This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 24 April 2015

D.F. කාරියකරවන නම් මීගමුවේ සිංහල වියතා


 මීගමුවේ භාෂාව ගැන වෙනම කථාකළ යුතුය. ඒතරමට එය සංකීරණය, පැටලලි සහගතය. ඒ මීගමුවේ ජන වහරට සිංහල, දෙමළ, අරාබි, මැලේ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ලතින්, ඉතාලි, ග්‍රීක, සහ කොන්කානි (ගෝවේ භාෂාව) ආදී භාෂාවලින් විවිධ කැලී එකතුවී ඇති බැවිනි.


මීගමුවේ සිංහල පමණක් නොව දෙමළ ද එසේමය. මීගමු දෙමළ  යනුවෙන් වෙනම උපභාෂාවක් ද (Negombo Tamil dialect) දෙමළ භාෂාව තුලවේ. වරක් සාම සාකච්ඡාවලට සහභාගීවූ ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ට මීගමුවේ දෙමලෙන් පොඩ්ඩක් කථා කරන්ඩ යැයි LTTE නියෝජිත ඇන්ටන් බාලසිංහම් මහත් උනන්දුවෙන් ඉල්ලාසිටි බව පුවත්පත් වල ලියවී තිබුනි. අද සිංහල ගීත වලටද මීගමුවේ මේ අපූරු ජනවහර ගෙනගොස් ඇති බව චින්තිගේ සිංදුවක එන 'කඩප්පුලි' යන වචනය මතක්කරදේ. 

එහෙත් සිංහල භාෂාවේ අරුත-නිරුත, ව්‍යාකරණ, පද-විවරණ කියා දුන් විශිෂ්ඨ සිංහල වියතෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ D.F. කාරියකරවන මහතාද බිහිවුයේ මෙවැනි අවුල් සහගත භාෂාවක් ඇති මීගමු පුරවරයෙන්මය. 1922 පෙබරවාරි 08 දා මීගමුව කුරණ ග්‍රාමයේ උපත්ලබා ඉකුත් අප්‍රියල් 21 (2015) දින මියයන විට ඔහු වසර 93 දිවිගෙවා තිබුණි. මුලින්ම පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතුකල ඔහු සිය ජිවිතයේ විශාලතම සේවය කලේ මාධ්‍යවේදියෙකු ලෙසය. 1947 ඇරබු ලංකාදීපයේ මුල්ම කතෘමණ්ඩල සාමාජිකයෙක් වූ ඔහු පසුව 1951 දී ලේක්හවුස් ආයතනයට බැදී ඇත. 1989 දී ලංකාවේ මුලික පුවත්පත වන  සිළුමිණ පුවත්පතේ කතුවරයා ලෙස විශ්‍රාම ගියද, මැරෙන තුරුම දොස්-නොදොස්, අරුත-නිරුත යනුවෙන් සිළුමිණ පත්තරේ තීරු ලිපියක් ලිවීය. එම ලිපිවලින් සිංහල රචනයේ ඇති ව්‍යාකරණය පිලිබදව නිතර ගුණ-දොස් ලිවීය. 

මීගමුවේ පමනක් නොව රටේ බොහෝ දෙනෙකුට වඩා ඔහුට  සිංහල භාෂාව පිළිබද විශිෂ්ඨ දැනුමක් ලැබීමට හේතුවුයේ මුනිදාස කුමාරතුංග සහ හෙළ හවුලේ ඇසුරය. හෙළ හවුලේ මීගමුවේ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කර ඇති ව.ස. ප්‍රනාන්දු මහතා D.F. කාරියකරවන මහාතාගේ ගුරුවරයෙකු ලෙසද සැලකේ. මුනිදාස කුමාරතුංග බිහිලක සිංහල භාෂා ප්‍රේමීන් බණ්ඩාරනායකගේ 'සිංහල භාෂා පෙරමුණ' වටා රොක්ව, 'මහජන එක්සත් පෙරමුණ' බිහිකර, ඒ යටතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර සිංහල ජාතික ව්‍යාපාරයට පණපොවන විට ව.ස. ප්‍රනාන්දුලා, D.F. කාරියකරවනලා, සිය ආගම කතෝලික ආගම වූවද, සිංහල ජාතික ව්‍යාපාරයට උරදෙන ලදී. පසුව මහජන එක්සත් පෙරමුණ පිලිප් ගුණවර්ධන යටතට පත්වනවිට ව.ස. ප්‍රනාන්දු එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 


කෙසේවුවද මුනිදාස කුමාරතුංගගේ අඩිපාරේ ගිය මීගමුවේ හෙළ හවුලේ සාමාජිකයන් සිය කටයුතු සදහා මීගමුවේ අඩිතාලම දමාගෙන ඇත්තේ මීගමුවේ නම පිළිබද විවාදයක් අරබමිනි. එනම් මීගමුවේ නම 'මීගමුව' යන්න වැරදි බවත් එය 'මීගොමුව' විය යුතුබවත් ඔවුන් තර්ක කර ඇත. එය 1940 නිකුත්කර ඇති මුනිදාස කුමාරතුංග ගේ “සුබස” සඟරාවකින්ම දක්වා තිබේ. මුනිදාස කුමාරතුංග ගේ “සුබස” සඟරාවට අනුව මීගමුව, මීගොමුව විය යුතුයැයි යෝජනා කරනුයේ කෝකිල සංදේශයේ 176 කවි පංතියකට අනුවය. එනම්

"නෑර මුවේ කියන පියලිය රසකොට 

ගීල මුවේ පුරමින් සවන කැරුතුට 

චාගමුවේ ගත් ගොදුරට ලොබනොකොට 

මීගොමුවේ ගෙමුවෝ සිටිති හැම විට" 

එහෙත් මීගමුවට මීගමුව ම කියන තවත් පැරණි කවියක් තිබෙන බව මුනිදාස කුමාරතුංග හෝ හෙළ හවුල නොසලකා හරින ලදී, ජන කවියක් වන එම කවි පන්තිය මෙසේය 

“දුන්න දුනු ගමුවේ 

ඊතල කිතල ගමුවේ 

රාළ මීගමුවේ 

මුවෙක් 

හැඬුවයි සබරගමුවේ”

 මීගමුවට මීගොමුව යැයි කී සිංහල භාෂා ප්‍රේමීන් පසුව මීගොමුව නම හැදුනේ විහාරමහා දේවියගේ දොළ දොලදුක සංසිදවීමට මීවදය සොයාගත් තැන නිසායයි අර්ථකථනය කළහ. තවද දුටුගැමුණු රජගේ කඩොල් ඇතා සොයාගත්තේ මීගමුවෙන් යයිද අර්ථකථනය කළහ. එමගින් දුටුගැමුණු  රජ කේන්ද්‍ර කරගත් මහා සිංහල ජාතික ඉතිහාසයට, යුරෝපීන් පැමිණීමට පෙර එතරම් වැදගත් කමක් නොගත්, හුදු ධීවර ගම්මානයක් වූ මීගමුවද සම්බන්ද කරන ලදී. ඉහත කථා  'ථුපවංශය' යේ එන විහාරමහා දේවියගේ කථාවේ 'ගොළුමුහුද' යන්න වැරදිලෙස අර්ථනිරූපණය කිරීම් තුල නිර්මාණය කරගත් ඒවා වන අතර එවැනි කථා ප්‍රචලිත කරන්නට වෙහෙසුණු තැනැත්තා මීගොමුවේ ව.ස. පනඳු නම් වූ සන්ති ගුරුන්නාන්සේ (ව.ස. ප්‍රනාන්දු) යැයි D.F. කාරියකරවන 2014/07/01 ඉරිදා සිළුමිණ පුවත්පතට ලියා ඇත (http://www.silumina.lk/2014/06/01/_art.asp?fn=cr1406016&p=1). 

