This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 29 April 2016

මහා උනන්දුවක් ඇති මැයි දිනයක් !!!

මේතරම් සෙනග ගෙන්නට උන්නදුවුණු කිසිම මැයි දිනයක් ලංකාවේ තවත් තිබෙන්නට නැතිව ඇත. 

එහෙත් ඒ මිනිස්සුන්ට 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වන්නට ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීම' නම්වූ මැයි දිනයේ නියම අරමුණ වෙනුවෙන් නම් නොවන බව පැහැදිලිය. 

විවිධ පක්ෂවල/කණ්ඩායම්වල උවමනා ඉටු කරගැනීමට, අනෙකාට වඩා තමාන්ගේ දේශපාලනට වැඩි මහජන ප්‍රසාදයක් ඇතිබව ඔළුගෙඩි ගණනින් පෙන්වීම දැන් එහි අරමුණවී ඇත. 

එම උනන්දුවම මිනිස්සුන්ට 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක්' ලබාදෙන්නට යෙදවුයේ නම් කොතරම් අගනේද? 

සැබෑවටම මැයි දිනය සමරන්නේ ඒ වෙනුවෙනි. 

එසේත් නොමැතිව මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමටවත්, මෛත්‍රීගේ සහ රනිල්ගේ යහපාලනය ශක්තිමත් කිරීමටවත්, වෙනත් දේශපාලන පක්ෂවල බලය පෙන්වීමටවත් නොවේ. රටක මැතිවරණ පැවැත්වෙනුවේ ඒ වෙනුවෙනි. 

ඒහෙත් සියල්ල එහි මුලික හරයන්ගෙන් ගලවා ඉවත්කර ඇති, පොත්ත පමණක් ඉතිරීවී මැද හිස්වූ,  අපේ රටේ මැයි දිනය පමණක් එසේ නොවී පැවතීමට ඉඩක් තිබීමට නොපුළුවන. 

අවශ්‍යනම් මෙවැනි අවුල්වලට හවුල් නොවී නිරවුල්ව සිටීමට පුළුවන් පුද්ගලයන්ද අපේ රටේ සිටී. මැයි දිනය යනු 'අඩු පැය ගණනක් වැඩකර ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීමට' වූ අරගලයේ දිනයයි. එය සාක්ෂාත් කරන මැයි දින මිස තම ගොඩවල් වැඩිකර පෙන්වීමට පොරකන මැයි දිනවලින් ඇති වැඩක් නැත. 

ඒවැනි දේවලට සහභාගීවීමද අරුත්සුන් දෙයකි. එහෙත් වියදමකින් තොරව එක් දින චාරිකාවක් යෑම සදහා හෝ වෙනත් පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් රටේ යම් කොටසක් මෙවැනි ක්‍රියාවලට යොමුවන බව අපි දනිමු. ඒ දිළිදුකම නිසාබව ප්‍රකටය. එමගින් මැයි දිනයට දිළින්දන්ගේ සභභාගීත්වයක්  ලබාදීම සිදුනොවන්නේදැයි? කෙනෙකුට ප්‍රශ්න කල හැක. එය එක් අතකින් 'කම්කරුවන්' යන්න සදහා වන සම්ප්‍රදායක වමේ නිර්වචනය වන 'ශ්‍රමය විකුණා ජීවත්වන්නන්' යන්න වෙනත් ආකාරයකට දීර්ඝ කිරීමක් ද විය හැක. 


එමෙන්ම 'අඩු පැය ගණනක් වැඩකර ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීම' යන්න ලංකාවේ නිදහස් වෙළද කලාප, වෙනත් පෞද්ගලික ආයතනවල සේවයේ නියුක්තවන්නන්, වතුවල වැඩකරන ජනයා, වෙළද සැල්වල සේවයේ නියුක්තවුවන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට පමණක් අදාල ඉල්ලීමක්වීමට ද ඉඩතිබේ.

ඒ ලංකාවේ බොහොමයක් ක්ෂේත්‍ර නිලවශයෙන් කෙසේවෙතත් නොනිල මට්ටමින් 'අඩු පැය ගාණනක් වැඩකර ප්‍රමාණවත් වැටුපක් ඔවුන් කොහොමත් ලබාගන්න නිසාය.  

එහින් මැයි දිනයද, එහි හරයද, එහි පදනමද අපේ රටේදී නිරූපණයවන්නේද, ක්‍රියාත්මක වන්නේද  එහි ස්ථාපිත මුලික අර්ථයෙන් නොවනබව පැහැදිලිය. 

මේ සියල්ල ගැන මට නැවත කිවහැක්කේ  මැයි දිනයද ශ්‍රී 
ලංකාවේ සිදුකරන තවත් එක් 'දේශපාලන භක්ති අභ්‍යාසයක්' (political ritual practice) පමණක් බවය. ඒ ගැන මම මීට පෙරද ලියා ඇත. එය (ඇයි මේ සෙනග ?) නම් ලිපිය ඔස්සේ කියවිය හැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/04/2016
* ලිපියේ මුලින්ම එන ඡයාරූපය වමේ මැයි රැළියක වේදිකාව නිර්මාණය කල තැනත්තෙකු  ඡයාරූපයකි. එහෙත් අවසාන රූපය දකුණු අප්‍රිකානු වෘත්තීය සමිති කොංග්‍රසය (Congress of South African Trade Unions (COSATU)) සිය මැයි දින රැළියක් වෙනුවෙන් නිකුත්කල පොස්ටරයකින් උපුටාගත්තකි. COSATUය එරට යටත්විජිත පාලනයට විරුද්ධවද, සුදු වර්ගවාදයට එරෙහිවද, එරට මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතුකරන, අප්‍රිකාවේ ඇති විශාලතම වෘත්තීය සමිතියය. එම පොස්ටරය මම 2014 මැයි දිනය වෙනුවෙන් මාගේ facebook පිටුවේ පලකරන ලද්දකි. එම සටහන පහතින් වේ.


