This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 14 April 2016

සිංහල අළුත් අවුරුද්ද ගැන විචාරාත්මක හැදෑරීමක් තිබේද?

සිංහල ජනයාගේ ප්‍රධානතම සංස්කෘතික උළෙල වන සිංහල අළුත් අවුරුද්ද ගැන විචාරාත්මක අදහස් එතරම් සාකච්ඡාවට ලක් නොවෙන බවක් පෙනේ. ඒ එය පාරම්පරිකව පැවැත එන්නක් නිසා විචාරාත්මකව විමසා බැලීම  වැඩකට නැත්තක්යැයි සිතන නිසාද, නැතහොත් එසේ විමසා බැලීමක් තුල මෙතෙක් පැවති පිළිගැනීම් අර්බුධයට ගොස්, එහි ඇති ආශ්වාදය නැති කරතැයි යනුවෙන් සිතන නිසාදැයි නොදනිමි.  

විශේෂයෙන්ම, රටේ ප්‍රධාන ආගමීක, ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩනැගීමට මුලිකවුයේයැයි සලකන බුද්ධාගම තුල නැකත් ශාස්ත්‍රයට පිළිගැනීමක් නොමැති පසුබිමක පවා සිංහල අළුත් අවුරුද්ද තවදුරටත් 'සූර්යයා මේස රාශියෙන් මීන රාශියට' පැමිණීම පදනම්කරගෙන චිරාගතව පැවතියේ කෙසේදැයි යන්න විමසාබැලීම වැදගත්ය. එවැනි විමසා බැලීමකදී එක් අතකින් ලංකීය සංස්කෘතියත් බුද්ධාගමත් අතර පැවති සම්බන්ධයේ මෙතෙක් කථා නොකළ පැතිකඩක් හෙළිකරනු නියතය. 
  
නොනගතයෙදී ආගමිකවතාවත්වල යෙදීමට පන්සලටයෑම සහ හිසතෙල්ගෑම වැනි උත්සව පන්සල් මට්ටමින් සිදුකිරීම වැනි කරුණු  කිහිපයක් හැරුනුකොට බුද්ධාගමත්, පන්සලත් සමග 'සිංහල අළුත් අවුරුද්දට' ඇති වෙනත් සම්බන්දයක් නම් මට නොපෙනේ. එහින් පන්සලේ සහ බුද්ධාගමේ මැදහත්වීමකින් තොරව, ඉන් පරිබාහිරව, මෙවැනි මහා සංස්කෘතික සම්ප්‍රදායක් මේසා කාලයක් නොනැසී පැවතිම පුදුම සහගතය.

සාමාන්‍යයෙන් සිදුවෙනුවේ, විශාල ආගමික ප්‍රවාහයන් විසින් විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් යටපත්කිරීම හෝ  එකී ආගමීක අනන්‍යතාවය තුල නැවත ඉහතකී විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමය. යුරෝපයේ ක්‍රිස්තියානි ආගමික ප්‍රවාහය තුල  ඉහත ආකාර යටපත්කිරීම මෙන්ම වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමයන දෙවර්ගයම සිදුවී තිබේ. මැදපෙරදිග ඉස්ලාම් ආගමික ප්‍රවාහය තුල නම් බොහෝදුරට සිදුව ඇත්තේ සම්පුර්ණයෙන්ම පාහේ විවිධ ජනකණඩායම්වලට අයත් සංස්කෘතික සම්ප්‍රදායන් යටපත් කිරීමය. 

එහෙත් ශ්‍රී ලංකාව තුල සිංහල ජනයාගේ ප්‍රධානතම සංස්කෘතික උළෙල ලෙස තවදුරත්  සිංහල අළුත් අවුරුද්ද  බුද්ධාගමේ ඉගැන්වීම් සහ හරපද්ධතීන් වලට පරිබාහිරව, 'සූර්යයා මේස රාශියෙන් මීන රාශියට පැමිණීම' වැනි නැකත් ශාස්ත්‍ර ආදිය පදනම් කරගනීමින් පැවතීම තුල කියවෙනුවේ සිංහලයන්ගේ සංස්කෘතිය බුද්ධාගම විසින් යටපත් කිරීමකින් හෝ වෙනත් ආකාරයකට ප්‍රතිස්ථාපනය කිරීමකින් තොරව පැවති බවක්ද? එනම් එය දෙකක් බවද?

