This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 30 April 2017

හෙළ උරුමයට මැයි දිනයේදී ඇල්ෆ්‍රඩ් බුල්ජන්ස් මතක්වීම සහ ඔවුන් කිතුනුවන්ට දෙන පණිවිඩය

ජාතික හෙළ උරුමය මෙවර සිය මැයි දිනයේදී ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ ආරම්භකයෙක් වන A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතාවත්, අනගාරික ධර්මපාලතුමාවත්, ඒ.ඊ. ගුණසිංහ මහතාවත් සමරන බව දක්වා තිබේ. ජාතික හෙළ උරුමය ඇල්ෆ්‍රඩ් බුල්ජන්ස් මහතා සැමරීමට හේතුව දක්වා තිබුනේ පහත සදහන් ලෙසය:

"විශේෂයෙන් මේ අවස්ථාවේ කම්කරු ව්‍යාපාරය ඒ අරගල ගැන කතා කරන කොට අතිශය වැදගත් චරිත තුනක් සිටිනවා. දැන් සමහරු ඒ අය ගැන කතාවක්වත් නෑ. අපි ජාතික හෙළ උරුමය හැටියට සමරන්න ඕනෑ මුලින්ම ඒ.ඊ බුල්ජන්ස් මැතිතුමා. ඔහු මුලින් ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඔහු තමා පළමු වෘත්තීය අරගලය ලංකාවේ සිදුකරන්නේ 1893 දී. නමුත් ඒ වැඩවර්ජනය පරාජයට පත් වෙනවා. ඉන් අනතුරුව කොළඹ නගරයේ 1883 (?) දි ලංකාවේ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය, කැලිකසල එකතුකරන්ගේ වැඩ වර්ජනය, රික්සෝ පදවන්නන්ගේ වැඩවර්ජනය වැනි වැඩවර්ජන කිහිපයක් වුණා. ඒ හැම එකකටම නායකත්වය ලබා දුන්නේ ඒ. ඊ බුල්ජන්ස් මහතාය. එපමණක් නොවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් එතුමා අරගල කළා. එසේම බෞද්ධයන් වෙනුවෙන් ද බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කතා කලා. සැමට අධ්‍යාපනය යන තේමාව ගෙනාවේ එතුමා. එම නිසා අපි බුල්ජන්ස් මහතා සමරන්න ඕනෑ..." (28/04/17 හෙළඋරුමය ෆේස්බුක් පිටුව).

මේ අනුව මෙවර මැයි දිනයේදී ජාතික හෙළ උරුමයට ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතා සැමරීමට ඔහුගේන් ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයට සිදුවූ සේවයට අමතරව සිංහල බෞද්ධයන්ට සිදුවූ සේවයද සැලකිල්ලට ගෙන ඇති බව පැහැදිලිය. 

ඇත්තවශයෙන්ම, මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම ගැන විශිෂ්ඨ පර්යේෂණ කෘතියක් ලියූ මහාචාර්ය කුමාරි ජයවර්ධන ගේ (1972) 'The Rise of the Labor Movement in Ceylon' කෘතීයට අනුව නම් ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයේ පුරෝගාමීන් ලෙස ඇය හදුනාගන්නේ 1893 මුද්‍රණ සේවකයින්ගේ වැඩ වර්ජනයට නායකත්වය දී මෙරට ප්‍රථම වෘත්තීය සමිතියවූ 'මුද්‍රණකරුවන්ගේ සංගමය' (21/09/1893, 'දිනකර ප්‍රකාශය' පුවත්පතට අනුව නම් 'ලංකාවේ අච්චු ගසන්නන්ගේ සමාගම') පිහිටුවාලූ දොස්තර පී. එම්. ලිස්නක් පින්තු (සභාපති), A. E. බුල්ජන්ස් (ලේකම්), එම්. බී. ප්‍රනාන්දු (භාණ්ඩාගාරික), මාර්ටින්ස් පෙරේරා (සංවිධායක), දොන් බස්තියන් ඇතුලූ පිරිසය.  

