This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 31 March 2016

මේම බ්ලොග් අඩවියට වසරයි, කියවූ සැමට ස්තූතියි! මෙතෙක් කළේ කුමක්ද ?

මා මේ බ්ලොග් අඩවිය ආරම්භකර උකුත් 28/03/16 වෙනිදාට වසරක් සම්පුර්ණවේ. මෙම වසර තුල පමණක් රටවල් 67කින් මෙම අඩවියට පිවිස මෙහි පළවූ ලිපි 62ක කියවූ සංඛාව 21,000කට මදක් වැඩිය. වසරක් තුල මේතාක් සාර්ථකත්වයක් ලබාගැනීමට දායකවූ  සියල්ලන්ට ස්තූතිය පුදකරමි. 

මෙම බ්ලොගය ලිවීම අරබමින් ලියූ පෙර වදනේ (28/03/15) සටහන් කල ලෙසම එය ආරම්භකලේ මගේ facebook පිටුවේ මීගමුව ගැන ලියූ දෑ දීර්ඝ වැඩිවුයෙන් වෙනත් තැනක එය ස්ථානගත කිරීමට සිදුවූ නිසාය. එය එහිලා උනන්දුවන බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්වූ අතර ඔවුන්ගේ ඒ උනන්දුව නොකඩවා තිබීම ගැන මම සතුටුවෙමි. 

ඇත්තවශයෙන්ම, මීගමුව සමග මට ඇති සබැදියාව ගැන මම මුලින්ම යමක් ලිව්‍වේ අපේ සිංහල ගුරුවරයාවූ උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ 93/94 උසස්පෙළ සිංහල විෂය සදහා A/B සාමාර්ථ ලැබුවන් ඔහුව අගයකරමින් පලකල ප්‍රචාරක පත්‍රිකාවකය. වසර 23කට පෙර මා ලියූ දෙය මේ ආකාර විය:
                     'නම මාකස් - ගම මීගමුව
                     හිටියේ වලේ- වලේ හොදම එකේ
                     ඉගෙනගන්න ඇල්මක් තිබුනේ නැහැ 
                      තිබුනේ ඇම්මක්...' ආදියය.

ඉන් අනතුරුව යෙදුන කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සහ එහි ගතකල කාලයේදී ද මීගමුවේ මෙන්ම රටේද බොහෝ ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාකාරීවීමට හැකිවිණි. විශේෂයෙන්ම මීගමුවේ හිටපු නගරාධිපති ආනන්ද මුණසිංහ මහතා මීගමු පුස්තකාලයේ සිසු/සිසුවියන්ට පාඩම් කිරීමට තිබු කොටස වසාදැමීමට ගත් තීරණයට එරෙහිව 1997 යෙදුන මීගමු මහ නගරසභා මැතිවරණයෙදී දේශපාලන වේදිකාවේ පවා එම ගැටළුව ඇතුළු මීගමුවේ බොහෝ ගැටළු මතු කලෙමි. ඉහත ක්‍රියාකාරීත්වය තුල මා නිතර කනවැකුණු මීගමුවේ ජනප්‍රිය පැනයක්වුයේ "මීගමුවට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි" යන්නය. එම පැනයට හේතුවවුයේ ලංකාවේ කොයියම් රජයක් බිහිවුවද මීගමුවේ කොටුව, එහි පැරණි ගොඩනැගිලි, අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීපාරක්ෂාව පමණක් නොව එහි සංස්කෘතික අංගෝපාන්ගයන්ද නොසලකාහැරීමට ලක්ව ක්‍රමයෙන් දියවෙමින්යෑමට ඉඩහැර  ඇති නිසා ජනයා තුල ඇතිවූ නොසතුටය.

එහෙත් "මීගමුවට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි" යන පැනයට  පැහැදිලි පිළිතුරක් මට සපයාගත හැකිවෙනුවේ මාගේ ආචාර්ය උපාධිය සදහා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගොඩනැගුණ ආකාරය ගැන සිදුකල අධ්‍යනයේදීය. එම අධ්‍යනයට සාපේක්ෂව මීගමුව සම්බන්ද පැරණි ඡයාරූප, ලියකියවිලි, postcards පමණක් නොව video  පටපවා සොයාගැනීමට හැකිවිය. 

කලින් සදහන් කල ලෙසම ඉන් තරමක් මගේ facebook පිටුව ඔස්සේ බෙදාගත්තෙමි. දැන් මෙම බොලොග් අඩවිය ඔස්සේද එසේ කරමි. ඉන් බොහෝ කරුනු අපේ පරම්පරාවේ අයට පමණක් නොව අපේ වැඩිහිටියන්ට පවා අලුත් තොරතුරුවිය. එහෙත් මා තවම ලියා ඇත්තේ 437වන දැනට මා එකතුකර ඇති තොරතුරුවලින් 29ක් ගැන පමණි. තව බොහෝදේ ලිවීමට ඇත.

එමෙන්ම, දැනට මම මීගමුව ගැන ලියන දෑ ගැන මෙන්ම රටේ ලෝකයේ සිදුවෙන කාලීන සිදුවීම් ගැන ලියන දේ පිලිබදවද ඉතා ඉහල උන්නදුවකින් කියවන විශාල  පිරිසක් මේ බ්ලොග් අඩවිය වටා ගොනුවී ඇත. ආගමික,සමාජ හා දේශපාලන මති භ්‍රමයන්ගෙන්  ඔද්දල්වී ඇති රටේ, නව ප්‍රවේශයන් ගැන උනන්දුවන සියල්ලන් වෙනුවෙන් ඉඩක් ලද සෑම විටකම ඒම කටයුත්තටද දායකවීමට අපේක්ෂා කරමි.

ඒ කෙසේවුවද, දිගින් දිගටම, නොනැවතීම, මීගමුව ගැන නම් නොලියා සිටිය නොහැකිවනු ඇත. ඒ මන්දයත් මීගමුව ගැන අපට ඇත්තේ ඇල්මකට වඩා ඇම්මකි.  

ස්තූතියි. 

මෙතෙක් මා මේ බ්ලොග් අඩවියේ පලකල මීගමුව ගැන සහ රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන ලිපි ලැයිස්තුව.

මීගමුව ගැන ලිපි.

  1. පෙර වදනක් - My Home town Negombo
  2. මීගමුවේ ශාන්ත මරියා පල්ලිය සහ එහි මහා සිත්තරා !!
  3. ක්ලැරා, පරා, නිමල්, නෙවිල් සහ නීලා - මීගමුව ගැන අතුරු කථාවක්
  4. මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි.
  5. D.F. කාරියකරවන නම් මීගමුවේ සිංහල වියතා
  6. සදාචාරවාදීන් යටපත්කල මීගමුව ගැන චිත්‍රපටි තුනක්
  7. හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන නොසලකා හැරී මීගමුව මහ රෝහල සිය සත් මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වේ.
  8. ඩබල් ඩෙකර් රථ මීගමුවේ නැවත දුවවමු ද ?
  9. මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! 
  10.  Negombo people gathered in a rally to raise their issues !!!
  11. මීගමුවට TV ආවේ 1976 ටත් පෙරද ?
  12. අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු !!!
  13. මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා !!!!
  14. ජනාධිපතිතුමෙනි, මීගමුව රෝහලේ නව ගොඩනැගිලි දෙකට ස්තූතියි, එහෙත් අපේ ඉල්ලීම් ඉටු නොකර 'පූච්චානම්' කථා නම් තවත් එපා !!!
  15. මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන් !!!!!!!
  16.  මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!
  17. මීගමුවේ 'ගේ ලෝඩ්ස්' ?
  18. පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව
  19.  මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/?
  20.  එය ප්‍රංශ කොඩිය නොවේ, ලොයලා විදුහලේ කොඩිය ය !!!
  21. මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ" 
  22. මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය.
  23. මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල. 
  24. යහපාලන රජයෙන් ධීවර ගැටළුවලට විසදුම් ඉල්ලා මීගමුවේ දැවැන්ත ධීවර රැළියක්.
  25. පල්ලියේ දේවමෙහෙයෙන් අරඹා, රාජසිංහ රජ හා මහත්මා ගාන්ධි සමරා, ග්ලෝස්ටර් ආදිපාදගේ සමුගැනීමේ සාදයෙන් අවසන්වූ මීගමුවේ පැවති ලංකාවේ අපූරු පළමු නිදහස් දින සමරුව 
  26.  ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්
  27. මීගමුවේ වතුර ප්‍රශ්නය  සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....
  28. 90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ මතුවීම
  29. කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ චර්යාව  


රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන ලිපි.
  1. නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ?
  2. මලක්, මසක්, මුද්දරයක් සහ වෙසක් උත්සවයක්.
  3. හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්
  4. වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට.
  5. 'Wild Sri Lanka (2015)' සහ විල්පත්තුව
  6. මැයි 19 පණිවිඩය: ඒකීය රාජ්‍ය වෙනස් කල යුතුය!
  7.  ඉච්චාභංගත්වයට පත් ලාංකිකයාගේ ඉරණම වීඩියෝපටි 05කින්.
  8. මැඩෝනා: යථාර්තය සහ ප්‍රතිරූපය අතර ස්ත්‍රීත්වය
  9. පෝලන්ත රහසිගත උමගක ඇති දුම්රියේ ඇත්තේ හිට්ලර්ගේ නාසීන් සොරාගත් රත්තරන්ද ? (ලංකාවේ නාසීට තව ඇත්තේ යොදුන් දෙකයි !!)
  10.  Mystic Pizza සහ காக்கா முட்டை (Kaaka Muttai/කාක මුට්ටයි) Pizza
  11. රන්ජන් රාමනායකගේ වැඩිහිටියන්ට පමණක් කථා සහ අපරාධ පිළිබඳ සාකච්චා සහාසිකත්වටය සහයවීම.
  12. ඉරානය හිට්ලර්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක
  13. We are all vulnerable no safer than Parisians !!! අප සියල්ලන්ම පැරීසියානුවන් මෙන්ය
  14. රුසියානු යානය බිම හෙලීම; අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක්ද ?
  15. බාහු මාරු, අපි අමාරු !!!
  16. සෞදි අරාබියේ දී ගල් ගසා මරාදැමීමට නියමිත ශ්‍රී ලාංකීක කත වෙනුවෙන් අද උද්ගෝෂණය කරන මිතුර මිතුරියනි, අෂ්රාෆ් ගැනත් හඩ නගන්න !!!
  17. ඉපැරණි සෝවියට් නිර්මාණ සිහිකැදවන අප්‍රිකානු පුනරුදයේ ස්මාරක
  18. එන්රික් (Enrique) ගේ ප්‍රසංගය තුලද නැවත මතුවෙන ශ්‍රී ලංකීකයාගේ සංස්කෘතික අර්බුදය !!!!
  19. ජනවාරි 8 - රට මෙතැනින් කොතැනටද ?
  20. ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනය සහ ශ්‍රී ලංකාවේ ජාතිකත්වය පිළිබද කතිකාව
  21. යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම
  22. රන් පදක්කම් 7 යි: ඒත් නම කියවද්දී අපේ නෙමේ වගේ හිතෙනවාද? එසේනම්
  23. බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd කියලා දැනගත්තහම බදාගන්න හදන්නේ ඇයි ?
  24. ලන්ඩන් නිදහස් දින සමරුව ගැන පසු අදහසක්
  25. 'ගී කියන කුරුල්ලා මරාදැමීම පාපයකි' - හාපර් ලී: ඔබ සමාදානයේ සැතපේවා !!!
  26. අභාවයට ගිය කලාවක් ජීවත්කල ඇන්ටන් ජෝන්ස්
  27. ඇමෙරිකාවේ සුපිරි අගහරුවාදා Trumpට තව ජයක් ගෙන එයිද?
  28. මේ ආණ්ඩුවෙත් ගෝනි නැතිව කරේ යන මිතුරනි, අපි ගොවීන් නොවී උයන්පල්ලන් වෙමුද!!!
  29.  'කුලියාපිටිය' කියන්නේ ලංකාවටමද ? ඉන්දියාවේ සහ ලංකාවේ මේ දිනවල වැඩියෙන්ම කථාකරන මාතෘකාව
  30. ණය උගුල යනු JRලා, ප්‍රේමදාසලා හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කරඇති වින්නැහිය!!!
  31. ලාංකීය දේශපාලනයේ Game theory ය !!!
  32. ඇයි මේ සෙනග ?
  33. මේ මහින්ද කදවුරේ මූලික ගැටළුව ද ? නැතිනම් රටේ සම්භාෂණයට නිදහස නැතිකම පිළිබද මුලික ගැටළුවද ? 
මාකස් ප්‍රියන්ත පෙරේරා
31/03/16.

