර ඉඩක් නැතිබව දන්වන ලදී. 

එහෙත් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතුයැයි ද, බෞද්ධාගමට නිසි තැන හෙවත් එය රාජ්‍ය  ආගම වීයයුතුයැයි ද යන්න පෙරටු කරගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුනේ දේශපාලනය 1956 දී කලඑලි බැසීමත් සමග එස්. ජේ. වී. චෙල්වනායගමුත් ඔහුගේ  'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂයත් දෙමළ ජනයාගේ රැකවලුන් ලෙස දෙමළ ජනයා විසින්ම නැවත ඔසවා තබමින් උතුරු-නැගෙනහිරින් ආසන 10ක් දිනා දෙන ලදි. එතැන් පටන් සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන්ගේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ'  සැබෑ හතුරා ලෙස එස්. ජේ. වී. චෙල්වනායගමුත් ඔහුගේ දෙමළ ප්‍රභූන් කේන්ද්‍රකරගත්  'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂයත් ද්වන්ධ දේශපාලනයක නිරතවන ලදී. 
සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් සිංහල-බෞද්ධ ජාතිකත්වයත්, එහි සංස්කෘතික අනන්‍යතාවයත් රටේ සෑම බිම් ප්‍රදේශයකම ජීවත්වන ජනයා මත තහවුරු කිරීමට ඒකීය රාජ්‍ය ආකෘතිය මත ක්‍රියාත්මක වන විට, චෙල්වනායම්ගේ පක්ෂය දෙමළ ජනයාගේ ජාතිකත්වයත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයත් ආරක්ෂා කරගැනීම සදහා පළාත් වශයෙන් බලය බෙදාහැරීමේ ෆෙඩරල්  රාජ්‍ය ආකෘතිය වෙනුවෙන් වූ දේශපාලනයක නිරතවිය. එහෙත් සත්‍යග්‍රහ, උපවාස සහ දේශපාලන සාකච්ඡා මාර්ගයෙන් සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට චෙල්වනායම්ට නොහැකිවූ අතර සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් ද ඔවුන්ගේ ඉල්ලීම් නොසලකාහරින ලදී. බෙදුම්වාදී යුද්ධය පැනනගින්නේ ඉහත ෆෙඩරල්  රාජ්‍ය ආකෘතියක් තුල සිය දේශපාලන ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් දිනාගැනීමට නොහැකිවීම තුලය. 

සිංහයාට දැවැන්ත මෙන්ම කෲරතම අභියෝගයක් එල්ලකල කොටියා දැන් කෲර ලෙසම පරාජය කර තිබේ. ඒ අනුව සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් ක්‍රියාවට නැන්වූ, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' පදනම වූ, ඒකීය රාජ්‍ය ආකෘතිය ජයගෙන තිබේ. එහෙත් සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීම සදහා වූ ලාංකීක ද්‍රවිඩ ජනයාගේ දේශපාලනය එයින් අහවර කිරීමට නොහැකිව තිබේ.  ෆෙඩරල්  රාජ්‍ය ආකෘතියක් තුල සිය දේශපාලන ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දිනාගැනීමේ ලාංකික ද්‍රවිඩ ජනයාගේ දේශපාලන ඉල්ලීම තවදුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල අළුයට ගිනිපුපුරු මෙන් තිබේ. 

ඒහින් මැයි 19ය අපිට දෙන පණිවිඩය ඒකීය රාජ්‍ය වෙනස් කල යුතු යන්න ය. කොටි පරාජය කර බෙදුම්වාදය පරාජය කලද, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් පරාජය කල නොහැකිව  ඇති බව මැදිහත් සිතින් පිළිගත යුතුව ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීමට  සිය මුළු දේශපාලන ජීවිතයම යෙදවූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි  අයෙකුට 'දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකිරීම' උදෘත පාඨය කරගත් උපුල් ශාන්ත සන්නස්ගලගේ සත්‍යාගාරයේදීවත් ඉඩක් වෙන් කලේ නම් අඩුම තරමින් එම වැඩසටහනේ අදාල උදෘත පාඨයටවත් සාදාරණයක් කිරීමට හැකිව තිබුනා පමණක් නොව ඉහත සාකච්ඡාව ද නැවත සාකච්ඡාවට ලක්කළ හැකිව තිබුණි. එහෙත් අපේ සිංහල ගුරුවරයාගේ එම වැඩසටහනේ උදෘත පාඨය වූ 'දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකිරීම' ට වඩා වෙනත් දේශපාලන වැඩපිළිවලක් ඔහුට තිබී ඇති බව දැන් සනාථය. 

පැහැදිලිවම ෆෙඩරල්  රාජ්‍ය ආකෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බියක් තිබේ. එය බොහෝදුරට මෙතෙක් දියත්වූ ඒකීය රාජ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටි පිරිස් විසින් ඇති කළ දෙයකි. ඒකීය රාජ්‍යවාදීන්ට අනුව ද්‍රවිඩ ජනයාගේ ෆෙඩරල්  රාජ්‍ය ඉල්ලීම රට බෙදීමේ එක් ක්‍රියාදාමයක් බව දක්වයි. කෝටි 70කට ආසන්න ලොවපුරා විසිර සිටින දෙමළ ජනයාට ඔවුන්ගේම යැයි කියා වෙනම රටක් නොවීමත් ලෝකයේ සිංහල ජනයාට ඇති එකම රට බෙදී විනාශ වීමට ඉඩනොදිය යුතුවීමත් නිසා ඉහත ඒකීය රාජ්‍යවාදීන්ගේ බිය සාධාරණය, යුක්ති සහගතය, තර්කානුකූලය. 

එසේම, මෙතෙක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' පදනම වූ ඒකීය රාජ්‍ය ආකෘතිය විසින් ගොඩනගන ලද ව්‍යාකූලතාවය ද නිරවුල් කල යුතුය. ශ්‍රී ලංකාවේ චිරස්ථිය්ත්ව වෙනුවෙන් දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටින දේශපාලන ඉල්ලීම්වලට ද පිළිතුරු දිය යුතුව තිබෙන බව ද අමතක නොකලයුතුය. 

ඒහින් මැයි 18/19 සමරන මේ දිනවල අපේ අවධානය නැවතත් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ආකෘතිය වෙනස් කිරීම පිලිබදවත්, රට නොබෙදා බලය බෙදීම  පිළිබදවත් යොමුවිය  යුතුව තිබේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/05/2015.

Sunday, 17 May 2015

'Wild Sri Lanka (2015)' සහ විල්පත්තුව


ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන ජීවින් පිලිබදව ලෝකයේ දැන් විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බව පෙනේ. ඒ දිගින් දිගටම ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන ජීවින් පිලිබදව විවිධ වාර්තා වැඩසටහන් විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ බටහිර ලෝකය තුල ප්‍රචාරය වීම නිසාය. 


මේ වසර තුල බ්‍රිතාන්‍ය පමණක් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන ජීවින් පිලිබදව රූපවාහිනී වැඩසටහන් 06  මේ දක්වා විකාශනය කර ඇත. BBCය විකාශනය කල ලංකාවේ අලි ඇතුන් ගැන සහ වදුරන් පිළිබද වැඩසටහන ගැන පුවත්පත් පත් වාර්තා පවා පලවිය. එය බ්‍රිතාන්‍ය මහජනයා වැඩියෙන්ම නැරබු වන ජීවින් පිලිබදව වැඩසටහන් වලින් එකක් බවට පත්ව තිබේ. 


මේ ගොඩට දැන් එකතුවී තිබෙන්නේ National Geographic Channel - UK නාලිකාව විකාශනය කල  'Wild Sri Lanka (2015) වැඩසටහනයි.
කොටස් තුනක වාර්තා වැඩසටහනක් වූ එහි මුල් කොටසින් ලංකාවේ මුහුද ගැන විකාශනය විය. ගොඩබිමට ආසන්නයේම ගැබුරැ මුහුද පිහිටා තිබීම නිසා ලෝකයේ තල්මසුන්, මෝරුන් සහ ඩොල්පින් මසුන් දැකීමට හොදම තැන ලංකාව බව දක්වන ලදී.

දෙවන වැඩසටහන තුල ලංකාවේ පැරණි මුතුන්මිත්තන් විසින් ඉදිකළ වැව් මෙන්ම, ගංගා ඇල දොලද ලංකාවේ වන ජීවින්ගේ පැවැත්මට උපකාරී වන ආකාරයත්, තුන්වන කොටසින් ශ්‍රී ලංකාවේ වන ඝනත්වයේ ස්වභාව සෞන්දර්යත් එහි වන ජීවින්ගේ පැවැත්මත් මනාව විස්තර කරයි. 

ඉතා කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවට ලෝකයේ වෙනත් කිසිම රටකට හිමි නොවන ඉතා ඉහල මාධ්‍ය වටිනාකමක් බටහිර මාධ්‍ය වලින් නිරන්තරයෙන් ලැබීම ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අපමණ සතුටක් භුක්ති විදින නමුත් එය විනාෂ කරන්නන්ට එරෙහිව නිසිපියවර නොගැනීම ගැන කණගාටුවෙමු. එයට පැහැදිලිවම එරෙහි විය යුතුය. 

