This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 6 November 2016

රොබට් නිව්ස්ටෙඩ් දුටු එදා මීගමුව

දෙසිය වසරක් සපිරි ශ්‍රී ලංකාවේ පැරණිම කාන්තා විදුහල වන  මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල පිළිබදව මා ලියූ ලිපියේ කලින් සදහන් කල ලෙසම එම විදුහල හා සබැදි තවත් කරුණු කරණා රාශියක් ගැන සදහන් කිරීමට තවත් ලිපි කිහිපයක්වත් ලිවිය යුතුව ඇත. පැහැදිලිව ඉන් එකක් විය යුත්තේ මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ පළමු නේවාසික පියනමවූ (first resident minister) රොබට් නිව්ස්ටෙඩ්  පියතුමා එම විදුහල ගොඩනංවමින් මීගමුවේ ගතකල සමයේ එතුමා මීගමුව පිළිබදව තබා ඇති සටහන් පිලිබදව සාකච්ඡා කිරීමය. එය එතරම් පහසු කටයුත්තක් නොවූ අතර එහිලා සලකා බැලිය යුතු ක්ෂේත්‍රයද සිතුවාට වඩා තරමක් විශාලවිය. 1817 සිට 1821 දක්වා වසර හතරක (04) කාලයක් පමණක් රොබට් නිව්ස්ටෙඩ් පියතුමා මීගමුවේ නැවතී සිටියද ඒ සමය තුල පමණක් ඔහු තබා ඇති සටහන් ප්‍රමාණයද අති විශාලය. ඒ අතර (1.) පුරුද්දක් ලෙස දිනපතාම සිය පෞද්ගලික දිනපොතේ තැබූ සටහන්, (2.) එදිනෙදා කටයුතු සම්බන්දයෙන් මෙන්ම විවිධ කරණා සම්බන්දයෙන් සෑම මාස කිහිපයකටම වරක්ම ලංකාවේ මෙන්ම එංගලන්තයේ පිහිටි වෙස්ලියානු සභා මුලස්ථානයන්ට යවන ලද වාර්තා, (3) ඔහු මීගමුව පරිපාලන දිසාවේ සිටි  බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන්ට විවිධ අවස්ථාවල ලියා ඇති ලිපිලේඛනද වන අතර ඒ සියල්ල සැලකිල්ලට ලක්කල යුතුවිය. මින් සැලකිය යුතු බොහොමයක් අදටත් Wesleyan Missionary Notices යටතේ සහ Robert Newstead Collection යටතේ ලන්ඩනයේ SOAS විශ්වවිද්‍යාල පුස්තකාලයේත්, වෙස්ලියානු සභා ලේඛන එකතුවෙත් සුරක්ෂිතව තැම්පත්කර තිබේ. මෙයට අමතරව ලංකාවේ වෙස්ලියානු ධර්මදූත මෙහෙවර සහ රොබට් නිව්ස්ටෙඩ් පියනමගේ කාර්යභාරය අලලා ලියවුනු කෘතින් කිහිපයක්ම වේ. මේ සියල්ල අනුව රොබට් නිව්ස්ටෙඩ් පියනම මීගමුවේ ගෙවා දැමූ වසර හතරක (04) කාලය පිලිබදව තොරතුරු රාශියක් සොයාගත හැක. එම තොරතුරු පිළිබද සොයාබැලීමේ ඇති වැදගත්කම වනුවේ ඒ ඔස්සේ 1817 සිට 1821 දක්වා කාලයේදී මීගමුව පැවති ආකාරයත්, එම කාලය අතරතුර මීගමුවේ සිදුවූ සමහර සිදුවීම් පිළිබදවත් ප්‍රත්‍යක්ෂ මුල්තොරතුරු යම් ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකිවීමය. එමගින් අපට ඒ යුගයේ මීගමුව පිළිබද යම් චිත්‍රයක් තනාගත හැක.  

