This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 1 May 2018

මගේ ගම මීගමුව - ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්

//ඉපදුණේ දෙහිවල. ඒත් මගේ ගම මීගමුව. අපේ මහ ගෙවල් තිබුණේ මීගමුව කෙළින් වීදියේ. අපි කුරුකුලසූරිය පරම්පරාවේ.// අදටද මීගමුවට හොද මට්ටමේ සිනමා ශාලාවක්, නාට්‍ය ශාලාවක්, කලාගාරයක්, කෞතුගාරයක් සහ රංග-කලා අධ්‍යයන ආයතනක් පමණක් නොව අඩුම තරමේ විදී කලාකරුවන්ට සිය දක්ෂතා පෙන්විය හැකි විවෘත ස්ථානයක් හෝ  මීගමුව නගර මධ්‍යයේ නොතිබියද, ශ්‍රී ලංකාවට සිංහල සිනමාවක් බිහිකලේ මීගමුවෙන් බිහිවූ ශිල්පීන් විසින් බව අවිවාදිතය. සිනමාව තුල පමණක් නොව සංගීතය, රංග කලාව, චිත්‍ර ශිල්පය, කාටුන් කලාව, ඡයාරූප ශිල්පය, ආදී  ලාංකීක කලා ක්ෂේත්‍රයේ නවතම ප්‍රවනතාවයන් හදුන්වාදීමට මීගමුවෙන් බිහිවූ කලා ශිල්පීන් මුලපිරූබව නොරහසකි. එහිලා මීගමුවේ ඇති ආගමික, සංස්කෘතික සහ විශ්වදේශී (cosmopolitan) ලක්ෂණ ඉවහල්වූ බව ඉහත කී බොහෝ කෘතහස්තයන්ගේ ජීවනචරිතයන් ගැන සිදුකල විමසුම් සාකච්ඡාවන් ඇසුරෙන් පෙනීයැයි. අනෙක් අතට සිය ජීවිත කාලයෙන් සැලකියයුතු තරම් කාලයක්වත් මීගමුවේ ගෙවා නැති විශිෂ්ඨයන් පවා තමන්ට, තම පෙළපතට සහ පරම්පරාවට මීගමුවට ඇති සම්බන්දය ගෙන හැරපෑමට උනන්දුවන්නේ ලාංකීක නූතනත්වයේ  නගරය මීගමුව බව සිය සිත්සතන්වල කොහේ හෝ පැලපදියම්වී ඇති නිසාදෝ දැයි මට සිතේ. දෙදෙනාම නික්මයාමට මත්තෙන්, මීගමුවෙන් බිහිවූ විශිෂ්ඨ සිනමා මාධ්‍යවේදියෙකු මෙන්ම චිත්‍රපටි කලා විචාරකයෙකුවූ  සුනිල් මිහිඳුකුල මහතා සමග සිළුමිණ පුවත්පතට ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ලබාදුන් සම්මුඛ සාකච්ඡාව එයට එක් හොද උදාහරණක් බව පෙනේ. එම සාකච්ඡාව පහතින් පලකරමි. 

***************************************************


උපන්දිනය?
1919 අප්‍රේල් 5. ඒ අනුව ඊයේට මගේ 95 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඔබේ ගම කොහේද?
ඉපදුණේ දෙහිවල. ඒත් මගේ ගම මීගමුව. අපේ මහ ගෙවල් තිබුණේ මීගමුව කෙළින් වීදියේ. අපි කුරුකුලසූරිය පරම්පරාවේ. ජනප්‍රිය නිළි ජීවරාණි කුරුකුලසූරිය මගේ ඥාතිවරියක්.

පියා?
ජේම්ස් ෆ්‍රැන්සිස්. වෘත්තීයෙන් බටහිර වෛද්‍යවරයෙක්.