Sunday, 27 March 2016

පාස්කු හෙවත් කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ චර්යාව

පාස්කු හෙවත් චතාරික සමය මීගමුවේ හදුන්වනූයේ 'කොරෝස්ම' කාලය යනුවෙනි. එය පෘතුගීසි භාෂාවෙන් බිදීආ වදනකි: පෘතුගීසි භාෂාවෙන් චතාරික සමය හැදුන්වුයේ  `quaresma' හෙවත් 'කොරේස්මා' යනුවෙනි. එපමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් Holy Saturday ලෙස හදුන්වන මහ සිකුරාදාට පසු එළබෙන සෙනසුරාදා මීගමුවේ පමණක් නොව ලංකාවේ බොහෝ කතෝලිකයන් හදුන්වනුයේ 'ආලේලූයියා සෙනසුරාදා' නමිනි. එයද පෘතුගීසි භාෂාවෙන් බිදී ආවකි.  පෘතුගීසි භාෂාවෙන් එම සෙනසුරාදා හැදුන්වනුයේ 'Sábado de Aleluia' යනුවෙනි. තවද පාස්කු ඉරිදා දිනය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වනුයේ Easter Sunday නමිනි. නමුත් ලංකාව පමණක් නොව පෘතුගීසි, ස්පාඤ්ඤය සහ ඉතාලි පාලනයට නතුවූ  බොහෝ රටවල එම සෙනසුරාදාට පසුව එළබෙන ඉරිදා හැදින්වුයේ පාස්කු (Pasku) ඉරිදා යනුවෙනි. එය හීබ්රෝව්, ලතින්, ග්‍රීක භාෂාවලින් විකාශනයවුවකි.  ඉහත භාෂාත්මක යෙදුම් තුලින් පවා  ලංකාවේ කිතුනු ආගමේ මූලයන් සොයාගත හැකි අතර මීගමුව තුල එයට ඇත්තේ කෙතරම් සමීප සම්බන්දයක්දැයි යන්නද හෙළිකරගත හැක. 

කිතුනු ඇදහිල්ලට අනුව පාස්කු (චතාරික) සමය නැතහොත් කොරෝස්ම කාලය ආරම්භවනුයේ අළු බදාදා දිනයෙනි. එහෙත් මීගමුවේ නම් කොරෝස්ම කාලයට සුදානම්වීම ඇරබෙනුයේ පෙබරවාරි මාසයේ මුල් සුමාන දෙක පටන්ය. ඒ මීගමුවේ පල්ලන්සේනේ සිට දූව, පිටිපන දක්වා බොහෝ ප්‍රදේශවල රඟ දක්වන ජේසුතුමන්ගේ දුක් ප්‍රාප්තිය සිහිකරන   පාස්කු නාට්‍යවල පුහුණුවීම් ඇරබීමත් සමගය. මෙම පාස්කු නාට්‍යවල ජේසුතුමන්ගේ සිට බොහෝ චරිතවලට පනපොවන පුද්ගලයන් එම කාලය තුල උපවාසයේ යෙදෙමින් බොහෝදුරට සද්ධාවෙන් යුතුව කාලය ගතකිරීමට කටයුතු කරති. ඔවුන් පමණක් නොව කුඩා ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝම චාතාරික සමයේදී තමන් ආශාකරන  කුමන කෑමක්බීමක් හෝ පුරුද්දක් කැපකිරීම සිරිතක් කරගෙන සිටිති.

එමෙන්ම අළු බදාදාට පෙර දිනය හෙවත් අගහරුවදා (Shrove Tuesday) මීගමුවේ වැසියෝ හැදින්වුයේ ගුරු අගහරුවදා නමිනි. එදින ගඩොල් කැටයක් හෝ උළු කැබැල්ලක් හෝ ගොරළු කැටයක් හෝ කුමන හෝ ගුරුපාට දෙයක් ගෙන සිය නිවෙස්වල උළුවස්සේ ගුරුපාටින් කුරුසිය ලකුණ සලකුණු කිරීමේ සම්ප්‍රදායක් අතීතයේ පැවති නිසා මෙම අගහරුවාදා දිනය ගුරු අගහරුවාදා ලෙස හැදින්වීම සිදුව ඇත. එදින කුණු බිත්තර එකිනෙකාට එල්ල කරගැනීමේ චාරිත්‍රයක්ද මීගමුවේ  පැවැත ඇත. එමගින් අප සියල්ලන් සිය කුණුවී ඇතයි යන්න මෙනෙහි කිරීමද, අපගේ පාපයන් නිසා ජේසුතුමන් වන්දිගෙවීමට එන්නේ යැයි පසක් කිරීමද සිදුවේ. දැන් නම් කුණු බිත්තර  වෙනුවට සාමාන්‍ය බිත්තර යොදා ගන්නා අතර ගුරුපාට වතුර ඉසීමේ සම්ප්‍රදායක්ද ඉදිරියට පැමිණ ඇත.  

එහෙත් මීගමුවේ කොරෝස්ම කාලය ඇරබී බව නගරවාසීන්ට දැනෙන තවත් හේතුවක් යෙදේ. ඒ  වසරකට වරක් හෝ සෑම වසර දෙකකට වරක් අළු බදාදා දිනයේදී මීගමුව සා. පීතර පල්ලියේ සිට දූව සින්දාත්‍රී මාතා පල්ලිය දක්වා හෝ දූව සින්දාත්‍රී  මාතා පල්ලියේ සිට මීගමුව සා. පීතර පල්ලි දක්වා ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව පෙරහරින් රැගෙනයාමේ හෝ වැඩමවීමේ දර්ශනය නිසාය. ගීතිකා ගයමින්, ආගමීක යාඤ්ඤාවල නිරතවෙමින් සිදුකරන මේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ විදී පෙරහැර කොරෝස්ම කාලයේ මීගමු නගරයේ පමණක් දැකිය හැකි මීගමුවටම සුවිශේෂීවූ පාස්කු චාරිත්‍රයකි. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට පෙර මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ චාරිත්‍රය  සිදුකර ඇත්තේ මීගමුවේ හැමිල්ටන් ඇළ 
සහ කලපුව ඔස්සේය. විශේෂයෙන් ඉදිකල පාලම් පාරුවකින් මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාම සිදුකල බවත්, එකල්හි ඇළදෙපස රැස්වූ ජනයා මෙම පාරු පෙරහරට රතුමල් ඉසිමින් ගරුබුහුමන් දක්වු බව පැරැන්නො කියනු මම අසා ඇත්තෙමි. කොරෝස්ම කාලේ මීගමු ජනයාගේ පාස්කු වැඩසටහන්වලද, ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව සමග ඇදෙන පෙරහැරේද  දැකිය හැකි රතු සහ සුදු වර්ණ මිශ්‍ර කොඩි දකින සෑමවිටම ඉහත රතුමල් ඉසු පැරණි ජනයාව නැවත සිහිපත්වේ. කෙසේවුවද, මීගමුවේ නගර දිගේ ඇදෙන ඉහත ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ හෝ වැඩමවීමේ පෙරහැර මීගමු නගරවැසියන්ට කොරෝස්ම කාලය දැන් පැමිණ ඇතිබව නැතැතින්ම  සිහිකැදවයි. 
එතැන් සිට එලෙබෙන කොරෝස්ම කාලයේදී මීගමු කිතුනුවන් සිය මීසම් සංවිධාන මට්ටමින් සංවිධානය කරන චතාරික වන්දනා ගමන්වල යෙදේ. එම චතාරික වන්දනා ගමන් බොහෝදුරට  හිනිදුම, මග්ගොන, කුඩාගම, මාබිම, වහකොට්ටේ, පේසාලේ හෝ වෙනත් දුරබැහැර ප්‍රදේශයක පිහිටි කල්වරියට හෝ වෙනත් සිද්ධස්ථානවලට යෙදෙන අතර එහිදී ඔවුන් සිය ආගමීක වත්පිළිවෙත් වල යෙදේ. එහිලා සැලකියයුතු ජන සහභාගීතත්වයක් දැකිය හැකිවීම විශේෂත්වයකි. 

එමෙන්ම පල්ලි තුල මෙන්ම නගරයේ විදී දිගේ සිදුකරන එළිමහන් පාදනමස්කාර (stations of the cross) පාස්කු සමයේ මීගමුවේ නොඅඩුව පවත්වන පොදු කිතුනු ආගමීක ක්‍රියාකාරීත්වයකි. එමගින් එම ජනයාව නැවත නැවතත් සිය ආගමික ශාස්තෘවරයාගේ දුක්ගාවීනාව මෙනෙහි කිරීමට යොමුකරවයි.   

මෙම කාලයේදී මීගමුවේ බොහෝ වයස්ගත කාන්තාවන් නිතර කළු ඇදුමකින් සැරසෙන අයුරු මම දැක ඇත්තෙමි. අඩුම වශයෙන් සිකුරාදාටවත් ඔවුහු එසේ කරති. නැතහොත්, වෙනදාට පල්ලියේ පුජාවට හිස පළදින සුදු වේල් කැබැල්ල වෙනුවට කළු වේල් තීරයක් හෝ ඔවුහු හිසේ පලදති. එහෙත් දැන් නම් එම චාරිත්‍රය බොහෝදුරට දැකිය හැක්කේ මහ සිකුරාදා දිනයේදී පමණි.   

