This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 23 December 2016

ලොව කිසිදු නත්තලකට නොදෙවෙනි මිගමුවේ නත්තල

"They spent two years of captivity, including fifteen months in a Ceylonese prison at the Portuguese city of  Negombo, 'weighted down with iron'......a Cannon fire and the church bells welcomed December ...two days after they sailed to Goa, where they were to be part of an exchange of prisoners...." Manuel Lobato (1999) 'Politica e Comercio dos Portugueses na Islândia 1575-1605' page 87-88.  

පෘතුගීසින් විසින් වර්තමාන මැලේසියාවට අයත් ජාවා ප්‍රදේශයෙන් අල්ලාගෙන ගොස් මාස 15ක කාලයක් මීගමුවේ රදවා සිටි සිරකරුවන් පිලිබදව ජේසු නිකායික පුජකතුමන්ලා තබා තිබු වාර්තා සම්බන්දයෙන් සාකච්ඡා කරන Manuel Lobato (1999)ගේ උක්ත සටහන අනුව 1576 දෙසැම්බර් මාසයේ උදාව පෘතුගීසින් සමරා ඇත්තේ කාලතුවක්කු වෙඩිමුරයකින් සහ පල්ලියේ සීනුව නාද කිරීමෙනි. අද ද ජේසු උපත මුල්කරගත් නත්තල එලෙබෙන දෙසැම්බර් මාසයේ උදාව මීගමුව සමරනුයේ දැවැන්ත රතිඤ්ඤා හඩවල් සමගිනි. දෙසැම්බර් මාසයේ පළමුවෙනිදා පළමු පැයේ සිට ඇසෙන  කන්බිහිරි කරවන රතිඤ්ඤා  හැඩවලින් කියා පානුයේ මීගමුවේ ප්‍රධාන උත්සවසමය වන නත්තල ලග එන බවය. අද ඇසෙන රතිඤ්ඤා හඩ, ඉහත සටහනේ දැක්වූ ලෙස, මීට වසර 450කට පමණ පෙර පෘතුගීසින් විසින් දෙසැම්බර් මාසයේ උදාව සැමැරීම සදහා තැබු කාලතුවක්කු වෙඩිමුරය අනුව ඇතිවුවක්ද? නැද්ද? යන්න නිශ්චිතව කිවනොහැකි නමුත් නත්තල් උත්සව සමරන දෙසැම්බර් මාසයේ උදාව මීගමුවේ වැසියන් රතිඤ්ඤා පත්තුකරමින් සැමැරීමට හේතුවක් හෝ ඉතිහාසයක් තිබිය යුතුය. 

රතිඤ්ඤා පත්තුකරමින් දෙසැම්බරය පිළිගැනීම කෙසේ වෙතත්, නත්තල මීගමුවට ලැබුනේ පෘතුගීසින්ගේන් බව නොඅනුමානය. මීගමුවේ පෘතුගීසි පාලනය 1644 දී අවසන්වුවද ඔවුන්ගේ මෙන්ම, ඉන් අනතුරුව පැමිණි ලන්දේසි, ඉංග්‍රීසි සහ දේශීය ලක්ෂණද අද  මීගමුවේ සමරන නත්තලේ අඩුවක් නැතිව දැකිය හැක. යුරෝපයේ කලින් කලට එකතුවූ විවිධ අංගෝපාංග එකතු කරගනිමින් විකාශනයවූ නත්තල් සමරුව මීගමුවේ ප්‍රධානතම  සංස්කෘතික උත්සවකි. එහෙත් මීගමුවේ පවා එය ඇතැම්  ඇතැන්වලදී එයටම සුවිශේෂ ආකාරයක් ගනී. 

එහිලා එක් උදාහරණයක්වනුයේ මනමේ වැනි ජාතික වැදගත්කමකින් යුතු දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහිකිරීමට ඉවහල්වූ  මීගමුව දූව ග්‍රාමයේ සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකරගෙන ගොඩනැගී ඇති නත්තල් සම්ප්‍රදායය. එහි නත්තල සමරනුයේ පල්ලියේ මංගල්‍යයට සුදානම්වෙන ආකාරයට නුවාන (දින නවයක සන්ධ්‍යා දේවමෙහෙයන්) කරමිනි. එහෙත් ඒ නුවාන ආරම්භවන්නේ මංගල්‍යට මෙන් කොඩිගසක් එසවීමෙන් නොව  මීගමු දූවේ දෙනු ලබන මහා දානය සමගය. අහල ගම් හතක ජනයා වැල නොකැඩී පැමිණෙන මෙම මහා දානය සදහා බත්, මාළු, ව්‍යංජන ඇතුලත් වන අතර මෙම සම්ප්‍රදායට පැහැදිලිව වසර 180කට එහා ඉතිහාසයක් ඇත. 'මගේ නත්තල දුගියා බත්කනදාටයි' යනුවෙන් දැක්වූ මර්සිලින් ජයකොඩි පියතුමා 1937-39 කාලයන්හී මෙම දූව සින්ද්‍රාති දේවමතා පල්ලියේ මීසම්භාර පියතුමා ලෙස මෙම දානයට ඇපකැපව ක්‍රියාකල බව මෙහිදී සදහන් කරනුවටී.  


දූව සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකරගත් මීගමුව නත්තලේ තවත් ලක්ෂණයක් වන්නේ ජේසු උපතලැබූ ගවමඩුව සිහිකරමින් ගවලෙන ඉදිකිරීමය. අසීසයේ ප්‍රැන්සිස්තුමා වඩාත් ජනප්‍රියකරවූ මෙම නත්තල් අංගය පෘතුගාලය තුල වඩාත් ජනප්‍රිය නත්තල් අංගයකි. මෙම සම්ප්‍රදාය මීගමුවට පැමිණ ඇත්තේ සිරියානු-පෘතුගීසි මිෂනාරිකයන් වූ ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා ඔස්සේ බව කියවේ. 1864 අප්‍රියල් මස 22 දින දක්වා දූවේ සින්ද්‍රාති දේවමතා පල්ලියත්, මීගමුව නගර මාධ්‍යයේ ඇති ශා. පීතර පල්ලියත් කෙලින්ම පාලනය කලේ  ඉන්දියාවේ ගෝවේ අගරදගුරුවරයා විසින් මෙහෙයවූ  ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා විසිනි. ඒගැන මා මීට පෙර ලියූ පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව (එය මෙතැනින් කියවිය හැක ) යන ලිපියේ වැඩි විස්තර සදහන්ය. කෙසේවුවද  ජාකොබයිට් පියතුමන්ලා මීගමු දූවට හදුන්වා දුන් ගවලෙන් සම්ප්‍රදාය අනුව ලංකාවේ පැරණිම නත්තල් ගවලෙන තවමත් ඉදිකරන්නේ මීගමු දූව සින්ද්‍රාති දේවමතා පල්ලියේය. 
ඊට අමතරව රජතුන් කට්ටුව නාට්‍ය රගදැක්වීමද මීගමුව දූවේ සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකර ගත්තකි. රජතුන් කට්ටුව නාට්‍ය යනු හුදෙක් නත්තල් නාට්‍යයක් පමණක් නොව ලංකාවේ  මුල් යුගයේ නාට්‍ය කලාවේ නොනැසී ඇති සලකුණය. මා මෙයට පෙර ලියූ  මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි යන ලිපියේ සදහන් කල ලෙසම (එය මෙතනින් කියවිය හැක) මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ (1987)  'කැරොල්, පසම් කන්තාරු' පොතේ දක්වා තිබුනේ මනමේ නාටකයේ එන 'පවර ඒ  නිරිදුගේ පුත් කුමරා වෙමි,' 'මුළු දඹදිවටම තොප මහ රජ වුව' ආදී කොටස් මීගමුවේ දූවේ කිතුනුවන් නත්තල වැනි උත්සව අවස්ථාවන්හී ගයන පරමණ්ඩල ස්වර ලිපියේ එන 'අප  ණයකරුහට අප ගෙවනා ලෙස' යන තනුව අනුව බවය. එමෙන්ම මනමේ නාටකයේ එන  'ප්‍රේමයෙන් මන රංජිත වේ' නම් ප්‍රසිද්ද ගීතය (රජ තුන් කට්ටුව නාඩගමේ එන) 'ආරම්භයෙන් පෙර නිර්මිත මනු ලොව, ආදිත්‍යයුරු නිර්මලියේ සුර' නම් ගායනයේ  තනුව අනුව නිමවුවක් යැයි දක්වයි ( පිටු 172/173)(ඉහතින් දක්වෙනුවේ එම ගීයේ වීඩියෝවයි).

