This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 27 March 2016

පාස්කු හෙවත් කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ චර්යාව

පාස්කු හෙවත් චතාරික සමය මීගමුවේ හදුන්වනූයේ 'කොරෝස්ම' කාලය යනුවෙනි. එය පෘතුගීසි භාෂාවෙන් බිදීආ වදනකි: පෘතුගීසි භාෂාවෙන් චතාරික සමය හැදුන්වුයේ  `quaresma' හෙවත් 'කොරේස්මා' යනුවෙනි. එපමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් Holy Saturday ලෙස හදුන්වන මහ සිකුරාදාට පසු එළබෙන සෙනසුරාදා මීගමුවේ පමණක් නොව ලංකාවේ බොහෝ කතෝලිකයන් හදුන්වනුයේ 'ආලේලූයියා සෙනසුරාදා' නමිනි. එයද පෘතුගීසි භාෂාවෙන් බිදී ආවකි.  පෘතුගීසි භාෂාවෙන් එම සෙනසුරාදා හැදුන්වනුයේ 'Sábado de Aleluia' යනුවෙනි. තවද පාස්කු ඉරිදා දිනය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වනුයේ Easter Sunday නමිනි. නමුත් ලංකාව පමණක් නොව පෘතුගීසි, ස්පාඤ්ඤය සහ ඉතාලි පාලනයට නතුවූ  බොහෝ රටවල එම සෙනසුරාදාට පසුව එළබෙන ඉරිදා හැදින්වුයේ පාස්කු (Pasku) ඉරිදා යනුවෙනි. එය හීබ්රෝව්, ලතින්, ග්‍රීක භාෂාවලින් විකාශනයවුවකි.  ඉහත භාෂාත්මක යෙදුම් තුලින් පවා  ලංකාවේ කිතුනු ආගමේ මූලයන් සොයාගත හැකි අතර මීගමුව තුල එයට ඇත්තේ කෙතරම් සමීප සම්බන්දයක්දැයි යන්නද හෙළිකරගත හැක. 

කිතුනු ඇදහිල්ලට අනුව පාස්කු (චතාරික) සමය නැතහොත් කොරෝස්ම කාලය ආරම්භවනුයේ අළු බදාදා දිනයෙනි. එහෙත් මීගමුවේ නම් කොරෝස්ම කාලයට සුදානම්වීම ඇරබෙනුයේ පෙබරවාරි මාසයේ මුල් සුමාන දෙක පටන්ය. ඒ මීගමුවේ පල්ලන්සේනේ සිට දූව, පිටිපන දක්වා බොහෝ ප්‍රදේශවල රඟ දක්වන ජේසුතුමන්ගේ දුක් ප්‍රාප්තිය සිහිකරන   පාස්කු නාට්‍යවල පුහුණුවීම් ඇරබීමත් සමගය. මෙම පාස්කු නාට්‍යවල ජේසුතුමන්ගේ සිට බොහෝ චරිතවලට පනපොවන පුද්ගලයන් එම කාලය තුල උපවාසයේ යෙදෙමින් බොහෝදුරට සද්ධාවෙන් යුතුව කාලය ගතකිරීමට කටයුතු කරති. ඔවුන් පමණක් නොව කුඩා ළමයින්ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝම චාතාරික සමයේදී තමන් ආශාකරන  කුමන කෑමක්බීමක් හෝ පුරුද්දක් කැපකිරීම සිරිතක් කරගෙන සිටිති.

එමෙන්ම අළු බදාදාට පෙර දිනය හෙවත් අගහරුවදා (Shrove Tuesday) මීගමුවේ වැසියෝ හැදින්වුයේ ගුරු අගහරුවදා නමිනි. එදින ගඩොල් කැටයක් හෝ උළු කැබැල්ලක් හෝ ගොරළු කැටයක් හෝ කුමන හෝ ගුරුපාට දෙයක් ගෙන සිය නිවෙස්වල උළුවස්සේ ගුරුපාටින් කුරුසිය ලකුණ සලකුණු කිරීමේ සම්ප්‍රදායක් අතීතයේ පැවති නිසා මෙම අගහරුවාදා දිනය ගුරු අගහරුවාදා ලෙස හැදින්වීම සිදුව ඇත. එදින කුණු බිත්තර එකිනෙකාට එල්ල කරගැනීමේ චාරිත්‍රයක්ද මීගමුවේ  පැවැත ඇත. එමගින් අප සියල්ලන් සිය කුණුවී ඇතයි යන්න මෙනෙහි කිරීමද, අපගේ පාපයන් නිසා ජේසුතුමන් වන්දිගෙවීමට එන්නේ යැයි පසක් කිරීමද සිදුවේ. දැන් නම් කුණු බිත්තර  වෙනුවට සාමාන්‍ය බිත්තර යොදා ගන්නා අතර ගුරුපාට වතුර ඉසීමේ සම්ප්‍රදායක්ද ඉදිරියට පැමිණ ඇත.  