මව?
ඈන් ගර්ට්රූඩ් විනිෆ්‍රඩ් ජයසූරිය

ඔබ කතෝලික?
ඔව්. කාලයක් ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති පීටර් පිල්ලේ පියතුමාට වුවමනා කළා මාව පූජකවරයෙකු කරන්න. මා පූජකවරයෙකු වෙනව නම් බෙල්ජියමට ගිහින් වැඩිදුර ඉගෙනගන්න ශිෂ්‍යත්වයකුත් හදලා දෙන්නම් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං ඒකට කැමැති වුණේ නැහැ.

ඔබේ පවුලේ කී දෙනාද?
හතරදෙනයි. මට අයිවන් හා නොයෙල් නමින් සහෝදරයන් දෙන්නෙකුත් එරිකා නමින් සහෝදරියකුත් හිටියා. ඒ අය දැන් ජීවතුන් අතර නෑ.

අයිවන් ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්?

අපේ පවුලේ ශ්‍රේෂ්ඨතම කලාකාරයා මං නෙමෙයි අයිවන් මල්ලි.
ඔහු ‘43 කණ්ඩායමේ’ සාමාජිකයෙක්ව හිටියා.

ඔබ ඉගෙනගත් පාසල?
මුලින් දෙහිවල ශාන්ත මේරි ප්‍රාථමික විදුහල. පසුව ශාන්ත පීතර විදුහල.

ඔබ අයිති වෙන්නේ කොළඹ නගරයේ ඉංග්‍රිසි කතා කරන ඉහළ පැළැන්තියට?
අම්මා සිංහලෙන් කතා කළේ කේන්ති ගිය විට අපිට බනින්න විතරයි. පාසලේ සිංහලෙන් කතා කළොත් අපිට දඩ කන්න සිද්ධ වුණා. කොහොම වුණත් මොරටුව පැත්තේ කෙනෙක් ගෙනැල්ල අපිට ගෙදර සිංහල උගැන්වුවා. එයාගේ නම ලුවිස් ගුරුන්නාන්සේ.

වෘත්තිය?

මුලින් මං පුවත්පත්කලාවේදියෙක්. ‘යූ.එන්.පී. ජර්නල්’, ‘කේසරි’ වැනි පුවත්පත් සඟරාවලට මං ලිව්වා. ඊට පස්සේ එංගලන්තයට ගියාම ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්තරේ ලන්ඩන් විශේෂ වාර්තාකරු වශයෙන් සේවය කළා.  ඔබට සිනමාව තෝරා ගැනීමට හේතු වුණේ මොකක්ද? අපේ ගෙදර ‘කොඩැක්ස්කෝප්’ නම් වූ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තිබුණා මං චාලි චැප්ලින්ගේ චිත්‍රපට මුලින්ම බැලුවේ එයින්.

තරුණ වියේදී අපි තවත් පිරිසක් එක්ක එකතුවෙලා ‘කලම්බු ෆිල්ම් සොසයිටි’ කියලා චිත්‍රපට සංගමයකුත් පටන්ගත්ත. ඒක ආසියාවේ ප්‍රථම චිත්‍රපට සංගමය. ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘කල්කටා ෆිල්ම් සොසයිටි’ එක පටන්ගත්තෙත් ඊට පස්සේ.

එංගලන්තයෙදි මම කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කළා. ඒවාට සම්මානත් ලැබුණා. ආපහු මං ලංකාවට ආවෙත් රජයේ චිත්‍රපට අංශයට. එතෙක් තමන්ගේ මුදලින් චිත්‍රපට හදපු මට මින් ඉදිරියට ආණ්ඩු‍ෙව සල්ලිවලින් චිත්‍රපට හදන්න පුළුවන් කියල හිතලයි රජයේ චිත්‍රපට අංශයට බැඳුණේ.

ඊයේට (2014 04 05) ඔබට අවුරුදු 95 යි. ඒ ගැන මොනවද හිතෙන්නේ?
හැම දෙයක්ම ඊයේ පෙරේදා සිදුවුණා වගෙ තමයි මට හැ‍ඟෙන්නේ.
දිගු අතීතයක් ගැන මට මුකුත් කල්පනා වෙන්නේ නැහැ.

