This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 11 November 2016

Brexit සහ Trump ඇසුරින් නැවත මතුවන අපේ කාලේ අර්බුදය

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ජයග්‍රහණය කිරීමෙන් සුළු මොහොතකට පසුව මාධ්‍ය ඇමතූ  බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ (Labour Party) නායක ජෙරමි කෝබින් (Jeremy Corbyn) සුපුරුදු පරිදි කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) ජයග්‍රහණයද 'ස්ථාපිතයන්ට එරෙහි ජන්ද'යක ('anti-establishment vote') ප්‍රථිපලයක් බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග තවදුරටත් සිටින්නේද? නැත්ද ? යන්න විමසීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයේ ප්‍රථිපල සම්බන්දයෙන්ද ජෙරමි කෝබින් (Jeremy Corbyn)ගේ විග්‍රහයවුයේ එයද 'ස්ථාපිතයන්ට එරෙහි ජන්දයක' ('anti-establishment vote') ප්‍රථිපලයක් බවය. 

මේ අවස්ථා දෙකෙහිම 'ස්ථාපිතයන්ට එරෙහි' ('anti-establishment') යන්න තුල කියවෙන්නේ කුමක්ද යන්න විග්‍රහකල ඔහු  'පවත්නා සමාජ-ආර්ථික රටාව' හෙවත් 'නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය' විසින් ආන්තිකරණය කල ජනයාගේ විරෝධය පවත්නා ආර්ථික, දේශපාලන, රාජ්‍ය සහ ආයතනගත සැකැස්මවල් වලට එරෙහිව ප්‍රකාශවන ජන්දයක්ය යන අර්ථය එහි ගැබ්වෙන බව දක්වයි. 

මගේ ප්‍රශ්නය වන්නේ එසේ  'ස්ථාපිතයන්ට එරෙහි' ('anti-establishment') ප්‍රකාශවන ජන්දය වර්ගවාදී (racist), ජාතිකවාදී (nationalist/nationalism), ස්වෝත්තමවාදී (chauvinist) සහ ජාතික රාජ්‍ය (nation state) කේන්ද්‍රකරගත් ජන්දයක් වන්නේ කෙසේද? යන්නයි. 

පැහැදිලිවම Brexit සහ Trumpගේ මැතිවරණ ජයග්‍රහණ ආදිය තුල  වරප්‍රසාද රහිත, රැකියා අවස්ථා අඩු, ඉපැයුම් සීමා සහිත, අඩු අධ්‍යාපන අවස්ථාවන් ලැබූ සාපේක්ෂව දිළිදු සහ අවම වරප්‍රසාද සහිත ස්වදේශීය බහුතර ජනවර්ගයා විසින් තවත් එවැනිම ඉරණමකට මුහුණදී සිටීම නිසා වෙනත් රටක සිට තමන්ගේ රටට සංක්‍රමණයවූ තමන් වැනිම වෙනත් ජන කොටසකට විරෝධය දැක්වීම හෙවත් සංක්‍රමණිකයන්ට එරෙහි ජන්ද (anti-immigration vote)දීමක් සිදුව ඇත. එමෙන්ම නැවත සිය මාතෘ භූමිය, රාජ්‍යය සහ ජාතිකත්වය ශක්තිමත් කරගැනීම වෙනුවෙන් සහ එවැනි කුළු ගැන්වීම් වෙනුවෙන්ද ජන්දය දී ඇත. මෙහිදී අමතක නොකළ යුත්තේ Brexit සහ Trumpගේ මැතිවරණ ජයග්‍රහණ ආදිය තුල ප්‍රධාන සටන් පාඨවුයේ සංක්‍රමණිකයන්ට එරෙහිවීම, මාතෘ භූමිය, රාජ්‍යය සහ ජාතිකත්වය ශක්තිමත් කරගැනීම මුල් කරගත් 'Make America great again', 'Let's take back control', සහ 'we want our country back' යන ආදිය බවය. 

