This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 27 February 2020

ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ, එංගලන්තේ වෘර්ක සහ ලංකාවේ අලි



ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ 10,000 මරණ එක ගැන කථාවක් ආවනේ...ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ විතරක් නෙමේ, හාවොත් මරණවා. ඔටුවෝ වගේම හාවොත් ඒ රට හදුන්වන්නේ වගාවන්ට හානිකරන, පරිසරයේ සමතුලිතතාවය බිද දමන විලෝපිතයෝ ලෙසයි. ඒ නිසා ඒ අය එම සතුන්ව ක්‍රමයෙන් වද කිරීමට කටයුතු කරනවා. ලංකාවේත් වගාවන්ට හානිකරන, පාලනයකින් තොරව බෝවන රිලවුන්, මොණරුන්, විදී සුනඛයන් ගැන විතරක් නෙමේ අලි ගැනත් ඔහොම අවධානයක් යොමුකරනවා.

එවැනි දෙයක් එංගලන්තේත් වෙලා තියෙනවා, ඒ  මීට අවුරුදු 800කට විතර කලින්, ක්‍රි. ව 1281. පළමුවන එඩ්වඩ් රජ්ජුරුවෝ (Edward I) විසින් පීටර් කෝබෙට් (Peter Corbet) නම් නයිට්වරයෙක් (knight) පත්කරලා තියෙනවා එංගලන්තේ බැටළුවන් විනාශකර දමන වෘර්කයින්ව මරා දමන්න. ඔය කාලය වෙද්දී එංගලන්තයේ සැලකිය යුතු තරම් වෘර්කයන් පිරිසක් සිට ඇති අතර ඔවුන් එරට බැටළු පට්ටිවලට නිතර නිතර කඩාවැදී විශාල හානි සිදුකරන බවට පෙත්සම්  සහ  පැමිණි  රාශියක් එඩ්වඩ් රජුට ලැබි ඇත. එනිසා  තමයි පීටර් කෝබෙට් (Peter Corbet) නම් නයිට්වරයාට වෘර්ක දඩයම පවරා ඇත්තේ. ඔහු වසර නමයක් තුල වෘර්ක සංග්‍රාමයක් කරලා එංගලන්තේ හිටපු අන්තිම වෘර්කයාව 1290 දී මරාදැම්මාලු. ඊට පස්සේ එංගලන්තේ බැටළුවෝ වැඩිවෙලා, ආහාර වගේම ලෝම් නිෂ්පාදනයත් වැඩිවෙලා එංගලන්තයට හොද කලක් උදාවුනාලු.

මේ ගැන Robert Winder කියලා කෙනක් The Last Wolf: The Hidden Springs of Englishnes කියලා පොතක් (2017) ලියලා තියෙනවා. ඒ පොතේ ඔහු තර්ක කරනවා එංගලන්තේ ආර්ථික වසන්තය ඉස්ඉස්සේලාම උදාවුනේ ගල් අගුරු භාවිතයට පැමිණීම නිසාවත්, වානේ භාවිතයට පැමිණීම නිසාවත්, කාර්මික විප්ලවය නිසාවත් නෙමේ, අර වෘර්ක සංහාරය නිසයි කියලා. වෘර්ක සංහාරය නිසා බැටළු නිෂ්පාදන ඉහල ගිහින් බැටළු මස්වලින් විතරක් නෙමේ බැටළු ලෝම්වලිනුත් විශාල ආදායමක් ලබා ගත්තා කියලා ඔහු පෙන්වා දෙනවා. මහා විසාල පල්ලි, මාලිගා, බලකොටු විතරක් නෙමේ ශක්තිමත් මිනිසුන් පිරිසක් බිහිකර ගැනීමටත් එකී වෘර්ක සංහාරය හේතුවූ බව එම පොතේ විස්තර කරනවා.

අපි කොහොමත් දන්නවා ඔය ශිෂ්ටාචාරය කියන එක බිහිවන්නේම මේ ආකාරයට තවත් කොටසක්  නසා දමලයි කියන එක. එය මිනිස් වර්ගයා ඔවුන් ඔවුන්ට විරුද්ධව විතරක් නෙමේ සතා සිව්පාවුන්ට විරුද්ධවත්, ගහ කොළවලට විරුද්ධවත් එක ලෙස මුදාහල එකම ප්‍රචන්ඩ ක්‍රමවේදයක්. එහෙත් ශිෂ්ට බවේ පදනම යැයි කියන ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේම, දිග හැරෙන්නේම, පරිසරයේ තවත් කොටසක් ගොදුරු කරගෙන බවත්, තමන්ද  ඉන්  කොටසක් බවත්, එය පොදු පද්ධතියක් බවත් අවබෝධ කරනොගැනීම තමයි එහි ඇති අමිහිරි සත්‍යය. 