අනෙක් අතට  බුද්ධාගමෙන් තොරවද සිංහලයන්ට සංස්කෘතියක් පවතින බවක්ද මෙයින් කියවේ. තවද සිංහලයන්ගේ සංස්කෘතිය අනිවාර්යෙන්ම බෞද්ධ නොවන බවක්ද මෙම 'සිංහල අළුත් අවුරුද්ද'  ඇසුරින්ම ඉදිරිපත් කලහැක.

කලකට පෙර සිංහලයන්ගේ ප්‍රධාන සංස්කෘතික උලෙල, ක්‍රිස්තියානින්ගේ නත්තල මෙන්, සිය ආගමේ ශාස්තෘවරයාවන බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් උත්සවය වියයුතුයැයි අදහසක් පත්තරවල පලවන්නට විය. එහෙත්, චිරාත්කාලයක් පැවති සංස්කෘතික සම්ප්‍රදායක් රටේ ප්‍රධාන ආගමට පවා එසේ වෙනස්කල නොහැකි බවක් ඉහත අදහස යටයෑම තුල පෙනේ. 

එමෙන්ම, සිංහලයන් මෙම 'සිංහල අළුත් අවුරුද්ද' උරුමකරගත්තේ 'යක්ෂ ජනයාගේන්' බව නලින් ද සිල්වා මහතා ලියා තිබුබව  මතකය. එහෙත් එය හින්දු සංස්කෘතික සම්ප්‍රදායක්ගෙන් පැනනැගුනක් බව පැහැදිලිය. සිංහලයන් 'අළුත් අවුරුද්ද' සමරණ සමයේම දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ ද්‍රවිඩ හින්දුන්ද, මුස්ලිම් ආගම පැමිණීමට පෙර හින්දු සහ බෞද්ධ සම්මිශ්‍රණයක් පැවති බෙන්ගාලයේ, තායිලන්තයේ, බුරුමයේ, ලාඕසයේ සහ කම්භෝජයේ වෙසෙන ජනයාද අප්‍රියල් 13/14 අළුත් අවුරුද්ද සැමරීම ඊට පැහැදිලි උදාහරණයකි. එය කෘෂි නිෂ්පාදනයේ අළුත් අස්වනු නෙලාගැනීම පදනම් කරගත්  කෘෂි කර්මාන්තය හා බැදි උත්සවයකට වඩා හින්දු ආගමික සම්ප්‍රදායන් මත පැනනැගී සංස්කෘතික අංගයකි. 

මේ කරුණු හමුවේ,  සිංහල අළුත් අවුරුද්ද පිළිබදව සිදුකරන  විචාරාත්මක අධ්‍යනයකදී සිංහල බෞද්ධ ජාතිකත්වයක් ගොඩනැගීමේ ව්‍යපෘතිය අර්බුධයට යනබව පෙනෙනවා පමණක් නොව, සිංහලයන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ බහුතරයකගේ ප්‍රධාන ආගමවන බුද්ධාගමත් අතර විශාල පරස්පරයක් පවතින බවක්ද නිරූපණයවේ.

එනම් සිංහලයන්ට සිය රටේ ප්‍රධාන ආගමවන බුද්ධාගමින් පරිබාහිරව වෙනත් සංස්කෘතික ජීවිතයක් පවතින බව පෙනේ. තවද එය ඔවුන්ගේ අවුරුදු කෑම මේසයේ බොහෝ කෑම මෙන් වෙනත් සංස්කෘතියන්ගෙන් පැනනැග මෙහිම අනන්‍යවුවක් බවද කියවේ.  එය රටේ වෙනත් ආගම් අදහන ජනකොටස්වන හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආදීන්ට නොමැති තත්වයකි. මන්දයත්, එම ආගම් අදහන ජන කොටස්හී 'අළුත් අවුරුදු' හෝ වෙනත් ප්‍රධාන සංස්කෘතික අංගයන් සියල්ලම පාහේ යෙදෙනුයේ සිය ආගම හා බද්ධවය. ඇතැම්විට මෙය සිංහල ජනයා පෙලන පරස්පරයන්ගේන් එකක් හෝ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයේ ඇති සුවිශේෂී තත්වයක් වන 'පරස්පරයන්ගේ එකතුව' යැයි දැක්විය හැක්කක්ද විය හැක. එනයිම, ලංකාවේ සිංහල අළුත් අවුරුද්ද ගැන සිදුකරන විචාරාත්මක විමසා බැලීම්, සවිස්තරාත්මක මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යනයන්ද වඩා වැදගත් බව ඒත්තුගන්වනු නොඅනුමානය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
14/04/2016.