රොබට් නිව්ස්ටෙඩ් පියතුමා ලංකාවට සැපත්වෙන්නේ 1817 අප්‍රියල් 25 සිකුරාදා දිනය. ගාල්ල වාරයට සම්ප්‍රාප්තවන ඔහු ඒවනවිට 27 හැවිරිදි තරුණයෙක් විය. ඔහු එම වසරේ සැප්තැම්බර් මාසය වනතුරම ගාල්ල වෙස්ලියානු සභාවේ රැදී සිට ඇති අතර ඒ වනවිටත් ගාල්ල වෙස්ලියානු සභාව විසින් ස්ථාපිතකල Richmond විදුහලේ කටයුතුවලට දායකවෙමින් සිට ඇත. එහෙත් එම වසරේ අගෝස්තු මාසයේ ඔහුට ලැබෙන ලිපියකින් කියවෙනුවේ මීගමුවේ වෙස්ලියානු සභාවේ Don Daniel Pereira පියතුමා සහ L.E.Pereira මුදලිතුමාගේ උත්සාහයෙන් 1816 දී ගොඩනගා ඇති මීගමුවේ වෙස්ලියානු ඉරිදා පාසැල සාර්ථකව ඉදිරියට යන බවත්, එම පාසැලේ කටයුතු සහ මීගමුවේ වෙස්ලියානු සභාවේ කටයුතු සදහා  නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුනට සහයදීමට හැකිනම් පැමිණෙන ලෙසත්ය. අදාල විස්තර කියවීමේදී පෙනීගිය තවත් කරුණක්වුයේ  Don Daniel Pereira පියතුමා මීගමුව, පුත්තලම සහ හලාවත යන තවත් ස්ථාන කිහිපයකම වගකීම් දැරූ පියනමක් වූයෙන් නැගී එන වෙස්ලියානු මීගමු සංඝය සදහා නේවාසික පියතුමෙකුගේ අවශ්‍යතාවයක් වෙස්ලියානු සභාවට ඒවනවිට පැවති බවය.

එම ඇරයුම පිළිගන්නා රොබට් නිව්ස්ටෙඩ් පියතුමා ගාලුපාර ඔස්සේ කොළඹට පැමිණ අනතුරුව කොළඹ සිට මීගමුවට යාත්‍රාකරන මගී යාත්‍රාවකින් මීගමු වරායට 1816 සැප්තැම්බර් 17වෙනි බදාදා ගොඩ බැස ඇත. මෙම තොරතුරේන්ම පෙනීයන එක් කරුණක් වනුවේ 1817 වනවිටත් මීගමු වරායේ සිට කොළඹට සහ වෙනත් ප්‍රදේශවලට යාත්‍රාකරන මගී යාත්‍රා සේවයක් පැවති බවය. 1818 දී රොබට් නිව්ස්ටෙඩ් පියතුමා සිය සහෝදර පියතුමෙක්වූ ෆෝක්ස් (Fox) පියතුමා හමුවීමට කළුතරට යන්නේද මෙම යාත්‍රා සේවයෙනි. මෙයට අමතරව මීගමුවේ සිට දකුණු ඉන්දියාවේ තුත්තුකුඩියට මුහුදු මගින් ගමන් කල හැකිවූ බව දකුණු ඉන්දියානු චිත්‍රපටිවල රගපෑ මීගමුවෙන් බිහිවූ ජනප්‍රිය විකට නළුවෙක් වන J. P. Chandrababuගේ පවුලේ විස්තරවල සදහන් වේ (ඒගැන මෙතැනින් කියවිය හැක). තවද මීගමු වරායේ සිට ඉන්දියානු සාගරයේ වෙනත් ප්‍රදේශවලට යාත්‍රාකල, මීගමු දූවේ අශ්චර්යමත් ක්‍රිස්තු සුරුවම මීගමුවට රැගෙන ආ, මිහිදුකුලසුරිය සහෝදරයන් තිදෙනෙක් ගැන ද මා මීට පෙර ලියා ඇත (ඒගැන මෙතැනින් කියවිය හැක). මෙලෙස පැවති මීගමූ වරායට නැවතීමේ තිත වැටුනේ මීගමුව වරාය ධීවර වරායක් බවට පමණක් නම් කරමින් 1949 නිකුත්කළ ගැසට් නිවේදනයක් නිසාය. එහෙත් අදටත් මීගමු වරායේ පැරණි රේගුවට යන පාර හෙවත් රේගුපාර (Custom House Road) ඉතිරිවී ඇත. 

