This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 23 February 2024

ප්‍රියාව ඇගයීමට වඩා ඇති අභියෝගය


ප්‍රියා සූරියසේන කියන්නේ කොල්ලෝ - කෙල්ලෝ love letters ලියපු කාලේ නැගලා ගිය ගායකයෙක්. ඔහුගේ ගීත කොච්චර ලස්සන වුනත් දැන් තියෙන SMS/MMS යුගයේදී ප්‍රියා ගයපු ගීතවල තිබුන දිගු වදන් ලියලා යවන්න බෑ...ඒ නිසා ප්‍රියාගේ සින්දු රැදෙන්නේ නෑ...ත්‍රීවීල් එකක පිටිපසේවත් ලියවෙන්නේ නෑ.. ගුවනේ පාවෙලා යනවා... ඒත් ඔහුව ඇගයීමට ලක්වීම වැදගත්. මොකද, ප්‍රියාගේ ගීත අහලා love කරපු පරම්පරාව තමයි මේ යුගයේ කලාව, සාහිත්‍යය, විචාර, ඇගයිම් සහ සම්මාන ආදිය සියල්ල හොබවනනේ, මෙහෙයවන්නේ. එහෙව් එකේ ඒ පරම්පරාව ප්‍රියාව ඇගවූයේ නැතිනම් එය වරදකාරී හැගීමකට ඔවුන් ලක්කරණ බව සිකුරුයි.

ඒත් ඇත්තම අභියෝගය ප්‍රියාව කොහොමද අළුත් පරම්පරාව තුල නැවත මුල්බස්සවන්නේ කියන එකයි. අපේ කාලයේ, ඒ කියන්නේ 1990 දශකය වෙද්දීත්, ප්‍රියා තරමක් යට යමින් හිටියේ, සන්ෆ්ලවර්ලා තමයි ඔහුව ආපහු පණ ගහලා ගත්තේ.. හැබැයි දැන් ඒ කාලෙත් ඉවරයි...දැනුත් ප්‍රියාගේ සිංදු රියලිටි වැඩසටහන් වල, ප්‍රසංග වල, පාරේ යද්දී එහෙන් මෙහෙන් ඇහෙනවා තමයි. ප්‍රියාට හිටිය, දැනටත් ඉන්න, රසික රසිකාවියෝ එහෙම්ම ඉදියි. ඒත් ඊලග පරම්පරාවේත් ප්‍රියාට එහෙම රසික, රසිකාවියෝ පිරිසක් ගොඩනැගේවිද?

එක කාලයක කැලැරන්ස්, මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා හිටියේ එකම මාදිලියක වගේ. ප්‍රියා හිටියේ කැලැරන්ස්ට මෙහායින් මිල්ටන්  සහ පුන්සිරි අතර මැද ස්ථානයක. දැන් වෙද්දී පුන්සිරි සොයිසා කොහොම වුනත් කැලැරන්ස්  සහ මිල්ටන් මල්ලවආරච්චි ඊලග පරම්පරාව දක්වාත් අතික්‍රමණය කරලා තියෙනවා.. එත් ප්‍රියා?

ආපහු කොහොමද ප්‍රියාව උස්සලා ගන්නේ කියන එක තමයි ඇත්ත අභියෝගය කියලා කිව්වේ ඒ නිසයි. කැලැරන්ස්ව යාවත් කළා වගේ ප්‍රියාවත් යාවත්කාලීන කරන්න පුළුවන් නම් එය ප්‍රියාව තවත් කාලයක් නැගිට සිටවාවි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

22/02/24

Thursday 8 February 2024

අනුර දිසානායක smart විදිහට ඉංදියාවට යාම!


I liked the way that Anura went to India, he was dressed smartly, just like young Indians are dressing these days!! අනුර කුමාර දිසානායක ඉංදියාවට ගිය විදිහට මම කැමැතියි. ඔහු ලස්සනට ඇදලා ගිහින් තිබුනා. හරියට මේ දවස්වල ඉංදියානු තරුණයින් අදින විදිහට තමයි ඔහු ඇදලා තිබුනෙත්. රවුල ට්‍රිම් කරලා, බඩ ඇතුලට දාලා, පිරිපුන් ශරීරයකින් යුතු, ටයි කෝට්, Short Kurta, ඩෙනිම් කලිසම් - ෂර්ට් අදින...ඕවා තමයි දැන් තරුණ ඉංදියානුවොත් අදින්න, කරන්න කැමැති විදිහ. ඒක හොද ආකර්ෂණීය ප්‍රවේශයක්.