ඒ අතරින් ලිස්නක් පින්තු/එම්. බී. ප්‍රනාන්දු/මාර්ටින්ස් පෙරේරා ආදීන්ට වඩා ජාතික හෙළ උරුමයට A. E. බුල්ජන්ස් මහතා වැදගත් වන්නේ ඇයි දැයි ඔහුගේ ජීවන චරිතය විමසීමේන් පැහැදිලිකරගත හැක. 

1865 බර්ගර් ක්‍රිස්තියානි පවුලක උපත ලබන  A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතා කොළඹ ශා. තෝමස් විදුහලේ අධ්‍යාපනය ලබා, එහි ගුරුවරයක් ලෙස ටික කලක් සේවයකර, පසුව 1883 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය හිමිකර ගත්තෙක් විය. ඔහුගේ ශාස්ත්‍රීය වර්ධනයෙහිලා එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alfred Marshall ගේ ඉගැන්වීම් මෙන්ම Charles Dickens ගේ මරණයෙන් පසුව ඇතුවූ ඔහුගේ සමාජ විග්‍රයන් පිළිබද නැවත විමර්ශන කතිකා ආදියද බලපෑ බව දැක්වේ. විශේෂයෙන්ම ආර්ථික වර්ධනයෙහිලා සමාජවර්ධනයේ ඇති වැදගත්කම අවධානය යොමුකළ Alfred Marshall ගේ ඉගැන්වීම් අනුව යමින් අධිරාජ්‍යවාදය යටතේ ලංකාවේ තියා එංගලන්තයේවත් සාමාන්‍ය ජනයාට සෙතක් සැලසී නැති බවත්, එංගලන්තයේ ප්‍රධාන ක්‍රිස්තියානි සභාව වන, ඔහුද ඇතුළත්වූ, එංගලන්ත සභාවවත් ඒ සදහා නිසි මැදිහත්වීමක් නොකරන බවත් බුලජන්ස් නිගමනය කළේය.  1888 දී ලංකාවට නැවත පැමිණි ඔහු ක්‍රිස්තියානි ආගම  අතහැර බෞද්ධ ආගම වැලදගන්නා ලදී. ඔහු 'මා බෞද්ධයෙක්වුයේ මන්ද' යැයි යනුවෙන් 1889 දී කල දේශනයක් පොත් පිංචක් ලෙස මුද්‍රණය කර ඇත. එහි කොටසක් 'බුදුසරණ පුවත්පත' උපුටා දක්වා ඇත්තේ මෙසේය:

