This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 30 August 2015

පෝලන්ත රහසිගත උමගක ඇති දුම්රියේ ඇත්තේ හිට්ලර්ගේ නාසීන් සොරාගත් රත්තරන්ද ? (ලංකාවේ නාසීට තව ඇත්තේ යොදුන් දෙකයි !!)

දෙවන ලෝක යුද්ධය නිමවී වසර 70ක් ගතව ඇතත් යුරෝපය එම අමිහිරි මතකයන් අමතක කර නැත. සතිපතා පලවන පුවත්පත් ලිපි, රූපවාහිනී වැඩසටහන්, නැවත නැවත නිකුත්වන ඡයාරූප, චිත්‍රපට, පොත්පත්, විවිධ සමරු වැඩසටහන්, පාසැල් විෂය නිර්දේශයන් යනාදී ක්‍රියාකාරකම් මගින් යුරෝපය එම වේදනාත්මක අමිහිරි මතකයන් පරපුරෙන් පරපුරට තවදුරටත් අළුත් කරමින් තිබේ. 

ඒ මතු කිසිම දිනක ඇඩෝප් හිට්ලර් වැනි ජාතිවාත්සල්‍ය සහ විද්‍යාත්මක සංවර්ධනය පෙරටු කරගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය නාමයෙන් ජනයා මුලාකරමින් බලයට පැමිණ, දසලක්ෂ ගණනක ජනයා නිර්ධය ලෙස මරාදැමු, යුද්දෙව් ජාතිකයන් වැනි සුළු ජන කණ්ඩායම් සමූලඝාතනය කල, කලාකරුවන්ට, බුද්ධිමතුන්ට, විද්වතුන්ට මරණය ගෙන දෙමින්, ඔවුන්ගේ වස්තු සම්පත් සහ නිර්මාණයන් කොල්ලකමින් යුද්ධවාදී වැඩපිළිවලක් දියත්කල ජාතීවාදී මානසික රොගීන්ගේ පාලනයක් වූ නාසීවාදී ඒකාධිපති පාලනයක් නැවත ඇති නොවීම සදහාය. 

1934 සිට 45 දක්වා ජර්මනියේ පැවති ඇඩෝප් හිට්ලර්ගේ නාසි පාලනය මගින් සිදුකල අපරාධ කෙතෙක්ද යත්, වසර ගනනාවක් ගතව ඇතත් තවමත් එම අපරාධ සම්පුර්ණයෙන්ම  සොයාගෙන ඒ සම්බන්දයෙන් පරීක්ෂන පවත්වා අවසන්ව නොමැත. 
පසුගිය සතියේ නිරිතදිග පෝලන්තයේ රහසිගත උමගක සගවා ඇතැයි සොයාගත් නාසී දුම්රියද එවෙනි තවත් අපරාධ රාශියක තොරතුරු හෙලිකිරීමට සමත්වෙනු ඇත. දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයේදී සෝවියට් රුසියානු රතු හමුදාවන් නාසීන්ට පහර පිට පහර ගසමින් පෝලන්තයේ හරහා ජර්මනිය දෙසට ගමන් අරම්භකල විට, නාසීන් සිදුකලේ ඔවුන් විසින් කොල්ලකන ලද වස්තු සම්භාරයන් සම්පුර්නයේන්ම ආවරණය වූ දුම්රියක ගබඩා කර රැගෙනයාමයි. එහෙත් ඒම දුම්රිය ගියේ කොහේද? එයට සිදුවුයේ කුමක්ද? යන්න යුද්ධය අවසන් වී වසර 70 ක් ගතවුවද විසදී නොතිබිණි. 

ඒහින් එය සැගවූ වස්තුන් සොයන්නන්ගේ වස්තුවිෂයක් බවට පත්වූ අතර එය සොයා ගැනීමට විවිධ පුද්ගලයන් විවිධ උත්සාහයන් හී නිරතවූ බව වාර්තාවේ. එහෙත් පසුගිය සතියේ නිරිතදිග පෝලන්තයේ Walbrzych නගර සභාවට ලිපියක් එවූ ජර්මන් සහ පෝලන්ත ජාතිකයන් දෙදෙනෙක් තමන් අදාල දුම්රිය සොයාගත් බවත් එහි ඇති වස්තූන්ගේ වටිනාකමින් 10% ක් තමන්ට ගෙවන ලෙසත් දන්වන ලදී. මේ ඔස්සේ පෝලන්ත රජය කල භූගත රේඩාර් පරීක්ෂණයකින් ඉහත කරුණ සත්‍යයක් බව සනාථකරගෙන තිබේ. 


