This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 23 April 2024

 

ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක...


ඊයේ (10/03/24) පැවති 2024 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ මේ දවස්වල මගේ සිනමා වීරයෙක්.. ඔහු කිලියන් මර්ෆි (Cillian Murphy). මර්ෆි  (Murphy) කියලා මගේ දරුවන්ගේ ප්‍රකට ගුරුවරියක් ඉන්නවා (Mrs. Murphy) ඇය වගේම ඔහුත් (Cillian Murphy)  අයර්ලන්ත ජාතිකයෙක්. කිලියන් මර්ෆි (Cillian Murphy) වඩා ප්‍රසිද්ධ වූයේ බ්‍රිතාන්‍යයේ නිර්මාණය කර ලෝකය පුරාම ප්‍රචලිතවූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍ය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමෙන්. 


Tommy Shelby ලා කියන්නේ බ්‍රිතාන්‍යයේ Birmingham නගරය කේන්ද්‍ර කරගත් මැරයෝ. ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විතරක් නෙමේ බ්‍රිතාන්‍යය දේශපාලන ක්ෂේත්‍රයටත් පැතිර තිබුණා. වින්සන්ට් චර්චිල් වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රකට අගමැතිවරු පමණක් නෙවෙයි, බ්‍රිතාන්‍යයේ දේශපාලනය පක්ෂත්, සමාජ, දේශපාලන, සුබසාධන ව්‍යාපාර පවා Shelby ලා ගෙන් මුදල්, ආධාර සහ ආරක්ෂාව සපයා ගත් බව බ්‍රිතාන්‍යය සමාජය පිලිගත් කාරණයක්. 


ඒත් Shelby ලා කියන්නේ ලංකාවේ 'තුන්මුල්ලේ පද්මේ' වගේ 'දෙකයි පනහේ' මැර චරිත නිරූපනය කල අය නෙමේ. ඔවුන්ට සංස්කෘතිය, භාෂාව, කලාව, සාහිත්‍යය, දේශපාලනය ගැන හොද කියවීමක් වගේම හොද තක්සේරුවක්, භාවිථාර්තයක් තිබුන අය. ඔවුන්ට සමාජයේ විවිධ තීරු සමග තමන්ගේම වු අනන්‍යතාවයක් තුල කටයුතු කළ හැකිවූ අය.


 මේ චරිතය කිලියන් මර්ෆි (Cillian Murphy) අකුරටම රගපානවා... ඇඩෙන්න රගපානවා...ඒක ගැන සැකයක් නෑ... ඉස්සර වගේ නම් මම ඔහුගේ ලොකු පොස්ටරයක් මගේ කාමරයේ ගහ ගන්නවා.. මගේ කාමරයේ බංග්ලාදේශයෙන් ගෙනාව චේගුවෙරාගේ  පින්තූරේ ඉදන් මැඩෝනාගේ, සමන්තා ෆොක්ස් (Samantha Fox) ගේ ආදී විවිධ අයගේ පින්තූර තිබුනා. ඒ ඒ කාලේ... 


කිලියන් මර්ෆි (Cillian Murphy) ව මට ඉස්සෙල්ලාම හිතට අල්ලලා ගියේ ඔහු රගපෑ 'Red Eye' (2005) චිත්‍රපටයෙන්. ඒ කාලේ Rachel McAdams කියන්නේ  නැගී එන නිළියක්, හරිම ලස්සනයි...( දැන් නම් කොහේ ඉන්නවාද දන්නේ නෑ). ඒ චිත්‍රපටයේ කිලියන් මර්ෆි රගපෑවේ මැරයෙක් ගේ චරිතයක්. හැබැයි, ආදරේ හිතෙන මැරයෙක්... "කමක් නැද්ද?" කියලා අහලා බලය යොදවන මැරයෙක්... Red Eye (2005) චිත්‍රපටයේ ඔහුගේ රගපෑම විශිෂ්ඨම නෑ.. නමුත් impressive, සිත් ඇදගන්නා සුළුයි. 