මේ ආකාරයට නත්තල් ගවලෙන් ඉදිකිරීම සහ නාට්‍ය ඉදිරිපත්කිරීම පෘතුගීසි නත්තල් සම්ප්‍රදායෙන් පැවැත ආවද නත්තල් ගස් ඉදිකිරීමේ සම්ප්‍රදාය මීගමුවට පැමිණ ඇත්තේ ලන්දේසින්ගේන්ය. ජර්මනියෙන් ආරම්භවූ නත්තල් ගස් ඉදිකිරීම ඕලන්දයේ කැල්වින්වාදීන් විසින් සිය රටතුලත්, යටත්විජිතවලත් ජනප්‍රිය කරනු ලැබුවකි. ලන්දේසි යුගයේ ලංකාව තුලත්, මීගමුව තුලත් නත්තල්ගස් ඉදිකිරීම ගැනත්, නත්තල් තරුව එහි උත්කර්සවත් ලෙස පැලදීම පිලිබදවත් බ්‍රෝහියර්ගේ
සටහන්වල පවා (1976)  දැකිය හැක්කකි. එපමණක් නොව නත්තල් සමයේ වැඩි ඉල්ලුමක් ඇති වර්තමාන ක්‍රිස්මස් කේක්, ලන්දේසි  බෟෟඩර් කේක් (Dreudher Cake), love cake ආදියද, 'නත්තල් බත' හෙවත් කහ පැහැති, මුදරන්පලන් (Raisin) යෙදු බත් සමග මස්, මාළු, වම්බටු ආදිය ඇතුලත් බත්ද ඔවුන්ගේ කාලයේ ඇරබුවක් යැයි කියවේ. 

මීගමුව නත්තලේ තවත් වැදගත් අංගයක් වනුයේ කැරොල් ගායනාය. පෘතුගීසි යුගයේ පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් (Portuguese Creole Carol) මීගමුවේ ඉතා ජනප්‍රිය අංගයක්ව තිබී ඇත. ලන්දේසි යුගයෙදී එම පෘතුගීසි කැරොල් සිංහල සහ දෙමළ පද යොදා ගැයූ බව සුනිල් ආරියරතන මහතා දක්වයි (1987: පිටු 91). කෙසේවෙතත් ලන්දේසි යුගයේදී කතෝලික ආගමිකයන් හැකිතාක් දුරට කෙල්වියානු රෙපරමාදු
ආගමට බදවාගැනීමට වෙර දැරුවද, පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් ගයනා සම්ප්‍රදාය නොනැවතී පැවතිනි. එහෙත් ඉංග්‍රීසි යුගයේදී මීගමුවේ පැවති එම පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් ගයනා සම්ප්‍රදාය ඉංග්‍රීසියට පරිවර්තනය විය. නිවූස්ටෙඩ් විදුහල බිහිකළ රොබට් නිව්ස්ටේඩ් පියතුමා එහිලා විශාල කාර්යභාරය ඉටුකළ බවද මා මීට සති කිහිපයකට පෙර ලියන ලදී. මීගමු හැමිල්ටන් ඇළ ඔස්සේ ඇදීගිය පාරු ඉතා අලංකාරලෙස සලසා කැරොල් සංදර්ශන පැවැත්වූ බව දැක්වේ. කැරොල් පාරු එම පාරු හදුන්වාදී ඇත.

මේ අනුව  මීගමුවේ නත්තල යනු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුගතුන ඔස්සේම විකාශනය වුවකි. එහෙත් ඒ සියල්ල තුල එය මීගමුවටම උරුම අනන්‍යතාවයක්ද ගොඩනගාගෙන ඇත. විශේෂයෙන්ම එහි ඇති උත්සවත්ශ්‍රීය ලංකාවේ වෙන කිසිම ප්‍රදේශයක අත්දැකිය නොහැක්කකි. 

දෙසැම්බර් මුල් සතියේ සිට පාසැල්, දහම් පාසැල්, මීසම් සහ පල්ලි මට්ටමින් සුදානම් කරන නත්තල් නාට්‍ය සහ කැරොල් ප්‍රසංග ඇතුලත් නත්තල්  ප්‍රසංග සදහා සහභාගීවීමට ප්‍රදේශයේ දරුවන්ගේ සුදානම්වීම එහි පෙර ගමන් ගමන්කරුවන්ය. විශේෂයෙන්ම මෙවෙනි උත්සවවලින් තෑගී දිනාගැනීමට සහ සැම ළමයෙකුටම  තෑගී බෙදාදීමද එහි මුල් තැන්නක් ගන්නකි. 

අනතුරුව එළබෙන සතිවල සිට මීගමුව නගරය එකම හිස්ගොඩකින් පිරී යැයි. ලංකාවේ මුදල් සංසරණය අතින් කොළඹට පමණක් දෙවෙනිවන මීගමුව නගරය වානිජ්‍ය සහ වෙළදා අතින් කවදත් ඉදිරියෙන් සිටී. එහෙත් නත්තල් සමයේදී මෙම තත්වය දෙගුණ තෙගුණවේ. සෑම නත්තලකටම අළුත් දේවල් ගැනීමට පෙලෙබන මීගමුවේ ජනයා මීගමුව පෙරියමුල්ලේ පිහිටුවා තිබු ලංකා පිගන් කම්හල පැවැති සමයේ  දී සම්පුර්න පිගන් කට්ටල එහෙම් පිටින් මිලදී ගැනීමට අති මහත් උනන්දුවක් දැක්වූ බව මම මේ වසරේ මුල ලියූ 'මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල' යන ලිපියේ විස්තරකරන ලදී (එය මේ යොමුව ඔස්සේ කියවිය හැක)
අළුත් පිගන්වල උණු උණුවේ අලුතින් උයන 'නත්තල් බත' පිළිගැන්වීමට මීගමු ගෘහනියන් දැඩි කැමැත්තක් දැක්වුහ. නත්තල්ට කෑම සදහා පිලියල කරන කෑම බීම අතර විවිධ ක්‍රමයට පිළියෙළ කරන ඌරු මස්, හරක් මස් බ්ස්ටෙක්, මිරිසට උයන කුකුල් මස්, වම්බටු මොජු, විවිධ වර්ගවල අච්චාරු, හුරුල්ලෝ මාළු ස්ටුව, අල තෙල්දැමීම, ඉස්සෝ/කකුළුවෝ/දැල්ලෝ, පිසූ මාළු වර්ග, මිශ්‍ර තක්කාලි සලාද සහ කට්ලට් ආදිය කෑමට මීගමුවේ ජනයා දැඩි රුචිකත්වයක් දක්වති. නත්තලට මස් පිණිස ඌරන්, කුකුලන් හදන  නිවෙස්ද, වැඩි මාළු ජාඩිදමා නත්තලට ජාඩි මුට්ටි වශයෙන් සකසන නිවෙස්ද ( එය ලන්දේසින්ගෙන් මීගමු ජනයා උරුමකරගත් සම්ප්‍රදායකි),  අච්ච්රු මට්ටි පිළියෙළ කරන නිවෙස්ද, ඒ සදහා රා වලින් විනාකිරි පෙරා ගන්නා නිවෙස්ද, රා සහ පළතුරු යොදාගනිමින් නත්තලට අරක්කු පෙරාගන්නා පිරිස්ද (එය නත්තල් වඩිය ලෙස හැදින්වේ), තැඹිලිවලින් සහ ලොවි වලින් වයින් පෙරා ගන්නා පිරිස්ද එහි සිටී. විවිධ කේක්, විශේෂයෙන් නත්තල් කේක්, බිබිකන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, පුඩින් සහ බිස්කට් ආදියද  වෙනම පිලියල කර ගනිති. 
මුදල් ඇතොත්, ඕලන්දයෙන් ගෙන්වන Edam cheeseද, ඉතාලියේ සිට ගෙන්වන Panettone cakeද, පෘතුගාලයෙන් ගෙන්වන Port wine, ලිංගුස් සහ සොසේජස් වර්ගද, වියලි මස් සහ මස් තවරුම් (pate), හම්පර්වර්ග (hamper) විවිධ වර්ගයේ බීර, රටබීම වර්ග, සුරුට්ටු සහ සිගරට්වර්ග බ්‍රිතාන්‍ය යටත්විජිතයුගයේ සිට මීගමු ඇපොතිකරයෙන් (Negombo Apothecary) සහ මන්ත්‍රී සාප්පුවෙන්  මිලටගත හැකිව තිබුණි. 

අඩු අදායම් ලාබීන් පවා නත්තල සරුවට සැමරීමට වසරේ මල සිටම සැරසේ. එහිලා ඔවුන් සිදුකරනුයේ කිහිපදෙනෙකු එකතුකරගෙන නත්තල් සීට්ටුවක් දැමීමය. අන් සීට්ටු මෙන් නොව මෙම සීට්ටුව බඩු සීට්ටුවකි, මාස් පතා එකගවූ ලෙස මුදලක් එකතුකරන්නාට දුන්නද ඔහු ඒ එකතුකරන මුදල්වලට සරිලන ලෙස බඩු ලබාදෙන්නේ දෙසැම්බර් 20 පමණය. එමගින් නඩත්තුවෙන මුදලාලිලා කිහිපදෙනෙකු සිටිනවා සේම එමගින් හාල්, පොල්, මස්, මාළු, බිස්කට් කේක් කා, අරක්කු ටිකක් බී නත්තල් දිනය ඉතා ඉහලින් සමරන පවුල් රාශියක්ද මීගමුවේ සිටී. එමෙන්ම මීගමුවේ ඇති හැකි පවුල් සෑම එකක්ම පාහේ තවත් දිළිදු පවුලකට නත්තල වෙනුවෙන් කිසියම්ම හෝ උපකාරයක්, ත්‍යාගයක්දීමට අමතක නොකරයි. එය එක්තරා ආකාරයකට එය තම සතුට අන්අය හා බෙදා ගැනීමකි.