කෙසේවුවද, මීගමු වරායට ගොඩබසින රොබට් නිව්ස්ටෙඩ් පියතුමාව මෙම රේගුපාර ඔස්සේ පැරණි ලන්දේසින්ගේ නගර සංවර්ධන සැලැස්ම (ඒ ගැන මෙතනින් කියවිය හැක) මගින් ඉදිකළ මීගමුව දෙවන හරස් වීදියේ කෙලවර පිහිටි මීගමුවේ වෙස්ලියානු සභාව විසින් රික්ස් ඩොලර් 1500කට මිලදීගත්, කලක් ලන්දේසි පෙරදිග වෙළද සමාගමේ (VOC) අනු-සමාගමකට අයත්ව තිබු, පසුව මීගමුව නිව්ස්ටෙඩ්  බාලිකා විදුහල බවට පත්වූ වෙස්ලියානු පාසැල පිහිටි, පැරණි ලන්දේසි බංගලාව හෙවත්   Mission House ගොඩනැගිල්ල වෙත  කැටුව යන්නේ  මීගමු වෙස්ලියානු සංඝයේ ප්‍රධානියෙකුවූ L.E.Pereira මුදලිතුමා විසිනි. 


මීගමුවට ගොඩබට  රොබට් නිව්ස්ටෙඩ් පියනම මීගමුව පිළිබද ඇතිකර ගනුයේ ඉතාමත් සතුටු සිතකි. නිල්වන් මුහුදට මුහුණලා පිහිටි  වෙරළ අද්දරවූ පොල්ගස්වලින් වටවූ වෙස්ලියානු බංගලාව ගැන ඔහු ඉතා සතුටින් පසුව ඇත. පුදුමයකට මෙන්, මීගමු වෙරළේ සිට හමා ආ මුහුදු හුළග පවා ඔහු ගාල්ලේදී හෝ රටේ වෙනත් කිසිම තැනකදී ඇත් නොවිදි බව 1818 දී ඔහු කළුතර සිය මිතුරු ෆෝක්ස් (Fox) පියතුමා හමුවීමට ගියවිට තැබූ සටහනේ විශේෂයෙන් දක්වා ඇත. එය මෙසේය; "The country round Caltura (Kaltura) is indeed beautiful; I think no description could do justice to it, especially near the river; but I cannot think the air better than that of Negombo (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 88-89). 

ඔහු මීගමුවට පැමිණීම පිලිබදව සහ සිය නව නවාතැන පිලිබදව සිය දින පොතේ සටහන් තබා ඇත්තේ මේආකාරයටය; "We arrived safely at Negombo. May the Lord make me useful here. The Bungalow is a pretty place, pleasantly situated close to the sea, and surrounded with cocoa-nut trees. It is very large and convenient for preaching. The situation of Negombo from its commercial intercourse with the interior, rendered it a most desirable Missionary station. A bungalow, situated in a salubrious and eligible spot"(Wesleyan Missionary Notices. SOAS. Vol ii, 1819-20. Ceylon. page 193 & Harvard, William Martin, South Asian Mission, 1857, page 187).මෙහිදී ඔහු We යනුවෙන් හැදුන්වනුයේ රොබට් නිව්ස්ටෙඩ් සමග ගාල්ලේ සිට පැමිණී ආබ්‍රහම් නම් පෘතුගීසි ජාතික තරුණයාද ඇතුළුවය. පෘතුගීසි ජාතික ආබ්‍රහම්ව රොබට් නිව්ස්ටෙඩ්ට හමුවෙන්නේ ගාල්ලෙනි. ඔහු රොබට් නිව්ස්ටෙඩ් සමග 
මීගමුවට පැමිණෙන්නේ මීගමුවේ ඔහු දන්නා හදුනන පෘතුගීසි ජාතිකයන් රාශියක් සිටින නිසා බවත්, විශේෂයෙන්ම මීගමුවේ එකල බහුලව භාවිතාකල ඉන්දු-පෘතුගීසි භාෂාවේ (Indo-Portuguese) උප භාෂාවක්වූ  සිංහල, දෙමළ සහ පෘතුගීසි සම්මිශ්‍රණයකින් බිහිවූ 'ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රෙයෝල (Sri Lankan Portuguese Creole)  භාෂාව පරිවර්තනය කිරීම සදහා ඔහු ඉතාමත් උපකාරීවූ නිසා බවත් දැක්වේ (Harvard, William Martin, South Asian Mission, 1857, page 188-189). තවද මීගමුවේ 'ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රෙයෝල (Sri Lankan Portuguese Creole) භාෂාව භාවිතා කරන ජනයා කෙතෙක්වීදයත් වසරකට පසුව රොබට් නිව්ස්ටෙඩ් පියතුමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් පිලිබදව පහතින් දැක්වේ; "A year is fled into eternity since we left our native shores. O how swiftly it has gone! ... This evening I made my first attempt at speaking extempore in Portuguese, by way of expounding the 3rd (chapter) of St John, and succeeded beyond my own expectations. I dare not, however, venture upon a whole sermon yet, without written helps" (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 209). වසරකට පසු 'ඉන්දු-පෘතුගීසි' (Indo-Portuguese) උප භාෂාවක් වූ 'ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රෙයෝල' (Sri Lankan Portuguese Creole) භාෂාවෙන් මීගමුවේ ජනයාට දේශනා කිරීමට හැකිවීම පිලිබදව ඔහු සමග ගාල්ලේ සිට පැමිණි පෘතුගීසි ජාතික ආබ්‍රහම් මෙන්ම රැස්ව සිටි ජනයාද මහත් ආමන්දානන්දයට පත්වූ බව දැක්වේ. 