'මැයි දිනය වසරේ තවත් එක දිනයක් වී හමාරය. යුරෝපයේ බොහෝ රටවලට අද (මැයි 01) තවත් වැඩකරන දිනයකි. ඒ වෙනුවෙන් ඊ ළග සදුදා නිවාඩුව ලබා දෙන මුත් මැයි දිනයේ මුලික අර්ථය වූ 'ලෝක කම්කරු දිනය' යන්න එයින් වියැකී ගොස් තිබේ. ඒ වෙනුවට දැන් දැන් මැයි 01 යනු වසන්ත කාලයේ 'පළමු දිනය' ( first day of summer) නම් පුර්ව ක්‍රිස්තියානි (පෙගන් / Pagan) උත්සවයක් හා එය සම්බන්ද කරමින් පවතී. ශ්‍රී ලංකාවේ නම් අද දේශපාලන පක්ෂ වල වාර්ෂික වැඩ සටහනේ තවත් වැදගත් දිනයකි. එය අද වමේ නොවන පක්ෂ විසින් සිය බලය ප්‍රදර්ශනය කිරීමටත්, වමේ පක්ෂ විසින් වඩාත් රතු (වම) කව්ද ? යන්න මතු කිරීමට තවත් දැඩි උත්සාහයක නිරතවන දිනයකි. මේ සියල්ලේන්ම සිදුවී ඇත්තේ මැයි දිනයේ මුලික අර්ථය වියැකී යාමයි. එනම් වැඩ කරන, නිමක්නැති බිල් ගෙවන, හාල්මැස්සාගේ සිට බදු ගෙවන, ජනයා, 1886 ඇමෙරිකාවේ චිකාගෝ නුවර ජනයා මෙන්, එකට එක්ව නැගී සිටියොහොත් යම්තම් හෝ වඩා යහපත් තත්වයක් ගොඩනගා ගතහැකි යැයි ලොවට හෙලිකල වැදගත් දිනයක් යැයි යන්න අවදානයෙන් ගිලිහී යාමයි. එය අනුසමරණය කිරීමේ වැදගත්කම වනුවේ එය අප වැනිම වැඩ කරන, බිල් ගෙවන, බදු ගෙවන මිනිසුන් වෙනුවෙන් වෙන් වූ එකම දිනය නිසාය. ඒහින් මැයි දිනය අපේම දිනය බව අමතක නොකරමු !!!'

01/05/2014. මාකස් ප්‍රියන්ත පෙරේරා (facebook)

Wednesday, 20 April 2016

අනූවිය සපුරන එලිසබෙත් රැජිනගේ මීගමූ සංචාරය සහ මීගමු වෙරළ පිළිබද ගැටළුව


1954 අප්‍රියල් මස 10 සිට 21 වෙනිදා දක්වා යෙදී තිබු බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ පළමු ශ්‍රී ලංකා (Her majesty's Royal visit to  Ceylon) සංචාරයේදී  ඇය මීගමුවටද පැමිණ තිබේ. 



ඒ එවකට 'මීගමුව ගුවන් තොටුපල' ලෙස හැදින්වූ, අද බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපල ලෙස හදුන්වන, කටුනායක පිහිටුවා තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර හෙවත් මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර (Royal Air Force Negombo (RAF Negombo)) නිරීක්ෂනය කිරීමෙන් අනතුරුවය. 

බ්‍රිතාන්‍ය වින්සර් මාලිගයේ ඇති රාජකීය ලේඛනාගාරයේ (The Royal Archives at Windsor Castle) රැස්කර ඇති රාජකීය චාරිකා පිළිබද විස්තර එකතුවේ සහ ලංඩනයේ කිව් ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික ලේඛනාගාරයේ (The National Archives Kew, London) තොරතුරුවලට අනුව බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ මීගමු සංචාරය සදහා හේතුවූ කරුණු කිහිපයක් තිබුණි. එකක් නම් කොළබ සිට කටුනායකටත්, නැවත කටුනායක සිට කොලබටත් ආපසු යන ගමනේදී ඇයට විවේකයක් අවශ්‍යබවත්, ඒ සදහා හොදම ස්ථානය මීගමුවයයි ඇයගේ ගමන සංවිධානය කල පිරිස් ගෙනතිබු තීරණය. අනෙක නම් ඇගේ සීයා වූ පස්වෙනි ජෝර්ජ් රජ සහ මේරි බිසව (King George V and H.M. Queen Mary) 1901 අප්‍රියල් 12-15 දිනවල ලංකාවේ සිදුකල සංචාරයේදී මීගමුවට පැමිණ තිබීම ගැන සංවිධායකයන් සැලකිල්ලට ගෙන තිබීමය. (පස්වන ජෝර්ජ් රජගේ ලංකා ගමන සහ ඔහුගේ සංෂිප්ත මීගමු ගමන ගැන පසු අවස්ථාවක ලිවීමට අපේක්ෂා කරමි).