මේ සියල්ල අතරින්, ඒ සියල්ලටමත් වඩා පල්ලියට සහ ආගමට ප්‍රමුඛත්වයදීමට ඔවුහු කිසිවිටක අමතක නොකරති. වෙනත් කිසිදු දිනක පල්ලි නොගියද මීගමු කිතුනුවෝ නත්තලට, මහා සිකුරාදාට සහ පාස්කු ඉරිදාට පල්ලි යෑමට අමතක නොකරති. ඔවුහු තමන් සතු හොදම අදුම ඇද පල්ලි යති. පල්ලියේ මාධ්‍යම රාත්‍රී පුජාවට පල්ලි යන ඔවුන්, පාරදෙපස සෑම නිවසකම කුමන හෝ නත්තල් සැරසිල්ලක් දැකීමට සතුටුය. මාධ්‍ය රාත්‍රී පුජාව අවසාන වෙනවාත් සමග ඔවුහු පල්ලිය තුලම එකිනෙකා වැළදගනිමින්, එකිනෙකාට අත්තට අත දෙමින් එකින්එකාට සුභ පතති. නත්තලට සුභ පතති. රාත්‍රී පුජාව අවසාන වෙනවාත් සමග මුලු මීගමුව රතිඤ්ඤා සහ ගිනිකෙලි හඩින් ගිගුම්දේ. පාර දෙපස සිංහල මෙන්ම ඉංග්‍රීසිද නත්තල් ගීත ඇසීමෙන් අඩුවක් නැත. තරුණයෝ පාර දෙපස බබර චක්‍රනම්  ගිනිකෙළි විශේෂය පත්තුකරති. ඒ සියල්ල වින්දනය කරමින් නිවෙස් වෙත පැමිණන ඔවුහු නැවතත් පවුලේ සියළු දෙනාටම සුභ පතා ගනිති. කේක්, නත්තල් කේක්, බිබිකන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, බිස්කට් ආදි රස කැවිලි කා කළු කොපි බොති. ඉගුරු, කුරුදු සහ සුදුරැ මිශ්‍ර විශේෂ කළු කොපිවර්ගයක් බීමට මීගමු ජනයා යටත්විජිත යුගයේ සිට පුරුදුව සිටියහ. අනතුරුව ඔව්හූ නත්තල් තෑගී බෙදා ගනිති. වැඩිහිටියෝ පොඩි අඩියක් ගසති. තරුණයෝ වෙරල අද්දර අවන්හලකට ගොස් පාන්දර වෙනතුරු කා බී විනෝද වී එළිවෙන විට ගෙදර පැමිණ නිදාගනිති. මීගමුවේ වෙරල අද්දර අවන්හල්වල් බොහෝ අවන්හලවල් නත්තල් උදාවෙන දෙසැම්බර් 24 වෙනිදා රෑ එළිවෙනතුරුම විවෘතව පවතී. ඔවුහු  නැවත අවදිවන්නේ ගෙදර මස් මාළු උයන සුවද සිය නාස් පුඩුතුලට රිංගාගත් විටය. ඉන් අනතරුව එළබෙන නත්තල් දින මාධ්‍යහනයේදී  ඔව්හූ පවුලේ සියලු දෙනා සමග එක්ව දිවා ආහාරය භුක්තිවිදිති. නෑ ගෙවල්වල යෑම් ඒම්, එදින සවස්වරුවේ සිට ඊලග දින දෙක කිහිපයේම  යෙදේ. 

එවැනි නත්තලක් ඔබ  සැමට උදාවේවා !!!!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
23/12/16. 

*මෙම ලිපියේ මුලින්ම ඇති ජේසු උපත දැක්වෙන චිත්‍රය මීගමුවේ මහා සිත්තරාවූ, මීගමුවේ මයිකල් ඇන්ජලෝ ලෙස හදුන්වන, N.S. ගොඩමන්න ශූරින් විසින් මීගමුව මහවිදිය පල්ලියේ  පැති බිත්තියක 1942දී අදින ලද්දකි-photo credit goes to Mr.  Harin Amirthanathan.

Sunday, 18 December 2016

නිවුස්ටෙඩ් බාලිකාවට නතුවන මීගමුවේ උරුමයන්ගේ හෙට දවස කුමක්ද?


මීගමුව නිව්ස්ටෙඩ් බාලිකාව හෙවත් ඇතැම් පුවත්පත් නිවුස්ටෙඩ් බාලිකා විදුහල ලෙස හදුන්වන, වසර දෙසීයක (200) ඉතිහාසයකට හිමිකම් කියන, ලංකාවේ පැරණිම බාලිකා විදුහලවන, Newstead බාලිකා විදුහල සම්බන්දයෙන් මා මේ වසරේ ලියන අවසාන සටහනවන  මෙම සටහන තුල අන්තර්ගත කිරීමට අපේක්ෂා කරනුයේ එම විදුහල නතුකරගෙන ඇති ඇතැම් ඓතිහාසික වටිනාකම් කිහිපයක් පිලිබදව සාකච්ඡා කිරීමය. 

නත්තල උදාවන මේ සතියේදී මීගමුව මහත් උත්කර්ෂවත් ලෙස සමරන 'මීගමුවේ නත්තල' පිලිබදවත්, ඉඩ ලදොත් වසරේ අවසාන සතියේදී ශ්‍රී ලංකාවට සිංහල පුවත්පත් කලාවක් මුලින්ම හදුන්වාදුන්, මෙරට ප්‍රථම පුවත්පතවන, කිතුනුවන්ගේ 'ඥානාර්ථ ප්‍රදීපය'ට වසර 150 පිරිම සම්බන්දයෙන්ද ලිවීමට අපේක්ෂාකරමින් සිටී.  

උදාවන 2017 වසරේදී නිව්ස්ටෙඩ් බාලිකාව පිලිබදව තවත් සටහනක්ද, මීගමුවේ පාසැල් කිහිපයක් පිළිබදවද, මීගමුවට අයත් ගම් තුනක් සහ එහි ආගමික සිද්ධස්ථාන කිහිපයක් පිළිබද විස්තරද, මීගමුව මහනගර සභාව, මීගමුව කොටුව සහ මීගමුවේ තවත් ඓතිහාසික තොරතුරු කිහිපයක් පිලිබදවද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි. එහිලා  අවශ්‍ය බොහොමයක් කරුණු කරණා, ඡයාරූප ආදිය, දැනටමත් රැස්කරගෙන ඇති අතර ලැබෙන ඉඩප්‍රස්ථාවන් අනුව එම විස්තර මෙහි පලකිරීමට සිතා සිටී. 
  
කෙසේවුවද, අදාල මාතෘකාව සම්බන්ධයෙන් නැවත යොමුවීමේදී, මීගමුවේ නිව්ස්ටෙඩ් හෙවත් නිවුස්ටෙඩ් බාලිකා විදුහල සම්බන්දයෙන් මා මෙයට පෙර පලකල ලිපිවල දැක්වූ ලෙසම, 1816 දී ඉතා සීමිත සිසුන් පිරිසකගෙන් නිව්ස්ටෙඩ් විදුහල බිහිවනවිටත්, මීගමුවේ පෘතුගීසි පාලන සමයේ සිට ස්ථාපිතවූ, කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන ගිය පාසැල් කිහිපයක් තිබුණ බව සිහිකල යුතුය. එම පාසැල්  අද හදුනාගත නොහැකි ලෙස අතුරුදහන්ව ගොස් ඇත. එහෙත් මෙතෙක් සපයාගත හැකිවූ සීමිත මට්ටමින් මා සතුව දැනට ඇති තොරතුරු වලින් පවා පෙනීයනුවේ මීගමුවේ නිව්ස්ටෙඩ් විදුහල බිහිවනවිටත් මීගමු සාන්ත මරියා දෙමළ පාසැල (මෙය සාන්ත මරියා පිරිමි මහා විදුහල නොවේ) සහ වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් පාසැල යම් මට්ටමකින් පැවති බවය. එමෙන්ම ඒත්තුකාල, බෝලවලාන සහ පල්ලන්සේන යන ප්‍රදේශයන් හීද පාසැල් 03ක් පැවති බව පෙනේ. එහෙත් ඒම පාසැල් පැවතියේ කුමන මට්ටමකින්ද යන්න තවදුරටත් අධ්‍යනයකල යුතුය. පැහැදිලිවම ඒම පාසැල් කතෝලික සභාවට අයත්  විවිධ පැවැදි නිකායවල්වලින් ක්‍රියාත්මක කරමින් සිටි පාසැල්ය. 

මීගමුවේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති එම පාසැල් අභිබවා යමින්, ඒකී සෑම විදුහලකටම වඩා ශක්තිමත්ව, නොනැසී නැගී සිටීමට නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට හැකිවුයේ ඇයි? ඒ අන් කවරක් නිසාවත් නොව එංගලන්තයේ වෙස්ලියානූ මෙතෝදිස්ත සභාවේ අප්‍රතිහත දායකත්වයත්, නොමසුරු සහයෝගයත්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ ආශිර්වාදයත් නිසාමය. 