ඇත්තටම  කල  යුත්තේ පරිසර පද්ධතියේ පොදු සමතුලිතතාවක් පවත්වා ගෙනයාමයි. ලංකාවේ අලින් මරා දැමීම සඳහා වනජීවී ඇමැති වරයා ගම්වාසීන්ට තුවක්කු නිකුත් කිරීම මෙයට  සාර්ථක විසදුමක් නෙමෙයි.  ලංකාවේ අලි මරන්න ඕනේ නැත. විල්පත්තුවේ සිට යාල දක්වා අලින්ට යාමට  ඒමට  හැකි  පුළුවන් විදිහට අනෙක් රක්ෂිත ඒකාබද්ධ කර ඒ අයගේ  සංචරණයන් (movement)  අධීක්ෂණය (monitor) කර ඔවුන් ගැන  අවධානයෙන් පසුවෙනවා නම් අලි තර්ජනය  පාලනය  කලහැක. මොනරුන් සදහාද  එවැනි  ක්‍රමයක් ගැලපෙන  නමුත්  රිලවුන් සහ වීදි සුනඛයින් සදහා  එවැනි ක්‍රමවේදයක්  නොගැලපෙන  අතර  ඔවුන්ගේ බෝවීම  පලනය  කිරීම  එහිලා  ප්‍රායෝගික වනු  ඇත.  ඇත්ත වශයෙන්ම  අවශ්‍ය  වන්නේ  සමස්ත  පරිසර  පද්ධතියම  පොදුවේ එකම  පද්ධතියක්  ලෙස  සලකා  අවශ්‍ය  සමතුලිතාවය  ගොඩනගා  ගැනීමය. 

  මාකස් ප්‍රියන්ත පෙරේරා 
  මුල්  සටහන  14/01/2020 පලවිය 

Monday 24 February 2020

කොරෝනා වයිරසය ගෝලීය පද්ධතියටම අනතුරක්

චීනයේ කොරෝනා වැළදුන රෝගීන් ගණන කොච්චර වැඩිවුනා කිව්වත්, ඉරානයේ සහ කොරියාවේ කොරෝනා රෝගීන් ගණන ක්‍රමයෙන් ඉහල ගිහින් කිව්වත්, ඉතාලියේ නගර කිහිපයකම කොරෝනා වයිරසය පැතිරීමත් එක්ක අපි සියල්ලන්ටම වඩා තැතිගන්නා තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

එක පැත්තකින් එකට හේතුව අපේ ඥාති-මිත්‍ර ආදීන් බොහොමයක් ඉතාලියේ විසීම, වැඩකිරීම, වෙන්නත් පුළුවන්. කොහොමත් ඉතාලිය කියන්නේ යුරෝපයේ දොරකඩ වගේ තැනක්. එනිසාම ඔස්ර්ටියා වගේ රටවල් දැන් ඉතාලියේ සිට එන දුම්රියගමන් පවා නවත්වලා. ඉතාලියේ උතුරු ප්‍රදේශවල පාසැල්, විශ්ව විද්‍යාල, කඩ සාප්පු පවා වහලා. ඉතාලියේ විතරක් දැන් රෝගීන් 50කට වඩා සොයාගෙන තිබෙනවා, නගර 10යක 50,000කට වඩා පිරිසක් නිරෝධායන (quarantine) ක්‍රියාවලීන්ට යොමුකර තිබෙනවා.

දැන් යුරෝපයේ බොහෝ රටවලුත් කොරෝනා වයිරසයට මුහුණදීමට දැඩි සුදානමකින් පසුවෙනවා. මෙහේ (එංගලන්තයේ) දොස්තරලා (G P -general practitioners) පවා සම්පුර්ණයෙන් මුකවාඩම්, අත්වැසුම් සහ පුර්ණ ආවරණ කබායන්වලින් සැරසිලා තමයි දැන් රෝගීන් පරික්ෂා කරන්නේ. විශේෂයෙන්ම ශීතකාලේ තුලදී මෙවැනි රෝග වඩා වේගයෙන් පැතිරීමට වැඩි ඉඩක් ඇති බව තමයි කියන්නේ. එම නිසා ලංකාව වැනි උෂ්ණාධික, සමකාසන්න රටවල, කොරෝනා වයිරස්ය පැතිරීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ නිසා වෙන්න ඇති පවිත්‍රා නෝනත් කිස්කරෝලම සුව වූ චීන ජාතික කොරෝනා රෝගී කතව පිටත්කලේ ...

දැන් ප්‍රශ්නය මාර්තු-අප්‍රියල් මාසේ වෙද්දී කුමන තත්වයක් ඇතිවෙයිද කියන එකයි.

මොකද ඔය කාලෙදී පෘතුවියේ යුරෝපය, ඇමරිකාව ආදිය ඇතුලත්වෙන උතුරු අර්ධගෝලයේ ශීතකාලය ක්‍රමයෙන් අඩුවෙන අතර ඔස්රෙලියා, ආර්ජන්ටිනාව, නවසීලන්තය ආදිය ඇතුලත්වෙන දකුණු අර්ධගෝලයට සීතකාලය ලබනවා. කොරෝනා වයිරස්ය මේ කාලවෙද්දී පාලනය කරගන්න බැරිවුනොත් ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක් ඇතිවේවීයි යන අනතුරක් ඉස්මතුවී තිබෙනවා.