තවද එම සංචාරයේදී ජෝර්ජ් රජ නවාතැන්ගත් මීගමුව නව තානායම (Negombo New Rest House) 1940 දශකය වනවිට රටරටවල වෙළද දැන්වීම් පළකරන, ජාත්‍යන්තර වශයෙන් මුහුදු මත්ස්‍ය ආහාර පිලිගැන්වීම සදහා ප්‍රසිද්ද තානායමක්වී තිබුණි. එම තානායමට පසකින් තිබු පාර King George Drive ලෙසද නම් කර තිබුණි. අවට මීගමු වෙරළ තීරය ලෝක ප්‍රසිද්ද චිතාකර්ශනීය වෙරළක් (world famed glamours beach Negombo) ලෙස දැන්වීම් පලව තිබුණි. මේ සියළු කරුණු කටුනායක පිහිටුවා තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරැව එලිසබෙත් රැජිණව ඉන් සැතපුම් 5 කට එපිටින් පිහිටි මීගමුවේ සංචාරයක් සදහා යොමුකිරීමට හේතුවූ බව පෙනේ. (එම තානායම ගැන සහ මීගමු වෙරල ගැන එවකට පළවූ දැන්වීමක් පහතින් වේ)
ඒ අනුව රැජිනගේ මීගමු ගමන කටුනායක රාජකීය ගුවන් හමුදා කදවුරේ සිට මෝටර් රථ පෙරහැරකින් මීගමුව දක්වා දියත්වී ඇත. 

මග දෙපස රැස්ව සිටි ජනයාට ආචාර කරමින් පැමිණි ඇයව මීගමු ලුනුකඩේ හන්දියේ දී එවකට මීගමුවේ  නගරාධිපති වරයා වූ A.N. De Abrew අබේසිංහ (Abeysinghe) මහතා විසින් පිළිගෙන තිබේ. සෙමින් ඇදුන රිය පෙරහට අතරමැදි අවස්ථාවන් කිහිපයකදීම මල් කළබ පිලිගැන්වීම්ද සිදුකර ඇත.

අනතුරුව ගමනේ ප්‍රධාන නැවතුමවූ මීගමුව කොටුව පිටිය අසල වෙරළේ ඇති මීගමුව නව තානායමේ කාමර අංක 07 හී ඇය ගිමන් නිවාගැනීම සදහා නවාතැන් ගෙන තිබේ. එහිදී ඇයට නැවුම් මුහුදු මත්ස්‍යයින්ගෙන් සකස්කල ප්‍රණීත ආහාරත් විවිධ බීම වර්ගත් සංග්‍ර කර තිබේ. පාස්කු සමයවූ එකල මීගමුවේ ප්‍රධානතම සංස්කෘතික අංගයක්වන පාස්කු නාට්‍යවල එන ජවනිකාවක් සහ ගීත කිහිපයක් මීගමු දූවේ පාස්කු නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත්කර තිබේ. තවද ප්‍රදේශයේ ප්‍රභූවරු කිහිපදෙනකුද, එංගලන්ත සභාවේ සහ කතෝලික සභාවේ පියතුමන්ලා තිදෙනෙකුද පැමිණ ඇයට ආචාරකල බව සදහන්ය. ඇය ගිමන් නිවාගැනීම සදහා නවාතැන් ගෙන ඇත්තේද ඇයගේ සීයා වූ පස්වන ජෝර්ජ් රජ සහ ආච්චී වූ මේරි බිසව නවාතැන්ගත් තානායමේම බව ඉහත ලේඛනාගාරවල ඇති වාර්තාවලට අනුව පැහැදිලිය.

ඇයගේ මෙන්ම ඇයගේ සීයාගේ සංචාරයත් නිසා මීගමුවේ නව තානායම (Negombo New Rest House) ලංකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයෙත්, විවිධ රටවලත් සංචාරකන්ගේ විශේෂ අවදානයක් දිනාගෙන තිබේ.  මීගමුවේ මෙම නව තානායම සදහා පමණක් post-card කිහිපයක්ම නිකුත්කර තිබුනේ එහි නවාතැන් ගැනීම ඔවුන්ට සංඛේතාත්මක වශයෙන් වැදගත්වූ නිසා වියයුතුය. මේම ලිපියේ මුලින් පලවන ඡයාරූප අතර ඉන් කිහිපයක්ද වේ.   


බ්‍රිතාන්‍ය දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ පැමිණීමට පෙර මෙරට ප්‍රථම නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ නික්මයාමේ භෝජන සංග‍්‍රහය, එවකට අගමැතිවරයා වූ D.S. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වා ඇත්තේද මෙම මීගමුව නව තානායමේම බව මම මීට පෙර ලියූ 'ලංකාවේ ප්‍රථම නිදහස් සැමරුම මීගමුවේ පැවැත්වූ ආකාරය' ගැන ලියූ ලිපියේ දැක්වුවෙමි (එය මෙතනින් කියවිය හැක).  

එහෙත්, ඒ තානායමට පැමිණි සුවිශේෂී අමුත්තන් ගැන මතකයත්, ගාලුමුවදොර Galle Face හෝටලය සේ නැගී සිටිය හැකිව තිබු සම්භවනීය අමුත්තන්ගේ නවාතැන්පොලක් වූ අනගිභවනීය මීගමුවේ නව තානායමේ ඉතිහාසයත්, එදා ලෝක ප්‍රසිද්ද චිත්තාකර්ෂ්නීය වෙරලක් ලෙස හැදින්වූ  මීගමුවේ වෙරළත් (world famed glamours beach Negombo) අද විනාශ වී ගොස් තිබේ.

