This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 13 May 2018

වෙසක් දේශපාලනය

2018 වසරේදී ශ්‍රී ලංකාව මෙන්ම මියන්මාරයද (බුරුමය) වෙසක් දිනය සමරුවේ අප්‍රියෙල් 29වෙනිදා වූ අතර කාම්බෝජය, වියට්නාමය සහ ලෝකයේ වෙනත් බෞද්ධ රටවල් වෙසක් දිනය සමරනුයේ මැයි 29වෙනි දිනය. ලෝකයේ වෙනත් බෞද්ධ රටවලට වෙනස්ව ලංකාව අප්‍රියෙල් 29 දිනය වෙසක් දිනය ලෙස නම් කලේ ඇයි? එහිලා තීන්දු-තීරණ ගත් කමිටුවේ අරමුණ කුමක්වීද? මියන්මාරයද ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවලට වෙනස්ව සිය වෙසක් දිනය ලෙස අප්‍රියෙල් 29වෙනි දිනය යොදාගත්තේ, ලංකාව අනුව යමින්ද? නැතහොත් ලංකාව සිය වෙසක් දිනය තීරණය කිරීම සදහා අදාල කරගත්තේ මියන්මාරයද? යන්න ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. 

ලංකාව සිය වෙසක් දිනය ලෙස අප්‍රියෙල් 29 දිනය යොදාගැනීමත්, ඒහා සමග දියත්වෙන වෙසක් සතිය මැයි 02 දින දක්වා දිවයෑමත් නිසා ශ්‍රී ලංකාව 1956 සිට නිවාඩු දිනයක් ලෙස නම්කර තිබු මැයි 01 දින නිවාඩුව මැයි 7 දක්වා කල්දැමීමට රජය ගැසට් නිවේදනයක් මගින් ක්‍රියාකලේය. එම නිසා ජාත්‍යන්තර කම්කරැ දින සමරුව සහ වැඩකරන ජනයාගේ  අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගෙන මැයි දින සැමරුම සදහාවූ අවධානය යටින් හරා බිද දැමීමේ (undermine) සැලැස්මක් රජයට තිබුනේද? එමගින් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් දිනාගැනීමේ නිරන්තර අරගලය ආගමීක සහ දේශපාලන හස්තයන් මගින් යටපත් කිරීමට රජය ක්‍රියාකලේද? යන්න ගැන සාකච්ඡා කිරීමද, මෙම ලිපියේ අරමුණ නොවේ. 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා ජීවත් නොවන කිලිනොච්චිය, මුලතිව් වැනි ප්‍රදේශවල යුද්ධ හමුදාව යොදවා බෞද්ධ කොඩි, වෙසක් සැරසිලි ආදිය ඉදිකර එම ප්‍රදේශවල නැති වෙසක් උත්සවශ්‍රීයක් එකී ප්‍රදේශවල පෙන්වීමට උත්සහ කිරීම තුල එම ප්‍රදේශවල ජීවත්වන ද්‍රවිඩ ජනයා තුල බෞද්ධ ආක්‍රමණයක් පිළිබද හීතියක් මතුවීම මෙන්ම, සිය පාරම්පරික නිජබිමේ උරුමය  උල්ලංඝනය කිරීමේ අනතුරද, සිය ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවය මත සිංහල-බෞද්ධ අධිකාරීවාදී වෙනත් සංස්කෘතික අනන්‍යතාවයක් බලහත්කාරයෙන් එම ජනයාමත ආරෝපණය කිරීම ගැන සැකයන් ජනිතවීම පිළිබද තත්වය සකච්ඡා කිරීමද, මෙම ලිපියේ අරමුණ නොවේ.

ශ්‍රී ලාංකිකයන් උත්කර්ෂවත් ලෙස ඉතා ඉහල උත්සවත්ශ්‍රීයකින් දැන් සමරන 'වෙසක් උත්සවය' සැමරීමට පටන්ගෙන ඇත්තේ ක්‍රිස්තියානීන්ගේ නත්තල් උත්සවය, බටහිර සංස්කෘතියේ  සහ එම ශිෂ්ටාචාරයෙන් උකහාගත් දේවලින් බවත්, එහිලා මුලිකවුයේ අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධ පුනරෝද ව්‍යාපාරය (Buddhist revival) විසින් බවත්, ඔහු ක්‍රිස්තියානි ජනයා සිය නත්තල සැමරීමට භාවිතා කරන නත්තල් සුභපැතුම්පත් (Card), කැරොල්, නේක වර්ණ සැරසිලි ආදියෙන් අභාෂය ලබා වෙසක් සුබ පැතුම් පත්, බොදු බැති ගී සහ වර්ණවත් සැරසිලි සහිත උත්සවයක් බවට වෙසක් උත්සවය පත්කළ බව රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) 1988 ලිවූ 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (page 202-242) නම් ශාස්ත්‍රීය අධ්‍යයනයේ ඉදිරිපත්කරන කරුණු  සාකච්ඡා කිරීමද, මෙම ලිපියේ අරමුණ නොවේ. 