මීගමුවේ දූව,  පිටිපන, බසියාවත්ත ප්‍රදේශ මුල්කරගනිමින් පැවැත්වෙන පසන් ගායනා ද පාස්කු හෙවත් කොරෝස්ම සමයේදී මීගමුවටම පමණක් විශේෂවූ තවත් පැරණි සංස්කෘතික අංගයකි. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ගාවිනාව තේමා කරගත් මෙම ගායනා විලාශය ලතෝනි ගායනා විලාශයක් යැයි ඇතැම් වාර්ථාවල දැක්වුවද, ලතෝනි යනුවෙන් වෙනත් ගායන විලාශයක් මීගමුවේ කතෝලිකයන් අතර පවතින.  මීගමුවේ ලතෝනි සහ පසන් ගායනා එකිනෙකින් වෙනස්වෙන බව සුනිල් ආර්යරත්න පවා පිළිගෙන  තිබෙන බව 2003 දී ඔහු ලියූ 'කැරොල්, පසම් කන්තාරු' පොතේ පිටු 112-118 දක්වා දැක්වේ. තවද මීගමුවේ මෙම පසන් ගායනා සම්ප්‍රදාය පෘතුගීසින්ගෙන් උරැම කරගත්තක් බවත්, වර්තමාන සිංහල පසන් ගායනා සම්ප්‍රදාය 1713 දී දකුණු ඉංදියාවේ සිට මෙරට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා අතින් 1728 දී නිර්මානයවූවක් ලෙස පෙනීයන බවත්  ඉහත කෘතියේ 114/115 පිටුවල සදහන් වේ. ඒ අනුව පෙනීයනුවේ අදටත් කොරෝස්ම කාලේදී මීගමුවේ ගැයෙන පසන් ගායනාවන් සදහා ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මීගමුවට සුවිශේෂී පාස්කු සම්ප්‍රදායක් බවය.

දින හතලිහක කාලයක් පුරාදිවෙන මෙම පාස්කු කාලයේදී සෑම සිකුරාදාම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව නමස්කාර කිරීමට මීගමුව දූවට හෝ ශා. පීතර දේවස්ථානයට ජනයා ඇදීයෑමද මීගමු ජනයාගේ පාස්කු අංගයකි. එසේ පැමිණෙන ජනයාට අච්චාරු, කජු කොරදියල්, මීගමු අළුවා විකිණීමට සෑදී පැහැදී සිටින මග දෙපස රැදී සිටින වෙළදුන් සුවිශේෂී ලක්ෂනයක් එක් කරයි.

කෙසේවුවද, පාස්කු සමයේ වඩාත්ම ක්‍රියාකාරී සමය එලබෙනුයේ ගොබ් ඉරිදායින් පසුව ඇරබෙන ශුද්ධවූ සතියත් සමගය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජ තේජසින් ජෙරුසලමට පැමිණීම සිහිකරන මෙම දිනය ලංකාවේ හදුන්වනුයේ ගොබ් ඉරිදා දිනය ලෙසය. එහෙත් ලොව පුරා එය හැදින්වෙනුවේ Palm Sunday ලෙසය. පාම් අතු නැති ලංකාවේ ඒ වෙනුවට භාවිතා කරනුයේ ගොබ් කොළ හෙයින් ලංකාවේ කිතුනුවෝ මෙම Palm Sunday දිනය හැදුන්වනුයේ ගොබ් ඉරිදා දිනය ලෙස හදුන්වන බව පෙනේ. එය කිතුනු ආගම දේශීයකරණවීම පිළිබද හොද උදාහරණයකි. මෙම ගොබ් ඉරිදා දිනයේදී ලාංකික කිතුනුවන් ලොව අන් කිතුනුවන් මෙන්ම ගොබ් (Palm) කොළවලින් කුරුස තනා සිය නිවෙස්වල ප්‍රදර්ශනය කරති. එමගින් සිය ශාස්තෘවරයා කුරුසයේ ඇනගසා මරාදැමීමට ඉතා ආසන්න බව සහ එසේ මරා දැමුබව නැවත නැවත සිහිපත් කර ගනිති. 

ඉන් අනතුරුව එලබෙන දිනවල හවස්වරුවේදී මෙතෙක් මාස ගණනක් පුහුණුවීම්වල නිරතවූ පාස්කු නාට්‍ය කණ්ඩායම් සිය පාස්කු නාට්‍ය දර්ශන පෙන්වීම ආරම්භ කරති. එහෙත් ඒ සියල්ලක්ම නොවේ, දළුවකොටුව වැනි ස්ථාන කිහිපයක පමණි. පල්ලන්සේන, සා. පීතර, පිටිපන හෝ වෙනත් බොහෝ ප්‍රදේශවල මෙන්ම වසර 175 කට වඩා පැරණි මීගමු දූවේ මහා පාස්කු සංදර්ශන ආදී බොහෝ පාස්කු සංදර්ශන පවත්වනුවේ මහ සිකුරාදා දිනයේය. මීගමුවේ පැවැත්වෙන මෙම පාස්කු නාට්‍ය සම්ප්‍රදායත්, එහි සංස්කෘතික අනන්‍යතාවයත්, ලංකාවේ දේශීය නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට කෙතෙක් දුරට දායකවී ඇත්දැයි මම මීට පෙර ලියා ඇති 'මීගමු දූවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායක්' යන ලිපියේ විස්තරකර ඇත. එය මෙතැනින් කියවීය හැක.  
මහා සිකුරාදා දිනට පෙර එළබෙන මහා බ්‍රහස්පතින්දා දිනයේ දවල්වරුව වනවිට මීගමුවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ජනයා සිය කටයුතු අවසන්කර නිවෙස් බලායති. ඔවුන් නැවත වැඩ අල්ලනුයේ  දින 04කට පසුවය. එනම් පාස්කු ඉරිදායින් පසු එළබෙන සදුදා දිනයේ හවස්වරුවේය. මහා බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ක්‍රිස්තුන්වහන්සේ සිය ගෝලයන්ගේ පාද සෝදා පවත්වන අන්තීම රාත්‍රී භෝජනය මීගමුවේ පල්ලිවලද ඉතා ඉහල සහභාගීත්වයකින් යුතුව පැවැත්වේ භක්ති අභ්‍යාසයකි. එම දිව්‍ය මෙහෙය සදහා විවිධ මීසම්වල ඇති-හැකි ජනයා පාන් රාත්තල බැගින් රැගෙන එන අතර පසුව එය නැවත ජනයා අතර බෙදාහරී. 

මෙම පාන් බෙදාදීමේ පුරුද්ද 1950 දශකයේදී පවා මීගමුවේ තරමක් වත්පොහොසත්කම් ඇති ජනයා කොරෝස්ම කාලයෙන් පිටත පවා දිගටම කරගෙන ගොස් තිබු පුරුද්දකි. මීගමු මහවීදියේ පළමු සහ දෙවන හරස්වීදියේ ජීවත්වූ වයලට් ලොව්රන්ස් මැතිනිය සහ වන්ඩර්බෝඩ් නම්වූ හෙදිය (නර්ස් නෝනා) මෙලෙස සතිපතා බ්‍රහස්පතින්දාට හෝ අගහරුවාදට දිලිදු පවුල් පහකට පාන් රාත්තල බැගින් ලබාදුන් බව මාගේ පියා කියනු මම අසා තිබේ. මහා බ්‍රහස්පතින්දා රාත්‍රීයේ දිව්‍ය පුජාවෙන් පසුව මාධ්‍යම රාත්‍රිය දක්වා දිවෙන ශුද්ධවූ පැය නම් ආගමිකවතාවත්ද මීගමුවේ සෑම පල්ලියකම  විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවා සිදු කෙරේ. 

එයට අමතරව මීගමුවේ 'බර්ත ජනයා' මහා බ්‍රහස්පතින්දා දිනයේදී කුරුස බනිස් (Cross Bun) නම් බනිස් වර්ගයක් සාදාගනී. එය ග්‍රීසියේ සහ බ්‍රිතාන්‍ය ඇති ප්‍රකට Hot Cross Bun යන බනිස් වර්ගයෙන් පැන නැගුනක් වියහැක. එහෙත් එය හැඩයෙන් සෙසු බනිස් වර්ගවලට වඩා වෙනස්ය. එහි හැඩය සම්පුර්ණයෙන්ම කුරුසයක හැඩය ගනී. ඉහත ඡයා රූපයෙන් දක්වෙනුවේ ඒ වැනි පිසගත් කුරුස බනිස් කිහිපයකි. මීගමුවේ 'බර්ත ජනයා' මෙම චතාරික පිළිවෙත 1950 දශකයට එපිට සිට පවත්වාගෙන එන්නකි. එමෙන්ම ආලේලුයියා සෙනසුරාදා මාසීපෑන්වලින් (marzipan) ඔවුන් තනාගන්නා විවිධ පැහැති පාස්කු බිත්තරද බටහිර රටවල ඇති Easter Eggs (chocolate easter eggs) සම්ප්‍රදායෙන් ගොඩනගා ගැනුවක් විය යුතුය. එය 1930 ගණන්වල මුල් භාගයේ සිට ඔවුන් පවත්වාගෙනා සම්ප්‍රදායකි. 
මහා බ්‍රහස්පතින්දායින් අනතුරුව එලෙබෙන මහා සිකුරාදා දිනයේදී මීගමුවේ කිතුනුවන් බොහොමයක් එක් වරුවක් උපවාසයේ යෙදේ. එදින ඔවුන් කරවල හෝ මාළු හෝ මිරිසට හෝ කිරට පිසූ කජු සමග එළවළුවක් පමණක් අනුභව කරති. මහා සිකුරාදා මස් කෑමෙන් වැලකී සිටීමේ සිරිත ලොව පුරාම කිතුනුවන් සිදුකරන චාරිත්‍රයකි. අයර්ලන්තයේ නම්  එදින පාරම්පරිකව 'හැඩොක්' මාළුවෙකු සමග අල පොඩිකර ලූණුකොළ ඉස කති. බ්‍රිතාන්‍යයේ ද මාළු සමග අල හෝ කොළ සලාදයක් අනුභව කරති. ඉතාලිය/ පිලිපීනය/ ජැමෙයිකාව සහ අප්‍රිකානු ආදී ප්‍රදේශවල ජනයාද එම චරිත්‍රය ඒ අයුරින්ම ක්‍රියාත්මකරන බව එම රටවලින් පැමිණ සිටින කිතුනුවන්ගේ මට දැනගැනීමට ලැබුණි. ගෝලීය වශයෙන් ලෝකයේ ඕනෑම රටක වෙසෙන කිතුනුවන් සිදුකරන මෙම මහා සිකුරාදා මස් කෑමෙන් වැලකී සිටීමේ සිරිත මීගමුවේ කිතුනුවන්ද ඉතා ඉහලින්ම පිළිපදිති. 

දිවා ආහාරයෙන් පසුව මීගමුවේ කිතුනුවෝ  පාස්කු දර්ශන නැරබීමට හෝ තුන්පැය දානය නම් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කිරීමේ ආගමික වතාවත්වලට සහභාගීවීමට පල්ලිකරා ඇදෙති. එම කටයුතුවලින් අනතුරුව පැමිණිනෙන ජනයාට පාර දෙපස සරුවත් දන්සල් මගින් සිසිල් බීම, මෙන්ම 'කැද දානය'ක්ද දේ. හාල් සහ පොල් කිරෙන් උයන මෙම 'කැද දානය' මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පමණක් සීමිත පාස්කු සිරිතකි. සමහරුන් මෙය හදුන්වනුයේ පොල් කැද දානය නමිනි. පොදුවේ එය පාස්කු කැද ලෙසද හදුන්වයි. මෙලෙස පාස්කු දර්ශන සදහා පැමිණෙන ජනයාට අලවිකිරීමට අච්චාරු, මීගමුවේ සූප්‍රකට අළුවා සහ මීගමුවටම විශේෂ 'කජු කොරදියල්' රැගෙන එන කාන්තාවන් ද කොරෙස්ම කාලේ මීගමුවේ අමතක කල නොහැකි දේවලින් කිහිපයකි.  