එහෙත් මීගමුවේ කොරෝස්ම කාලය ඇරබී බව නගරවාසීන්ට දැනෙන තවත් හේතුවක් යෙදේ. ඒ  වසරකට වරක් හෝ සෑම වසර දෙකකට වරක් අළු බදාදා දිනයේදී මීගමුව සා. පීතර පල්ලියේ සිට දූව සින්දාත්‍රී මාතා පල්ලිය දක්වා හෝ දූව සින්දාත්‍රී  මාතා පල්ලියේ සිට මීගමුව සා. පීතර පල්ලි දක්වා ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව පෙරහරින් රැගෙනයාමේ හෝ වැඩමවීමේ දර්ශනය නිසාය. ගීතිකා ගයමින්, ආගමීක යාඤ්ඤාවල නිරතවෙමින් සිදුකරන මේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ විදී පෙරහැර කොරෝස්ම කාලයේ මීගමු නගරයේ පමණක් දැකිය හැකි මීගමුවටම සුවිශේෂීවූ පාස්කු චාරිත්‍රයකි. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට පෙර මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ චාරිත්‍රය  සිදුකර ඇත්තේ මීගමුවේ හැමිල්ටන් ඇළ 
සහ කලපුව ඔස්සේය. විශේෂයෙන් ඉදිකල පාලම් පාරුවකින් මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාම සිදුකල බවත්, එකල්හි ඇළදෙපස රැස්වූ ජනයා මෙම පාරු පෙරහරට රතුමල් ඉසිමින් ගරුබුහුමන් දක්වු බව පැරැන්නො කියනු මම අසා ඇත්තෙමි. කොරෝස්ම කාලේ මීගමු ජනයාගේ පාස්කු වැඩසටහන්වලද, ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව සමග ඇදෙන පෙරහැරේද  දැකිය හැකි රතු සහ සුදු වර්ණ මිශ්‍ර කොඩි දකින සෑමවිටම ඉහත රතුමල් ඉසු පැරණි ජනයාව නැවත සිහිපත්වේ. කෙසේවුවද, මීගමුවේ නගර දිගේ ඇදෙන ඉහත ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙනයාමේ හෝ වැඩමවීමේ පෙරහැර මීගමු නගරවැසියන්ට කොරෝස්ම කාලය දැන් පැමිණ ඇතිබව නැතැතින්ම  සිහිකැදවයි. 
එතැන් සිට එලෙබෙන කොරෝස්ම කාලයේදී මීගමු කිතුනුවන් සිය මීසම් සංවිධාන මට්ටමින් සංවිධානය කරන චතාරික වන්දනා ගමන්වල යෙදේ. එම චතාරික වන්දනා ගමන් බොහෝදුරට  හිනිදුම, මග්ගොන, කුඩාගම, මාබිම, වහකොට්ටේ, පේසාලේ හෝ වෙනත් දුරබැහැර ප්‍රදේශයක පිහිටි කල්වරියට හෝ වෙනත් සිද්ධස්ථානවලට යෙදෙන අතර එහිදී ඔවුන් සිය ආගමීක වත්පිළිවෙත් වල යෙදේ. එහිලා සැලකියයුතු ජන සහභාගීතත්වයක් දැකිය හැකිවීම විශේෂත්වයකි. 