‘ක්‍රිස්තියානි රටවල ක්‍රිස්තු භක්තිකයන් අතර ක්‍රිස්තියානි ආගමේ ප්‍රායෝගික ප්‍රතිඵල සෑහෙන පමණ දුටිමි. ලන්ඩනයේ නැගෙනහිර පෙදෙසේ තුච්ඡ පිරිහීම, දරිද්‍රතාව සහ දුක්ඛිත භාවය සමඟ එක ළඟින් අන්තත ධනවත්කම පැවැති අන්දම ගැන දිගින් දිගට කථා කිරීම අනවශ්‍යය. හැම දා රාත්‍රියේ කැරෙන අධික කාම සේවනය, ප්‍රසිද්ධ මත්පැන් හල්වල වෙරි මරගාතේ දැඟලීම, ගෙයක් දොරක් නැතිව හා නිරාහාරයෙන් පසුවන දහස් ගණන් ජනයා ආණ්ඩුවට කරන දුක්මුසු ආයාචනා සහ අසන්තුෂ්ටියට පත් සමාජවාදීන් ගේ පෙළපාලි යන මේවා පිළිබඳ පින්තූරය හා ඒවායින් විදහාපාන පාඩම, මට කිසිදාක අමතක කළ නො හැකි ය. දහස් ගණන් ගැහැනු - පිරිමි ළමයින් රාත්‍රී කාලයේ දී නිවහනක් නැති ව ආවරණයක් නැති ව කිසිවකු ගේ පිළිසරණක් නැති ව හිමෙන් වැසුණු තෘණ රහිත නග්න මහ පොළව මත එකට ගුලි වී නින්දට යන්නා හ. ක්‍රිස්තියානි එංගලන්තයෙහි එ බඳු දේ සිදු විය හැකි ද?... මට පෙනුනේ ප්‍රායෝගික ක්‍රිස්තියානි ආගම රැවටිල්ලක් බව යි. මක් නිසා ද යත්, මිෂනාරීවරුන් හා බයිබල් රට රටවලට යවනු ලැබූ අතර, ඊට වඩා විශාල සංඛ්‍යාවක් බෝතල් හා වෙඩි උණ්ඩ ද ඒ සමඟ යවනු ලැබූ බැවිනි. බෝතල් හිත මැරීම සඳහා විය. වෙඩි උණ්ඩ කය මැරීම සඳහා විය.’ (බුදුසරණ පුවත්පත (අන්තර්ජාල කලාපය) 01/05/2009) 

බෞද්ධාගම වැළද ගැනීමෙන් අනතුරුව මිෂනාරි සේවාවන් විසින් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි අධ්‍යාපනය ක්‍රිස්තියානි ජනයාට පමණක් සීමාවී ඇතැයි දක්වමින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට සෑම ජනකොටසකටම අවස්ථාව ලබාදිය යුතුබවත්, අධ්‍යාපනය මහජන අයිතියක් ලෙස පිළිගතයුතු බවටත්  යටත්විජිත පාලකයන්ට පෙත්සම් මගින් දන්වනු ලැබීය. ඉන් නොනවතිනු ඔහු ඕල්කට්තුමන් විසින් අරඹා තිබු ඉංග්‍රීසි පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවිය. අනතුරුව වර්තමාන ආනන්ද විද්‍යාලය බිහිවූ පිටකොටුවේ පැවති ඉංග්‍රීසි පාසැලේ විදුහල්පතිවරයා විය, ඕල්කට්තුමා ස්ථාපනය කල බෞද්ධ ඉංග්‍රීසි පාසැල් ජාලයේ අධ්‍යක්ෂකයා ලෙස  කටයුතු කළේය. යටත්විජිත පාලකයන් විසින් මෙරට ස්වදේශීය ජනයාට සිදුකරන විවිධ අසාධාරණකම් පිලිබදව ලන්ඩනයේ යටත්විජිත ලේකම් කාර්යාලයටත්, විවිධ පුවත්පත්වලටත් ලිපි ලියුහ. සියළු ආගම්වල පරම සත්‍ය මතුකර ගැනීමට පිහිටුවාලූ ඕල්කට්තුමාගේ පරමවිද්‍යාර්ථයන්ගේ සංගමයේ ක්‍රියාකරියෙක් ලෙස මැදිහත්ව කටයුතු කළේය. 

එහෙත් 1905 න් පසු ඔහු ක්‍රමයෙන් නිහඩවිය.  ඒ අනගාරික ධර්මපාලතුමාගේ නැගීමත් සමගය. අනගාරික ධර්මපාලයන්ගේ රළු බස ඔස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු සිංහල-බෞද්ධ වර්ගොත්තමවාදය හමුවේ සිංහල-බෞද්ධ නොවන ජනයා මරක්කලුන්, දෙමළුන්, හම්බයන්, කොච්චින් වූ සේම බුල්ජන්ස්ලා කැරපොතු ලන්සීන්, කල්ලතෝනීන් සහ තුප්පහි විය. අනගාරික ධර්මපාලයන් නායකත්වය දුන් කම්කරු සටන්වලින් බුලජන්ස් දුරස්ථව සිටියහ. ධර්මපාලතුමා නායකත්වය දුන් 1912 දුම්රිය සේවකයින්ගේ වර්ජනයේදී මෙම දුරස්කම වඩා පැහැදිලිව ඔප්පුවිය.