ඉන්පසුව එලබෙන සෙනසුරාද හෙවත් 'ආලේලූයියා සෙනසුරාදා' 
මීගමුවේ වීදිවල අපූරු පිරිසක් දැකිය හැකිවේ. යක්ෂයන් ලෙස වෙස්ගන්වාගත්, දම්වැල් චෙන් රැගත්, විවිධ කර්කෂක ශබ්ද නගමින්, මූනුවල් කළු පැහැකරගත් කොළු ගැටවුන් මෙසේ මොරදෙති: 
"අපි මොක්කුද, යක්කු පැටව්‍
 කොහෙන් ආවේ පාතාලේන්
                           දුන් නැත්නම් යන්නෙත් නැහැ 
                          දෙකෙන් අඩුව යන්නෙත් නැහැ'', නැතහොත් මෙසේ මොරදෙති
 "අපි කවුරුද, යක්කු පැටව්‍
 කොහෙන් ආවේ පාතාලේන්
                           ලේ බීලයි මේ එන්නේ 
                           සල්ලි නොදුන්නෝත්
                           ලේ බොනවා....''.

සිංහලෙන් පමණක් නොව දෙමලෙන්ද කෑ මොරදෙන යක්ෂයන් ලෙස වෙස්ගන්වාගත් මේ  කොළු ගැටවුන් මුදල් එකතුකිරීමට මෙසේ සිදුකරණ අතර හවස්වරුවේ එලෙස එකතුකල මුදල්වලින් හන්දිවල ආහාරපාන අලෙවිකරන කඩාවලට ගොස් හරක්මස් සූප් (soup)බී, එහි කටූ කඩා මැරබෝන් බීම පුරුද්දක් කරගෙන සිටිබව එලෙස 'යක්කු යෑම' හි නිරතවූ මාගේ මිතුරන් දෙදෙනෙක් මාගේ facebook මේ සම්බන්දයෙන් මා පලකල post එකකට ප්‍රතිචාරයක් ලෙස ලියා තිබුණි.  එය කොළු ගැටවුන් සෙල්ලමට කල කටයුත්තක් වුවද, එයද පෘතුගීසි සහ ස්පාඤ්ඤය යටත්විජිතයන්ගෙන් උරුමවූ කතෝලික පාස්කු සම්ප්‍රදායේ ඇති 'ජුදාස් විරෝධය' සහ 'සාතාන්ගේ ජය සැමරීමේ පෙරහැර' වලින් මීගමුවට පැමිණි දෙයකි.  ආලේලූයියා සෙනසුරාදා මීගමුවේ වීදිවල සිදුකරන මෙම 'යක්කු යෑම' ගැන 2009 දෙසැම්බර් 09 දින දිවයින පුවත්පතේ මෙලෙස දැක්වේ;

 'මෙදින රාත්‍රියේ ඡේසුතුමා මරණය පරාජය කොට උත්ථාන වන නිසා පාතාල ලෝකයේ දොරටු විවෘත වන බව (ස්‌වරගීය මාර්ගය) ක්‍රිස්‌තු භක්‌තිකයෝ විශ්වාස කරති. මෙ දිනට (අලේලුයියා සෙනසුරාදා) පසුව යකුන්ට පාතාල ලෝකයෙන් ඉවත්වීමට සිදුවෙයි. එබැවින්, අලේලුයියා සෙනසුරාදා යකුන්ගේ නිදහස්‌ දිනය ලෙස සලකයි. මේ සිදුවීම සිහිකිරීම සඳහා ගමේ ළමෝ යකුන් ලෙසින් වෙස්‌වලා ගනු ලබති. කොළ අතුවලින් සහ විවිධ දැලි වර්ගයකින් ශරීර විකෘති කරගනු ලබයි. මේ ළමෝ ගමේ නිවෙස්‌ වෙත සහ කඩසාප්පු වෙත ගොස්‌ හිඟමන් ඉල්ලති. කලින් දින සිටම ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය දේ තෑගි කිරීම සඳහා සූදානම් කරගනු ලබයි. මේ ක්‍රියාවලිය යකාපාටි ක්‍රමය ලෙස ක්‍රිස්‌තු බැතිමත්තු ව්‍යවහාර කරයි. මෑතක්‌ වන තුරුම මෙම ක්‍රියාවලිය මීගමුව නගරයේ පාස්‌කු සමයේදී දක්‌නට ලැබුණු සුලබ දර්ශනයක්‌ වී තිබිණි (Divaina, Dec 9, 2009)'.

කලකට ඉහත ඉතා සුලභව දැකිය හැකිවූ මෙම ආලේලූයියා සෙනසුරාදා දිනයේ 'යක්කු යෑම'  දැන් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙනි.
එහෙත්, ආලේලූයියා සෙනසුරාදා සිදුවෙන වඩාත්ම අවදානය යොමුවන කටයුත්ත වනුයේ ආලේලූයියා සෙනසුරාදා මාධ්‍යම රාත්‍රී පුජාවය සහ  විදුලි ආලෝකය නිවා ජලය සහ ගින්දර ආශීර්වාද කරන කටයුත්තය. නත්තල් දින මධ්‍යම රාත්‍රියේ සිදුකරන දිව්‍ය මෙහෙයෙන් අනතුරුව මීගමුවේ ඉතාමත් ඉහල කිතුනු ජන සහභාගීතත්වයක් ඇතිව   සිදුකරන විශාලතම මාධ්‍ය රාත්‍රී දේව මෙහෙයවන්නේ මෙයයි. එය ලෝකය නැවත ප්‍රතිනිර්මාණයවීමට නියමිත බව පසක් කරන්නකි. 

මෙසේ එම පැතුම සපථකරමින්, එම මාධ්‍ය රාත්‍රිය ගෙවීයාමත් සමග එලෙබෙන පාස්කු ඉරිදා (Easter Sunday) කිතුනුවෝ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිකරන පාස්කු මංගල්ලය සමරති. එදිනට මීගමුවේ කිතුනුවන්ට එය නත්තතල් දිනයට දෙවෙනි නොවෙන තවත් නත්තලකි. හරක්මස් කුකුළු මස් පමණක් නොව මීගමුවේ ජනයා වඩා ප්‍රියකරන ඌරු මස්ද බොහෝ නිවෙස්වල පිලියල වේ. දේශීය වශයෙන් නිෂ්පාදීත 'සුදු අරක්කු' වලසිට විවිධ මත්පැන් එදින පානයට ගනිති. ඒය ඇතැමෙකුට කොරෝස්ම කාලයේ වැළකීසිටි යමකින් මිදිමක්ද වේ. පාස්කු ඉරිදා මීගමුවේ කිතුනුවන් සමරනුයේ කොයි ආකාරයෙන්දැයි වචනයෙන් විස්තර කිරීමට වඩා එය භුක්තිවිදීම වටී. කෙසේවුවද මීගමුවේ කොරෝස්ම කාලය යනු ඒ පළාතේ ප්‍රධානතම සංස්කෘතික විභවය සහ සමාජ, ආගමීක අනන්‍යතාවයන් එලියට එලෙබෙන කාලය බව නම්  පැහැදිලිය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා 
27/03/16.

** ඡයාරූප ස්තුතිය දූව පාස්කු facebook පිටුවට, කුරුස යාගය  facebook පිටුවට සහ නිරෝෂන් හබුරුගල මහතාට

Wednesday, 23 March 2016

මේ මහින්ද කදවුරේ මූලික ගැටළුව ද ? නැතිනම් රටේ සම්භාෂණයට නිදහස නැතිකම පිළිබද මුලික ගැටළුවද ?

මම ඊයේ (22/03/16) අපේ බ්ලෝග් කෙරුවාවේ වෘත්තීය ප්‍රවීණයෙකු වන අජිත් පැරකුම් ජයසිංහගේ Facebook post එකක් share කලෙමි.  එය මෙසේ විනි. 

උදේ පහ පසු වී විනාඩි පහක් යනකොට පිංවත්නි පන්සල් දෙකක් පටන් ගත්තා පිරිත් සජ්ජායනා පොරයක්. දෙගොල්ලන්ගේ ලවුඩ්ස්පීකර් ජෑම් වෙලා. එක පන්සලක පන්සිල්. අනෙකේ තාම තිසරණ සමාදන් වෙනවා. දෙපැත්තම ෆුල් වොලියුම්. දෙයියො ඉන්නවා නම්, ඇම්ප්ලිෆයර් පිච්චේවා!

මම මේ බ්ලෝග් ලිවීමට පිවිසෙනවිට මුලික වශයෙන් අදහස් හුවමාරුකරගත් තිදෙනෙකුවුයේ  අජිත් පැරකුම් හෙවත් පැරා, නෙලුම්යායේ අජිත් (ධර්මකීර්ති) හෙවත් කොළඹ ගමයා සහ රස සාගරයක් වූ මාතලන් යන තිදෙනාය. තවමත් අවුරුද්දක්වත් ගෙවී නැති මාගේ මේ බ්ලෝග්  පිවිසුම දිරිමත්කිරීමට ඔවුන් මාව ඔවුන්ගේ සින්ඩිකේටරවලටද ඇතුලත් කරගන්නා ලදී. ඔවුන්ගේ සාකච්ඡාවන් ගැන මගේ ඇති උනන්දුව බොහොදුරට මතවාදී තලයක් දක්වා දිවයයි. කෙසේවුවද, අජිත් පැරකුම්ගේ ඉහත Facebook post එක මා share කලේ පහත හැදින්වීමත් සමගය.

මිනිස්සුන්ට දේශපාලනයෙන් විතරක් නොවෙයි ආගමෙනුත් කරදරයිලු !!!! කණක් ඇහිලා ඉන්න නැහැල්ලු !!! ලංකාව දියුණු කරන්න, මිනිස්සුන්ට සැනසීමේ ජීවත්වෙන්න මේ ගැටලුත් විසදන්න ඕනේ නැද්ද ? සතුට යනු .....

Ajith Perakum Jayasinghe
22 hrs
උදේ පහ පසු වී විනාඩි පහක් යනකොට පිංවත්නි පන්සල් දෙකක් පටන් ගත්තා පිරිත් සජ්ජායනා පොරයක්. දෙගොල්ලන්ගේ ලවුඩ්ස්පීකර් ජෑම් වෙලා. එක පන්සලක පන්සිල්. අනෙකේ තාම තිසරණ සමාදන් වෙනවා. දෙපැත්තම ෆුල් වොලියුම්. දෙයියො ඉන්නවා නම්, ඇම්ප්ලිෆයර් පිච්චේවා!
එහිදී මම උවමනාවෙන්ම සතුට යනු ..... වෙන් සදහන් අවසන් නොකරන ලද වැකියක් ඉතිරිකලේය. ඒ එය සම්බන්ද සාකච්ඡාවකට ඉඩතැබීමක් වෙනුවෙනි. බලාපොරොත්තු වූ පරිදිම සාකච්ඡාවක් ඇරබීනි. 

එහෙත් කිසිවෙක් මා මෙහි  සතුට යනු ..... වෙන් සදහන් අවසන් නොකරන ලද වැකියෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසුවේ නැත. 

ඒ වෙනුවට දුක යනු පිරිතේ ඇති බලය නොදත් මිත්‍ය දුෂ්ටිකයන් පන්සල පමනක් ඉදිරියට දමා වලා හියා ගැනිමට සැරසිමයි..   ආදී දෑ පලකරන්නට විනි. 

මා නැවත මාගේ මුලික පැනය වෙත අවධානය යොමු කරනුවස් ඉහත POST එක ගැන අදහස් පලකරන තැනැත්තාගෙන් "ඔබ කියන්නේ මේ ලවුස්පීකර් කරදර නොසලකා හරින්නදැයි විමසුවෙමි." 