කෝක උනත් අඩුවෙන් පැතිරුනොත් මර්ධනය කිරීමට විතරක් නෙමේ පිටු දැකීමටත් පහසුවෙනවා. එහෙම නැතිව ගියත් එවැනි වසංගත තත්වයක් මුළුමහත් සමස්ත ගෝලීය පද්ධතියම නත් බිදදමන්න පුළුවන් තරමට භයානක තත්වයක් නිර්මාණය කරන්න පුළුවන්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
24/02/2020

Friday 21 February 2020

පාස්කු ප්‍රහාරයට මාස10යි, මේ ආණ්ඩුවෙනුත් යුක්තිය ඉටුනොවෙන හැඩයි

Ten months after the Easter Sunday Attack, Sri Lanka has still failed to bring the culprit to justice. Instead, the government officials, who fail to abort the attack, was released on bail and the ex-Sri Lankan President Sirisena, who was the Minister of Defence and did nothing to prevent the attack, has been promoted into the current ruling party's chairmanship. 

පාස්කු ප්‍රහාරයට අදට මාස 10ක් ගතවී ඇත. පාස්කු ප්‍රහාරය ගැන කියමින්, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ යැයි මොරගසමින් බලයට පත් මෙම රජය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට හෝ ප්‍රහාරයට සම්බන්ද සියළුදෙනා හෙළිදරව් කරගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාකිරීමට හෝ අසමත්ව ඇත.

පාස්කු ප්‍රහාරයෙන් මාස 10ක් ගතවුනද අදද කතෝලිකයින්ට සිය පල්ලිවල මංගල්‍යය වලට විදීයෑමට හෝ සිය සුපුරුදු වත්පිලිවෙත්වල කලින් පැවති ආකාරයට යලි නිරතවීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක්, විශ්වාසයක් සහ වටාපිටාවක් නිර්මාණය කිරීමට මෙම රජයටද හැකිවී නැත.

ඒ වෙනුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ද මෙන්ම එම ප්‍රහාරය වලක්වා නොගත් හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු පිරිසට සභාපතිකම්, ඇප සහ වරදාන ආදිය දෙමින් කිතුණු ජනයාගේ සැකය සහ විරෝධය ක්‍රමයෙන් රජය කෙරෙහි එල්ලවන තත්වයක් ඉස්මතුවෙමින් තිබේ. එවැනි තත්වයක් තුල පාස්කු ප්‍රහාරය මෙම රජය බලයට ගෙන ඒමට සිදුකල කූට සැලසුමක්දැයි යන සැකය දැන් දැන් වඩ වඩා තහවුරුවෙමින් පවතී.

ඔවුන්ගේ ජඩ දේශපාලන ක්‍රියාවන්ට බිලිවූ ජනයා කෙරෙහි කිබුල් කදුළු හෙළු පජාත දේශපාලකයන් දැන් නැවතත් චන්දේ සොයමින් පිස්සු බල්ලන්සේ පාරක් පාරක් ගානේ දුවමින් සිටී. මේ නීච, නිවට, නහීන දේශපාලකයන් පෙනී සිටින්නේ තමන්ගේ සහෝදර ජනයා වෙනුවෙන් නොව ඔවුන්ගේ දේශපාලන පක්ෂ, ඔවුන්ගේ දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් බව දැන් හොද හැටි පැහැදිලිය. ඔවුන්ගේ කිබුල් කදුළුවලට සහ දේශපාලන කෙප්පවලට රැවටි ඔවුන්ගේ කයිරාටික දේශපාලුවාට ජන්දය නොදුන් මීගමුවේ ජනයාට නැවත නැවත බෝම්බ ගසන්නයැයි ඉල්ලු අමන වහල්ලු තවමත් අප අතරින් එබිකම් කරමින් සිටී.

මේ කිසිවෙකුගෙන් අපේ ජනයාට කිසිදු පිළිසරණක් බලාපොරොත්තු විය නොහැක. අපට විශ්වාසය තැබිය හැක්කේ අපේ විශ්වාසය ගැන පමණි.

අපි කිසිදුවිටක යුක්තිය වෙනුවෙන් මොරගැසීම කිසිසේත්ම අත් නොහරිමු. මන්දයත් ''යුක්තියට සාපිපාස ඇත්තේ භාග්‍යවන්තයෝ'' යැයි ඉගැන්වූ දහමක් වැලදගත් ජනතාව අප වන බැවිනි.

ඒහින් අපි පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන්, අපේ ජනයාට සිදුකල මේ අපරාධයට එරෙහිව යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කුමන තත්වයක් මතවුවද නිරන්තරයෙන් පෙනී සිටිමු !!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/02/2020

Friday 14 February 2020

වැලන්ටයින්, ඇයි ඔබ මේ අපේ රටේ?

අහලා තියෙනවාද නන්දා මාලනීගේ සිංදුවක් තියෙනවා ''වැලන්ටයින්.. ශාන්ත වැලන්ටයින්... ඇයි ඔබ මේ අපේ රටේ...පෙම්වතුන්ගෙ දිනයක් හදලා..පෙබරවාරි මස දාහතර...'' කියලා කියන ගීතය.

ඔය සින්දුව අපි හිතන තරම් රොමාන්තික (romantic) නැහැ. ඒ සින්දුවේ කියනවා වැලන්ටයින්ට විතරක් නෙමේ මව්වරුන්ටත්, වැඩිහිටියටත් දිනයක් හදලා, අවුරුද්දේ දින 365ම වෙන්කරලා මේවා එරෝප්පෙන් (යුරෝපයෙන්) ආව චාරිත්‍ර... ආදී ලෙස කියනවා...එහෙත් හොදම හරිය එතන නෙමේ තියෙන්නේ, අන්තිමට. අන්තිමට කියනවා ''වැලන්ටයින් රෝමෙට යන්න...තුන්සිය හැටපස් දවසේම, කාටත් සළකන, පෙම් කරන..