A. E. බුල්ජන්ස් අනගාරික ධර්මපාලගේ මග නොගියහ. එහෙත් A. E. ගුණසිංහ අනගාරික ධර්මපාල අනුව යමින් කම්කරැ පන්ති ව්‍යාපාරය තුලට වර්ගවාදය ගෙනාහ. විශේෂයෙන්ම එකම ඉරණමකට ගොදුරුවී සූරාකෑමට ලක්ව සිටි කම්කරුවන්ගේ පොදු ඉරණමට විරුද්ධව සටන්කරනු වෙනුවට  ඉන්දියානු කුලී කම්කරුවන්, නාට්ටාමිලා, ඉංදීය වතුකම්කරුවන් වර්ගවාදී ලෙස බෙදා වෙන්කර ඔවුන්ට විරුද්ධව කටයුතු කළේය.  

ජාතික හෙළ උරුමය මෙවර සමරන මැයි දිනයේදී A. E. බුල්ජන්ස්, අනගාරික ධර්මපාල සහ A. E. ගුණසිංහ සමරනුයේ ඔවුන් කම්කරු සටන්වලට දුන් දායකත්වය පමණක් නොව රටේ සිංහල-බෞද්ධ අනන්‍යතාවය ගොඩනැගීමට ඔවුන් ලබාදුන් දායකත්වයද සැලකිල්ලට ගෙනබව පැහැදිලිය. 

විශේෂයෙන්ම A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් සිහිකරමින් ඔවුන් මෙරට කිතුනුවන්ට දීමට උත්සහකරන පණිවිඩය වන්නේ බුල්ජන්ස් මෙන් ක්‍රිස්තියානි ආගම අතහැර බෞද්ධාගම වැළද ගන්නා ලෙසද? නැතිනම් බුල්ජන්ස් මෙන් අනගාරික ධර්මපාලයන් ස්ථාපිත කල  සිංහල-බෞද්ධ  වර්ගෝත්තමවාදය ප්‍රතික්ෂේප කරන ලෙසද? 

පසුගිය කාලය පුරාම ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහතාට ප්‍රියවූ කිතුනු නායකයෝ දෙදෙනෙක් විය. ඒ මර්සිලින් ජයකොඩි පියතුමා සහ 'කිතුදන පුබුදුව' සංවිධානයේ නිර්මාතෘ සිරි ඔස්කා අබේරත්න පියතුමාන්ලාය. චම්පික රණවක මහතාට අනුව ඔවුන් දෙදෙනාම මෙරටේ ප්‍රධාන ජාතික අනන්‍යතාවයවන සිංහල-බෞද්ධ අනන්‍යතාවය හදුනාගත්, ඒ අනුව රෝමානු කතෝලික සභාව දේශීයකරණය කිරීමට දායකවුවන්ය. 

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකාවේ කිතුනුවන් මෙරට මුල්බැසගෙන ඇති සිංහල-බෞද්ධ අනන්‍යතාවය මෙරට මූලිකම අනන්‍යතාවය ලෙස පිළිගැනීමට කිසිදු අකමැත්තක් හෝ විරුද්ධත්වයක් දක්වන්නේ නැත. 

එහෙත් විරුද්ධ වන්නේ 'සිංහල නම් බෞද්ධයෝය', 'සෙස්සෝද පරම්පරා කිහිපයකට පෙර බෞද්ධයෝය', 'මුදල් සහ වරප්‍රසාද වෙනුවෙන් ආගම අතහැර ක්‍රිස්තියානිය වැළදගත්තෝය', නැතහොත් 'පිටරටකින් මෙරටට පැමිණි පිටස්තරයෝය'  ආදී ලෙස නම් කිරීමටය. 