 මෙවැනි කථා ඊළගට රටතුල තහවුරු කිරීමට මහත් වෙහෙසක් ගත් තැනැත්තා  D.F. කාරියකරවනය, ඔහු 'කුරණ කාරියකරවන' සහ 'මීගොමු කුමරා' ලෙස ආරූඩ නාම (pseudonym) වලින් පෙනීසිටිමින් මුනිදාස කුමාරතුංගගේත්, හෙළ හවුලේත්,  ව.ස. ප්‍රනාන්දුගේත් ඉහතින් දැක්වූ අදහස් සිය මාධ්‍ය ජීවිතය පුරාම තහවුරු කිරීමට කටයුතු කරන ලදී. 

තමා උපන්, හැදී වැඩුණු, මීගමුවේ ප්‍රාදේශීය වෙනස්කම් කුමක්වුවත්, ශ්‍රී ලංකවේ ඒකීය රාජ්‍ය මොඩලයට ගැලපෙන බහුතර සිංහල බෞද්ධ ජනයාගේ ජාතික අනන්‍යතාවය සෑම අස්සක් මුල්ලක් නෑරම ගොඩනගා ගැනීමෙහිලා සිංහල භාෂා ප්‍රේමීන් ලෙස D.F. කාරියකරවන මහතා විශාල සේවයක් කරනු ලැබුවේ යැයි දැක්වීම තුල ඒ මහතාට සාධරණ්යක් ඉෂ්ඨ වෙනුඇත.  

මාකස් ප්‍රියන්ත පෙරේරා 
(24/04/2015).

Monday, 20 April 2015

නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ?



නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ? මම මේ ප්‍රශ්නය මුලින්ම බෙදා ගත්තේ මගේ Facebook මිතුරන් සමග 2012 නොවැම්බර් 21 දිනය. 

ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැන හැදින්වීමක් කරමින් මා ඇසු ප්‍රශ්නය මේ ආකාරයක විය; 'නිමල් මෙන්ඩිස් ශ්‍රී ලාංකීය සංගීතයේ සුවිශේෂ නිර්මාණකරුවෙක්. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද ගීත ගායනාකල, ගීත රචනාකල, සංගීතය නිර්මානයකල සංගීත ශිල්පියෙක්. එංගලන්තයේ Top of the Pop සංගීත වැඩසටහනට ආරාධනා ලැබු ශ්‍රී ලංකාවේ එකම සංගීත ශිල්පියාය. ඔහුගේ 'Open Every Door', 'Butterfly In The Rain', 'Light Floods In', 'Kiss Kiss Kiss', 'Feel like a Clown', වගේ ඉංග්‍රීසි ගීත අදටත් පැරණි Pop Music වැඩසටහන්වල වැයෙන ජනප්‍රිය ගීතය. BBC වර්ගීකරණයට අනුව ඔහු මෑතක් වනතුරුම දකුණු ආසියානු කලාපයෙන් බිහිවූ එකම Rock, Pop සහ Piano Rock තරුවයි. අපි කවුරුත් දන්නා 'මාස්ටර් සර්', 'ගග ඇද්දර', 'රන් ටිකිරි සිනහා', 'ගැහැණු ළමයිනේ', 'වියෝ ගී ගැයෙනා', 'උපුල් නුවන් විදහා', 'නිම් හිම් සෙව්වා මා සසරේ', වගේ ගීත ගණනාවක්ම ඔහු විසින් නිර්මාණය කල ඒවායි. අපේ රටේ කේමදාසට කලින් සිටි, කේමදාසටත් ඒහා ඉසව්වකට ගමන්කල, මහා සංගීත ශිල්පියා ඔහුයි. ඒත් කේමදාස තරම්වත් අපේ රටේ මිනිස්සු මොහුව නොදන්නේ ඇයි ? අපේ රටේ සංගීතය තුල ඔහුට හිමිතැන කුමක්ද ?'
ඉන් පසුව ඔහු විසින් කරන ලද සමහර නිර්මාණයන් මම මගේ Facebook පිටුවේ 'Nimal Mendis-the lost trail of the Sri Lankan music' නමින් පළකරමින් ඉහත ප්‍රශ්නය ගැන මගේ මිතුරන්ගේ අදහස් කුමක්දැයි දැන ගැනීමට උත්සහ කලෙමි. ඒ අනුව  2012/09/21 දින නිමල් මෙන්ඩිස් විසින් රචිත, ඔහු සංගීතය නිර්මාණය කල, ඔහු සහ සැන්ඩ්රා එඩ්මා (Sandra Edema) ගැයූ 1960 දශකයේදී බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු සහ යුරෝපා පොප් චාර්ට් වල ඉහලින් වැජබුන 'Oh My Lover' ගීතය පලකලෙමි. එම ගීතය ගැන මගේ බොහෝ මිතුරන් කිසිවක් දැන නොසිටියේය. අනතුරුව, නිමල් මෙන්ඩිස් විසින් ඉංග්‍රීසියෙන් නිර්මාණය කල, ඔහු සහ සැන්ඩ්රා එඩ්මා විසින් ඉංග්‍රීසියෙන් (https://www.youtube.com/watch?v=QbAznJ88ofY) ගැයූ 'මාස්ටර් සර්' ඉංග්‍රීසි ගීතය 2012/09/21 දිනද. පසුව කරුනාරත්න අබේසේකර සිංහලට පරිවර්තනය කල, මීගමුවේ නෙවිල් ප්‍රනාන්දු විසින් 'කළු දිය දහර' චිත්‍රපටිය සදහා සිංහලෙන් ගායනා කරනු ලැබූ 'මාස්ටර් සර්' සිංහල ගීතය (https://www.youtube.com/watch?v=11UE87i92Fk) සහ 1976 නෙවිල් ප්‍රනාන්දුගේ අකල් මරණයෙන් පසු 1983 රූපවාහිනී ප්‍රසංගීක වැඩසටහනක දී 'මාස්ටර් සර්' ගීතය Super Star සංගීත කණ්ඩායමේ  වේග රිද්ම සංගීතයට අනුව ගයා එම ගීතය තමන්ගේ ගීතයක් ලෙස සිය භුක්තියට ගත් නීලා වික්‍රමසිංහගේ 'මාස්ටර් සර්' ගීතය (https://www.youtube.com/watch?v=2j1ftmnSvY8) 22/09/2012 දීනද,