රිෂාඩ් බදුර්දීන් විල්පතුවේ වන විනාෂ කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම වරදකරුවෙකි. කාලයක් ඔහු මන්නාරමේ පමනක් නොව වෙනත් ඕනෑම තැනක මගුල් ගෙදරකට ආරාධනා කළහොත් පර්චස් 10 ඉඩම් කැබැල්ලක් දීමට මනමාලයන්ට පොරොන්දු වෙන බව මගේ මුස්ලිම් මිතුරන් කිහිපවරක්ම කියනු මා අසා ඇත. ඒ ඔහුගේ සාක්කුවෙන්වත්, ඔහුගේ පුද්ගලික දේපලවලින්වත් නොවන බවද ඔවුන්ම කියති. 

ජාතිය, ආගම කුමක් වුවද ඒ අනුව ඔහු දූෂිත දේශපාලනයක නිරතවන්නෙකි.  පාරිසරික පනත් යටතේ හෝ පොදු දේපල පනත යටතේ හෝ ඔහුව අත්අඩංගුවට නොගනිනේ ඇයි ? රජය මේ ගැන ක්‍රියා නොකරයිනම් විපක්ෂයේ පක්ෂවත්, නැතිනම් පරිසර සංවිධානවත් උසාවියෙන් අදාල නීති ක්‍රියාත්මක කරන්නට ක්‍රියා කරන්නට ඉල්ලන්නේ නැත්තේ ඇයි?

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/05/2015.

Thursday, 14 May 2015

සදාචාරවාදීන් යටපත්කල මීගමුව ගැන චිත්‍රපටි තුනක්


මීගමුව, එහි ධීවර කර්මාන්තය එහි සංස්කෘතික නිෂ්පාදනයන් පිළිබදව චිත්‍රපටි තුනක් 1934 දී, 1952 දී සහ 1980 දී නිෂ්පාදනය කර ඇත. ඉන් පළමුවැන්න 1934 දී සිය යටත්විජිත ප්‍රදේශ ගැන බ්‍රිතාන්‍ය යටත්විජිත ලේකම් කාර්යාලය සහ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය නිපදවූ (BBC) වාර්තා චිත්‍රපටියකි. බැසිල් රයිට් (Basil Wright) සමග ලයනල් වෙන්ට් නිෂ්පාදනය කල එය 'Negombo Coast' නමින් නම් කර ඇත. දෙවැන්න ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාව 1952 දී නිපදවූවක් වන අතර ජෝර්ජ් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටිය 'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) නමින් නම් කර ඇත. මෙම චිත්‍රපටි දෙකකම ශ්‍රී ලංකාවේ නිලවශයෙන් මේ දක්වා ප්‍රදර්ශනය කර නැත. එහිලා බලපා ඇති හේතු විකාර සහගතය. 

බැසිල් රයිට් (Basil Wright) සහ ලයනල් වෙන්ට් 1934 දී නිෂ්පාදනය කල 'Negombo Coast' චිත්‍රපටිය ඇත්ත වශයෙන්ම මීගමුව ගැන චිත්‍රපටියක් කිරීමේ උවමනාවෙන් නිපදවූවක් නොවේ. එය බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රදේශවල සංචාරක කර්මාන්තයත්, ශ්‍රී ලංකාවේ තේ  නිෂ්පාදනයත් ප්‍රවර්ධනය කිරීම සදහා නිෂ්පාදනය කල Song Of Ceylon (1934) චිත්‍රපටිය සංස්කරණය කිරීමෙන් ඉවත්කළ කොටස් අතරින් නිපදවූවකි. Song Of Ceylon චිත්‍රපටය බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය හා බද්දවූ ජනජීවිතය පිලිබදව ලෝකයට කියාපෑ අපුර්ව නිර්මාණයකි. විශිෂ්ඨ ඇගයීම්වලට ලක්වූ මෙම චිත්‍රපටිය යුරෝපීන්ගේ යටත්විජිත ග්‍රහණයට ලක්වූ ප්‍රදේශවල ජනයාට ඔවුන්ගේම වූ සුවිශේෂී ශිෂ්ටාචාරයක් පවතින බව ප්‍රදර්ශනය කලේය. එය යුරෝපීන් අතර කලින් ගොඩනගා තිබු බොරු මතයක් වූ යටත්විජිත ප්‍රදේශවල ජනයා මෙලේච්චයන්ය (savages) යන්න බිද දමන ලදී. පසුගිය කාලේ විවිධ සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ එම Song Of Ceylon චිත්‍රපටය මෙම යොමුව ඔස්සේ නැරබිය හැක https://www.youtube.com/watch?v=LWlxvC-eb-g.

එම චිත්‍රපටිය රූගත කිරීම සදහා ලංකාවට පැමිණි බැසිල් රයිට් (Basil Wright) ඇතුළු පිරිසගේ සහයට ඉදිරිපත්වුයේ මෙරට නුතනවාදී කතිකාවේ ප්‍රාරම්භකයෙක් වූ ලයනල් වෙන්ට්ය. ඡයාරූප ශිල්පීයෙකු  මෙන්ම කලා විචාරකයෙක්දවූ ලයනල් වෙන්ට්ව, 1971 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනු චිලී ජාතික, Pablo Neruda (1904-73)  හදුන්වා ඇත්තේ "සිය සංස්කෘතික ජීවිතයේ දී අධිරාජ්‍යවාදී මරු දෙඩවිලි ඉරාදමා මෙතෙක් භාවිතයට නොගත් ලාංකික අගයන් හී  මනුෂ්‍ය වටිනාකම් මතුකළ කේන්ද්‍රීය චරිතයක් ලෙසය." (The Sunday Times Plus Section, 26th November 2000, Sri Lanka) යටත්විජිතවාදී වික්ටෝරියානු කුහක සදාචාරවාදයෙන් යටකළ නොහැකිවූ නිරුවත් මිනිස්රූප ස්වභාවයන් සිය කාචය තුලත්, සමාන ලිංගික සබදතා සිය ජීවිතය තුලත් ලයනල් වෙන්ට් සනිටුහන් කරගැනීම ඉහත ප්‍රකාශයට විෂය වීමට ඇත. Pablo Neruda ගේ ඉහත ප්‍රකාශය මතු කථාවට අත්වැල සපයයි. 

කොළඹ සහ මීගමුව ද, රට අභ්‍යාන්තරයේ සෙසු ප්‍රදේශවල ද සිදුකල රූගත කිරීම වලින් අනතුරුව Song Of Ceylon චිත්‍රපටය  සංස්කරණය කිරීමේදී මීගමුවේ ධීවරයන් සහ එහි ධීවර කර්මාන්තය පිළිබද කොටස් ටික කපා ඉවත්කර ඇත. එපමණක් නොව එම චිත්‍රපටය තමන් පිළිගත් ඇගයීම් සහ උවමනාවන් වලට වඩාත් ගැලපෙන සේ  නැවත සකස්කර ගැනීමට Song Of Ceylon ව්‍යාපෘති මෙහෙයවූ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයත් (BBC) එහි අනුග්‍රහයකයන් වූ ශ්‍රී ලංකාවේ තේ  නිෂ්පාදන ප්‍රචාරකයිනුත් බැසිල් රයිට් ලවාම කටයුතු කල බව Martin Stollery ගේ 'Alternative Empires: European Modernist Cinemas and the Cultures of Imperialism', University of Exeter Press (2000) කෘතියේ වේ.  

එහෙත් පසුව Song Of Ceylon චිත්‍රපටයට රූ ගතකල මීගමුවේ කොටස් ටික 'Negombo Coast' නමින් වෙනම වාර්තා චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කිරීමට බැසිල් රයිට් සහ ලයනල් වෙන්ට් සමත්වී ඇත.  Song Of Ceylon චිත්‍රපටියෙන් මීගමුවේ කොටස් ටික ඉවත්වීමට හේතුව මීගමුවේ රූගත කල කොටස් සම්පුර්ණයෙන්ම ධීවර කාර්මිකයා සහ එම කර්මාන්තය පමණක් කැමරාවට හසුකරගෙන තිබීමත්, අනෙක් තැන්වලදී මෙන් අදාල ජනයා සහ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කැමරාවට හසුකරගෙන නොතිබීමත් බව යැයි 08 January, 2012 Sunday Times Plus Section යේ පළවූ Richard Boyle ගේ ලිපියක දැක්වේ. රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැහැදිලිවම ලොවට ගෙනහැර පෑමට නිර්මාණය කරමින් තිබු Song Of Ceylon චිත්‍රපටියට,  එම සංස්කෘතියට පරිබාහිර ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති මීගමුවේ ධීවරයන්ගේ ජන ජීවිතය පිළිබද රූප රාමු ඇතුලත් කල නොහැකිවීම එයට හේතුව බව නැවත කීමට අවශ්‍ය නොවේ. කෙසේවුවද, මීගමුවේ රූගත කල කොටස් ටික එකලස් කර නිපදවූ 'Negombo Coast' (1934) චිත්‍රපටිය එහි ධීවරයන් පිළිබද අපුරු තොරතුරු ගෙනේ http://www.colonialfilm.org.uk/node/730 . 


