This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 18 December 2016

නිවුස්ටෙඩ් බාලිකාවට නතුවන මීගමුවේ උරුමයන්ගේ හෙට දවස කුමක්ද?


මීගමුව නිව්ස්ටෙඩ් බාලිකාව හෙවත් ඇතැම් පුවත්පත් නිවුස්ටෙඩ් බාලිකා විදුහල ලෙස හදුන්වන, වසර දෙසීයක (200) ඉතිහාසයකට හිමිකම් කියන, ලංකාවේ පැරණිම බාලිකා විදුහලවන, Newstead බාලිකා විදුහල සම්බන්දයෙන් මා මේ වසරේ ලියන අවසාන සටහනවන  මෙම සටහන තුල අන්තර්ගත කිරීමට අපේක්ෂා කරනුයේ එම විදුහල නතුකරගෙන ඇති ඇතැම් ඓතිහාසික වටිනාකම් කිහිපයක් පිලිබදව සාකච්ඡා කිරීමය. 

නත්තල උදාවන මේ සතියේදී මීගමුව මහත් උත්කර්ෂවත් ලෙස සමරන 'මීගමුවේ නත්තල' පිලිබදවත්, ඉඩ ලදොත් වසරේ අවසාන සතියේදී ශ්‍රී ලංකාවට සිංහල පුවත්පත් කලාවක් මුලින්ම හදුන්වාදුන්, මෙරට ප්‍රථම පුවත්පතවන, කිතුනුවන්ගේ 'ඥානාර්ථ ප්‍රදීපය'ට වසර 150 පිරිම සම්බන්දයෙන්ද ලිවීමට අපේක්ෂාකරමින් සිටී.  

උදාවන 2017 වසරේදී නිව්ස්ටෙඩ් බාලිකාව පිලිබදව තවත් සටහනක්ද, මීගමුවේ පාසැල් කිහිපයක් පිළිබදවද, මීගමුවට අයත් ගම් තුනක් සහ එහි ආගමික සිද්ධස්ථාන කිහිපයක් පිළිබද විස්තරද, මීගමුව මහනගර සභාව, මීගමුව කොටුව සහ මීගමුවේ තවත් ඓතිහාසික තොරතුරු කිහිපයක් පිලිබදවද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි. එහිලා  අවශ්‍ය බොහොමයක් කරුණු කරණා, ඡයාරූප ආදිය, දැනටමත් රැස්කරගෙන ඇති අතර ලැබෙන ඉඩප්‍රස්ථාවන් අනුව එම විස්තර මෙහි පලකිරීමට සිතා සිටී. 
  
කෙසේවුවද, අදාල මාතෘකාව සම්බන්ධයෙන් නැවත යොමුවීමේදී, මීගමුවේ නිව්ස්ටෙඩ් හෙවත් නිවුස්ටෙඩ් බාලිකා විදුහල සම්බන්දයෙන් මා මෙයට පෙර පලකල ලිපිවල දැක්වූ ලෙසම, 1816 දී ඉතා සීමිත සිසුන් පිරිසකගෙන් නිව්ස්ටෙඩ් විදුහල බිහිවනවිටත්, මීගමුවේ පෘතුගීසි පාලන සමයේ සිට ස්ථාපිතවූ, කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන ගිය පාසැල් කිහිපයක් තිබුණ බව සිහිකල යුතුය. එම පාසැල්  අද හදුනාගත නොහැකි ලෙස අතුරුදහන්ව ගොස් ඇත. එහෙත් මෙතෙක් සපයාගත හැකිවූ සීමිත මට්ටමින් මා සතුව දැනට ඇති තොරතුරු වලින් පවා පෙනීයනුවේ මීගමුවේ නිව්ස්ටෙඩ් විදුහල බිහිවනවිටත් මීගමු සාන්ත මරියා දෙමළ පාසැල (මෙය සාන්ත මරියා පිරිමි මහා විදුහල නොවේ) සහ වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් පාසැල යම් මට්ටමකින් පැවති බවය. එමෙන්ම ඒත්තුකාල, බෝලවලාන සහ පල්ලන්සේන යන ප්‍රදේශයන් හීද පාසැල් 03ක් පැවති බව පෙනේ. එහෙත් ඒම පාසැල් පැවතියේ කුමන මට්ටමකින්ද යන්න තවදුරටත් අධ්‍යනයකල යුතුය. පැහැදිලිවම ඒම පාසැල් කතෝලික සභාවට අයත්  විවිධ පැවැදි නිකායවල්වලින් ක්‍රියාත්මක කරමින් සිටි පාසැල්ය. 

මීගමුවේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති එම පාසැල් අභිබවා යමින්, ඒකී සෑම විදුහලකටම වඩා ශක්තිමත්ව, නොනැසී නැගී සිටීමට නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට හැකිවුයේ ඇයි? ඒ අන් කවරක් නිසාවත් නොව එංගලන්තයේ වෙස්ලියානූ මෙතෝදිස්ත සභාවේ අප්‍රතිහත දායකත්වයත්, නොමසුරු සහයෝගයත්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ ආශිර්වාදයත් නිසාමය. 

1821දී රොබට් නිව්ස්ටෙඩ් (Robert Newstead) පියතුමා මීගමුවෙන් ඉවත්ව යන විටත් පැරණි ඕලන්ද ගොඩනැගිල්ල හෙවත් මිෂන් හවුස් (Mission House) ගොඩනැගිල්ලත් තවත් පොල්අතු සෙවිලිකල කුඩා ගොඩනගිල්ලකුත් පමණක් උරුමව සිටි නිව්ස්ටේඩ් බාලිකා විදුහල Rigby පියතුමාගේ කාලයේදී තවත් කුඩා ගොඩනැගිලි දෙකක් සහ ගුරුවරුන් 06 දෙනෙක් සිටින පාසැලක් බවට පත්වන  ලදී. තවද 1850 සිට 1889 දක්වා කාලයේදී දෙවතාවක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිව්ස්ටේඩ් බාලිකා විදුහලට අරමුදල් ප්‍රධානයකර ඇති බව පසුව විදුහල්පතිවරයෙක්වු H. S. Sandford පියතුමා විසින් 1890 දී වෙස්ලියානු සභාවට යවන ලද ලිපියක සටහන්වේ (Wesleyans and the MMS: Wesleyan Missionary Notices (1816-1904)). ඒ වෙස්ලියානු සභාව විසින් වාර්ෂික දෙන  ලද ආධාර වලට අමතරවය. 

ශ්‍රී ලංකාව තුල අධ්‍යාපන ක්‍රමයක් ඇරබීමට 1833 දී Colebrooke–Cameron  ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නිර්දේශ කල බව අපි දනිමු. එහෙත් මීගමුව නිව්ස්ටේඩ් බාලිකා විදුහලට බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් දෙවතාවකදී අරමුදල් ලැබෙනුයේ ඉහතකී Colebrooke–Cameron ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියත්මකවීමේ ප්‍රථිපලයක් ලෙසදැයි  අපි නොදනී. එය වෙනම සොයාබැලීය යුත්තකි. කෙසේවෙතත්, නිව්ස්ටේඩ් බාලිකා විදුහලට යටත්විජිත පාලනයෙන් අරමුදල් සම්පාදනය කලේ නම් එය මීගමුව ප්‍රදේශයේ ජනයාගේ අධ්‍යාපනය සම්බන්දයෙන් යටත්විජිත පාලකයන්ගේ ඝෘඡූ මැදිහත්වීමක් ලෙස දැක්විය හැක. කෙසේවුවද එංගලන්තයේ මුල්බැසගත් වෙස්ලියානු මෙතෝදිස්ත සභාවේ දායකත්වය මෙහිලා සියල්ලටම වැඩියෙන් උපකාරවූ බව පැහැදිලිය. පෙරදිග ජනයාට යහපත් ජීවිතයක් අත්කර දීමටනම් ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක්  හිමිකර දීය යුතුයැයි විශ්වාස කල ඔවුන් ඒ සදහා දියත්කල වැඩපිළිවෙලේ එක් ඉතා සාර්ථක ජයග්‍රහණයක් ලෙස මෙම නිව්ස්ටෙඩ් බාලිකා විදුහල දැක්විය හැක. විශේෂයෙන්ම වෙස්ලියානු බැතිමතුන් තම තමන් පෞද්ගලිකව ඉපැයූ මුදල් මෙම වෙස්ලියානු දුත මෙහෙවරවල් සදහා පරිත්‍යාගකල අතර එය එම ජනයා සඉටුකල උදාර මෙහෙවරක් ලෙස සැලකිය හැක.