ඉන් නොනැවතුණු රොබට් නිව්ස්ටෙඩ් පියතුමා  මෙතෙක් 'ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රෙයෝල (Sri Lankan Portuguese Creole) භාෂාවෙන් මීගමුවේ ගායනාකල කැරොල් ගයනා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සිදුකල ඇත. එසේ ඔහු  ඉංග්‍රීසියට පරිවර්තනය කල පෘතුගීසි කැරොල්  1818 දෙසැම්බර්යේ මීගමුව දිස්ත්‍රික් ඉංග්‍රීසි උප ඒජන්තයාගේ ප්‍රධානත්වයෙන් පැවති නත්තල් උත්සවයදා ප්‍රථමවරට ගැයූ බවත් ඒ සදහා විශාල පිළිගැනීමක් ලැබු බවත් දැක්වේ (Robert Newstead Collection. B.N. re.1014-1016). මේ අනුව මීගමුවේ එතෙක් පැවති පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් (Portuguese Creole Carol) අභිභවා නැගී ආ ඉංග්‍රීසි කැරොල් ගායනා හදුන්වාදීම සදහා පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පලමු කාන්තා විදුහල වන මීගමුව නිව්ස්ටෙඩ් බාලිකාව බිහිකළ රොබට් නිව්ස්ටෙඩ් පියතුමා විසිනි. ඔහු පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් (Portuguese Creole Carol) පමණක් නොව පෘතුගීසි ක්‍රෙයෝල (Portuguese Creole) බසින් පැවති බොහෝ  යාක්ච්ඥා ද, බයිබලයේ උත්පත්ති කථාව (Genesis), ගීතාවලිය (Psalms) සහ නව ගිවිසුම (New Testament) පවා මහත් වෑයමකින් සහ මහන්සියකින් අනතුරුව ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබේ: "Today I finished my translation of the New Testament from the Indian Portuguese. It has been a work of some labour, though the language is not difficult, having written every word of it myself. It occupies about 950 large pages. I have often been very tired in the work, but never once tired of it, believing it to be a work for God. O may he design, with all its imperfections, to approve it, and make it in some way useful! At least it will be very useful to myself, in ministering among that people" (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 241).එසේ පරිවර්තනය කල පතපොත මුද්‍රණය කිරීම සදහා බ්‍රිතාන්‍යයේ සිට මුද්‍රණ යන්ත්‍රයක් සහ මුද්‍රණ ශිල්පීයෙක් පවා ගෙන්වූ බවත්, ක්‍රමයෙන් එම ඉංග්‍රීසි පරිවර්තන ජනයා අතර බෙදා හලබවත් දැක්වේ. 