අපට වෙනම දින මොනවටද? කියලා අහනවා. ඒ හින්දා ඔයා, වැලන්ටයින්, රෝමෙටම යන්න.. අපි මෙහෙ ඔක්කොම හරියට කරන් යනවා ශා. වැලන්ටයින්ලා, පෙම්වතුන්ගේ දින ආදිය අපිට ඕනේ නැහැ... ඕවා අරන් ඕගොල්ලෝ යුරෝපයටම යන්න කියලා තමයි අන්තිමට එම ගීතයේ කියන්නේ.

ඔය ගීතයේ එක්තරා ආකාරයකින් අපට කියන්නේ ඔය ශා. වැලන්ටයින්ලා, වැලන්ටයින් දින ආදිය බටහිර සංකල්ප, ක්‍රිස්තියානි ඉගැන්වීම්, ආදරය /ප්‍රේමය ආදිය ආපහු දින දාගෙන මතක්කරන්න ඕනේ නැහැ, ඒවා ඔක්කොම මෙහෙ තියෙනවා. මෙහ තිබ්බ ශිෂ්ටාචාරය තුල ඕවා ඔක්කොම තියෙනවා ආපහු බටහිරින් ගෙන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. අර නලින් ද සිල්වාත් කිව්වා ''ආදරය/ප්‍රේමය කියන්නේ බටහිර සංකල්ප අපේ තිබුනේ ස්නේහය, එක ඊට වඩා උදාර සංකල්පයක්'' කියලා දැක්වුයේ ඒකයි.

ඇත්තටම, බටහිර ක්‍රිස්තියානි ලෝකය තුල ප්‍රවර්ධනයවූ ආදරය/ප්‍රේමය වගේ සංකල්ප වෙනස් වචනවලින් හින්දු, සහ එයින් විකාශනයවූණු, බෞද්ධ ආදී ආගම්වලත් ඒ නම්වලින්ම නැතිව ගියත් විවිධ අර්ථ ඔස්සේ දක්වලා තිබෙනවා. ඔය කරුණාව, මෛත්‍රිය, ආදිය උනත් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.

මේ කාරණය 1800 ගණන්වලත් සාකච්ඡා කරලා තියෙනවා. මේ ගැන හොද අදහසක් ඉදිරිපත්කරලා තියෙනවා ජර්මන් වාග් විද්‍යාඥවූ මැක්ස් මුලර් (Max Muller, 1823-1900). ඔහු කියනවා ඉන්දියාවට ක්‍රිස්තියානි ආගම නැතිව උනත් හින්දු /බෞද්ධ ආගම්වල හරයන් මතුකරගැනීම තුල වුවත් පුළුවන් මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය මතුකරගත ගන්න, නමුත් දැන් ඒවායේ හර පද්ධති විනාෂවෙලා ඉවරයි, කියලා. ඒවාගේම ඔහු දක්වලා තිබෙනවා 'ඉන්දියානු දර්ශණවාදී, ධර්මවේදී මනස් තුලින් විශ්වයේ අනන්තය, අනිත්‍ය දැකිය විදිය හැකිවුනත් පැවැත්මේ සත්තාව වන 'ආදරය/ප්‍රේමය' ආදියත්, ස්වභාව ධර්මයේ චමත්කාරය තුල විහිදවන මැවිල්ලේ (මැවුම්කරුගේ) ජීව ගුණයත් විදීමට අපොහොසත්වී ඇති බව... ඒ නිසා ඔහු කියනවා, ඉන්දියානු කලාපයට ක්‍රිස්තියානි ආගම හදුන්වාදිය යුත්තේ අන්න ඒ නිසයි කියලා කියනවා.

කොටින්ම කිව්වොත්, අපේ රටවල සියල්ලේ ඇති නිස්සාර බව, ශුන්‍යතාවය, අනිත්‍ය ගැන නිතර නිතර පසක් කරමින් ආශාවෙන් මිදී, බදාගැනීම වෙනුවට අත්හැරීම තුල, සැහැල්ලුවෙන් ජීවත්වත්විය හැකි බව අවධාරණය කලත්, ජීවිතය විදීමේ චමත්කාරය උත්කර්ෂවත් නගන්නේ නැහැ නේද?

වැලන්ටයින්ලා අවශ්‍යවෙන්නේ අන්න එතැනට...වැලන්ටයින් ශා. වැලන්ටයින් වෙන්නේ අන්න එතැන. එත් අපි මතක්කර ගත යුතු තව 

දෙයක් තියෙනවා ඒ තමයි ආදරවන්තයින්ගේ ලෝකයක තනන්න වැලන්ටයින්, සාන්ත වැලන්ටයින් ජීවිතය පිදුබව..

මාකස් ප්‍රියන්ත පෙරේරා.
14/02/2020


Tuesday 11 February 2020

මහින්ද ප්‍රසන්නව ඉන්දියාවට එක්ක ගියේ ඇයි?