video

මීගමුව ගැන නිපදවූ අනෙක් චිත්‍රපටිය වූ ලංකා චිත්‍රපටි සංස්ථාව වෙනුවෙන් 1952 දී ජෝර්ජ් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ  'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) චිත්‍රපටියය. එය අවස්ථා දෙකකදී පමණ රජයේ චිත්‍රපටි සංස්ථාවේ විශිෂ්ඨත්වය ගැන පුරාජේරු කීමට පමණක් ප්‍රදර්ශනය කල, රටේ මහජනයාට ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටියකි. අද ද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවියේ මෙම චිත්‍රපටිය ගැන සදහන් වේ. මීගමුවේ පාරම්පරික ධීවර කර්මාන්තයත් එම ධීවරයන් ගේ ජනජීවිතයත් පිළිබද විශිෂ්ඨ වාර්තා වැඩසටහනක් වූ  'මීගමුවේ මස් මරන්නෝ'  චිත්‍රපටියට රෝමයේ පැවති අනතර්ජාතික චිත්‍රපටි උළෙලකදී හොදම වාර්තා චිත්‍රපටියට හිමිවන සම්මානය හිමිව තිබේ. එහෙත් 'මීගමුවේ මස් මරන්නෝ' චිත්‍රපටියට එරෙහිව, එය රට තුලත්, ඉන් පිටතත්  ප්‍රදර්ශනය නොකරන මෙන් ඉල්ලා එවකට රෝමයේ ලංකා තානාපති වරයා වූ ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතා  දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඔහුගේ විරෝධයට 
හේතුව ලෙස දක්වා තිබුනේ මීගමුවේ ධීවරයන් අමුඩය ඇඳ සිටීම නිසා එම චිත්‍රපටය නරඹන විදේශීකයන් ලංකාව ගැන වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බවයි. 

ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතා යනු ඩි. ඇස්. සේනානායක සමග සේරුවිල බෞද්ධ වෙහෙර විහාර නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතුකළ, 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට 'ගම්පොළ' ආසනයෙන් තරගකර පැරණි උඩරට නිලමේවරයෙකුවූ  ටී. බී. පානබොක්‌කේ අධිකාරම්ව චන්ද 184 කින් පරාජයකල තැනැත්තෙකි. ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ සිංහල මහ සභාවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවූ ඔහු 1947 මැතිවරණයේදී එ.ජා.පක්‍ෂයෙන් තරගකර වැඩි ඡන්ද 387 කින් 'ගම්පොළ' මන්ත්‍රී ලෙස ජයගෙන නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්ය නියමයක්‌ නැති ඇමැතිවරයා ලෙස ඩී. ඇස්‌. සේනානායක පත්කල තැනැත්තෙකි. එහෙත් එම මැතිවරණයේදී ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන්ට අඩන්තේට්‌ටම් කරන ලදැයි යන මැතිවරණ පෙත්සම නිසා මන්ත්‍රීධුරය ඔහුට අහිමි විය. එහෙත් ඩී. ඇස්‌. සේනානායක ඔහුව රෝමයේ ලංකා තානාපතිවරයා ලෙස දේශපාලන පත්වීමක් ලබාදී ඇත. එලෙස රෝමයේ ලංකා තානාපතිවරයා ලෙස පත්වන අධිනීතිඥය  ආර්. ඇස්‌. ඇස්‌. ගුණවර්ධන මහතාගේ 'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) චිත්‍රපටයට එරෙහි විරෝධය ඒ අනුව හුදු ධීවරයන්ගේ අමුඩය හෝ සදාචාරය පදනම් කරගත්තකට වඩා එහා ගිය විරෝධයක් බව ඔහුගේ ඉහත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. මීගමුවට ආවේණික වූ මසුන් මරන ක්‍රම සහ මීගමු ධීවරයන්ගේ එදිනෙදා ජීවිතය ගැන නිපදවූ මෙම මිනිත්තු 23ක වාර්තා චිත්‍රපටිය ගෙනහැරපෑවේ ඔවුන්ගේ එදා තත්වයයි. අද කොට-කලිසම් අදින බොහෝ මීගමු ධීවරයන්ගේ එදා පරම්පරාව ඇද ඇත්තේ ‘අමුඩය’ ය. එහෙත් එය ගොවීන්ගේ ‘අමුඩය' ට වඩා වෙනස් බව ලයනල් වෙන්ට්ගේ මෙම ඡයාරූපයෙන් පෙනේ.   
ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතාගේ ඉහත විරෝධය නොතකමින්, එවකට රජයේ ප්‍රවෘත්ති නිලධාරියා වූ හුළුගල්ලේ මහතාගේ මැදිහත් බව නිසාම 'මීගමුවේ මස් මරන්නෝ චිත්‍රපටය තහනම්ට ලක් නොකර සිටීමටත්, 1952 මෙරට නිපදවූ හොඳම ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය ලෙස බ්‍රිතාන්‍ය චිත්‍රපටි උළෙල නියෝජනය කිරීමටත්, අන්තර්ජාතික සම්මානත් දිනා ගැනීමටත් හැකිවූ බව ඒ.ඩී. රන්ජිත් කුමාර ගේ 'අඩසියවසක රිදී රේඛාව' කෘතියේ (පිටු 41-42) දැක්වේ. අද ද කිසිදු මහජන ප්‍රදර්ශනයකින් තොරව එම චිත්‍රපටිය ජාතික චිත්‍රපටි සංස්ථාවේ හොදම නිර්මාණයක් ලෙස සුරැකිව තැම්පත්කර ඇත. 


එමෙන්ම 1980 දී ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාව සහ ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයින් පිරිසක් එකතුව නිර්මාණය කල 'දූවේ ධීවරයෝ' (Fishman of Duwa) චිත්‍රපටිය මීගමුවේ ධීවරයන්ගේ පාරම්පරික ධීවර කර්මාන්තයත්, ඔවුන්ගේ ජන ජීවිතයත් මෙන්ම ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික කලා සම්ප්‍රදායක් බිහිකළ ඔවුන්ගේ වර්ෂික භක්ති අභ්‍යාසයක්වන 'දූවේ පාස්කු' නාට්‍ය පුහුණුවීමේ විරල රූප රාමු ඇතුලත් නිෂ්පාදනයකි. එහෙත් අදටත් ශ්‍රී ලංකා  චිත්‍රපටි සංස්ථාව මෙම චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තබා නැත. එයට හේතුවක්ද 
 ඉදිරිපත් කර නැත.    එය මෙතනින් නැරබිය හැක 

එතෙර හෝ මෙතෙර ව්‍යජ සදාචාරවාදීන් විසින් යටපත් කරදැමීමට උත්සහ කල මීගමුව පිළිබද ඉහත චිත්‍රපටි තුන පසක් කරදෙන්නේ අධිපතිවාදී මහා ප්‍රවාහයට එරෙහිව මානව, සමාජ, සංස්කෘතික සහ ස්වභාව වටිනාකම් ආරක්ෂා කරගැනීමට ලයනල් වෙන්ට් ආදී නුතනවාදීන් ක්‍රියාත්මක කල  මානවවාදී ක්‍රියාකාරීත්වයන්ට නැවත පනදීම අවශ්‍ය බවයි. මන්දයත් මේ යටපත් කරමින්  ඇත්තේ ශ්‍රී ලංකාවේ  ජන කොටසගේ සංස්කෘතික කලා සම්ප්‍රදායක් සහ ඔවුන්ගේ අන්‍යතාවයන් පමණක් නොව  ශ්‍රී ලංකාවේ මහා ජාතික අන්‍යතාවය ගොඩනැගීමට නන්අයුරින් දායකවූ  කොටස්ය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/05/2015

උප ආඛ්‍යණය;