ඉංදියාවට ගිහිල්ලත් අනුර කියලා තිබුනේ: "අපි දන්නවා අපේ සමීප අසල්වැසියා වන ඉංදියාව ප්‍රධාන ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා කියලා.. ඉතින් අපි ආර්ථික හා දේශපාලන තීරණ ගනිද්දී, එවා ඉන්දියාවට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් අපි හැමවිටම සැලකිලිමත් වෙනවා" (“We do know that India, who is our closest neighbour, has become a major political and economic centre. So, when we take economic and political decisions, we will always care about how it will impact India.”) කියලයි. ඉංදියාව එක්ක දේශපාලන සබදතා ගොඩනගා ගන්න ඒ වගේ ප්‍රකාශ තමයි කරන්න ඕනෑ කියලා හිතන එකත්, එවැනි ප්‍රකාශ ඉදිරි දේශපාලන කටයුතු සදහා හොද අඩිතාලමක් දමනු ඇතැයි කියලා හිතන එකත් smart...

කොහොමත් විජේවීරගේ කාලේ වගේ තවදුරටත් ඔය 'ඉංදියානු ව්‍යාප්තවාදය' ("Indian expansionism”) වගේ සටන් පාඨවලට ඇති දේශපාලන පෙළගැස්ම සීමා සහිත බව තේරුම් ගැනීමත්, business partners ලා හොයන මේ යුගයේ අර බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් (Margaret Thatcher) ගොර්බචොව් ගේ (Gorbachev) කාලේ රැසියාවට ගිහින් කිව්වා වගේ "we can do business together" කියලා පෙන්වන එකත්, ව්‍යාපාරිකයෝ, entrepreneurs ලා, වෙන්න ඕනෑ කියන රැල්ලක් තදින්ම තියෙන ඉංදියාවේ ඒ පෙළගැස්මට කලාපීය දේශපාලන සංදර්භයකින් ආමාන්ත්‍රණය කරන්න ඕනෑ කියලා අනුර පෙන්වන එකත් smart.

එක අතකට, හැමදේම වගේම දේශපාලනයත් කාලෙන් කාලෙට වෙනස් වෙන එකේ...මනුෂ්‍යය සම්බන්ධතා වලදී වගේම දේශපාලනයේදීත් ඔය පස මිතුරුකම්, ඉදිරිවාදී කම්, ආරවුල්, කෝන්තර තියාගන්න එකේ තේරුමක් නෑ... එහෙම නැතිව අවස්ථානුකූලව දේශපාලනය කරණ ඕනෑ කියන එකත් ඉදිරිගාමීයි නේ? දේශපාලන වශයෙන් එහෙම කටයුතු කරන එකටත් දැන් 'smart politics' කියලා කියනවා. ඉතින් dress code එක වගේම ඒගොල්ලන්ගේ politics ත්, දේශපාලනයත් , දැන් smart කියලා පෙන්වන්න එක වටිනවා වෙන්බ පුලුවන්.

එහෙම තියෙද්දීම, ඒ අයට කියන්න පුලුවන් නම් අර ඒ අය තමයි ඔය "ඉංදියානු ව්‍යාප්තවාදය" ("Indian expansionism”) කියලා සූත්‍රයක් ජපකරලා, ලාංකිකයා අතර ඉංදියානු විරෝධයක් රෝපය කලේ..., රට තුල එහෙම ඉංදියානු විරෝධයක් ගොඩනැගීම නිසා උතුරේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් ගැන සැකයක්, වෛරයක් වගේම, අර ලයිම් කාමරවල ජීවත්වෙමින්, අඩු වැටුපට අන්ත දුක්විදින වතුකරයේ දෙමළ ජනයා ගැනත් සැකයක්, අවිශ්වාසයක්, වෛරයක් ලාංකික සමාජයේ හිමීට රෝපණය වුනා... එකිනෙකා සැකකරන, ජාතීන් අතර බෙදිමකට ඒ අයගේ ඒ දේශපාලනයත් දායක වුනා... මිනිස්සුගේ ඉල්ලීම් ජාතීන් අනුව බෙදුවා, මරලා හරි මර්ධනය කිරීමට දායක වූනා, ඒවා ඕගොල්ලන්ගේ පක්ෂය කළ වැරදි... , අනුර ලා දැන් ඒවා හදාගෙන ඉස්සරහට යනවා...ඒ වගේ කතාවක් කියනවා නම්, ඒ අය තවත් smart කියලා අපි වගේ අයටත් තේරුම් ගන්න පුලුවන්.

ඒත් අපි එහෙම හිතුවට, ඒ අය හිතනවා ඇති ඕවා ගැන කතාකරන්න ගිහින් පරණ කුණු අවුස්සන ගන්නේ නැතිව ඉන්න එක තමයි smartම වැඩේ කියලා, ඒකත් එහෙම වෙන්න පුලුවන් නේ.