8 comments:

  1. මේක හොද ලිපියක්. මම හිතන්නේ වෙසක් අවුරුද්ද ලෙස සැමරිය යුතුයි කියන අයත්, අවුරුද්ද තනිකර බෞද්ධයන්ගේ උත්සවයක් ලෙස පෙන්වන අයත් එක්කෝ මූල ධර්මවාදියි නැතහොත් අන්තවාදීන්ය. ජනතාවට අවශ්‍ය විය යුත්තේ මෙහි ඇති සමාජ වටිනාකමයි.

    ReplyDelete
  2. ඇත්ත, සිංහල අවුරුද්ද ගැන අපේ රටේ මීට වඩා හොද අධ්‍යානයන් අවශ්‍ය බව තමයි මාගේ මුලික අදහස. එමගින් ලංකීය සමාජයේ පවතින ඉතාමත් ඉහල සාධනීය ලක්ෂණ මතුකර ගත හැකියයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කිසිදු ආගමික, දේශපාලන හෝ යටත්විජිත ආදී ප්‍රවාහයකට නතු නොවී සිංහල අවුරුද්ද තවදුරත් නොනැසී සිය මුලික පදනම වන නක්ෂත්‍ර වැනි පැරණි ශාස්ත්‍ර විෂයෙහිම පැවතීම ඉතාමත් අපුර්ව ලක්ෂණයක්. එය දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ පැවති මුල් ශිෂ්ටාචාර ගැන සිදුකරන අධ්‍යනයකට හොද ප්‍රස්ථාවක්.

    ReplyDelete
  3. සිංහල අවුරුද්ද වගේම දෙයක් තමයි සිංහල බෞද්ධ විවාහ චාරිත්‍ර. ඇත්තෙන්ම ඒවා නිර්ආගමික විවාහ චාරිත්‍ර ලෙස හැඳින්විය හැකියි. මම අහලා තියෙන හැටියට ඉන්දියාවේ දකුණු සහ බටහිර ප්‍රදේශවල තිබිලා තියෙන්නෙත් ඔයිට සමාන විවාහ චාරිත්‍ර. නමුත් පසුව බමුණු කුලය බලවත්වීම සමඟ ඉන්දියානු විවාහ චාරිත්‍ර වෙනස්වෙලා "හින්දු" කියන විවාහ සිරිත් බිහිවුනා ලංකාවේ විතරක් පැරණි ක්‍රම දිගටම වෙනම පරිනාමය වුනා. එතනදී බමුණු බලයක් ඇතිවීම වැලැක්වීමට බුද්ධාගම හේතුවක් වුනා.

    ReplyDelete
  4. ඇත්තටම මේවා ලංකාවේ අධ්‍යනය කරන්න ඕනෑ කාරණා. විශේෂයෙන්ම ඔයා කියනවා වගේ ලංකාවේ ඔය විවාහ චාරිත්‍ර 'හින්දු- බමුණු' බලපෑමෙන් මුදවාගැනීම සම්බන්දයෙන් බුද්ධාගම සිදුකල මැදිහත්වීම මීට සාකච්චාවට ලක්විය යුතු දේවල්. මම හිතන්නේ ඒවා ඉතාමත් වැදගත් දේවල්, අවදානයට, අධ්‍යනයට පාත්‍රවිය යුතු දේවල්.