(බැසිල් රයිට් (Basil Wright) සහ ලයනල් වෙන්ට් 1934 දී නිෂ්පාදනය කල 'Negombo Coast' චිත්‍රපටිය ගැන තවදුරටත් මෙසේ කරුණු දක්විය හැක: මීගමුවේ මුහුද, ධීවරයන් සහ එහි ධීවර කර්මාන්තය පිලිබදව කැමරාවට හසුකරගෙන ඇති මෙම චිත්‍රපටියට අදාල මාදැල් අදින ප්‍රදේශය බොහෝ දුරට මීගමුවේ දූව සහ පිටිපනවීදිය අතර පිහිටි කනත්ත පිටුපස ප්‍රදේශ බව පෙනේ. එකල පිටිපන වීදියේ අදින ලද මාදැල් අයත්විය යුත්තේ මීගමු දුවේ පදිංචි ජෝෂොප් ක්ලෙමන්ට් (පරමණ්ඩල) මහතාගේ පියා වන බොනී මහතාගේ පිය පාර්ශවයටය. මෙම චිත්‍රපටිය රූප ගතකරන අවදියේ මෙම මාදැලේ මන්දේ රාලව (මෙහෙයවන්නා) සිට ඇත්තේ මෝරා මාළුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව 1940 දී මියගිය මරතේනුස් ප්‍රනාන්දු මහතාය. ඔහු මේම මාදැල් රූප රාමුවල සිටින බව අපගේ විශ්වාසයයි. පසුව ඔහුගේ වැඩිමහල් පුත් පියුස් ප්‍රනාන්දු මහතා 2011 මියයන තෙක්ම මෙම මාදැලේ මන්දේ රාලව සිට ඇත. මෙම චිත්‍රපටියට අදාල ප්‍රදේශ ගැන විමර්ශනයේදී ලැබුන තවත් තොරතුරක් වන්නේ මෙම චිත්‍රපටිය මීගමුවේ මහ ලෙල්ලමත්, ඉස්සන් ලෙල්ලමත් යන දෙකම දර්ශන තලවලට හසුකරගෙන ඇති බවයි. තවද මෙහි එන ඇතැම් කාන්තාවන් ගාල්ල/මාතර ප්‍රදේශ වල කාන්තාවන් මෙන් අත්දිග හැට්ට ඇද ඇත්තේ ඇයි යන්න සැලකීමේදී පෙනීගියේ, මීගමුවේ පිටිපන, දූව, පිටිපන වීදිය අතර ප්‍රදේශයේ වෙසෙන බොහෝ දෙනෙකු ගේ මුතුන්-මිත්තන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයන්ගෙන් සංක්‍රමණය වූ ජනයා බවයි. අද ද එහි වෙසෙන බොහෝ දෙනෙකුගේ වාසගම් දෙහිවලගේ, මාතරගේ යනුවෙන් ඇරබේ. වඩාත් ප්‍රකට උදාහරනයක් වනුයේ පිටිපන සුප්‍රකට මාටින් වේවැල්දෙණියේ මහතාගේ මවගේ නම, ඇයගේ මරණ දැන්වීමේ සදහන් කල ලෙස, මාතර කිරිගේ හෙලේනා ය. )

Tuesday, 12 May 2015

වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට.


මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන ඇතුළුව  වාර්තාගත ආසියානු, අප්‍රිකානු, කැරිබියන් සහ වෙනත් සුලු ජනවර්ග වලට අයත් මන්ත්‍රීවරු පිරිසක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්ව ඇත. සංඛ්‍යාත්මකව 42ක් වන මෙම පිරිස 650ක් වන බ්‍රිතාන්‍ය පර්ලිමෙන්තු මන්ත්‍රීවරුගෙන් ආසන්න වශයෙන් 6.6%ක් නියෝජනය කරයි. මෙලෙස පත්වූ බ්‍රිතාන්‍යයේ සුලු ජනවර්ග වලට අයත් මන්ත්‍රීවරුගෙන්  වැඩිම පිරිසක් දකුණු ආසියාතිකයන් වීමත්, ඒයිනුත් බොහෝ දෙනෙකු කාන්තාවන් වීමත් විශේෂය.

මේ අතරින් ඉන්දියානු සම්භවයක් ඇති මන්ත්‍රීවරු 10 කි. එයිනුත් ලේබර් පක්ෂයේ කීත් වාස් ප්‍රධාන වේ. 1987 සිට අද දක්වා නොකඩවා නැගෙනහිර ලෙස්ටර් ආසනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු ටෝනි බ්ලෙයාර් ගේ රජයේ යුරෝපා කටයුතු බාර ඇමතිවරයා ලෙස 1999 සිට 2001 දක්වා කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ පසුගිය යුද්ධය සමයේදී ශ්‍රී ලංකාවට අහිතකර, කොටි සංවිධානයට හිතකර ප්‍රතිපත්තියක් අනුගමනය කළේයැයි නිතර චෝදනා ලැබූ මොහු බ්‍රිතාන්‍ය සමාජය තුල සුළු ජන කොටස්වල ගැටළු සම්බන්ධයෙන් නිතර හඩ නගන්නෙකු ලෙස සැලකේ.

එමෙන්ම කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් පළමුවෙන්ම තෝරාපත්වූ ඉන්දියානු මන්ත්‍රීවරියවන ප්‍රීති පටෙල් ට ද  විශේෂ අවදානයක් යොමුවේ. එසෙක්ස් පළාතේ විතම් ආසනයට 2010 මැතිවරණයෙන් තරගකර පාර්ලිමේන්තුවට පැමිණි ඇය, ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ ඉන්දියානු කටයුතු පිළිබද ප්‍රධාන නියෝජිතයෙක් ලෙසද, මුදල් අමාත්‍යාංශයේ කණිෂ්ඨ ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළේය. නව රජයේ රැකියා අමාත්‍යංශය බාර ඇමතිනිය ලෙස 11/05/2015 දින පත්කරන ලදී. 

එමෙන්ම එංගලන්තයේ වැඩිම ඉන්දියානුවන් පිරිසක් වාසය කරන ආසනය ලෙස සැලකෙන ඊලින් සවුත්හෝල්  ආසනය 2007 සිට නියෝජනය කරන විරේන්ද්‍ර ෂර්මා ද, දකුණු වැල්සෝල් ආසනයෙන් කීත් වාස්ගේ සොහොයුරිය වන වැලරි කැරෝල් වාස් ද, ෆෙල්තෙම් සහ හෙස්ටන් ආසනය නියෝජනය කරමින් සීමා මල්හොට්රා ද ලේබර් පක්ෂයෙන් නැවතත් තේරීපත්ව ඇත. මීට අමතරව මන්චෙස්ට්ර් පළාතේ විගන් ආසනයෙන් ලීසා නැන්ඩි ද ලේබර් පක්ෂයෙන් නැවතත් තේරීපත්ව ඇත. එමෙන්ම හිටපු කණිෂ්ඨ ඇමතිවරුන් වූ බටහිර රෙඩින් ආසනයට තරග කල අලෝක් ශර්මා ද, වයබ දිග කේම්බ්‍රිජ් ආසනය ට තරග කල ශෛලේෂ් වේරා ද කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් නැවත තේරීපත්ව ඇත. මෙයට අමතරව එම පක්ෂ්යෙන්ම ප්‍රථම වරට ෆෙරහම් ආසනයෙන් තරග කල සහුලි ෆෙර්ඩිනැන්ඩ්ස් ද, සුප්‍රකට පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන ඉන්දියානු ඉන්ෆොර්සොය්ස් (Infosys) ආයතනයේ නිර්මාතෘ නරේන්ද්‍ර මුර්තිගේ දියණිය විවාහවී  සිටින  රිෂි සහනුක් ද කොනසේර්වේටිව්‍ පක්ෂයෙන් යෝර්ක් ප්‍රදේශයේ රිච්මොන්ඩ් ආසනයට තරග කර ප්‍රථමවරට පාර්ලිමේන්තුවට පත්ව තිබේ. 


පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරු 10 ක් ද  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වී ඇත. ඒ අතරින් ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් තරගකල හිටපු පකිස්ථානු රූපවාහිනි නිවේදිකාවක් වූ තස්මීනා ශේයුක්ට වැඩි අවදානයක් යොමුවූයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් තේරීපත්වූ ප්‍රථම ආසියාතිකයා වීම නිසාය.  පාකිස්ථාන කාශ්මීරයේ උපත ලැබුවෙක් මෙන්ම, පකිස්ථාන කාශ්මීරයේ ප්‍රශ්න ගැන නිතර ඉන්දියාවට චෝදනා කරන කලිඩ් මොහොමඩ් ද, ශබිනා මොහොමඩ් ද නැවත වරක් බර්මින්හැම් පළාතෙන් ලේබර් පක්ෂයෙන් තේරීපත්ව ඇත. 

ඊට අමතරව ප්‍රබල මනාවහිමිකම් ක්‍රියාකාරිනියන් වූ නාශා ෂා ලුටන් ප්‍රදේශයේ බ්රෙට්ෆෙර්ට් ආසනයටද, යෂ්මින් කුරේෂි ගිණිකොන බෝල්ටන් ආසනයටද  ලේබර් පක්ෂයෙන් තේරීපත්වී ඇත. එම පක්ෂයෙන්ම ටුටින් ආසනයට සදීක් ඛාන් ද, නැගෙනහිර බ්රෙට්ෆෙර්ට් ආසනයට ඉම්රාන් උසේන් ද තේරීපත් වී ඇත. පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් අතරින් වඩාත්ම ප්‍රමුඛතාවය හිමිව ඇත්තේ සජිඩ් ජාවිඩ් ටය වෝර්ශේශේයර් පළාතේ බ්‍රොම්ස්ගොර්ව් ආසනය නියෝජනයකරමින් කොන්සර්වෙටිවේ පක්ෂයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහු පසුගිය රජයේ ක්‍රීඩා, සංස්කෘතික සහ මාධ්‍ය කැබිනෙට් නොවන ඇමතිවරයා ලෙස (බ්‍රිතාන්‍ය එම අමාත්‍යංශය කැබිනෙට් අමාත්‍යංශයක් නොවේ) කටයුතු කල ඔහු අනාගත බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියානු අගමැතිවරයා වීය හැකියැයි මෙරට මාධ්‍ය දක්වයි. නව රජයේ වානිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ධන කැබිනෙට් ඇමැතිවරයා ලෙස දැන් ඔහු පත්කර තිබේ. 