ඒ කොහොම වුනත් smart විදිහට ඇදලා ඉංදියාවට ගිය අනුර ව එරට මාධ්‍යය හදුන්වා දී තිබුනේ "Sri Lanka's Marxist party leader on official visit to India" කියලයි. අනුර ලා මාක්ස්වාදී ද?, ඒගොල්ලන්ගෙ පක්ෂයේ මාක්ස්වාදී ද?, කියන එක වෙනම කතාවක්. එත්, මාක්ස්වාදීන් කියපුවහම දකුණු ආසියානු ජනයා අතර මුල් බැහැගෙන තියෙන චිත්‍රයක් තියෙනවා නේ අර කොන්ඩේ රැවුල වවාගත්ත, යැල්පැනගිය පිරිසක් ය කියන එක ? එහෙම තියෙද්දි ලංකාවේ 'මාක්ස්වාදී පක්ෂයේ නායකයා' ලෙස ඉංදියානු මාධ්‍යය හදුන්වන අනුර කුමාර දිසානායක අර වගේ smart විදිහට ඇදලා ලස්සනට ඇදලා ඉංදියාවට යන එකේ කිසියම් ගතිකයක් තියෙනවා. මම එහෙම කිව්වේ ඉංදියානු මාධ්‍යය හදුන්වාදුන් පරිදි, අපිට කොහොම වුනත්, ඔය කිව්ව බලයට පැමිණිය හැකි/ මාක්ස්වාදී/ පක්ෂ ය, ආදිය ගැන කිසියම් කුතුහලයක්, උනන්දුවක්, විභවයක්, ප්‍රවතාවයක් අඩුම තරමින්, ඉංදියානු තරුණ /තරුණියන් අතරවත් ඇති වෙනවා නම් කියන බලාපොරොත්තුවෙන්...

එහෙම වෙනවා නම් අපිට අර J.N. Dixit ගේ 'Assignment Colombo' (1998) පොතේ පෙන්වා දුන්නා වගේ ආපහු කියන්න පුලුවන් "India's foreign policy on Sri Lanka has always failed"කියලා! 

මාකස් ප්‍රියන්ත පෙරේරා

08/02/24

Wednesday 31 January 2024

ලෙනින් මැරිලා අවුරුදු 100 යයි, අපි තවමත් ඉන්නේ ඔහුගේ ලෝකයේද?



Lenin has been dead for 100 years and we are still living in his epic? පසුගිය ජනවාරි 21 වෙනිදාට රුසියාවේ V.I.ලෙනින් මැරිලා අවුරුදු 100යක් ගතවීම සමරණු ලැබුවා. 1917 රුසියන් විප්ලවය ඔස්සේ රුසියාවේ රාජ්‍යය බලය අත්කරගෙන, මාක්ස්වාදී මූලධර්මයන් මත පදනම්ව, ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය බිහිකල ලෙනින්, 1924 ජනවාරි 21 දා මියගියයි කියලා ප්‍රකාශයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53 යි. සියවසකට පෙර මියගිය ලෙනින් මේ වන විට ඓතිහාසික චරිතයක් වූවත්, ඔහුගේ සියවස් සමරු මරණ අනුස්මරණය වෙනුවෙන් ලිපි ලේඛණ රාශියක් මේ දවස්වල පුවත් පත් සඟරා රාශියක පලවී තිබුණා. එම ලිපි ලේඛණ කියවද්දී පොදුවේ මතුවෙන ප්‍රශ්නයක් වූයේ අපි තවමත් ජීවිත් වන්නේ ලෙනින්ගේ ලෝකයේ ද? (We still live in Lenin’s world)

එහෙම අහන්න හිතෙන්න ලෙනින් මැරිලත්, ලෙනින් නිර්මාණ කල සමාජවාදී සෝවියට් රුසියානු සමුහ ආණ්ඩුව බිද වැටිලත්, ලෙනින්ගේ බලපෑම තවම අවසන් වෙලා නැති බව පිලිගැනීමට සිදුවෙලා තියෙන නිසයි.

"යුක්‍රේනිය කියලා රටක් තිබුනේ නෑ, ඒක හැදුවේ ලෙනින්" කියලා යුක්‍රේනිය අල්ල ගන්න පුටින් යුද්ධ කරද්දීම ලෙනින් කියන්නේ තවමත් ඉතිහාසයෙන් ඉවත් කරන්න බැරි චරිතයක් වෙනවා. දිගින් දිගටම, අළුත් අළුත් කොටස් එකතුවෙන වීරාඛ්‍යානයක්/epic එකක්/ වීර කාව්‍යයක් වගේ තව තවත් දිග හැරෙනවා.. ඒ නිසාම අර කොමියුනිස්ට් රුසියාවේ සිටි Vladimir Mayakovski කියන කවියා ලිව්ව 'Lenin lived, Lenin lives, Lenin will live!' කියන එක යලි යලිත් මතුවෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා

24/01/24

Tuesday 30 January 2024

ශ්‍රී වික්‍රම රජ, බ්‍රිතාන්‍යයන්, අප සහ 'මහා අනෙකා'