ඔවුන් ලංකාවට ආදරය කරන රටවැසියන් ලෙස මෙරට විශාල සේවයක් කල, මෙරට ජාතික සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනගා දීමට කටයුතු කල තැනත්තෝය. එහෙත් ඔවුන්ගේ එම සේවයට ලංකාව තුල හිමිවී ඇත්තේ කිනම් නම් ස්ථානයක්ද?  මෙරට කම්කරු ව්‍යාපාරයේ ආරම්භකය ලෙස සලකන්නේ  A. E. ගුණසිංහ මිස A. E. බුල්ජන්ස් නොවේ, මෙරට සිංහල සංගීතයක් ගොඩ නැගීමට සුනිල් ශාන්ත කෙතරම් සේවයක් කලද මෙරට මහා ගාන්ධ්ර්වයනෝ ඔහු නොවේ...

පරිපාලන ක්ෂේත්‍රයේද තත්වය මෙයට වෙනස් නොවේ.  මීගමුව ආදී කිතුනුවන්ගේ අනන්‍යතාවය ප්‍රබලව දැකිය හැකි නගරවල් දියකර හැරීමට ඔවුහු සියල්ල කරති. ලංකාවේ විශාලතම නගර 04න් එකක්වන මීගමුව දිස්ත්‍රිකයක් නොකර කඩමන්ඩියක්වූ ගම්පහ දිස්ත්‍රිකයක් කලහ.   

එහෙත්, එක් දෙයක් පිලිබදව සතුටුවෙන්න යැයි ජාතික හෙළ උරුමය අපට පසක්කර දෙති. ඒ ඔවුන් දක්වන 'සිංහල-බෞද්ධ සහනශීලීත්වය'ය.  ජාතික හෙළ උරුමය නාට්ටාමිවරු 1500කට රක්ෂණයක් දෙමින් අපට  මතුකර පෙන්වීමට හදන්නේද මේ සහනශීලීත්වය. ඉන්දියාවේවත් කම්කරුවන්ට මෙසේ සලකන්නේ නැති යැයි ඔවුන් කියයි. 

එහෙත් ඒ සහනශීලීත්වය තුල කියවෙන 'සිංහල-බෞද්ධ' අධිකාරීත්වයක්, ආධිපත්‍යක් සහ සීමාවක් ඇති බවක් නොකියවේද? එවැනි අධිකාරීත්වයක් සහ ආධිපත්‍යක් තුල 'සිංහල-බෞද්ධ' නොවන ජනකොටස් තුල අසහනයක් ලියලන බව ඔවුහු නොසකලා හරිති. නැතහොත් එවැනි අසහනයන්වලට යුද්දයෙන් පිළිතුරුදුන් බව සහ දියහැකි බව ඔව්හූ දනිති. 

එහෙත් ජාතික හෙළ උරුමය නායකත්වයදෙන සිංහල-බෞද්ධ  වර්ගෝත්තමවාදයක මෙරට කිතුනුවන් මෙන්ම අනෙකුත් සියළු ජනකොටස්වල ගෞරවයට, ආදරය පාත්‍රවූ බෞද්ධාගම, බොදුනුවා,  ශිෂ්ඨ සම්පන්න ජාතියක්, උදාර ඉතිහාසයක්, සුන්දර රටක් යන සියල්ල අහෝසිවී යනු ඇත. ඒ අනතුරට ලක්කරනුයේ චම්පික රණවක මහතා විසින්ම මෙරට කිතුනුවන් සහ බෞද්ධයින් අතර පැවති සබැදියාවේ සංකලනයක් ලෙස 02/04/17 රූපවාහිනියේ විකාශනය වූ 'සිහිනයකි රෑ' සංගීත වැඩසටහනේදී ඔහු තෝරාගත්  මර්සිලින් ජයකොඩි පියතුමා ගී පදවැලකට පෙරළු ශ්‍රී ලංකාව, එහි වැසියන්, ඉතිහාසය, ජන ජීවිතය සහ  එහි සංස්කෘතිය පිළිබදව මෙරට  කිතුනුවන් තුල වු පහන් හැඟීම නොවේද ? 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
30/04/17.

