This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 17 January 2017

මීගමුව මහනගර සභාවට සිය ලාංචනයවත් රැකගැනීමට හැකිවේද ?

කුඩා ධීවර ගම්මානයක්ව පැවති මීගමුව මධ්‍යතන යුගයේ යුරෝපීයානු අර්ථයෙන් යුත් කොටුවක්, පල්ලියක්, වෙළද පොළක්, ප්‍රවාහන ක්‍රමයක් (වරායක්), පරිපාලන මධ්‍යස්ථානයක්, නිලධාරින් සහ හමුදාවක් සහිත නාගරික බල ප්‍රදේශයක් ලෙස වර්ධනයවීම ඇරබෙනුයේ පෘතුගීසින් විසින් 1523 දී මීගමුවේ කොටුවක් ඉදිකිරීමත් සමගය. මෙම මධ්‍යතන යුගයේ යුරෝපීයානු ලක්ෂණයන් ඇතුලත් මීගමුව පෘතුගීසි නාගරික ප්‍රදේශය (Portuguese city of Negombo) බිහිවීමට පෙර අරාබි, ඉන්දීය සහ වෙනත් පෙර-අප‍රදිග ජාතීන් පැමිණි වරායක්, වෙළද පොළක්, කඩමන්ඩියක්, දේවාලයක් සහ කම්හල් තිබූ නාගරික ප්‍රදේශයක්  මීගමුව කම්මල්තුරේ ප්‍රදේශය ආශ්‍රිතව  පැවති බවට Cosme Jose Costa (1990) Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka සහ සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘති ඇසුරින් මම මීට පෙර පෙන්වාදෙන ලදී. 

එහෙත් මීගමුව කුට්ටිදූව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පෘතුගීසින් බිහිකළ මීගමුව නාගරික ප්‍රදේශය (Portuguese city of Negombo) වඩාත් සංවිධානාත්මක නාගරික බල ප්‍රදේශයක් ලෙස වර්ධනයවීම සිදුවන්නේ ලන්දේසීන්ගේ බත්වියානු (ඉන්දුනීසියා) අණදෙන නිලධාරීයා වූ ජෙනරාල් Francois Caronගේ නායකත්වයෙන් යුත් ලන්දේසි හමුදා  1644 ජනවාරියේදී  මීගමුව කොටුව සහ නගරය සිය පාලනයට නතුකරගැනීමත් සමගය.  ඉන් අනතුරුව ලන්දේසීන් මීගමුව කොටුව වඩා ශක්තිමත්කර, ඒ වටා පවුරක් ඉදිකර, ඇළ මාර්ග සහ විධිමත් මංමාවත් පද්ධතියක් සහිත, වඩා අලංකාර සහ ක්‍රමවත් නගර සැලැස්මක් සහිත නගරයක් සහ නාගරික බල ප්‍රදේශයක් බවට මීගමුව පත්කළේය. ලන්දේසීන්ගේ මීගමුව නගර නිර්මාණය ගැන මම මීට පෙර ලියූ 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' නම් ලිපියේ  ඒ ගැන සාකච්චා කර තිබේ. (එය මෙතනින් කියවිය හැක)
තවද ලන්දේසින් මීගමුව නාගරික බල ප්‍රදේශය සදහා වෙනම ලාංචනයක්ද හදුන්වාදුනි. ඉහතින් දැක්වෙනුවේ එම ලාංචනය ය. මීගමුවට අදාල වතුර සහ භාජනයක් දැක්වෙන මෙම ලාංචනය ලන්දේසීන් නිර්මාණය කර ඇත්තේ මීගමුව කුට්ටිදූව (දෙමළෙන් ළමයින්ගේ දූපත යන අර්ථය ඇති) ආශ්‍රිත ප්‍රදේශවල පැවති සුවිශේෂී වතුර රැස්කරන ක්‍රමයක් ඇසුරින් බව Charles Pridham, (1849), An historical, political, and statistical account of Ceylon and its dependencies සහ R. L. බ්‍රෝහියර් (R.L. Brohier) ගේ 'Links between Sri Lanka and the Netherlands' (1978) යන කෘතිවල දක්වා තිබේ. මේ සම්බන්දයෙන් මම ගිය වසරේ පෙබරවාරියේ ලියූ 'මීගමුවේ වතුර ප්‍රශ්නය සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....' යන ලිපියේ විස්තරකර ඇත. (එය මෙතනින් කියවිය හැක). ලන්දේසීන් මීගමුව නාගරික බල ප්‍රදේශය සදහා හදුන්වාදුන් මීගමුව නගර ලාංචනය 1796 දී ලන්දේසීන්ගේ පාලනය අවසන්වී මීගමුව බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමෙන් අනතුරුවද භාවිතාවී තිබේ. 

බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1820 න් පසුව බ්‍රිතාන්‍යයන්  මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත් කිරීමට කටයුතු කල අතර මීගමුව කොළඹ පරිපාලන දිස්ත්‍රිකයේ කොටසක් බවට පත්කලහ. පසුව 1878 ජනවාරි 04 දින පළාත් පාලන ක්‍රමයක් හදුන්වාදෙමින් මීගමුව නාගරික මණ්ඩලය හෙවත් Negombo Urban Council ය පිහිටවීය. ඒ අනුව මීගමුව නාගරික මණ්ඩලය වූ කලී බ්‍රිතාන්‍යයන් ලංකාවේ පිහිටවූ පලාත්පාලන ආයතන අතරින් ප්‍රථමයෙන්ම පිහිටවූ පැරණිම පලාත් පාලන ආයතනවලින් එකකි. ඉඩම් හිමි වැවිලි කරුවෙකු මෙන්ම පහත රට වැවිලි කරුවන්ගේ සංගමයේ ප්‍රධානියෙක් වූ E. A. රාජපක්ෂ මහතා  එහි ප්‍රධානියා විය. 


1920 බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නව පනතක් අනුව (The Local Government Ordinance No. 11 of 1920) 1922 ජනවාරි 01 දින, එතෙක් වසර 44 ක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවති  මීගමුව නාගරික මණ්ඩලය හෙවත් Negombo Urban Council ය මීගමුව නාගරික දිස්ත්‍රික් සභාවක් බවට පත්කළේය (Negombo District Council). එසේ කොළඹ දිස්ත්‍රිකය යටතේ පැවත පසුව නාගරික දිස්ත්‍රික් සභාවක් බවට පත්වූ මීගමුව නාගරික බල ප්‍රදේශය 1978දී නව පරිපාලන දිස්ත්‍රික පිහිටවීමේදී නව දිස්ත්‍රික්කයක් බවට පත් නොකර අළුතින් ඇටවූ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත්කීරීම කෙතරම් අසාධාරණ, ශෝකනීය තත්වයක්ද?  

කෙසේවුවද, 1937 දී නාගරික දිස්ත්‍රික් සභාවක සිට මීගමුව නගර සභාවක් බවට පත්කිරීමේ මුලික කටයුතු සැකසීමට බ්‍රිතාන්‍යයන් විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව එවකට මීගමුව දිස්ත්‍රික් සභාවේ නාගරික ලේකම්වරයා වූ  අර්ල් ද අල්විස් මහතා විසින් අළුතින් පිහිටවීමට යන මීගමුව නගර සභාවට නිල ලාංඡනයක් අවශ්‍ය යැයි  දන්වන ලද අතර ඒ සදහා තරඟයක් සංවිධානය කරන ලදි. එහිදී මීගමුවේ මයිකල් ආන්ජලෝ ලෙස සලකන මීගමුවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක්වූ N.S. ගොඩමාන මහතා ඉදිරිපත්කල නිර්මාණයට ප්‍රථම ස්ථානයත්, එවකට පේරදෙණිය උද්හිද විද්‍යායතනයේ චිත්‍රශීල්පීයා වූ ජෝර්ජ් අර්ල්ස් මහතා ඉදිරිපත් කල නිර්මාණයට දෙවන ස්ථානයත් හිමිවිය. 

මෙම දෙපොළගේම නිර්මාණවල වූ පොදු ලක්ෂණයක් වුයේ මීගමුව නගරය බිහිකිරීමට ඉවහල් වූ මීගමුව කොටුව මීගමුවේ කේන්ද්‍රීය ලක්ෂණය ලෙස සලකා සිය  නිර්මාණයන් ඉදිරිපත් කිරීමය. තවද මීගමුව ධීවර කර්මාන්තය දෙදෙනාම පොදුවේ සිය නිර්මාණයන්හී  දක්වා තිබුණි. එම පොදු ලක්ෂණ අතර වෙනස්කම් කිහිපයක්ද විය. 