Why did the British respect the last king of Sri Lanka? උඩරට ප්‍රභූන් විසින් පවාදෙන ලද, ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, ඉංදියාවේ වෙල්ලෝරයේදී මියගියේ, (1832) ජනවාරි 30, අද වැනි දිනක යැයි, අද උදේ කියවනු ලැබූවා. එම ලිපිය පහලින් පල කරන්නම්. ඒ ලිපියේ දක්වා තිබුන දෙයක් තමයි උදරේ අමාරුවකින් පීඩාවිදි රජට ප්‍රතිකාර කිරීමට ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් පවා බ්‍රිතාන්‍යය පාලකයෝ යොමුකළා, ඒ වගේම රජ මියගිය විට, රජට ආචාර වෙඩිමුර සහිතව රාජකීය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකළා යන්න.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජට, එසේ ගෞරව ප්‍රණාම පුදකරද්දී අපි දන්නවා, කියවලා තියෙනවා, අහලා තියෙනවා, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජව පාවා දුන්න, බ්‍රිතාන්‍යය හමුදාව සමග ගිහින් රජව අත් අඩංගුවට ගත්ත, උඩරට ප්‍රභූන් රජට පහර දුන්නා, නින්දා අපහස කලා, වැල්වලින් බැදලා ඇදගෙන ආවා, කන් වලින් ලේ බේරෙද්දී රජගේ බිසෝවරුන්ගේ කනකර ආභරණ පවා කඩා ගත්තා... මේ ආදී අධම ආකාරයට තමයි ලාංකීක ප්‍රභූන් තමන්ගේම අවසාන රජවු ශ්‍රී වික්‍රමසිංහ රජට සැලකුවේ කියලා.

ආක්‍රමණිකයාටත් වඩා දරුණු විදිහට ලාංකිකයන් මෙසේ සිය රජට සලකද්දී බ්‍රිතාන්‍යයන් රජට ගරු බුහුමන් සහිතව සැලකුවේ ඇයි? අත් අඩංගුවට ගැනීමේ ඉදන් පිටුවහල්ව සිටියදී පවා බ්‍රිතාන්‍යයන් ලාංකාවේ අවසාන රජට එසේ සැලකුවේ ඒක ඒ අයගේ protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිමේ සම්ප්‍රදාය නිසාද? බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිම තුල ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ ක්‍රම වේදය විතරක් නෙමේ ගරු බුහුමන් සහිතව කෙසේ කටයුතු කළ යුතුද? යන්නයි.

එසේ කටයුතු කරද්දී ඔවුන් ඒ හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අනෙකා අපි දිහා බලන්නේ කොහොමද කියන එක...නැතිනම් අනෙකා අපි දිහා බලන් ඉන්නවා කියන එක.. බ්‍රිතාන්‍යයන් ලංකාවේ රජට සලකන විදිහ ගැන රටේ මිනිස්සු බලන් ඉන්න බව ඔවුන් හිතන්න ඇති. අපේ මිනිස්සු අත් අඩංගුවට ගත් රජට එහෙම පහත් ආකාරයෙන් සැලකද්දී අරූ බලන් ඉන්නවා, මූ බලන් ඉන්නවා, කියන එක අදාල නෑ.. රජ සමග තිබුන තරහව පිට කිරීමට පමණයි ඔවුන් උත්සාහ කලේ...

හැබැයි බ්‍රිතාන්‍යයන්ට එහෙම බෑ... අනෙකෙක් බලන් ඉන්නවා...'මහා අනෙකා' (Big Other) බලන් ඉන්නවා.. කියන එකක් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා...'මහා අනෙකා' තමන්ගේ ඉහල නිලධාරීයෙක්, ඊට ඉහල කෙනෙක්, ආයතනයක්, රටේ නීති පද්ධතිය, මහජනයා විතරක් නෙමේ, සමහරවිට දෙවියන් වහන්සේ පවා විය හැකියි.

හැබැයි අපේ ප්‍රභූන්ට එහෙම නෑ...කවුරු බලන් හිටියත් වැඩක් නෑ,එයලා තමයි ලොක්කෝ, සෙස්සෝ සොක්කෝ... එදත් එහෙමයි, අදත් එහෙමයි...උඩරට, රදළ, සම්ප්‍රදායික ප්‍රභූන් විතරක් නෙමේ අලුතින් දනිපනි ගහලා නැගිටපු දැන් ලොක්කෝ කියලා හිතන සික්කෝත් එහෙමයි...

Marcus Priyantha Perera

30/01/24

ජයාරූපය - දකුණු ඉංදියාවේ වෙල්ලෝරේ (Vellore) ඇති Muthu Mandabam නමින් හදුන්වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ සොහොන - අන්තර් ජාලයෙන්.

මගේ අවධානයට ලක්වූ Hasitha Chamikara Gunasinghe මහතාගේ සටහන //වර්ෂ 1832 ජනවාරි මාසය ආරම්භයේ පටන්ම රජතුමාගේ සෞඛ්‍ය යහපත් මට්ටමක නොපැවතිණි. රජතුමාට ප‍්‍රතිකාර කළ දකුණු ඉන්දීය වෛද්‍යවරුන්ගේ අදහස වූයේ රජතුමාගේ සෞඛ්‍ය අතිශය අසතුටුදායක මට්ටමක පවතින බවයි. මෙනිසා ඉංගී‍්‍රසි ජාතික ශල්‍ය වෛද්‍ය රීඩ් කැඳවීමට තීරණය කෙරිණි.