හැබැයි කිලියන් මර්ෆි (Cillian Murphy) බ්‍රිතාන්‍යයේ විකාශනය වූ Peaky Blinders (2013–2022) ටෙලිනාට්‍යය මාලාවේ Tommy Shelby ගේ චරිතය නිරූපනය කිරීමත් සමග ඔහු වීරයෙක් වෙනවා (he went from being an actor to a superstar). ඔහු ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) අධ්‍යක්ෂණය කරපු ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ Robert Oppenheimer ගේ චරිතය නිරූපනය කළා කියන්නෙම ආපහු දෙකක් නෑ හොදම නළුවා (best actor) තමයි..


අවංකවම එකක් කියන්න ඕනේ, ඔය Oppenheimer චිත්‍රපටය බලපු නිසා තමයි මම ඇමරිකාවේ න්‍යාෂ්ටික බෝම්බ වැඩපිළිවෙළ ගැන (the Manhattan Project) ගැන, ඊට පදනම සැකසු ඇල්බට් අයින්ස්ටයින් ඇමැරිකාවේ රූස්ට්වෙල් ජනාධිපතිට ලියපු ලියුම ගැන, ඒ සියල්ල පිටිපස්සේ හිටිය Leo Szilard ලා, Enrico Fermi ලා, දෙවෙනි ලෝක යුද්ධ කාළේ බුරුතුපිටින්, නැව් ගණන්, යුරෝපයේ යුදෙව් ජනයා ඇමරිකාවට ගෙන්වාගත් Lewis Strauss ලා ගැන, වඩ වඩා හොයන්න,  කියවන්න පටන්ගත්තේ..  


එහෙම කියවපු විස්තර එක්ක ගත්තාහම කිහිප වතාවක්ම බලපු Oppenheimer චිත්‍රපටයේ පරමානු බොම්බායේ නිර්මාතෘ Robert Oppenheimer ගැන කියවෙන විස්තර බොහෝ දුරට නිවැරැදියි...


සාමාන්‍යයෙන් Hollywood චිත්‍රපටවල කරුණු ඒගොල්ලන්ට ඕනෑ, ඕනෑ විදිහට වෙනස් කරගන්නවානේ... හැබැයි ක්‍රිස්ටෝපර් නෝලන් (Christopher Nolan) ගේ ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ ඒක අඩුයි. එහෙම නෑ ම නෙමේ... ඒක අඩුයි..


ඒම චිත්‍රපටයේ චරිත නිරූපනය සම්බන්ධයෙන් මට තියෙන ලොකුම විවේචනය  Lewis Strauss ගේ චරිතය කිසියම් අගතගාමී විදිහට කරලා තිබුනා කියන එකයි.  Lewis Strauss යි, Robert Oppenheimer අතර කිසියම් ඝට්ටණයක් තිබුනා තමයි. ඒ Lewis Strauss ලිබරල්වාදියෙකු ලෙස පෙනීයෑමත්, Robert Oppenheimer කොමියුනිස්ට්වාදීයෙකු  පෙනීයෑමත් වීමට පුලුවන්. ඒත් මම කියවපු විවිධ තොරතුරු අතරේ පෙනීගියේ Lewis Strauss කියන්නේ එහෙම කළු චරිතයක් නෙමේ කියන එකයි.  හැබැයි චිත්‍රපටය තුළ  Lewis Strauss ව පෙන්වන්නේ කළු චරිතයක් විදිහටයි. ඒක නිවැරදි නෑ.. හැබැයි චිත්‍රපටයේ Lewis Strauss ගේ චරිතය නිරූපනය කරණ Robert Downey ඒක හරියට රගපානවා.. ඒ නිසාම තමයි ඔහුට මේ චිත්‍රපටයේ හොදම සහය නළුවාට හිමි සම්මානය හිමිවෙන්නේ...එය වැදගත්. 


