This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 21 May 2015

මැයි 19 පණිවිඩය: ඒකීය රාජ්‍ය වෙනස් කල යුතුය!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ එහි ජනයාගෙන් කොටසක්  තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයේ ජයග්‍රහණය ද, තවත් කොටසක් වෙනම රාජ්‍යක් සදහා වූ ඔවුන්ගේ අරගලයේ පරාජයද, පොදුවේ සියල්ලෝම එහිලා බිලිවූ ජනයාගේ  ව්‍යාසනයද සැමරිය යුතු,  මැයි 18/19 යන දිනයන් හීදීත්, අනෙක් සෑම දිනයකමත්, අමතක කරනුයේ බෙදුම්වාදී යුද්ධයට හේතුවුයේ කුමක් ද යන්නය. 

එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' වැරදි නිසා පැන නැගුනක් බව මීට වසර ගණනාවකට පෙර, එනම් 2005 වැනි කාලයකදී, ශ්‍රී ලාංකීය බුධිමතුන්, වියතුන් සහ ප්‍රබුද්ධ දේශපාලනයක නිරතවූවන් පැහැදිලිවම එකගත්වයකට පැමිණ පොදුවේ පිළිගෙන තිබු කරුණකි. එහෙත් යුද්ධ ජයග්‍රහණයේ උද්දාමයත් සමග බොහෝ දෙනෙක් එය අමතක කර දමා  තිබේ.

 හරි හෝ වැරදි, සිය මුළුමහත් දේශපාලන ජීවිතය පුරාම එකම මතයක් වෙනුවෙන් නොවෙනස්ව පෙනීසිටි ශ්‍රී ලංකාවේ එකම දේශපාලනඥයා වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි අයෙකු හැර ඉහත නිගමනය එදා නිර්මාණය කිරීමට දායක වූ ජයදේව උයන්ගොඩ, නිර්මාල් රන්ජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යා ආචාර්යවරුන්වත් ඒ වෙනුවෙන් ඍජුව පෙනීසිටීන බවක් අප ඔවුන්ගේ ශිෂ්‍යන්ව සිටි කාලයේ මෙන් දැන් නොපෙනේ. ඒ වෙනුවට සිංහල-බෞද්ධ ජාතිකත්වය ගැන කතිකාවේ යලියලිත් පැටලී සිටී. එය හේතුව නොව පලය ය. එනම් ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' වැරදි නිසා සමස්ථ ශ්‍රී ලංකා භුමිප්‍රදේශයම වසා පැතිරිය හැකි ශ්‍රී ලාංකීය ජාතිකත්වයක් ගොඩනැගීම වෙනුවට එකිනෙකට පසමිතුරු සිංහල-බෞද්ධ ජාතිකත්වයකුත්, දෙමළ-ඊළාම් ජාතිකත්වයකුත් ශ්‍රී ලංකා භුමිප්‍රදේශ දෙපළු කරමින් බිහිවු බව අමතක කර තිබේ. 

 ශ්‍රී ලංකාවේ පුර්ව යටත්විජිත යුගයේදී එතරම් අධිනිෂ්ශිත නොවූ සිංහල සහ දෙමළ වාර්ගීක අනන්‍යතාවයන් අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලියත් සමග  නිදහස ලබන විට නිෂ්ශිත දේශපාලන අධිඒකකයන් සේ ගොඩනැගී තිබුන අතර බෞද්ධාගමට නිසි තැන හෙවත් රාජ්‍ය අනුග්‍රහය ලබන ආගම වීමේ උවමනාව ප්‍රමුඛ කරගත් සටනද ඉන් පරිබාහිරව පැවතිනි. 