රජතුමා පරීක්ෂා කළ වෛද්‍ය රීඩ්ගේ රෝග විනිශ්චය වූයේ රජතුමාට සාමාන්‍ය උදරාබාධයක් පවතින බවයි. ඒ අනුව ආරම්භයේදී ඉංගී‍්‍රසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට රජතුමා එකඟ වූ නමුත් කල්යත්ම දේශීය වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමුවීමට රජතුමා විසින් තීරණය කරන ලදී.

එහෙත් කිසිදු ප‍්‍රතිකාරයකින් සුවයක් නොලත් රජතුමා ජනවාරි මස 30 වනදා සවස අභාවයට පත්විය. ඒ වන විට රජතුමාගේ වයස අවුරුදු පනස්දෙකක් පමණ වූ බව වාර්තා වේ.

රජතුමාගේ මෘතදේහය පසුදා පහන් වන්නට පෙර ආදාහනය කිරීමට රාජකීය ඥාතීන්ගේ එකඟත්වය පළවිය. ඒ අනුව ඉංගී‍්‍රසි හමුදා ගෞරව මධ්‍යයේ රාජකීය මෘතදේහය පාලර් නදියේ දකුණු ඉවුර අසබඩ පිහිටි ආදාහන ස්ථානයට රැගෙන යන ලදී. හමුදා ආචාර වෙඩිමුර පැවැත්වීමෙන් අනතුරුව රජතුමාගේ මෘතදේහය හින්දු චාරිත‍්‍රානුකූලව ආදාහනය කෙරිණි.

පසුව රජතුමාගේ භෂ්මාවශේෂ සොහොන් ගැබක තැන්පත් කරන ලද අතර ඒ පරිශ‍්‍රය ‘මුතුමණ්ඩපම්’ නමින් හඳුන්වනු ලැබේ.

කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා මෙන්ම ලක්දිව රාජාවලියේ අවසන් රජතුමා වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා අභාවයට පත්ව අදට වසර 192ක් සපිරේ. මෙම සටහන ඒ වෙනුවෙනි.

ඡායාරූපය : වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කොටිකාපොළ ධම්මජෝති නාහිමියන්ට පූජා කරන ලද සැඟෑලෙන සන්නස නමින් හඳුන්වන තඹ සන්නස// https://m.facebook.com/story.php?story_fbid=905322624394535&substory_index=905322624394535&id=1470435034

Monday 15 January 2024

දෙවෙනි ජුවාම් පාවුළු පාප්ට තැබූ වෙඩි උන්ඩය තැම්පත් කර ඇති පාතිමා ඔටුන්න


පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානයට පැමිණෙන ඕනෑම අයකුට මම යෝජනා දෙයක් තමයි නොවරදවාම පාතිමා කෞතුකාගාරයට (Museum of the Shrine of Fatima) යන්න කියන එක. එය පිහිටා ඇත්තේ පාතිමා Apparitions දේවස්ථානය (Chapel of the Apparitions) ඉදිරිපිටමයි. එම කෞතුකාගාරය ඉතිහාසය පිලිබදව කෞතුකාගාරයක් නෙමේයි.

එය විශ්වාසය සහ භක්තිය පිලිබද කෞතුකාගාරයක්.

දේවාමාතාවන් දර්ශනය වූ බව අදහන ඇදහිලිවන්තයන් පාතිමා පුදබිමට පැමිණෙන්නේ තමන්ගේ දුක කියන්න. තමන්ගේ රෝගාබාධ ඇතුළු ගැටළුවලට පිලිසරණක් ඉල්ලීමට. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුමක් ඉල්ලා යැදීමට. තමන්ගේ බලාපොරොත්තුව ඉටුකර දෙන මෙන් ඉල්ලීමට. පාතිමා කෞතුකාගාරය පිරී ඇත්තේ එකී ඉල්ලීම්, බලාපොරොත්තු ඉටුවූවන්ගේ විවිධ තෑගිවලින්.

එහි රත්තරන්, මුතු, මැණික් දියමන්ති විතරක් නෙමේ ඉටිපන්දම් ඇදුම් ආයිත්තම් චායාරූප පවා තිබෙනවා. එක් අතකට මෙම කෞතුකාගාරය එහි පැමිණි විශ්වාශීන්ගේ පන්ති තත්වයන් මෙන්ම ඔවුන් කුමන රටවලින් පැමිණි අයද යන්න පවා එහි ගොඩගසා ඇති තෑගිවලින් නිරූපනය කරනවා. ඉතාමත් ධනවත් අය මෙන්ම ඉතා දිළිදු තැනැත්තන්ද, මෙක්සිකෝවේ සිට ඉංදියාව, නවසීලන්තය වැනි රටවලින්, අයිස්ලන්තයේ සිට දකුණු අප්‍රිකාව දක්වා වූ රටවලින් ද පිරිස් පාතිමා පුදබිමට පැමිණ සිය යැදුම් සාක්ෂාත් කරගත් බව මෙහි ඇති ද්‍රව්‍යවලින් නිගමනය කල හැකියි.