1821දී රොබට් නිව්ස්ටෙඩ් (Robert Newstead) පියතුමා මීගමුවෙන් ඉවත්ව යන විටත් පැරණි ඕලන්ද ගොඩනැගිල්ල හෙවත් මිෂන් හවුස් (Mission House) ගොඩනැගිල්ලත් තවත් පොල්අතු සෙවිලිකල කුඩා ගොඩනගිල්ලකුත් පමණක් උරුමව සිටි නිව්ස්ටේඩ් බාලිකා විදුහල Rigby පියතුමාගේ කාලයේදී තවත් කුඩා ගොඩනැගිලි දෙකක් සහ ගුරුවරුන් 06 දෙනෙක් සිටින පාසැලක් බවට පත්වන  ලදී. තවද 1850 සිට 1889 දක්වා කාලයේදී දෙවතාවක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිව්ස්ටේඩ් බාලිකා විදුහලට අරමුදල් ප්‍රධානයකර ඇති බව පසුව විදුහල්පතිවරයෙක්වු H. S. Sandford පියතුමා විසින් 1890 දී වෙස්ලියානු සභාවට යවන ලද ලිපියක සටහන්වේ (Wesleyans and the MMS: Wesleyan Missionary Notices (1816-1904)). ඒ වෙස්ලියානු සභාව විසින් වාර්ෂික දෙන  ලද ආධාර වලට අමතරවය. 

ශ්‍රී ලංකාව තුල අධ්‍යාපන ක්‍රමයක් ඇරබීමට 1833 දී Colebrooke–Cameron  ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නිර්දේශ කල බව අපි දනිමු. එහෙත් මීගමුව නිව්ස්ටේඩ් බාලිකා විදුහලට බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් දෙවතාවකදී අරමුදල් ලැබෙනුයේ ඉහතකී Colebrooke–Cameron ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියත්මකවීමේ ප්‍රථිපලයක් ලෙසදැයි  අපි නොදනී. එය වෙනම සොයාබැලීය යුත්තකි. කෙසේවෙතත්, නිව්ස්ටේඩ් බාලිකා විදුහලට යටත්විජිත පාලනයෙන් අරමුදල් සම්පාදනය කලේ නම් එය මීගමුව ප්‍රදේශයේ ජනයාගේ අධ්‍යාපනය සම්බන්දයෙන් යටත්විජිත පාලකයන්ගේ ඝෘඡූ මැදිහත්වීමක් ලෙස දැක්විය හැක. කෙසේවුවද එංගලන්තයේ මුල්බැසගත් වෙස්ලියානු මෙතෝදිස්ත සභාවේ දායකත්වය මෙහිලා සියල්ලටම වැඩියෙන් උපකාරවූ බව පැහැදිලිය. පෙරදිග ජනයාට යහපත් ජීවිතයක් අත්කර දීමටනම් ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක්  හිමිකර දීය යුතුයැයි විශ්වාස කල ඔවුන් ඒ සදහා දියත්කල වැඩපිළිවෙලේ එක් ඉතා සාර්ථක ජයග්‍රහණයක් ලෙස මෙම නිව්ස්ටෙඩ් බාලිකා විදුහල දැක්විය හැක. විශේෂයෙන්ම වෙස්ලියානු බැතිමතුන් තම තමන් පෞද්ගලිකව ඉපැයූ මුදල් මෙම වෙස්ලියානු දුත මෙහෙවරවල් සදහා පරිත්‍යාගකල අතර එය එම ජනයා සඉටුකල උදාර මෙහෙවරක් ලෙස සැලකිය හැක.

වෙස්ලියානු සභාවේ ආධාර ප්‍රමාණවත් නොවූ 1892 සිට 1917 දක්වාවූ කාලය තුල නිව්ස්ටේඩ් බාලිකා විදුහලට ඉතා දුෂ්කරකාලයක් උදාවීම තුල එම පාසැල සහ වෙස්ලියානු සභාව අතර පැවති සම්බන්ධය හොදින් කියාපායි. 1880න් පසු මීගමුවේ කතෝලික පාසැල්වල නැවත පිබිදීමත්, පැරණි සහ අළුත් කතෝලික පාසැල් ශක්තිමත්ව ඉදිරියට ඒමත් සමග ආර්ථික දුෂ්කරතාවයන්ට පත්ව සිටි  නිව්ස්ටේඩ් බාලිකා විදුහලට විශාල තරගයකට මුහුණදීමට මගපෑදුහ. මීගමු සාන්ත මරියා පිරිමි විදුහල මහවීදිය පල්ලිය මුල්කරගෙන 1871 දී ඇරබීමත්, වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් සහ මහවීදිය දෙමළ කතෝලික පාසැල් නවීකරණයවීමටත් සමග මීගමුව නගරය අවට  විශාල සිසුන් පිරිසක් ඒවාට ඇදීයාමත ඒ සමග සිදුව තිබේ. කතෝලික පල්ලියේ විශාල අනුග්‍රහයක් ලැබූ එම පාසැල් ඉදිරියට පැමිණීමත් සමගය නිවුස්ටෙඩ් විදුහලට බැදෙන සහ පැමිණෙන සිසුන්ගේ විශාල අඩුවීමක්ද දැකිය හැකිවිය. 

මේ තත්වය තුල නිවුස්ටෙඩ් විදුහලට තවදුරටත් නොනැසී ඉදිරියෙන් ඉදිරියට යෑම සදහා එම විදුහලේ පාලක සභාවවූ වෙස්ලියානු මෙතෝදිස්ත සභාව විසින් වැදගත් තීන්දු කිහිපයක් ගෙන තිබේ. ඉන් පළමු වැන්න කාන්තා අධ්‍යාපනය සදහා ප්‍රමුකත්වයක් දීමය. දෙවැන්න මෙතෙක් සිටි විදුහල්පති පියතුමෙක් වෙනුවට විදුහල්පතිනියක් පත්කර ගැනීමය. ඒ අනුව 1902 දී C. H. Ward මැතිනියද, 1910 දී Lawrence මැතිනියද,  1911 දී Laura  මැතිනියද පත්කරණ ලදී. ඒම විදුහල්පතිනියන් බොහොමයක්  මීගමුව වෙස්ලියානු මෙතෝදිස්ත සභාවේ සේවයකල පියතුමන්ලාගේ පවුලේ සාමාජිකයන්මද විශේෂය. කෙසේවුවද ඉහතකී වෙනස්කම් දෙකේ නියම ප්‍රථිපල අත්කරගැනීමට

ලැබෙනුයේ 1914දී C De Vos මැතිනිය  විදුහල්පතිනිය ලෙස පත්වී මත් සමගය. ඇය ලංකාවේ  ප්‍රථමවරට ගෘහ විද්‍යාව (Home science) විෂයක් ලෙස ඉගැන්වීම මීගමුව  නිව්ස්ටෙඩ් බාලිකාවෙන් අරබන ලදී. ඒ වනවිටත් නිව්ස්ටෙඩ් විදුහල ලංකාවේ පළමු නේවාසික බාලිකා විදුහල බවට වාර්තාගතවී හමාර (first girls boarding school)වී  තිබුණි. අදටද ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගෘහ විද්‍යාව (Home science) විෂයක් ලෙස ඉගැන්වීම සදහා භාවිතා කල මෙවෙලම් එම විද්‍යාලය සතුබව වාර්තාවේ. Douglas Allen (1992) විසින් සංස්කරණයකල 'Religion and political conflict in South Asia' කෘතියේ එන 'Western Women Construct the Eastern Wife and Mother'  රචනයේ සදහන් කරුණු කෙතරම් ප්‍රත්‍යක්ෂද, තාර්කිකද, යන්න නැවත නැවත ඔප්පුකරනුයේ C De Vos මැතිනියගේ සිසුවියක්වූ ඩොරීන් පීරිස් මැතිනිය ලංකාවේ ප්‍රථම ඉවුම්පිවුම් පන්ති ඇරබීමත් සමගය. ඒ සම්බන්දයෙන් ඇය 1964 දී පොතක්ද පලකර තිබේ.



