This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 22 January 2017

මීගමුව කටුවපිටිය ගම, එහි ශා. සෙබස්තියන් පල්ලිය සහ කතෝලික පල්ලියේ දේශීය ලක්ෂණ

සෑම වසරකම ජනවාරි 20 දා ලොවපුරා කතෝලිකයන් ශා. සෙබස්තියන් මුනිදුන්ගේ මංගල්‍ය සමරයි. කතෝලික පල්ලියේ පැරණි සම්ප්‍රදාය අනුව යමින් කදාන ශා. සෙබස්තියන් පල්ලිය මෙන්ම මීගමුව කටුවපිටිය  ශා. සෙබස්තියන් පල්ලිය ද සිය වාර්ෂික මංගල්‍ය පවත්වනුයේ ජනවාරි 20 දිනට යෙදෙන ශා. සෙබස්තියන් දිනයේදීය. ඇත්තවශයෙන්ම, මීගමුව කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වූ කලී නත්තලින් පසුව  ඇරබෙන මීගමුවේ පල්ලිවල මංගල්‍යය සමයේ ආරම්භය සටහන් කරන්නකි. ජනවාරි 11වෙනිදා කොඩිගස එසවීමෙන් ඇරබෙන කටුවපිටිය මංගල්‍යයෙන් අනතුරුව වැල්ලවීදිය, කට්ටුව, බෝලවලාන, පිටිපන ආදී ප්‍රදේශවල පිහිටි පල්ලිවල මංගල්‍යය යෙදේ. 

ක්‍රි. ව. 256 දී නිරිත දිග ප්‍රංශයේ පිහිටි වෙරල අද්දර කුඩා නගරයක් වන නර්බෝනා (Narbonne) නගරයේන් බිහිවූ ශා. සෙබස්තියන් තුමා  රෝම අධිරාජ්‍යය වෙනුවෙන් සටන්කල සෙන්පතියෙක් විය. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල රෝම අධිරාජ්‍ය තුල ක්‍රිස්තියානි ආගම ඇදහුන්ට මරණීය දණ්ඩනය පමුණුවන ලදී. එහෙත් ක්‍රිස්තියානි ආගම ඉන් යටපත් කිරීමට නොහැකිවිය. රහසිගතව පැතිරගිය ක්‍රිස්තියානි ආගමීක විශ්වාසය රෝම අධිරාජ්‍යයේ සෙන්පතියෙක්වූ සෙබස්තියන් කරාද පැමිණියේ වරක් ඔහු රෝගීව මරණාසන්නව සිටියදී ඔහුට ආවතේවකල සේවකයෙකුගෙන් බව කියවේ. පසුව ක්‍රිස්තියානි ආගම වැළදගෙන එය සෙසු අයටද හදුන්වාදීමට කටයුතු කිරීම නිසා රෝම පාලකයන්ගේ අත් අඩංගුවට පත්වී ඇත. ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සෙසු ක්‍රිස්තියානීන්වද අල්ලාදෙන්නේ නම් ඔහු නිදහස් කොට නැවත සිය තනතුරේම පිහිටවිය හැකි බව රෝම නායකයින් ඔහුට දැන්වුවද ඔහු සිය විශ්වාසය සහ ආගම වෙනුවෙන් දිවිපිදීම තෝරාගෙන තිබේ. ඒ අනුව ගසක බැද හේවායින් විසින් දුනුවිද මරාදැමීමට ක්‍රියාකර ඇත. එමගින් මාරාන්තික තුවාල සිදුවුවද ඔහු මරණයට පත්ව නැත. ක්‍රිස්තියානීන් විසින් ඔහුව නැවත සුවපත්කර තිබේ. ඉන් වසර කිහිපයකට පසු, එනම් ක්‍රි.ව. 288 දී, නැවතත් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරමින් සිටියදී  ඔහුව අත් අඩංගුවට පත්වී ඇති අතර එහිදී දියෝකිලේටියන් අධිරාජ්‍යගේ(Emperor Diocletian) අණ පරිදි මැරෙන තුරු කටු සැමිටියෙන් (scourge) පහරදී මරණයට පත්කර තිබේ. එසේ ප්‍රාණ පරිත්‍යාගවරයෙක් ලෙස දිවිපුදු සෙබස්තියන්තුමා මරාදැමු ස්ථානයේ දේවස්ථානයක් ඉදිකර ඔහු වෙනුවෙන් යැදීම සහ ඔහුගෙන් පිහිට ඉල්ලා යැදීම ක්‍රිස්තියානීන් පුරුද්දක් කරකොටගෙන තිබේ. විශේෂයෙන්ම වසංගත රෝග සහ වෙනත් රෝගාබාධ වලින් පීඩා විදින්නන්ගේ පිහිටාරක්ෂකයා ලෙස මෙතුමා සලකුණු ලැබේ. ඒ ඇතැම්විට ඔහුගේ ජීවන චරිතය ඇසුරින් විශ්වාසය තුල ශක්තිමත්ව සිටීම තුල සුවය ලැබීම නැවත නැවත සිහිපත් කිරීම නිසා විය හැක. මේ සියළු තත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රි. ව. 4 වන සියවසේදී  මෙතුමාව ශාන්තුවරයකු ලෙස නම් ඇත.