මෙම පාතිමා කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන අංග අතුරින් වඩාත් අවධානයට ලක්වන අංගයක් වන්නේ පාතිමා දේවමතා දර්ශනය සිදුවු වකවානුවේම (1917) ඉදිකල පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්නයි. එය ධනවත් කාන්තාවක් විසින් මුතු මැණික් රත්‍රන් රිදී යොදා තැනූවූවක්. එහෙත් එහි විශේෂත්වය එයම නොවේ..එම ඔටුන්න මැද සිදුරක් ඇතිව නිපදවීමයි. එහි එවැනි සිදුරක් ඇතිව එම ඔටුන්න නිර්මාණය කලේ ඇයි යන්නට නිෂ්පාදකයාටවත් උත්තර තිබි නෑ.

එහෙත් 1981 මැයි 13 වෙනිදා දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබූ වෙඩි උන්ඩය දැන් එම ඔටුන්නේ සිදුර තුල බහා තිබෙනවා.

එකී වෙඩි තැබීමෙන් තුවාල ලබා, සැත්කම් ගණනාවකින් පසු, මරණයෙන් දිවිගලවාගත්, දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ඉන් වසරකට පසුව, එනම් 1982 මැයි 13 වෙනිදා පාතිමා සිද්ධස්ථානයට ගොස් එම වෙඩි උන්ඩය පාතිමා කෞතුකාගාරයට දී එය ඔටුන්නේ සිදුර හා සැසදේ දැයි විමසා තිබෙනවා. ඒ ඔහු වෙඩි වැදී මරණ මංචකයේ සිටියදී දුටු දර්ශනයක් නිසාවෙන් යැයි කියවෙනවා. හරියටම ඔටුන්නේ සිදුර තිබී ඇත්තේ පාප්වහන්සේ ඝාතනය කිරීමට වෙඩි තැබූ උන්ඩය බහාලන්නට මෙන් වෙඩි උන්ඩය ඔටුන්නේ තිබූ සිදුර හා මනාව සැසදෙනවා. එතෙක් පටන් 1981 මැයි 13 වෙනිදා දෙවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මරාදැමීමට තැබූ වෙඩි උන්ඩය ඇත්තේ පාතිමා සිද්ධස්ථාන කෞතුකාගාරයේ ඇති පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්න තුලයි.

එහි කිසියම් ආකාරයක විශේෂත්වයක් ඇති බව මගේ හැගීමයි. එකී හැගීම තවත් වඩ වඩාත් තීව්‍ර වන්නේ පාතිමා දේවමතා දර්ශනය දුටු ළමුන් තිදෙනාගෙන් වැඩිම කාලයක් ජීවත් වූ, පසුකලක පැවිදි කන්‍යා සොහොයුරියක් වූ, Sister Lúcia Santos, 1917 දී හෙළිකළ, මරියතුමියගේ දර්ශනය තුල, මරියතුමිය ඇයට දැක ගැනීමට සැලැස්වූ දර්ශණ අතරින් තුන්වන දර්ශණය හෙවත් තුන්වන රහස ලෙස දක්වන දර්ශණය ගැනත් දැනගත් විටයි. Sister Lúcia Santos හෙළිකළ තුන්වන දර්ශනයේ වූයේ 'සුදු වතින් සැරසුන සභා නායකයා රුධිරය වගුරවමින් වතිකානුවේ වැටී සිටින දසුනකුයි. එය පාප්වරයෙකු ඝාතන තැතක් පිලිබද ඉගියක් ලෙස පාතිමා දර්ශනය සිදුවූ 1917 දීම නිර්වචනය කර තිබුනා. 1981 මැයි 13 දෙවන ජුවාම් පාවුළු පාප්වරයා ඝාතන තැත එකී අනාවැකිය සපලවිමක් ලෙස සලකනු ලබනවා.

පෘතුගාලයේ පාතිමා නුවර දේවමාතාවන්ගේ දර්ශනය මුන්ම සිදුවූයේ 1917 මැයි 13 දාවකය. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබීම සිදුවන්නේ ද 1981 මැයි 13 වෙනිදාවක ය. ඉන් වසරකට පසුව වෙඩි තැබීමේ තුවාලවලින් සුවපත්වු දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වෙඩි උන්ඩය රැගෙන පාතිමා පුදබිම වෙත යන්නේද 1982 මැයි 13 වෙනිදාය. ඒ අතින් මැයි 13 ද විශේෂය... 