එවිට ඔහු "පන්සලේත් පල්ලියේත් දැල් වෙන්නේ එකම පහනයි! ලබන්න ආලෝකය සැම පහනකින්ම! එලියක් වෙන්න මිනිස් සංහතියට නොවී අකුනක් දැය නසන! වෙනසක් ඇති බව වටහා ගත් කල දිනක පතමි ඔබ වටහා ගනු ඇතයි අරැතක්..." ආදී සද්ධාව සහ ආගම ආදී කථා ලියන්නට විනි. මම නැවත ඔහුට ඔබේ අවදානය බිදී ඇති බවත්, facebook පිටු පුරා මහින්ද රාජපක්ෂගේ ප්‍රචරක දෑ බෙදාහරින පාක්ෂිකයෙකු වන ඔබ ඔහුගේ පරාජය සමග තමන් නැතිකර නොගත  යුතු බවත් ලීවෙමි. ඒ මා කුමක් ලීවද, ඒවා ගැන කිසිදු අවබෝධයකින් තොරව මහින්ද රාජපක්ෂගේ කථාවක් කොහෙන් හෝ ඇදගනිමින් නිතර නිතර ගෝරනාඩු කරන නිසාය.

ඔහුගේ පිළිතුරවුයේ ඔහුගේ ගැටළුව ඔහු නොව මා  බවත්, මාගේ රහසිගත සැලස්මක් ගැන ඔහු සැකකරන බවත් දැන්වීය. ඔය රහසිගත සැලසුම්, කුමන්ත්‍රණ, අනෙකා අපිව විනාශ කරතැයි යන බිය, තමන් කුඩා කල සිටම හොද හැටි දන්නා කෙනාව පවා සැකකිරීම, අසල්වැසියා කෙරෙහිපවා වූ සතුරු ආකල්ප මහින්ද රාජපක්ෂ පාලනයෙන් අපිට උරුමවූ නරුම සිතුවිලි බව දැන්වීම මාගේ පිළිතුර විය . 

එවිට ඔහුගේ පිලිතුරවුයේ 'සිංහලෙන්ම කියනවානං මාර්කස් අයියා! අගාම් බේද බින්න කරන ලිපි නොලියන්න!!' යැයි කීහ.  මා එසේ ලියා ඇත්තේ කොහිදැයි වීමසීය. ඔහුට එයට උත්තර නැතිවිය.

මා ලියන්නේ ආගම් පිළිබද කථාවක් නොව වර්ගීක අදිපත්‍ය මුල්කරගත් රටේ මුල්බැසගත් වර්ගීක ජාතිකවාදයකට (ethno-nationalism)  විරුද්ධව බවත්, එය ඉතාමත් විශිෂ්ඨ බුද්ධි සම්ප්‍රදායක් වන බුද්ධාගම පිළිබද කථාවක් නොව 'සිංහල බෞද්ධ' නම් දේශපාලන 'කාරකයන්ගේ' (actors) වර්ගීක අදිපත්‍ය මුල්කරගත් වාර්ගික ජාතිකවාදයටත් (ethno-nationalism) විරුද්ධවුවක් බවත් නැවත මතක්කර දුනිමි. 

මාගේ පාසැල් සමයේ සිට මා වර්ගීක අදිපත්‍ය මුල්කරගත් වාර්ගික ජාතිකවාදයට (ethno-nationalism) විරුද්ධව සමානාත්මතාවය වෙනුවෙන් දේශපාලන අරගලයක නිරතවුවෙක් බව ඔහු හොදාකාරවම දනී. 

එහෙත් ඒ කාලයේ දේශපාලනය තබා පොදු සමාජ ගැටළු වෙනුවෙන්වත් පෙනීනොසිටි තම පෞද්ගලික විනෝදය වෙනුවෙන් පමණක් කටයුතු කල ඔවුන් වැන්නවුන් යුද්ධ ජයග්‍රහණයත් සමග ලද යුද්ධ මානසිකත්වයත්, මහින්ද රාජපක්ෂ උරච්චිකරවූ සංවර්ධන ෆැන්ටසිය ඔහුගේ පරාජයත් සමග කඩා වැටීම නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වයත් මත ගොඩනැගුණ වියරුවත් තුල  අතරමන්ව අපව අන්තවාදීන් සහ ඔවුන්ගේ වර්ගවාදයට විරුද්ධ සතුරු වර්ගවාදීන් වර්ගයක් යැයි දැක්වමින් නිහඩ කිරීමේ උත්සහයක නිරතවෙති.

එය පැහැදිලිවම නාසී ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපයේම කොපියකි. හිට්ලර්ගේ නාසී ද ඔවුන්ගේ වර්ගීක අදිපත්‍ය මුල්කරගත් වාර්ගික ජාතිකවාදයට (ethno-nationalism) විරුද්ධවන්නන් පිළිවලින් යුදෙව්වන්, කොමියුනිස්ට්කාරයන්, පිටස්තර මතවාද කරපින්නාගත් ඊනියා බුද්ධිමතුන් සහ ලේඛකයන්, ක්‍රිස්තියානි අන්තවාදීන් ලෙස තමන්ගේ පාර්ශවයට විරුද්ධ සියල්ලන් සමාජයෙන් ඉවත්කිරීමට කටයුතු කළේය. 

මා ලියන්නේ ලංකාවේ පශ්චාත් යටත්විජිත රාජ්‍ය සහ ජාතිය ගොඩනැන්වීමේ කාර්ය රටේ බහුතර වාර්ගික සහ ආගමීක අනන්‍යතාවය මත පදනම්වූ, සෙසු  වාර්ගික සහ ආගමීක අනන්‍යතාවයන් බැහැරකරවන වාර්ගික ජාතිකවාදී (ethno-nationalism) වැඩපිළිවලක් බව පසක් කරදීමටය. මෙතෙක් සිදුවී ඇත්තේ  බහුතර වාර්ගික සහ ආගමීක අනන්‍යතාවය මත ගොඩනගාගත් වාර්ගික ජාතිකවාදය (ethno-nationalism) විසින් සෙසු අනන්‍යතාවයන් යටපත්කිරීම හෝ ඒවා ක්‍රමයෙන් වියැකීයාමට ඉඩහැරීමයැයි මම මීගමුව ඇසුරින්ම පෙන්වාදී ඇත. මාගේ අරමුණ මහා වාර්ගික ජාතිකවාදයට එරෙහිව (ethno-nationalism) තවත් එවැනිම ව්‍යාපෘතියක් ගොඩනැගීම නොව, එක් අනන්‍යතාවයක් විසින් අනෙක් අනන්‍යතාවයක් මත ආධිපත්‍ය පතුරුවන්නේ නැතිව, සෙසු අනන්‍යතාවයන් බද්දකරගන්නාවූ ලෞකීක ජාතිකවාදී (civic-nationalism)  වැඩපිලිවේලක ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමය. 

එහෙත් මේ යෝජනාවට මහා වාර්ගික ජාතිකවාදීන් විරුද්ධය. ඒ ඔවුන් මෙතෙක් දැඩි වෙහෙසෙන් ගොඩනගාගත් ආධිපත්‍ය ඉන් අහිමිවේයැයි යන බය නිසාය. මහින්ද රාජපක්ෂව නැවත ගෙන්වන්න අවශ්‍යවන්නේ මේ නිසාදැයි මම මීට කලින්ද ප්‍රශ්නකර තිබේ (එය මෙතැනින් කියවිය හැක). ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියට විරුද්ධවන මා වන්නවුන් යටපත් කිරීමට ඔවුන් ලේසියෙන්ම සොයායන්නේ මාගේ නම වන 'මාකස්' යන්න සමග සංජානනය කරන, ඔවුන් නියෝජනය කරන ඔවුන්ගේ බහුතර වාර්ගික සහ ආගමීක අනන්‍යතාවයන්ට අයත් නැති  සෙසු සියළු දෑය.  මෙම රචනයට ප්‍රස්තුතයවූයේ ඉහත post එකේ මම 'සතුට යනු .....' වෙන් සදහන් අවසන් නොකරන ලද වැකියෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසීමකින් තොරව, ඒ ගැන සංවාදයකින් තොරවම, ඔවුන්ගේ හිතළුවල සිට ප්‍රතිචාර දක්වන්නේ ඉහත සංජානනයන් නිසාය.

මට නම් මේ වැඩපිළිවල නාසී ජර්මනියේ හිට්ලර්ගේ වර්ගවාදී වැඩපිලිවෙලට වඩා වෙනස් නොවේ. ඔවුන්ද ඔවුන්ගේ වර්ගවාදී වැඩපිළිවෙලට විරුද්ධවුවන්ට කලේ මෙයමය. මේය මහින්දවාදී දේශපාලන ප්‍රවාහය තීවූර කල  ගැටළුවක් මෙන්ම, රටේ ක්‍රමයෙන් විකාශනයවූ බහුතර වාර්ගික සහ ආගමීක අනන්‍යතාවය මත පදනම්වූ වාර්ගික ජාතිකවාදී (ethno-nationalism) වැඩපිළිවල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්භාෂණයට එරෙහිව බිහිකර ඇති මාරන්තික තර්ජනයේ ස්වභාවයය. 

අවසාන වශයෙන් මෙම රචනයට ප්‍රස්තුතයවූ ඉහත post එකේ මම 'සතුට යනු .....' වෙන් සදහන් අවසන් නොකරන ලද වැකියෙන් මාගේ සතුට කුමක්දැයි යන්න ගැනද ඉහත facebook සංවාදයේදීම මා සදහන් කලබව කිව යුතුමය. ඒ අන් කිසිවක් නොව ආගමික කරදර ගැනද  හඩ නැගීමයට මිනිසුන් ඉදිරිපත්වීමය. ඒ එක් ආගමක් ගැන නොව ඕනෑම ආගමක් ගැනය. ආගම  පුද්ගලයාගේ පෞද්ගලික දෙයක් මිස එය පුද්ගලයාගේ පෞද්ගලික නිදහස බලහත්කාරයෙන් උල්ලංඝනය නොකරන්නක් විය යුතුය. මේ සම්බන්ද මාගේ ස්ථාවරය මා මීට පෙරද 'යුරෝපය ආගමික ආධිපත්‍යයෙන් නිදහස්වීම' යන ලිපියේ ලියා ඇත. (එය මෙතනින් කියවිය හැක.) 

අදාල අවසන් නොකල  ප්‍රස්තුතය ඔස්සේ  කියවෙන්නේද  එයයි. එනම් 

"මිනිස්සුන්ට දේශපාලනයෙන් විතරක් නොවෙයි ආගමෙනුත් කරදරයිලු !!!! කණක් ඇහිලා ඉන්න නැහැල්ලු !!! ලංකාව දියුණු කරන්න, මිනිස්සුන්ට සැනසීමේ ජීවත්වෙන්න මේ ගැටලුත් විසදන්න ඕනේ නැද්ද ? සතුට යනු .....මිනිස්සූ මේ ආගමික කරදර ගැනද කථා කිරීමයි." 


මාකස් ප්‍රියන්ත පෙරේරා
22/03/16.

Friday, 18 March 2016

ඇයි මේ සෙනග ?

ඊයේද (17/03/16) කොළඹ අතිවිශාල මහජන රැලියකි. ඊට දින දෙකකට පෙරද (15/03/16)  එවැනිම අතිවිශාල මහජන රැලියකි. ඒ දෙකම සංවිධානාත්මක දේශපාලන පක්ෂ විසින් විශාල ලෙස මුදල් වියදම්කර, බස් රථවලින් සෙනග ගෙන්විත්කල මහා රැළිය. 