එමෙන්ම පල්ලි තුල මෙන්ම නගරයේ විදී දිගේ සිදුකරන එළිමහන් පාදනමස්කාර (stations of the cross) පාස්කු සමයේ මීගමුවේ නොඅඩුව පවත්වන පොදු කිතුනු ආගමීක ක්‍රියාකාරීත්වයකි. එමගින් එම ජනයාව නැවත නැවතත් සිය ආගමික ශාස්තෘවරයාගේ දුක්ගාවීනාව මෙනෙහි කිරීමට යොමුකරවයි.   

මෙම කාලයේදී මීගමුවේ බොහෝ වයස්ගත කාන්තාවන් නිතර කළු ඇදුමකින් සැරසෙන අයුරු මම දැක ඇත්තෙමි. අඩුම වශයෙන් සිකුරාදාටවත් ඔවුහු එසේ කරති. නැතහොත්, වෙනදාට පල්ලියේ පුජාවට හිස පළදින සුදු වේල් කැබැල්ල වෙනුවට කළු වේල් තීරයක් හෝ ඔවුහු හිසේ පලදති. එහෙත් දැන් නම් එම චාරිත්‍රය බොහෝදුරට දැකිය හැක්කේ මහ සිකුරාදා දිනයේදී පමණි.   

මීගමුවේ දූව,  පිටිපන, බසියාවත්ත ප්‍රදේශ මුල්කරගනිමින් පැවැත්වෙන පසන් ගායනා ද පාස්කු හෙවත් කොරෝස්ම සමයේදී මීගමුවටම පමණක් විශේෂවූ තවත් පැරණි සංස්කෘතික අංගයකි. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ගාවිනාව තේමා කරගත් මෙම ගායනා විලාශය ලතෝනි ගායනා විලාශයක් යැයි ඇතැම් වාර්ථාවල දැක්වුවද, ලතෝනි යනුවෙන් වෙනත් ගායන විලාශයක් මීගමුවේ කතෝලිකයන් අතර පවතින.  මීගමුවේ ලතෝනි සහ පසන් ගායනා එකිනෙකින් වෙනස්වෙන බව සුනිල් ආර්යරත්න පවා පිළිගෙන  තිබෙන බව 2003 දී ඔහු ලියූ 'කැරොල්, පසම් කන්තාරු' පොතේ පිටු 112-118 දක්වා දැක්වේ. තවද මීගමුවේ මෙම පසන් ගායනා සම්ප්‍රදාය පෘතුගීසින්ගෙන් උරැම කරගත්තක් බවත්, වර්තමාන සිංහල පසන් ගායනා සම්ප්‍රදාය 1713 දී දකුණු ඉංදියාවේ සිට මෙරට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා අතින් 1728 දී නිර්මානයවූවක් ලෙස පෙනීයන බවත්  ඉහත කෘතියේ 114/115 පිටුවල සදහන් වේ. ඒ අනුව පෙනීයනුවේ අදටත් කොරෝස්ම කාලේදී මීගමුවේ ගැයෙන පසන් ගායනාවන් සදහා ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මීගමුවට සුවිශේෂී පාස්කු සම්ප්‍රදායක් බවය.

දින හතලිහක කාලයක් පුරාදිවෙන මෙම පාස්කු කාලයේදී සෑම සිකුරාදාම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව නමස්කාර කිරීමට මීගමුව දූවට හෝ ශා. පීතර දේවස්ථානයට ජනයා ඇදීයෑමද මීගමු ජනයාගේ පාස්කු අංගයකි. එසේ පැමිණෙන ජනයාට අච්චාරු, කජු කොරදියල්, මීගමු අළුවා විකිණීමට සෑදී පැහැදී සිටින මග දෙපස රැදී සිටින වෙළදුන් සුවිශේෂී ලක්ෂනයක් එක් කරයි.