මාකස් ප්‍රියන්ත පෙරේරා

14/01/24














Wednesday 10 January 2024

ඈන් කුමාරිය ලංකාව ඇවිත් - අපිට ඒවා වැඩක් නෑ..



Princess Anne visited Sri Lanka to mark 75 years of diplomatic relations with the UK - බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජගේ දකුණු අත වගේ ඉන්න කාන්තාව (King’s “right-hand woman”) ලෙස සැලකෙන, රජගේ සහෝදරිය වන, ඈන් කුමාරිය මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ බ්‍රිතාන්‍යයයි, ලංකාවයි අතර රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා අරභා 75 වෙනි වසර සමරන්න - අපිට ඒවා වැඩක් නෑ...

ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස්වී ගෙවීගිය වසර 75 තුල ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර තිබුන රාජ්‍යයතාන්ත්‍රික සම්බන්ධතා සෑම විටම සමීපව සහ සුහදව තිබුනේ නෑ... - අපිට ඒවා වැඩක් නෑ...

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත S.W.R.D. බණ්ඩාරනායක 1956 බලයට ඇවිත් ඔහුගේ රජය යටතේ කටුනායක පැවැති බ්‍රිතාන්‍යය රාජකිය ගුවන් හමුදා කදවුර, ත්‍රිකුණාමලයේ පැවැති බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදා කදවුර ඉවත්කර ගන්න කියද්දී, බ්‍රිතාන්‍යය ජාතිකයින් සතුව පැවැති වැවිලි සමාගම් ලංකා රජයට පවරාගද්දී, බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යය තාන්ත්‍රික සබදතා පලුදු වූවා - අපිට ඒවා වැඩක් නෑ...

1972 සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ සම්මතවූ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය ඩෝමීනියන් රාජ්‍යයක්ව පැවැති තත්වයෙන් සම්පුර්ණයෙන් ඉවත්වී දෙරට අතර පැවති රාජ්‍යයතාන්ත්‍රික සබදතා වෙනත් මුහුණුවරක් ගත්තාය යන්න - දැන් අපිට වැඩක් නෑ...

1987 ඉංදියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, ඉංදියාව ලංකාවට පරිප්පු දාද්දී, J.R. ජයවර්ධනගේ රජය (ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස් වෙද්දී) 1947 බ්‍රිතාන්‍යය එක්ක අත්සන් කල Defence Agreement එක අනුව ලංකාව බ්‍රිතාන්‍යයේ හව්හරණ බලාපොරොත්තුවූ අවස්ථාවේ, දැන් ඒ ගිවිසුම කල් ඉකුත්වී ඇතැයි බ්‍රිතාන්‍යය කියද්දී, ලංකාව ඉංදියාව හමුවේ අසරණ වූනා කියන එක - දැන් අපිට වැඩක් නෑ...

1991 දී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරයා වූ David Gladstone ව R. ප්‍රේමදාස ජනාධිපතිවරයා, ගැලැස්ටන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙනවා, ඔහු ලංකාවේ චන්ද (දූෂණ) ගැන, මානව හිමිකම් (කඩවීම්) ගැන කතා කරනවා කියලා ලංකාවෙන් පන්නා දමද්දි, බ්‍රිතාන්‍යය සහ ලංකාව අතර පැවැති රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතාවල ඉරිතැලීම් ඇතිවූවා කියන එක - අපිට දැන් වැඩක් නෑ...

කොටින්ම බ්‍රිතාන්‍යය සහ ලංකාව පශ්චාත් යටත් විජිත සම්බන්ධතා කියන ඒව වත්, යටත් විජිතය සහ යටත් විජිතය හිමිව සිටි රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කියන ඒව වත්, ඊට අවුරුදු 75 ක්ම ගත්වී ඇතැයි කියන ඒවවත් - දැන් අපිට අදාල නෑ...

අඩුම තරමින් බ්‍රිතාන්‍යය රජ පවුලේ ඈන් කුමාරිය 1995 ලංකාවට ආව වෙලේ රිජ්වේ ආර්‍යා ළමා රොහලට ගොඩවී එහි ළදරු කළල ඒකකයේ සිටි එදින උපන් දරුවන් සමග ඡායාරූප ගෙන එම දරුවන් ගේ පවුල් සමග දිගටම ලිපි, සුභපැතුම් පත් හුවමාරු කරගත්තා වගේ කාරණාවත් - දැන් අපිට වැදගත් නෑ...

අපිට වැදගත් ඊජිප්තුවේ සිට පැමිණි "අවලෝකිතේශ්වර"...එයා යන එන තැන්, එයා කරණ කියන දෑ, එයාට වදින කරණ අය - අපිට දැන් වැදගත් ඒවා..

රටේ ලෝකේ මොක වුනත්, අපිත් දැන් අර ළිඳේ ඉන්නන් ගානට වැටිලා, තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියමින් නේ ඉන්නේ...