Sunday, 23 April 2017

මීගමුවේ කොහුබත් කඳුවලට සිදුවූ දෙය කුණු කඳුවලටත් සිදුවුවා නම්

මීගමුව, නෙදර්ලන්තය (The Netherlands)  මෙන් කඳු නැති, වෙරළ අද්දර පිහිටි තැනිතලා (coastal plain land) ප්‍රදේශයක් ලෙසද, මුහුදු මට්ටමට පහතින් පිහිටි තැන්නක් (low flat land) ලෙසද හදුන්වමින් ලියූ ලිපි කිහිපයක් 'The Knickerbocker: The Magazine of the Low Countries' සඟරාවේ පළව තිබේ. ඒ එම සඟරාව මුලින්ම පලකල 1833 සිට 1863 දක්වා කාලයේ පළවූ ලිපිවලය. කාලයක් නතරවී තිබූ එම සඟරාව නැවත පලකල 1940 දශකයේදී Oswald Henry විසින් (1945) ලියූ 'මීගමුව සහ එහි මුල්බැසගත් ලන්දේසින්ගේ බලපෑම පිළිබද ලිපියේද ඉහත අදහස නැවත මතුකර ඇත. තැනිතලා භූමිවල පදිංචි ජනයාගේ ජීවන රටාවල් පිලිබදව සමාජවිද්‍යා ප්‍රවේශයකින් අධ්‍යනය කල ලිපි පලකල එම සගරාව ලන්දේසින්ගේ ජීවන රටාව පිළිබද වැඩි අවධානයක් යොමුකර තිබේ. විශේෂයෙන්ම සිය යටත්විජිතවල පදිංචියට ගිය ලන්දේසි ජාතිකයන් එම රටවල හැදෙන වැවෙන ගස් වැල්වල හටගන්නා පලවර්ග වලින් සිය පරිභෝජන රටාව සහ එදිනෙදා ජීවිතය ගෙවීමට අවශ්‍ය දෑ සකස්කර ගත් ආකාරයද එම ලිපිවල තිබේ.  

චිරාත් කාලයක සිට ලංකාවේ පැවති 'මහා රුක්' ලෙස පැරණි පතපොතේ හැදින්වූ පොල්ගස් වතුවගාවක් ලෙස වගා කිරීමට කටයුතු කල  ලන්දේසීන්  එමගින් සිදුකරන නිෂ්පාදන ඔස්සේ ලංකාව වැනි සිය යටත්විජිතවල ඔවුන් ගෙවූ ජීවිතය සුවපහසු ලෙස සකසා ගත්හ. පොල්වගාව ඔවුන්ට විශාල ආදායම ගෙනදුනි. ඒ පමණක් නොව ඉන් නිපැයූ ලණු, කොසු, ඉදල්, පාපිසි aaදියේ සිට පොල් තෙල්, පොල් අරක්කු, Coconut wine, Coconut cookies, පොල් කේක්, බිබික්කන් ආදියද, සොල්දොර ගෙවල් තනාගැනීමේ සිට නිවෙස් අලංකාරය සදහා යොදාගන්නා අංගයන් සැකසීමේ අමුද්‍රව්‍යක් ලෙසද පොල්ගස ලන්දේසින්ගේ  ජීවිත සුඛිත මුඛිත කළේය.  