ක්‍රිස්තියානීන් අතර  ශා. සෙබස්තියන් තුමා ලෙඩ රෝග සුවකරන මුනිවරයෙකු යැයි යන විශ්වාසය මාධ්‍යතන යුගයේ දකුණු යුරෝපයේ සහ පෘතුගාලය ඇතුලත්  අයිබිරීයානු අර්ධද්වීපයේ (Iberian Peninsula) බොහෝදුරට මුල් බැසගත් මතයක්ම යැයි දැක්වේ. මේ මතය පෘතුගීසි යුගයේ ලංකාව තුලද ක්‍රිස්තියානි ආගම දේශනාකල කතෝලික පියතුමන්ලා විසින් සිය බැතිමතුන් අතර ප්‍රචලිත කර ඇත. එම නිසාම ශා. සෙබස්තියන් මුනිදුන් නමට කැපකළ බොහෝ දේවස්ථාන තුල රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපකල ළිදක් දැකිය හැකිය.  කදාන, මීගමුව, මන්නාරමේ සහ ලංකාවේ ඇති වෙනත් ප්‍රධාන  ශා. සෙබස්තියන් දේවස්ථාන සියල්ලේම පාහේ රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපකල ළිදවල් පැවතීම මෙහිලා උදාහරණය.

පෘතුගීසි යුගයේදී ඉදිකළ පළමු දේවස්ථාන 150 තුල මීගමුවේ ශා. සෙබස්තියන් පල්ලියක් පැවති බව සදහන්වුවද ඒ කොහේදැයි නිශ්චිතව හදුනාගෙන නැත. කෙසේවුවද අද වනවිට මීගමුවේ මුලික වශයෙන් ශා. සෙබස්තියන් පල්ලි දෙකක් තිබේ. ඒ කටුවපිටිය සහ වැල්ලවීදිය ප්‍රදේශවලය. ඊට අමතරව තව කිහිපයක්ම තිබේ. ඒ අතර ගිය වසරේ ජනවාරි 31 දින ශා. සෙබස්තියන් සුරුවම සොරාගත් මීගමුව ඇළපාර ශා. සෙබස්තියන් කුඩා දේවස්ථානයද වේ. ඒගැන මම ලියූ 'ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්' යන ලිපිය මෙතනින් කියවිය හැක. 

ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව 1936 පෙබරවාරි 02 දින ඉදිකිරීම් ඇරබූ මීගමුවේ වැල්ලවීදිය දේවස්ථානය (ඒ ගැන මා ලියූ සටහන මෙතනින් කියවිය හැක) පැවති භූමියේම පැරණි ශා. සෙබස්තියන් මුනිදුන්ට කැපකළ පල්ලියක් තිබී ඇති මුත්, මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානය මීගමුවේ දැනට ඇති වඩාත් පැරණි සෙබස්තියන් දේවස්ථානය ලෙස සැලකේ. මන්ද යත් එම පල්ලිය සතු දත්තවලට අනුව මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය 1869 සිට වර්තමාන දේවස්ථානය පැවති භූමියම තුලම කුඩා දේවස්ථානයක් වශයෙන් පැවැති බව වාර්තාවී තිබීමය. එහි ඇති රෝගීන් ස්නානයකරන ළිද ද ඒතරම්ම පැරණිය. එය අදටත් භාවිතයට ගන්නා රෝගීන් අතර සුවය පිළිබද ඉහල විශ්වාසයක් තිබේ. පැහැදිලිවම මීගමුව වැල්ලවීදි ශා. සෙබස්තියන් දේවස්ථානයේ ඇති ළිදට වඩා කටුවපිටිය දේවස්ථානයේ ඇති ළිද රෝගීන් අතර වඩාත් ප්‍රචලිතය. 
කෙසේවුවද, අනාධිමත් කාලයක සිට වසංගත රෝග සදහා දේව පිහිට පැතීමේ සම්ප්‍රදායික සමාජ චාරිත්‍රය මීගමුවේද ප්‍රබලව පැවති බවට තවත් උදාහරණයක් මීගමුව වැල්ලවීදිය පාරේ ඇති වසර 200 කට වඩා පැරණි මුතුමාරි අම්මාන් හින්දු කෝවිල තුලින් අදටත් සොයාගත හැක. අදටද මීගමුව වැල්ලවීදිය පාරේ ඇති පැරණි මුතුමාරි අම්මාන් හින්දු කෝවිල හින්දු භක්තිකයන් අතර වසංගත රෝග සදහා බාරහාර වෙන, සුවපත්වූ පසු බාරහාර සදහා දානය දෙන කෝවිලක් ලෙස ප්‍රසිද්ධය. එම දානය භුක්තිවීමට යාචකයන් දිවාකාලයේදී දේවාලය අසල රැදී සිටීම සුලබහ දසුනකි. 