සියවසකට නුදුරු කාලයක ජීවිතය දිහා
ආපසු හැරිලා බලනකොට මොකක්ද දැනෙන හැඟීම?

එක අතකට දුකක් දැනෙනවා. අනෙක් අතට සතුටක් දැනෙනවා.

ඇයි දුකක් දැනෙන්නේ?
මට වුවමනා කළේ සිනමාකරුවකු වෙන්න නෙමෙයි පත්තර වාර්තාකාරයෙක් වෙන්න. (හැබැයි කර්තෘවරයෙක් වෙන්න නෙමෙයි) ඊට පස්සේ සාහිත්‍යකාරයෙක් වෙන්න. මම තරුණ කාලේ ලේක්හවුස් එකේ ඉන්ටර්වීව් එකකටත් ගියා. මාව ඉන්ටර්වීව් කළේ ඩී.ආර්. විජයවර්ධන. අන්තිමෙට දෙන්නෙක් ඉතුරු වුණා. ඒ ෆ්‍රෙඩ් සිල්වයි මමයි. විජයවර්ධන මාව තෝරා ‍නොගෙන ෆ්‍රෙඩ් සිල්වාව තෝරගත්තා. ඒක තමයි මගේ දෛවය. හැබැයි අද මට හිතෙනවා ඒ තෝරා ගැනීම හරි කියලා. මොකද, ෆ්‍රෙඩ් සිල්වා කියන්නේ විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙක්. ‍

‍කොහොම වුණත් එංගලන්තයට ගියාම මට පුළුවන් වුණා පත්තර වාර්තාකාරයෙක් වෙන්න. මම අවුරුදු 6 ක් ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්තරේ ලන්ඩන් කාර්යාලයේ වැඩ කළා. නමුත් මට සාහිත්‍යධරයෙක් වෙන්න බැරිව ගියා. මට ඕනැ කළේ ඉන්දියාවේ මුල්ක් රාජ් ආනන්ද් වගේ ලේඛකයෙක් වෙන්න. ‘GRASS FOR MY FEET’ (මා පයට තණනිල්ල) ලියපු ජේ. විජේතුංග එකල මගේ වීරයෙක්. එහෙත් පසුකලෙක සිනමාවට යොමු වීම නිසා මගේ අතින් එකම නවකතාවක්වත් ලියැවුණේ නැහැ. ඒ ගැන මට දුකයි.

එහෙත් ඔබ කවි පොතක් ලියා පළකළා?
ඔව්. ඒ පොතේ නම ‘CATHEDRAL AND A STAR'. ඔය පොත පළවුණු දවස්වල ශ්‍රීනේරු ලංකාවට ඇවිත් හිටියා. ඔහු නැවතිලා හිටියේ බම්බලපිටියේ දෙමළ ප්‍රභූ නිවෙසක. ඒ ප්‍රභූවරයා මගේ පියාගේ මිත්‍රයෙක්. ඒ සම්බන්ධතාව ප්‍රයෝජනයට අරන් මං ගිහින් නේරුට පොතක් පිළිගැන්වුවා.

පොත ගැන අදහස් දැන ගැනීමේ වුවමනාවෙන් මම ඔහුගේ ලිපිනය ඇහුවා. ඔහු කිව්වා නේරු - ඉන්දියාව කියල ලියන්න එතකොට තමන්ට ලැබෙනව කියලා. මගේ කවි ගැන මං පෞද්ගලිකව සෑහීමකට පත්වුණේ නැහැ. ඒ නිසා මං කවිපොතේ පිටපත් සියල්ල පුලුස්සා දැම්මා. හැබැයි එක පිටපතක් ඇපෝතිකරි මුද්‍රණාලයේ සේවකයෙක් ළඟ තිබිලා පස්සෙ කාලෙක හම්බවුණා.

ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි සතුටකුත් ඇති වෙනව කියලා ඔබ කිව්වා?