 1978 දී 'සීතාදේවි' චිත්‍රපටිය සදහා ඔගස්ටස් විනයාගරත්නම් විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ, W. D. අමරදේව විසින් ගැයූ, 'Yesterday, Today & Tomorrow' නමින් නිමල් මෙන්ඩිස් විසින් සිය බිරිදට ලියු,  ඔහු විසින්ම සංගීතවත් කල 'නිම් හිම් සේව්වා' (https://www.youtube.com/watch?v=YhCX9iLMqIM) ගීතය 22/09/2012 දිනද,  එදිනම සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැණු ළමයි' (1978) චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස නිමල් මෙන්ඩිස් සංගීතය නිර්මාණය කල, නීලා වික්‍රමසිංහ විසින් ගයන 'වියෝ ගී ගැයෙනා' (https://www.youtube.com/watch?v=tIfcPvaqNsE)  ගීතය සහ එම චිත්‍රපටියේම ඔහු සංගීතය නිර්මාණය කල, වික්ටර් රත්නායක ගයනා කරන 'ගැහැණු ළමයිනේ' (https://www.youtube.com/watch?v=YXKiG3ZbDC4) ගීතයද, ඔහුට සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රථම (OCIC) සම්මානය හිමිවූ ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ 'අහසින්පොලවට' (1978) චිත්‍රපටියේ මිල්ටන් මල්ලවආරච්චි ගයන 'උපුල් නුවන් විදහා' (https://www.youtube.com/watch?v=Zk7tFPCtAa4) ගීතය 23/09/12 දින ද, 

චිත්‍රපටි සංගීත නිර්මාණය වෙනුවෙන් OCIC, ජනාධිපති සහ සරසවි සම්මාන තුනම නිමල් මෙන්ඩිස්ට දිනා දුන් සුමිත්‍රා පීරිස්ගේ 'ගඟ අද්දර' (1980) චිත්‍රපටියේ නිරාශා පෙරේරා නම් බම්බලපිටිය ශුද්ධ වු පවුලේ බාලිකා කන්‍යාරාමයේ 13 හැවිරිදි සිසුවියක් සහ වික්ටර් සිල්වා නැමැති ගණකාදීකරුවෙක් විසින් ගැයූ 'රන් ටිකිරි සිනා' ගීතය (https://www.youtube.com/watch?v=sgHpA27jTC8) සහ ඔගස්ටස් විනයාගරත්නම් විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබු නිමල් මෙන්ඩිස් විසින් 'By the Banks of the River' නමින් ඉංග්‍රීසියෙන් රචනා කරනු ලැබ ඔහු විසින්ම සංගීතය නිර්මාණය කල, විජය කුමාරතුංග නම් වු මනස්කාන්ත නළුවාගේ ළයාන්විත කටහඩ අපවෙත රැගෙන ආවාවූ 'ගග අද්දර' (https://www.youtube.com/watch?v=5Q4oAMesAB8) ගීතය 24/09/12 දී පල කරන ලදී. 


ආරම්භයේදී නිමල් මෙන්ඩිස් ගැන එතරම් හෝ කිසිසේත්ම දැන නොසිටි මගේ මිතුරෝ 'Nimal Mendis-the lost trail of the Sri Lankan music' නමින් දිගින් දිගටම පළකල ගීත ඔස්සේ ඔහුව හදුනාගත් අතර ඔවුන්ගේ සීමිත අදහස් සහ ප්‍රතිචාර ඔස්සේ නිමල් මෙන්ඩිස්ව රටේ මිනිස්සු නොදන්නේ ඇයි ? අපේ රටේ සංගීතය තුල ඔහුට හිමිතැන කුමක්ද ?'  යන මගේ ප්‍රශ්නයට පිළිතුරක් ගොඩනගා ගැනිණි. එය  'Nimal Mendis-the lost trail of the Sri Lankan music, 12 - Conclusion' නමින් 27/12/2012  පලකරන ලදී. 

එම නිගමනය මේ ආකාර විය; 'මගේ ප්‍රශ්නය වුන, අපේ රටේ මිනිස්සු, කේමදාසට කලින් සිටි, කේමදාසටත් ඒහා ඉසව්වකට ගමන්කල, නිමල් මෙන්ඩිස් වැනි සුවිශේෂ සංගීත නිර්මාණකරුවෙක් නොදන්නේ ඇයි
යන්නට මට උත්තර කිහිපයක් ලැබුනි. එම උත්තර කිහිපයෙන්ම කියවුනේ 1. ඔහු ලංකාවේ වැඩිය හැටියේ නෑ 2. ඔහු වැඩිය ඉස්මතුවී පෙනීමට උත්සහ කලේ නෑ. මේ උත්තර දෙකේම යම් ඇත්තක් තිබේ. එහෙත් ලංකාවේ වැඩිය හැටියේ නැති ගාමිණී වියන්ගොඩ වැනි වියෝතුන්ව අපේ රටේ මිනිස්සු හොදට දන්නවා නේද යැයි සිතුවිට පලමුවෙනි උත්තරේ වැරදියි යැයි මම සටහන් කලෙමි. ඒ නිසාම දෙවන උත්තරේ දෙස වැඩි අවදානයක් යොමු කල විට සොයාගැනීමට පුළුවන්වු තොරතුරු ටික පහතින් දැක්වූවෙමි.

A. නිමල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ හෝ එංගලන්තයේ ජාතිකරාජ්‍ය (Nation-State) නම් කොටුපවුරේ සිරවූ පුද්ගලයෙක් නොවේ. ඔහු එංගලන්තයේ Pop සංගීත වැඩසටහන්වල කෙතරම් මතුවී පෙනුනත්, ඔහු එහි සුදුවර්ගවාදීන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්වු වහාම එංගලන්තය අතහැර ශ්‍රී ලංකාවට පැමිණ Norton Brigde ප්‍රදේශයේ වතු වගාවට යොමුවිය. Master Sir ගීතය ඔහු ලියන්නේ එම වතුවල සිංහල සහ දෙමල මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයේ ගැටළු ඇසුරිනි. 1983 ලංකාවේ ජාතිවාදී ගැටුම් ඇතිවු වහාම ඔහු ලංකාවේ කෙතරම් පිලිගැනුණු, සම්මානලැබූ සංගීත ශිල්පියෙක් වුවත් ලංකාව අතහැර ආයෙත් එංගලන්තයට යන අතර. ඔහු සිය පුද්ගල නිදහස ජාතික රාජ්‍යයේ දේශසීමා තුල සිරකර ගන්නේ නැත.