මෙවැනි සම්ප්‍රදායක සමාජ චාරිත්‍ර ලාංකික කතෝලික ජනයා අතර ද නොනැසී පවතින බවත්, මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානය එවැනි වසංගත රෝග සදහා බාරහාර වෙන ස්ථානයක් ලෙස ප්‍රචලිත බවත්,  හලාවත, ඉරණවිල, අඔකදවල, ආදී ඈත එපිට ප්‍රදේශ වල  සිටින ජනයා පවා වසංගත රෝග සහ වෙනත් ලෙඩ රෝගපීඩා සුවවීම සදහා මෙම දේවස්ථානයට බාර වෙන බවත්, සුවවූ පසු ඔවුන් මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානයට පැමිණ එහි ළිදෙන් නා දානයක් දී යෑම සිදුකරන බවත්  R. L. Stirrat (2006) ලියූ  'Power and Religiosity in a Post-Colonial Setting: Sinhala Catholics in contemporary Sri Lanka' යන කෘතියේ 157 පිටුවේ දැක්වේ. 

මීගමුව නගර මාධ්‍යයේ සිට කිලෝමීටර් දෙකක් පමණ රට ඇතුලට වීමට පිහිටා ඇති කටුවපිටිය ගම සහ  කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය පිහිටි පරිසරයද මෙවැනිම පැරණි සමාජ චාරිත්‍ර සදහා වඩා ගැලපෙන නිස්කලන්ක පෙදෙසකි. ලෝකප්‍රකට ක්‍රිස්තියානි සමාජ චින්තකයෙකු මෙන්ම වරක් කතෝලික පල්ලිය තුල විශාල ආන්දෝලනයක් ඇතිකළ  'Mary and Human Liberation'(1990) කෘතිය සහ විවාදයට තුඩුදුන් 'Sri Lanka Economy in Crisis' (1981) සහ 'Eucharist and Human Liberation' (2004) යන කෘතින් ලියූ මරදාන මෙන්ම මීගමුව සමාජ සහ ආගමීක කේන්ද්‍රයේ නිර්මාතෘ (Centre for Society and Religion-CSR-Colombo and Negombo) ගරු තිස්ස බාලසුරිය පියතුමාගේ උපන්ගම වනුයේ මෙම කටුවපිටිය ග්‍රාමයය. අද මීගමුව සමාජ සහ ආගමීක කේන්ද්‍රය පිහිටා ඇත්තේ කටුවපිටිය පල්ලිය පාරේ පිහිටි එතුමාගේ මහ ගෙදරය.  තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවන චරිතය හා බැදී විස්තර ඔහු සමග කථාකර ඇති ඒ සෑම විටම පෙනීගියේ මීගමුව කටුවපිටිය ග්‍රාමය යනු දියකඩිතිවලින්, වෙල්යායන්ගෙන් සහ රූස්ස ගස්වලින් වැසුණු මීගමුවට ආසන්නයේ පිහිට සුන්දර ගම් පෙදෙසක් බවය. අතීතයේදී කරත්තවලින් පැමිණි බැතිමතුන් කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ කුඩා කුඩාරම් තනාගෙන දිනගණන් එහි රැදී සිට  උයාපිහාගෙන ආගමික වතාවත්වලට නිරතවී නැවත ගිය බව සදහන්වේ. මීට වසර ගනනාවකට පෙර මෙම දේවස්ථාන භූමිය ඉතා විශාල වෘක්ෂයන්ගෙන් වැසී ගිය විශාල භූමියක් විය.  අද ඉතා ජනාකීරණව පැවතියද කටුවපිටියේ ග්‍රාමයේ සහ ශා. සෙබස්තියන් පල්ලිය අවට ප්‍රදේශයේ තවමත් එම සුන්දර පාරසරික ලක්ෂණ අතරින්පතර හෝ දැකිය හැක. 