සිනමාවෙන් මා යමක් කළා කියා හිතනවා. ඇතැමෙක් මා ‘හුදෙකලා කලාකරුවකු’ ලෙස හැඳින්වුවත් මගේ චිත්‍රපටයක් දෙකක් හැරුණුකොට අනෙක් චිත්‍රපට සියල්ල මේ රටේ පොදුජන ප්‍රේක්ෂකයන් පිළිගත්තා. මගේ චිත්‍රපට අගය කළේ කුරුඳුවත්තේ ප්‍රේක්ෂකයන් නෙමෙයි; පොදුජනතාව. ‘රේඛාව’ කොළඹ රීගල් සිනමාහලේ තිරගත වෙද්දි කුරුඳුවත්තේ ප්‍රේක්ෂකයන් කළේ සිංහල කතාකරන නළු නිළියන්ට සිනාසීම පමණයි. ඔවුන්ට චිත්‍රපටයක් දුවවන්න පුළුවන් වෙන්නේ දවස් තුනයි. නැත්නම් හතරයි. මගේ චිත්‍රපට දිව්වේ පොදුජන ප්‍රේක්ෂකයන් නිසා.

ඔබ කතෝලික වුණාට ඔබේ චිත්‍රපටවල තියෙන්නේ බෞද්ධ මුහුණුවරක්?

මම කතෝලික ආගමට බරව එකම එක චිත්‍රපටයයි කරලා තියෙන්නේ. ඒ ‘හෝම් ෆොම් ද සී’ (මුහුදින් ගෙදරට) කියන අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය. ඒක ශාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි ධීවරයන් තුළ තිබෙන ආගමික භක්තිය විදහාපාන්නක්. ඒ හැරුණුකොට අන් චිත්‍රපට සියල්ලේ ම තිබෙන්නේ ඔබ කිව්වා වගෙ බෞද්ධ සමාජ පසුබිම.

‘රේඛාව’ චිත්‍රපටයේ තිබෙන මූලික දුර්වලකමක් තමයි  එහි පන්සලක් නොතිබීම.  ඒක එදා අහුවුණේ ඩී.බී. ධනපාලට විතරයි.  ‘රේඛාවේ’ පන්සලක් නොතිබුණේ  එය රූපගත කරපු වෑවල කියන ගමේ පන්සලක් නොතිබුණු නිසයි.   ‘සංදේශය’ චිත්‍රපටයේ ‘වෛරයෙන් වෛරය නොසංසි‍ඳේ’ කියන දර්ශනය චිත්‍රපටය අවසානයේ පිළිබිඹු කෙරෙනවා. බුදු දහමේ එහි අවිහිංසාව තමයි එයින් කුළුගැන්වෙන්නේ.

‘රන්සළු’ චිත්‍රපටය නම් මුළුමනින්ම බෞද්ධනේ. මැද පන්තික පවුලක තරුණ කාන්තාවකට දසසිල් මාතාවක් මුණගැසීමත් සමඟ ඇගේ ජීවිතය ආධ්‍යාත්මිකව වෙනස් වන ආකාරයනේ ඒ චිත්‍රපටයෙන් කියැවෙන්නේ.

‘අම්මාවරුනේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තරුණ බෞද්ධ භික්ෂුව.
ඒ භික්ෂුව තුළ ඇතිවන්නාවූ මානසික ගැටුමක් තමයි මුළු චිත්‍රපටය පුරාම තිබුණේ.

මේ බෞද්ධ විඥානය ඔබ වැන්නකු තුළ පහළ වුණේ කොහොමද?

ඒකට කරුණු තුනක් හේතු වුණා කියලා
අද ආපහු හැරිලා බලද්දි මට හිතෙනවා.
එකක් ‘ලයනල් වෙන්ඩ්ට් සිලෝන්’ කියන


ලයනල් වෙන්ඩ්ට්ගේ අති විශිෂ්ට ඡායාරූප එකතුවේ ආපු නිශ්චල ඡායාරූප. ඒ ඡායාරූප තමයි සිංහල ගම ගැන, බෞද්ධ ශිෂ්ටාචාරය ගැන මගේ ඇස් පාදන්න හේතු පාදක වුණේ.  