ඒ කොහොම වුනත් චිත්‍රපටය තුළ Robert Oppenheimer ගේ චරිතය බොහෝ දුරට නිවැරැදිව නිරූපනය කරළා තියෙනවා.. Robert Oppenheimer අර පෙන්වනවා වගේ අතීශය මීටරයක්, බුද්ධිමතෙක්, ග්‍රීක දර්ශණවාදයේ ඉදන්, ඉංදීය භගවත් ගීතාවේ ඉදන්, යුදෙව් (Oppenheimer ත් යුදෙව්වෙක්) තෝරා (Torah) ග්‍රන්ථයේ  ඉදන්, ක්‍රිස්තියානීන්ගේ බයිබලය දක්වාත් හොද කියවීමක් තියෙන තැනැත්තෙක්... ස්ත්‍රී ලෝලියෙක්... කොමියුනිස්ට් හිතවතෙක්.. ස්පාඤ්ඤ විප්ලවයට මුදල් යෙදවූවෙක්... යුදෙව් ජනයාගේ සුභසාධනය  වෙනුවෙන් මැදිහත්වූයෙක්.. තමන්ගේ කාර්‍යභාරය  වෙනුවෙන් කැපවූවෙක්, හිත රිදුනාහම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තමන්ගේ ගුරුවරයාට වුවත් වසදීමට නොපැකිලෙන ගල් හිතක් ඇත්තෙක්...ඒ වගේම තමයි තමන් හිතනදේ කරපු, කාගේවත් කීමක් නොහපු තැනැත්තෙක් - ඒකම තමයි ඔහුගේ බිදවැටීමටත් (downfall) හේතුව. 


 Robert Oppenheimer ගේ අන්න ඒ චරිතයට මගේ මේ දවස්වල සිනමා වීරයෙක් වන කිලියන් මර්ෆි (Cillian Murphy) හරියටම පණපොවළා තියෙනවා. ඒක මම විතරක් නෙමේ ඔස්කාර් (Oscar) සම්මාන උලෙළත් පිළිගෙන... 


ඉතින් සතුටු නැද්ද? 


මාකස් ප්‍රියන්ත පෙරේරා 

11/03/24

Tuesday 16 April 2024

ඇහැට - ඇහැක්, දතට - දතක් කියන යුදෙව් ඊශ්‍රායලයට ඉරානය පහරදීම

දැන් අර ඉරානය ඊශ්‍රායලයට ගහපු එක ගැන වැඩි සද්දයක් නෑ නේ... ඊශ්‍රායලයේ ඉන්න අපේ යාළුවෝත් කියන්නේ එහෙම ලොකු හානියක් නෑ කියලා නේ... එහෙම හොදයි.. වැඩි හානියක් නැතිව මේක මෙහෙම සීමා වෙනවා නම් මුළු ලෝකයටම හොදයි..

එහෙම නැතිව "ඉරානය එව්ව ඩ්‍රෝන් (drone) ඔක්කෝම වගේ බිම දැම්මා", "දැක්කාද ඊශ්‍රායලයේ ආරක්ෂක ශක්තිය" වගේ දේවල් කියාගෙන වැඩිය දගලන්න ගියොත් තත්වය නරක අතට යන්න පුලුවන්...

ඉරානය ඔය කළේ අර සිරියාවේ එයාලගේ තනාධිපති කාර්‍යලයකට පහරදීලා ඉරාන හමුදා ජෙනරාල්වරයෙක් වූ Mohammad Reza Zahedi මරා දැමීමේ එකට එක කිරීමක් විදිහට නේ.. Mohammad Reza Zahedi කියන්නේ 2020 දී ඇමැරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාකයේදී මරා දැමූ Major General Qassem Soleimani පසුව මරා දැමු ඉරාන හමුදාවේ ඉහලම ප්‍රධානියෙක්...

Major General Qassem Soleimani මරා දැමීමත් එක්ක, ඉරානය, එයාලට සහය දක්වන එක් එක් කණ්ඩායම් යොදාගෙන, ලෝකය පුරාම ඇමැරිකානු හමුදා කණ්ඩායම් වලට ප්‍රහාර 170 දියත් කරලා තියෙනවා. ඒවායින් බරපතළ හානි වුනත් ඇමැරිකාව කළේ පහර කාගෙන වෙලාව එනකම් ඉන්නවා මිසක් ඉරානය එක්ක කෙළින්ම හැප්පෙන්න ගිය එක නෙමේ. ඊශ්‍රායලයටත් දැන් කරන්න වෙළා තියෙන්නේ ඒක - it is better to take a slap than lose your neck.