ඒත් මේසා විශාල ලෙස සෙනග රැගෙනවිත් මහා රැළි කරන්නේ ඇයි?

ඊයේ රැළිය පැවැත්වුයේ ආණ්ඩුවට විරුද්ධවය. ඊට දින දෙකකට කලින් පැවති UNP රැළිය ආණ්ඩුවට විරුද්ධවන්නන්ට විරුද්ධවය. 

ඒත් මෙහෙම සෙනග ගෙනවිත් විශාල රැළි පවත්වා විරෝධය දැක්වුවිට ආණ්ඩුව වෙනස් වේද? ආණ්ඩුවට විරුද්ධවන්නන් නිහඩවේද ? මේ දෙකම නොවනු ඇත. එසේවේ යැයි සිතීම ද අතාර්කිකය.

එහෙත් මෙලෙස විශාල රැළි පවත්වා සමාජය තුල මතයක් තහවුරු කර, දේශපාලන පිබිදීමක් ඇතිකර ආණ්ඩුව මාරු කල හැකියැයි ද, විපක්ෂයට වඩා ආණ්ඩුව ශක්තිමත් යැයි පෙන්විය හැකියැයිද කියති.

එයද නොවිය හැක. මන්ද ලංකාවේ කවදත් ආණ්ඩු මාරුකලේ ජනාධිපතිවරණයකින් හෝ මහා මැතිවරණයකිනි. තවත් වසර 4-5කට මෙහා ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් නැතිකොට එලෙස ආණ්ඩු වෙනස් කරන්නේ කෙසේද?   එහෙත්, ඕනෑනම්, තවම ලංකාවේ සිදුකර නැතිවුවත්, සෙනග මහපාරට බස්සවා, දින, සති, මාසගනන් අගනුවර පාරවල් අවහිරකර කලින් ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුව ගෙදරයැවීමට උත්සහයක් දැරිය හැක. එය එක්දින රැළියකින් නම්කල නොහැක. අනෙක එය ගුටිකන්නට විතරක් නොව මැරෙන්නටද සිදුවෙන වැඩකි. එහෙම මැරෙන්න  අපේ රටේ මිනිස්සු එයිද? කටුනායක නිදහස් වෙළද කලාපේ වැඩපොලකවත් නොකඩවා දිනදහයක් එම කම්හලේ කම්කරුවන් සමග අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වාගෙනයෑමට  නොහැකි රටේ, සතිගනන් පාරවල් වල ලැග ආණ්ඩු වෙනස් කිරීමට මිනිස්සූ එයිද? තවම නම් එසේවීමට තරම් ලොකු හේතුවක්ද නැත. 

විරෝධය දැක්වීමටයැයි කීවද, විරෝධය දැක්වීමට තරම් ආණ්ඩුව කලදෙයක්ද නැත. අර ඉන්දියාව සමග ගිවිසුමද තවම නැත. තවම රණවිරුවන් පාවාදී ද නැත. රට දෙකඩ කරද නැත. මහින්දව අත් අඩංගුවටගෙනද නැත. යෝෂිත මෙන්ම සියළු හාමුදුරුවන්ටද ඇපදී ඇති බැවින් ඔවුන් හිරේද නැත. FCIDයට කැදෙව්වද තවම නඩුද නැත. පොහොර නැතිවුද, සුදුරෙදි නැතිවුවද ඒ වෙනුවට සල්ලි දෙති. ඉතින් විරෝධය දැක්වීමට ඇත්තේ කවරකටද?

වෙන මොන පෞද්ගලික විදුහල් අධ්‍යාපනය මුදලට විකුණුවද  ගෙඩිපිටින් විරෝධය දැක්වීමට නම් අන්තරේට මාලබේ පෞද්ගලික වෙද විදුහලවත් තිබේ. එහෙත් ඒකාබද්ද විපක්ෂයට තවම එහෙමටම කියාදෙයක් නොමැත. අනෙක් අතට, පාර්ලිමේන්තුවේ එහෙම් මෙහෙන් සද්දයක්, රැළියක්, පෙළපාලියක්,  මිස ඒකාබද්ද විපක්ෂයෙන්ද  ආණ්ඩුවට තවම එතරම් ලොකු විරෝධයක් එල්ලවී නැත. ඒහින් ආණ්ඩුවට විරුද්ධවන්නන්ට විරුද්ධවීමටද ලොකු රැළි ඕනෑ කරන්නේ නැත. 

එහෙත් මේසා වියදම් කරමින්, මේහැටි සෙනග ගෙනවිත් මහා රැළි කරන්නේ ඇයි ? 

ඒ වෙන මොකටවත් නොව, මෙතරම් සෙනග ගෙනවිත් මහා රැළි කරන්නේ ලංකාවේ පක්ෂ තමන්ගේ පක්ෂත්, දේශපාලන වැඩපිළිවෙලත්, පාක්ෂිකයනුත් නඩත්තු කිරීමය. එය අන්තරේ ප්‍රමුඛ පෙරටුගාමීන්ටද, JVPයටද, ඒකාබද්ද විපක්ෂයටද, දැන් UNPයටද පොදුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද හෙටම එවැන්නක් නොකර නොසිටිනු ඇත.  මැතිවරණයක් අතරතුර, මැයි දිනයක් සහ පක්ෂ සංවත්සරයක් අතරතුර තම පක්ෂයේත්, පාක්ෂිකයන්ගේත් ජවය නඩත්තු කිරීමට නම් එවැනි සංවිධානාත්මක දේශපාලන පක්ෂ විසින් විශාල ලෙස මුදල් වියදම්කර, බස් රථවලින් සෙනග ගෙනවිත් දැවැන්ත රැළි පැවැත්වීම අවශ්‍ය. පක්ෂිකයන්ට විනෝද චාරිකාවකුත්, නරබන්නට ආශ්වාදයත් අත්කර දෙන මෙම මහා රැළි සියල්ලටම වඩා ප්‍රමුඛතාවය දෙන්නේ සිය නායකත්වයේ සිට පහලම සමාජිකයාත්, සුබපතන්නන් දක්වාත්වූ සියල්ලන්ටම තමතමන්ගේ ආවේගයන් උපරිම ලෙස පිටකල හැකි අවකාශයක් සකසාදීමටය. ඔවුන් සිය පක්ෂවල දේශපාලන වැඩපිලිවලුත්, පක්ෂියන්ගේ ක්‍රියාකාරිත්වයත් නොකඩවා රැකගැනීමට අවශ්‍ය උත්තේජය ලබාගන්නේ එලෙසය. 

බටහිර රටවල සාමාන්‍යයෙන් පළාත් මට්ටමේ සමුළු, ජාතික සමුළු සහ විවිධ උත්සව (functions)  පවත්වා සිදුකරනදෙය අපේ රටේ කරනුයේ මහා සෙනගක් පාරට ගෙනවිත් මහා රැළියක් පැවැත්වීමෙනි. එම රටවල දැවැන්ත දේශපාලන රැළියක් සංවිධානය කරනුයේ යම්  කරුණක් පිලිබදව සාකච්ඡාවට ගණනාවකින් (consultation)  පසුවත් ප්‍රතිපලයක් නොලැබීමෙන් අනතුරුවය. එහෙත් අපේ රටේ නම්  වැඩේ පටන්ගන්නේම මහා රැළියක් පවත්වමිනි. එය අපේ පිළිවෙත වියහැක. එහෙත් අපේ රටේ නිතර සංවිධානය කරන විශාල දේශපාලන රැළි සහ එයට සහභාගීවන්නන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මට නම් පෙනෙනුයේ 'දේශපාලන භක්ති අභ්‍යාසක්' ලෙසය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/03/16

Wednesday, 16 March 2016

ලාංකීය දේශපාලනයේ Game theory ය !!!

විෂය ක්ෂේත්‍රයක් ලෙස ලාංකීය දේශපාලනය  සංකල්ප, න්‍යාය සහ මතවාදවලින් බොහෝ පොහොසත්ය. එහෙත් ඒ කෙතක්දුරටද යන්න ගැටළු සහගතය. දේශපාලනය යනු 'ගේම් (Game) එකක්ය' හෝ 'ගේම්'  ගහනවා ආදී ලෙස 'ගේම්' කථාවක් ලාංකීය දේශපාලනය තුල මෙන්ම සමාජ ජීවිතය තුලද නිතර ඇසේ. එය කෙතෙක් අවබෝධයෙන් කරන ප්‍රකාශ දැයි නොදනිමි. ඒ මන්දයත් 'Game theory' ය ලෙස න්‍යායක් තිබේන අතර අප නිතර භාවිතාකරන 'ගේම්' කථාව ඉන් බිදී ආවක්ද නැතිනම් සරල අර්ථයෙන් භාවිතා කරන්නක් ද යන්න අතර ඇති වෙනස කියවීමට තරම් අපහසු නිසාය. අනෙක් අතට 'Game theory' යේ කථාකරන යම් යම් කරුණු අපේ රටේ භාවිතාකරන 'ගේම්' කථාව තුලද තරමක් අන්තර්ගතවීමද ඉහත අවුල තවදුරත් තීවූර කරයි. 

නුතන 'Game theory' නම් න්‍යාය 1940 දී ඔස්ට්‍රියානු ජාතික වොන් නෙව්මන් (Von Neumann) සහ මොර්ගන්ස්ටර්න් (Morgenstern) යන දෙදෙනා ඉදිරිපත්කරන ලද්දකි. ගණිතමය පදනමක් මත ඉදිරිපත්කරන මෙම 'Game theory'ය සංකල්පගතකරනුයේ එකිනෙකට වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක් විය හැකිද යන්නය. මේය එක් පාර්ශවයක දිනුම සහ අනෙක් පාර්ශ්වයේ පරාජය නම්වූ සරල ද්වි ඇගයුම් තර්කනයේ සිට  පාර්ශ්ව කිහිපයක් නම් එහි සාමුහික ඇගයුම මෙන්ම එහි විචල්‍යයන් ගැන පවා අවදාරණය කරන සංකීරණ අන්තයක් දක්වා ගමන් කරන  න්‍යාය ගත කිරීමකි.

ඉහත න්‍යායික පදනම් පිලිබදව එතරම් තැකීමකින් තොරවවූවද ලාංකීය දේශපාලනයේ ප්‍රවනතා විමසාබැලීමට සමත් පුරුද්දක්, දේශපාලනය ගැන උත්සුක, ලාංකීකයන් විසින් ගොඩනගාගෙන ඇත. විවිධ පාර්ශ්ව මත බර තැබීම් කරමින් සිදුකරන මෙම තර්කනයේදී නැවතවතාවක් මතුවනුයේ ඉහත 'ගේම් කථාවය'. එහෙත් ලාංකීය දේශපාලනයේ මෙම 'ගේම් කථාව' දැන් බලය අත්කරගැනීම, බලය පවත්වාගැනීම සහ බලය ව්‍යාප්තකිරීම යන්නට වඩා හුදු සාමාන්‍යකාරණයකි. එනම්  'ගේම්' එකට වඩා වෙනදෙයක් දැන් නැත.  