ලයනල් වෙන්ඩ්ට් මං හිතන්නේ ලංකාවේ එදා මෙදාතුර පහළ වූ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා.

ඔහුගේ ‘ලයනල් වෙන්ඩ්ට් සිලෝන්’ නම් වූ අති සුවිශේෂ ඡායාරූප ග්‍රන්ථය මං දැකලා තියෙනවා.

මේ පොත පළවෙලා තියෙන්නේ 1950 දී. ආලේඛ්‍ය, භූමි ලක්ෂණ, නිරුවත්, මනඞකල්පිත යනාදී වශයෙන් වර්ග කළ හැකි ඡායාරූප රැසක් මේ පොතට ඇතුළත්. 

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ
සුප්‍රසිද්ධ ආලේඛ්‍ය ඡායාරූපයත් ලයනල් වෙන්ඩ්ට් ගත්තු එකක්. 

දෙවැනි හේතුව බැසිල් රයිට්ගේ ‘සෝන් ඔෆ් සිලෝන්’ කියන ශ්‍රේෂ්ඨ වාර්තා චිත්‍රපටය. 
සුද්දෙක් හැදුවත් ඒ චිත්‍රපටයේ බෞද්ධ මුහුණුවර හොඳහැටි පිළිබිඹු වෙලා තිබුණා. 
ඒකටත් මං හිතන්නේ හේතු වුණේ ලයනල් වෙන්ඩ්ට්.
ඔහු තමයි මේ චිත්‍රපටයේ මාර්ගෝපදේශකයා.

තුන්වැනි හේතුව
රැල්ෆ් කීන්ගේ ‘හෙරිටේජ් ඔෆ් ලංකා’ (ලංකා උරුමය) කියන වාර්තා චිත්‍රපටය.
මම තමයි මෙහි කථනය ලියා සහාය අධ්‍යක්ෂණය කළේ.
එයින් කියැවුණේ මිහින්තලේ, අනුරාධපුරය, පොලොන්නරුව හා සමනල කන්ද ගැනයි.
ඉරිදට පල්ලි ගිය, මංගල්‍යයට මඩුපල්ලි ගිය මට බෞද්ධ උරුමය ආරක්ෂා වී තිබෙන ඓතිහාසික නගරවලට යන්න ලැබුණේ මේ චිත්‍රපටය මාර්ගයෙන්.
ඔබේ චිත්‍රපට අතරින් ඔබ පෞද්ගලිකව වඩාත්ම කැමැති නිර්මාණය මොකක්ද?‍
මගේ වඩාත්ම පරිසමාප්ත නිර්මාණය විදියට
මම දකින්නේ ‘නිධානය' 
පස්සෙ කාලෙක මට චන්ද්‍රන් රත්නම් කිව්වා
‘නිධානය’ කලර් වලින් ආයේ හදන්න
එයා සල්ලි වියදම් කරන්නම් කියලා. 

ඒත් මං කොහොමද ඒ වගේ චිත්‍රපටයක් ආයේ හදන්නේ. ගාමිණි ෆොන්සේකා නැතුව ‘නිධානයක්’ තියෙනවද? ‘නිධානය’ හැරුණම ‘ගම්පෙරළිය’ ට මම කැමැතියි. ඒ වගේම ‘ගොළු හදවත’ ටත් කැමැතියි.
සත්‍යජිත් රායි මට දවසක් කිව්වා එයා ‘ගම්පෙරළිය’ ටත් වඩා ‘ගොළු හදවත’ ට කැමැතියි කියලා. 
මොකද, ‘ගොළු හදවත’ හුඟක්ම සිනමානුරූපියි.

ඔබේ චිත්‍රපට බොහෝමයක් දැනටමත් විනාශ වෙලා?
ඔව්. මං චිත්‍රපට සංරක්ෂණයක් ගැන කතා කරන්නේ 1958 දි විතර ඉඳලා. ඒත් කිසිම ආණ්ඩුවක් එය ක්‍රියාවට නැංවුවේ නැහැ. චිත්‍රපට කියන්නේ එළවළු වගෙ දෙයක්. එළවළු කුණු වෙනවා වගේ ඉක්මනට චිත්‍රපටත් නරක් වෙනවා. මෙවර මගේ උපන්දිනය නිමිත්තෙන් ජාතික චිත්‍රපට, රූපවාහිනි හා ශබ්දපට සංරක්ෂණාගාරය ඇරඹීම සතුටට කරුණක්.