පශ්චාත් යටත්විජිත  ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' නායකත්වය ගන්නා  ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන වැනි මෙරට සිංහල කොම්ප්‍රදෝරු ධනපතීන් එය දියත් කරන්නේම සෙසු ජන කොටස් බැහැර කිරීමේ සහ ඔවූන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන්  යටපත් කිරීමේ ක්‍රියාදාමයන් ඔස්සේය. ඔවුන් එය එවකට රටේ සිටි ජනග්‍රහනයෙන් සීයට 11 (11%)ක් වූ ඉන්දියානු දෙමළ වතුකම්කරුවන් ගේ පුරවැසිභාවය නැතිකළ 1948 පුරවැසි පනත ඔස්සේ දියත්කරන විට, එයට විරුද්ධව එස්. ජේ. වී. චෙල්වනායගම් දෙමළ ජනයාගේ අයිතීන් මුල්කරගත් 'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂය 1949 දී බිහිකරන ලදී. 

ශ්‍රී ලංකාවේ සිංහල දේශපාලනඥයන් සෙසු ජන කොටස් බැහැර කර, ඔවුන්ගේ පාරම්පරික බිම් අත්පත් කරගෙන, අනෙකුත් ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයන්  යටපත් කිරීමේ  දේශපාලන  ක්‍රියාදාමයක නිරතවී ඇතැයි චෙල්වනායගම් පුරවැසි පනත සහ ඩී. එස්. සේනානායකගේ ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ දියත්වූ ගොවිජනපද පිහිටවීමේ වැඩපිළිවල විවේචනය කරමින් දෙමළ ජනයාට එයට එරෙහි වෙනම දේශපාලන ගමනක් ඉදිරිපත් කිරීමට උත්සහකලද 1952 මැතිවරණයේදී එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ එම දේශපාලනයත්, ඔහුගේ ආසනයත් ද්‍රවිඩ ජනයා විසින් පරාජය කර  වාර්ගීක දේශපාලනයකට ඔවුන් අතර ඉඩක් නැතිබව දන්වන ලදී. 

එහෙත් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතුයැයි ද, බෞද්ධාගමට නිසි තැන හෙවත් එය රාජ්‍ය  ආගම වීයයුතුයැයි ද යන්න පෙරටු කරගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුනේ දේශපාලනය 1956 දී කලඑලි බැසීමත් සමග එස්. ජේ. වී. චෙල්වනායගමුත් ඔහුගේ  'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂයත් දෙමළ ජනයාගේ රැකවලුන් ලෙස දෙමළ ජනයා විසින්ම නැවත ඔසවා තබමින් උතුරු-නැගෙනහිරින් ආසන 10ක් දිනා දෙන ලදි. එතැන් පටන් සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන්ගේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ'  සැබෑ හතුරා ලෙස එස්. ජේ. වී. චෙල්වනායගමුත් ඔහුගේ දෙමළ ප්‍රභූන් කේන්ද්‍රකරගත්  'ඉලංගෙයි තමිළ් අරසු කච්චි' පක්ෂයත් ද්වන්ධ දේශපාලනයක නිරතවන ලදී. 
සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් සිංහල-බෞද්ධ ජාතිකත්වයත්, එහි සංස්කෘතික අනන්‍යතාවයත් රටේ සෑම බිම් ප්‍රදේශයකම ජීවත්වන ජනයා මත තහවුරු කිරීමට ඒකීය රාජ්‍ය ආකෘතිය මත ක්‍රියාත්මක වන විට, චෙල්වනායම්ගේ පක්ෂය දෙමළ ජනයාගේ ජාතිකත්වයත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයත් ආරක්ෂා කරගැනීම සදහා පළාත් වශයෙන් බලය බෙදාහැරීමේ ෆෙඩරල්  රාජ්‍ය ආකෘතිය වෙනුවෙන් වූ දේශපාලනයක නිරතවිය. එහෙත් සත්‍යග්‍රහ, උපවාස සහ දේශපාලන සාකච්ඡා මාර්ගයෙන් සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට චෙල්වනායම්ට නොහැකිවූ අතර සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් ද ඔවුන්ගේ ඉල්ලීම් නොසලකාහරින ලදී. බෙදුම්වාදී යුද්ධය පැනනගින්නේ ඉහත ෆෙඩරල්  රාජ්‍ය ආකෘතියක් තුල සිය දේශපාලන ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් දිනාගැනීමට නොහැකිවීම තුලය. 