කෙසේවුවද, පාස්කු සමයේ වඩාත්ම ක්‍රියාකාරී සමය එලබෙනුයේ ගොබ් ඉරිදායින් පසුව ඇරබෙන ශුද්ධවූ සතියත් සමගය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජ තේජසින් ජෙරුසලමට පැමිණීම සිහිකරන මෙම දිනය ලංකාවේ හදුන්වනුයේ ගොබ් ඉරිදා දිනය ලෙසය. එහෙත් ලොව පුරා එය හැදින්වෙනුවේ Palm Sunday ලෙසය. පාම් අතු නැති ලංකාවේ ඒ වෙනුවට භාවිතා කරනුයේ ගොබ් කොළ හෙයින් ලංකාවේ කිතුනුවෝ මෙම Palm Sunday දිනය හැදුන්වනුයේ ගොබ් ඉරිදා දිනය ලෙස හදුන්වන බව පෙනේ. එය කිතුනු ආගම දේශීයකරණවීම පිළිබද හොද උදාහරණයකි. මෙම ගොබ් ඉරිදා දිනයේදී ලාංකික කිතුනුවන් ලොව අන් කිතුනුවන් මෙන්ම ගොබ් (Palm) කොළවලින් කුරුස තනා සිය නිවෙස්වල ප්‍රදර්ශනය කරති. එමගින් සිය ශාස්තෘවරයා කුරුසයේ ඇනගසා මරාදැමීමට ඉතා ආසන්න බව සහ එසේ මරා දැමුබව නැවත නැවත සිහිපත් කර ගනිති. 

ඉන් අනතුරුව එලබෙන දිනවල හවස්වරුවේදී මෙතෙක් මාස ගණනක් පුහුණුවීම්වල නිරතවූ පාස්කු නාට්‍ය කණ්ඩායම් සිය පාස්කු නාට්‍ය දර්ශන පෙන්වීම ආරම්භ කරති. එහෙත් ඒ සියල්ලක්ම නොවේ, දළුවකොටුව වැනි ස්ථාන කිහිපයක පමණි. පල්ලන්සේන, සා. පීතර, පිටිපන හෝ වෙනත් බොහෝ ප්‍රදේශවල මෙන්ම වසර 175 කට වඩා පැරණි මීගමු දූවේ මහා පාස්කු සංදර්ශන ආදී බොහෝ පාස්කු සංදර්ශන පවත්වනුවේ මහ සිකුරාදා දිනයේය. මීගමුවේ පැවැත්වෙන මෙම පාස්කු නාට්‍ය සම්ප්‍රදායත්, එහි සංස්කෘතික අනන්‍යතාවයත්, ලංකාවේ දේශීය නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට කෙතෙක් දුරට දායකවී ඇත්දැයි මම මීට පෙර ලියා ඇති 'මීගමු දූවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායක්' යන ලිපියේ විස්තරකර ඇත. එය මෙතැනින් කියවීය හැක.  
මහා සිකුරාදා දිනට පෙර එළබෙන මහා බ්‍රහස්පතින්දා දිනයේ දවල්වරුව වනවිට මීගමුවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ජනයා සිය කටයුතු අවසන්කර නිවෙස් බලායති. ඔවුන් නැවත වැඩ අල්ලනුයේ  දින 04කට පසුවය. එනම් පාස්කු ඉරිදායින් පසු එළබෙන සදුදා දිනයේ හවස්වරුවේය. මහා බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ක්‍රිස්තුන්වහන්සේ සිය ගෝලයන්ගේ පාද සෝදා පවත්වන අන්තීම රාත්‍රී භෝජනය මීගමුවේ පල්ලිවලද ඉතා ඉහල සහභාගීත්වයකින් යුතුව පැවැත්වේ භක්ති අභ්‍යාසයකි. එම දිව්‍ය මෙහෙය සදහා විවිධ මීසම්වල ඇති-හැකි ජනයා පාන් රාත්තල බැගින් රැගෙන එන අතර පසුව එය නැවත ජනයා අතර බෙදාහරී. 

මෙම පාන් බෙදාදීමේ පුරුද්ද 1950 දශකයේදී පවා මීගමුවේ තරමක් වත්පොහොසත්කම් ඇති ජනයා කොරෝස්ම කාලයෙන් පිටත පවා දිගටම කරගෙන ගොස් තිබු පුරුද්දකි. මීගමු මහවීදියේ පළමු සහ දෙවන හරස්වීදියේ ජීවත්වූ වයලට් ලොව්රන්ස් මැතිනිය සහ වන්ඩර්බෝඩ් නම්වූ හෙදිය (නර්ස් නෝනා) මෙලෙස සතිපතා බ්‍රහස්පතින්දාට හෝ අගහරුවාදට දිලිදු පවුල් පහකට පාන් රාත්තල බැගින් ලබාදුන් බව මාගේ පියා කියනු මම අසා තිබේ. මහා බ්‍රහස්පතින්දා රාත්‍රීයේ දිව්‍ය පුජාවෙන් පසුව මාධ්‍යම රාත්‍රිය දක්වා දිවෙන ශුද්ධවූ පැය නම් ආගමිකවතාවත්ද මීගමුවේ සෑම පල්ලියකම  විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවා සිදු කෙරේ. 