බංගලාදේශ සම්භවයක් ඇති මන්ත්‍රීවරියන් 03ක් ද තේරීපත්ව ඇත. ඒ අතරින් ටියුලිප් රිස්වානා සිදික් ප්‍රධාන වේ . ඒ ඇය බංගලාදේශ නිර්මාතෘ ෂේක් මුජූබර් රහමන්ගේ මිනිබිරිය නිසාය. ඇය බංගලාදේශ අගමැති ෂේක් හසිනාගේ බාල නැගණිය වන ෂේක් රෙහනාගේ දියණියයි. හම්ස්ටෙඩ් සහ කිල්බන් ආසනයට වැඩි චන්ද 1000 කට ආසන්න චන්දයකින් ලේබෙර් පක්ෂයෙන් තේරී පත් වූ ඇය මුලෝපාය පිළිබද කළමනාකරුවෙක් වන ක්‍රිස්ටියන් විලියම් පර්සි හා විවාහ වී සිටී.  ලන්ඩනයේ කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබද කථිකාචාර්යක් මෙන්ම ගාර්ඩියන් පුවත්පතේ තීරු ලිපි ලියන්නියක් වූ බංගලාදේශ සම්භවයක් ඇති රූපා හක් ද  මාධ්‍යම ඊලිනය සහ ඇක්ටන් ආසනයට ලේබර් පක්ෂයෙන් තරගකර ජයගත්තේ වැඩි චන්ද 284 කිනි.  සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී ඇය වඩා ප්‍රසිද්ධව සිටියේ ඩොක්ටර් හක් නම් DJ වරයෙකු ලෙසය.  ලන්ඩනයේ බංගලාදේශ ජනයා බහුලව වෙසෙන නැගෙනහිර ලන්ඩන් ආසනය නියෝජනය කරමින් රුශ්නාරා අලි නැවතත් වැඩි චන්ද 24 000 කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත. 



ශ්‍රී ලංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධනට අමතරව උමා කුමරන් පත්වීමේ වැඩි බලාපොරෝත්තුවක් තිබුනද ඇය චන්ද 6000 කින් පරාජයට පත්වන ලදී. සැලකිය යුතු ඉන්දියානු චන්ද ප්‍රමණයක් ඇති නැගෙනහිර හැරෝ ආසනයේ  ඉන්දියානුවන් අඩුවෙන් ඇය වෙනුවෙන් චන්දය භාවිතා කල බව ඇයගේ  චන්ද ව්‍යාපාරය මෙහෙවුන්ගේ අදහසයි. එසේවූවද ඇයට පැවරී තිබුන හිටපු කොනසේර්වේටිව් පක්ෂ  මන්ත්‍රීවරයා පරාජය කිරීමේකාරිය ලෙහෙසි පහසු කාර්යක් නොවුනේ අවසන් දිනයේදී බ්‍රිතාන්‍ය චන්ද දායකයා කොනසර්වේටිව් පක්ෂ දිනවීමට ක්‍රියාකල බැවිනි.

මෙයට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමවරට චීන සම්භවයක් ඇති ඇලන් මක් ද ලිවෙර්පූල් ප්‍රදේශයේ හවෙන්ට් ආසනය නියෝජනය කරමින් කොනසර්වේටිව් පක්ෂයෙන් තේරීපත්ව ඇත. මෙවර තේරීපත්වූ අප්‍රිකානු සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් අතරින් වඩාත් අවධානය යොමුවී ඇත්තේ නයිජීරියානු පියෙකුට සහ ඉංග්‍රීසි මවකට දාව ඉපදුනු චුකා උමනුනාය. ඒ එඩ් මිලබැන්ඩ්ගෙන් හිස් වූ ලේබර් පක්ෂ නායකත්වය සදහා ඔහු තරග කිරීමට ඉදිරිපත්වී ඇති නිසාය. 

මේ ආකාරයෙන් සංඛ්‍යාත්මකව වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තු මැතිවරණයෙන් ජය ලබා තිබුණුද බ්‍රිතාන්‍ය වෙසෙන 10% ක් වන ආසියානු- අප්‍රිකානු ජන සංයුතිය දෙස බැලීමේදී තවත් මන්ත්‍රීවරු 23 ක් වත් පත්විය යුතුව තිබුණි. පසුගිය 2010 මහා මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වුයේ ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු 27 ක් හෙවත් 4.2% ප්‍රමාණයකි. එහෙත් මෙවර ජාති, වර්ග, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගිකත්වය, ආගම හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සියළු පක්ෂ ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතිකයන් මහා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, බ්‍රිතාන්‍ය ජනයා ඔවුන්ව බ්‍රිතාන්‍ය ඕනෑම ප්‍රදේශයකින් චන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනීමත් තුල අද බ්‍රිතාන්‍ය නව යුගයකට ගමන්කරමින් තිබෙන බව පැහැදිලිව විද්‍යමාන වේ. 

එය වඩාත් වැදගත් වනුයේ බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හෝ ඔස්ට්‍රේලියාව මෙන් ජනපදවාසීන්ගේ රටක් නැතිනම් (settler colonies /settler states) එකක් නොවීමත් එය භූගෝලීය රාජ්‍යක් හෙවත් territorial state එකක් වීමත් තුලය. ජනපදවාසීන්ගේ රටක සුළු ජාතිකයන් සහ මහජාතිය ලෙස පිරිසක් හදුනාගන්නේ ජනසංඛ්‍යාවන් පිළිබද ප්‍රමාණාත්මක පදනමක සිටය. එහෙත් බ්‍රිතාන්‍ය වැනි භූගෝලීය රාජ්‍යක් තුල එහි සුළු ජාතිකයන් සහ මහජාතිය යන්න තීරණය කරනුයේ එහි දේශසීමාවේ සිමා මායිම් තීර්ණය කරන ප්‍රධාන සංස්කෘතික-ජන-අනන්‍යතාවය මතය. ඒ අර්ථයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය තුල ආසියානු අප්‍රිකානු සහ වෙනත් සුළු ජනයාට හිමිවන ස්ථානයන් සහ නියෝජනය වෙනස්. මුල්කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවට ආසියානු අප්‍රිකානු සහ වෙනත් සුළු ජනයා තරගකලේ බ්‍රිතාන්‍ය අධිපත්‍යට අභියෝග කිරීමේ ක්‍රියාවක් ලෙසය. එහෙත් අද ඔවුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවට තරග කරනුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන් එහි සමානයන් ලෙසය. සම්ප්‍රදායික, ප්‍රධාන සංස්කෘතික-ජන-අනන්‍යතාවය නියෝජනය කරන්නන් මෙම නව සමානයන් කෙතෙක් දුරට ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද යන්න මෙම මැතිවරණයේ ප්‍රථිපල මත ප්‍රකාශ වෙන්නේ යැයි මට සිතේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/05/2015.

Wednesday, 6 May 2015

හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්




හෙට (07/05/2015) පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණය සදහා ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනයට කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරගවදින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට සංක්‍රමණිකයන්ට එරෙහි බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයක් වන බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන් (United Kingdom Independence Party – UKIP) එම ආසනයටම තරගවදින ප්‍රතිවිරුද්ධ රොබට් බ්ල්යේ (Robert Blay) ගෙන් දැඩි වර්ගවාදී විවේචනයක් එල්ල වී තිබේ.


තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) බ්‍රිතාන්‍යයේ වසර 400 ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි බවත් රනිල් ජයවර්ධන ගේ පරපුරට ඇත්තේ වසර 40 ක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බවත් දක්වයි. රොබට් බ්ල්යේ (Robert Blay) ට අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිවරණයෙන්ම පරාජය කලයුතු බවත් එවැන්නෙකුගේ හිසට උණ්ඩයක් යැවීමට තමා පසුබට නොවන බවත් මාධ්‍යවේදියෙකුට පවසන ආකාරය දක්වන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 





තවද රනිල් ජයවර්ධන ගේ ප්‍රථම දරු උපත පවා මෙම මැතිවරණය ඉලක්ක කර ප්‍රචාරක වාසියක් වශයෙන් සැලසුම්කර සිදුකල බවට චෝදනා කරන රොබට් බ්ල්යේ (Robert Blay), මැතිවරණයට මාස කිහිපයකට පෙර 1970 දශකයේදී ගණකාධිකරණය ඉගැනීමට එංගලන්තයට පැමිණි රනිල් ජයවර්ධනගේ පියා තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) මුණගැසුන බවත්, ඔහු ලංකාවේ දේශපාලන තත්වය නරක අතට හැරෙමින් තිබෙන නිසා 70 අග භාගයේදී බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට තීරණය කලබව ඔහුට කීයැයි එම වීඩියෝවේ දක්වයි. තවද ජයවර්ධනලා දෙමළ යැයි ඔහුට කවුද කී බවත් ඉන්දියාවේ සිට සංක්‍රමණයවූ දෙමළ ජාතිකයන්ට ලංකාවේදී පස්සට ගසා එලවූ නිසා ඔහු එංගලන්තයට පැමිණියෙක් යැයි කරුණු හරිහැටි නොදැන හුදු වර්ගවාදය පතුරවමින් චන්දය ඉල්ලන රොබට් බ්ල්යේ (Robert Blay) කියා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වේ.