ඒ මෙම තානායම අවට වෙරල කරවල මුදලාලිලා දෙදෙනෙකුට දේශපාලන අධිකාරිය විසින් පවරාදී ඇති නිසාය. මෙම කරෝල මුදලාලිලා දෙදෙනා විසින් අසල වෙරළ තීරයේ පරිසරය වනසමින්, අවට පරිසරයම දුගන්දයෙන් ජරාජීරන කරමින් කරෝල සැකසීමෙන් සිදුකරන විනාශය ගැන කොතෙක් දෙනාගේ ඇස් ඇරලුවද කිසිවෙක් කිසිවක් නොකර සිටී. ඒ පවතින දේශපාලන බලපෑම් නිසා වියයුතුය. තවද මීගමු මහ අධිකරණ සංකීරණය ඇත්තේ මීටර් සීයක්වත් දුරින් නොවේ. එහෙත් එහි සිටින මහත්වරුන්ටද මේ සිදුවන විනාශය ගැන කිසිදු හාන්කවිසියක් නැත. ඔවුහුද ඕනෑම දුගන්දයක්, විනාශයක් මීගමු ජනතාව මෙන්ම කිසිවක් කල නොහැකිව හොදින් විදදරාගෙන සිටිති.  ඒ මීගමුවේ සෙසු වෙරල තීරයන් හොටල් ව්‍යාපරිකයන් සහ දේශපාලකයන් විසින් අල්ලාගෙන සිටීමට අමතරවය. රජයේ තානායමක් ලෙස පවරාගැනීමෙන් අනතුරුව මෙම තානායම විවිධ දේශපාලන සම්බන්දකම් මත විවිධ පුද්ගලයන්ට බදුදෙමින් ඇති අතර ඔවුන් ද මෙහි නඩත්තුව පිලිබදව කිසිදු සාධනීය කටයුත්තක් නොකිරීම නිසා පැරණි ලන්දේසි යුගයේ සිට පැවැත එන මෙම නව තානායම් ගොඩනැගිල්ලද දැන් ගරා වැටෙමින් තිබේ. 

මේ සියල්ල සාකච්ජා කලේ හුදෙක් රජවරුන්ගේ, සිටුවරුන්ගේ චාරිකා ගැන පුනපුනා කීමට නොවේ. මීගමුවට ඇති සීමිත එතිහාසික සහ ස්වභාවීක වටිනාකම් කිහිපය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පසක් කරදීමටය. මෙම වටිනාකම් ආරක්ෂා කරගැනීමට කිසිදු පියවරක් නොගෙන, ඒවා විනාශයට යෑමට  ඉඩදී 'මෙගා නගර (Megapolis) සංවර්ධන සැලැස්ම'  යටතේ මීගමුව සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කරනවායැයි කීම අරුත් සුන් කථා පමණි. (පහතින් ඇත්තේ අද මෙම නව තානායමේ, රැජින නවාතැන් ගත් කාමරයේ සහ අවට වෙරළ තීරයේ වර්තමාන තත්වයයි)
මාකස් ප්‍රියන්ත පෙරේරා
18/12/16.

Thursday, 14 April 2016

සිංහල අළුත් අවුරුද්ද ගැන විචාරාත්මක හැදෑරීමක් තිබේද?

සිංහල ජනයාගේ ප්‍රධානතම සංස්කෘතික උළෙල වන සිංහල අළුත් අවුරුද්ද ගැන විචාරාත්මක අදහස් එතරම් සාකච්ඡාවට ලක් නොවෙන බවක් පෙනේ. ඒ එය පාරම්පරිකව පැවැත එන්නක් නිසා විචාරාත්මකව විමසා බැලීම  වැඩකට නැත්තක්යැයි සිතන නිසාද, නැතහොත් එසේ විමසා බැලීමක් තුල මෙතෙක් පැවති පිළිගැනීම් අර්බුධයට ගොස්, එහි ඇති ආශ්වාදය නැති කරතැයි යනුවෙන් සිතන නිසාදැයි නොදනිමි.  

විශේෂයෙන්ම, රටේ ප්‍රධාන ආගමීක, ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩනැගීමට මුලිකවුයේයැයි සලකන බුද්ධාගම තුල නැකත් ශාස්ත්‍රයට පිළිගැනීමක් නොමැති පසුබිමක පවා සිංහල අළුත් අවුරුද්ද තවදුරටත් 'සූර්යයා මේස රාශියෙන් මීන රාශියට' පැමිණීම පදනම්කරගෙන චිරාගතව පැවතියේ කෙසේදැයි යන්න විමසාබැලීම වැදගත්ය. එවැනි විමසා බැලීමකදී එක් අතකින් ලංකීය සංස්කෘතියත් බුද්ධාගමත් අතර පැවති සම්බන්ධයේ මෙතෙක් කථා නොකළ පැතිකඩක් හෙළිකරනු නියතය. 
  
නොනගතයෙදී ආගමිකවතාවත්වල යෙදීමට පන්සලටයෑම සහ හිසතෙල්ගෑම වැනි උත්සව පන්සල් මට්ටමින් සිදුකිරීම වැනි කරුණු  කිහිපයක් හැරුනුකොට බුද්ධාගමත්, පන්සලත් සමග 'සිංහල අළුත් අවුරුද්දට' ඇති වෙනත් සම්බන්දයක් නම් මට නොපෙනේ. එහින් පන්සලේ සහ බුද්ධාගමේ මැදහත්වීමකින් තොරව, ඉන් පරිබාහිරව, මෙවැනි මහා සංස්කෘතික සම්ප්‍රදායක් මේසා කාලයක් නොනැසී පැවතිම පුදුම සහගතය.

සාමාන්‍යයෙන් සිදුවෙනුවේ, විශාල ආගමික ප්‍රවාහයන් විසින් විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් යටපත්කිරීම හෝ  එකී ආගමීක අනන්‍යතාවය තුල නැවත ඉහතකී විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමය. යුරෝපයේ ක්‍රිස්තියානි ආගමික ප්‍රවාහය තුල  ඉහත ආකාර යටපත්කිරීම මෙන්ම වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමයන දෙවර්ගයම සිදුවී තිබේ. මැදපෙරදිග ඉස්ලාම් ආගමික ප්‍රවාහය තුල නම් බොහෝදුරට සිදුව ඇත්තේ සම්පුර්ණයෙන්ම පාහේ විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් යටපත් කිරීමය. 