ඔබ සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. (ගාමිණි ෆොන්සේකා, තිස්ස අබේසේකර, අයිරාංගනි සේරසිංහ, ටෝනි රණසිංහ, සුමිත්‍රා පීරිස්, අනුලා කරුණාතිලක, ටයිටස් තොටවත්ත, විලී බ්ලේක් ..... වැනි) ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨයා තෝරන්නයි කිව්වොත් ඔබ ‍තෝරන්නේ කාවද?

මං තෝරන්නේ ගාමිණි ෆොන්සේකාව.
මොකද, ඒ වගෙ නළුවෙක් ආයේ මේ රටේ බිහිවෙන්නේ නැහැ.ගාමිණි ‘ගම්පෙරළියේ’ ජිනදාසට රඟපෑවා. ඒ වගේම එහි තෙවැනි කොටස වූ ‘යුගාන්තයේ’ සවිමන් කබලානටත් රඟපෑවා.
ඒත් කිසිම විදේශීය ප්‍රේක්ෂකයෙක් ‘යුගාන්තය’ බලලා මගෙන් ඇහැව්වෙ නැහැ මේ ‘ගම්පෙරළියේ’ හිටපු ජිනදාස නේද කියලා. ඒක තමයි චරිතාංග නළුවකු විදියට ගාමිණිගේ තිබුණු ශ්‍රේෂ්ඨත්වය.

ඔබ ගාමිණිගේ ‘පරසතුමල්’ චිත්‍රපටයේ යම් යම් ජවනිකා අධ්‍යක්ෂණය කළා කියලා සිනමා කර්මාන්තය තුළ ඕපාදූපයක් තියෙනවා?

ඔව්. ඒක ඇත්ත. ‘පරසතුමල්’ චිත්‍රපටයේ විශිෂ්ටතම දර්ශනය ලෙස විචාරකයන් සලකන ගාමිණි හොඳටම බීමත්ව තරප්පු පේළිය උඩ දෑත් දෙපසට විහිදුවා සිටින සෙවණැලි සහිත දර්ශනය අධ්‍යක්ෂණය කළේ මං. මොකද මං ගාමිණිට පොරොන්දු වෙලා හිටියා ඔහුට උදව් කරනවා කියලා. ‘පරසතුමල්’ මුලින්ම කරන්න භාර දුන්නේ මට. මමයි ගාමිණි කැමැති කරගෙන එහි අධ්‍යක්ෂණය ඔහුට පැවරුවේ. ඇත්තටම ඒක සුමිත්‍රාගේ යෝජනාවක්.

චිත්‍රපටවලින් ඔබ උපයාගත් දේ මොනවද?

ආර්ථිකව බැලුවොත් ඇතැම් නිෂ්පාදකවරුන් මට ගෙවලත් නැහැ. මං නම් සඳහන් කරන්නේ නැහැ ඒ මොන චිත්‍රපටද, මොන නිෂ්පාදකවරුන් ද කියලා. මම, සුමිත්‍රා චිත්‍රපට හැදුවේ අපේ ඉඩකඩම් විකුණලා. අද ඒවා කෝටි ගාණක් වටිනවා. ‘රොබට් නොක්ස්’ කරන්න ගිහිල්ලා ලක්ෂ තුනක් අපි අතින් පාඩුකර ගත්තා.

ඔබ මීට අවුරුදු 11 කට ඉහත මාත් එක්ක කිව්වා ‘චිත්‍රපටය නැතිවෙනවා සිනමාව පවතිනවා’ කියලා. දැන් ඒ අවස්ථාව එළැඹිලා තියෙනව නේද?