B. ඔහු ජාතික රාජ්‍ය නම් කොටුපවුරේ සිරවූ පුද්ගලයෙක් නොවූ නිසාම එහි පාලන රෙජීමයන් (regime) සමග ධන හෝ ඍන දේශපාලන භාවිතාවන්ට යන්නේ නැත. මෙය අපි දන්න කේමදාස, අමරදේව, ප්‍රේමකිර්තී, කපුගේ ආදීන්ට වඩා වෙනස් ප්‍රවනතාවකි.

C. ඔහු ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවයවත්, එංගලන්තයේ බටහිර-ක්‍රිස්තියානි අනන්‍යතාවය වත් නියෝජනය කරන්නෙක් නොවේ. ඔහු ඔහුමයි - නිමල් මෙන්ඩිස් මය. බටහිර ක්‍රිස්තියානි අනන්න්‍යතාවය තුලත්, සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවය තුලත් නිමල් මෙන්ඩිස්ට කිසිම තැනක් හිමිවන්නේ නැත.

D. අනෙක් අතට ඔහු ශ්‍රී ලංකාවේවත්, එංගලන්තයෙවත් සංගීතය ඔහුගේ ජීවිකාව කරගන්නේ නැත. ඔහු සිය ජීවිකාව සංගීතයට බාහිරින් පවත්වාගෙන යයි. ඒනිසා ඔහුට මාධ්‍යන් තුල විවිධ සරබ සංදර්ශන පවත්වන්ඩ උවමනා කරන්නනේ නැත. හිගන්නාගේ පාත්‍රයට හෙනහුරා පාත්වෙනවා සේ ලංකාවේ අමාරුවෙන් වැඩ ටික කරගෙන එන්න අනිත් කලාකරුවන්ගේ වැඩටික අල්ලාගන්න ඔහුට වුවමනාවක් තිබුනේ නැත. මේ නිසාම ඔහු වැඩිය ඉස්මතුවී පෙනීමට උත්සහකලේ නැහැ යන කාරණයට යම් වටිනාකමක් තිබේ. එහෙත් අපේ රටේ සංගීතය තුල ඔහුට හිමිතැන කුමක්ද යන්න අපේ රටේ මිනිස්සු තීරණය කිරීමට අවශ්‍ය දෙයක්ය. නිර්මාණකරුවා නොහදුනන, නිර්මාණ පමණක් රසවිදින ජාතියක මිනිස්සු පිරිසක් වෙනවාද කියා අපි තීරණය කල යුත්තකි' යනුවෙන් දැක්වීය.

දැන්,  නිමල් මෙන්ඩිස් (16/04/2015) මිය ගොස් ඇත. මම ඉහත නිගමනය ගොඩනගා ගත් 2012 නොවැම්බර් වලට වඩා නිමල් මෙන්ඩිස් ගේ ජීවිතයේ අවසාන වසර 03 තුල විශාල අවදානයක්, පිළිගැනීමක් සිංහල රසිකයන් අතර ඔහුට ලැබුණි. ඔහුගේ නිර්මාණ ගැන විවිධ ලිපි නිතර පළවුණි. රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ද ඒ අතර වේ. 

 මා දන්නා තරමට, BBC සිංහල සේවයේ (සංදේශයේ) සේවය කරන කාළේවත් ලන්ඩනයේ පදිංචිව සිටි නිමල් මෙන්ඩිස් ගැන වැඩසටහනක් නොකළ නන්දන වීරරත්න ගිය වසරේ (2014) හිරු TV සමග (http://col3negs.info/watch.php?id=54102) නිමල් මෙන්ඩිස්ගේ ජීවන චරිතය ගැන වාර්තා චිත්‍රපටියක් නිපදවා ඇත. එමගින් නිමල් මෙන්ඩිස් ගේ ජීවිතය  පිලිබදව සිංහල රසිකයන් නොදත් බොහෝ තොරතුරු දැන ගැනිමට ඔවුන්ට හැකිවිය. නන්දන වීරරත්නගේ පෞද්ගලික රුචි-අරුචිකම් මත රචනා කර ඉදිරිපත් කල එම වැඩසටහන තුල නිමල් මෙන්ඩිස් සිංහල ජනගී, ජනකවි වලින් අභාෂය ලැබූවෙක් බවත්, W. D. අමරදේව ලවා 'නිම් හිම් සෙව්වා මා සසරේ' ගීතයේ උත්තර  භාරතීය 'කල්යාන රාගය'  එන බවත්, 'මාස්ටර් සර්' ගීතය සිය භුක්තියට ගැනීමට වෙර දරන නීලා වික්‍රමසිංහගේ උත්සාහය සවිබල ගැන්වීමටත්, අසාර්ථක සහ ව්‍යජ උත්සාහයක නිරතවීම තුල එම වැඩසටහන ගැන මට ඇත්තේ නොසතුටකි. නිමල් මෙන්ඩිස් එංගලන්තයේ ප්‍රථමයෙන් පඩිගතකල ඔහුගේ The Kandyans සංගීත කණ්ඩායම සමග Mary Marshall ගායන කල Kisses in the Dark'  (මෙහි මුලින්ම එන ඡයරූපයේ නිමල් මෙන්ඩිස්ගේ කැන්ඩියන් සංගීත කණ්ඩායම සමග මේරි මාෂල් පෙනී සිටී, තවද පළමු වීඩියෝවෙන් එම ගීතය ඇසිය හැක - https://www.youtube.com/watch?v=nNg0JMUclho)  ගීතයේ නුවර කෝච්චියේ ශබ්ද දනවන බවත්, Nimal Mendis, Harry Vallins & Phyllis Logan ගායනා කල Fisherman's Song (දෙවන වීඩියෝවෙන් එම ගීතය ඇසිය හැක - https://www.youtube.com/watch?v=9QpdxQoxeIQ) හි ලංකාවේ ධිවරයන්ගේ නාද රටා මතුවෙන බවත් මම දනිමි. එහෙත් නිමල් මෙන්ඩිස් සිංහල ජනගී සහ ජනකවි වල අභාෂය ලබා නිර්මාණය කල ගීත ඇති බව මම නොදනිමි. එසේ ඇත්නම් ඉදිරිපත්කර නිමල් මෙන්ඩිස් සිංහල ජනගී සහ ජනකවි වලින් අභාෂය ලැබූවෙක් බව ඔප්පු කිරීමට හැකි නම් 'සෑම-සියළු දෙයමටම ඇත්තේ සිංහළ මූලයක්ය' යන්න විශ්වාස කරන කණඩායම්වල උවමනාවන් ඉෂ්ට කිරීමට නන්දන වීරරත්න සහ හිරු TV  (2014)  නිමල් මෙන්ඩිස් ගැන කල 'උත්තරීතර' වැඩසටහනට හැකිය.