එයට අමතරව මීගමුවේ 'බර්ත ජනයා' මහා බ්‍රහස්පතින්දා දිනයේදී කුරුස බනිස් (Cross Bun) නම් බනිස් වර්ගයක් සාදාගනී. එය ග්‍රීසියේ සහ බ්‍රිතාන්‍ය ඇති ප්‍රකට Hot Cross Bun යන බනිස් වර්ගයෙන් පැන නැගුනක් වියහැක. එහෙත් එය හැඩයෙන් සෙසු බනිස් වර්ගවලට වඩා වෙනස්ය. එහි හැඩය සම්පුර්ණයෙන්ම කුරුසයක හැඩය ගනී. ඉහත ඡයා රූපයෙන් දක්වෙනුවේ ඒ වැනි පිසගත් කුරුස බනිස් කිහිපයකි. මීගමුවේ 'බර්ත ජනයා' මෙම චතාරික පිළිවෙත 1950 දශකයට එපිට සිට පවත්වාගෙන එන්නකි. එමෙන්ම ආලේලුයියා සෙනසුරාදා මාසීපෑන්වලින් (marzipan) ඔවුන් තනාගන්නා විවිධ පැහැති පාස්කු බිත්තරද බටහිර රටවල ඇති Easter Eggs (chocolate easter eggs) සම්ප්‍රදායෙන් ගොඩනගා ගැනුවක් විය යුතුය. එය 1930 ගණන්වල මුල් භාගයේ සිට ඔවුන් පවත්වාගෙනා සම්ප්‍රදායකි. 
මහා බ්‍රහස්පතින්දායින් අනතුරුව එලෙබෙන මහා සිකුරාදා දිනයේදී මීගමුවේ කිතුනුවන් බොහොමයක් එක් වරුවක් උපවාසයේ යෙදේ. එදින ඔවුන් කරවල හෝ මාළු හෝ මිරිසට හෝ කිරට පිසූ කජු සමග එළවළුවක් පමණක් අනුභව කරති. මහා සිකුරාදා මස් කෑමෙන් වැලකී සිටීමේ සිරිත ලොව පුරාම කිතුනුවන් සිදුකරන චාරිත්‍රයකි. අයර්ලන්තයේ නම්  එදින පාරම්පරිකව 'හැඩොක්' මාළුවෙකු සමග අල පොඩිකර ලූණුකොළ ඉස කති. බ්‍රිතාන්‍යයේ ද මාළු සමග අල හෝ කොළ සලාදයක් අනුභව කරති. ඉතාලිය/ පිලිපීනය/ ජැමෙයිකාව සහ අප්‍රිකානු ආදී ප්‍රදේශවල ජනයාද එම චරිත්‍රය ඒ අයුරින්ම ක්‍රියාත්මකරන බව එම රටවලින් පැමිණ සිටින කිතුනුවන්ගේ මට දැනගැනීමට ලැබුණි. ගෝලීය වශයෙන් ලෝකයේ ඕනෑම රටක වෙසෙන කිතුනුවන් සිදුකරන මෙම මහා සිකුරාදා මස් කෑමෙන් වැලකී සිටීමේ සිරිත මීගමුවේ කිතුනුවන්ද ඉතා ඉහලින්ම පිළිපදිති. 