අද මීගමුවේ එදා භාවිතාවූ පෘතුගීසි ක්‍රෙයෝල (Sri Lankan Portuguese Creole) භාෂාව අභාවයට ගොසිනි. එහෙත් ඇතැම් පද තවදුරටත් භාවිතයේ පවතී. කෙසේවුවද, මට පෙනීයනුවේ පසුගිය වසර 300යක කාලය තුල මීගමුව දෙමළ, සිංහල, පෘතුගීසි ක්‍රෙයෝල, ලන්දේසි පමණක් නොව ඉංග්‍රීසිද යන භාෂා පහේම රැල්ලට ලක්වූ අපුර්ව ජන සමුහයකගේ ප්‍රදේශයක් වූ බවය. 

තවද 1817-21 දක්වා කාලය තුල පවා මීගමුවේ අපුර්වට සිංහල භාෂාව භාවිතාකල පිරිසක් මෙන්ම දෙමළ භාෂාව භාවිතා කල පිරිසක්ද සිටි බව රොබට් නිව්ස්ටෙඩ් පියතුමාගේ විස්තර ඇසුරින් පෙනේ. කලක් බෞද්ධ භික්ෂුවක්ව සිට පසුව වෙස්ලියානු ක්‍රිස්තියානි සභාවට බැදුණු බෙන්ජමින් නම් තැනැත්තාගේ භාෂා පරිවර්තන සහයෙන් හොදින් ඇදපැලද සිටි මීගමුවේ සිංහල පිරිසකට දේශනයක් පවත්වන රොබට් නිව්ස්ටෙඩ් පියතුමා ඔවුන්ගේ දරුවන් අලුතින් ආරම්භ කල මීගමුව නිව්ස්ටෙඩ් බාලිකාවට එවන ලෙසත් ඔවුන්ට ඉතා හොද අධ්‍යාපනයක් ලබාදී සමාජයේ වැදගත් තැනැත්තන් බවට පත්කරන බවට පොරොන්දුවේ: "The congregation is large, and full half of them were very well-looking and decently dressed Cingalese women. Before I entered upon the sermon, believing it would interest them more, I spoke a few words about my coming to them, saying that I had heard of their destitute state as to religion, in my own land, that I was greatly affected by it, that as there were in my country so many padres (ministers) and in this land so few, I was moved with compassion to come over the sea, in order to teach them the way to heaven; but that I had left behind me a beloved father, and mother, and brother, and sisters, whom perhaps I should see no more till we met in another world, and with the hope of doing them good had come many thousands of miles, and should be amply repaid if now they would come and hear me, and try to learn the way to serve God, the great God of heaven and earth, about whom I was now going to tell them. While this was said, all was attention, and I saw some tears wiped off with their fingers; my own were with difficulty restrained. After the sermon, in which I was much blessed with strong feeling for the souls of the people, I told them my intention of establishing a school amongst them, to instruct their children, and pointed to Benjamin (the late priest) now habited as a Christian, as the intended Gooroonancy (teacher) of the school. They seemed well pleased and many brought their children forward. I hope to get a good school formed here" (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 194-5).

රොබට් නිව්ස්ටෙඩ් පියතුමා මේ ආකාරයට විවිධ භාෂා කතාකරන විවිධ  ජන කණ්ඩායම්වලට ආමන්ත්‍රණය කරමින් මීගමුවේ නිව්ස්ටෙඩ් විදුහල වෙත සිය දරුවන් එවන ලෙසත්, ඔවුන්ව හොදින් ගොඩනංවන බවත් පොරොන්දුවෙමින් මීගමුව නිව්ස්ටෙඩ් විදුහලද, අවට දරුවන්ද ගොඩනැංවීමට විශාල සේවයක් කර තිබේ. දරුවන් සොයාගෙන ඔහු කඩපිල් වලට පවා ගිය බවත් ඇතැම් වෙළෙන්දන් රොබට් නිව්ස්ටෙඩ් පියතුමා පැමිණෙන විට  කඩාවසා ගිය බවත් දක්වයි. කෙසේවුවද මීගමුවේ ඉරිදා වෙළදාම තහනම් කල යුතුබවත්, ඉරිදා සබත් දිනයක් ලෙස සැලකිය යුතු බවත් ඔහු දන්වා සිටීම මෙලෙස කඩාවසා යෑමට හේතු වන්නට ඇත. "Afterwards went to the bazar. As soon as we entered at one end, I saw several boys running to give notice to some who were keeping open botiques (stalls); they were immediately down, before we could get round the corner, but we stopped under a Moorman's veranda, who was selling rice, and began to lecture a little in Tamul, on the duty of keeping holy the Sabbath-day, showing that God would not bless ill-gotten gain. We soon had a crowd on both sides, who were very attentive, and seemed not displeased to hear... they would not sell again on the Sabbath" (Wesleyan Missionary Notices. SOAS. Vol ii ,1819-20. Ceylon. page. 241).