නිමල් මෙන්ඩිස්ටත් ඔහුගේ නිර්මාණ වලටත් වඩා සාධාරණයක් කල රූපවාහිනී වැඩසටහන ලෙස මට පිළිගත හැක්කේ 2014 අගෝස්තුවේ කර ඇති 'ගුණ රුව සුවද'  වැඩසටහනය (https://www.youtube.com/watch?list=PLvvqN8BJEMck5cgHPFmeRD8KfyBsS8GmB&v=64sWLm0hjHo ). එහිදී නිමල් මෙන්ඩිස්ට සිය අදහස් සංස්කරනයකින් හෝ බධාවකින් තොරව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසේ.  සිය හිතේ තදකරගෙන සිටි විශාල බරකින් නිදහස් වීමට දෝ මෙන්, මීගමුවේ නෙවිල් ප්‍රනාන්දු මාස්ටර් සර් මුලින්ම ගායනා කලායින් පසුව නැවත භාතිය-සන්තුෂ් මාස්ටර් සර් ගැයූ අයුරැ අසා තමාට ඇඩුණු බව නිමල් මෙන්ඩිස් කරුණු දක්වන අයුරැ දුටුවෙමි.

මම ද නිමල් මෙන්ඩිස් ගයන සමහර ගීත ලංකාවේ දී අසා ඇතිමුත් ඔහුට රටින් පිටත තුබූ ස්ථානය කවරාකාර දැයි දැනගත්තේ එවකට දකුණු ලන්ඩනයේ 'මිචම්' ප්‍රදේශයේ පදිංචිව සිටි මාගේ නෑ කෙනෙකු වූ  කිත්සිරි ප්‍රනාන්දු මහතා මුණගැසීමට ගිය  2001 දෙසැම්බරයේ දිනකය. 1950 දශකයේ අග භාගයේ කොලුගැටයෙක් ලෙස එංගලන්තයට පැමිණි කිත්සිරි ප්‍රනාන්දු මහතාට අනුව නම් 1960- 70 දශකවල නිමල් මෙන්ඩිස් යනු 'ලංකවේ තේ' මෙන් නම කියවෙන 'සන්නාම නාමයකි ('brand name/ බ්‍රෑන්ඩ් නේම්').  ඔහුගේ නාමය ඒ තරමටම ශ්‍රී ලංකවේ (එවකට සිලෝන්) නමත් සමග බැදී තිබී ඇත. 

ඒ Harry Vallins සමග කල ඔහුගේ නිර්මාණ බටහිර 'Folk Music' ලේබලය යටතේ Decca Records  ආයතනය විසින් නිකුත්කර තිබු නිසා ද විය හැක්කකි. Decca විස්තර වලට අනුව එන නිමල් මෙන්ඩිස්  ගැන ජීව දත්ත එකතුව පහතින් දැක්වේ.


 නිමල් මෙන්ඩිස් පැහැදිලිවම Rock, Pop, Piano Rock, Folk, Jazz, Soft Reggae වැනි සංගීත මාදිලි කිහිපයකින්ම සංගීත නිර්මාණය කර තිබු සංගීත ශිල්පියෙකි. එහෙත් ඔහුගේ බොහොමයක් සංගීත නිර්මාණවල පදනම ක්‍රිස්තියානි පල්ලිවල ගැයෙන Western Harmonies  අනුව සකස්වනවා මිස සිංහල ජනගී සහ ජනකවි වලින් ලැබූ අභාෂයකින් සකස් නොවේ. එමෙන්ම, ඔහුද කේමදාස මෙන් කනට ඇසී,  සිතේ උපන් ස්වර සංකලනයන් ඔස්සේ සංගීත නිර්මාණයන් කිරීමට උපන් හපන්කම් දැක්වූවෙකි. එහෙත් කේමදාස බටහිර විවිධ සංගීත ඛණ්ඩ එකතුකර (assemble) දේශීය වශයෙන් චමත්කාර ජනක සංගීත නිර්මාණ කරන විට නිමල් මෙන්ඩිස් රසවිදි, හැදී-වැඩුන බටහිර සංගීතය සහ එහි සමාජ ජීවන සම්ප්‍රදායන් ඔස්සේ සුජාත  සංගීත නිර්මාණ යන් බිහිකර අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්වුවෙකි. ඔහුගේ ගීත පමණක් නොව, ඔහු 1980 දී Air Lanka ගුවන් සේවය වෙනුවෙන් කල 'A Taste of Paradise' සහ ලංකා සංචාරක මණ්ඩලය වෙනුවෙන් කල 'Pilgrim Places of Sri Lanka' නිර්මාණත්, ශ්‍රී ලංකවේ යුද්ධය සහ වර්ගවාදී ගැටුම් අලලා කල 'War is in my Country', 'Shattered Pearl', 'Right to Life' නිර්මාණත්, සුනාමි ව්‍යාසනය වෙනුවෙන් කල 'Tsunami Song' සහ ස්වේච්ඡතාව (Autism) ගැන දැනුවත් කිරීමට කල 'Open Every Door' නිර්මාණත් ගැන බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවෙන් පවා ඔහුට පැසසුම් හිමිකර දීමට සමත්විය.

මාගේ අවබෝධයට අනුව නම් නිමල් මෙන්ඩිස් සිංහලෙන් නිර්මාණය කල බොහොමයක් සංගීත නිර්මාණ 3/4 සහ 4/4 Time Signature සහ ස්වර ප්‍රස්ථාර ඔස්සේ ගැයෙන අතර, සිංහල රසිකයන් අතර ජනප්‍රිය වූ ඔහුගේ බොහොමයක් නිර්මාණ 3/4 Time Signature ඔස්සේ ගැයෙන Waltz Music ඝනයේ බටහිර යුග නැටුමට සරුලන ගීතය. මේ සම්බන්දයෙන් පැහැදිලි ඉගියක් ලෙස්ටර් ජෙම්ස් පිරිස්ගේ අහසින්පොලවට (1978) චිත්‍රපටියේ මිල්ටන් මල්ලවආරච්චි ගයන 'උපුල් නුවන් විදහා' ගීතයේ රූප රාමු දෙස බැලීමෙන්ම සපයාගත හැක (https://www.youtube.com/watch?v=oZ5LcMSpsPo&feature=youtu.be&t=340). අනෙක් අතට. Classical Ballad Music ද නිමල් මෙන්ඩිස් නිර්මාණය කල සිංහල ගීතවල නොඅඩුව දැකිය හැක. 'ගග අද්දර' ගීතය මීට හොදම උදාහරණය. 

මේ අනුව නිදහසින් පසු ශ්‍රී ලංකාවට ගැලපෙන සංගීතයක් නිර්මාණය කර ගැනීමට උත්තර භාරතයේ හෝ දකුණු ඉන්දියාවේ හෝ බටහිර 6/8 සංගීතයෙන් හෝ පිටත මාවතක් විවර කලේ නම් ඒ  ඉහත සදහන් කල නිමල් මෙන්ඩිස්ගේ Waltz Music සහ Classical Ballad සංගීත යයි. සිංහල සංගීතයට ලගාවිය හැකි ඉහලම සම්භව්‍ය තත්වයට ලගා විය හැක්කේ නිමල් මෙන්ඩිස් පෙන්නු ඒ මග ඔස්සේ යැයි මම විශ්වාශ කරමි. නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල  හිමි තැන කුමක්ද යන්න මෙයින් තේරුම් ගත හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
(20/04/2015)

Sunday, 5 April 2015

මීගමු දූවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායක්.