එහෙත් ශ්‍රී ලංකාව තුල සිංහල ජනයාගේ ප්‍රධානතම සංස්කෘතික උළෙල ලෙස තවදුරත්  සිංහල අළුත් අවුරුද්ද  බුද්ධාගමේ ඉගැන්වීම් සහ හරපද්ධතීන් වලට පරිබාහිරව, 'සූර්යයා මේස රාශියෙන් මීන රාශියට පැමිණීම' වැනි නැකත් ශාස්ත්‍ර ආදිය පදනම් කරගනීමින් පැවතීම තුල කියවෙනුවේ සිංහලයන්ගේ සංස්කෘතිය බුද්ධාගම විසින් යටපත් කිරීමකින් හෝ වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමකින් තොරව පැවති බවක්ද? එනම් එය දෙකක් බවද?

අනෙක් අතට  බුද්ධාගමෙන් තොරවද සිංහලයන්ට සංස්කෘතියක් පවතින බවක්ද මෙයින් කියවේ. තවද සිංහලයන්ගේ සංස්කෘතිය අනිවාර්යෙන්ම බෞද්ධ නොවන බවක්ද මෙම 'සිංහල අළුත් අවුරුද්ද'  ඇසුරින්ම ඉදිරිපත් කලහැක.

කලකට පෙර සිංහලයන්ගේ ප්‍රධාන සංස්කෘතික උලෙල, ක්‍රිස්තියානින්ගේ නත්තල මෙන්, සිය ආගමේ ශාස්තෘවරයාවන බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් උත්සවය වියයුතුයැයි අදහසක් පත්තරවල පලවන්නට විය. එහෙත්, චිරාත්කාලයක් පැවති සංස්කෘතික සම්ප්‍රදායක් රටේ ප්‍රධාන ආගමට පවා එසේ වෙනස්කල නොහැකි බවක් ඉහත අදහස යටයෑම තුල පෙනේ. 

එමෙන්ම, සිංහලයන් මෙම 'සිංහල අළුත් අවුරුද්ද' උරුමකරගත්තේ 'යක්ෂ ජනයාගේන්' බව නලින් ද සිල්වා මහතා ලියා තිබුබව  මතකය. එහෙත් එය හින්දු සංස්කෘතික සම්ප්‍රදායක්ගෙන් පැනනැගුනක් බව පැහැදිලිය. සිංහලයන් 'අළුත් අවුරුද්ද' සමරණ සමයේම දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ ද්‍රවිඩ හින්දුන්ද, මුස්ලිම් ආගම පැමිණීමට පෙර හින්දු සහ බෞද්ධ සම්මිශ්‍රණයක් පැවති බෙන්ගාලයේ, තායිලන්තයේ, බුරුමයේ, ලාඕසයේ සහ කම්භෝජයේ වෙසෙන ජනයාද අප්‍රියල් 13/14 අළුත් අවුරුද්ද සැමරීම ඊට පැහැදිලි උදාහරණයකි. එය කෘෂි නිෂ්පාදනයේ අළුත් අස්වනු නෙලාගැනීම පදනම් කරගත්  කෘෂි කර්මාන්තය හා බැදි උත්සවයකට වඩා හින්දු ආගමික සම්ප්‍රදායන් මත පැනනැගී සංස්කෘතික අංගයකි. 

මේ කරුණු හමුවේ,  සිංහල අළුත් අවුරුද්ද පිළිබදව සිදුකරන  විචාරාත්මක අධ්‍යනයකදී සිංහල බෞද්ධ ජාතිකත්වයක් ගොඩනැගීමේ ව්‍යපෘතිය අර්බුධයට යනබව පෙනෙනවා පමණක් නොව, සිංහලයන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ බහුතරයකගේ ප්‍රධාන ආගමවන බුද්ධාගමත් අතර විශාල පරස්පරයක් පවතින බවක්ද නිරූපණයවේ.

එනම් සිංහලයන්ට සිය රටේ ප්‍රධාන ආගමවන බුද්ධාගමින් පරිබාහිරව වෙනත් සංස්කෘතික ජීවිතයක් පවතින බව පෙනේ. තවද එය ඔවුන්ගේ අවුරුදු කෑම මේසයේ බොහෝ කෑම මෙන් වෙනත් සංස්කෘතියන්ගෙන් පැනනැග මෙහිම අනන්‍යවුවක් බවද කියවේ.  එය රටේ වෙනත් ආගම් අදහන ජනකොටස්වන හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආදීන්ට නොමැති තත්වයකි. මන්දයත්, එම ආගම් අදහන ජන කොටස්හී 'අළුත් අවුරුදු' හෝ වෙනත් ප්‍රධාන සංස්කෘතික අංගයන් සියල්ලම පාහේ යෙදෙනුයේ සිය ආගම හා බද්ධවය. ඇතැම්විට මෙය සිංහල ජනයා පෙලන පරස්පරයන්ගේන් එකක් හෝ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයේ ඇති සුවිශේෂී තත්වයක් වන 'පරස්පරයන්ගේ එකතුව' යැයි දැක්විය හැක්කක්ද විය හැක. එනයිම, ලංකාවේ සිංහල අළුත් අවුරුද්ද ගැන සිදුකරන විචාරාත්මක විමසා බැලීම්, සවිස්තරාත්මක මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යනයන්ද වඩා වැදගත් බව ඒත්තුගන්වනු නොඅනුමානය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
14/04/2016.