එහෙත් සිය පාලන කාලය අවසන්වෙත්ම එතෙක් කඳු නැතිව සිටි,  වෙරළ අද්දර පිහිටි පහල තැනිතලා ප්‍රදේශයක් වූ, මීගමුවේ තැන තැන කුඩා කඳු බිහිවෙමින් තිබෙන බව ඔවුන් දුටුවගක් ලන්දේසි සටහන්වල මා මෙතෙක් කියවා නැත. එම කුඩා කඳුගැට බ්‍රිතාන්‍ය යුගයේදී තවතවත් විශාලවී  ඔවුන් ගිය පසුවද තවතවත් වර්ධනය වී 1960/70 දශක වන විට අඩි 100ක්ට වඩා උසට පැනනැග්හ. මේ කඳු වූකලී වෙන කිසි කන්දක් නොව පොල් නිෂ්පාදනවල අතුරු පැලයක් වූ කොහුබත් වලින් නිමවූ කොහුබත් කඳුය. 

කඳු නැති මීගමුවේ කොහුබත් කඳුත් කන්දක් යැයි සිතා අපිද ළමාවියේදී එම කඳු තරණය කිරීමට ගියේය. කන්ද මුහුණටම ගොස් පහලට වේගයෙන් බසින්නේ කවුරුන්දැයි සෙවීමට තරගයක යෙදුනහ. 1980 ගණන්වලදී මීගමුව, දළුවකොටුව, කුරුදුවත්ත පාරේ තිබු කන්දට නගින අපි මුහුද පෙනෙන්නේ කොහෙන්දැයි විචලහ. ඒ ගැන වාද කලහ. කටුවපිටිය ජූඩ් මාවතේද කොහුබත් කන්දක් තිබුණ බව මට මතකය. 

එහෙත් දැන් ඒ කිසි කොහුබත් කන්දක් ඒ තිබු තැන්වල නැත. කොහුබත් කන්ද ඉඩම පිටින්ම විකුණා දමා හෝ කන්ද කපාගැනීමට කිසිවෙකුට බදු දී හෝ තිබුණි. එහි තිබු කොහුබත් මෙරට මෙන්ම මැදපෙරදිග රටවල්ද පස්වලට එකතුකර ඔවුන්ගේ පොළවල් සාරවත් කරගනිමින් සිටී. එහෙත් වසර ගණනාවක් කොහුබත් තිබු මීගමුව දළුවකොටුව කුරුදුවත්ත ප්‍රදේශයේ ලිංවල වතුර තවමත් බීමට නොහැක. 

එහින් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා හෝ කොහුබත් කඳු ඉවත්වීම ගැන ප්‍රදේශවාසීන් සතුටුවෙති. මීගමුවේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිහිටි කොහුබත් කඳුවලටද එම සන්තැසියම සිදුවූ බව මම අසා ඇත. එමෙන්ම එම සම්පතින් රටට ලැබීමට හැකිවූ ප්‍රයෝජන අහිමිවීම ගැන ද කියන්නෝ සිටිති.  කවුරු කෙසේ ප්‍රයෝජනයක් අත්කර ගත්තද, කොහුබත් කඳුවලට සිදුවූ  දෙය කුණු කඳුවලටත් සිදුවුවා නම් කෙතරම් යහපත් දැයි සිතේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
23/04/17

පහතින් දක්වෙනුවේ මීගමුව, දළුවකොටුව, කුරුදුවත්ත පාරේ පිහිටා තිබු කොහුබත් කන්ද ඉවත්කර ගැනීමෙන් පසු එය තිබු භූමියේ ඡයා රූප කිහිපයකි. 






Sunday, 9 April 2017

ලංකාවේ දර්ශනීයම තට්ටුගොඩනැගිල්ල ඉදිකරණ යුදෙව් ජාතිකයාට විරෝධය එල්ලවේ

ශ්‍රී  ලංකාවේ දැනට ඉදිවෙමින් ඇති දර්ශනීය තට්ටු ගොඩනැගිල්ල ලෙස එම සමාගම විසින්ම හදුන්වාදෙන කොළඹ බේරේ වැව අසල පිහිටි තට්ටු 68 කින් යුතු Altair   ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියාවන යුදෙව් ජාතික Moshe Safdie මහතාට ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන සහ මානවහිමිකම් සංවිධානවලින් විරෝධය එල්ලවී ඇතැයි ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකර තිබේ. 