එනම් N.S. ගොඩමාන මහතා ඉදිරිපත්කල නිර්මාණය තුල එවකට ඔහුගේ ඉතාමත් සමීප මිතුරෙකුවූ,  මීගමුව හෙළ හවුලේ නායකයා මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ එවකට මීගමුව ප්‍රධාන සංවිධායකයා වූ ව.ස. ප්‍රනාන්දු මහතා හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු නොහොත් සන්තියාගෝ ගුරුන්නාන්සේ ප්‍රචලිතකල 'මීගමුවේ නම නිර්මාණය වුයේ විහාර මහා දේවියගේ දොළදුක නිවූ මීවදය මීගමුවෙන් සොයාගත් නිසායයි' යැයි යන කථාව නිරූපණය කිරීමට මී මැස්සේක් ඇද තිබීමය. 

අනෙක් අතට පේරදෙණිය උද්හිද විද්‍යායතනයේ චිත්‍රශීල්පීයාවූ ජෝර්ජ් අර්ල්ස් මහතා  ඇද තිබූ චිත්‍රයේ මී ගසක් සහ කුරුදු පැලයක් ඇද තිබුණි. මී ගස නියෝජනය කරමින් ජෝර්ජ් අර්ල්ස් මහතා දක්වා තිබුනේ මීගමුවේ නම නිර්මාණය වීම පිලිබදව පැවති අනෙක් කථාව වන 'මීගස් ගොන්න' හෙවත් මීගමුව යන්න නිරූපමනය කිරීමය. එමෙන්ම කුරුදු වූ කලී මීගමුවේ නම කාලයක් තිස්සේ ලොව පුරාම ප්‍රචලිත කල එවකට මීගමුවේ බහුලව පැවති ශාකයක් විය. ලන්දේසි ජාතික ෆන්රී ආණ්ඩුකාරවරයාගේ සහ මැට්සූකර්ගේ ලන්දේසි වාර්තාවලින්ද, නොර්ත් ආණ්ඩුකාරවරයා කුරුදු වැවීමට මරදාන හා මීගමුවේ කදිරාන නම් ප්‍රදේශ තෝරාගැනීමෙන් ද එය තවදුරටත් සනාථ වේ.

මීගමුව නගර ලාංචනය නිර්මාණය කිරීමට පත්කර තිබු කමිටුවේ ප්‍රධානියාවූ එවකට මීගමුව දිස්ත්‍රික් සභාවේ නාගරික ලේකම්වරයා වූ අර්ල් ද අල්විස් මහතා විසින් N.S. ගොඩමාන මහතා සහ ජෝර්ජ් අර්ල්ස් මහතා විසින් අදින ලද ලාංචන දෙකම ඇසුරින් නව ලාංචනයක් නිර්මාණය කිරීමට තීරණය කළේය. එහිදී ව.ස. ප්‍රනාන්දු (සන්තියාගෝ ගුරුන්නාන්සේ) ආදීන් ප්‍රචලිතකල 'මීගමුවේ නම සෑදුනේ විහාර මහා දේවියගේ දොළදුක නිවූ මීවදය ඇසුරෙන්' යැයි යන කථාව ප්‍රබන්ධයක් බවත්, මහා වංශයේ සහ ථුප වංශයේ දක්වා ඇත්තේ විහාර මහා දේවිගේ දොලදුක පිනවූ මී වදය සොයාගත්තේ 'ගොළු මුහුද වෙරළින්' බවත්, ඒ ගොළු මුහුද යනු දකුණු මුහුද මිස මීගමු මුහුද නොවන බවත් පිළිගන්නා ලදී. 

එහෙත් එම ප්‍රබන්ධය තුල මීගමුව මහාවංශය මුල්කරගත්  රටේ ප්‍රධාන ජාතික ඉතිහාසයට සම්බන්ද කරන බැවින් මී මැස්සා මීගමුවේ නගර ලංචනයට යොදා ගැනීම වැදගත් යැයි සැලකීය. එමෙන්ම ඒ වනවිට ද මීගමුවේ කුරුදු වගාව සහමුලින්ම පාහේ බිද වැටී තිබුන ද කුරුදු සහ මීගමුව අතර ඇති සම්බන්දය සැලකිල්ලට ගෙන ජෝර්ජ් අර්ල්ස් මහතාගේ චිත්‍රයේ දැක්වූ කුරුදු පැලයද මීගමුව නගර ලංචනයට එක් කරගන්නා ලදී.