නුතන සිංහල නාට්‍යය කලාවේ මුදුන් මල්කඩ එදිරිවීර සරච්චන්ද්‍රයන් යැයි පොදු පිළිගැනීමක් ඇත. ඔහු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන ජාතික අනන්‍යතාවයට ගැලපෙන නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැගූ ප්‍රථමයා ලෙසත්, 1956 දී වේදිකා ගතකල ඔහුගේ මනමේ නාටකය මෙහිලා මුලපිරූ බවත් අද පොදුවේ පිළිගනී. 

මේ කාලයේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව, සාහිත්‍ය සහ කලාව ගැන පුවත්පත්වලට වැඩිපුරම ලිපි ලියන ලියනගේ අමරකීර්ති මහතා 2014/01/09 දින දිවයින පුවත්පතට ලියන ලද ලිපියක දැක්වුයේ මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක්‌ කලා කෘති පමණක්‌ නොවන බවයි. ඔහුට අනුව 'සරච්චන්ද්‍ර ගේ මනමේ විසින් සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ එන ජාතක කතාවට අමතරව සිංහලයේ එක් කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දුන් බවත්, ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම් පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බවත්, සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් ("ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකි බවත්, එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙන බවත් දක්වයි.' ලියනගේ අමරකීර්තිට අනුව 'මනමේ වූ කලී පැරණි සංස්‌කෘතික උරුමයන් රකිමින් නව සංස්‌කෘතියක්‌ නිර්මාණයේලා විශිෂ්ට කලාකරුවන් සිදුකරන සංස්‌කෘතික සංරක්‌ෂණයක්ය.' සරච්චන්ද්‍ර මෙසේ සංරක්‌ෂණය කලේ මෙරට පැවති 'විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය' සේම 'ජනකලා සම්ප්‍රදායත්' (ගැමි නාටක) යැයි ඔහු දක්වයි. තවද, එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු නව සිංහල මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක්‌ ගොඩ නගා දී, ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් අත්‍යවශ්‍ය ලෙස බලගැන්වූ බවත් දක්වයි. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක්‌ ලෙස බවත්, එය නරබන මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ජාතික ආඩම්බරයක් හා ස්‌වෝත්තම හැගීම ඇතිකර ගන්නා බවත් දක්වයි.

මනමේ නාට්‍යය සහ එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ප්‍රයත්නයන් නිසා 1956 සිට සිංහල භාෂවෙන් අධ්‍යාපනය ලබා හැදී වැඩුණු නව සිංහල මධ්‍යම පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් සහ සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් ශක්තිමත්ව විකසිත වු බවට ලියනගේ අමරකීර්ති ඉදිරිපත් කරන අව්‍යජ තර්කය පැහැදිලිවම පිළිගත හැක්කකි. අනෙක් අතට එම තර්කය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටද, මනමේ නාට්‍යටද අද ලංකීය සමාජයේ හිමිව ඇති අගය ද පැහැදිලිව ලකුණු කරයි. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය තුල සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් ("ලප නොමවන් සඳ") ආදිය නිසා එය කෝට්‌ටේ යුගයේ බිහිකරගත්තා යැයි කියන 'විදග්ධ කවි බස' සේම 'ජනකලා සම්ප්‍රදායන්' මුසු කරගනිමින් නිපදවුවක්යැයි කියමින් ගොඩනගන තර්කය කෙතෙක් දුරට සාධාරණ ද යන්න පිලිබදව පැහැදිලි ප්‍රශ්නයක් පැනනගී.

මනමේ නාටකය කුරුණෑගල යුගයේ ලියවෙන පන්සීය පනස් ජාතක කථා පොතේ එන 372 වැනි ජාතික කථාව වන චුල්ල ධනුග්ගහ ජාතකයේ ඇසුරින් ලිවුවකි. දඹදෙණි යූගයේ කල සද්ධර්මරත්නාවලියේ එන ස්ත්‍රීය පිළිබද ඇතැම් ආකල්පයන් එහි ගැබ්ව තිබේ. එහෙත්, සිංහල සාහිත්‍ය තුල පන්සීය පනස් ජාතක කථා පොත සහ සද්ධර්මරත්නාවලිය ගැනෙනුයේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ කොටස් ලෙසය. නමුත් මනමේ කවි බසින් කල නිර්මාණයක් හෙවත් පද්‍යයකි. එහි එන ඇතැම් පද්‍ය කොටස් සංදේශ කාව්‍යයන්ගෙන් උපුටාගෙන තිබේ. ඒහින්, එක් අතකට, එය කෝට්‌ටේ යුගයේ ප්‍රසිද්ධ 'විදග්ධ කවි බස' නියෝජනය කරන්නේ යැයි කීම තාක්ෂණික වශයෙන් නිවැරදි විය හැක.

එහෙත් මනමේ නාටකය ගොඩනැගෙන්නේ 'විදග්ධ කවි බසත්' සිංහලයේ 'ජනකලා සම්ප්‍රදායත්' මුසුකරගෙන යැයි කීම මනමේ නාටකයට සහ නුතන විශිෂ්ට කලා නිර්මාණවලට 'නව ප්‍රභූ කලා ආධිපත්‍යයක්' ආරෝපණය කිරීමක යැයි මට සිතේ. ඒමගින් එකී සිංහල කලා සම්ප්‍රදායන් පැන නැගීමට ඉඩකඩ සැකසූ ප්‍රාදේශීය වශයෙන්, අවධිමත්ව,  විවිධ වේශයන්ගෙන් හෝ මෙරට කලාන්තරයක් පුරා පැතිර පැවති විවිධ කලා සම්ප්‍රදායන් 'නව ප්‍රභූ කලා ආධිපත්‍යයකට' යටකිරීමකයි මට සිතේ. එය ඇතැම් විට ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණු ස්‌වෝත්තමවාදී නව සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තියට ගැලපෙන දේශීය සංස්කෘතියක් ගොඩනගා ගැනීම සදහා දරන උත්සහයක ප්‍රථිපලයක් ද වියහැක. 