ජෙරමි කෝබින් (Jeremy Corbyn) අර්ථ දැක්වූ ලෙස ඉහත ජන්ද 'නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික' ක්‍රමය විසින් ආන්තිකරණය කල ජනයාගේ' ස්ථාපිතයන්ට එරෙහි ('anti-establishment vote') විරෝධයේ ප්‍රකාශනයක් නම් ඒය වර්ගවාදී (racist), ජාතිකවාදී (nationalist/nationalism), ස්වෝත්තමවාදී (chauvinist) සහ ජාතික රාජ්‍ය (nation state) ශක්තිමත් කිරීම  කේන්ද්‍රකරගත්තක් වන්නේ  ඇයි ? 

කෙසේවුවද, Brexit සහ Trumpගේ ජයග්‍රහණ ගැන ජෙරමි කෝබින් (Jeremy Corbyn)ගේ විග්‍රහයවු 'ස්ථාපිතයන්ට එරෙහි ජන්දයක' ('anti-establishment vote') ප්‍රථිපල යන්න ඔහුට පමණක් සීමාවූ අර්ථකථනයක් නොවේ. එය ලෝකයේ වෙනත් බොහෝ වාමාංශිකයන් විසින්ද ඉහත මැතිවරණ ප්‍රථිපල සම්බන්දයෙන් ඉදිරිපත් කල සහ ඉදිරිපත් කරමින් ඇති පොදු අර්ථකථනයකි. එය ලංකාවේ පවා නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ සිට 'අක්ෂය' කණ්ඩායම වැනි විවිධ වාමාංශිකයන් බෙදාගත් අදහසකි

කෝබින්ගේ සිට විවිධ වාමාංශිකයන් පොදුවේ පිළිගත් ඉහත දැක්වූ 'ස්ථාපිතයන්ට එරෙහි ජන්ද' යක ('anti-establishment vote') ප්‍රථිපලයක්ය යන්න මුලික වශයෙන් පදනම් වී ඇත්තේ මාක්ස්වාදී මූලධර්මයක් වන 'Base and superstructure' නම් ඉගැන්වීම මත බව පැහැදිලිය. එය 1846 දී මාක්ස් සහ එංගල්ස් ලියූ  'The German Ideology' කෘතියේ මුලින්ම සටහන්ව පසුව 1859 කාල් මාක්ස් ලියූ  'A Contribution to the Critique of Political Economy' කෘතියේ න්‍යාය ගතකරන ලද්දකි. මෙම මාක්ස්වාදී න්‍යායට අනුව මානව සමාජය "නිෂ්පාදන සාධක සහ නිෂ්පාදන සබදතා ඇතුලත් ආර්ථික ව්‍යුහය Base (අධෝ ව්‍යුහය)  මත පැනනැගී දේශපාලනය, ආගම, සංස්කෘතිය වැනි වෙනත් දෑ ඇතුලත් superstructure' (උපරි ව්‍යුහය) කින් යුක්තවන අතර එයට අනුරූපව සමාජ විඥානය නිශ්චිත ආකාරයක් ගනී (The totality of these relations of production constitutes the economic structure of society, the real foundation, on which arises a legal and political superstructure and to which correspond (entsprechen/match) definite forms of social consciousness.(1979, English translation, Chapter ii, p 3 / Evans, Michael (1975) Karl Marx p.61)

මේ  අනුව නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය නම් (Base) අධෝ ව්‍යුහයට අනුව උපරි ව්‍යුහය (superstructure) විය යුත්තේ නිදහස, මානව හිමිකම් ආදිය මුල්කරගත්  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයය. නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය විසින් ආන්තික කාරණය කල ජනයා 'ස්ථාපිතයන්ට එරෙහිව ජන්ද (anti-establishment) ප්‍රකාශකිරීම තුල කියවෙනුවේ ඔවුන් නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමයට පමණක් නොව නිදහස, මානව හිමිකම් ආදිය මුල්කරගත්  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී උපරි ව්‍යුහයටද විරුද්ධව ජන්දයදී ඇති බවය. 

එහෙත් ඇත්තවශයෙන්ම ඔවුන් ජන්දය දී ඇත්තේ කිසිසේත්ම නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට නොවේ. පැහැදිලිවම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වුවද එසේ ජන්දයදුන්  ජනයා පවා තවදුරටත් යුරෝපා සංගමය සමග වාසිදායක ආර්ථික සබදතා බලාපොරොත්තු වන්නේද, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු චීන වෙළද ගණුදෙනු කෙතරම් විචේනය කලත් තවදුරත් චීන වෙළද සබදතා පිළිබදව උන්නදුවෙන්නේද ඔවුන්ට නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය නම් අධෝ ව්‍යුහය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසාය. 