හේතුව: ඉරානය කියන්නේ ලේසි පහසු නෑ.. යුද්ධයකට ගියොත් එක දැවැන්තම යුද්ධයක් වෙනවා වගේම ඛණිජ තෙල් මුල් කරගත් දැන් පවතින සමස්ථ වෙළද පොළ ආර්ථිකයම බිද වැටෙනවා. ඒ වගේම Shia මුස්ලිම් ඉරානය බහුතරයක් Sunni මුස්ලිම් වන මුස්ලිම් ලෝකයේ හුදකලා රටක් වුනාට 'තනි අලියෙක්'. ඇත්තටම දැන් ලෝක බල තුලනය ගත්තහම එහෙම "තනි අලි' කිහිපයක්ම බලවත්ව ඉන්නවා. රුසියාව, චීනය, උතුරු කොරියාව ඒ වගේ 'තනි අලි'. ඉරානයත් ඇතුලත්ව, ඒ අය එක පෙළකට එකතු වුනොත් ලෝක බලතුනයේ දැවැන්ත වෙනසක් වෙනවා වගේම, ආපහු අර දෙවන ලෝක යුද්ධ කලේ අක්ශි පාර්ශ්වය යි, මිත්‍ර පාර්ශ්වය යි (Allies and the Axis) වගේ සතුරු - මිතුරු බල පොරයක් නිර්මාණය වෙලා දැවැන්ත න්‍යෂ්ටික අනතුරු දායක තත්වයක් නිර්මාණය වෙනවා.

කොහොමත් ඊශ්‍රායලයට එවපු ඩ්‍රෝන් (drone) ප්‍රහාරය සාර්ථක වුනේ නෑ කියලා ඉරානයේ යුද්ධ ශක්තිය අවතක්සේරු කරන්නත් බෑ, ඊශ්‍රායලයේ යුද්ධ ශක්තිය මහ ඉහලින් තියන්නත් බෑ.. ඔය අච්චර ඔත්තු සේවයක් තියෙනවා කියන ඊශ්‍රායලයට පසුගිය ඔක්තෝබරයේ හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ලවෙනකම්ම ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ.. දැන් මාස 6ක් වෙනවා හමාස් ත්‍රස්තවාදීන්ව මුලින් උපුටා දාන්න නෙමේ, සැතපුම් 25ක් වන ගාසා තීරය වත් ඊශ්‍රායලයට තවම අල්ල ගන්න බැරුව ගියා...

ඒ වගේ තමයි ඉරානය ඊශ්‍රායලයට ගැහැව්වේ ගහනවා කියලා දන්වලා...ඇමැරිකානු, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයට විතරක් නෙමේ අසල්වැසි රටවලටත් දැනුම් දීලා...'මේ ගහන්නේ ඔයාලට නෙමේ සිරියාවේ ඉරාන තනාධිපති කාර්‍යලයකට පහරදීලා ඉරාන හමුදා ජෙනරාල්වරයෙක් වූ Mohammad Reza Zahedi ගේ මරාදැමීමට ප්‍රතිචාරයක් විදිහටයි ඊශ්‍රායලයට ගහන්නේ කියලා දන්වලයි ගැහැව්වේ...ඒ වගේම ඊශ්‍රායලයට පහර දෙන්න දැන් ඉරාන ඩ්‍රෝන් සහ මිසයිල යැව්වා කියලා යැව්ව ගමන්ම ඉරානය මාධ්‍යයට කිව්වා...ඉරානයේ ඉදන් ඊශ්‍රායලයට ඒ ඩ්‍රොන් යන්න කාලයක් ගතවෙන නිසා ඊශ්‍රායලයට සුදානම් වෙන්නත් කල් දීලයි ඉරානය ඊශ්‍රායලයට ගැහැව්වේ...

