කළුතර දිස්ත්‍රිකයෙන් වාමාංශික දේශපාලනයට පැමිණ සමාජවාදය වෙනුවට ජාතිකවාදී දේශපාලනය කරපින්නාගත් පුද්ගලයින් ගණන අනන්ත අප්‍රමාණය. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ නව සමසමාජ පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කල නලීන් ද සිල්වා මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද මෙහිදී ඒකවිට මතකයට එන නමුදු චම්පික රණවක සහ විමල් වීරවංස ඔවුන් සියල්ලන්ටම වඩා ඉස්මතුව පෙනේ. ඒ අතරින් සිය ඥාති-මිත්‍රාදීන්ට මහජන මුදල්වලින් සැප-සැපත්, යාන-වාහන ආදිය ලබාදීම නිසාම විමල් වීරවංස පසුවනුයේ ඉතා කූජිත තැනකවූ නමුදු රාජපක්ෂලා බලයටගෙන ඒමට උගුරු ලේරහවෙනතුරු හඩ නැගුවෙක් ලෙසත්, ජාතිමාක, දේශමාපක, ඉන්දියානු විරෝධී අධිරාජ්‍ය විරෝධී සටන්පාඨ නිතර ඉහලින්ම ඔස්සවා තැබුවෙක් ලෙසත් සියල්ලන් අතරින් වැඩි අවධානයක් ඔහු දිනාගෙන තිබෙන බව පැහැදිලිය.
කළුතර තරුණ බෞද්ධ සංගමයේ සිටි අපේ ඇතැම් මිතුරන් මෙන්ම කළුතරින් බිහිවූ බොහෝ වමේ දේශපාලඥයින් ද අපට කිව්වේ ලංකාවේ දේශපාලනය හදුනාගත යුත්තේ කළුතර ලත්පදුරෙන් බවය. එහෙත් අපි කිව්වේ ලංකාවේ දේශපාලනය හදුනාගැනීමට කළුතර ලත්පදුරත්, කළුතර බෝධියත්, කළුතර කැලිඩෝ වෙරළත් එක ලෙසම වැදගත් බවයි. ඉන් කියවෙන්නේ කුමක්ද යන්න කළුතර දිස්ත්‍රිකයේ ලත්පදුරේත් සහ කැලිඩෝ යන ප්‍රදේශ දෙක පිලිබදව විමසා බැලීමෙන් අවබෝධ කරගත හැක.
ලත්පදුර යනු අගලවත්ත සහ බදුරළිය අතර පිහිටි සුන්දර පිටිසර ගමකි. එය කලක් සිංහරාජ මහවනයේ කොටසක්ව පැවති බවට අදටත් එම පෙදෙසේ ඉතිරීවී ඇති මහා වෘක්ෂ සාක්ෂිදරනු ඇත. යටත්විජිත පාලකයන් විසින් ඒ මහා වනයේ කොටස් හෙළිපෙහෙලිකර සිලින් දෙකට-තුනට ව්‍යාපාරිකයන්ට වතුවගාව සදහා විකුණා ඇති බව එහි අදටත් ඇති තේවතු-රබර්වතු තවමත් සාක්ෂි දරනු ඇත. ඒ හේතුවෙන් පරිසරයේ සමතුලිත බව බිදවැටී, මුඩු බිම් බිහිවි, ගංවතුර ආදී තර්ජනවලට ලක්වූ පීඩිත ගැමි ජනතාවක් එහි සිටී. ඒ සියල්ල අතර මෙම පෙදෙසට ප්‍රෞඩ ඉතිහාසයක්ද හිමිය. ලක්පදුර අයත්වන්නේ පාරින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටය. පාරින්දනුවර යනු වීදිය බණ්ඩාර කුමාරයා පෘතුගීසින්ට එරෙහිව සටන්කිරීමට රෝදබැදගත් ස්ථානයකි. ඉන් එපිට ඇති බදුරළිය යනු සුද්දන්ගේ බදුවලට එරෙහිව නැගීසිටි බදු-රැළිය යන්නෙන් බිදී ආ බවක් කියවේ.
එහින් අධිරාජ්‍යවාදීන් මේ සරිලකට කල හානිය සහ ඊට විරුද්ධව නැගී සිටි ප්‍රෞඩ ඉතිහාසයක් හිමි ජාතියකගේ අධිරාජ්‍ය විරෝධී ජාතික සහ වාමාංශික දේශපාලනය විස්තර කරදීමට ලත්පදුර තරම් තවත් උදාහරණයක් කළුතර තිබේද?