වෙස්ලියානු සභාවේ ආධාර ප්‍රමාණවත් නොවූ 1892 සිට 1917 දක්වාවූ කාලය තුල නිව්ස්ටේඩ් බාලිකා විදුහලට ඉතා දුෂ්කරකාලයක් උදාවීම තුල එම පාසැල සහ වෙස්ලියානු සභාව අතර පැවති සම්බන්ධය හොදින් කියාපායි. 1880න් පසු මීගමුවේ කතෝලික පාසැල්වල නැවත පිබිදීමත්, පැරණි සහ අළුත් කතෝලික පාසැල් ශක්තිමත්ව ඉදිරියට ඒමත් සමග ආර්ථික දුෂ්කරතාවයන්ට පත්ව සිටි  නිව්ස්ටේඩ් බාලිකා විදුහලට විශාල තරගයකට මුහුණදීමට මගපෑදුහ. මීගමු සාන්ත මරියා පිරිමි විදුහල මහවීදිය පල්ලිය මුල්කරගෙන 1871 දී ඇරබීමත්, වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් සහ මහවීදිය දෙමළ කතෝලික පාසැල් නවීකරණයවීමටත් සමග මීගමුව නගරය අවට  විශාල සිසුන් පිරිසක් ඒවාට ඇදීයාමත ඒ සමග සිදුව තිබේ. කතෝලික පල්ලියේ විශාල අනුග්‍රහයක් ලැබූ එම පාසැල් ඉදිරියට පැමිණීමත් සමගය නිවුස්ටෙඩ් විදුහලට බැදෙන සහ පැමිණෙන සිසුන්ගේ විශාල අඩුවීමක්ද දැකිය හැකිවිය. 

මේ තත්වය තුල නිවුස්ටෙඩ් විදුහලට තවදුරටත් නොනැසී ඉදිරියෙන් ඉදිරියට යෑම සදහා එම විදුහලේ පාලක සභාවවූ වෙස්ලියානු මෙතෝදිස්ත සභාව විසින් වැදගත් තීන්දු කිහිපයක් ගෙන තිබේ. ඉන් පළමු වැන්න කාන්තා අධ්‍යාපනය සදහා ප්‍රමුකත්වයක් දීමය. දෙවැන්න මෙතෙක් සිටි විදුහල්පති පියතුමෙක් වෙනුවට විදුහල්පතිනියක් පත්කර ගැනීමය. ඒ අනුව 1902 දී C. H. Ward මැතිනියද, 1910 දී Lawrence මැතිනියද,  1911 දී Laura  මැතිනියද පත්කරණ ලදී. ඒම විදුහල්පතිනියන් බොහොමයක්  මීගමුව වෙස්ලියානු මෙතෝදිස්ත සභාවේ සේවයකල පියතුමන්ලාගේ පවුලේ සාමාජිකයන්මද විශේෂය. කෙසේවුවද ඉහතකී වෙනස්කම් දෙකේ නියම ප්‍රථිපල අත්කරගැනීමට

ලැබෙනුයේ 1914දී C De Vos මැතිනිය  විදුහල්පතිනිය ලෙස පත්වී මත් සමගය. ඇය ලංකාවේ  ප්‍රථමවරට ගෘහ විද්‍යාව (Home science) විෂයක් ලෙස ඉගැන්වීම මීගමුව  නිව්ස්ටෙඩ් බාලිකාවෙන් අරබන ලදී. ඒ වනවිටත් නිව්ස්ටෙඩ් විදුහල ලංකාවේ පළමු නේවාසික බාලිකා විදුහල බවට වාර්තාගතවී හමාර (first girls boarding school)වී  තිබුණි. අදටද ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගෘහ විද්‍යාව (Home science) විෂයක් ලෙස ඉගැන්වීම සදහා භාවිතා කල මෙවෙලම් එම විද්‍යාලය සතුබව වාර්තාවේ. Douglas Allen (1992) විසින් සංස්කරණයකල 'Religion and political conflict in South Asia' කෘතියේ එන 'Western Women Construct the Eastern Wife and Mother'  රචනයේ සදහන් කරුණු කෙතරම් ප්‍රත්‍යක්ෂද, තාර්කිකද, යන්න නැවත නැවත ඔප්පුකරනුයේ C De Vos මැතිනියගේ සිසුවියක්වූ ඩොරීන් පීරිස් මැතිනිය ලංකාවේ ප්‍රථම ඉවුම්පිවුම් පන්ති ඇරබීමත් සමගය. ඒ සම්බන්දයෙන් ඇය 1964 දී පොතක්ද පලකර තිබේ.