ඉහත සදහන් කල පුද්ගලයන් දෙදෙනාට මෙම අතුරුදහන් වූ දුම්රිය පිළිබඳව තොරතුරු හෙළිකර ඇත්තේ මරඇදේ සිටි වයස්ගත පුද්ගලයෙක් බවත් ඔහු එම දුම්රිය සැගවීමට උදව්කල පුද්ගලයෙක් බවත් කියවේ. එම තොරතුර ඔස්සේ අදාල ජර්මන් සහ පෝලන්ත ජාතිකයන් දෙදෙනා සිදුකල පරීක්ෂණ මගින් මෙම දුම්රිය පිළිබද කථාවේ සත්‍ය මතුකරගෙන තිබේ.  

මෙම දුම්රියේ ඇත්තේ නාසීන් විසින් කොල්ලකන ලද චෙකොස්ලෝවැකියානු මහා බැංකුවේ රත්රන් සමුච්චය ද, රුසියාවේ මහා කැතරින් මාලිගයේ පලිගු කාමරයේ සවිකර තිබු රත්රන් බිත්තිද, එහි තිබු දියමන්ති සහ වෙනත් වස්තුන්ද, නැතහොත් යුදෙව් ජනයාගෙන් කොල්ලකන ලද වස්තුසම්බාරයද, එසේත් නැතිනම් නාසීන් කවදත් ප්‍රියකළ මිල අධික රෆායෙල්, ඩාවින්චි, ආදීන් අදින ලද සිතුවම් ද ?නැතහොත්, යුද්ධායුධ, විෂ රසායනික ද්‍රව්‍ය, වෙනත් ලියකියවිලි ආදීයද ? යන්න ගැන තවමත් කිව නොහැකි නමුත් අදාල වස්තුන් සහ වෙනත් වටිනා දෑ නියම පුද්ගලයින්ට නැවත බාරදෙන බව පෝලන්ත රජය දැන් නිලවශයෙන් නිවේදනය කර තිබේ. 

එහෙත් මෙම දුම්රිය අවට අටවා ඇතැයි කියන බිම්බෝම්බ සහ වෙනත් මර උගුල් ඉවත්කර නැවත එය පිටතට ගෙන තනිකර වානේවලින් ආවරණය කර සීල් කර ඇති දුම්රිය විවර කිරීමට නම් තවත් මාස කිහිපයක් ගතවනු ඇත. 


ඒ කෙසේවුවද, ශ්‍රී ලංකාවේ වැසියන් ද ඇඩෝප් හිට්ලර් සහ ඔහුගේ නාසී පක්ෂයේ වැඩපිළිවෙල, ඔවුන් බලයට පැමිණියේ කෙසේද? ඒ සදහා ඔවුන් භාවිතාකල උපාය උපක්‍රම කවරේද? ජාතිවාත්සල්‍ය සහ විද්‍යාත්මක සංවර්ධනය පෙරටු කරගනිමින් බලයට පැමිණි ඔවුන් ජර්මන් ජාතියම විශාල ප්‍රපාතයකට ඇද දැම්මේ කෙසේද? යන්න පිළිබඳව අවදානය යොමුකිරීමට දැන් කාලය පැමිණ තිබෙන බව පෙනේ. ඒ මන්දයත් ගෙවීගිය සිවිල් යුද්ධය ඇසුරින් පෝෂණය වූ ලංකාවේ නාසීට ද දැන් බලයට පැමිණීමට ඇත්තේ යොදුන් දෙකක දුරක් පමණක් වන බැවිනි. 