එහෙත් එම දිස්ත්‍රික්කයේම පිහිටි කැලිඩෝ වෙරළ (Calido beach) එයට වඩා ඉදුරාම වෙනස්ය. එහි කිසිදු ජාතිමාපක-දේශමාපක ගතියක් නැත. හරිත වර්ණ, නේක පත්‍ර වෘක්ෂයෝද එහි නැත. ඇත්තේ තඹ පාට වෙරළ සිබින නිල්වන් මුහුදු තීරය පමණි. ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කල, අධිරාජ්‍යවාදයේ පීඩනයෙන් හෙම්බත්වූ ජනතාවක් වෙනුවට ඒ අවට ඇත්තේ අධිරාජ්‍යවාදයෙන් ප්‍රතිලාභ භුක්තිවිද, අධිරාජ්‍යවාදීන්ගේ උකහාගත් සිතුම් පැතුම්, වටිනාකම් අනුව තම ජීවිතය ගොඩනගා ගත් පිරිසකි. සැහැල්ලු සිතින් මුහුදු වෙරළේ ඇවිදින විශ්‍රාම සුවයෙන් කල්ගත කරන තලතුනා පිරිස්, ආදරයෙන් පෙම් බස් දොඩන තරුණ-තරුණියන්, හවසට මධුවිත තොලගාමින් ගී කියන තරුණයන් කැලිඩෝ වෙරළ අරක්ගෙන සිටී.
ලත්පදුරත්, කැලිඩෝ වෙරළත් ඇර ලංකීය දේශපාලනය තේරුම් ගත හැකි තවත් තැනක් කළුතර වේ. ඒ කළුතර බෝධියය. පැරණි ලන්දේසි කොටුව කඩා දැන් ගොඩනගා ඇති කළුතර බෝධිගාරය නිදහසින් පසු ලංකාවේ දේශපාලනය දිග හැරුණු හැටි කදිමට විස්තර කරදීමට සමත්ය. එහෙත් ඒගැන ලියවෙන්නේ නැතිම තරම්ය. (ඒ ගැන මා මීට පෙර ලියා ඇති ලබ්බට තිබ්බ අත පුහුලටත් ? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත් ? යන ලිපියෙන් කියවිය හැක) 'ගිණි ගණිත, ගිණි ගණිත, ඇටමිදුළු ගිණි ගණිත' කියා කළුතර බෝධිය ගැන කවියක් පටන්ගන්නා සරත් අමුණුගමට පවා එම ඉතිහාසය ලියා තිබිය හැකිවුවද ඔහුද එම 'මර යුදෙන් පලා විත් බෝ රුකේ සිසිලසටම වැද හුන්හ.
නිදහසින් පසු ගෙවීගිය දශක හත යනු දෙදහස් පන්සීයකට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ලක් ඉතිහාසයේ කෙතරම් නම් සුළු කොටසක්ද? අඩුම තරමින් ලත්පදුරට පවා එයට වඩා කෙතරම් දීර්ඝ ඉතිහාසයක් තිබේද?
'සීගිරියේ ගල උඩ මාලිගා තැනු', 'පයිතගරස්ටත් කලින් පයිතගරස් ප්‍රමේය යොදාගනිමින් මහා දාගැබ් බිහිකළ', 'රජරට මහා වැව් කරවූ ජාතියක්' වෙසෙන මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරගැනීමට, සුන්දර ගම්බිම් නැවත නගාසිටවීම වෙනුවෙන් 'ජාතිය' අවදි කිරීමට, උගුරේ ලේ රහවනතුරු විමල් වීරවංශ බෙරිහන් දුන්නේ ඒ දෙදහස් පන්සීයකට වඩා වැඩි ඉතිහාසය උරගාමිනි. 2008 දී මහින්ද රාජපක්ෂ මහතා ලක්පදුර සහ බදුරැළිය ප්‍රදේශවල මහාමාර්ග, පාලම්, බෝක්කු සහ ඇලවල් පිළිසකර කිරීමට අයවැයෙන්ම මුදල් වෙන්කල සේ ජනහිතකාමී, අධිරාජ්‍ය විරෝධී රජයක් විසින් ග්‍රාමීය ප්‍රදේශ සදහා යටිතල සහ වෙනත් අවැසි පහසුකම් සලසා දෙන්නේ නම් නැවතත් මේ රට කෙතෙක් නගා සිටවිය හැකිද යනුවෙන් ඔවුහු මොර ගසති. කන අග රැදී ඒ බස් සිහිනෙන් මෙන් නැවත පසක් කරගන්නා සෙස්සෝද 'අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි' යැයි කියමින් ලතෝනි දෙති. බ්ලොග් ලියති. පොත් ලියති. කවි සින්දු කියති, ලියති, මුමුණති.
එලෙස විචිත්‍රණය කරනලද දේශපාලන චිත්‍ර ඕනෑ තරම් සාහිත්‍යයේ නම් තිබේ. එහෙත් ඒ යටින් කියවෙන කථාව එම විචිත්‍රණයන් තරම්ම සුන්දර නැත. එයට හොදම උදාහරණය Laura Ingalls Wilder(1935) ගේ Little House on the Prairie ළමා නවකථාවය. සුන්දර පරිසරයක, පරමාදර්ශ මැද දිවි ගෙවන සුන්දර පවුලක් වටා ගෙතෙන එම Prairie වාසීන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ලවන්නේ රතු ඉන්දියානුවන්ගෙන්ය. ඒම පසුබිම තුල සෑම මිනිසෙකුම සමානය, සමාන අයිතිවාසිකම් හිමිය, සමාන අවස්ථාවන් හිමිය වැනි සමානාත්මතාවාදි (egalitarian) අදහස් අතරම "The only good Indian was a dead Indian"වැනි වර්ගවාදී, මේලේච්ච අදහස්ද දිගහැරේ.