Tuesday, 5 April 2016

සුද්දාගේ අර්බුධය ක්‍රිකට් ඇසුරින් තේරුම්ගැනීම

විස්සයි 20 ලෝක කුසලානය පසුගියදා අවසන්විය. වැඩි සද්දයක් නැතිව සිටි සුද්දා පරාජයට පත්විය. එහෙත් ඔවුන්ට ඒගැන එතරම් විමතියක් නැත. කොහොමටත් පාපන්දු ජනප්‍රියම ක්‍රීඩාවවන එංගලන්තයේ සිය ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගයතෙක්ම පැමිණීම ගැන ඔවුන්ට සතුටුවිය හැක. කලක් ඔවුන් ස්වාමීත්වයදැරූ  අනෙක් බොහෝ දේවල්වල මෙන්ම  ක්‍රිකට් ක්‍රීඩාවේන්ද ඔවුන්ගේ ආධිපත්‍ය ගිලිහීගොස් ඇතිබව ඔවුන් දනී. එහින් කලක් සිය යටත්වැසියන්වූ කළු ජාතික බටහිර කොදෙව්වන්ගෙන් මෙන්ම බෙන්ගලින්ගෙන්ද, ඉන්දියානුවන්ගෙන්ද, පාකිස්ථානුවන්ගෙන් හෝ ලාංකීකයන් අතින්ද පරාජයවීම ගැන ඔවුන්ට දැන් මහත් අර්බුධයක් නැත. ඒ ඔවුන්ගේ කණ්ඩායම අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව දුර්වල බව ඔවුන් දන්නා නිසාය. ඒ ප්‍රතිවාදියාට වඩා ශරීර ශක්තිය අතින්වත්, හැකියාව අතින්වත්, තාක්ෂණය, දැනුම හෝ බුද්ධිය අතින්වත් නොවනබව  ඔවුන් දනී. සුද්දාට ඇති ප්‍රශනය අදට ගැලපෙන ලෙස තමන්ද, සිය කණ්ඩායමද නැවත ඔසවා තබන්නේ කෙසේද යන්නය. ඒ සදහා ඔවුන් සහ සිය ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දක්වන විචාරකයන්ගේ සහයෙන් කලින්කලට විවිධ  තියරි (theory) ගොඩනගන ලදී. 

කාලයක් ඔවුන් "bowl dry" තියරිය භාවිතා කළේය. එය පන්දුව දෝලනය නොවනවිට පිතිකරුවන් බෝලය හබායෑමට පෙලබවීම මගින් විකට් ලබාගෙන පන්දුයවන්නන්ගේ බලයෙන් ගොඩයෑමය. පසුව 'daddy hundred' තියරිය  භාවිතාවිය. එමගින් ක්‍රීඩකයන් හැකිතරම් විශාල ශතකයන් කරා ගොස් පිතිකරු බලය ගොඩනැගීමට යෑයුතුයැයි යෝජනා කළහ. ඊටත් පසුව 'no-fear cricket' තියරිය ආදේශවිය. එයින් යෝජනාකලේ පීඩාවකින් තොරව ක්‍රීඩකයන් නිදහසේ සිය දක්ෂතා දැක්වීමට දිරිමත් කිරීම තුල සාර්ථකත්වයක් ලැබීමය. දැන්  'new era' cricket නමින් නව තියරියක් පැමිණ තිබේ. මෙවර විස්සයි20 ලෝක කුසලානයට ඔවුන් ඉදිරිපත්වුයේ මේ අදහස පෙරටු කරගෙනය. එහෙත් මෙම 'new era' cricket යන්න තවමත් එතරම් පුලූල්ව අර්ථදක්වා නැත. Joe Rootට අනුව නම් මෙම  'new era' cricket යන්න තුලද අදහස්වන්නේ පැරණි තියරියක් වන 'attacking cricket' යන්නය. එහෙත් නායක Eoin Morganට අනුව නම් මෙම 'new era' cricket යන්න නව ප්‍රවේශයකි. එය අනාගතයේදී දැකිය හැක්කකි. 

කෙසේවේතත්, මෙම එංගලන්ත කණ්ඩායමේ නවතාවයක් නම් දැකිය හැක. එනම් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් බහුතරයකගේ සම්භවය බ්‍රිතාන්‍ය පැරණි යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට දිවයෑමය.  නායක Eoin Morgan අයර්ලන්තයේද,  Jason Roy දකුණු අප්‍රිකාවේද, Ben Stokes නවසීලන්තයේද, Chris Jordan බාබඩෝස්හීද උපත ලැබුවන්ය. කාටත් පැහැදිලි ලෙස  Rashid සහ Moeen Ali  පාකිස්ථාන කාශ්මීර සම්භවයකින් පැවැත එන්නෝය. ක්‍රිකට් මෙන්ම එංගලන්තයේ බොහෝ ක්ෂේත්‍රවද මෙම යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සම්භවය කැපීපෙනේ. ඒ අනුව මෙම 'new era' යන්න තුල ඉහත  කොටසට හිමිදාකත්වය නිරූපණයවේ. 

තවද, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වියයුතුද?නැත්ද? යන්න සම්බන්දයෙන් පැවැත්වීමට යෝජිත ජනමත විචාරනයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුයැයි (Brexit) යෝජනා කරන පිලේ නායකත්වය දරන,ලන්ඩනයේ නගරාධිපතිවරයාවන Boris Johnsonද බ්‍රිතාන්‍යයේ 'new era' වක් ගැන කථාකරයි. එය ඔවුන්ගේ පැරණි යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාගේ සම්මිශ්‍රණයකින් සැදුම්ලද්දක් වියයුතුබව ඔහු අවස්ථා කිහිපයකදීම දක්වා තිබේ. එහෙත් සුද්දා වැඩිපුරම ආගමන-විගමන නීති තදකරන්නේද එම කොටසටමය. ඒගැන නම්  Boris Johnson ලාගේ කිසිම කථාවක් නැත. 