සිය පියා ලංකාවේ උපන්නෙක් වුවද, සිංහල වාසගමක් දැරුව ද, සිංහල භාෂාව වත් භාවිතා කල නොහැකි, පෙනුමෙන් වත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට වඩා වෙනස් නොවෙන, රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ LSE (London School of Economics and Political Science) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ද ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකුකරුවෙක් වන ඔහු, තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී ඩේසි නම් සති කිහිපයක් වයස ඇති දියණියගේ පියෙකි. පාසැල් සමයේ සිටම කොන්සර්වෙටිව් (Conservative) ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි, 2008 සිට බ්‍රිසින්ස්ටෝක් සහ ඩේන් (Basingstoke and Deane borough) නගර සහාවේ උප නගරාධිපතිවරයාව ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කල තැනැත්තෙකි.

එවැනි බ්‍රිතාන්‍ය සමාජයට හොදින් අනුගතවූ තැනැත්තෙකුට වර්ගවාදී විවේචන එල්ලවීම බ්‍රිතාන්‍ය සමාජයෙන් බහුතරයකගේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර රොබට් බ්ල්යේ (Robert Blay) ව වහා අත් අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක්ද මතුව තිබේ. දැනටමත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party – UKIP) රොබට් බ්ල්යේ (Robert Blay)ගේ අපේක්ෂත්වය අත්හිටවා ඔහු ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වුවද මෙවැනි වර්ගවාදී විවේචන වලින් රනිල් ජයවර්ධනගේ ජයග්‍රහණය වලක්වාලීම කල නොහැක්කකි. ඒ සම්ප්‍රදායක කොන්සර්වෙටිව් (Conservative) ආසනයක් වන ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනය පසුගිය මහා මැතිවරණයේදී මෙන්ම මෙවරත් වැඩි චන්දයෙන් කොන්සර්වෙටිව් පක්ෂයත්, ඔහුත් ජයගනු නියත නිසාය.

රනිල් ජයවර්ධනට අමතරව චමාලි ප්‍රනාන්දු නම් තවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂිකාවක් කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් කේම්බ්‍රිජ් (Cambridge) ආසනයට තරග කරන අතර සම්ප්‍රදායක ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) ආසනයක් වන එය ජය ගැනීමට ඇයට අපහසු බව පෙනේ. ඇය බ්‍රිතාන්‍ය උපත ලද වෘත්තීයෙන් නීතිවේදිනියකි. ඇගේ පියා 1970 දශකයේදී දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූවෙකි. මුලදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවක් වූ චමාලි ප්‍රනාන්දු එහි සභාපතිත්වයට තරග කල සිය සොහොයුරාගේ පරාජයත් සමග එම පක්ෂයෙන් ඉවත්ව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයට බැදුනි. මානසික ආබාධිතයන් අනෙක් අයගෙන් වෙන්කර හදුනා ගැනීම සදහා අත්පටියක් පැලදිය යුතුයැයි දැක්වීම තුල ඇය බ්‍රිතාන්‍ය සමාජය තුල දැඩි විවේචනයට ලක්විය. එය ද ඇයට අවාසිදායක වතාවරණයක් ගොඩනගන ලදී.

කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරග කරන මෙම දෙදෙනාට අමතරව නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය සදහා ලේබර් / කම්කරු (Labour) පක්ෂයෙන් උමා කුමාරන් (Uma Kumaran) නම් ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති අපේක්ෂිකාවක්ද තරග කරයි. නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය වර්තමානයේ කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය යටතේ පැවැතිය ද උමා කුමාරන්ගේ දක්ෂ සංවිධාන ශක්තියත්, ආකර්ෂණයත් නිසා මෙවර එම ආසනය ලේබර් (Labour) පක්ෂයට හිමිවෙන බව පෙනේ. බ්‍රිතාන්‍ය උපන්, වෘත්තීයෙන් මාධ්‍යවේදිනියක් වන ඇයගේ මුතුන්මිත්තන් ශ්‍රී ලංකා සිවිල් සේවයේ සේවය කල කීර්තිමත් නිලධාරීන්ය. යුද්ධය නිසා එංගලන්තයට සංක්‍රමණය වූ සිය දෙමාපියන් සමග කුඩා කල සිටම දේශපාලන කටයුතුවල නිරතවූ ඇය ලේබර් පක්ෂයේ ඉතාමත් කැපීපෙනෙන, නැගී එන නායිකාවකි.

මෙවර බ්‍රිතාන්‍ය මහා මැතිවරණ සදහා ඉහත ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඇතුළුව 70 කට ආසන්න ආසියානු සහ අප්‍රිකානු සම්භවයක් ඇති අපේක්ෂක-අපේක්ෂිකාවක් පිරිසක් තරගවැදීම බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ ආසියානු, අප්‍රිකානු ජනයාගේ දෙවන පරම්පරාව බ්‍රිතාන්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන විව්‍යහය තුලට කෙතරම් බද්ද වී තිබේද, ඔවුනට කෙතරම් පිළිගැනීමක් හිමිව තිබේද යන්න මොනවට පිළිබිඹු කරයි.

ආසන 650 වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙවර මහා මැතිවරණය මගින්ද තවත් සභාග රජයක් බිහිවීමට වැඩි ඉඩක් පවතින අතර දැනට සිදුකර ඇති මැතිවරණ සමීක්ෂණ ප්‍රතිපල අනුව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය 35% හෙවත් ආසන 228 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන අතර, ලේබර් / කම්කරු (Labour) පක්ෂය 32% හෙවත් ආසන 208 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන, ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) පක්ෂය 9% ක් හෙවත් ආසන 59 ක් ද, ඉතිරි ආසන 155න් බහුතරයක් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party-UKIP) සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂය අතර බෙදී යනු ඇතැයි විශ්වාස කෙරේ. වේල්ස් සහ උතුරු අයර්ලන්ත පක්ෂවලටත් යම් නියෝජනයක් හිමිවීමට නියමිතය. මීට අමතරව හරිත පක්ෂයට එක් ආසනයක් සහ ස්වාධීන අපේක්ෂකයින් 03ක් ජයගැනීමේ යම් ඉඩක් පවතින බවක් ද පෙනේ. 

සමබිම වෙබ්අඩවියට (http://www.samabima.com/?p=12223) ලියන ලද්දකි. 

ඡයාරූප - රනිල් ජයවර්ධනගේ සහ උමා කුමාරන්ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ්අඩවි වලිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
( 06/05/2015)

Saturday, 2 May 2015

වෙසක් උත්සවයට උත්සවත් ශ්‍රීය ලැබීම සහ වෙසක් මුද්දර පිළිබද කථාවක්


ශ්‍රී ලංකාවේ වර්ණවත්ම උත්සවය  වෙසක් උත්සවය ය. එය යුරෝපීන් ගේ 'නත්තල' සහ ඉන්දියානුවන් ගේ 'හෝලි'  උත්සවය මෙන්ම වර්ණවත්ය. අලංකාර සැරසිලි, අපුර්ව වෙසක් කුඩු, තොරණ් සහ දන්සැල්  ශ්‍රී ලාංකිකයන්ට මහත් ආනන්දයක් ගෙනදෙන අතරම, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද වෙසක් උත්සවය දායක වී තිබේ. වරක් ජාතික සැරසිල්ලක් ලෙස වෙසක් කූඩු වෙසක් උත්සවයෙන් පරිබාහිරව ද යොදා ගැනීම මෙයට උදාහරණයි. ශ්‍රී ලංකාවේ වෙසක් කූඩුව, චීන, තායි, තායිවාන් සහ සිංගප්පූරු යන රටවල භාවිතා කරන, ගෝලාකාර, ඉලිප්සාකාර සහ නෙලුම් මල් ආකාර ගත් වෙසක්  කූඩු වලට වඩා වෙනස්වීම එයට හේතුවයි. 