සිංහයාට දැවැන්ත මෙන්ම කෲරතම අභියෝගයක් එල්ලකල කොටියා දැන් කෲර ලෙසම පරාජය කර තිබේ. ඒ අනුව සිංහල කොම්ප්‍රදෝරු ධනපති පාලකයන් විසින් ක්‍රියාවට නැන්වූ, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' පදනම වූ, ඒකීය රාජ්‍ය ආකෘතිය ජයගෙන තිබේ. එහෙත් සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීම සදහා වූ ලාංකීක ද්‍රවිඩ ජනයාගේ දේශපාලනය එයින් අහවර කිරීමට නොහැකිව තිබේ.  ෆෙඩරල්  රාජ්‍ය ආකෘතියක් තුල සිය දේශපාලන ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දිනාගැනීමේ ලාංකික ද්‍රවිඩ ජනයාගේ දේශපාලන ඉල්ලීම තවදුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල අළුයට ගිනිපුපුරු මෙන් තිබේ. 

ඒහින් මැයි 19ය අපිට දෙන පණිවිඩය ඒකීය රාජ්‍ය වෙනස් කල යුතු යන්න ය. කොටි පරාජය කර බෙදුම්වාදය පරාජය කලද, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් පරාජය කල නොහැකිව  ඇති බව මැදිහත් සිතින් පිළිගත යුතුව ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීමට  සිය මුළු දේශපාලන ජීවිතයම යෙදවූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි  අයෙකුට 'දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකිරීම' උදෘත පාඨය කරගත් උපුල් ශාන්ත සන්නස්ගලගේ සත්‍යාගාරයේදීවත් ඉඩක් වෙන් කලේ නම් අඩුම තරමින් එම වැඩසටහනේ අදාල උදෘත පාඨයටවත් සාදාරණයක් කිරීමට හැකිව තිබුනා පමණක් නොව ඉහත සාකච්ඡාව ද නැවත සාකච්ඡාවට ලක්කළ හැකිව තිබුණි. එහෙත් අපේ සිංහල ගුරුවරයාගේ එම වැඩසටහනේ උදෘත පාඨය වූ 'දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකිරීම' ට වඩා වෙනත් දේශපාලන වැඩපිළිවලක් ඔහුට තිබී ඇති බව දැන් සනාථය. 

පැහැදිලිවම ෆෙඩරල්  රාජ්‍ය ආකෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බියක් තිබේ. එය බොහෝදුරට මෙතෙක් දියත්වූ ඒකීය රාජ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටි පිරිස් විසින් ඇති කළ දෙයකි. ඒකීය රාජ්‍යවාදීන්ට අනුව ද්‍රවිඩ ජනයාගේ ෆෙඩරල්  රාජ්‍ය ඉල්ලීම රට බෙදීමේ එක් ක්‍රියාදාමයක් බව දක්වයි. කෝටි 70කට ආසන්න ලොවපුරා විසිර සිටින දෙමළ ජනයාට ඔවුන්ගේම යැයි කියා වෙනම රටක් නොවීමත් ලෝකයේ සිංහල ජනයාට ඇති එකම රට බෙදී විනාශ වීමට ඉඩනොදිය යුතුවීමත් නිසා ඉහත ඒකීය රාජ්‍යවාදීන්ගේ බිය සාධාරණය, යුක්ති සහගතය, තර්කානුකූලය. 

එසේම, මෙතෙක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 'රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියේ' පදනම වූ ඒකීය රාජ්‍ය ආකෘතිය විසින් ගොඩනගන ලද ව්‍යාකූලතාවය ද නිරවුල් කල යුතුය. ශ්‍රී ලංකාවේ චිරස්ථිය්ත්ව වෙනුවෙන් දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටින දේශපාලන ඉල්ලීම්වලට ද පිළිතුරු දිය යුතුව තිබෙන බව ද අමතක නොකලයුතුය. 

ඒහින් මැයි 18/19 සමරන මේ දිනවල අපේ අවධානය නැවතත් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ආකෘතිය වෙනස් කිරීම පිලිබදවත්, රට නොබෙදා බලය බෙදීම  පිළිබදවත් යොමුවිය  යුතුව තිබේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/05/2015.

No comments:

Post a Comment