දිවා ආහාරයෙන් පසුව මීගමුවේ කිතුනුවෝ  පාස්කු දර්ශන නැරබීමට හෝ තුන්පැය දානය නම් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කිරීමේ ආගමික වතාවත්වලට සහභාගීවීමට පල්ලිකරා ඇදෙති. එම කටයුතුවලින් අනතුරුව පැමිණිනෙන ජනයාට පාර දෙපස සරුවත් දන්සල් මගින් සිසිල් බීම, මෙන්ම 'කැද දානය'ක්ද දේ. හාල් සහ පොල් කිරෙන් උයන මෙම 'කැද දානය' මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පමණක් සීමිත පාස්කු සිරිතකි. සමහරුන් මෙය හදුන්වනුයේ පොල් කැද දානය නමිනි. පොදුවේ එය පාස්කු කැද ලෙසද හදුන්වයි. මෙලෙස පාස්කු දර්ශන සදහා පැමිණෙන ජනයාට අලවිකිරීමට අච්චාරු, මීගමුවේ සූප්‍රකට අළුවා සහ මීගමුවටම විශේෂ 'කජු කොරදියල්' රැගෙන එන කාන්තාවන් ද කොරෙස්ම කාලේ මීගමුවේ අමතක කල නොහැකි දේවලින් කිහිපයකි.  

ඉන්පසුව එලබෙන සෙනසුරාද හෙවත් 'ආලේලූයියා සෙනසුරාදා' 
මීගමුවේ වීදිවල අපූරු පිරිසක් දැකිය හැකිවේ. යක්ෂයන් ලෙස වෙස්ගන්වාගත්, දම්වැල් චෙන් රැගත්, විවිධ කර්කෂක ශබ්ද නගමින්, මූනුවල් කළු පැහැකරගත් කොළු ගැටවුන් මෙසේ මොරදෙති: 
"අපි මොක්කුද, යක්කු පැටව්‍
 කොහෙන් ආවේ පාතාලේන්
                           දුන් නැත්නම් යන්නෙත් නැහැ 
                          දෙකෙන් අඩුව යන්නෙත් නැහැ'', නැතහොත් මෙසේ මොරදෙති
 "අපි කවුරුද, යක්කු පැටව්‍
 කොහෙන් ආවේ පාතාලේන්
                           ලේ බීලයි මේ එන්නේ 
                           සල්ලි නොදුන්නෝත්
                           ලේ බොනවා....''.

සිංහලෙන් පමණක් නොව දෙමලෙන්ද කෑ මොරදෙන යක්ෂයන් ලෙස වෙස්ගන්වාගත් මේ  කොළු ගැටවුන් මුදල් එකතුකිරීමට මෙසේ සිදුකරණ අතර හවස්වරුවේ එලෙස එකතුකල මුදල්වලින් හන්දිවල ආහාරපාන අලෙවිකරන කඩාවලට ගොස් හරක්මස් සූප් (soup)බී, එහි කටූ කඩා මැරබෝන් බීම පුරුද්දක් කරගෙන සිටිබව එලෙස 'යක්කු යෑම' හි නිරතවූ මාගේ මිතුරන් දෙදෙනෙක් මාගේ facebook මේ සම්බන්දයෙන් මා පලකල post එකකට ප්‍රතිචාරයක් ලෙස ලියා තිබුණි.  එය කොළු ගැටවුන් සෙල්ලමට කල කටයුත්තක් වුවද, එයද පෘතුගීසි සහ ස්පාඤ්ඤය යටත්විජිතයන්ගෙන් උරුමවූ කතෝලික පාස්කු සම්ප්‍රදායේ ඇති 'ජුදාස් විරෝධය' සහ 'සාතාන්ගේ ජය සැමරීමේ පෙරහැර' වලින් මීගමුවට පැමිණි දෙයකි.  ආලේලූයියා සෙනසුරාදා මීගමුවේ වීදිවල සිදුකරන මෙම 'යක්කු යෑම' ගැන 2009 දෙසැම්බර් 09 දින දිවයින පුවත්පතේ මෙලෙස දැක්වේ;