2015 මහා මැතිවරණයෙන් පසුව ගොඩනැගෙන නව දේශපාලනය වනුයේ මෙම නාසීට එරෙහිව පෙළගැසීමයි. 
ඒ මන්ද යත්......              ලංකාවේ නාසීට ද 
බලය ගැනීමට තව ඇත්තේ යොදුන් දෙකක දුර පමණක් වන බැවිනි !!!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
30/08/2015.

Monday 17 August 2015

අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු !!!


ලුවී අල්තුස්ර් (Louis Althusser) ගේ ඉගැන්වීම්වලට අනුව දෘෂ්ටිවාදය (ideology) යනු 'පවත්නා තත්වය සමග බැදී සහසම්බන්ධිතයන් විවර කරමින් ඉදිරිපත් කරන දැක්මකි' (Ideology and Ideological State Apparatuses (Notes towards an Investigation (1970)). සිල්වියෝ විඒට්ටා (Silvio Vietta) ට අනුව දෘෂ්ටිවාදය යනු 'ජාතිකවාදය, ආගමික අධිකාරීත්ව සහ අධිපතිවාදී දේශපාලන ව්‍යාපෘතියන් විවර කරන, ආධිපත්‍යවාදයට එරෙහි අදහස් සමුදායන්ය' (A Theory of Global Civilization: Rationality and the Irrational as the Driving Forces of History (2013)). 

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය තුල මීගමුව වැනි ලංකාවේ බහුතර ජනයාගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන් නියෝජනය නොකරන ප්‍රදේශවල වෙසෙන ජනයා සහ ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් නොසලකා හැරීමට හෝ යටපත් කිරීමට හෝ ලක්කර ඇතැයි අපි පසුගිය කාලය පුරා මතු කළෙමු.  

Facebook පිටුවල, බ්ලොග් සටහන්වල, වෙබ් අඩවිවල,  සගරාවල, පුවත්පත්වල, විවිධ පුද්ගලයන්ට සහ ආයතනවලට විවිධ අවස්ථාවල විවිධ කරනු ගැන අවධානය යොමුකරමින් ලියන ලද ලිපිවල ඉහත කරනු අපි දිගින් දිගටම අවධාරණය කළෙමු. 

දැන් එහි යම් ප්‍රතිපලයක් දැකිය හැකිය. මෙවර මහාමැතිවරණය වෙනුවෙන් (2015) මීගමුව ආසනය තුල මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන  ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂයන් දෙදෙනාම (නිමල් ලන්සා සහ රොයිස් ප්‍රනාන්දු) අපි මෙතෙක් කලක් දිගින් දිගටම මතුකල කරුණු සිය දේශපාල වේදිකාවන් හී සහ මැතිවරණ ප්‍රකාශනයන් හී මතුකරන ලදී.
රොයිස් ප්‍රනාන්දුගේ චන්ද ප්‍රකාශනය තුල

1. මීගමුව දිස්ත්‍රික්කයක් නොවුයේ ඇයි ?

2. ශ්‍රී ලංකාවට සංගීතයත්, චිත්‍රපට කලාවත්, නාඩගම් සම්ප්‍රදායත්, හදුන්වාදුන් මීගමු පුරවරයට මොකද උනේ ? 

3. මීගමු කලා ක්ෂේත්‍රයට අදාල සංස්කෘතික මධ්‍යස්ථානයක්වත්, කෞතුකාගාරයක් වත් නැත්තේ ඇයි ?

4. මීගමුවේ කරවල ව්‍යාපාරය නිසා මීගමු ධීවර ජනයා භේද බින්න කර ලෝකප්‍රකට සංචාරක පුරවරයක් වන මීගමුව ගදේ බැරිවෙන තත්වයට පත්කලේ ඇයි දැයි  මතුකරයි. 

5. තවද මීගමුවේ අදටත් හොදින් ක්‍රියාත්මක වන මිෂනාරී සේවාවන් විසින් ගොඩනගන ලද පාසැල් පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමට ඉඩ ඇති අයුරු ද රොයිස් ප්‍රනාන්දුගේ චන්ද ප්‍රකාශනය තුල  මතුකර දක්වයි. 

මෙයට අමතරව මීගමුව ග්‍රීන් පාර්ක්, මීගමුව වෙරළ තීරය, රාජපක්ෂ උද්‍යානයට සහ වෙනත් පොදු දේපල විවිධ අයතා ක්‍රියා මගින් විනාශ කර ඇති ආකාරය මතුකර තිබීමද අගය කල යුත්තකි. 