ඉතින් එහෙම රටකට ඈන් කුමාරිය එන එකවත්... ඇවිල්ලා, බ්‍රිතාන්‍යයයි ලංකාවයි අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සමරණවා කියන එකේවත් ඇති වැදගත්කම මොකක්ද?

මාකස් ප්‍රියන්ත පෙරේරා

10/01/23

Wednesday 6 December 2023

පෘතුගාලේ පෝර්තෝ (Porto) නගරය - පෙරේරා ලා සහ පෝර්ට් වයින්


Porto Portugal - මම පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) ගැන මුලින්ම දැන ගත්තේ නගරක් විදිහට නෙමේ, වයින් ජාතියක් විදිහට යි. ඒ මම ලංඩන් යනවා කිව්වහම අපේ ගමේ, මීගමුවේ, ආච්චි කෙනෙක් කිව්වා එයාට 'පෝර්ට් වයින්' බෝතලයක් අරන් එන්න කියලා. 

ඒ කාලේ මීගමුවේ පෝර්ට් වයින් ගැන දන්න අය හිටියා. මීගමුවේ මහවිදිය පල්ලිය ඉස්සර තිබුන ඇපෝතිකරි (Apothecary) එකේ විතරක් නෙමේ ගෝමස් වයින් සාප්පුවෙත් පොර්ට් වයින් විකුණන්න තිබිලා තියෙනවා. පෝර්ට් වයින් හදන්නේ පෘතුගාලයේ කියලත් දැනන් ඉදලා තිබුනා. මීගමුවේ පැවැති ඔය සාප්පු දෙක ගැන මම මීට පෙරත් ලියා තිබෙනවා ඒ ගැන මෙතැනින් පිවිස කියවිය හැකියි.

 පෝර්ට් වයින් අනික් වයින්වලට වඩා thick. ඒ වගේම පැණි (sweet) රසයි. අනෙක් වයින්වලට වඩා වදිනවා, සැරයි. හැබැයි රහයි. ඒ වයින් හදන්නේ පෘතුගාලයේ මෙම පෝර්ටො/පෝර්තෝ පලාතේ හැදෙන මිදිවලින්. අර ආච්චි ඒ ගැන දැනන් හිටියා. කොහොමත් ඒ ආච්චි වයින් ගැන හොදට දන්නවා. ඇය තැඹ්ලි වලින් විතරක් නෙමේ ලොවි වලිනුත් වයින් හදනවා.

නත්තල් කාලේදී මට ඇයව නිතර මතක් වෙනවා.. ඇගේ කේක්, වයින්, කෑම ජාති, තවමත් මතකයි. කොහොම හරි පෝර්ට් වයින් වගේම ලංකාවේ /මීගමුවේ පිරිසක් විශ්වාස කරනවා ඔය පෙරේරා ලාගේ නමත් පෝර්තෝ නගරය හා සම්බන්ධයි කියලා. ඒ ගැන තවම මට හරියටම කියන්න බෑ.. හොයන්න ඕනේ.. 

කොහොම වුනත් පෘතුගාලයේ දෙවෙනි විශාලතම නගරය වන පෝර්ටො/පෝර්තෝ (Porto) නගරය පිහිටා ඇත්තේ එරට අගනුවර වන ලිස්බන් නුවරට පැය 5ක පමණ දුරකින්, රටේ උතුරට වෙන්න. පෘතුගාලයේ පාතිමා දේවමතා සිද්ධස්ථානයට පිහිටා තිබෙන්නේ ලිස්බන් සහ පෝර්තෝ නගර අතර එක්තරා ආකාරයකින්  රට මැද්දට වෙන්න. ඒ නිසා පාතිමා යන අය ඔය නගර දෙකෙන් කොයිකට හෝ ඇවිත් තමයි යන්නේ. 

මේ පොර්තො නගරයේ ශා. ජුසේ වාස් පියතුමා අයත්වූ ඔරතෝරියානු (Oratorian) නිකායට අයත් පැරණි අලංකාර පල්ලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. නගරය මැදින් වැටී ඇති Douro ගඟ හරහා ඉදිකර ඇති Maria Pia පාලම ඉදිකර ඇත්තේ පැරීසියේ අයිෆල් කුලුණ තැනූ Gustave Eiffel විසින්. ඒ 1877 දී. පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) කියන්නේ හරිම අලංකාර, එයටම උරුමවූ අනන්‍යතාවයක් ඇති ලෝක ප්‍රකට පැරණි අලංකාර නගරයක්. ඒ නිසාම යුනෙස්කෝව එම නගරයම පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති නගරයක් හෙවත් Unesco World Heritage Site එකක් ලෙසත් නම් කර ඇති නගරයක්. 

පෝර්තෝ නගරය ගැන වැඩි විස්තර පසුව ලියන්නම්.


මාකස් ප්‍රියන්ත පෙරේරා
07/12/23