ලොවපුරාම වෙසෙන බිලියන 1.4 වන කතෝලිකයින්ගේ පාප්තුමා ලෙස කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) තේරීපත්වීමත් සමග ඔහු ලියෝ (Leo) යන නාමය තෝරාගැනීම සම්බන්ධයෙන් ලොවපුරාම විශේෂ සාකච්ඡාවක් මතුවී ඇත.
එයට හේතුව, මීට පෙර ලියෝ (Leo) යන නාමය දැරූ අවසාන පාප්තුමා වූ 13 වෙනි ලියෝ (Pope Leo XIII) පාප්තුමාගේ උරුමය (legacy) හා කීර්ති නායමයයි (honour).. ක්‍රි.ව. 1878 සිට 1903 දක්වා කතෝලික පල්ලියට නායකත්වය දුන් 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) කතෝලික සභාව නව යුගයකට රැගෙන ගිය පාප්තුමෙකි.
විශේෂයෙන්ම දහනව සියවසේ අගභාගය වන විට වර්ධනය වෙමින් පැවැති සමාජ දේශපාලන ව්පර්යාසයන්ට අනුව කතෝලික සභාවේ ඉගැන්වීම් යාවත්කාලීන කිරීමට 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) විශාල කාර්යභාරයක් ඉටුකළ පාප්තුමෙකු විය.
දහනව සියවස වනවිට කර්මාන්ත ශාලා ඉදිවෙමින්, ග්‍රාමීය ජනතාව නගර කරා සංක්‍රමණය වෙමින්, නව සමාජ පංතියක් ලෙස කම්කරු පංතියක් බිහිවෙමින් තිබූ අවදියක් විය. කම්කරු අයිතිවාසිකම් ඉල්ලමින් ඇවිලී ගිය කම්කරු උද්ගෝෂණ හා කම්කරු සටන්, කාල් මාක්ස් (Karl Marx) හා ෆ්රෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) 1848 පළකල "කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය" (The Communist Manifesto) යත් සමග සමාජවාදය නම් දේශපාලන වැඩපිළිවෙළක් වෙත මතවාදීමය නැඹුරුවක් නිරූපනය කළ කාලවකවානුවක් විය.
1886 ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැය 8 වැඩ මුරයක් ඉල්ලා ඇතිවූ Haymarket ගැටුමෙන් කම්කරුවන් මිය යෑමත්, එය සැමරීමට 1889 දී ජාත්‍යන්තර සමාජවාදී සම්මේලනය විසින් මැයි 1 වැනිදා “ජාත්‍යන්තර කම්කරු දිනය” ප්‍රකාශයට පත් කිරීමත් සිදුවූයේ ද එම අවදියේ ය.
13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) කතෝලික සභාවට නායකත්වය දෙමින් සිටියේ එවැනි යුගයකය.
එතුමා ඒ යුගයේ සිදුවෙමින් පැවැති ගෝලීය පෙළගැස්ම හදුනාගනු ලැබූ පාප්තුමෙකු විය. එහි ප්‍රතිඵලය වූයේ එතුමා 1891 දී පළකල 'Rerum Novarum' නම් විශ්ව ලේඛණය ය. 'Rerum Novarum' යනු කතෝලික සභාවේ සමාජ දර්ශනය ඉදිරිපත් කළ ලියවිල්ලය.
එම Rerum Novarum විශ්ව ලේඛණය තුල: වද හිංසාවෙන් තොරව රැකියාවක් කිරීමට ඇති අයිතිය, නිසි වැටුපක් ලැබීමට ඇති අයිතිය, වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයවීමට ඇති අයිතිය කතෝලික සභාව ද තහවුරු කළේය. එමෙන්ම එම විශ්ව ලේඛණය තුල යහපත් පවුල් ජීවිතයක් සදහා සාධාරණ වැටුපක් හා සුරක්ෂිත වටාපිටාවක් ගොඩනගාදිමට රජයක ඇති වගකීම ද අවධාරණයට ලක් කරන ලදි. 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) ලෝක පූජිත පාප්වරයෙකු වෙන්නේ එම Rerum Novarum විශ්ව ලේඛණයත් සමගය.
කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) නව පාප්වරයා ලෙස තේරීපත්වීමත් සමග 'ලියෝ' යන නාමය තෝරාගෙන 14වෙනි ලියෝ (Pope Leo XIV) පාප්වහන්සේ ලෙස පත්වීමත් සමග එතුමා 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) ගේ ඉහත උරුමය රැගෙන යන්නෙකු ද? යන කුතුහලය ජනිත කරන්නක් විය. ඒ මන්දයත්, ලෝක කම්කරු දිනය ප්‍රකාශයට පත්කළ Haymarket සිද්ධිය සිදුවූ, ඇමැරිකාවේ චිකාගෝ නුවර ඉපදී, පේරූ රටේ පිඩිත ජනයා සමග දශක ගණනාවක් සේවය කළ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) ට සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමේ ඉතිහාසයක් ඇති තැනැත්තෙක් වීමත් ඊට තවත් හේතුවක් විය.
අනෙක් අතට, කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) යනු ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුගාමිකයෙක් ලෙසත්, ෆ්‍රැන්සිස් පාප්තුමා හදුන්වාදුන් සිනෝඩ් ක්‍රියාදාමය තුල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ තැනැත්තෙක් ලෙසත්, පේරු හි ධර්මදූත සේවයේ යෙදෙමින් ජනතා සේවයට ඇපකැපව සිටීමත් තුල ත, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ විශේෂ අවධානයට ලක්වූවෙක් විය. එසේ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවධානයට ලක්වූ එතුමාව ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් 2023 වසරේ දී කාදිනල්වරයට පත්කළා පමණක් නොව කාදිනල්වරුන් තෝරාගැනීමේ ක්‍රියා පටිපාටියේ නායකත්වයට ද ඔසවා තබන ලදි. මෙම පසුබිම තුල ෆ්‍රැන්සිස් පාප්තුමාට ගරුකිරීමක් ලෙස නව පාප්තුමා 'ලියෝ' යන නාමය තෝරාගත ද? යන්න ද මතුවන්නකි.
ඒමන්දයත් "ලියෝ" නමින් 13වැනි සියවසේදී අසීසියේ ජීවත්වූ අසිසියේ ෆ්‍රැන්සිස් ශාන්තුවරයාගේ ඉතා විශ්වාසනීය ගෝලයෙකු සිට ඇති අතර ඔහුව ලියෝ සහෝදරතුමා (Brother Leo/ “බ්‍රදර් ලියෝ) ලෙස හදුන්වා ඇත. අභිනවයෙන් තේරීපත්වූ 14වෙනි ලියෝ (Pope Leo XIV) පාප්තුමා 'ලියෝ' නාමය තෝරාගැනීමේදී එම කාරණය ද සැලැකිල්ලට ගත්තා ද? යන්න ද අවධානයට යොමුවන්නකි.
කෙසේවෙතත්, අභිනවයෙන් තේරීපත්වූ පාප්තුමා 'ලියෝ' නාමය තොරාගැනීම තුලම කිසියම් විශේෂත්වයක් ඇති බව නම් පැහැදිලිය.
එය එතුමාගෙන්ම අසා දැනගත හැක්කේ ලබන සතියේ පැවැත්වීමට නියමිත එතුමාගේ පලමු මාධ්‍යය සාකච්ඡාවේදීය. මීට පෙර 2005 දී ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වූ පසු පැවැත්වූ පළමු මාධ්‍යය සාකච්ඡාවේ දී එතුමා 'ෆ්‍රැන්සිස්' යන නාමය තෝරාගත්තේ ඇයි යන්න ගැන විශේෂයෙන් සදහන් කළේය..
මම ඒ ගැන පසුව ලියන්නම්..
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/05/25
++++++++
ReplyDelete