සුද්දාගේ මේ එකිනෙකට වෙනස්, පරස්පර ප්‍රතිපත්ති ගැන සැවොමදනී. විශේෂයෙන්ම අද මානව හිමිකම් හෝ කුමන ධනාත්මක නිර්නායකයන් ඉදිරිපත්කලද සුද්දා ඉතිහාසගතව සිය යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාට, ඔවූන්ගේ රටවලට සැලකුව ආකාරය මෙන්ම තවම සලකන ආකාරය ගැනද එම ජනයාට හොද මතකයක් තිබේ. ඒහින් කළු ජාතික බටහිර කොදෙව්වන් අතර තරගයකදී මෙන්ම බෙන්ගලින්, ඉන්දියානුවන්, පකිස්ථානුවන් හෝ ලාංකීකයන්  අතර තරගයකදී ද නැවත එලියට එන්නේ මෙම සුද්දා ගැන ඇති විරෝධයය. බටහිර කොදෙව්වන්ගේ සාර්ථකත්වයේ රහස එය බව Fire In Babylon (2010) නම් BBC වාර්තා වැඩසටහනින් (Documentary) කියවේ. ශ්‍රී ලාංකීකයන්ගේ 1996 ලෝක කුසලාන සාර්ථකත්ව පිටිපස තිබු රහසද ඔස්ට්‍රේලියානු 'ඩුප්ලිකෙට්' සුද්දාගේන් එල්ලවුණු පීඩාව එරෙහිව නැගී සිටීම බව නොකියමනාය. 

ඇත්තටම, සුද්දාගෙ අර්බුධය වන්නේ ඔවුන්ගේ යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාට, ඔවූන්ගේ කණ්ඩායම්වලට, ඔවූන්ගේ රටවලට ඇති ඉහත ආකාර මානසික උත්තේජනයක ඔවුන්ට නැතිවීමය. ඔවූන්ට සිය හමේ ඇති උදාරබව හෝ සිය උදාර ඉතිහාසය ගැන තවත් කථාකල නොහැක. මන්දයත්, එය අනෙකා ප්‍රකෝපකරන, අපකීර්තිමත් ගදගැසුණු ඉතිහාසයක් නැවත මතක්කිරීමක්වන  නිසාය. අඩුම තරමින් අතීතයේමෙන් 'New Jerusalem' යැයි කියමින් තමන්ගේ වර්ගයා හෝ රට ගැනද අලංකාර වාක්‍යය තවත් කිවනොහැක. එයද පිටස්තරයන්ගෙන් පිරීගොසිනි. 

එහෙයින් එංගලන්තයේ සුද්දාට තම රටටත් සිය කණඩායමත් නැවත ඔසවා තැබීමට මානසික උත්තේජනයක් සපයන නව ප්‍රවාදයක් (thesis) අවශ්‍ය. ඔවුන්ගේ අර්බුධයවන්නේ එවැන්නක් ගොඩනගා ගැනීමට තවම නොහැකිවීමය.

ලංකාවේ නම් 'ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට නොහැකිවීම' යනුවෙන් කියූවිට එකවරම  මතකයට එන්නේ නලින් ද සිල්වා ඇදුරුතුමා වියයුතුය. ඒ ඔහු 'සිංහලයාට ප්‍රවාදයන් ගොඩනගා ගැනීමට නොහැකි යැයි' නිතර ලියන නිසාය. එහිදී ඔහු ප්‍රවාදය (thesis) යන්න යොදාගනුවේ තියරි (theory) වෙනුවටම බව ලියා ඇත ('මම තියරී යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි). ඔහුගේ අනෙකුත් බොහෝ මත පිළිබද මෙන්ම මෙලෙස තියරියත් (theory) ප්‍රවාදයත් (thesis) එකක් ලෙස සැලකීමේද අවුලක් තිබේ. එහෙත් තියරියේත් (theory) ප්‍රවාදයේත් (thesis) ඇති වෙනස්කම් කථාකිරීමට වඩා ඔහු 'ප්‍රවාදය' යොදාගන්නේ (භාවිතාර්ථයෙන්) 'යමක් පිළිබද පුළුල් අදහසක්' යන්න විස්තර කිරීමට බව පිළිගැනීමවටී. ඒ අනුව ඔහු 'සිංහලයාට ප්‍රවාදයන් ගොඩනගා ගැනීමට නොහැකි' යැයි කීවිට ඉන් අදහස් වන්නේ සිංහලයාට 'යමක් පිළිබද පුළුල් අදහසක් ගොඩනගා ගැනීමට නොහැකිවීම' යන්න විය යුතුය. ඔහු යෝජනාකරන ප්‍රවාදය (ඔහුගේ අර්ථයෙන් තියරිය) අනෙකක් නොව ලංකාවේ සියලු ප්‍රශ්නවලට හේතුව සුද්දා සහ ඔවුන්ගේ යටත්විජිතවාදී ප්‍රතිපාත්තිය. 

එහෙත්, ලාංකීකයන්ට මෙන්ම සුද්දාටද, වෙනත් කිසිවෙකුටද, සිය ඉතිහාසය වෙනස්කල නොහැක. කල හැක්කේ පවත්නා ගැටළුවලට පිළිතුරු සෙවීමට, ඉතිහාසය තවදුරටත් තොරොම්බල් නොකරන, නව තත්වයන්ට ගැලපෙන නව  ප්‍රවාදයක් ගොඩනගා ගැනීමය. ඒ සදහා මුලික වශයෙන් අවශ්‍යවනුවේ දැන් ඇත්තේ නව කාලයක් ('new era') බව තේරුම්ගැනීමය.  එංගලන්තයේ මෙන්ම ලංකාවේද ක්‍රිකට්වලට මෙන්ම සෙසු සියල්ලටම අවශ්‍යවන්නේ එයය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
05/04/2016
ජයාරූපය,11/06/14 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරගයේදී ඇතිවූ සිද්ධියක් ගැන මා මාගේ ලියූ facebook පිටුවේ ලියූ සටහනකට භාවිතා කල ජයාරූපයකි. එහි විස්තරයද පහතින් වේ. 


Captain Cook !!! 