යටත්විජිත යුගයේදී මීගමුව කටුවපිටිය අවට පොල් සහ වෙනත් වගාවන් වැවූ වතුයායවල් තිබී ඇත. එම වතුවලට යෑම සදහා මහහුණුපිටිය, නුගගහමුල්ල සහ කටුවපිටිය යන ප්‍රදේශ සම්බන්ද කර යටත්විජිත පාලකයින් ඉදිකළ මංමාවත් 1968දී නැවත අළුත්වැඩියා කිරීමට සහ තවත් දිගු කිරීමට සැලසුම් කල බව  1968 රජයේ අදායම් වාර්තාවේ සදහන්වේ Estimates of the Revenue and Expenditure of the Government of the Republic of Sri Lanka Ceylon  (1968)
මේ සියළු තොරතුරු ඇසුරින් මීගමුව කටුවපිටිය ග්‍රාමය පැවති ආකාරය ගැන යම් චිත්‍රයක් අපට ගොඩනගා ගත හැක. එහෙත් මෙම ග්‍රාමය ගැන ඊටත් වඩා ඈතට ගිය අධ්‍යනයක් කටුවපිටිය පල්ලියේ මීසම් පාලක පියතුමෙකු ලෙස වසර ගනනාවක් ගතකල ගරු අබා කොස්තා පියතුමා විසින් සිදුකර තිබේ. හෙළ හවුලේ සාමාජිකයෙක්වූ එතුමා කටුවපිටිය ග්‍රාමයට නම සෑදුන ආකාරයද  හෙළ උරුවට දක්වමින් පවසා සිටියේ එය කටුව+පිටිය හෙවත් අලි ලැග සිටි පිටියක් බවය. මෙහිදී කටුව යනු අලි යන අරුතක්ද ඇති බව ඔහුගේ අදහසය. අබා කොස්තා පියතුමා මීගමුව කටුනායක, කුරණ, බෝලවලාන, කටුවපිටිය, දළුපොත,  දළුවකොටුව, කට්ටුව, කදවල, සහ ඇත්ගාල යන සියළුම මීගමුවේ වෙරළ අද්දර නොවන රට තුලටවීමට ඇති ගම් සියල්ල අලින් සම්බන්ද කරමින් විග්‍රහ කරයි. පසු අවස්ථාවක මේ ගැන තවදුරටත් ලිවීම මගේ අපේක්ෂාවය. 

කෙසේවුවද, පසුව මීගමූව තිල්ලන්දුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ මීසම් පාලක පියතුමන් ලෙස සේවය කරමින් සිටි 78 හැවිරිදි ඇල්ප්‍රඩ් බර්නාඩ් අබා කොස්තා පියතුමාව 2001 මැයි මස 11 දින එම දේවස්ථානයේ මීසම් ගෘහය මංකොල්ලකෑමට පැමිණි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහසිකයෙකු විසින් එතුමා මරාදැමීමට පෙර මම අවස්ථා කිහිපයකදීම එතුමාව හමුව ඇත.  එහිදී හෙළ උරුවට සහ අලි සම්බන්ද කරමින් මීගමුවේ ගම්වල නම් විග්‍රහ කිරීමේ ගැටළුව ගැන මම එතුමා සමග කටුවපිටිය ග්‍රාමයේ නාමය ඇසුරින්ම සාකච්ඡා කර තිබේ. මගේ අදහසවුයේ රාජාවලියේ එන පටුනුගම් (ධීවර ගම්)  සහ වෙනත් ගම් බෙදා වෙන්කර 'කටුපිටි' ගම්  ඇසුරින් කටුවපිටිය නම සෑදුනා විය හැකි බවය. ඒ අනුව මම යෝජනා කලේ  කටුව යනු ගමකින් ගමක් වෙන්කරන මායිම යන්නය. 
    කටුවපිටිය= කටුව+පිටිය. 
    කටුව= ගමකින් ගමක් වෙන්කරන මායිම.
    පිටිය= මායිම, තැන්න 
එහිලා මගේ උදාහරණය වුයේ කටුපිටිමාදම්පේ. මගේ අදහස ද එතුමා පිළිගන්නා ලදී. 