නිමල් ලන්සා ද සිය මැතිවරණ  ව්‍යාපාරය සදහා නිකුත්කල මැතිවරණ ප්‍රකාශනයේ දී මීගමු කලා ක්ෂේත්‍රයට අදාල සංස්කෘතික මධ්‍යස්ථානයක්, කෞතුකාගාරයක්, අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය සහ මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය මතු කර තිබේ.


 එහෙත් නිමල් ලන්සා හෝ රොයිස් ප්‍රනාන්දුගේ මැතිවරණ ප්‍රකාශනයන් හී කිසිදු තැනක මීගමුව කොටුව නැවත ගොඩනැන්වීම පිළිබද කිසිදු අදහසක් ඉදිරිපත් කර නොතිබීම ගැන කණගාටු වියයුතුය. මීගමුවේ ඉදිරි දේශපාලන පෙළගැස්ම මීගමුව කොටුව කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව ඔවුන් අවධාරනයෙන්ම තේරුම්ගත යුත්තකි.  

මීගමුවේ ජනයාගේ ප්‍රශ්න සහ ලංකාවේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න අතර ඇති අපුර්ව සමානකම් ගැන මීගමුවට මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් තරගකරන ෂාෆී රාහීම් මහතා සැසදීමට යම් උත්සහයක් කර තිබුන ද එහෙත් ඒගැන වැඩියමක් කීමට තරම් අවශ්‍ය තොරතුරු නොමැත. 

මීගමුවේ ජනයාගෙන් චන්දය ඉල්ලා පැමිණේන  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියවත්, ෆ්ර්ලික්ස් පෙරේරා, කවින්ද ජයවර්ධන, ජෝෂොප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුන්ග හෝ වෙනත් කිසිවෙක් මීගමුවේ ජනයාගේ සුවිශේෂ ප්‍රශ්න පිලිබදව කිසිම අවදානයක් යොමුකරන බවක් නොපෙනුණි.  

ජනතා විමුක්ති පෙරමුණේන් මීගමුවට තරගකරන ගාමිණී ප්‍රනාන්දු සහෝදරයාට සිය පක්ෂය විසින් ඉගැන්වූ කරුණු කරනා කටපාඩමින් මීගමුවට අදාල කරමින් කියවනවා ඇරෙන්නට ඔහු ජාතික දේශපාලනයේ ගොඩනැංවීම් මීගමුව ඇසුරින්වත් අවබෝධකර ගත් බවක් නොපෙනේ. 

තත්ත්වය එසේවුවද, මෙවර මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට අද දක්වා කිසිදු විටක කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් අපි පෙනී නොසිටියෙමු. අඩුම තරමින්  පුද්ගලිකව Facebook post එකක්වත් share නොකෙරුවෙමි. ඒ මෙවර මැතිවරණයේදී කිසිදු දේශපානය පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් චරිත සහතික දිය නොහැකි බැවිනි. කිසිදු පක්ෂයක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලිය පිළිබද විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින් රටේ ජාතික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට උත්සහ නොකිරීම ද මෙයට එක් හේතුවකි. 

මෙම මැතිවරණයේදී ඉතිරිවී තිබු ඊලග විකල්පය වුයේ විවිධ පක්ෂවල වඩා යහපත්යැයි සිතිය හැකි පුද්ගලයන් වෙනුවෙන් චන්දය දීම පමණි. එහෙත් එය සාපේක්ෂය.  පුද්ගලානුබද්ධය. ඒ සම්බන්යෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටීමෙන් පලක් නොවේ. 

එහෙත් පසුගිය කාලය පුරාම මීගමුව ගැන ලියූ, කියූ දේවලින් යමක් සිදුවෙමින් ඇති බව නම් පැහැදිලිය. එහෙයින් තරමක් බර වැඩිවුවද 'අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු' යැයි කියන්නට පැකිලීමක් නැත !!!  


මාකස් ප්‍රියන්ත පෙරේරා. 
(17/08/2015).