පද්‍ය, ගද්‍ය යෙන් වෙනස් වනුයේ එහි උච්චාරණ විවරණයන් සහ වර නගන විධි ක්‍රමයන් තුලය. මනමේ කෝට්‌ටේ යුගයේ විදග්ධ කවි බසින් ලියවුනද එහි උච්චාරණ විධි ක්‍රමයන්, රංග රීතින් සකසා ගන්නේ 'විදග්ධ' යැයි අද හදුන්වන සිංහල සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තුල නොව ශ්‍රි ලංකාවේ බටහිර වෙරළ තීරයේත්, රටේ වෙනත් ප්‍රදේශවලත් පැවති ප්‍රාදේශීය, අවධිමත් සහ වෙනත් විවිධ කලා සම්ප්‍රදායන් තුලිනි. මීගමු දූවේ පාස්කු නාට්‍ය සම්ප්‍රදායත්, පසන් ගායනාත්, ජවුසන් ආදී නැටුනුත්, එමෙන්ම 'රජ තුන් කට්ටුව' වැනි නාඩගම් සම්ප්‍රදායන් ද පැහැදිලිවම මනමේ නාටකය නිර්මාණය කිරීමට දායක කරගෙන ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ.

ඒ සම්බන්දයෙන් යම් විස්තරයක්, මීගමු දුවේ ඓතිහාසික මහා පාස්කු නාට්‍ය සංදර්ශනය දෙවතාවකට වඩා නරබා, මීගමුවේ ක්ෂේත්‍ර අධ්‍යනයකින් පසුව ලිවූ සුනිල් ආර්යරත්නයන්ගේ 'කැරොල්, පසම් කන්තාරු' පොතේ දැක්වේ. ඔහුට අනුව මනමේ වැදි රජ තර්ගයක එන 'පවර ඒ නිරිදුගේ පුත් කුමරා වෙමි,' 'මුළු දඹදිවටම තොප මහ රජ වුව' ආදී කොටස් මීගමු කිතුනුවන් ගයන පරමණ්ඩල ස්වර ලිපියේ එන 'අප ණයකරුහට අප ගෙවනා ලෙස' යන තනුව අනුව සකසා ඇත. එමෙන්ම මනමේ නාටකයේ එන 'ප්‍රේමයෙන් මන රංජිත වේ' නම් ප්‍රසිද්ද ගීතය (රජ තුන් කට්ටුව නාඩගමේ එන) 'ආරම්භයෙන් පෙර නිර්මිත මනු ලොව, ආදිත්‍යයුරු නිර්මලියේ සුර' නම් ගායනයේ තනුව අනුව නිමවුවක් යැයි දක්වයි ( පිටු 172/173).(දකුණු පස ඇත්තේ එම ගීයේ වීඩියෝවයි)

මීගමුවේ පසම්, පාස්කු නාට්‍ය සහ නාඩගම් යන කලා සම්ප්‍රදායන්ට අඩුම වශයෙන් වසර දෙසීයකටත් වඩා පැහැදිලි ඉතිහාසයක් තිබේ. එය මීගමුව දූවේ, පිටිපන, පල්ලන්සේන, දළුවකොටුව, බෝලවලාන, මුරුතාන, කුඩාපාඩුව, St. පීටර්ස්, දැන් කඩොල්කැලේ ආදී ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරගිය අඩුම වශයෙන් මාස 2-3කවත් පුර්ව සුදානමකින් පසු ඉදිරිපත් කරන වාර්ෂික භක්ති අභ්‍යාසයකි. ඒ සියල්ල අතරින් මීගමු දූවේ පාස්කු සංදර්ශනයට විශේෂතත්වයක් හිමිවේ. (1989 වේදිකා ගතකල මීගමු දුවේ 150 වෙනි පාස්කු නාට්‍ය වීඩියෝවක් වමතින්වේ.) ඒ එහි ආරම්භක යුගයේ දී එම පාස්කු නාට්‍යයට රංග පිටපත ලෙස උපයුක්ත කරගැනුණේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ගේ ‘දුක් ප්‍රාප්ති ප්‍රසංගය’ නම් වූ ගද්‍ය කෘතියයි. එය 1728 දී පමණ ලියැවුණු කෘතියකි. ලන්දේසි පාලකයන් මෙරට කතෝලික ආගම තහනම් කරතිබූ 1713 දී දකුණු ඉංදියාවේ සිට මෙරට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා මීගමුව උතුරු කෙලවරේ වූ අරාබි නාවිකයන් විසින් නාවුක යාත්‍රා ගොඩනැගීමට යොදාගත් කම්මල්තුරේ ග්‍රාමයේ සැගවී සිටිමින් කතෝලික ලබ්දිය ආරක්ෂා කරගැනීමටත්, පැතිරවීමටත් සිංහල, දෙමළ සහ පෘතුගීසි භාෂාවලින් ආගමීක ලිපිලේඛන 70 කට වඩාකල තැනැත්තෙකි. අදටත් ජාතික කෞතුකාගාර පුස්තකාලයේ මින් සමහරක් සුරක්ෂිතව තැම්පත්කර තිබේ. සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයක් ගොඩනැංවීමෙහිලා ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා සුවිශේෂ දායකත්වයක් දැක්වූ බවත්, යුරෝපයෙන් පෙරදිගට ආ ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායන් ප්‍රාදේශීය සංස්කෘතික සම්ප්‍රදායන් සහ මුසුකරමින් ලියු ගොන්සාල්වේස් පියතුමාගේ ‘දුක් ප‍්‍රාප්ති ප‍්‍රසංගය’ මීගමුව දූවේ රූකඩ මගින් ප්‍රදර්ශනය කල බවත් එඩ්මන් පීරිස් රදගුරුවරයාගේ 'සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය' (1976) නම් කෘතියේ දක්වයි. 1839 දී ඉංදියාවේ කොචින් ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා සුරුවමක් යොදාගෙන එම පාස්කු සංදර්ශනය තවදුරටත් නවීකරණය කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කොට ඇත. මීගමු දූවේ පාස්කු නාට්‍යය සඳහා යොදා ගැනෙන මෙම සුරුවමට (කි‍්‍රස්තු ප‍්‍රතිමාවට) දැන් වසර 175 කි.
1939 දී මර්සලින් ජයකොඩි පියතුමා දූව පල්ලියේ මීසම් පූජකවරයා ලෙස කටයුතු කරද්දී මේ පාස්කු සංදර්ශනය තවදුරත් නවීකරණය කර තිබේ. ඒ අනුව රුකඩ සහ සුරුවමට අමතරව 250ක පමණ නළු නිලියන් පිරිසක් යොදාගෙන, අලුත් පිටපතක් ලියා වඩාත් සජීවී ලෙස මෙම දුවේ පාස්කු නාට්‍ය රගදැක්වීමට කටයුතු කර තිබේ. හෙළ හවුලේ සාමාජිකයෙක් මෙන්ම කුමාරතුංග මුනිදාසයන්ගේ ව්‍යක්ත සිංහල බස පිළිබද මනා පරිචයක් තිබු මර්සලින් ජයකොඩි පියතුමා අතින් ලියවුනු මීගමු දූවේ පාස්කු නාට්‍ය පිටපත අදටත් එම පාස්කු සංදර්ශනය සදහා භාවිතා වේ (සුනිල් මිහිදුකුලසුරිය 21/12/2008, සිළුමිණ). මීගමු දූවේ පාස්කු නාට්‍ය, නාඩගම් සහ පසම් ගයනාත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයත් අතර සම්බන්දය ඇති වෙනුවේ මනමේ නාටකය මුලින්ම පුහුණුකල, තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ හේමපාල රණසිංහ ට අනුව, එහි මුල් ගුරුවරයා ලෙස සලකන චාර්ල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හරහාය. ඔහු මර්සලින් ජයකොඩි පියතුමාගේ මිතුරෙක් මෙන්ම හෙළ හවුලේ සාමාජිකයෙක්ද විය. සිංහල නාඩගම් රාශියක් නිර්මාණය කල ඔහු 1940 දී මර්සලින් ජයකොඩි පියතුමා අතින් නවීකරණ වූ මීගමු දූවේ පාස්කු නාට්‍ය බලා තමන්ගේම වූ පාස්කු නාට්‍ය පිටපතක් රචනා කිරීමට සිත් වූ බව පීටර් කැනියුට් පෙරේරා දක්වා තිබේ (හෙළ බසින් ලියු ප්‍රථම නත්තල් නාට්‍ය 22/02/2013, ලක්බිම).