කෙසේවුවද නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ ස්වර්ණමය යුගය ඇරබෙන්නේ
1917දී A.D. Dixon  මැතිනිය මෙම විදුහලේ විදුහල්පතිනිය  ලෙස පත්වීමත් සමගය. 1917 සිට 1942 දක්වා වසර 25ක කාලයක් මෙම විදුහලේ  විදුහල්පතිනිය ලෙස කටයුතුකරන ඇය නිව්ස්ටෙඩ් බාලිකාවේ කීර්තිය බොහෝ ලෙස ඉහලින් ඔසවා තැබූ තැනත්තියක් පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රකට කාන්තා පාසැල්වල ත්‍යාග ප්‍රධාන උත්සව වලට නිතර ඇරයුම් ලැබු තැනැත්තියක් බව මම මීට පෙර ලියූ 'ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය' (එය මෙතනින් කියවිය හැක) සදහන් කළේය.  ඇයට එම තත්වය හිමිවනුයේ ඇය නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ සංවර්ධනයටත් ලංකාවේ කාන්තා අධ්‍යාපනය නගාසිටුවීමටත් කල සේවය නිසාය. නිව්ස්ටෙඩ් විදුහලේ වර්තමාන විදුහල් ලාංචනය, විදුහලේ ටයි පටිය (necktie),  නිව්ස්ටෙඩ් විදුහල් පාඨය ('More Beyond') පමණක් නොව විදුහලේ බොහෝ ගොඩනැගිලි පවා ඉදිවෙනුවේ මෙම යුගයේය. ඇය හදුන්වාදුන් ටයි පටිය එවකට යුරෝපයේ පැවති ප්‍රධාන මෝස්තරයක් ඇසුරින් බිහිවූ බව වාර්තාවේ. ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය යෝධ පියවරක් තැබූ අතර නිව්ස්ටෙටඩ් විදුහලට මුස්ලිම් බාලිකාවන් ඇතුල්කරගනීමට ඇය ක්‍රියාකර තිබේ. ඇයගේ පාලන කාලය තුල මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල විසින් බටහිර සම්භව්‍ය සංගීතය විධිමත් ලෙස හැදැරූවුන් ගනනාවකින් යුතු නව පරපුරක් බිහිවිය. ඒ අතර Lorna Modder මැතිනියගේ ප්‍රමුකත්වයෙන් බිහිවූ ගයනා කණඩායම (choir) සහ බෑන් කණඩායම විශේෂයෙන්ම සදහන් කල හැකිය. එමෙන්ම  ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක ප්‍රකට ඔපෙරා ගායිකාවක්වූ Danielle de Niece මැතිනියගේ ප්‍රකට  De Niece මිත්තනිය පවා බිහිවන්නේ එම ව්‍යායාමයේ ප්‍රතිපලයක් ලෙසය. 

1960 වනවිට මීගමුවේ 'ලංසි ස්කොලේ' යනුවෙන් විවිධ ලෙස හදුන්වාදුන් මෙම විදුහල 1962 දී රජයට පවරාගත් අතර ඉන් අනතුරුව එය ක්‍රමයෙන් දේශීයකාරණය කිරීම සදහා Clarice De Mel (1962 - 1975) මැතිනිය යටතේ ක්‍රමයෙන් පෙළගැසුන බව පෙනේ. මේ අර්ථයෙන් ගත්කල මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල යනු ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යපනයේ සුවිශේෂ පැතිකඩක් කියා පාන ජීවමාන විද්‍යාගාරයකි. 

එපමණක් නොව මෙම විදුහල සතු පැරණි ගොඩනැගිලිද රාශියක්වේ. ඒ ඒ අතර මිෂන් හවුස් ගොඩනැගිල්ල, ගෘහ විද්‍යා ගොඩනැගිල්ල ආදිය පමණක් නොව මීගමුව මහනගර  සභාවට අයත්ව තිබු, මීගමුවෙන් රාජ්‍ය මන්ත්‍රන සභාව තේරීපත්වූ, 1941 දී කෘෂිකර්ම සහ ඉඩම් ඇමතිවරයාවූ D.S. සේනානායක මහතා  විවෘත කල මීගමුවේ පැරණි නගර සභා ගොඩනැගිලිද, මීගමුව පැරණි මහ අධිකරණ ගොඩනැගිල්ලදවේ. මේ සියල්ල කඩාබිදදමා තවත් සිසුන් ඇතුල්කරගැනීම වෙනුවෙන් නවගොඩනැගිලි පද්ධතියක් ඉදිකරයි දෝ යන සැකය අප තුලවේ.

එහෙත් නිවුස්ටෙඩ් විදුහල සතු මේ සියල්ල අනාගත පරපුරටද දැක බලාගත හැකි ලෙස පැරණි ගොඩනැගිලිවලින් එකක් හෝ කෞතුකාගාරයක් බවට පත්කරන්නේ නම් මැනවි.







මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/12/16.

Wednesday, 7 December 2016

කාදිනල්තුමෙනි, නත්තල් ගස ඇලකර නත්තල අල කරමුද ?


ඉහත චිත්‍රයෙන් දැක්වෙනුවේ 8වන සියවසේදී ජර්මනිය තුල ක්‍රිස්තියානි ධර්මය පැතිරවූ ශාන්ත බොනිෆස් තුමා (St. Boniface) ජර්මනියේ Geismar පළාතේ එවකට සිටි පැරණි ආගම් (pagan religion) ඇදහු ජනකොටස් ශීත කාලයේදී බිලිපුජා පවත්වා තෝර් දෙවියන් (god Thor) වන්දනාමාන කල  Thunder Oak ගස කපාදමන අන්දමය. එම ගස කපා තෝර් දෙවියන්ට (god Thor) අභියෝග කල ශාන්ත බොනිෆස්තුමා (St. Boniface) කෑලි හතරකට කඩා වැටුණු Thunder Oak ගසට යටනොවී බේරුණු හොදින් වැඩෙමින් තිබු දේවදාර ගසක් (fir tree) ගෙන  "This little tree, a young child of the forest, shall be your holy tree tonight. It is the wood of peace, for your houses are built of the fir. It is the sign of an endless life, for its leaves are ever green. See how it points upward to heaven. Let this be called the tree of the Christ-child; gather about it, not in the wild wood, but in your own homes; there it will shelter no deeds of blood, but loving gifts and rites of kindness.."  යැයි කියමින් නුතන නත්තල් ගස පිළිබද කථාවට මුල පිරූ බව  කියවේ. 

ගිය වසරේ විශේෂ නිවේදනයක් නිකුත්කල ශ්‍රී ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්වරයා ජේසුතුමාගේ උපත සමග සම්බන්ද නැති නත්තල් ගස් ලංකාවේ පල්ලි ඇතුලට නොගන්නා ලෙස ඉල්ලා තිබුණි. එහෙත් එම නිවේදනය නිකුත්කරන විටත් කතෝලික පල්ලියේ මූලස්ථානයවන වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට දැවැන්ත නත්තල් ගසක් ඉතා අලංකාර ලෙස සරසා දිදුලමින් තිබුණි.  

දැන් මේ වසරේ ලෝකයේ උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට ගිය නත්තල් ගස ලංකාවේ ගාලුමුවදොර පිටියේ ඉදිකිරීමට ගත් උත්සාහය මැල්කම් රංජිත් කාදිනල්වරයා විසින් විවේචනය කර තිබේ. එය නාස්තිකාර වියදමක් බවත් එම මුදල් ලංකාවේ දිළිදන් වෙනුවෙන් යොදවන්නේ නම් වඩා යහපත් බවත්, දැන් හෝ එම කටයුත්ත නවත්වා එම මුදල් දිළින්දන් වෙනුවෙන් යොදවන්නේ නම් හොද බවත් ඔහු ඊයේ (06/12/16) කියනු ඇසුවෙමි. ඒ අනුව එම නත්තල් ගස කියූ පරිදි ඉදිවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත. කාදිනල්තුමාගේ ප්‍රකාශයට අනුව මෙම නත්තල් ගස ඉදිකිරීම නාස්තිකාර, නිස්කාරන වියදමකි. අනෙක, මෙම කටයුත්ත සම්බන්දයෙන් ලංකාවේ කතෝලික සභාවේ කිසිදු සම්බන්දයක් නැති බවත් ඒ සම්බන්දයෙන් තමාගේ කිසිදු විමසීමක් සිදුකර නොතිබි බවත් දක්වන ලදී. 

ලෝකයේ උසම නත්තල් ගස යැයි කියමින් වරාය ඇමති අර්ජුන රණතුංග පදනම මගින් තනන්නට යන නත්තල් ගස සම්පුර්ණයෙන් ඔහුගේ නම ඉස්මතුකරගැනීමේ ක්‍රියාවක් බව පැහැදිලිය. එමගින් වරාය ආධිකාරියටවත්, ශ්‍රී ලංකාවටවත්,  ලාංකීක කිතුනු ප්‍රජාවටවත් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවේ. අනෙක් අතට ගිනස් වාර්තාව පිහිටවීමට හැකිවේද? ඒ කෙතෙක් කාලයකටද ? එම ගිනස් කමිටුව ජාත්‍යන්තර වශයෙන් පිළිගනීද යන්නද සැකසහිතය. මන්දයත් දැනටමත් එහි කටයුතු සහ ප්‍රගතිය සම්බන්දයෙන් නීරීක්ෂණ මට්ටටමින් හෝ ගිනස් කමිටුව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. කරන්නන් වාලේ කටයුතු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්තා තිබීමට නොහැක. ඒ සදහා නියමිත ක්‍රියාවලිය අනුගමනය කල යුතුය. මෙම නත්තල් ගස නිසා අගනුවර හෝ ලංකාවේ කිසිම තැනක නත්තල් සමරුවකට හෝ ලංකාවේ සමරන නත්තලට  විශේෂ ආලෝකයක් හෝ වැදගත්කමක් හිමිවෙන්නේද නැත. සිදුවිය හැක්කේ ලෝකයේ ලොකුම, ප්‍රථම, එකම, උසම, විශාලතම ආදී ලෙස දේවල් කරනවා යැයි සිතමින් මනෝ වින්දනයක් ලැබීමට කැමති ලාංකීකයන්ගේ මන-දොළ සපිරීම පමණි. 