මහින්ද රාජපක්ෂලා මහතා සිය ඉන්දියානු සංචාරයට 'මිරිස්කුඩු' ප්‍රසන්නව එක්ක ගියේ ඇයි යන්න පිලිබදව විවිධ දෑ පලව තිබුනි. ඒවායින් කියවුණු එක් අදහසක්වුයේ ප්‍රසන්න රණවීරට වඩා අනෙක් පොහොට්ටු මංත්‍රින් වෙනස් නොවන බවය. එනම් මැරයෙක්, කිසිම වැදගත්කමක් ප්‍රදර්ශනය නොකරන ප්‍රසන්න රණවීර හෙවත් 'මිරිස්කුඩු ප්‍රසන්නට' වඩා අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැදගත්වෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නකර තිබුනි. ලියා තිබු තව අදහසක් ප්‍රශ්නකර තිබුනේ "වත්තල හුණුපිටියේ දුගී පවුලක ඉපදුනු ප්‍රසන්නට ජනතා නියෝජිතයෙක් වශයෙන් කලාපීය නායකයාවන මෝඩි සමග එකට සිට අතට අතදීමේ ඇති වැරැද්ද කුමක්ද?" යන්නය. ප්‍රභූවරුන් අතර නිර්ප්‍රභූන්ට ඇති තැන කුමක්ද යන්න ප්‍රශ්න කරමින් නිර්ප්‍රභූ පදනමකින් මතුකර තිබූ එම අදහස තුල පීඩිත නිර්ප්‍රභූට මෙතරම් ගැරහිලි ඇයි යන්න මතුකිරීමට යම් උත්සාහයකදරන බවක් දැකිය හැකිවිය. අවශ්‍ය නම් එයටම ඈදුනු තවත් සටහනක් ලෙස සැලකිය හැකි තවත් සටහනක කියවුනේ ''ඇයි ප්‍රසන්න විතරද ජරා අනෙක් අය සුදු චරිතද?'' ආදී ලෙස ප්‍රශ්න කර තිබුනි. තවත් අය ''මෝදීව මුට පෙන්නේ කහ කුඩු බෝතලයක් වගේයි!!'', ''මෝඩිගෙයි මුගෙයි ලොකු වෙනසක් නැහැ'', ''මු හිතන් ඉන්නේ රාහුල් ගාන්ධි කියන්නේ මහත්මා ගාන්ධිගේ මුණුබුරා කියලයි'' ආදී හාස්‍යට සහ උපහාසයට ලක්කර තිබුණි. 

මම නම් හිතන්නේ ඔය සියල්ල වැඩකට නැති හුදු 'පට්ටන්දර' වර්ගයේ ප්‍රකාශන වලට වඩා යමක් නොවන බවය. ඒ කිසිම ප්‍රකාශනයක් තුල මූලික ප්‍රශ්නය සාකච්ඡා කර නොතිබුණි. 

මූලික ප්‍රශ්නය වශයෙන් මම සදහන් කලේ මහින්ද 'මිරිස්කුඩු ප්‍රසන්නව' සිය ඉන්දීය සංචාරයට එක් කර ගත්තේ ඇයි යන්නය. ය ඔහුට ඒ සදහා වෙන කිසිවෙක් සිටියේ නැද්ද? ඇරත්, මහමැතිවරණය ආසන්නයේම නරකට ප්‍රකට චරිතයක් සමග එවැනි ගමන් යන්නේ ඇයි? මෙවැනි දේවලින් ගෝඨාභය රාජපක්ෂත් සවුත්තු වෙනවා නේද? ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහු බලයට පත්කල ජනතා අපේක්ෂාද මහින්දගේ මේවැනි වැඩ නිසා බිද වැටෙනවා නේද යනුවෙන්ද අවශ්‍ය නම් කිසිවෙකුට ඇසිය හැක. 

මේ සම්බන්දයෙන් මම නම් හිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිරිස් කුඩු ප්‍රසන්නව ඉන්දියාවට එක්ක ගියේ පණිවිඩයක්දීම සදහා බවය. 

එම පණිවිඩය ඉන්දියාවට නොව සිය අනුගාමිකයන්ට දෙන පණිවිඩයකි. ඔහු ප්‍රසන්නව සිය රාජ්‍ය තාන්ත්‍රික ගමනට එක්කරගෙන ගොස් සිය අනුගාමිකයන්ට දුන් පණිවිඩය නම්: ''මිරිස්කුඩු නෙමේ අයිසේ, මම කියනවා නම් තමුසෙලා ඕනේ දෙයක් කරනවා... මම තමුසෙලාව ඕනෑ දිල්ලියක ගෙනි යන්නම්'' යන්නය. 

මහින්ද රාජපක්ෂලා කවදත් කටයුතු කලේ එලෙසය. ඔහු සිය පාක්ෂිකයින්ට සැලකීමේදී කිසිදු දෙයක් ගැන පැකිලෙන්නේ හෝ තකන්නේ නැත. නොකරයි. එය රනිල් වික්‍රමසිංහලාට වඩා බොහෝ වෙනස්ය. 

පසුගිය දිනක මා දුටු දෙයක්වුයේ රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සිටියදී වේදිකා තනා ඔහුව රටපුරාම ගෙනගිය තැනැත්තෙක් රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත්ව යද්දී රනිල් වික්‍රමසිංහ සමග ගනු ලැබූ ඡයාරූපයක පවා රනිල් සිටියේ අහක බලාගෙනය. එය එක්තරා ආකාරයකට කියාපෑවේ "අයිසේ මම ගෙදර යන්නේ තමුසෙලාට වැඩ බැරි නිසානේ..." යි යන්නය. ඇතැම්විට එවැනි තත්වයකදී මහින්ද රාජපක්ෂ හැසිරෙන්නේ ඊටත් වඩා කණගාටුදායක ලෙස විය හැක. 