ඒ නිසා ආපු ඩ්‍රෝන් ඔක්කොම බිම දැම්මා කියලා 'සිගිති ආතල්' ගන්න ඕනෑ නෑ.. ඇත්තටම ඒ ඩ්‍රෝන් එවලා කළේ හරියට අර 'ජොනී පට්ටන්ට' එළුවෝ, හරක් යවනවා කියනවා වගේ වැඩක්.. ඒවා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂ ජාලයට (Iron Dome) පොකුරු පිටින් ගොදුරු වෙන්න යවන ගමන් ඉරානයේ ඉදන් ඉරාකය, සිරියාව, ජොර්දානය පහුකරන් කිලෝමීටර් 1000ක් ගෙවාගෙන එන ballistic මිසයිල ඊශ්‍රායලයේ F-35 fighter jets base එකකට යි, හමුදා බුද්ධි මූලස්ථානයකුයි විනාශ කරන එක තමයි අරමුණු කරගෙන තියෙන්නේ..

ඉරානය බලාපොරොත්තුවූ තරම්ම ප්‍රහාරය සාර්ථක නොවුනත් එයින් ඔවුන් බලාපොරොත්තුවූ අරමුණ වන ජෙනරාල් Mohammad Reza Zahedi ගේ මරාදැමීමට එකට එක කිරීම' වගේ දෙයක් ඉටුකරගන්න පුලුවන් වෙනවා... ඒවගේම ඉරාන ආගමීක අන්තවාදී දේශපාලකයෝ හැමදාම කිව්ව එක; "ඊශ්‍රායලයට ගහනවා" කියන එක, ඔන්න ඒකත් ඒ අය කරලා පෙන්නුවා...ඒක නොදුරේදීම එළඹෙන ඉරාන මැතිවරණයේදී පාලක රෙජීමයේ මැතිවරණ ප්‍රචාරවලට ප්‍රයෝජනවත් වේවි... අනෙක් අතට ඉරානයේ ඔවුන්ම නිපදවන දුර දිග මිසයිල වගේ අවි ආයුධවල ශක්‍යතාවන් මැන බලන්නත් මේක අවස්ථාවක් කරගත්තා.

ඊශ්‍රායලය මොන දේවල් කිව්වත් අනතුරදායක තත්වයකට තමයි දැන් එයාලා පත්වෙලා ඉන්නේ... ගාසා තීරයේ සිදුකරන ලද සහසික අපරාධ, 40, 000කට වඩා ඝාතනය කල ජනයාගේ ලේ වන්දිය කොයි මොහොතේ හෝ ගෙවීමට සිදුවෙන බව ඔවුන් දන්නවා... පලස්තීන ප්‍රශ්නයට විසදුමක් නොදුන්නොත් ඊශ්‍රායලයට තවත් සියවස් දෙකක්වත් රාජ්‍යයක් විදිහට පවතින්න බැරිවෙන බව, වසර දෙදහාක් රටක් නැතිව එහෙ මෙහෙ අගුපිල්වල, අන්ත අසරණ පීඩිතයන් ලෙස සිටි ඉතිහාසය, ඔවුන්ට නැවත නැවත පසක් කරාවි. ඒ නිසා පහර කාගෙන ඉන්න ඊශ්‍රායලයට සිදුවේවි. එහෙත් ඒ කොයිතරම් කාලයකටද කියන්න අපි කවුරුන් දන්නේ නෑ...

අර CNN එකේ Fareed Zakaria කිව්වා වගේ "Conflict is the new normal" අර්බුද තමයි ලෝකයේ දැන් ස්වභාවය වී තිබෙන්නේ... හැබැයි ගැටලුව එය ලෝක යුද්ධයක් බවට පත්වේද? යන්නයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/04/24

Thursday 4 April 2024

මීගමුව වැල්ලවීදිය දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවදූත පෙරහැර

 


මීගමුවේ චතාරික චාරිත්‍ර අතරින් අඩුවෙන්ම අවධානය යොමුවී ඇති අංගයක් වනුවේ පාස්කු ඉරිදා මිගමුව වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පවත්වන දේවදූත පෙරහැර ය.