අකිරා කුරසොවා ගේ "රෂෝමොන්" නම් චිත්‍රපටිය බැලීමේන් පසු මනමේ කතාව සින්දු නාඩගමකට නැංවිය  හැකිය යන අදහස මත මනමේ නාටකය රචනා කල එදිරිවීර සරච්චන්ද්‍රයන්, නාඩගම් ගැන අත්දැකීම් රාශියක් තිබු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ සාකච්චා කොට බැහැර කල යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මනමේ නාටකයේ ආකෘතිය සකස් කරගත් බවත්, ඒ සදහා අවශ්‍ය ක්ෂේත්‍ර චාරිකාවල යෙදී ඇති බවටත් සරච්චන්ද්‍රයන්ගේ 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' (1985) සහ 'මනමේ නාටකයා' (1965) යන කෘති සාක්ෂි දරයි. එම කරුණුත්, සුනිල් ආර්යරත්නයන්ගේ 'කැරොල්, පසම් කන්තාරු' (1987) පොතේ දක්වන කරුනුත් අනුව මනමේ හී එන පොතේගුරා සහ එහි ගායනා විලාශයන් මීගමු දූවේ පාස්කු නාටකයෙන් සහ මීගමුවේ පසන් ගායනා අතරින් ගොඩනගාත් බවට වූ ප්‍රසිද්ධ රහස ස්තීර කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි. එමෙන්ම, එම කෘතිවල හෝ වෙනත් බොහොමයක් ශාස්ත්‍රීය ඇගයීම් වලට ලක්නොවුවද මීගමුවේ 'ජවුසන් නැටිල්ල' නම් දකුණු ඉන්දියානු අභාෂයෙන් ලැබූ වැදි නැටුම් සම්ප්‍රදායද මනමේ නාටකයේ රංග විලාශයන් ගොඩනගා ගැනීමට දායක වී ඇති බව ද පෙනේ.
එහෙත් අද මනමේ නාටකය ගැන සටහන් තබන විද්වතුන් මනමේ සහ මීගමුවේ පාස්කු, නාඩගම් සහ පසන් අතර ඇති සම්බන්දය ගැන කථා නොකරති. අඩුම තරමින් නාඩගම් සහ මනමේ නාටකය අතර ඇති සම්බන්දය හෝ නොදකිති. විශේෂයෙන්ම, නාඩගම් කලාව මෙරට තුල ගොඩනැගුවේ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් කතෝලික පියතුමාගේ 'රජ තුන් කට්ටුව' මගින් යැයි සුනිල් ආර්යරත්න, එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි මේ ක්ෂේත්‍රයන් දැවැන්තයින් මෙතෙක් පිළිගෙන තිබු අදහස් අද නලින් ද සිල්වා වැනි සිංහල-බෞද්ධ ජාතිකවාදීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ගාමිණී දෑල බණ්ඩාර සහ ජයලත් මනෝරත්න ආදීන්ගේ අධ්‍යන මගින් සිංහල නාඩගම් කලාවේ ආරම්භය 13 වන සියවසේ බුවනකබාහු රජ දවස දක්වා ගෙන ගොස් නාඩගම් වූ කලී 'කවි නළුවකයි' අර්ථ දක්වයි. දැන් එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ බිහිකිරීමට ඉවහල් කරගත් මෙරට 'ගැමි නාටක සම්ප්‍රදායට' මීගමුවේ පාස්කු ඇතුල්කරන්නේ නැත. පාස්කු නාට්‍ය සම්ප්‍රදාය වෙනම නාට්‍ය සම්ප්‍රදායක් ලෙස සලකා ජාතික නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැර කරති. 'ගැමි නාටක සම්ප්‍රදාය'  සොකරි, කෝලම්, තොවිල් සහ ශන්තිකර්ම වලට සිමා කර එය 'ජනකලා සම්ප්‍රදායන්' ලෙස හදුන්වාදී මීගමුවේ පාස්කු ආදී නාට්‍ය සම්ප්‍රදායන්  විජාතික (යුරෝපියානු-ඉන්දියානු) ආභාෂයෙන් පැන නැගී කලා සම්ප්‍රදායන් ලෙස සලකා බැහැරකොට ඇත. නුතන සිංහල කලා නිර්මාණ විශිෂ්ට ගනයේලා සැලකීමට නම් එහි බස 'විදග්ධ සිංහල බස' වියයුතු අතර එම බස ශාස්ත්‍රීය සිංහල ගද්‍ය - පද්‍ය සාහිත්‍යට නෑ කම් පෑ යුතු අද ලාංකික විශ්ව විද්‍යාලවල ඇදුරෝ පොදු එකගතාවයකට පැමිණ සිටී. මේ සියල්ල 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීමෙන් පසු ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු ස්‌වෝත්තමවාදී නව සිංහල-බෞද්ධ ජාතිකවාදී මධ්‍යම පන්තියට ගැලපෙන දේශීය සංස්කෘතියක් ගොඩනගා ගැනීම සදහා දරන උත්සහයක ප්‍රථිපලයන් බව පැහැදිලිය. එමෙන්ම එවැනි ව්‍යායාමක ප්‍රතිපලයක් ලෙස ගොඩනැගෙන 'නව ප්‍රභූ කලා ආධිපත්‍යය' මගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිංහල කලා සම්ප්‍රදායන් පැන නැගීමට ඉවහල් වූ (මීගමුව වැනි ප්‍රදේශවල) ප්‍රාදේශීය වශයෙන්, අවධිමත්ව, විවිධ වේශයන්ගෙන් හෝ මෙරට කාලාන්තරයක් පුරා පැතිර පැවතින විවිධ කලා සම්ප්‍රදායන් යටපත් කරනවා පමණක් නොව, විවිධ ජන වර්ගයන්ගේ විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් නිර්ධය ලෙස බැහැර කිරීමක්ද සිදුකර ඇති බව මාගේ අදහසයි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
(04/04/2015).