පුරාණයේ පටන් ශ්‍රී ලංකාවේ වෙසක්‌ උත්සවයන් පැවති බවත් දුටුගැමුණු (ක්‍රි. පූ. 101 - 77) රාජ්‍ය සමයේදී වෙසක්‌ උත්සව විසිහතරක්‌ පැවැත්වූ බවත්, භාතිය රජු (ක්‍රි. ව. 38 - 67) වෙසක්‌ උත්සව විසි අටක්‌ සිදු කලබවත්, බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත්වූ එම උත්සවයේදී දුගී, මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිතද පැවතිණු බවත්, වසභ රජු ද (ක්‍රි.ව. 127 - 171)වෙසක්‌ උත්සව විසි හතරක්‌ කරවූ බවත්, වෝහාරිකතිස්‌ස රජු ද (ක්‍රි. ව. 269 - 291) වෙසක්‌ උත්සවයක් සිදුකොට ලක්‌දිව සියලු භික්‌ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිදු බවත්, ගෝඨාභය රජු ද (ක්‍රි. ව. 323 -333) ජෙට්‌ඨතිස්‌ස රජුද (ක්‍රි. ව. 611 - 617) දල්ල මොග්ගල්ලාන රජුද (ක්‍රි. ව. 851 - 885), 2 වැනි සේන රජුද, රටවාසීන් හා එක්‌ව මහත් හරසරින් වෙසක්‌ උත්සවය පැවැත්වූ බවත්,  පොළොන්නරු යුගය එය  තව තවත් දියුණුවට පත්වූ බවත්, දඹදෙණි යුගයේ  ඉතා චමත්කාරජනක වෙසක්‌ උත්සවයක්‌ පැවැතිබවත්, නුවර යුගයේද වෙසක් උත්සව පව්තිබවත් එහෙත් කෝට්ටේ යුගයේදී වෙසක් උත්සව පැවති බවට වාර්තා නැති බවත්, පූජ්‍ය ඌරුගමුවේ අස්‌සජි හිමි (14/05/2011) දිවයින පුවත් පතට ලියූ 'ලක්‌දිව වෙසක්‌ උත්සව පුරාණය' නම් ලිපියේ දැක්වේ. 

කෙසේවුවද, වෙසක් උත්සව පැවැත්වීම ශිව ආගම වැලදගත් පළමුවන රාජසිංහ රජ විසින් තහනම් කලබවද, ක්‍රි.ව. 1770 දී  ලන්දේසී ආණ්ඩුකාර “විලියම් ඉමාම් පෑල්ක්” විසින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ප්‍රකාශ කල බවද නැවත වෙසක් උත්සවක් පැවැත්වීමට කටයුතු සම්පාදනයවුයේ 1880 ජුනි 17 දින “කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම” පිහිටවා මෙරට බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ ව්‍යාපාරය පණ ගැන්වීමට මහත් උත්සාහයක් ගත් කර්නල් ස්ටීල් ඕල්කොට් තුමා ලංකාවට මැදිහත්වීමෙන් බවත්, ඔහු යටත් විජිත බාර මහලේකම්ට සන්දේශයක් ඉදිරිපත් කර වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලු බවත්, ඒ අනුව 1885 මාර්තු 27 දින ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරතුමා විසින් වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවත්  විජේරත්න අතුරුපාන මහතා (06/05/2017)  සිළුමිණ පුවත්පතට ලියූ 'සංස්කෘතික පුනරුදයේ වෙසක් පුරාණය' නම් ලිපියේ දැක්වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත්කලේ 1886 දී අංක 4 දරන ආඥාපනත මඟිනි.

කෙසේවුවද, ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරයා වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කල 1885 මාර්තු 27 දිනයේ සිට මසකින් පසුව, එනම් 1885 අප්‍රේල් 28 දින, වෙසක් පෝය යෙදී තිබුණේන් එය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ කටයුතු කල ආකාරය සහ එහිලා ඔවුන් ගත් ක්‍රියාමාර්ග ගැනත් විජේරත්න අතුරුපාන මහතා (06/05/2017)  සිළුමිණ පුවත්පතට ලියූ උක්ත ලිපියේ දක්වා තිබුනේ පහත සදහන් ලෙසය.  

"සංවිධානය කිරීමට පත් කළ කොමිටිය මඟින් මෙකල අවශ්‍යතාවක්ව පැවැති බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට ද පියවර ගත්හ. එම කමිටුව මඟින් ෂඩ් වර්ණ බුදුරැස්මාලාව පදනම කරගෙන සකස් කළ බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට 1885 අප්‍රේල් 17 දින ප්‍රකාශයට පත් කළහ. 1885 වෙසක් දිනය යෙදුණු අප්‍රේල් 27 දින කොටහේනේ දීපදුත්තමාරාමයේදී ඒ කොඩිය උත්සවාකාරයෙන් ඔසවන ලදී. ඒ සමඟම කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, විද්‍යෝදය පිරිවෙන, බොරැල්ල, හුනුපිටිය, කැලණිය යන ස්ථානවල පිහිටි විහාරස්ථාන අාදියේ ද එම කොඩිය ඔසවන ලදි. මෙදින කොළඹ පිහිටි විහාර සහ කැලණි විහාරය බෞද්ධ ජනතාවගෙන් පිරී ගියේය. කොළඹ කඩසාප්පු වසා දමන ලදී. බොරැල්ල පන්සලේ සුධර්මාධාර සමාගම මඟින් බෞද්ධ කොඩිය ඔසවා ආචාර වෙඩිමුර 32ක් පවත්වන ලදි. ‍කොටහේන දීපදුත්තමාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ධර්ම දේශනයක් පවත්වන ලදී. විද්‍යෝදය පිරිවෙනේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ධර්මදේශනා පෙළක් පවත්වන ලද අතර, එහි බෞද්ධ භක්ති ගීත ගායනයක් ද ඉදිරිපත් කළ අතර තොරණක්ද ඉදි කරන ලදී, මෙදින ගාල්ල, මාතර, මහනුවර යන නගරවලද වෙළෙඳසල් වසා දමන ලද අතර, රට පුරා පෙරහර කීපයක් පැවැත්විණි. සපරගමු මහ සමන් දේවාලයේ පහන් පූජාවක් පවත්වන ලදී."

මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන් උත්කර්ෂවත් ලෙස 'දැන් සමරන වෙසක් උත්සවය' සැමරීමට පටන්ගෙන ඇත්තේ අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුලින් බවත්, එහිදී ඔහු ක්‍රිස්තියානි ජනයා සිය නත්තල සැමරීමට භාවිතා කරන නත්තල් කාර්ඩ් (Card), කැරොල්, නේක වර්ණ සැරසිලි අදියෙන් අභාෂය ලබා වෙසක් සුබ පැතුම් පත්, බොදු බැති ගී සහ වර්ණවත් වෙසක් සැරසිලි සහිත උත්සවයක් බවට වෙසක් උත්සවය පත්කළ බවත් රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) 1988 ලිවූ 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (page 202-242) නම්  කෘතියේ ඉතාමත් තියුණු ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින්ද තහවුරුකර ඇත. 

බෞද්ධාගම ලංකාවට හදුන්වාදීමෙන් පසුව මෙරට පැවති ශිෂ්ටාචාරය තව තවත් වර්ධනය කිරීමෙහිලා බෞද්ධාගම ඉතාමත් ප්‍රසංසනීය ලෙස දායකවී ඇතිබව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඒ ආකාරයටම නොවුවද යටත්විජිත පාලනය ඔස්සේ ලංකාවට උරුමවූ ක්‍රිස්තියානි ආගම, එහි සංස්කෘතිය සහ බටහිර ශිෂ්ටාචාරය ද නුතන ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැන්වීමට සහ එය වඩාත් ඔපවත් කිරීම සදහා  අඩු වැඩි වශයෙන්දායක වී ඇති බවද පිළිගත යුතු කරුණකි.  රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකරයන්ගේ (Gananath Obeyesekere)  'Buddhism Transformed: Religious Change in Sri Lanka' (1988) කෘතිය ඇසුරින් වුවද පෙනී යනුවේ මෙරට බෞද්ධ ජනයාගේ අති උත්කර්ෂවත්ම උත්සවයවන වෙසක් උත්සවයද ඉතා ඉහල උත්සවත් ශ්‍රීයකින් පැවැත්වීමේලා ක්‍රිස්තියානි ආගම, එහි සංස්කෘතිය සහ බටහිර ශිෂ්ටාචාරයේන් උකහාගත් දෑ අදාල වූ බවය.  

සිංහල-දෙමළ අළුත් අවුරුද්ද සැමරීමට එතරම් උනන්දුවක් නොදක්වන මීගමුව ප්‍රදේශයේ  ක්‍රිස්තියානි  ජනයා ද වෙසක් උත්සවය සැමරීමට මහත් උනන්දුවක් දක්වන්නේ මෙම සංස්කෘතික සබැදියාව නිසා  විය හැක. 

මෙකී අන්‍යෝන්‍ය  පෝෂණය තවදුරටත් වර්ධනයවී නිදහසින් පසු යුගයේදී ශ්‍රී ලංකාව සෙසු පශ්චාත්-යටත්විජිත රටවලටද මහගු ආදර්ශයක් වෙනු වෙනුවට සිදුවුයේ හැකිතාක් දුරට ක්‍රිස්තියානි සංස්කෘතික සහ බටහිර ශිෂ්ටාචාරයේ දායකත්වයන් මකාදමන, යටපත් කරන සහ ප්‍රතික්ෂේප කරන තත්වයකි. ඒසේ යටපත්කර ගැනීමට දරණ උත්සහයත් අභිමුව ප්‍රවණතා දෙකම කළමනාකරණය කරගනිමින් විශිෂ්ඨ ලෙස ඉදිරියට යෑමට දැරූ උත්සහයන්ද නිදහසින් පසු යුගයේදී නැතිවාම නොවේ. එහිලා දරූ එක් උත්සහයක් ලෙස 1950 පෙබරවාරි 04 දින නිකුත් කල වෙසක් ඔර්කීඩ් (Vesak Orchid)  මුද්දරය දැක්විය හැක.