ඉරිදා සබත් දිනය අකුරටම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් රොබට් නිව්ස්ටෙඩ් පියතුමා ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ගෙන්ද උදව් ඉල්ලා ඇත. කෙසේවුවද මෙය අසාර්ථක වී තිබේ. මන්දයත් සෙනසුරා හවස ඇරබෙන මීගමුවේ රාත්‍රී පොළ (night bazaar) සහ ඉරිදා පොලේ වෙලදාම නතර කිරීමට මුස්ලිම් සහ හින්දු දෙමළ වෙළෙන්දන් අකමැතිවීම එයට හේතුවවී තිබේ. විශේෂයෙන්ම, මෙම ලේඛන ඇසුරින් පෙනීයන තවත් දෙයක් වනුයේ ඒවනවිටද මීගමු වැසියන් ඉරිදා පුජාව අවසානවී ඉරිදා පොළෙන් බඩු මිලදීගෙන ගෙදරයෑම පුරැද්දක්  කරගෙන පැවති බවය. කෙසේවුවද, ඉරිදා සබත් දිනයේ වෙළදාම තහනම් කිරීම සම්බන්දයෙන් ගෙනගිය ක්‍රියාමාර්ග රොබට් නිව්ස්ටෙඩ් පියතුමාගේ වෙස්ලියානු දූත මෙවර පිලිබදව මීගමුවේ මුල් බැසගත් කතෝලික පල්ලියට සිය විරෝධය එළිපිට පලකිරීමේ අවස්ථාවක් උදාකර දුන්බව පෙනේ. කතෝලික පල්ලිය සියළු කඩ සාප්පු ඉරිදා 12.30 වෙනතුරු ඇර තිබීම ගැන එකගව සිට ඇති අතර රොබට් නිව්ස්ටෙඩ් පියතුමාගේ ඉල්ලීම පිට කාම්ච්චෝඩයේ රා තැබැරුමට විරුද්වීධමටද ඔවුන් එකග නොවී ඇත. මේ අනුව පෙනී යනුවේ මීගමුවේ සෙනසුරාදා රාත්‍රී පොළ (night bazaar), ඉරිදා පොළ සහ කාම්ච්චෝඩයේ රා තැබැරුම 1817  පවා පැවති බවය.

තරමක් දිගට ඇදී ගිය මෙම විසංවාදයන් කෙලවර කරමින් 1921 අප්‍රියල් මාසේදී  රොබට් නිව්ස්ටෙඩ් පියතුමාව මීගමුවේ සිට කුරුණෑගල වෙස්ලියානු සභාව වෙත මාරුකර යවා ඇත. ඔහු මීගමුවෙන් ඉවත්ව යනවිට ලංකාවේ ප්‍රථම කාන්තා විදුහල වන මීගමුවේ නිව්ස්ටෙඩ් පාසැල ඉතාමත් ශක්තිමත්ව ගොඩ නැගී තුබූ අතර මීගමුවේ වෙස්ලියානු සභාවද මීගමු දළුපොත සහ මීගමු කුරණ නව වෙස්ලියානු පල්ලි දෙකක්ද ගොඩ නංවා තිබුණි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
06/11/16.

19 comments:

  1. Sri Lankan Portuguese Creole ගැන ලියවිලා තියනවද?
    මං කැමතිම සහ මට ප්‍රයෝජනවත්ම පොතක් තමයි O.M. da Silva Cosme's Fidalgos in the Kingdom of Kotte. ඒකෙ භාෂාව ගැනත් හුඟක් දේ තියනවා.(e.g. 'සිදාදිය' වැදි වචනයක් කියලා සමහරු හිතුවට ඒක පෘතුගීසි Cidade වලින් එන්න ඇති කියන එක මට හිතුනේ ඒ පොත නිසා )ඒත් creole ගැන මට මතක නෑ. ආයිත් කියවන්න ඕනෙ.
    Also, I should meet you, I think. :-D