කෙතරම් සුපිරි සිහින පෙන්නුවද, කෙතරම් සංවර්ධන ප්‍රබන්ධයන් ඉදිරිපත්කලද එදිනෙදා කටයුතු කරගෙන යාමටවත් රටට නොහැක. රට පමනක් නොව එහි වැසියෝද එහෙම මෙහෙන් කරකාගෙන එදිනෙදා කටයුතු කරගෙනයති. මහින්ද රාජපක්ෂ රජය නම් ඔය එහෙන් මෙහෙන් කරකාගෙන වැඩේ කරගෙනයාමේදී  රටේ නීතිය ගැනවත්, මුල්‍ය විනය ගැනවත්, ණය කන්දරාව ගැනවත්, අන්තර්ජාතික ගිවිසුම් ගැනවත් වෙනත් කිසිවක් ගැනවත් වැඩි තැකීමක් කලේ නැත. කොහොම හරි 'ගේම්' කැරකෙව්වේය. 

එහෙත් ඉහත කී සියල්ල ගැන තකමින් රනිල්-මෛත්‍රී දෙදෙනාද කෙසේ හෝ 'ගේම' ගසන්නට දතකති. ප්‍රදේශය වශයෙන් ආර්ථික ඒකක රාශියක් ඇති කරමින් රටේ රැකියා දස ලක්ෂයක්දීමට පොරුන්දුවූ ඔවුන්, සිය ආර්ථිකය ක්‍රමවත් කිරීමේ වැඩ පිලිවල නිසා මැටිකපන, වැලිගොඩදාන මිනිසාගේ පවා රස්සාව අසුරා ඇත.  දැන් ඉන්දියාව සමග හෝ චීනය සමග හෝ වෙනත් කිසිවෙකුත් සමග ගිවිසුමකින් ලබාගත හැක්කකින් හෝ 'ගේම' කරුකවා ගෙනයාමට මාන බලති. 2004 අප්‍රියල් මාසේ චින්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා හැරියවිටවත් පාරට සෙනග ගෙනවිත් විරෝධය දැක්වීම ප්‍රතික්ෂේපකල රනිල් වික්‍රමසිංහ දැන් පාරට සෙනගගෙන එමින් කියනුයේ තමන් සතු ආණ්ඩුබලයට අවශ්‍යනම් අනෙක් ප්‍රතිවිරෝධතා 1989දී මෙන් කුඩුපට්ටම් කලහැකි බවයි.    

අනෙක් පැත්තෙන් කෙසේ හෝ 'ගේම' කැරකුවද ජනාධිපති 'ගේමෙන්' ගෙදරගිය මහින්ද රාජපක්ෂ නැවත එන්න හදන්නේද ඔහුට 'ගේම' දුන් සියල්ලන්ට 'ගේම' දීමටය. අමතක නොකළ යුත්තවනුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වුයේ ඔහු ඉස්තරම් ලෙස ආණ්ඩු කරමින් සිටි තත්වයක් තුල නොවේ. ඔහු LTTE ය පරාජයකලද බෙදුම්වාදයේ අනතුර ජිනීවා හරහා අන්තර්ජාතික මට්ටමින් වඩාත් ශක්තිමත්මත්ව ඉදිරියට පැමිණි එමින් සිටි අතර එය ඔහුට වැලක්වාගත නොහැකිවිය. ණය බර මෙන්ම නාස්තියද, නිස්කාරන වියදම්ද, පවුල්පාලනයද මහින්ද රාජපක්ෂ පාලනයේ මුදුන්මුල වී තිබුණි. එපමණක් නොව ජාතිය, රට සහ ආගම නාමයෙන් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික සහ ජාතිවාදී කොටස් ඔහු පාලනය නොකලා පමණක් නොව බහුතර සිංහල ආණ්ඩුවලින්, සිංහල බෞද්ධ නොවෙන ජනයාට සුගතියක් නැතැයි යන්න නැවතත් එම ජනකොටස්වල තහවුරුවීමට ඉඩහරින ලදී. ඒ රට තුල මුල් බැසගත් දුෂණයටත් අවනීතියටත් අමතරවය. මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කරන්නේ මෙම අනතුරුදායක තත්වය වර්ධනය වෙමින් ඇති තත්වයක් තුලය. ඒ ඔහුගේ 'ගේම' ද අසාර්ථකවූ තත්වයක් තුලය. 

'Game theory' නම් සිද්ධාන්තය ලාංකීය පොළව තුල, එහි දේශපාලන ක්ෂේත්‍රය තුල ක්‍රියාත්කම වන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් ලෙසකින් බව මේ අනුව පැහැදිලිය. අද දවසේ ලාංකීය දේශපාලනය තුල සිදුවිය යුත්තේ එකිනෙකට වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන විවිධ 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) තුල නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක්ද යන්න සොයාබැලීමය. දෙමළ ජනයාද, සිංහල බෞද්ධයාද පමණක් නොව වෙනත් වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන විවිධ 'කාරකයන්' (actors)  මොනවාද යන්න හදුනාගැනීම  මේ ක්‍රියාදාමයේ මුල්ම අංගයය. එකී 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) තුල නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක්ද යන්න සලකා බැලිය හැක්කේ ඉන් අනතුරැවය. එය ලාංකීයන් අද දවසේ දේශපාලනයේදී භාවිතාකරන 'ගේම්' කෙරුවාවට වඩා වෙනස්  'Game theory' කි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/03/2016

Saturday, 12 March 2016

ණය උගුල යනු JRලා, ප්‍රේමදාසලා හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කරඇති වින්නැහිය!!!

ශ්‍රී ලංකාව ණය උගුලක පැටලී ඇතිබව අගමැතිවරයා පාර්ලිමේන්තුව ඔස්සේ රටට කියන ලදී. රට මෙන්ම රටේ වැඩිදෙනාද ණයකාරයෝ බව හැමෝම දනිති. මිනිස්සු ගෙවල්දොරවල් හදන්න, ඉඩකඩම්, නිවාස, බඩුමුට්ටු, යාන-වාහන, හරකබාන, යන්ත්‍රසූත්‍ර ගන්න පමණක් නොව හදිස්සි අවශ්‍යතා වෙනුවෙන්ද, උත්සව මෙන්ම එදිනෙදා කටයුතු වෙනුවෙන්ද ණය ගනිති. රටක් ලෙස ලංකාවද එයට වෙනස් නැත. ඒ අවශ්‍ය දේවල් කිරීමට අවශ්‍ය තරම් ආදායම් සහ වත්කම් නැති නිසාය. රට මෙන්ම රටේ වැසියන්ද ආදායමේ හැටියට ජීවත්වීමට මෙන්ම ආදායමේ හැටියට වියදම් කිරීමටද නොදනිති. එය ලංකාවේ පමනක් නොවේ ලෝකයේ බොහෝ දෙනාගේ මෙන්ම බොහෝ රටවලද ප්‍රශ්නයකි. 

වසර 400කට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල පැවතියේ ප්‍රදේශ වශයෙන් ගොඩනැගුන ස්වයන් පෝෂිත සරල ආර්ථික ඒකකයන්ය. එහෙත් ධනවාදයත්, කාර්මික විප්ලවයත්, යටත්විජිතකරණයත් තුල එම ආර්ථික ඒකක කුඩුපට්ටම්කර අද ඇති සංකීර්ණ, ආශාවන් සහ අවශ්‍යතාවන්ගෙන් අනූන, එකක් අනෙක මත යැපෙන ආර්ථික ඒකකයන් බිහිකර ඇති බව නොරහසකි. මෙම ක්‍රමය තුල අපේක්ෂාකරනුයේ ආශාවන් සහ අවශ්‍යතාවන් පුළුවන් තරම් සර්ත්පනය කිරීම හෙවත් භාණ්ඩ සහ සේවාවන් උපරිම ලෙස පාරිභෝජනය කිරීමය. එසේ කිරීමට නම්  වියදම් කල යුතුය. නුතන සංවර්ධන ක්‍රියාවලිය තුල බොහෝදුරට සිදුව ඇත්තේ මෙම පාරිභෝජන ක්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැපයීම සහ ඇති බාධා ඉවත්කර  එයට හැකිතරම් ඉඩකඩ සැපයීමය. මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයා යනු පාරිභෝගිකයා නම් ජීවියාය. රටක් යනු එවැනි පාරිභෝගිකයන් රාශියකගේ වාස භූමියය. ඒ අනුව මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල බලාපොරොත්තු වනුයේ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රයශක්තිය තවදුරටත් නොනසා පවත්වාගෙන යෑමට හැකි ලෙස ඔවුන් නඩත්තු කිරීමය.  ණය දීම සහ ණය ගැනීම යන දෙකම මෙම ක්‍රියාවලියේ එක් දිගුවකි. 

මෙම සංවර්ධන ක්‍රියාවලියේ එක් කූටප්‍රාප්තියක් වනුයේ  1977 දී බලයට පැමිණි J R ජයවර්ධනගේ රජය හදුන්වාදුන් 'විවෘත ආර්ථික සංවර්ධන මොඩලයය.' එය ලංකාව යටත්විජිත පාලකයන්ටත් වඩා මුළුමනින්ම ලෝක ආර්ථිකය මත ඇති රැදියාව වැඩි කලේය. ඔවුන් හදුන්වාදුන් මෙම 'සංවර්ධන' ක්‍රියාවලිය තවදුරත් විෂම පාරිභෝජන ක්‍රියාවලියට පහසුකම් සැපයීමත්, එයට ඇති බාධා ඉවත් කිරීමත්  හැකිතරම් ඉලක්ක කර ගත්තකි. මෙම ක්‍රියාවලිය තුල අවශ්‍ය දේශපාලන බලය නඩත්තු කිරීමට සිය පක්ෂිකයන් වෙනුවෙන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට ධනය යම් ආකාරයට බෙදාහැරීමද, සංවර්ධන පුරාජේරුව පෙන්වීම සදහා සංදර්ශන කෙරුවාවද අඩුවක් නැවතිව පවත්වාගෙන යන ලදී. 

මේ සියල්ල සිදු කරන්නේ පොළියට අරන් පෙනුමට වැඩකිරීම තුල බව කවුරුත් දැන සිටියද  සියල්ලෝම එහි වසගයට ප්‍රිය කරති.

මහින්ද කලේ  JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා කල දෙයම වඩා වේගයෙන්, වඩා හොදට කිරීමය. ඔහුට මෙම ක්‍රියාවලිය වඩා හොදට කර ඉතිහාසගතවීමට තිබූ හදිස්සියත්, ඉහත සංවර්ධන ක්‍රියාවලියට තිබු ප්‍රධාන බාදකය වූ LTTEය සමුල ඝාතනය කිරීම තුල ඇතිකරගත් අවකාශයත් මත අන් සියල්ලන්ටම වඩා ණය ගත් පාලකයා බවට පත්වූයේ ඔහුය. එහෙත් ඔහු කලේද JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලාගේ සංවර්ධන ක්‍රියාවලියම ඔවුන්ට වඩා හොදට, ඊට වඩා වැඩි වේගයෙන් කරගෙන යෑමය. JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා    හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කර ඇති වින්නැහිය යනුවෙන් දැක්වුයේ එයය. 

එදා JRලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා    හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කල සේම අද රනිල් වික්‍රමසිංහ ඉදගෙන කරන්න හදන්නේද එයමය. 

මෙගා පොලිස් හෝ වේවා පොට්සිටි හෝ වේවා මේ කුමන නමකින් හෝ වේවා දැන් සිදුවෙන්නෙත් එය ක්‍රියාවලියමය. ණය උගුල කෙසේවෙතත් ඔය සියල්ලටම තවතවත් ණය  ගැනීමට නියමිතය. ඊළගට මේ කෙරුවාව වඩාත් හොදට කරන්නේ තමන්යැයි කීමට චම්පික රණවක ද දැන් පෙරට පැමිණෙමින් සිටී. 