එයට හේතුව ලෙස දක්වා තිබෙනුයේ Moshe Safdie මහතා ඊශ්‍රායලය විසින් අත්පත්කරගෙන ඇති පලස්තීනයට අයත් බටහිර ඉවුරේ  යුදෙවේ ජනාවාස ඉදිකිරීමට පෙරමුණ ගත්තෙක් වීමය. මේ සම්බන්දයෙන් ඔහුට ප්‍රථමයෙන්ම චෝදනා ඉදිරිපත්කලේ 2010 බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපියකය. එම චෝදනා පදනම් කරගෙන 'Sri Lankan Journalists for Global Justice'  නම් සංවිධානයක් විසින් Moshe Safdie මහතාට ලංකාව තුල සිය විරෝධය මුලින්ම එල්ලකර තිබේ. 

එහෙත් ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකරනුයේ 2010 වසරේ බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපිය සම්බන්දයෙන් Moshe Safdie මහතා විසින් කරුණු පැහැදිලිකර ලිපියක් යැවූ බවත්, ඔහුගේ එම ලිපිය පළකරමින් බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පත  Moshe Safdie මහතාගෙන් සමාව ඉල්ලු බවත්, එහෙත් ලංකාවේ 'Sri Lankan Journalists for Global Justice'  නම් සංවිධානය එම කරුණු ගැන කිසිදු අවධානයක් යොමු නොකරමින් Moshe Safdieට දක්වන විරෝධය අසාධාරණ බවය. 

2013 දී Altair ගොඩනැගිල්ල සැලසුම්කිරීමේ සිට Moshe Safdie මහතා අවස්ථා කිහිපයකදීම ලංකාවට පැමිණ තිබේ.  පසුගිය මාසේදී ඔහු ලංකාවේ පැවැත්වූ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සමුළුවක් ඇමතු අතර ඉදිරි මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත කටයුතු කිහිපයක් සදහා මෙම රජයේ සහ පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ සහභාගීවීමට නියමිතය. 

Moshe Safdie මහතා යනු කැනඩා, ඇමෙරිකා‍ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන රටවල් ත්‍රිත්වයේම පුරවැසි බව දරන, 78 හැවිරිදි, ලෝකප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියෙකි. සිංගප්පූරුවේ Marina Bay Sands, ජෙරුසලමේ  Yad Vashem Holocaust History Museum, කැනඩාවේ ඔටාව නගරයේ ඇති National Gallery of Canada, වොෂින්ටන් නගරයේ ඇති  United States Institute of Peace Headquarters, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි Khalsa Heritage Memorial Complex සහ බංගලිදේශයේ චිතගොන් නගරයේ පිහිටි දර්ශනීය Asian University for Women ආදී ගොඩනැගිලි රාශියක ගෘහ නිර්මාණ ශිල්පියාය. 

 සෞදි අරාබිය, ඩුබායි, කටාර් ආදී රටවල පවා ගොඩනැගිලි ඉදිකර ඇති  Moshe Safdie මහතාට ලංකාව තුල කුඩා කණ්ඩායමක් එල්ල කරන විරෝධය ගණන් නොගත යුත්තක් ලෙස පෙනී ගියද, එහෙත්  Haaretz පුවත්පත දක්වනුයේ එය ලංකාව තුල මුල් බැසගෙන ඇති ඊශ්‍රායල් වීරෝධයේ එක් ප්‍රකාශනයක් ලෙසය. 
 මාකස් ප්‍රියන්ත පෙරේරා
09/04/17.