මේ දෙපලගේම නිර්මාණවලට පරිබාහිරව 'නැගෙන හිරු' සලකුණද ඇතුල්කරගෙන ඇත. එමගින් විදේශ ආධිපත්‍යයෙන් මිදෙමින් ක්‍රමයෙන් ස්වයංපාලන අයිතිය ලබා නිදහසේ අරුණාලෝකය ලබන ජාතියකගේ බලාපොරොත්තුව සංකේතවත් කරන බව දැක්වේ. එහෙත් මෙම නැගෙන හිරු සලකුණ මීගමුවේ දෙමළ බස කතාකරන, මීගමු ජන සංයුතියේ ප්‍රධාන ජනවර්ගයක් වන 'කරාව ජනයා' සහ ඔවුන්ගේ පැරණි කොඩිය නියෝජනය වෙන බව මීගමු වැල්ලවීදියේ වර්ණකුලසූරිය පරපුරේ ප්‍රධානියෙක් මීට කලයකට පෙර මට දන්වා තිබුණි. රගුවාන් ගේ  කරාව වංශකථාව කියවා ඇති, කරාව කොඩි ආදිය ගැන යම් අධ්‍යනයක් කර ඇති මට එම කථාවේ යම් පසුබිමක් ඇති බව පිළිගැනීමට අපහසු නැත. 

ඒ සියල්ලම තුල මීගමුව නගර ලාංචනය සිය තේමාව කරගත්තේ මීගමුව නගරයේ ඇති ප්‍රධාන ගතික ලක්ෂණය වන සියළු ආකාර ආගම්, ජාති, භාෂා, කුල ආදී විවිධත්වයන් තුල ඇති සමගිය, සාමය සහ එකමුතුකමය හෙවත් Unity, Peace and concord යන්නය. 

එයට අමතරව මීගමුවේ ප්‍රධාන කර්මාන්තය වන ධීවර කර්මාන්තය  සහ එම සම්ප්‍රදායක ධීවර කර්මාන්තය සදහා මීගමුවේ භාවිතා කරන, මීගමුවටම ආවේනික, රුවල් ඔරුවද, ලොව පතල සංචාරක පුරයක් ලෙස මීගමුවේ නම රැන්දූ මීගමුවේ රන්වන් වෙරළද, මීගමුවේ ආහාර සංස්කෘතිය තුල වඩාත් ප්‍රසිද්ධ රසවත් කැකුළුවාද දැක්වේ.
මෙලෙස නිර්මාණය කල මීගමුව නගර ලාංඡනය 1940 ජනවාරි 13 පිහිටවූ මීගමුව නගර සභාවේ URBAN COUNCIL ලාංඡනය විය. 1950 දී මිගමුව නගර සභාව මහනගර සභාවක් MUNICIPAL COUNCIL බවට පත් කිරීමෙන් අනතුරුව ද, අද දක්වාම එය භාවිතයට ගනී.

එහෙත් අද ප්‍රශ්නය වන්නේ මෙම ලාංඡනය තවදුරත් මීගමුව නගර සභාවට භාවිතා කිරීමට හැකිවේද යන්නය. ඒ  පැහැදිලිවම නගර සභාවේ රාජකාරී ලිපි ලේඛන වලදී මෙන්ම වෙනත් බොහෝ අවස්ථාවලදී මෙම නිල ලාංඡනය වැරදි ලෙස භාවිතා කරන නිසාම නොවේ. (පහතින් දක්වෙනුවේ එවන් වැරදි ලෙස මුද්‍රණය කල ලාංඡනය.) 





                      











අද ප්‍රශ්නය ඊට වඩා දරුණුය. එනම් මෙම ලාංඡනයේ ප්‍රධාන අංගය වන මීගමුව නගරය නිර්මාණය කල මීගමුව කොටුව කඩා වැටීමට ඉතාමත් ආසන්නය. මීගමුව, කදවල ලන්දේසී කුළුණට අත්වූ ඉරණම මීගමුව කොටුවට සහ මීගමුව කොටුවේ ඔරලෝසු කණුවට අත්වීමට ඉතා ආසන්නය. ඒ ගැන මම ලියූ මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ" ලිපිය ඔස්සේ සාකච්ඡා කර ඇත. (එයට මෙතනින් පිවිසිය හැක)
එය රැක ගැනීමට මීගමුව මහ නගර සභාව කරන්නේ කුමක්ද? එවැනි සෝචනීය ඉරණමක් මීගමුව කොටුවට ද අත්වන තුරු මීගමුව නගර සභාව බලා සිටීද? 
මීගමුව මහ නගර සභාවට සිය මුල්ම නගර ශාලාව වූ මීපුර පුරහලවත් රැක ගැනීමට නොහැකිවිය. ඒ ගැන මම මීට පෙර ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' යන ලිපියේ ලිය ඇත. (එයට මෙතනින් පිවිසිය හැක)