 'මෙදින රාත්‍රියේ ඡේසුතුමා මරණය පරාජය කොට උත්ථාන වන නිසා පාතාල ලෝකයේ දොරටු විවෘත වන බව (ස්‌වරගීය මාර්ගය) ක්‍රිස්‌තු භක්‌තිකයෝ විශ්වාස කරති. මෙ දිනට (අලේලුයියා සෙනසුරාදා) පසුව යකුන්ට පාතාල ලෝකයෙන් ඉවත්වීමට සිදුවෙයි. එබැවින්, අලේලුයියා සෙනසුරාදා යකුන්ගේ නිදහස්‌ දිනය ලෙස සලකයි. මේ සිදුවීම සිහිකිරීම සඳහා ගමේ ළමෝ යකුන් ලෙසින් වෙස්‌වලා ගනු ලබති. කොළ අතුවලින් සහ විවිධ දැලි වර්ගයකින් ශරීර විකෘති කරගනු ලබයි. මේ ළමෝ ගමේ නිවෙස්‌ වෙත සහ කඩසාප්පු වෙත ගොස්‌ හිඟමන් ඉල්ලති. කලින් දින සිටම ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය දේ තෑගි කිරීම සඳහා සූදානම් කරගනු ලබයි. මේ ක්‍රියාවලිය යකාපාටි ක්‍රමය ලෙස ක්‍රිස්‌තු බැතිමත්තු ව්‍යවහාර කරයි. මෑතක්‌ වන තුරුම මෙම ක්‍රියාවලිය මීගමුව නගරයේ පාස්‌කු සමයේදී දක්‌නට ලැබුණු සුලබ දර්ශනයක්‌ වී තිබිණි (Divaina, Dec 9, 2009)'.

කලකට ඉහත ඉතා සුලභව දැකිය හැකිවූ මෙම ආලේලූයියා සෙනසුරාදා දිනයේ 'යක්කු යෑම'  දැන් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙනි.
එහෙත්, ආලේලූයියා සෙනසුරාදා සිදුවෙන වඩාත්ම අවදානය යොමුවන කටයුත්ත වනුයේ ආලේලූයියා සෙනසුරාදා මාධ්‍යම රාත්‍රී පුජාවය සහ  විදුලි ආලෝකය නිවා ජලය සහ ගින්දර ආශීර්වාද කරන කටයුත්තය. නත්තල් දින මධ්‍යම රාත්‍රියේ සිදුකරන දිව්‍ය මෙහෙයෙන් අනතුරුව මීගමුවේ ඉතාමත් ඉහල කිතුනු ජන සහභාගීතත්වයක් ඇතිව   සිදුකරන විශාලතම මාධ්‍ය රාත්‍රී දේව මෙහෙයවන්නේ මෙයයි. එය ලෝකය නැවත ප්‍රතිනිර්මාණයවීමට නියමිත බව පසක් කරන්නකි. 

මෙසේ එම පැතුම සපථකරමින්, එම මාධ්‍ය රාත්‍රිය ගෙවීයාමත් සමග එලෙබෙන පාස්කු ඉරිදා (Easter Sunday) කිතුනුවෝ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිකරන පාස්කු මංගල්ලය සමරති. එදිනට මීගමුවේ කිතුනුවන්ට එය නත්තතල් දිනයට දෙවෙනි නොවෙන තවත් නත්තලකි. හරක්මස් කුකුළු මස් පමණක් නොව මීගමුවේ ජනයා වඩා ප්‍රියකරන ඌරු මස්ද බොහෝ නිවෙස්වල පිලියල වේ. දේශීය වශයෙන් නිෂ්පාදීත 'සුදු අරක්කු' වලසිට විවිධ මත්පැන් එදින පානයට ගනිති. ඒය ඇතැමෙකුට කොරෝස්ම කාලයේ වැළකීසිටි යමකින් මිදිමක්ද වේ. පාස්කු ඉරිදා මීගමුවේ කිතුනුවන් සමරනුයේ කොයි ආකාරයෙන්දැයි වචනයෙන් විස්තර කිරීමට වඩා එය භුක්තිවිදීම වටී. කෙසේවුවද මීගමුවේ කොරෝස්ම කාලය යනු ඒ පළාතේ ප්‍රධානතම සංස්කෘතික විභවය සහ සමාජ, ආගමීක අනන්‍යතාවයන් එලියට එලෙබෙන කාලය බව නම්  පැහැදිලිය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා 
27/03/16.

** ඡයාරූප ස්තුතිය දූව පාස්කු facebook පිටුවට, කුරුස යාගය  facebook පිටුවට සහ නිරෝෂන් හබුරුගල මහතාට

7 comments:

  1. බොහොම හොඳ ලිපියක්. නොදැන සිටි විස්තර රාශියක් දැනගත්තා. දූවේ පාස්කු ගැන දැන සිටියත් (ඒ ගැන මමත් ලිපියක් ලිව්වා ) යක් නැටුම ගැන කැඳ දානය ගැනත් ඇහුවෙත් අදමයි.