එම වෙසක් ඔර්කීඩ් (Vesak Orchid)  මුද්දරය ශ්‍රී ලංකාවේ වෙසක් සැමරුමත්, වෙසක් ඔර්කීඩ් මලත්, මෙරට සංස්කෘතික අනන්‍යතාවයත්  ලෝකයට ගෙනයාමට සමත්වූ මුද්දරයකි. එමෙන්ම මේම මුද්දරය නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු දෙස බැලීමේදී පෙනි යනුයේ, එය නිදහසින් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ  ක්‍රමයෙන් නැගී ආ ප්‍රවණතා  ඉතා ඉවසීමෙන්  ජයගත් අවස්ථාවක් ද ලෙසය.  
වෙසක් සමරුව සදහා මුද්දරයක් නිකුත්කිරීමට අදහස් කරන බව, 1947-1951 දක්වා සේවයකල, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්වරයා වූ අ. ඉග්නේශ්ෂ් පෙරේරා (A. Ignatius Perera (1947 - 1951))  මහතා 1949 වසරේ මුල් කාර්තුවේ නිකුත්කල නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. ඒ කුමන වසරේ වෙසක් උත්සවය සදහා දැයි සදහන් කොට නැත. එහෙත්, එහිලා  විවිධ යෝජනා ඉදිරිපත්වී ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතුයි ඉල්ලා සිටි 'ලංකා එක්සත් භික්ෂු මණ්ඩයත්', 'සමස්ථ ලංකා බෞද්ධ කොංග්‍රසයත්' මෙහිලා ඉතා ඉහල ප්‍රතිචාරක් දක්වා තිබු අතර ඔවුන් බොහෝ දුරට යෝජනා කර තිබුනේ ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය හෝ බුදුන් වහන්සේගේ රුව-ගුණ හෝ බෞද්ධාගමික නිර්මාණ ඇතුලත් නිර්මාණයක් හෝ ලංකාවේ පැරණි බුදු පිළිමවලින් එකක් යොදාගැනීම උචිත බවයි. 

විශේෂයෙන්ම ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය සදහා වැඩි ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්තේ 1950 වෙසක් මස පුර පසලොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස රටවල් 27 ක නියෝජිතයන් 129 දෙනෙකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගී කොටගෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි නිසාත්, බෞද්ධ කොඩිය එහිලා සහභාගීවන සියළුදෙනාටම පොදුවේ පිළිගත හැකිවන නිසාත්ය. එම සමුළුව මගින් ලෝකයේ වසන බෞද්ධයින් සමගි සම්පන්න කිරීම, ‍ථේරවාදී, මහායාන, වජිරයාන ආදී කොටස්වලින් සැදුම් ලද බුදුදහම ඒකරාශී කිරිම  ආදී  උතුම් අරමුණු පෙරදැරි කර ගත්තක් විය.

එහෙත් වෙසක් සමරුව වෙනුවෙන්  මුද්දරයක් නිකුත් කිරීමේදී ඉහත සමුළුව පමණක් ඉලක්ක කරගෙන මුද්දරයක් නිකුත් කරන්නේද නැතහොත් එයට වඩා පුළුල් අරමුණක් මත පිහිටා මුද්දරයක් නිකුත් කරන්නේ දැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට තීරණය කිරීමට සිදුව තිබුණි. මේ සම්බන්ධයෙන් ගත් තීරණය කුමක් වුවද  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව නිල වෙසක් මුද්දරයක් නිකුත් කිරීම සිදුකරනුයේ ඉන් වසර කිහිපයට පසුවය.                             
එහෙත් එවකට තැපැල්පතිවරයා වූ ඉග්නේශ්ෂ් පෙරේරා මහතාගේ අනුමැතිය යටතේ 1950 වෙසක් මසට මාස තුනකට පෙර, එනම් 1950 පෙබරවාරි 04 දින, වෙසක් ඔර්කිඩ් (Vesak Orchid) නමින් විශේෂ මුද්දරයක් නිකුත් කොට ඇත.

එම මුද්දරය හුදෙක් 1855 දී ලංකාවේ බ්‍රිතන්‍ය ආණ්ඩුකාරයවූ චාර්ස් මැකාති ගේ (Charles MaCarthy) බිරිද වූ, ශ්‍රී ලංකාවේ උඩවැඩියා (Orchid) සහ මල් වර්ග කිහිපයක් ගැන ලෝකයට හදුන්වාදුන්  මැකාති ආර්යාව (Lady MaCarthy) විසින් අපේ රටට පමණක්  විශේෂ යැයි ලෙස හදුන්වා දුන් Dendrobium maccarthiae මල හෙවත් වෙසක් ඔර්කීඩ් (Vesak Orchid) මලින් පමනක් සමන්විත නොවිණි. එය බුදු හිමියන්ගේ පාදස්පර්ශන ලද, මෙරට වෙසෙන සෑම ආගමකම ජනයා ගරු කරන ශ්‍රි පාද ස්ථානය පසුබිමේ සිටින සේ, ලංකාවේ සුවිශේස්ත්වයත්, ප්‍රෞඩ ඉතිහාසයත් විදහාපාන ලියවැල්, කැටයම්, සිංහ රූපවලින් මෙන්ම ස්වභාවික සෞන්දර්යත්, ශ්‍රී ලංකාවට පමණක් උරුමවූ, බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසේ පමණක් පිපෙන (මැකාති ආර්යාවට අනුව නම් වෙසක් මාසේ පමණක් පිපී, වෙසක් මාසේම පරවන)වෙසක් ඔර්කීඩ් (Vesak Orchid) මලත් කැටි කොටගත් විශිෂ්ඨ නිර්මාණයක් විය.
අපට මෙන්ම ලෝකයාටද ලංකාව ගැන මහත් පහන් ගැහීමක් ඇති කළ මේ මුද්දරය ලංකාව ගැන ලෝකයට ගෙනගිය පණිවිඩය කෙතරම්ද යත් එය v වන ජෝර්ජ් සහ vii වන එඩ්වර්ඩ් (1935-1947) යන රජවරුන්ගේ ශීර්ෂ සහිතව නිකුත්වූ  ලංකාවේ රබර් කිරි කපන්නියන්, තේ දළු නෙලන්නියන්, සිගිරිය, අලිඇතුන්, මුරගල, වරාය, වෙරල, දළදා මාලිගය ආදී මුද්දර වලින් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සහ මුද්දර කෞතුකාගාරයේ සුචියට ඇතුල්කර ගත් ප්‍රථම මුද්දරය වීමේ අවස්ථාව ද හිමිකර ගන්නා ලදී. මේ මුද්දරයේ සාර්ථකත්වය එහි මල ලෙස වැටහාගැනීමට යාම නිසා දෝ මෙන් නැවත 1984දී වෙසක් මල පමණක් රැගත් මුද්දර දෙකක්ම නිකුත්වුවද එහි කිසිදු සාර්ථකත්වයක් දැකගත හැකි නොවිණි. ඇත්තවශයෙන්ම, මෙම මුද්දරයේ සාර්ථකත්වය හේතුවුයේ එවකට සිටි තැපැල්පතිවරයා එක සීමාවකට පමණක් සිර වී නොසිට වඩා ලෞකික සහ ජාත්‍යන්තර දුෂ්ටියකින් සිතා කටයුතු කර මෙම මුද්දරය සැලසුම් කොට නිකුත් කිරීමයි. මෙරට අද බිඳ වැටී ගිය මුද්දර ක්‍ෂේත්‍රයට පමණක් නොව සෙසු සෑම ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය කරන්නේ එවැනි එක සීමාවකට පමණක් සිර වී නොසිට රාජ්‍යයක් වශයෙන් වඩා ලෞකික සහ ජාත්‍යන්තර දුෂ්ටියකින් සිතා කටයුතු කිරීමයි. ශ්‍රී ලාංකිකයන් දැන් ඉතා උත්කර්ෂවත් ලෙස සමරන වෙසක් උත්සවයේ උත්සවත් ශ්‍රීය වඩා ඉහල නැන්වීමෙහිලා දායක වී ඇති ඉහතින් පෙන්වා දුන් සෙසු සාධකයන්ද සැලකිල්ලට ගන්නේ නම් අති උත්කර්ෂවත් වෙසක් උත්සවයද හොද උදාහරනයක් සපයන බව මගේ විශ්වාස යයි. 

එහෙත් ගෙවීගිය වසර 70 කට ආසන්න කාලය තුල සිදුවුයේ එකී සාධකයන් සැලකිල්ලට ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණයවීමද? නැත්ද? යන්න  පසුගිය කාලය තුල නිකුත්කල වෙසක්  මුද්දරවලින් හදුනාගත හැකිද ?









මාකස් ප්‍රියන්ත පෙරේරා
02/05/15.