ශ්‍රී ලංකාවට බෞද්ධ ධර්මය පැමිණීමෙන් පසුව ඊට වෙනස් වූ තවත් සංස්කෘතික ප්‍රවාහයක් පැමිණියේ නම්, එය පෘතුගීසි යුගයේ පැමිණි ක්‍රිස්තියානි ධර්මයයි. එය ලංකාවට බෞද්ධ ධර්මය පැමිණ අවුරුදු දෙදහසකට පමණ පසුව සිදු වූ සංස්කෘතික අභිමුඛවීමකි. ඒ අතරතුර හින්දු ආගමත්, ඉස්ලාම් ආගමත් ශ්‍රී ලංකාවට පැමිණි බව සැබෑය. එහෙත් ඒවා ශ්‍රී ලංකාවේ සමස්ත සංස්කෘතිය හැඩගැන්වූ නව සංස්කෘතික ප්‍රවාහයන් බවට පත් වූයේ නැත. හින්දු ආගම බෞද්ධ ධර්මය සමඟ ඉතා සමීප සම්බන්ධතා ඇති ආගමකි. ඉස්ලාම් ආගම ඊට වෙනස් වුවත්, එයද ප්‍රධාන වශයෙන් තමන්ගේ ප්‍රජාව තුළ ගොනුවූ ආගමික සම්ප්‍රදායක් ලෙස පැවතුණි.
එහෙත් ක්‍රිස්තියානි ධර්මය එසේ නොවීය. බෞද්ධ ධර්මයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි මීළඟ ප්‍රබල සංස්කෘතික ප්‍රවාහය වූයේ එයයි. ශ්‍රී ලංකාවේ මුල් බැසගත් අදහසක් වන්නේ "ක්‍රිස්තියානි ආගමත් තුවක්කුවත් එකට ආවා" යන්නයි. එයින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගම බලහත්කාරයෙන් ව්‍යාප්ත කළ බවයි. මෑතකදී ප්‍රදීප් ප්‍රනාන්දු මහතා දැක්වුවාක් මෙන්, "බලෙන් දුන්නත් දුන්නේ හොඳ දෙයක් නේ... ප්‍රේමයේ ධර්මයක් නේ..." යන ප්‍රකාශය මේ සන්දර්භය තුළ අර්ථවත්ය. සුගතදාස සිල්වාගේ 'ඇටමැස්සා' කෘතියේ පිටකවරයේ දැක්වෙන තුවක්කුව සහ රෝස මල" මෙන්ම, ක්‍රිස්තියානි ධර්මය සහ යටත්විජිත බලය අතර තිබූ එම සංකීර්ණ සම්බන්ධතාවය අපට ඉවත දැමිය නොහැක.
එහෙත් ඉතිහාසය කියවීමේදී තවත් කාරණයක් දැකිය හැක. එනම් ප්‍රධාන මුහුදු මාර්ගයක් මැද පිහිටි දූපතක් වුවද, අවුරුදු දෙදහසක් පුරා වෙනත් මහා සංස්කෘතික ප්‍රවාහයකට මුහුණ නොදුන් ශ්‍රී ලංකාවට "සංස්කෘතික අනෙකා" හඳුන්වා දුන්නේ පෘතුගීසීන් සමඟ පැමිණි ක්‍රිස්තියානි ධර්මයයි යන්නය. අපි ඉතිහාසය කියවමින් සිටින්නේ මිහිඳු හිමියන් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන ඒම සංස්කෘතික සම්ප්‍රාප්තියක් ලෙසත්, පෘතුගීසින් ක්‍රිස්තියානි ධර්මය ගෙනේම සංස්කෘතික ආක්‍රමණයක් ලෙසත් ය.