    ඉස්සර කාලෙ පාන් සැළකුවේ සුපිරි පන්තියේ කෑමක් විදිහට කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හරී මම මීගමුවේ කොරෝස්ම කාලය ගැන මේ ලිපියට තවදුරත් කරුණු එකතුකලා ඔබ ඒවත් කියවා බලන්න.

      Delete
    2. දෙවෙනි තෙවෙනි වරටත් ලිපිය කියෙව්වා. ප්‍රශ්න කීපයක් පැන නැගුනා. ඇහුවට කමක් නෑ නේද?

      බර්ත ජනයා කියන්නේ කවුද? බර්ගර් අයද?

      //තුන්පැය දානය//තුන්පැය ධ්‍යානය නේද?

      පාස්කු බිත්තර පටන් ගත්තේ කොහොමද?

      අනික් ප්‍රශ්නය ජේසු උත්ථාන වෙන්නත් කලින්ම කට්ටිය මස් කන්න පටන් ගන්නවාද?

      අපේ පල්ලියේ නම් මේ අවුරුද්දෙ තමයි මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තිබ්බෙ. මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම ඉර බැස්සට පස්සෙ පූජාව පටන්ගන්නවා.

      Delete
    3. හරී, බරත ජනයා කියන්නේ ඉන්දියාවේ කොරමන්ඩල් සහ ගෝව ආදී ප්‍රදේශවල සිට මීගමුව ආදී ප්‍රදේශවලට යටත් විජිත යුගයේදී සංක්‍රමණ වූ පිරිස්.

      මම ලියා ඇති විදිහ වැරදියි, ඔබ කියන ආකාරය තමයි නිවැරදි. එය තුන්පැය දානය නෙමෙයි තුන්පැය ධ්‍යානය විය යුතුයි.

      පාස්කු බිත්තර ග්‍රීසියෙන් පටන් අරන් යුරෝපය පුරාම පැතිරුණ දෙයක්. එහි අර්ථය නව ආරම්භයක්, නව ජීවනයක් යන්නයි. අද එය චොකලට් බිත්තර වලින් තමයි සමරන්නේ. ඒ පාස්කු කාලයේ ළමයින්ට කුමක් හෝ කැපකිරීමක් කරන්න කියපුවහම ඔවුන් සිදුකරන්නේ චොකලට් කෑමෙන් වලකිනවා. එයට ප්‍රසාදයක් ලෙසයි ඔය චොකලට් බිත්තර දෙන්නේ.

      ඔය 'යක්කු යන' සම්ප්‍රදායේ එන දෙයක් තමයි ඔව්න් ආලේලුයියා සෙනසුරාදා සැමරීම. එක් පෘතුගීසි සම්ප්‍රදායක්. හැබැයි 'යක්කු යන' මීගමුවේ කොල්ලො නම් ඕක කරන්නේ ජොලියට.

      අපේ පැත්තෙ නම් ඔය මධ්‍යම රාත්‍රී පුජාව බොහොම පැරණි දෙයක්. ඒක කාලයක් තිස්සේ පැවති පාස්කු චාරිත්‍රයක්. ඔබේ පල්ලිය ඇත්තේ කොයි පළාතේදැයි කියා ඇසුවාටකමක් නැතිද ?

      Delete
    4. ජා-ඇල. රාත්‍රී හතට තමයි මම දන්න කාලෙ ඉඳලම පූජාව පටන්ගත්තෙ.

      ස්තුතියි පිළිතුරු වලට

      Delete
  2. බොහෝදේවල් දැන ගත්තා,බොහොම ස්තුතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. මෙම ලිපිය හරියටම සම්පූර්ණකලේ අදයි. බොහෝ කරුණු අදත් එකතුකලා, මීගමුවේ කජු කොරදියල්, පසන්, බරත් ජනයාගේ මාසීපෑන් බිත්තර (Easter eggs) ආදිය මෙයට ඇතුලත්. පුළුවන්කමක් තිබුනෝත එම කරුනුත් කියවා බලන්න.

      Delete