කෙසේවූවද කටුවපිටිය පල්ලියේ මීසම් පාලක පියතුමන් ලෙස සේවය කරමින් වර්තමාන කටුවපිටිය පල්ලිය බිහිකිරීමට කටයුතුකලේ එතුමාය. පැරණි කුඩා පල්ලිය කඩා දැන් ඉදිකර ඇති කටුවපිටිය පල්ලිය බැලූ බැල්මට සිහිකරනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පයය. එයට හේතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියාවූ ෂර්ලි de අල්විස් (Sherly de Alwis) මහතා විසින් මෙම දේවස්ථානය නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලබා දීමය. ෂර්ලි de අල්විස් (Sherly de Alwis) මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමට පෙර දැන් මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහලටය අයත්වන මීගමුව නගර සභාවේ ප්‍රථම නගරසභා ගොඩනැගිල්ල 1941 දී ඉදිකල බව මම මීට පෙර දක්වා තිබුනි. මීගමුව කටුවපිටිය පල්ලිය වූ කලී  ෂර්ලි de අල්විස් (Sherly de Alwis) මහතා මීගමුවේ තැබු දෙවන පිය සටහනය. ඒ එක් අතකින් මීගමුවේ පල්ලි ඉදිකිරීමට යුරෝපානූ ගෘහ නිර්මාණ ශිල්පය ඉතා ඉහලින් භාවිතා කරමින් සිටි යුගයකදීය. 1936 දී ඇරැබි ප්‍රංශයේ රේමිම් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය ඉදිකිරීම ඒ වනවිටත් මහා පරිමාණයේන් ඉදිකරමින් තිබුණි. අබා කොස්තා පියතුමා යටතේ කටුවපිටිය ශ. සෙබස්තියන් පල්ලිය ක්‍රමක්‍රමයෙන් දේශීයත්වයට මුල් තැන දෙමින් ගොඩ නැගුන ලදී. 

මෙම පල්ලියේ වාර්ෂික මංගල්‍ය සැමරීම සදහා දේශීයත්වයට මුල් තැනක් දෙමින් පොල් තොරණන් ඉදිකිරීම්ද අරභා තිබේ. එවැනි දේශීය ලක්ෂණ රැගත් ප්‍රථම පොල් තොරණක් 1953 යේදී පල්ලියේ වාර්ෂික මංගල්‍ය සදහා  ඉදිකල බවට සාක්ෂි තිබේ. තවද N.S. ගොඩමාන්න ශූරීන්ද එක් පල්ලිය මංගල්‍යක තොරණකට චිත්‍ර ඇදි බව මම කියවා ඇත.   වාර්ෂික මංගල්‍ය සදහා ඉදිකල පොල් තොරණනට අමතරව තවත් තොරන් 20-30 ක් පමණ මීගමුව කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වෙනුවෙන් එම ගම් වාසීන් ඉදිකරයි. ඒ අතර අන්නාසි තොරන්, පිල්පිති තොරන්, වතුර ගලායන තොරන්, මයිලෝ තොරන් ආදිය වේ. එම තොරන්වලින් කිහිපයක පින්තූර මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ facebook පිටුව තුලින් සොයාගැනීමට ලැබුණි. ඒවා පහතින් දැකිය හැක. මීගමුවේ පල්ලිවල වාර්ෂික මංගල්‍ය සදහා ඉදිකරන තොරන් සම්බන්දයෙන් යම් අවදානයක් යොමුකිරීම ද වැදගත්ය. මන්ද ඒවාද මීගමුවේ සාම්ප්‍රදායික කලාශිල්ප අතරට ගැනිය යුත්තක් වන බැවිනි. 

මේ සියල්ල තුල මට කිව හැක්කේ මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය යනු ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ දේශීය සලකුණ එය විය  හැකි බවය. 

***මෙම ලිපිය ලිවීමට මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ facebook පිටුවෙන් විශාල ඡයාරූප ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවීය. ඒ සදහා ඔවුන්ට මගේ ස්තූතිය සහ ප්‍රශංසාව හිමිවේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
22/01/2017.



2 comments:

  1. නොදත් තොරතුරු ටිකක්.ස්තූතියි

    ReplyDelete
  2. මම නිතරම යන තැනක් තමා මේ මීගමුවෙ පල්ලිය...

    ReplyDelete