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිර්මාණය කල ගෘහ නිර්මාණ ශිල්පීයාවූ ෂර්ලි de අල්විස් (Sherly de Alwis) විසින් නිර්මාණය කල මීගමුව නගර සභාවේ ප්‍රථම නගර සභා ගොඩනැගිල්ල ද දැන් අයත් වන්නේ මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහලටය. (ඒ ගැන මා ලියූ සටහන කියවීමට මෙතැනින් පිවිසෙන්න).
දැන් මීගමුව කොටුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සංරක්ෂණය කරන තෙක් බලා සිට මීගමුව මහ නගර සභාව සිදුකරන්නේ සිය ලාංඡනයේ මුලික රූපයත් නැති කරගැනීම නොවේද? 

මීගමුව මහනගර සභාවට සිය ලාංචනයවත් රැකගැනීමට හැකිවේද? යනුවෙන් මම අදහස් කලේ එයය.  මීගමුවේ නගර වැසියන්ගේ ප්‍රධාන පුරාවස්තුව මෙන්ම මීගමු නගර වාසීන්ගේ අනන්‍යතාවයේ සංකේතය වන මීගමුව කොටුව රැක ගැනීමට මීගමුව මහ නගර සභාව කරන්නේ කුමක්ද?






මාකස් ප්‍රියන්ත පෙරේරා
17/01/17.

4 comments:

  1. ඉතිහාසය යනු ඉතිහාසයයි. එය හෙල, ඉන්දියානු, සිංහල, දෙමල, අරාබි, ජා, චීන හෝ යුරෝපීය ජාතියක ඉන්ෆ්ලුවන්ස් එකකින් විය හැක. ඒ සියල්ලම අපේ රටේ ඉතිහාසයවේ.

    දුක හිතෙන තව දෙයක් තමයි පාරවල් වල නම් වෙනස් කිරීම.
    e.g. මහ නියර පාර, කුඹුක ලිඳ පාර, ගෝනා වැටුනු කුඹුර පාර, ඇටඹ ගහ පාර වගේ ඒවාගේ මුල සිහිවෙන පාරවල් දේශපාලකයෙක්, ආගමික පූජකයෙක්, සමාජ සේවකයෙක්, කලා කාරයෙක් රණ විරුවෙක් වගේ පුද්ගලයෙක්ගේ නමින්ග් නම් කලාම එහි ඉතිහාසය යටවී මතකයෙන් ගිලිහී යනවා.

    අනිත් එක ඉන් ග්‍රීසි කාලෙ පුද්ගලයාගේ එක නමයි පාරට දැම්මේ. දැන් ගරු නාම සහිතව සම්පූර්ණ නම දානවා. හාමුදුරුනමකගේ නමක් දැම්මාම ලියා ගන්නත් අපහසුයි :-D

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත සමහර නම් කියවා ගන්න හරි අමාරුයි. හැබැයි ඒක කොයි භාෂාවේත් තියෙන දෙයක් !!!

    ReplyDelete
  3. මාකස්ගේ ලිපි තුලින් මීගමුව ගැන කියවීම වගේම, මීගමුවට සිදුවෙන අකටයුතුද දැනගන්න ලැබෙනවා. මේ සියල්ලටම මුල තමයි මීගමුව පරිපාලනය බුද්ධ්මත් මිනිසුන්ගෙන් ගිලිහී පාදඩයින් අතට යාම. මේ පාටි පොලිටික්ස් ගැන නෙමේ. මේක තමයි අපේ රටේ ඛේදවාචකය.

    ReplyDelete
  4. අනුර, මීගමුවේ විටිනාකම් ආරක්ෂා කර දීමට නොහැකි වීමට එහි පරිපාලනය බුද්ධිමතුන්ගෙන් ගිලිහී පාදඩයින් අතට පත්වීමත් එක් හේතුවක් තමයි. අනෙක් අතට රටක් විදිහට ඒ දේ අපේ මිනිස්සුන්ට කරදීමට අපේ රටේ කිසිම නායකයෙකුට උවමනාවකුත් නැහැ.

    ReplyDelete