    ReplyDelete
    Replies
    1. ප්‍රා...අපි දෙන්නම එලවන්නෙ එකම දේවල් පස්සෙනෙ

      Delete
    2. පෘතුගීසි Cidade සිදාදි කියන එකම තමයි ඒ වචනය. ඒ විතරක් නෙවෙයි, කමිස, කල්සා (කලිසම), සාය, මේස් , සපත්තු, ලෙන්සු, කේජු (cheese), පාන්, බුරු (Donkey), කුඥ්ඥ (wedge), බංකු, ජනේල, මේස, තියා පිපිඥ්ඥා මඥ්ඥෝක්කා පවා නිතර ඇසෙන පෘතුගීසි වචන. තව ඕනේ හැටිය තියනවා,

      Delete
    3. මම දිවයින පත්තරේට කුඩා ලියුමක් ලීවා පෘතුගීසි යම් යම් දේ ගැන, ලොකු හැඳින්වීමක් නෙවෙයි, සරල පිළිතුරක් තව කාගේදෝ ලියුමකට. හෙට නෙවෙයි, ඊළඟ ඉරිදා පලකරන්නම් කීව එක (නොවැ. 20). ඔය උද unknown කොමෙන්ට් එකත් මගේ, email Lisbon.knight@gmail.com

      Delete
  2. Sri Lankan Portuguese Creole ගැන ඔයාට කියවන්න පුළුවන් 1. Shihan de Silva Jayasuriya (2001) Tagus to Taprobane: Portuguese Impact on the Socio- Culture of Sri Lanka from 1505 2. Jorge Manuel Flores (2007) Re-exploring the Links: History and Constructed Histories Between Portugal. 3. Asiff Hussein (2009) Zeylanica: A Study of the Peoples and Languages of Sri Lanka පොත් වලින්. Yes, drop an email, we can arrange a meeting !!!

    ReplyDelete
    Replies
    1. email address is given here?

      Delete
    2. මාකස්..ප්‍රා.. මම ලංකාවෙ හිටියා නම් ඔය හමුවීමට මමත් නිසැකවම එනවා

      Delete
    3. @කොච්චි මිරිස්,
      Email address?

      Delete
  3. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නිසා තමයි ලංකාව තුල පෘතුග්‍රීසි බස අභාවයට පත්වුනේ. නැතුව සිංහල බෞද්ධ බලපෑමක් නිසා නොවෙයි.

    ReplyDelete
  4. Thanks... i have finished my book on newstead

    ReplyDelete
  5. නිව්ස්ටඩ් බාලිකාවට අමතරව මිගමුවේ මෙතොදිස්ත පාසල් 16කට වඩා පැවැති බව කියැවෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබට මේ පිළිබදව තොරතුරු සොයාගැනීමට හැකිවුවාද ?

      Delete
  6. මෙහි ඉරාදා පාසල යන්න අර්ථකතනය වැරදියි.... මේ නිසා සමාජයේ ගැටලු ඇත. එය ඉරිදා දින නිවාඩු නිසා දරැවන් එකත=කල සිදුවිමක් පමණී

    ReplyDelete
    Replies
    1. සුරංගික අයියා... ඔබ මාව දන්නවා... ඔබ නිව්ස්ටෙඩ් එකට කරන සේවය ගැන වචන නැහැ

      Delete
  7. Great Information. Thank you so much. I appreciate your news. Thanks again!

    ReplyDelete
  8. ලංකාවේ පාසල් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙතොදිස්තයින් ඇතිකලා

    ReplyDelete
  9. හෙල්ලෝ Rev. සුරන්ගික, ඇත්ත වෙන්නැති බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවේ අධ්‍යාපන දියුණුව වෙනුවෙන් ඒ අය විශාල කාර්යභාරයක් ඉටුකලා. රොබට් නිව්ස්ටෙඩ් පියතුමා සම්බන්දයෙන් ඔබ ලියමින් උන් පොත ඉවරද ? රොබට් නිව්ස්ටෙඩ් කෞතුකාගාරයක් ගැන අපි අදහස් හුවමාරු කරගත්තා මතකයි. එකේ වැඩ කොහොමද ?

    ReplyDelete