කෙසේවුවද මට කියන්නට අවශ්‍යවුයේ එය නොවේ, මහින්ද ප්‍රසන්නව ඉන්දියානු ගමනට එක්කරගෙන ගියේ ''අයිසේ, මිරිස්කුඩු නෙමේ, මම කියනවා නම් තමුසෙලා ඕනේ දෙයක් කරනවා... මම තමුසෙලාව ඕනෑ දිල්ලියක ගෙනියන්නම්'' කියන පණිවිඩය සිය පාක්ෂිකයින්ට මතක්කර දීමටයි යන්නය. මේ අනුව ලග එන මහමැතිවරණය කොයි ආකාරයක් ගන්නේද යන්න ගැන හිතාගත හැකිවෙනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
10/02/2020

Friday 7 February 2020

මහ මැතිවරණයේ බිල්ල සිරිසේනද?

මේ දවස්වල පොහොට්ටුවෝයි, ශ්‍රී ලංකාකාරයොයි මහමැතිවරණයට නාමයෝජනා ලබාගන්න උන් උන් අතරේ බෙලි කපාගැනීම පටන් අරන් තියෙනවා.

උන්ගේ ජඩ දේශපාලනයට පාස්කු ප්‍රහාරයත් භාවිතාකලා, තවමත් කරමින් ඉන්නවා. එතනදී උන් හිතන්නේ ඒ විනාශයෙන් විපතට පත්වුවන මිනිස්සු ගැනවත්, කිතුනුවන් ගැනවත්, රටේ සමස්ථ මනුෂ්‍ය ප්‍රජාව ගැනවත්, රට ගැනවත් නෙමේ, හිතන්නේ තම තමන්ගේ ජඩ දේශපාලන වුවමනාවල් ගැන විතරයි. උන්ට වැඩක් නැහැ විපතට පත්වෙච්ච ජනතාව.. උන්ගේ දේශපාලන අරමුණු ඇරන්නේ ඔය අයට වෙන කිසිම දෙයක් අදාල නැහැ.

අපි කවුරුත් දන්නවා හිටපු ජනාධිපති සිරිසේනට පාස්කු ප්‍රහාරයෙන් නිදහස්වෙන්න බැහැ බව. ඔහු ආරක්ෂක ඇමති විදිහට ඔහුගේ වගකීම එයා ඉටුකෙරුවේ නැහැ... ඕනෑ තරම් තොරතුරු තියෙද්දී එයා ඒක වලක්වන්න කරපු දෙයක් නැහැ... යන 'යකා කොරහත් බිදගෙන යනවා' කිව්වා වගේ ඔහු ඒක වෙන්ඩ ඉඩදීලා, නවත්වන්න කිසිවක් නොකර පිටරට ගියා...ඔහු විතරක් නෙමේ හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, පොලිසියේ සහ බුද්ධි අංශ නිලධාරීන්, වෙනෙත් වගකිවයුතු අය බොහොමයක් මේ විනාශය වලක්වන්න කිසිවක් කලේ නැහැ.. වෙන්න දීලා බලන් හිටියා.

 ඔහේලගේ ඔය ජඩ දේශපාලන 'ගේම්' පැත්තකින් තියාගන්න, අපේ මිනිස්සුන්ට යුක්තිය ඉටුකරන්න.. විපතටපත් අපේ ජනයාට සාධාරණය ඉෂ්ටකරන්න... නීතියට අනුව සාධාරණ පරීක්ෂණයක් පවත්වලා, වගකීම් පැහැරහරින ලද, මේ මහා මිනිස් ඝාතනය වෙන්නදීලා බලන් හිටිය සියළු දෙනාට තරා තිරම නොබලා දඩුවම් දෙන්න. නිකන් චන්ද කාලේට අරයට මෙයාට ඇගිල්ල දික්කරමින් දේශපාලන වාසි ගන්න පාස්කු ප්‍රහාරය දඩමීමා කරගන්න එපා.

ශ්‍රී ලංකාව තුල සුළු ජන කොටස්වලට තමන් කැමති ආගමක් දහමක් අදහාගෙන ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයන් ඔවුන්ට කරගෙන යන්න තියෙන ඉඩකඩ තහවුරු කරන්න. ශ්‍රී ලංකා රාජ්‍ය යනු සුළු ජන කොටස් විනාශකර දමන, විනාශවීමට ඉඩදී බලා සිටින වර්ගවාදී රාජ්‍යක් නොවන බව තහවුරු කරන්න. ඔය ජඩ දේශපාලන ගේම් නවත්වලා වරද කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් දීලා, විපතට පත් ජනයාට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට කරන්න.