එහෙයින් ලෝකයේ උසම නත්තල් ගස යැයි කියන නත්තල් ගස ලංකාවේ ගාලුමුවදොර පිටියේ ඉදිකිරීමට ගත් උත්සාහය මැල්කම් රංජිත් කාදිනල්වරයා විසින් විවේචනය කර තිබීම නිවැරදිය. එම මුදලින් දිළිදුන්ට යම්  සේවයක් සැපයිය හැක. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම කතෝලික පල්ලිය සහ වෙනත් ක්‍රිස්තියානි සභා දිළිදුන්ට සෙත සැලසීම වැනි මහත් උදාර සමාජ සේවාවල නිරතවේ. එය ඉතා ඉහලින් අගය කල යුත්තකි. එහෙත් එවැනි සමාජ සේවා සැපයිම මගින් පමණක් සමාජයේ දිළිදුකම පිටු දැකිය නොහැක. එහිලා පවත්නා ආර්ථික-සමාජ ව්‍යූහය වෙනස් කල යුතුය. ඒ සදහා කතෝලික පල්ලියටවත්, වෙනත් ක්‍රිස්තියානි සභාවලටවත් පොදුවේ කිසිදු ආගමකටවත් සංයුක්ත වැඩ පිළිවේලක් නැත. කෙසේවුවද ක්‍රිස්තියානි ඉගැන්වීම තුල දිළිදුකම විවිධ ලෙස අර්ථ දක්වන බවද අමතක නොකල යුතුය. එය වෙළද පොළ ආර්ථිකය තුල ආර්ථික දිළිදුකම හෙවත් ක්‍රය ශක්තිය හීනවීම මෙන්ම  තම වැරදි ගැන මනස්ථාපනයවී දෙවියන්වෙතට හැරීමද දිළිදුකමක් ලෙස (සිතින් දිළිදුකම) ක්‍රිස්තියානි ආගම දක්වයි. මෙම නත්තල් කාලයේ ජේසුතුමාගේ උපත සමරන ඔවුන් ඉල්ලා සිටින්නේ තම වැරදි ගැන මනස්ථාපනයවී දෙවියන් වෙතට හැරීමට මුල්තැන දෙන ලෙසය.  ඔවුන්ගේ ආගමික ඉගැන්වීම තුල ඔවුන් බලාපොරොත්තු වන්නේ එය වුවද නත්තල යනු එසේ ජේසු උපත හා පමණක් බැදී හුදෙක් පරම ශුද්ධ නිර්මල දෙයක් නොවේ.

ඇත්තවශයෙන්ම කිවහොත් නත්තල යනු ජේසුතුමාගේ උපත සැමැරීම කේන්ද්‍රකරගත්  ගෝලීය සංස්කෘතික උත්සවයකි. ඒ මක්නිසාද යත් ක්‍රිස්තියානි ආගමේ ශුද්ධවූ ලියවිල්ලවන බයිබලයේ කිසිදු තැනක ජේසුතුමා උපන්නේ කුමන මාසේ කුමන දිනයක වේදැයි නොදක්වන අතර ජේසුතුමාගේ උපතක් සැමැරීම සිදුකල යුතු යැයි දැක්වීමක්ද සිදුකර නොමැත. ජේසු තුමාගේ උපත උත්සවාකාරයෙන් සැමැරීම පසුකාලයකදී ක්‍රිස්තියානි ආගම ජනප්‍රිය කරවීමේ ව්‍යායාමක් ලෙස ඉදිරියට පැමිණි දෙයකි. එය දෙසැම්බර් 25වෙනි දින සිදුකිරීම බොහෝදුරට පැරණි යුරෝපයේ ජනයාගේ වර්ෂ අවසාන ශීතකාලයේ ඔවුන් පවත්වාගෙන ගිය පැරණි දෙවිවරුන්(pagan gods) නැමදීම් වෙනුවට ආදේශ කිරීමක් ඔස්සේ බිහිවුවකි. 

කලින් සදහන් කලලෙස ශාන්ත බොනිෆස් තුමා (St. Boniface) ජර්මනියේ Geismar පළාතේ ජනයා වන්දනාමාන කල  Thunder Oak ගස කපාදමා ඒ වෙනුවට දේවදාර ගස (fir tree)  නව හරයක් ඔස්සේ හදුන්වාදුන් ලෙසම පැරණි රෝමානු ජනයාගේ Saturnalia දෙවියන් සැමරීමට වාර්ෂිකව පවත්වාගෙන ගිය උත්සවය වෙනුවට ජේසු උපත සිහිකරමින් නත්තල් උත්සවයක් හදුන්වාදුන් බව ක්‍රිස්තියානි ආගමික ඉතිහාසය ගැන අධ්‍යනය කල තැනැත්තන් දනිති. ඒ වෙනත් පැරණි ආගම් ඇදහු ජනයා (pagan) ක්‍රිස්තියානි ආගමට ඈදා ගැනීමටය. එසේ ඔවුන් ක්‍රිස්තියානි ආගමට ඈදා ගැනීමේදී ඔවුන් පමණක් නොව ඔවුන් එතෙක් ඇදහූ පැරණි ආගමික (pagan) චාරිත්‍රවලින්  තෝරාගත් දේවල් රාශියක්ද ක්‍රිස්තියානි ආගමට ඇතුල්කරගත් බව සත්‍යකි. එය ක්‍රිස්තියානි ආගමට විශ්වීය ලක්ෂණයක්, පොදු බවක් අත්කර දෙනලදී. මෙසේ ක්‍රිස්තියානි ආගමට ඇතුල්කරගත් පැරණි ආගම්වලින් (pagan) උකහාගත් දේවල් අතර නිරාගින්න (hellfire), ශුද්ධවූ ත්‍රිත්වය (Holy Trinity), දේව අම්මා (Mother goddess) ආදිය මෙන්ම නත්තල් උත්සවයදවේ. 

ඒ අතරින්  නත්තල් උත්සවය සෙසු සෑමදෙයක් අතරින්ම වඩාත් ජනප්‍රිය ක්‍රිස්තියානි අංගයවිය. ප්‍රේමය, සමාව, සහෝදරත්වය, ආත්ම පරිත්‍යාගය සහ විශ්වාසය තුල නව ජීවිතයක් ගැන දේශනා කල ජේසුතුමාගේ උපත සමරන නත්තල් උත්සවය තවත් එක් විශිෂ්ඨ ආගමික නායකයකුගේ හෝ උදාර මිනිසෙකුගේ උපතක් සැමරීමකට සීමා නොවී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ ප්‍රධාන ආගමීක උත්සවය වන්නේද, ලෝකයේ ප්‍රධාන සංස්කෘතික ධාරාව බවට පත්වන්නේද එම උපත උත්කර්ෂවත් ලෙස සැමරීම සදහා නත්තල් ගස්, නත්තල් සැරසිලි, නත්තල් ගායනා, කැරොල්, නත්තල් සීයා, නත්තල් සුභ පැතුම්පත්, නත්තල් ඉටිපන්දම්, ගවලෙන්, නත්තල් කේක්, මෝල්ඩ් වයින්, නත්තල් කඩපිල් ආදී විවිධ ජනකණ්ඩායම්වලට අයත් පැරණි මෙන්ම අළුත් චාරිත්‍රවාරිත්‍ර රාශියක් එකතු කරගැනීම තුලය. 

නත්තල් උත්සවය හා බැදී එම ගෝලීය ලක්ෂණ ඉවත් කර හුදෙක් දේව පුත්‍රයාගේ ආගමනය සිහිකිරීමට පමණක් සීමාවූයේනම් ක්‍රිස්තියානි ආගම විශ්වීය ආගමක් බවට පත්නොවී Igbo Jew වැනි තවත් යුදෙව් ආගමේන් බෙදීගිය ආගමක් පමණක් බවට පත්වීමට ඉඩ තිබුණි. මෙම සත්‍ය කතෝලික සභාවද, මැල්කම් රංජිත් කාදිනල්වරයාද, හොදින් පුහුණුව ලැබූ කතෝලික පුජකයන්ද හොදින් දනී. එහෙත් දේශීය තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා ශ්‍රී ලංකාව කතෝලික සභාව දක්වන අතිමහත් උනන්දුව තුල ඉහත කතෝලික ආගමේ විශ්වීය ලක්ෂණයන් බරපතල ලෙස අභියෝගයන්ට ලක්වෙමින් පවතින බව මගේ හැගීමයි. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේද නත්තල් ගස ගැන කාදිනල්තුමා දැක්වූ ප්‍රතිචාරයත්, මරදාන ශා. ජෝසොප් විදුහලේ දරුවන්ගේ මවුවරුන්ට ඇදිය යුතු ඇදුම් ගැන උපදෙස්දීමට දැන්වීම් පුවරු සවිකිරීමත්, කතෝලික පුබුදුව සංවිධානය ඇසුර ඔස්සේ බිහිවූ පුජකවරුන් පල්ලියට පැමිණෙන ජනයාට සුදු ඇදුමින් තොරව පැමිණීම තහනම් කිරීමත් ආදිය මගේ ඉහත නිගමනයට හේතුවවේ. ශ්‍රී ලංකාව තුල  බෞද්ධ ආගම තුලට හින්දු ආගම ඇතුල්වී කර ඇති අවුලට සමාන අවුලක් විශ්වීය කතෝලික ආගම  දේශීය තත්වයන්ට අනුව හැඩගස්සවා ගැනීමට ගොස් සිදුකරගැනීමට ආසන්න දැයි සිතෙනවාර අනන්තය. 