    ReplyDelete
  5. දකුණු ඉන්දියවෙ (කේරල, කර්නාටක වගේ ප්‍රාන්තවලත්) සූර්ය සංක්‍රාන්තිය සැමරීම් තිබෙනවා නමුත් ඒවා ජාතික උත්සව වෙලා නෑ. ඒවා කරන්නෙ ජ්‍යෝතිශ්‍ය ගැන උනන්දු අය විතරයි. ලංකාවේ දෙමළුන්ටත් මේක සිංහලයන්ගෙන් ලැබුණ දෙයක් වි යුතුයි. හැබැයි ලංකාවෙ දෙමළ මි‍නිහෙක් ඕක පිළිගන්න එකක් නෑ. උං කියයි ලංකාවෙ දෙමෙල්ලු කියන්නෙ හෝමෝ ඉරෙක්ටස් කාලෙ ඉඳලා වෙනම පරිණාමය වූ සත්ව විශේෂයක් කියලා.
    සමහරවිට මේෂ සංක්‍රාන්තිය ඉන්දියාවෙත් තිබිලා වෙනම අභාවයට ගියා වෙන්නත් පුළුවන්. නමුත් මකර සංක්‍රාන්තිය ඉන්දියාවේ ඉහලින් සමරනවා.
    https://en.wikipedia.org/wiki/Makar_Sankranti
    දෙමළ අය ඒකට කියන්නෙ තෛ පොන්ගල් කියලා. හැබැයි ඒකෙදි නැකැත් වලට මුල්තැනක් දෙන්නෙ නෑ.
    සිංහල අවුරුද්දට සමාන සැමරීම් තියෙන අනිත් සමාජ ගතහොත් ඔයා කියලා තියෙන හැටියටම ඒවාට බෞද්ධ පසුබිමක් තියෙනවා. තායි ලන්තයේ වතුර ගසා ගැනීමේ උත්සවයට හෝලි උත්සවයේ බලපෑමක් තිබෙනවා විය හැකියි.
    සිංහල විවාහ චාරිත්‍ර වගේම අවුරුදු සිරිත් ලංකාවේ පැවතීමට වක්‍රාකාරයෙන් බුදුදහම උදව්වුනා විය හැකියි. කොහොමද කියන්න නම් අදහසක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම, සිංහල අවුරුද්ද ගැන විශේෂයෙන් අවදානය යොමුකරන්නේ රටේ ප්‍රධාන ආගමීක ප්‍රවාහයවන බුද්ධාගමට හෝ වෙනත් කිසිදු ප්‍රවාහයකට යටපත් කිරීමට හෝ වෙනත් ආකාරයට ප්‍රතිස්ථාපනය කිරීමට හෝ නොහැකිවූ සුවිශේෂී සංස්කෘතික අංගයක් ලෙසයි. ඇත්තටම එය මුළු දකුණු සහ ගිනිකොනදිග ආසියාවටම පොදුවුවක්වගෙයි දැන් පෙනෙන්නේ. බංග්ලාදේශයේ පවා මුස්ලිම් ආගමීක ප්‍රවාහයට පවා මෙම සංස්කෘතික අංගය කිසිසේත්ම යටපත් කිරීමට නොහැකිවී තිබෙනවා. එයට බුද්ධාගමේ ඇති බලපෑම කවරාකාරද යන්න ගැන සොයාබැලිය යුතුයි. නමුත් මට නම් මුලික වශෂයෙන්ම හිතෙනදෙයක් තමයි සිංහල අවුරුද්ද කියන්නේ දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ මුල් බැසගෙන තිබූ ආදී සංස්කෘතියක තවදුරටත් නොනැසී පවතින එක් ප්‍රකාශනයක් කියන එක. සිංහල අවුරුද්ද ගැන සිදුකරන හොද අධ්‍යනයන් ඉහත මුල් බැසගත් ආදී සංස්කෘතිය කුමක්ද යන්න සොයාගැනීමට උපකාරී වියහැකියි.

      Delete
  6. සංවාදයට හොඳ ප්‍රවේශයක්. සිංහල අවුරුද්ද වෛෂකි කියල සීක් වරුනුත් සමරනවා.
    http://nelumyaya.com/?p=5610

    ReplyDelete
    Replies
    1. මේ සදහා නෙලුම්යායේ ඔබ ලබාදුන් ඉඩකඩට ස්තූතියි !!!

      Delete