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර ටෙස්ට් තරගයට පෙර නැවත වතාවක් ශ්‍රී ලංකාව ජෝස් බ්ට්ලර් (Jos Buttler)ව දවාගත් ආකාරය පිලිබදව සාකච්ඡාව පැනනැගී ඇත. එංගලන්ත පිලේ නායක අලෙස්ටෙයා කුක් (Alastair Cook)ට අනුව ජෝස් බ්ට්ලර් ගේ සිද්ධියේදී 'ශ්‍රී ලංකාව සිය සිමාව ඉක්මවා කටයුතු කලේ යැයි’ දක්වයි. ඒයින් ඔහු ලෝකයට කියන්නට උත්සහ කරන්නේ එංගලන්තය එවැනි අවස්ථාවක එසේ නොකරන, තවදුරටත් 'ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණය' රැක ගනිමින්, පිළිගත් නීතිවලට අනුවම ක්‍රීඩාවේ නිරතවන කණ්ඩායමක් වන බවද ? එවැනි ප්‍රකාශ පිළිගැනීමට සුදානම් කවුද?

එවැනිම කුක් (Cook) කථාවක් ඉතිහාසයේද තිබේ. ඒ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික දේශගවේෂකයකු වන කැප්ටන් ජේමස් කුක් (Captain James Cook) ගැනය. ඉංග්‍රීසි වාර්තා වලට අනුව 1779 ජනවාරි 17 දින හවායි (Hawaii) දුපත්වාසීන්ගේ පුජනීය‘මොකැහැයි’ දිනයකදී (festival of Makahiki) එම දුපත්වලට ගොඩබසින කැප්ටන් ජේමස් කුක්ව (Captain James Cook) තම ලෝනෝ (Lono) දෙවියන්ගේ නැවත පැමිණීමක් සේ සලකා උත්සවත්ශ්‍රීයෙන් පිළිගන්නා හවායි වැසියන් පසුව ඔහුව කෘර ලෙස මරාදමන ලදී. එය සුදු නොවන ජාතීන්ගේ මේලේච්චත්වයට, නොදියුණුකමට සහ අශිෂ්ට කමට හොද උදාහරණයක්යැයි පසුගිය සියවස දක්වාම ඔවුන් පිළිගන්නාලදී. නමුත් පසුගිය වසර තිහක කාලයතුල කල පරීක්ෂණ මගින් එම මතය වැරදි බව පිළිගෙන ඉතිහාස විෂයමාලාවේද එය නිවැරදි කරන ලදී. එනම් කැප්ටන් කුක්ගේ මරණයට හේතුව ඔහුගේ කෘරකමත්,අශිෂ්ටමත් සහ ඔහුගේ ආධිපත්‍යවාදී හැසිරීමත් බව පිළිගන්නා ලදී. මේ පිලිබදව තවදුරටත් අධ්‍යනය කල, ඇමෙරිකාවේ වාසයකරන, ශ්‍රී ලංකාවෙන් බිහිකල, විශිෂ්ඨ සමාජ සහ මානව විද්යාීඥනයෙක් වන ගනනාත් ඔබේසේකර (Gananath Obeyesekere) මහතාගේ 'The Apotheosis of Captain Cook: European Myth making in the Pacific' (1997) කෘතිය ප්‍රශ්න කලේ 'වෙනත් මිනිසුන්, සුදු මිනිසුන්ව ශිෂ්ට සම්පන්න, වීරත්වයෙන් සහ දේවත්වයෙන් පිදුම්ලද පිරිසක් ලෙස සැලකුවාද ? එසේත් නැත්නම් එය සුදු මිනිසුන් ඔවුන්ව සතුටුකර ගැනීම සදහා ඔවුන් විසින්ම ගොඩනගා ගනු ලැබූ කල්පිතයන්ද යන්නයි. ජේමස් කුක්ගේ කතන්දරයට අනුව නම් එය සුදු මිනිසුන් විසින්, ඔවුන්ගේ වැරදි වසාදමමින්, ඔවුන්වම උසස් කරගැනීමට ගේතුවක් බව දැන් පැහැදිලිය. එහෙත් අලුත් කුක්ට, අලෙස්ටෙයා කුක්ට, කැප්ටන් ජේමස් කුක් ගේ කථාවේ මෙන්, ඒත්තුගැන්විය හැකි කිසිවක් නොවිනි. ඒ ජයග්‍රහණය හැර වෙන කිසි අරමුණක් දැන් ක්‍රීඩාවේ නොමැති බවත්, එය සෑම කණ්ඩායමකටම පොදු බවත්, ජයග්‍රහණය ඔවුන් නියෝජනය කරන රටේ හෝ ජාතියේ අනන්‍යතාවය සහ වෙනත් වාසි රැසක් හා බැදී තිබෙන බවත් අප සියල්ලන්ම දන්නා නිසාම පමණක් නොවේ. ඒනම්, කැප්ටන් ජේමස් කුක්ගේ කාලයේ මෙන් 'සුදු (ජාතිකයන්) නිසා, තමගේ ජයග්‍රහණය සදහා ගන්නා සෑම ක්‍රියා මාර්ගයක්ම, නිවැරදියැයි පිළිගන්නට හෝ ඒ සදහා ගන්නා සෑම ක්‍රියා මාර්ගයක්ම නිවැරදියැයි කියන්නට හෝ පිරිසක් එංගලන්තයෙවත්, බටහිරවත්, මුළුලෝකයමත් දැන් ඒහැටි නොමැතිවීමය. එහෙත් අපේ රටේ නම් 'හරිදේ හරි කීමටත්, වැරදි දේ වැරදියි' කීමටත් පිරිස නැතිවී ගියේදැයි සිතෙන වාර අනන්තයි නේද ?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
11/06/14.
(https://www.facebook.com/photo.phpfbid=323980927753658&set=pb.100004252602057.-2207520000.1459836259.&type=3&theater)