සෙලියුලොයිඩ් එක (දළ සේයා පට) නැතිවෙනවා කියලා මං මුලින් ම කිව්වේ මට අසූගණන්වලදී පේරාදෙණි සරසවියෙන් ආචාර්ය උපාධිය පිරිනැමුණු වෙලාවෙදි. එතකොට ඊළඟට එන්නෙ මොන තාක්ෂණය ද කියලා ඒ වනවිට මං දැනන් හිටියේ නැහැ. අදටත් මං ඩිජිටල් ගැන දන්නේ නැහැ. සුමිත්‍රා නම් එයාගේ අලුත් ම චිත්‍රපටය (වෛෂ්ණාවි) හැදුවේ සම්පූර්ණයෙන් ම ඩිජිටල්වලින්.

ලෝක සිනමාවේ වයෝවෘද්ධතම සිනමාකරුවා ඔබ වෙන්නැති?

නැහැ. පෘතුගීසි ජාතික මනුවෙල් ඩී. ඔලි වියේරා.
එයාට දැන් වයස අවුරුදු 105 යි.

ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරනවද? තාත්තා කතෝලික වුණාට අපි කාටත් හඳහන් හදලා තිබුණා. කුඩා කාලයේ මගේ හඳහන බලපු එක්තරා දෛවඥයෙක් (ක්ලිෆඩ් පෙ‍ෙර්රා) අනාගතයේදී මා සිනමාවට යොමුවන බවට අනාවැකි පළ කළා. මට තවමත් පුදුමයි ඒකට. මොකද, ඒ වෙනකොට සිංහල සිනමාවක් කියා දෙයක් බිහිවෙලාවත් තිබුණේ නැහැ. 

සුනිල් මිහිඳුකුල 
සිළුමිණ 
06. 04. 2014
***************************************

මීගමුවෙන් බිහිවූ විශිෂ්ඨ සිනමා මාධ්‍යවේදියෙකු මෙන්ම චිත්‍රපටි කළා විචාරකයෙකුවූ  සුනිල් මිහිඳුකුල මහතා ගැන ඔහු මියයෑමට මීට පෙර මම ලියු සුනිල් මිහිඳුකුල මීගමු පුත්‍රයාට මොක්සුව පතමු යන ලිපිය ඔස්සේ කියවිය හැක. 

තවද ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ඉහත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ කියවෙන ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සහෝදරයන් සහ ලයනල් වෙන්ට් ආදීන් ගැන ඇතැම් කරුණු මම මීට පෙර ලියු සදාචාරවාදීන් යටපත්කල මීගමුව ගැන චිත්‍රපටි තුනක් යන ලිපිය ඔස්සේ කියවිය හැක.  

මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/05/2018

2 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. ලෙස්ටර්ත් එක්තරා ආකාරයකට '56 පෙරළිය' පෝෂණය කල තැනැත්තෙක්. වෙනත් ආකාරයක, තවත් සරත්චන්ද්‍ර කෙනෙක්. සිංහල-බෞද්ධ ජාතිකත්වයේ භාෂාත්මක විචිත්‍රනයන් සෙලියුලෝඩ් පට ඔස්සේ රූපාන්තරණය කල තැනැත්තෙක්. ඔහු එය කෙතරම් හොදින් කලේද කියනවා නම් නැගී ආ සිංහල-බෞද්ධ ජාතිකත්වයට 'ලෙස්ටර් ජේමිස් පිරීස්' කියන නම පිලිබදව කිසියම්ම හෝ හැගවුමකින් තොරව ඔහු ඇදී රේඛාවේ ඇදී-පැදී සිටිමට හැකිවුනා. එසේ සිටි ඔවුන් අවදිවෙන්නේ ලෙස්ටර්ගේ මරණයත් සමගයි. ඒ තමන්ව රූපාන්තරණය කල තැනැත්තා තමන් නොවන අනෙකෙකුයි යන්න අවබෝධවීමත් සමගයි. එතැනින් එහාට ඔහුව වලදමනවාට වඩා චිතකයක දල්වා දැමීම වඩා හොදයැයි ඔවුන් තීරණය කරනවා.

    ReplyDelete