එයද අඩුම වශයෙන් වසර 100ක්වත් පැරණි චාරිත්‍රයකි. අපේ දෙමව්පියන් කුඩා කාලයේ පමණක් නොව, අදටත් ජීවත්වෙන, පැරණන්ගේ තොරතුරු අනුව විමසා බැලීමේදී මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන දේවදූත පෙරහැර අඩුම වශයෙන් වසර 100ක්වත් පැරණි යැයි නීර්ණය කළ හැක.

පාස්කු ඉරිදාට උත්ථානවූ ජේසු සමිදුන්ගේ ප්‍රතිමාව රැගෙන මීසම/ගම හෝ පල්ලිය වටා යෑමේ පාස්කු සම්ප්‍රදායක් මීගමුවේ පල්ලි රාශියකම පැවත තිබේ. අදට ද පවතී. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූ කටුවපිටිය පල්ලියේ වින්දියන්ගේ රුධිරය තැවරුණු උත්ථානවූ ජේසු සමිදුන්ගේ ප්‍රතිමාව කටුවපිටිය ගම වටා රැගෙන යෑම පසුගිය පාස්කු ඉරිදාත් සිදුකරණ ලදි. මෙවැනි ආකාරයේ පාස්කු සම්ප්‍රදායන් මීගමුවේ පල්ලි රාශියකම දැකිය හැකි මුත් මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන දේවදූත පෙරහැර වැල්ලවීදිය පල්ලියට හා වැල්ලවීදිය සහ කුඩාපාඩුව ග්‍රාමයන්ට පමණක් සීමා වූ සුවිශේෂී පාස්කු සම්ප්‍රදායකි.

මා හොයා බැලූ ආකාරයට මිගමුව වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරිදාට පවත්වන මෙම දේවදූත පෙරහැරට වැල්ලවීදිය සහ කුඩාපාඩුවේ ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 8ට අඩු ඕනෑම ළමයෙකුට සහභාගී විය හැක. මුලදී පිරිමි ළමුන්ට පමණක් සීමාවී ඇති මෙම චාරිත්‍රය දැන් ගැහැණු ළමයින් ද සහභාගි කරගන්නා බව දැන ගැනීමට ලැබුණි. මෙසේ සහභාගිවන අය දේවදූතයන් ලෙස හැඩගන්වනු ලබන්නේ සිය නිවෙස් තුලමය. ප්‍රසාද ස්නාපයේදී අන්දවන ලබන ආකාරයේ මෙන් දිගු සුදු ඇදුමකින් සරසන මෙම ළමුන්ට දිගු කොන්ඩයක් සහ දේවදූතයන්ගේ මෙන් පියාපත් යුගලක් ද සවි කරණු ලබයි. ළමුන් මෙන්ම ඔවුන් රැගෙන යන සොරෝල/පැලැන්කි (palanquin) ද ඉතා අලංකාරව සැරසීම මීගමුව වැල්ලවීදිය පල්ලියේ පාස්කු ඉරිදාට පවත්වන මෙම දේවදූත පෙරහැරේ තවත් අලංකාර අංගය ය.

මෙසේ අලංකාර ලෙස සැරසූ දේවදූතයන් රැගත් සොරෝල සිය නිවෙස්වල සිට වැල්ලවීදිය පල්ලියට පැමිණීමෙන් අනතුරුව කුසපත් ඇදීමෙන් තෝරාගත් දේවදූතයන් සේ සැරසී ඇති කිහිප දෙනෙකු හට ක්‍රිස්තුස් වහන්සේ සිය දුක්ප්‍රාප්තියේදී දරා සිටි කටු ඔටුන්න, කුරුසියේ ඇණ ගැසූ ඇණ ආදිය පෙරහැරේ රැගෙන යෑමට ලබා දෙයි..අනතුරුව මෙම දේවදූත පෙරහැර දේවස්ථානය වටාත්, වැල්ලවීදිය ග්‍රාමයේත් සංචාරය කරණු ලබයි.