'නත්තල් ගස ඇලකර නත්තල අල කරමුද?' යන්නෙන් මම විමසා සිටියේ කුමක්දැයි මේ කරුණු කරණා පදනම් කරගනිමින් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/11/2016

Friday, 2 December 2016

පිදෙල් කැස්ත්‍රෝට ආගමෙන් ගැලවීමක් වීද?

පිදෙල් කැස්ත්‍රෝගේ  මරණයෙන් පසු ඔහු ගැන බොහෝදේ සිංහල පාඨකයාට කියවීමට ලැබී ඇත. ඔහු පෙරමුණ ගත් කියුබානූ විප්ලවය පිලිබදවත්, ඔහුගේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ක්‍රියාකාරීත්වය පිලිබදවත්,  ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔහුට සහ කියුබාවට එල්ලවූ මාරාන්තික තර්ජන පිලිබදවත්, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනය ගැනත්, තවත් බොහෝදේ ගැනත් ඒ අතර වේ. එහෙත් පිදෙල් කැස්ත්‍රෝ සහ ආගම අතර තිබු සම්බන්දය කොයි ආකාරාවීදැයි විමසා බැලීමක් එම ලිපි ඔස්සේ සිදුකර නොතිබුණි. සිංහල පාඨකයන් අතරින් විශාල පිරිසක් ආගම් සහ ආගමික ඇදහීම පිලිබදව උනන්දුවක් දක්වන්නන් වන නමුත් පිදෙල් කැස්ත්‍රෝ පිලිබදව ලිවීමේදී ඒ සම්බන්ධයෙන් අවදානයක් යොමුකර නොතිබුනේ ඇයි යන්න පුදුමයට කරුණකි. එය ඇතැම් විට 'කොමිනියුස්ට්කාරයන්ට ආගමක් නැතැයි' යන ප්‍රකට උපකල්පනය කැස්ත්‍රෝටද ආදේශ කිරීම නිසාද? නැතහොත් කැස්ත්‍රෝගේ ජීවන චරිතයට ආගම සම්බන්ද කිරීම නොසලකා  බැලිය යුතු දෙයක් ලෙස සැලකු නිසාද? නැතිනම් ඒ පිලිබදව කිසිවක් නොදැන සිටීම නිසාද? යැයි මම නොදනිමි. එහෙත් මගේ කියවීමට අනුව නම්  පිදෙල් කැස්ත්‍රෝ යනු සිය ජීවිතකාලය පුරාම ආගම සමග පොර බැදූවෙක් වන බවයි.

විශේෂයෙන්ම ආගම ඇදහූ, එහි වත්පිළිවෙත් අනුව ජීවත්වූ, සිය දරුවන්ට දැඩි ආගමික පසුබිමක් යටතේ හික්මීම සහ අධ්‍යාපනය ලබා දියයුතු යැයි විශ්වාස කල පවුලකින් පැවැත එන්නෙක් ලෙසද, සිය ජීවිතයේ සැදෑ සමයේ නැවත (යම් තාක්දුරකට) එවැනිම පවුලක ජීවත්වූ කෙනෙකු ලෙසද පිදෙල් කැස්ත්‍රෝට සිය ජීවිතයේ පරිච්චේද දෙකකදී ආගම සමග පැහැදිලිවම කටයුතු කිරීමට සිදුව තිබුණි. 

විශේෂයෙන්, Louis Althusser ගේ For Marx (1965) කෘතීයේ ව්‍යුහගත ආකෘතිය යොදාගනිමින් Althusser විසින් කාල් මාක්ස් ගේ බුද්ධිමය ජීවිතය ව්‍යුහාත්මකව අධ්‍යනය කළ ලෙස පිදෙල් කැස්ත්‍රෝගේ  දේශපාලන ජීවිතයද එවැනි විශ්ලේෂනාත්මක අධ්‍යනයක් ඔස්සේ විමසා බැලුවහොත් පිදෙල් කැස්ත්‍රෝ සහ ආගම අතර තිබු සම්බන්දය වඩා ගැබුරින් හෙළිදරව් වනූ ඇත. කෙසේවුවද කැස්ත්‍රෝ සහ ආගම අතර පැවති සම්බන්ධය කවරාකාර වීදැයි ඔහුගේ ජීවිතය පරිච්චේද 03ක් ඔස්සේ සලකා බැලිමෙන් යම් අවබෝධයක් ලැබිය හැකි බව  පෙනේ. ඒ අනුව

1. හැදෙන වයසේ කැස්ත්‍රෝ කෙනෙකු 
2. විප්ලවවාදී තරුණ කැස්ත්‍රෝ කෙනෙකු සහ 
3. මහළු වයසේ කැස්ත්‍රෝ කෙනෙකු 

ඔහුගේ දේශපාලන ජීවිතය තුල හදුනාගත හැකිවේ. හැදෙන වයසේ කැස්ත්‍රෝ සහ මහළු වයසේ කැස්ත්‍රෝ පැහැදිලිවම ආගම සමග සම්බන්ධයක් ඇති, ආගමික ඉගැන්වීම් සිය ජීවිතය සමග සම්බන්ද කරගැනීමට හෝ නැවත නිර්වචනය කරගැනීමට උත්සහ දැරුවෙක් වේ. එහෙත් විප්ලවවාදී තරුණ කැස්ත්‍රෝ ආගම ප්‍රතික්ෂේප කරන, පල්ලියට එරෙහි, පල්ලි සහ එහි ආයතන ව්‍යුහය අභියෝගයට සහ විනාශයට ලක්කරන  තැනැත්තෙකි. 

පිදෙල් කැස්ත්‍රෝ උපත ලබන කියුබාවේ ජනග්‍රහණයෙන් 60% කතෝලිකයන්වූ අතර වෙනත් ක්‍රිස්තියානි කණඩායම් ඇතුළුව එරට ජනග්‍රගනයෙන් දළ වශයෙන් 75%ක් පමණ පිරිසක් ක්‍රිස්තියානි ආගම ඇදහු රටක්විය. කැස්ත්‍රෝද නිල වශයෙන් භෞතීස්ම වූ තැනැත්තෙක් වේ. ඔහු සිය ප්‍රාථමීක, ද්වීතීය පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා ඇත්තේ ජේසු නිකාය (Society of Jesus/Jesuits) නම් රැඩිකල් නමුත් දැඩි  කතෝලික  ආයතනවලිනි. ඇත්ත වශයෙන්ම කැස්ත්‍රෝ මාක්ස්, ලෙනින් , එංගල්ස්  ආදීන්ගේ අදහස්වලට යොමුවීමට පෙර ඔහු සිය සිත යොමුකර තිබුනේ ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා (Ignatius of Loyola) සහ ෆ්‍රැන්සිස් සේර්විස්(Francis Xavier)  ආදීන්ගේ ඉගැන්වීම් වෙතය. එහෙත් ඒ සියල්ල තුල ප්‍රධාන වශයෙන් අවධානයට යොමුකළ දෙයක්විය. ඒ දිළිකම/දිළින්දන්(poverty) සහ පීඩිතයන් (oppressed peoples) ආදිය. ජේසු නිකාය (Jesuits) දිළිකම සහ දයාවේ සේවය වෙනුවෙන් කැපවීම තුල විමුක්තිය සේවුවන් වේ. විශේෂයෙන් ජේසු නිකායට සම්බන්ද බොහෝ පුජකයන් ඒ කාලය වනවිටත් දකුණු ඇමරිකාව තුල හිස ඔසවමින් තිබු විමුක්ති දේව ධර්මය (Liberation Theology) පිළිබද මුල් කාලීන කතිකාවන්වල යම් ආභාෂයක් ලැබුවන්විය. ඔවුන් ඒ ඔස්සේ කතෝලික ආගමික ඉගැන්වීම ඉතාමත් රැඩිකල් ආකාරයකට පරිවර්තනය කර තිබුනි. පිදෙල් කැස්ත්‍රෝ මේ සියල්ලේම අභාෂය ලැබුවෙක් බව ඔහුගේ චරිතා ප්‍රධාන කිහිපයකම දැක්වේ. ඇත්ත වශයෙන්ම පිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රථම දේශපාලන පක්ෂය වන්නේද 'කියුබානු ඔර්ත්ඩොක්ස්' (Partido Ortodoxo) පක්ෂය නම් ජාතිකවාදී, වාමවාදී, ක්‍රිස්තියානි සහ ස්පාඤ්ඤ සංස්කෘතික අනන්‍යතාවය සහිත පක්ෂයකි. එහෙත් 1949 වන විට කැස්ත්‍රෝ 'කියුබානු ඔර්ත්ඩොක්ස්' පක්ෂයේ වාමගාමීන්ගේ කොටසට තල්ලුවී තිබිණි. මාක්ස්-ලෙනින්වාදී ලිපිලේඛන සහ වෙනත් කොමිනියුස්ට්වාදී ක්‍රියාකාරීන් සමග අදහස් හුවමාරුව ඔස්සේ කැස්ත්‍රෝ මාක්ස්වාදීයෙකු බවට ක්‍රමයෙන් පත්ව, 'කියුබානු ඔර්ත්ඩොක්ස්' පක්ෂය විතැන්කරමින් මොන්කාඩා (Moncada Barracks attack) ප්‍රහාරයට නායකත්වය දෙන  'The Movement' සංවිධානය බිහිකිරීමත් එක්තරා ආකාරයකින් කැස්ත්‍රෝගේ ජීවිතයේ එක් කාල පරිච්චේදයක් අවසන් කල ( Louis Althusser ගේ For Marx හී මාක්ස් සම්බන්දයෙන් භාවිතා කරන ආකාරයේ) epistemological break ලෙස දැක්විය හැකි ( හෝ නොහැකි)  තත්වයක් ලෙස සැලකීමට පුළුවන. 