ලංකාවේ Religious Studies හෝ Cultural Studies වැනි විෂයයන් ශක්තිමත්ව වර්ධනය වී තිබුණා නම්, මිහිඳු හිමියන් බෞද්ධ ධර්මය ගෙන ඒමත්, පෘතුගීසීන් ක්‍රිස්තියානි ධර්මය ගෙන ඒමත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් මහා සංස්කෘතික ප්‍රවාහ දෙකක් ලෙස එකම විචාරාත්මක රාමුවක් තුළ අධ්‍යයනය කරන්නට ඉඩ තිබුණි. ඒම දෙකම එකිනෙකට වෙනස් සංස්කෘතික ප්‍රවාහයන් දෙකක් ලෙසත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැකැස්ම හැඩගැන්වූ, ඓතිහාසික සිදුවීම් ලෙසත් කියවන්නට ඉඩ තිබුණි.
එහෙත් එවැනි සංස්කෘතික කියවීමකට යොමුවීමට තරම් අප තවමත් එවැනි තලයකට පැමිණ නැත. අදත් අප රැඳී සිටින්නේ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුගෙන් ඇසූ "අඹ ප්‍රශ්නය" අසලය.
අපි කවුරුත් දන්නා ලෙස "අඹ ප්‍රශ්නය" ඔස්සේ මිහිඳු හිමියන් විමසා බලන්නේ බාහිර ලෝකය පිළිබඳ රජුගේ අවබෝධය සහ තර්කන හැකියාවය. එහෙත් එතැනින් පසුව මිහිඳු හිමියන් අසන "ඥාති ප්‍රශ්නය" බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ. "ඥාති ප්‍රශ්නය" තුල මිහිඳු හිමියන් විමසන්නේ:
"මහරජ, ඒ නෑදෑයනුත්, නෑදෑයන් නොවන අයත් හැර වෙනත් අයෙක් ඉතිරිව සිටීද?" යන්නයි.
රජුගේ පිළිතුරු වන්නේ:
"ස්වාමීනි, මම සිටිමි." යන්නයි.
එවිට මිහිඳු හිමියෝ සැබෑම ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වෙති. මිහිඳු හිමියන් පෙරලා විමසන්නේ:
"මහරජ, ඔබ ඔබට අයිතිද? නැතහොත් ඔබ අයිති වෙනත් කෙනෙකුටද?"
මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීම තුළින් මිහිඳු හිමියන් අපව යොමු කරන්නේ අඹ ගස් ගැනවත්, ඥාතින් ගැනවත් නොව, මිනිසාගේ ස්වාධීනත්වය ගැන ගැටලුව වෙතටය. මිනිසාගේ ස්වාධීනත්වය පදනම් නම් වන්නේ විචාර බුද්ධිය හා ස්වයං අවබෝධය තුලය.
අපි එදා මිහිඳුහිමියන් විමසූ "ඥාති ප්‍රශ්නයේ" ගැඹුරට ගොස් තිබුණා නම්, මිහිඳු හිමියන් බෞද්ධ ධර්මය ගෙන ඒමත්, පෘතුගීසීන් ක්‍රිස්තියානි ධර්මය ගෙන ඒමත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් සංස්කෘතික ප්‍රවාහ දෙකක් ලෙසත්, ඒවායේ බලපෑම ශ්‍රී ලංකීක සමාජ - සංස්කෘතික අනන්‍යතාවය හැඩගැස්වීමෙහිලා කෙතෙක් දායකවූයේ දැයි තුලනාත්මකව විමසා බැලිය හැකිව තිබුණි.
ඒ වෙනුවට අප තවමත් හැම පොසොන් පොහොයකම රැදි සිටිනේ "අඹ ප්‍රශ්නය" අසලය. එහෙත් දැන් අපට අවශ්‍ය වන්නේ "අඹ ප්‍රශ්නය" යෙන් එහාට ගොස් "ඥාති ප්‍රශ්නය" ඔස්සේ මතු කරන ස්වාධීනත්වය, විචාර බුද්ධිය සහ ස්වයං චින්තනය වෙත යළිත් යොමුවීමය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
30/06/26