මෙම දේවදූත පෙරහැරේ ආරම්භය කෙතරම් ඈතට දිවයනවාද යන්න පැහැදිලි නැති නමුත් එය මීගමුවේ දේවස්ථාන ප්‍රංශය, ඉතාලි, පෘතුගාල - ස්පාඤ්ඤය අයත්වන අයිබීරියන් (Iberian) කලාපයේ පියතුමන්ලා පාලනය කල 18 වන සියවසේ අග හෝ 19 වන සියවස්වලින් පසු කාලේ ඇති වූවක් බව මෙම චාරිත්‍රය වටා ගොනුවී ඇති ඇදුම්-පැලදුම්, අංග-උපාංග ඇසුරින් නිරික්ෂණය කල හැක. මීට සමාන සුරුවම් රැගෙන යන චතාරික පෙරහැර සම්ප්‍රදායක් දකුණු ප්‍රංශයේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ පමණක් නොව මෙක්සිකෝව, ගුවතමාලා වැනි ලතින් ඇමැරිකානු කලාපයේද දැකිය හැකිය. ලතින් ඇමැරිකානු කලාපයේ සිට ලංකාවේ, මීගමුව, වැල්ලවීදිය දක්වා විහිදී ඇති මෙම චතාරික පෙරහැර සම්ප්‍රදාය ඇතැම්විට ස්පාඤ්ඤයේ Semana Santa (ශුද්ධ වූ සතියේ) සැමරුම් ඔස්සේ ආභාෂය ලැබූවක් විය හැකි බව මගේ අදහසයි.

ඒ කෙසේවුවද, චාතාරික සමය යනු මීගමුවේ සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයක් විහිදා දක්වන කාල පරාසයක් බව නම් නැවත නැවතත්  පැහැදිලිවම කිව හැක්කකි.

මීගමුව දූව දේවස්ථානයේ සිට මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයට ආශ්චර්යමත් ක්‍රිස්තුස් ප්‍රතිමාව රැගෙන ඒම හෝ රැගෙන යෑමේ සිට ගුරු අගහරුවාදා සහ අළු බදාදා දක්වාද, විවිධ ගම්වල හවස් කාලයේ කෙරෙන පසන්, ලතෝනි ගායනා ද, දේවස්ථාන හෝ වීදි පුරා කුරුස දරාගෙන කෙරෙන දීර්ඝ පාද නමස්කාරයන් ද, ජාතික අනන්‍යතාවයක් ගොඩනැගූ මීගමුවේ පාස්කු නාට්‍යය රඟ දැක්වීම්ද, මහ බ්‍රහස්පතින්දා සහ මහ සිකුරාදා ආගමික කටයුතු ද, ආලේලූයියා සෙනසුරාදා යක්කු යෑම් ද, මිගමුවේ වැල්ලවීදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ දේව දූත පෙරහැර වැනි පාස්කු ඉරිදා පෙරහැරවල් ද, එම කාලය තුළ මීගමුවේ ජනයාගේ ආහාර සංස්කෘතිය ද, කොරොස්ම හෙවත් චතාරික කාලේ මීගමුවට සුවිශේෂී අනන්‍යතාවයක් එක් කරන සංස්කෘතිකාංග ය.

පාස්කු සමයේදී යුරෝපයේ මෙන්ම ලොව පුරාම ජනයා ලෝක ප්‍රකට Oberammergau පාස්කු නාට්‍යය නැරඹීමට ජර්මනියේ ඔබෙරමර්ගවු (Oberammergau) නගරයට පැමිණෙනවා මෙන්, ස්පාඤ්ඤයේ ශුද්ධ වූ සතියේ හෙවත් Semana Santa සැමරුම් නැරබීමට දකුණු ස්පාඤ්ඤයේ සිවිල් (Seville), මලාගා (Málaga) නගර වෙත ඇදී එනවාක් මෙන්, පාස්කු හෙවත් කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ සංස්කෘතික චර්යාව අත්විදිමට රටපුරාත්, ඉන් පිටතත් සිටින සියළු ජනයාට අවස්ථාව හිමිවේවායි යන්න මගේ ප්‍රාර්ථනය යි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
04/04/24





Wednesday 3 April 2024

මහ සිකුරාදා ලංඩනයේ ප්‍රධානතම කතෝලික දේවස්ථානයට පැමිණි විශාල පිරිසක් ආපහු හරවා යවලා...