මේ ණය අර්බුධයෙන් ගොඩ ඒමට නම් මේ විකාර සංවර්ධනය ක්‍රියාවලිය වෙනස් විය යුතුය. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ මහ ජනයාට වඩා හිතකර, දැරිය හැකි සමාජයක ජීවත්වීමට ඉඩකඩ සලසාදීම මිස  ඔවුන් තවදුරටත් මෙම විෂම පරිභෝජන රටාව තුල නන්නත්තාර කිරීම නොවේ. ඒහින් විශාල සිහින පසුපස හබායෑම වෙනුවට පියවි ලෝකයේ සුන්දරත්වය විදිමින් ජනයාට සරලව, සාමුහිකවශයෙන් එක්ව සාධාරණ සමාජයක ජීවත්වීමට ඉඩකට සැකසීම මේ ණය උගුල්වලින් මිදීමට ඇති හොදම මගය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/03/2016.

Monday, 7 March 2016

90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ මතුවීම

1990 දශකය ආරම්භවන විට මීගමුවේ තරුණ-තරුණියන්ට නිදහසේ ආදරය කිරීමට නොහැකි තත්වයක් මතුවිය. රාජපක්ෂ උයනද, මීගමු වෙරළ තීරයද, කලපුව අසබඩ පෙදෙස්ද තරුණ-තරුණියන්ට තහනම් විය. එවකට පැවති රීගල්, කිංග්ස් සහ මීපුර සිනමා ශාලාවල බැල්කනි සහ බොක්ස්වල ප්‍රේමකරන පෙම්වතුන්ට චිත්‍රපටිය අතරතුර ටෝච් ගසා බලන වොචර්ලා සිටියහ. මීගමුව බස් නැවතුම් පොලේද පෙම්වතුන්ට නිතර අවවාද නිකුත්කරන 'ටයිම්කීපර්ලා' සහ 'සේකුරිටිලා' විය. ක්‍රමයෙන් සෑම සෙනසුරාදාවකම පොලිසිය විසින් පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී. දිගින් දිගටම සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම්වලට විරුද්ධව කටයුතු කිරීමට මීගමුවේ අභීත පුත්‍රයෙක් ඉදිරිපත්විය.

ඔහු ලංකාවේ පළමු කථානාද චිත්‍රපටිය ලෙස සලකන කඩවුණු පොරොන්දුව චිත්‍රපටියේ රගපෑ හියුගෝ ප්‍රනාන්දු මහතාගේ බල පුත්‍රයාවූ බ්‍රිටෝ ප්‍රනාන්දු. එවකට නව සම සමාජ පක්ෂයේ මීගමුවේ ප්‍රධාන සංවිධායකයාවූ ඔහු මෙලෙස පෙම්වතුන් අත්අඩංගුවට ගන්නවාට විරුද්ධව මීගමුවේ උද්ගෝෂණයක් දියත්කළේය. හරි අපුරු උද්ගෝෂණයක්වූ එය සින්දු කියමන්, ගිටාර්, ඩොල්කි, චල්වළලු ආදිය වයමින් රාජපක්ෂ උද්‍යානය සහ මීගමු වෙරළ අවට, කලපුව අසල, මීගමුවේ  සිනමා ශාලා ඉදිරිපිට සහ මීගමුව බස් නැවතුම්පොළ තුල   කොළ බෙදමින් මේ අත්අඩංගුවට ගැනීම් නිතිවිරෝධී බවත් එමගින් මානව හිමිකම් කඩවෙන බවත් දක්වමින් විශාල ගෝෂාවක් නගන ලදී. රටේ මානව හිමිකම් ගැන එතරම් කථාවක් නොතිබි ඒකාලේ  බ්‍රිටෝ ප්‍රනාන්දු යනු මානව හිමිකම් වෙනුවෙන් සටන්කල කප්පිත්තෙක් විය. වරක් 'නිදහසේ වේදිකාව' නම් රාජ්‍ය නොවන සංවිධාන එකතුව විසින් සංවිධානය කල උත්සවයකට සහභාගීවූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 'නිදහසේ වේදිකාව' රටේ මහජනයාට මානව හිමිකම් රකින හැටි ඉගැන්වුයේයැයි පැවසුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ඔහුවටා සිටි පිරිස්වල ඉහත ක්‍රියාකරිත්වන් ගැන අගමැතිවරයා හොදින් දන්නා නිසා විය යුතුය. 

එහෙත්, පොලිසිය පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම දිගටම සිදුකරන ලද අතර ඔවුන්  පැවසුවේ මේසේ පෙම්වතුන් අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගෙන් සමහරක් කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණියන් සහ මීගමුවට පංතියාමට පැමිණෙන තරුණියන් රවටා ඔවුන් අමාරුවේ දමන බවත්, කුඩා ළමයෙකුට පවා වෙරළේ සෙල්ලම්කල නොහැකි ලෙස අශෝභන ලෙස හැසිරෙන නිසාත් බවත්ය. 

ඔය අතර එක්වරක් 400යකට අධික තරුණ-තරුණියන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර මීගමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු නව සමසමාජ පක්ෂ ක්‍රියාකාරීන් එයට විරුද්ධව විශාල උද්ගෝෂණයක් මීගමුව උසාවිය අසල පවත්වන ලදී. ඒ කාලයේම සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමද අපූරු ගීතයක් නිකුත්කරන ලදී:
"කෝඩුකාර නංගීලාට 
විසේකාර මල්ලිලාට 
අහන් ඉන්න හොද ප්‍රවෘර්තීයක්
මේ තරුණ වයසේ ආදරේට 
හරස්කපලා සෝබනේට 
වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්
මේවා හොදට හිතට ගන්න
ගනන් ගන්න එපා හොදද
ඊරිසියාව හින්ද කලවැඩක්
ඔය ඕවා වැඩද තරුණ අපට 
ප්‍රේමකරමු වැඩිය හොදට 
මේක ප්‍රේම පැරඩයිස් එකක්
ප්‍රේම කරමු සැවම එක්වෙලා
එන්න නංගී මල්ලි
රොක්වෙලා..
කෙසේවුවද, මේ සියල්ලේම ජයග්‍රහනය තහවුරු කරමින් මීගමු උසාවියේ මහේස්ත්‍රාත්තුමා විසින් මෙලෙස පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව දක්වන ලදී. ඒ සමග මීගමුවේදී තරුණ-තරුණියන්ට නිදහසේ ආදරය කිරීමට තිබු බාදා අහෝසිවිය. පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමද නතරවන ලදී. 

ඒ 1990 දශකයේදී මීගමුව විසදාගත් එක් ගැටළුවකි. අනෙක් ගැටළුව නම් ඒඩ්ස් රෝගයත් සමග ඇතිවූ සමාජ භීතිකාවය. විශේෂයෙන්ම, මේ කාලයේ ඒඩ්ස් රෝගය වැළදී මියගිය අය ගැන මීගමුවෙන් වාර්තාවන්නට විය. ඇතැම් තොරතුරු කිසිම පදනමක් නැති ඒවාය. 'සන්ෂයින්' සංගීත කණඩායමේ ගිටාර්වදකයෙක් ගැන එවැනි බොරු වාර්තා පලවිය. එයටත් වඩා මීගමුවේ දුන්ගාල්පිටියේ පිට්ටනිය අසල නිවසක් ගිනි තබා විනාශ කරන ලදී. මේ පසුබිම තුල පොලිසිය සමග කුමන හෝ වාදයක පැටලුනු තරුණයෙක්ට පොලීසිය කලේ 'ඒඩ්ස් රෝගයෙන් පෙලෙන්නේදැයි පරීක්ෂා කිරීමට' අවශ්‍ය යැයි කියමින් අත්අඩංගුවට ගැනීමය. මුලින් මීගමු උසාවියේ මහේස්ත්‍රාත්තුමා එයට ඉඩදෙන ලදී. එහෙත් මීගමුවේ පල්ලිවල කතෝලික පියතුමන්ලාද, විශේෂයෙන්ම ෆින්ටෝ පියතුමා සහ දොන් බොස්කෝ ආයතනයත්, ජූඩ් ලාල් ප්‍රනාන්දු පියතුමා සහ කිතුසර කණ්ඩායමත්, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසුත් මෙම 'ඒඩ්ස් රෝගයෙන් පෙලෙන්නේදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි' කියමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලට විරුද්ධවත්,  ඒඩ්ස් රෝගය වැළදුණු සහ එම රෝගයෙන් මියගිය අයගේ සහ ඔවුන්ගේ අබුදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් මහා මැදිහත්වීමක් සිදුකරන ලදී. එම දේව දයාබරකමේ සහ දයාවේ සේවය තුල  ඒඩ්ස් රෝගය වැළදුණු, සහ එම රෝගයෙන් මියගිය අයගේ, සහ ඔවුන්ගේ අබුදරුවන්ට ආරක්ෂාව සහ රැකවරණ දෙන්නට මීගමු ජනයා කිසිම චකිතයකින් තොරව ඉදිරිපත්වන ලදී. වරක් ඒඩ්ස් රෝගය වැළදී මියගිය පියකුගේ දරුවෙක් ගැන දිවයින පුවත්පතේ පලවූ ලිපියක් ගැන ඉතා තදින් උරණවූ දොන් බොස්කෝ ආයතනයේ ෆින්ටෝ පියතුමා අදාල පුවත ලියූ තැනැත්තාගේ නිවසටම ගොස් එහි ආදීනත්වය ගැන ඔහුට අවබෝධකර දෙනලදී. එතැනින් නතර නොවූ එම පියතුමා මීගමුවෙන් එපිට පිහිටි වෙනත් කතෝලික පාසැලකට එම දරුවා ඇතුලත් කරමින් එම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කරන ලදී. 

දශක දෙකකට පසුව මේ දිනවල කොලඹ ටොරින්ටන් හී පිහිටි නිදහස් චාතුරශ්රයේ පෙම්වතුන්ට මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතාවයනුත්, හර්ෂ ඇමතිවරයාගේ මැදිහත්වීමත්, කුලියාපිටිය දරුවාගේ පර්ශනයේදීත්, නැවතත් මාගේ මතකයට ආවේ 90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ විසදාගෙන නැති බවය. ඇතැම්විට ඔවුන් මීගමුවේ අත්දැකීම ගැන කිසිදු අවබෝධයක් නැතිව සිටිය හැක. ඒ සම්බන්දයෙන් මා යෝජනා කරනුයේ  පොතේපතේ නොමැති බොහොමයක් දේවල් මීගමුව ගැන සිදුකරන අධ්‍යනයකින් උගත හැකි බවයි. රටම මීගමුවේ අත්දැකීම් ගැන ඉගෙනගන සිටියේ නම් ටොරින්ටන්හී පෙම්වතුන්ගේ ප්‍රශ්නය පමණක් නොව  කුලියාපිටිය දරුවාගේ පර්ශනයද ප්‍රශ්නයක් නොකරගනු ඇත. අඩුම වශයෙන් මීගමුවෙන් අර සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම කියන පාඩමවත් ඉගෙනගනිමු 'ප්‍රේම කරමු සැවොම එක්වෙලා,  එන්න නංගී මල්ලි රොක්වෙලා" !!!!
මාකස් ප්‍රියන්ත පෙරේරා 
07/03/2016.