එය පල්ලිය,ජේසු නිකාය, ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා, ෆ්‍රැන්සිස් සේර්විස් ආදීය අරක්ගත්  (හැදෙන වයසේ) කැස්ත්‍රෝගේ ජීවිතයේ එක් යුගයක් අවසන් කළේය. 

අනතුරව එළබි කැස්ත්‍රෝගේ  විප්ලවවාදී ජීවිතයේදී ඔහු ආගම ප්‍රතික්ෂේප කළේය. 2007  New York Times (11 March) ලිපියකට අනුව මොන්කාඩා  ප්‍රහාරයෙන් අනතුරුව සිරගතව සිටි කැස්ත්‍රෝ සමග ජේසු නිකායික පුජකයන් සම්බන්දතා පවත්වා තිබුනි. නමුත් කැස්ත්‍රෝ මෙක්සිකෝවේ සිට සිය ගරිල්ලා හමුදාව ගොඩනගමින් සිටි අවධියේ සිට ජේසු නිකාය සහ  කතෝලික පල්ලිය සමග ඔහුට තිබු සම්බන්දය අවසන්වී තිබේ. එයට හේතුව වී ඇත්තේ කතෝලික පල්ලිය සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කල නිසා බව දැක්වේ. පල්ලිය කැස්ත්‍රෝගේ සන්නද්ධ අරගලයට මෙන්ම කියුබානු විප්ලවීය ලේ සෙලවීම්ද ප්‍රතික්ෂේප කළේය. එහෙත් කැස්ත්‍රෝගේ ප්‍රතිචාරය වුයේ කතෝලික පල්ලිය ස්පාඤ්ඤයේ සහ වතිකානුවේ අවශ්‍යතා මිස කියූබාවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින බවයි. කියුබානු විප්ලයෙන් පසු බොහෝමයක් පල්ලි සහ ඔවුන්ගේ ආයතන වසාදමන ලදී. නත්තල් උත්සවය ඇතුළු සියළු ආගමික නිවාඩු අවලංගු කළේය. රාජ්‍ය ඒහික (atheist) රාජ්‍යයක් බව ව්‍යවස්ථාගත කළේය. එහෙත් සීමිත මට්ටමින් හෝ පල්ලිය ක්‍රියත්මක විය. ඔවුන්ගේ හඩ නැවත ඇසෙන්නට වුයේ ඇමෙරිකානු සම්බාධක වඩාත් දුෂ්කරවූ  සෝවියට් දේශය බිදවැමෙන් පසු යුගයේය. එනම් 1991 දී කියුබානු රදගුරු සමුළුව විසින් ඇමෙරිකානු සම්බාධක ඉවත්කරන මෙන් කල ඉල්ලීමත් සමගය. එම ඉල්ලීම  ඇමෙරිකානු රදගුරු සමුළුවද සහ වතිකානුවද  නැවත බලගැන්වීය.  

සෝවියට් දේශය බිදවැටීමත් සමග බිදවැටෙන මාක්ස්, ලෙනින් , එංගල්ස් ආදීන්ගේ වියමන් තුල වියපත්වන පිදෙල් කැස්ත්‍රෝට නැවත දෘශ්‍යමාන වන්නේ සිය ජීවිතයේ මුල් කාලයේ යුක්තිය, සමාජ සදාරණත්වය, දිළිදුකම, පීඩිතයන්,  ආදිය තමාට මුලින්ම හදුවන්වාදුන් ජේසුස් ක්‍රිස්තුස්, ඉගනේෂශ් ලොයලා (Ignatius of Loyola), ෆ්‍රැන්සිස් සේර්විස් (Francis Xavier), ජේසු නිකාය (Jesuits) සහ පල්ලිය ආදියය. වියපත්ව මහළු වයසට ක්‍රමයෙන් පත්වෙමින් සිටි පිදෙල් කැස්ත්‍රෝ 1992 දී ආගම ඇදහීම පිලිබදව කියුබානු ව්‍යවස්ථාව පනවා තිබු නීති ලිහිකර රාජ්‍ය ඒහික (atheist) රාජ්‍යය යන්නේ සිට කියුබාව ලෞකික (secular state) රාජ්‍යක් යන්න දක්වා වෙනස් කරන ලදි. තවද 1996 දී පිදෙල් කැස්ත්‍රෝ වතිකානුවේ නිල සංචාරයක නිරතවී දෙවන ජුවන් පාවුළු (Pope John Paul II) පාප්වරයාට කියුබාවේ සංචාරයක් සදහා ආරාධනා කරන ලදී.  1998 ජනවාරියේදී කියුබාවට ප්‍රථමවරට පාප්වරයෙක් සම්ප්‍රාප්ත විය. ඒ දෙවන ජුවන් පාවුළු පාප්වරයාය. එම ගමනින් පසු නත්තල් උත්සවය ඇතුළු සියළු ආගමික නිවාඩු  සදහාවූ තහංචි ඉවත්කරන ලදී. 1998 නත්තල් සමරුව නිලවශයෙන් පවත්වන ලදී. කැස්ත්‍රෝට වැඩිම නත්තල් සුබපැතුම් පත් ප්‍රමාණයක් ලැබුන නත්තල ඒය වී තිබුණි. එම නත්තලත් සමග  සියළු ආගමික ආයතන  නැවත කියුබාව තුල නිලවශයෙන් ක්‍රියාත්මක වන්නට විය. දෙවන ජුවන් පාවුළු පාප්වරයා හැර 2012 දී අටවන  බෙනඩික් පාප්වරයාද, 2015 දී වර්තමාන ෆ්‍රැන්සිස් පාප්වරයාද කියුබාවට ගොස් තිබුණි. මෙම පාප්වරු තිදෙනාම  පිදෙල් කැස්ත්‍රෝව මුණගැසී සාකච්චා කර තිබේ. ඒ අතර කැස්ත්‍රෝගේ  පල්ලිය, ආගම සහ විශ්වාසය පිලිබදවවූ අදහස් ගැනද අවධානය යොමුකර තිබුණි. 1952දී සිය සොහොයුරියකගේ විවාහ මගුල් උත්සවයෙන්  පසුව  කැස්ත්‍රෝ 2005 දී නැවත හවානා බැසිලිකාවට ගියේය. ඒ දෙවන ජුවන් පාවුළු පාප්වරයාගේ මරණය අනුස්මරණය කිරීමේ වැඩසටහනකට සහබාගීවීම සදහාය. 

පිදෙල් කැස්ත්‍රෝ සිය අවසාන භාගය තුල මතුකර පෙන්වූ වැදගත්ම ලක්ෂණය වුයේ මිනිසෙකුට ආගමෙන් ගැලවීම කෙතරම් අපහසුද යන්නය. එහෙත් කැස්ත්‍රෝ වූකලී ආගමික හර පද්ධතින් ඔස්සේ උකහාහත් යුක්තිය, සමාජ සදාරණත්වය, දිළිදුකමට එරෙහිවීම සහ පීඩිතයන් වෙනුවෙන් කැපවීම ආදිය වෙනත් ආකාරයකින් ක්‍රියාවට නංවන්නට කටයුතු කල තැනැත්තෙකුයැයි කීවහොත් එය වඩා නිවැරදිය.
මා මෙයට පෙර මැඩෝනා ගැන ලියු මැඩෝනා: යථාර්තය සහ ප්‍රතිරූපය අතර ස්ත්‍රීත්වය (එය මෙතනින් කියවිය හැක)  යන ලිපියේ සදහන් කල ලෙසම මැඩෝනා මෙන්ම කැස්ත්‍රෝද ආගමට හැරීම, සමාජයේ සියල්ල මායාවන් බව අවබෝධකරගෙන ආගම සහ දෙවියන් පමණක් යථාර්තයක් ලෙස පිළිගැනීමේ තත්වයක් හෙවත් සමාජය නිට්ෂෙගේ (Nietzsche) ‘දෙවියන් මියගොස් තිබේය’ (God is dead) යන්නේ සිට දෙවියන් මියගොස් නැත (God is not dead) යන්න දක්වා පැමිණීමක් හෙවත් ‘පශ්චාත්-නුතනත්වයේ’ (Postmodernity) සිට යථාර්තය (Reality) දක්වා පැමිණීමක් යැයි Jock McGregor (1997) දක්වා තිබු අදහස නැවත නැවතත් මතු කිරීමක් නොවේද ?
 මාකස් ප්‍රියන්ත පෙරේරා
02/12/2016.