මහ සිකුරාදා දින ලංඩනයේ ප්‍රධාන කතෝලික දේවස්ථානය වන Wesminiter Cathedral දේවස්ථානයට පැමිණි විශාල පිරිසකට ආපසු හැරී යෑමට සිදුවීම ගැන පුවත්පතක් මේ දිනවල අවධානයට ලක්වෙමින් තිබෙනවා.

මෙලෙස අවධානයට ලක්ව ඇත්තේ එදින මහ සිකුරාදා දින පූජාවට ලංඩනයේ Wesminiter Cathedral දේවස්ථානයට පැමිණි එසේ හරවා යැවූ අයගේ විවිධ ප්‍රකාශ සමගයි.

එසේ හරවා යැවූ පිරිස අතර සිටි, ගිය වසරේ දී (2023), බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජගෙන් (King Charles III), බ්‍රිතාන්‍යයේ පිරිනැමෙන OBE (Order of the British Empire) ගෞරව නාමය ලැබූ, Penrose Care නම් සාත්තු සේවයේ නියුතු සේවක/සේවිකාවන්ගේ ශ්‍රම සූරාකෑමට එරෙහි (labour exploitation in the Care sector) සම නිර්මාතෘ, 39 හැවිරිදි, ස්ටෙෆන්සන්-පැඩ්‍රොන්, (Stephenson-Padron) කතෝලික හෙරල්ඩ් (the Catholic Herald) පුවත්පතට දක්වා තිබුනේ: “හැමෝම කතෝලික වෙනවා වගේ,”(It’s like everybody is becoming Catholic,”), “2024 පාස්කු ඉතා විශේෂයි. ශුද්ධ වූ කතෝලික සභාව තුල නව පරිවර්තනයක් ඇතිවී ඇති බව 2006 දී මගේ බෞතීස්මයෙන් (ඔහු කතෝලික සභාවට ඇතුල්වී ඇත්තේ ඒ වසරේයි) පසුව මට සිහිපත් කළ හැකි පළමු අවස්ථාව මෙයයි. කෙතරම්ද යත්, එය පුළුල් ලෙස අවධානයට ලක්ව ඇති බව පෙනවා. ”(“Easter 2024 is very special. [It is the] first time I can recall since my baptism in 2006 where it seems there is a flood of new converts into the holy Catholic Church. So much so, that it appears to be widely noticed.”

මහ සිකුරාදා දින ලංඩනයේ Wesminiter Cathedral දේවස්ථානයේ දී ස්ටෙෆන්සන්-පැඩ්‍රොන් (Stephenson-Padron) මුහුණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් සිය ටුවිටර් (Tweeter) ගිනුමේ සටහන් කර තිබුනේ "දෙවියන් මියගොස් ඇතැයි" 1882 දී ප්‍රකාශ කළ ජර්මානු දාර්ශනික ; “ෆ්‍රෙඩ්රික් නීට්ෂේ මියගොස්. කුරුසියේ ඇණ ගසන ලද ක්‍රිස්තුස් රජු සහ ඔහුගේ ශුද්ධ වූ කතෝලික සභාව ජීවමානයි! (“Friedrich Nietzsche is dead. King Christ the Crucified and His holy Catholic Church are alive and well!”) යනුවෙනි. ඒ සමග මහ සිකුරාදා දින වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරට ප්‍රවේශ වීමට උත්සාහ කරන සෙනඟගේ ඡායාරූපයක් ද ඔහු සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණි. එය ඉතා හොදින් පැතිරගොස් තිබූ බව, වෛරල් වූ බව, කතෝලික හෙරල්ඩ් (the Catholic Herald) පුවත්පතේ මතයයි. එම ලිපිය පහත යොමුවෙන් කියවිය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/04/24

https://catholicherald.co.uk/westminster-cathedral-forced-to-turn-people-away-due-to-surge-of-attendees-for-easter-triduum/