වීරවංසගේ, මෙන්ම චම්පික රණවක ආදීන්ගේ, අධිරාජ්‍යවාදීන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට එරෙහි 'ලක්පදුර' ඇසුරෙන් පැනනගින තනබිමේ කතන්දරයක් සේ (prairie tale) විචිත්‍රණය කල දේශපාලනය තුල සමානාත්මතාවය ගැන අදහස් අතර වර්ගවාදී යුද්ධවාදී අදහස්ද එකවිට ගැබ්වන්නේ එලෙසය. යුද්ධය අවසානයේ ලක්පදුරේ ජනයාට කෙසේවුවද සිය පවුලේ ඥාති-මිත්‍රාදීන්ට නම් සැප-සැපත්, යාන-වාහන නොඅඩුව ලැබුණි. තමන්ට වදදෙන උප්පැන්න සහතිකය පමණක් නොව එහි උපන් දිනයද වෙනස්කර ගත්හ. එහෙත් වීරවංස විචිත්‍රණය කල, තනබිමේ කතාන්දරයක් තරම්ම සුන්දර ඔහුගේ prairie tale දේශපාලනය දැන් උසාවි භූමිවලින් විඛන්ඩනය කරනු ඇත.
විමල් වීරවංසලා, චම්පික රණවකලා, උරච්චිකල දේශපාලනයට ඉදුරාම වෙනස් දේශපාලනයක් කල මහත්මයෙක් කළුතරම, ලක්පදුර ග්‍රාමයට ආසන්නයේම විසුහ. ඒ මතුගම දයා ටී. පැස්කුවෙල් හිටපු මන්ත්‍රීතුමාය. ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් සප් සතර සහ දැනුම පුළුල් කරගත්හ. ඉංග්‍රීසි ඉගැනීමට මහත් වෙහෙසක් දරමින් කළුතර පැරණි බ්‍රෝහියර් පාසලට මෙන්ම හෝලි ක්‍රොස් විද්‍යාලයටද ඇතුල්විනි. ඉන් ලැබූ අභාෂය නිසාම වැදගත් මනුෂ්‍යයෙක්සේ නීතියට අනුව හැසිරීම ප්‍රගුණ කළේය. මුදලට, වස්තුවට සහ තාන්න මාන්න වෙනුවෙන් සිය ආත්මය පාවා නොදෙන ලදී. තම ඥාති-මිත්‍රාදීන්ට සැප-සැපත්, යාන-වාහන ආදිය දීම කෙසේවෙතත් තමාද පොදු ප්‍රවාහන සේවයේම යෑම පුරුද්දක් කරගෙන සිටියහ. සිය ජීවිතකාලය තුල පැරණි ලන්දේසි කොටුව ක්‍රමයෙන් කඩදමමින් කළුතර බෝධිගාරය බිහිවෙන අයුරු සියසින්ම දුටු නිසාම දෝ ඔහු ජාතිය සහ ආගම කරපින්නාගත් දේශපාලනයක නිරත නොවන ලදී. තවත් ජාතියක්, මනුෂ්‍ය කොට්ටාශයක්, සංස්කෘතියක් යටපත්කිරීම, විනාශ කිරීම, ඒ මත අධිපතිවාදී බලකාමී දේශපාලනයක් කිරීම සිය දේශපාලන දෘෂ්ටිවාදය කරනොගත්හ. ජාතික ඇදුම ඇද, සිය ජාතික ආගමික වටිනාකම් අනුව ජාතියටම ආදර්ශයක් ලෙස සැහැල්ලුවෙන්, සරල ලෙස ජීවිතය ගතකළේය. එවන් දේශපාලඥයින්ගේ දේශපාලනය දැන් නම් සුරන්ගනා කථා (fairy tale) යැයි සිතනු ඇත.
එහෙත් අද අප ඉල්ලන්නේ වීරවංසගේ හෝ චම්පික රණවකලාගේ ලත්පදුරේන් පැන නගින 'තනබිමේ කතන්දරයක්' (Prairie tale) සේ විචිත්‍රණය කල මාරාන්තික දේශපාලනයක් වෙනුවට කැලිඩෝ වෙරළේ ජීවිතය ගතකරන්නාක්මෙන් මෙන් ගෙවිය හැකි, දයා ටී. පැස්කුවෙල් වැන්නවුන් පනපෙවූ 'සුරන්ගනා කථාවක්' (fairy tale) බදු සුන්දර දේශපාලනයක් නොවේද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
11/01/17.
බොහොම ස්තූතියි මාකස්, ලත්පඳුර සහ කැලිඩෝ වෙරළ ඇසුරෙන් කල ඉතාම අපූරු විග්‍රහයක්....:)
ReplyDeleteස්තූතියි රවී, එහි අර්ථය ඔබට ගලගියා නම් ඒක ගැන මම සතුටුයි.
ReplyDelete