කෙසේවුවද නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ ස්වර්ණමය යුගය ඇරබෙන්නේ
1917දී A.D. Dixon  මැතිනිය මෙම විදුහලේ විදුහල්පතිනිය  ලෙස පත්වීමත් සමගය. 1917 සිට 1942 දක්වා වසර 25ක කාලයක් මෙම විදුහලේ  විදුහල්පතිනිය ලෙස කටයුතුකරන ඇය නිව්ස්ටෙඩ් බාලිකාවේ කීර්තිය බොහෝ ලෙස ඉහලින් ඔසවා තැබූ තැනත්තියක් පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රකට කාන්තා පාසැල්වල ත්‍යාග ප්‍රධාන උත්සව වලට නිතර ඇරයුම් ලැබු තැනැත්තියක් බව මම මීට පෙර ලියූ 'ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය' (එය මෙතනින් කියවිය හැක) සදහන් කළේය.  ඇයට එම තත්වය හිමිවනුයේ ඇය නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ සංවර්ධනයටත් ලංකාවේ කාන්තා අධ්‍යාපනය නගාසිටුවීමටත් කල සේවය නිසාය. නිව්ස්ටෙඩ් විදුහලේ වර්තමාන විදුහල් ලාංචනය, විදුහලේ ටයි පටිය (necktie),  නිව්ස්ටෙඩ් විදුහල් පාඨය ('More Beyond') පමණක් නොව විදුහලේ බොහෝ ගොඩනැගිලි පවා ඉදිවෙනුවේ මෙම යුගයේය. ඇය හදුන්වාදුන් ටයි පටිය එවකට යුරෝපයේ පැවති ප්‍රධාන මෝස්තරයක් ඇසුරින් බිහිවූ බව වාර්තාවේ. ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය යෝධ පියවරක් තැබූ අතර නිව්ස්ටෙටඩ් විදුහලට මුස්ලිම් බාලිකාවන් ඇතුල්කරගනීමට ඇය ක්‍රියාකර තිබේ. ඇයගේ පාලන කාලය තුල මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල විසින් බටහිර සම්භව්‍ය සංගීතය විධිමත් ලෙස හැදැරූවුන් ගනනාවකින් යුතු නව පරපුරක් බිහිවිය. ඒ අතර Lorna Modder මැතිනියගේ ප්‍රමුකත්වයෙන් බිහිවූ ගයනා කණඩායම (choir) සහ බෑන් කණඩායම විශේෂයෙන්ම සදහන් කල හැකිය. එමෙන්ම  ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක ප්‍රකට ඔපෙරා ගායිකාවක්වූ Danielle de Niece මැතිනියගේ ප්‍රකට  De Niece මිත්තනිය පවා බිහිවන්නේ එම ව්‍යායාමයේ ප්‍රතිපලයක් ලෙසය. 

1960 වනවිට මීගමුවේ 'ලංසි ස්කොලේ' යනුවෙන් විවිධ ලෙස හදුන්වාදුන් මෙම විදුහල 1962 දී රජයට පවරාගත් අතර ඉන් අනතුරුව එය ක්‍රමයෙන් දේශීයකාරණය කිරීම සදහා Clarice De Mel (1962 - 1975) මැතිනිය යටතේ ක්‍රමයෙන් පෙළගැසුන බව පෙනේ. මේ අර්ථයෙන් ගත්කල මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල යනු ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යපනයේ සුවිශේෂ පැතිකඩක් කියා පාන ජීවමාන විද්‍යාගාරයකි. 

එපමණක් නොව මෙම විදුහල සතු පැරණි ගොඩනැගිලිද රාශියක්වේ. ඒ ඒ අතර මිෂන් හවුස් ගොඩනැගිල්ල, ගෘහ විද්‍යා ගොඩනැගිල්ල ආදිය පමණක් නොව මීගමුව මහනගර  සභාවට අයත්ව තිබු, මීගමුවෙන් රාජ්‍ය මන්ත්‍රන සභාව තේරීපත්වූ, 1941 දී කෘෂිකර්ම සහ ඉඩම් ඇමතිවරයාවූ D.S. සේනානායක මහතා  විවෘත කල මීගමුවේ පැරණි නගර සභා ගොඩනැගිලිද, මීගමුව පැරණි මහ අධිකරණ ගොඩනැගිල්ලදවේ. මේ සියල්ල කඩාබිදදමා තවත් සිසුන් ඇතුල්කරගැනීම වෙනුවෙන් නවගොඩනැගිලි පද්ධතියක් ඉදිකරයි දෝ යන සැකය අප තුලවේ.

එහෙත් නිවුස්ටෙඩ් විදුහල සතු මේ සියල්ල අනාගත පරපුරටද දැක බලාගත හැකි ලෙස පැරණි ගොඩනැගිලිවලින් එකක් හෝ කෞතුකාගාරයක් බවට පත්කරන්නේ නම් මැනවි.







මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/12/16.

1 comment:

  1. නිව්ස්ටෙඩ් එක කියන්නේ කොච්චියාගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ... එහි ඉතිහාසය ගැන ගැඹුරු හැදෑරීමක් කර ඇති මම ඒ ගැන ලියන්නට ඉන්නා හැම දෙයක්ම ඔබ මට කලින් ලියනවා... ඔබ කරන මේ සේවය උත්කෘෂ්ටයි. අපි දවසක කලපුදිසි තානායමේ එකතු වී මේ ගැන කතා කරමු.

    ReplyDelete