එසේනම් ඔවුන්ගේ විරෝධය මුලික වශයෙන් එල්ලවී ඇත්තේ නිදහස, මානව හිමිකම් ආදිය මුල්කරගත්  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී උපරි ව්‍යුහය (superstructure)යට විය යුතුය. ප්‍රධාන වශයෙන් එහි  දේශපාල බලයට. නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී උපරි ව්‍යුහයේ (superstructure) දේශපාල බලය (political power) යනු කුමක්ද යන්න Nicos Poulantzas (1975) දක්වා ඇත්තේ 1. ආර්ථික උවමනා සහ අධිපතිවාදී සමාජ පන්තීන් අතර සම්මුතියක් (Compromise) ඇතිකරන 2. ආර්ථික සහ සමාජ පන්තීන් අතර  සමතුලිතතාව (Equilibrium) ඇති කරන 3. එසේ සමතුලිතතාවයක් ඇති නොවන අවස්ථාවක අස්ථායි (Unstable) තත්වයට පත්වන්නක් ලෙසිනි (Political Power and Social Classes. p.192). 

ඒ අනුව නව ලිබරල් නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය විසින් ආන්තික කාරණය කල ජනයා 'ස්ථාපිතයන්ට එරෙහිව ජන්දය (anti-establishment) ප්‍රකාශකිරීම තුල ප්‍රාර්ථනා කරන දේශපාලන බලයේ වෙනස ලෙස බලාපොරොත්තු වන්නේ අධෝ ව්‍යුහය (Base) සහ  උපරි ව්‍යුහය (superstructure) අතර සම්මුතියක් හෝ සමතුලිතතාවක්ද? නැතහොත්  අස්ථායි තත්වයක්ද? 'ස්ථාපිතයන්ට එරෙහි'ව ('anti-establishment') ප්‍රකාශවන ජන්දයේ වර්ගවාදය (racism), ජාතිකවාදය (nationalism), ස්වෝත්තමවාදය (chauvinist) සහ ජාතික රාජ්‍ය (nation state) ශක්‌තිමත් කිරීම ආදිය  ඉදිරියට එන්නේ සම්මුතිය,  සමතුලිතතාවය හෝ අස්ථායිත්වය සදහාවූ කේවල් කිරීමක් ලෙසද ? නැතහොත් අස්ථායිත්වයක් තුල  ඇතිවන හිඩැස පිරවීම සදහාද ? මෙවැනි තත්වයක් තුල රාජ්‍යයේ කාර්යභාරය කුමක්විය හැකිද ? Antonio Gramsci (1971)ට අනුව රාජ්‍ය පිළිසිද ගන්නේම ප්‍රධාන කණ්ඩායම සහ අනු කණ්ඩායම අතර අස්ථායි සමතුලිතතාවයන් නිර්මාණය කිරීමට  සහ අභාවයට ඇරීම සදහාය...නිශ්චිතවම ප්‍රධාන කණ්ඩායමේ දිනුම වෙනුවෙනි "The life of the state is conceived of as a continuous process of formation and superseding of unstable equilibria… between the interests of the fundamental group and those of the subordinate groups - equilibria in which the interests of the dominant group prevail, but only up to a certain point, i.e. stopping short of narrowly corporate interest." (Prison Notebooks, p. 182.) නිදහස, මානව හිමිකම් ආදිය මුල්කරගත් නුතන   ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට එයට වඩා වෙනසක් අත්කරදිය හැකිද ? 

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/11/2016

1 comment:

  1. මිනිසා ස්වභාවයෙන් ජාතිකවාදී සහ පුරුෂවාදී සත්වයෙක්. ඒ මනුශ්‍ය ස්වභාවය බලෙන් වෙනස් කරන්න හැදුවොත් එය වෙනුවට මූලධර්මවාදයන් පැතිරෙයි.

    ReplyDelete