මාකස් ප්‍රියන්ත  පෙරේරා
07/02/2019

Wednesday 5 February 2020

ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව - නැවත පැරණි තැනටම පැමිණීම


පසුගිය වසරේ (2019) නිදහස් දින උළෙලේදී හිටපු ජනාධිපති සිරිසේන සිදුකල කතාව කිසිවෙකුට සොයාගෙන කියවිය හෝ ඇසිය හැකි නම් ඕනෑම කෙනෙකු එකගවේවි එම අසංකූල නිදහස් දින කථාව තුල ප්‍රදර්ශනයවූයේ හිටපු ජනාධිපති සිරිසේනගේ මෙන්ම පැවති ආණ්ඩුවේ ව්‍යාකූලභාවයත්, සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනේ තිබුන අනනුකූලභාවයත් පමණක් බව. 

ඒ ගැන මම මීට පෙර ලියා ඇති  'සිරිසේන ජනාධිපතිවරයාගේ අසංකූල නිදහස් දින කථාව: අනනුකූල දේශපාලනයක ව්‍යාකූල අවසානය.' යන මාතෘකාව යටතේ පළවූ ලිපියේ සදහන් කර ඇත. (ඒ ගැන එම යොමුවෙන්ම කියවිය හැක).


එම ලිපියේදී මා දැක්වූ අදහසක්වුයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරු මෙන් ලංකාවේ ජනාධිපතිවරු/වරිය ගෙන්  තම ධුර කාලය තුලදී සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන අරමුණු හෝ  ප්‍රතිපත්ති සමුදායක් ගැන අදහස්  පෙරදැරි කරගැනීමක්  හෙවත් 'Presidential Doctrine' යනුවෙන් හදුන්වන යමක් දැකීමට නොහැකි වෙන බවත්, එසේ 'Presidential Doctrine' යනුවෙන් නම් කල හැකි ලෙස පෙනී යාහැකි දැක්මක් හෝ වැඩපිළිවෙලක් තිබු ජනාධිපතිවරයා හෝ වරිය ලෙස නම් කල හැකි අයෙක් වෙතොත් ඉන් මායිමකටවත් ජනාධිපති සිරිසේන ලං විය නොහැකි බවයි. මන්දයත්, ජනාධිපති සිරිසේන පෙනීසිටියායැයි පෙනීගිය දැක්ම සහ වැඩපිළිවෙල පසුකාලීනව ඔහු විසින්ම නිශේධනකර දේශපාලන වශයෙන් ආතභූත ස්ථානයකට ඔහු තල්ලුවී ගිය නිසාය. 

සිරිසේන ජනාධිපතිවරයාගේ එකී නිදහස් දින උළෙලේ කථාව පමණක් නොව ඔහුට කලින් සිටි වෙනත් ජනාධිපතිවරු/වරියගේ කථා හා සැසදීමේදී මෙවර නිදහස් දින උළලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (04/02/20) ඉදිරිපත්කල නිදහස් දින කථාව විශිෂ්ඨ කථාවක් බව නිසැකයෙන්ම පෙනීයා හැක.

ඔහුගේ එම කතාව තුල සිය ධුරකාලය තුලදී සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන කරන ප්‍රතිපත්ති, අරමුණු සහ අපේක්ෂා සම්බන්දයෙන් යම් අදහස් දැක්වීමක් සිදුවූ අතරම මහජනයාට වැඩ කිරීමට ඔහුට ඇති ඔහුගේ උවමනාවද ඉතාම හොදින් ප්‍රකාශවන ලදී. මහජනයාගේ සුබසිද්ධිය නගාසිටවීමට, මිනිස්සුන්ගේ පෞද්ගලික සහ සාමුහික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට, රාජ්‍ය නායකයා ලෙස මහජනයාගේ අභිප්‍රායන් ඉටුකිරීම සදහා කැපවීමට ඔහුට ඇති තිර අදිටනද එම කතාව තුල කියාපෑහ. තමන්ට පැවරෙන රාජකාරිය අකුරටම ඉටුකරලීමට හමුදා නිලධාරියෙක් ලෙස ඔහු ලබා තිබු පරිචය සහ පුහුණුව රාජ්‍ය නායකයා ලෙසද ක්‍රියාවේ යෙදවීමට ඔහුට ඇති දැවෙන උවමනාව කථාවෙන් පමණක් නොව ඔහු ලබා ඇති හමුදා පදක්කම් පැළද පැමිණීමෙන්ද නිරූපණය කිරීමට උත්සහ කළේය.

වැනි වුවමනාවක් ප්‍රදර්ශනය කරන රාජ්‍ය නායකයෙක්ට මහජනයා අතර ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට අපහසු නැත. 

මෙන්ම ජනාධිපතිවරයාගේ කතාව තුල ඔහු මතුකරන්නට උත්සහකල ඔහු හමුවේ ඇති අහියෝග සහ සීමා සම්බන්දයෙන්ද, එකී සීමා බිද දැමීමට ඔහුට ඇති වුවමනාව දැක්වීය. මහජන චන්දයෙන් තේරී පත්වෙන විධායකට නිසි බලතල තිබිය යුතුබවත්, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලතුලනයක් සහ ස්වාධීනත්වයක් තිබිය යුතුබවත්, බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසිදු බාධකයක් නොතිබිය යුතු බවත් නැවත නැවත මතුකරන ලදී. මෙන්ම මධ්‍යම රජය සහ විමධ්‍යගත බලය අතර විධිමත්, නිරවුල් සහ මනා කළමනාකරණයක් අවශ්‍ය බවද, රජය සහ ජනතාව අතර සම්බන්දීකරණයක් අවශ්‍ය බවද දැක්වීය. රාජ්‍ය පරිපාලන යාන්ත්‍ර ශක්තිමත්, සරල, නිසි ආකාරයකට ක්‍රියාත්මකවන, ක්‍රියාශීලී තත්වයක තිබිය යුතුබවද දැක්වීය. නීතියේ ආධිපත්‍ය තහවුරුවීම, නීතිය සාධාරණව ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දුන්හ. එමෙන්ම ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමත්, ආරක්ෂක අංශ සහ මහජනයාගේ නිදහසට හානි නොවන ලෙස එකී ක්ෂේත්‍ර අතර මනා සම්බන්දයක් තිබිය යුතු බවත් මතුකළේය. ඊට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම දුෂණයෙන් මුදාගැනීමේ අවශ්‍යතාවය ගැනද සදහන් කළේය.

මේ ආකාරයට ජනාධිපතිවරයා සදහන් කල කරුණු අනුව පෙනී යන්නේ ඔහු රාජ්‍ය ගොඩනැගීම (state building) නම්වූ දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය තුල සාකච්ඡාවට ලක්කරන බොහෝ කාරනා සිය ජනාධිපති ධුරයේදී සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන අරමුණු ලෙස කිසියම් ආකාරයකට කැටිකර දැක්වීමක් සිදුකර ඇති බවය.

ශ්‍රී ලංකාව තුල රාජ්‍ය ගොඩනැගීම පිළිබද අදහස අන් කවර කලකටවත් වඩා වසර තිහක් පැවති සිවිල් යුද්ධයෙන් අනතුරුව වඩ වඩා පෙරට පැමිණි ඇති බව පෙනීයැයි. එකී කාර්ය ඉටුකරගැනීමට පවා ජනාධිපතිවරයා නව ව්‍යාවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටී. ව්‍යවස්ථාව වෙනස් කිරීම නම්වූ ඉල්ලීම නැවත වරක් අළුත් වටයකින් මතුව ඇත.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව තුල වඩ වඩා ඉස්මතුවූ මතයවූයේ රාජ්‍ය නිසි  පරිදි ගොඩනැගීම ඔස්සේ ශ්‍රී ලංකාවට සාර්ථකත්වය සහ සංවර්ධනය අත්කරගත හැකිය යන්නය. එසේ කිරීම තුල  ශ්‍රී ලංකාවට  දියුණු රාජ්‍යක් ලෙස  නැගී  සිටිය  හැකියැයි යන්න   ගැන දැඩි විශ්වාසයක් පවතී.

එහෙත් රාජ්‍ය ගොඩනැගීම තුල පමණක් රාජ්‍යයක පැවැත්ම හෝ සාර්ථකත්වය තහවුරු කරන්නේ නැති බව Tom Nairn මෙන්ම Walker Connor ආදීන් බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපද ආශ්‍රිතව සිදුකල ශාස්ත්‍රීය අධ්‍යන  ඔස්සේ පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම ජාතිය ගොඩ නැගීමෙන් තොරව රාජ්‍යයකට සාර්ථකවිය නොහැකි බව බොහෝ අධ්‍ය පෙන්වා දී තිබේ. 'සිංහල-බෞද්ධ' සහ 'දෙමළ' යන ජාතික අනන්‍යතා දෙකක් පැහැදිලිවම තහවුරුවී ඇති ශ්‍රී ලංකාව වැනි රටක් තුල ජාතිය ගොඩනැගීම නම් ක්‍රියාමාර්ගය සාක්ෂාත් කරගැනීමේ අභියෝගය ජයගැනීමෙන් තොරව සාර්ථකත්වය මෙන්ම සංවර්ධනයද සාක්ෂාත් කරගත නොහැකි බව ලංකාවේ 50වෙනි නිදහස් උළලේදී චන්ද්‍රිකා කුමාරතුංග මේසේ දක්වා තිබේ: When we commenced our tryst with destiny, half a century ago, the task ahead of us was daunting. I dare say, 50 years is but a brief moment in our history of over 2500 years. Yet it is well enough time, for a nation, to attain political maturity and to formulate and implement systems to strengthen its nationhood, uniting all the peoples living within it, whilst ensuring its territorial integrity and to have attained economic and social advancement, in order that the newly won political freedom transform itself into a full freedom for its peoples - freedom from fear, from poverty, from ignorance, from disease and most of all freedom to be equal and live with dignity and self-respect...........We can be justly proud of our successes in building strong and democratic forms of government, honest and transparent systems of governance, and our achievements in education and health, where Sri Lanka is placed high among the developing nations are well known.......... We have failed in the essential task of nation building. We have meandered and faltered along the path, whilst our neighbours in Asia and many other countries have forged strong and United Nations in which peoples of various communities of race, religion and language live in harmony. The search for the causes and the apportioning of blame for this situation may be assigned to the historians...

බෙදී ගිය ජාතික අනන්‍යතා දෙකක් තහවුරු වී ඇති ලංකාව තුල ජාතිය ගොඩනැගීම නම් ක්‍රියාවලිය ජය ගැනීමෙන් තොරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගොඩනැගිය හැකි රාජ්‍ය කුමක්ද?

මතු සම්බන්දයි...

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/02/2020