තවද, බෞද්ධාගම ලංකාවට හදුන්වාදීමෙන් පසුව මෙරට පැවති ශිෂ්ටාචාරය තව තවත් වර්ධනය කිරීමෙහිලා බෞද්ධාගම ඉතාමත් ප්‍රසංසනීය ලෙස දායකවූ බව අවිවාදයෙන් පිළිගන්නා අපි, යටත්විජිත පාලනය ඔස්සේ ලංකාවට උරුමවූ ක්‍රිස්තියානි ආගමද, එහි සංස්කෘතිය සහ ඒහා මුසුවුණු බටහිර ශිෂ්ටාචාරයේ ආභාෂය ද, නුතන ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැන්වීමට සහ එය වඩාත් ඔපවත් කිරීම සදහා අඩු-වැඩි වශයෙන්දායකවී ඇති බව වර්තමානයේ ඉතා ඉහල උත්සවශ්‍රීයකින් සමරන නුතන වෙසක් උත්සවය සම්බන්දයෙන් ගොම්බ්‍රිච් (Gombrich) සහ ඔබේසේකරයන්ගේ (Obeyesekere) ඉහත සදහන්කල කෘතියේ (1988)  කරුණු  ඇසුරින් සහ වෙනත් බොහෝ කරුණු ඇසුරින්  පෙන්වාදීමට උත්සහකිරීමද, මෙම ලිපියේ අරමුණ නොවේ.



මා මීට පෙර ලියු (02/05/2015) වෙසක් උත්සවයට උත්සවත්ශ්‍රීය ලැබීම සහ වෙසක් මුද්දර පිළිබද කථාවක් යන ලිපියේ සදහන් කරතිබු, සිංහල-දෙමළ අළුත් අවුරුද්ද සැමරීමට එතරම් උනන්දුවක් නොදක්වන මීගමුව ප්‍රදේශයේ ක්‍රිස්තියානි ජනයා ද වෙසක් උත්සවයට කූඩු සැදීමට, සැරසිලි කිරීමට, දන්සල්දීමට, උනන්දුවක් දක්වන්නේ වෙසක් උත්සවශ්‍රිය සිය 'උත්සව සංස්කෘතිය' (festival culture) ඇසුරෙන් පැනනැගුන සහ    සමාන සංස්කෘතික සබැදියාවක් නිරූපණය කිරීම නිසා ද ගැන සාකච්ඡා කිරීම හෝ රාජ්‍යය මෙන්ම, වෙනත් දේශපාලන ප්‍රවනතාවයන් විසින්  මුද්දර නිකුත්කිරීමේ සිට වෙසක් සැමරුමට රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට දේශපාලන බලවේගවල පෙළගැස්ම ගැන කරුණු නැවත සාකච්ඡා කිරීමද, මෙම ලිපියේ අරමුණ නොවේ.
මෙම ලිපියේ අරමුණ එකී ජාතික සහ අභ්‍යන්තර ප්‍රවනතාවයන්  අභිබවා ගිය වර්තමාන දකුණු ආසියාවේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය තුල පවා ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය කුමන ආකාරයේ වැදගත්කමක් දිනාගනිමින් සිටින්නේදැයි යන්න ගැන සාකච්ඡා කිරීමය.

කලින් සදහන් කල ආකාරයට 
මියන්මාරය සහ ශ්‍රී ලංකාව මේ වසරේ එකම දිනයක වෙසක් දිනය  යොදාගැනීම මෙන්ම දේශපාලන, ආගමික සහ වෙනත් සමාජ ප්‍රවණතා අනුවද මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර යම් සමාන්තර  ආගමික සහ දේශපාලන ප්‍රවනතාවයන් වර්ධනය වෙමින් තිබෙන්නේදැයි යන්න සාකච්චා කරන පුවත් රාශියක්ද පසුගිය වකවානුවේ ජාත්‍යන්තර මාධ්‍යවල යම් අවධානයකට ලක්ව තිබුණි. විශේෂයෙන්ම මියන්මාරයේ රෝහින්‍යා සරණාගතයින්ට ලංකාවේ බෞද්ධ භික්ෂූන් පෙරටුකරගත් කණ්ඩායම් විසින් පහරදීමත්, එවැනිම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර දියත්වීමත් තුල ඉහත සදහන් කල මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වර්ධනයවන යම් ආකාරයක සමාන්තර  ආගමික සහ දේශපාලන ප්‍රවනතාවයන් පිළිබද අවධානයට ලක්විය.

තත්වය මෙසේ තිබියදී, ඉන්දියාව දකුණු ආසියාවේ රගදක්වන  දේශපාලන භූමිකාව තුල විශේෂයෙන්ම ලංකාව, මියන්මාරය සහ නේපාලය තුල  බුද්ධාගම විෂය කරන්නා බව දැන් දැන් පැහැදිලිව පෙනීයමින් පවතී. එය එක්තරා ආකාරයකට බෞද්ධ රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගයක් (Buddhist diplomacy) ලෙස හදුන්වාදීමටද ඉන්දියානු විදේශ සබදතා පිළිබද රචනාවල දැන් හැදින්වීමට ලක්කර ඇත (Buddhist diplomacy has been a part of India’s repertoire - Devirupa Mitra, The Wire (07/05/2018). එම ප්‍රතිපත්තිය අනුව මෙරට බෞද්ධාමික ආයතනවලට ආධාර කිරීම, පුහුණුවැඩසටහන් දියත්කිරීම ආදි තවත් කරුණුද ඇතුලත්ය.

2017 වසරේ ලංකාවේ වෙසක් උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, දෙරට අතර ඇති ශිෂ්ටාචාරයේ පදනම බෞද්ධාගම බවත්, බුද්ධාගම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලද උතුම්ම දායාදය බවත්, එය ආරක්ෂාකර දීමට ඉන්දියාව නොපැකිලෙන බවත් දැක්වීය. එම ගමනේදීම ඔහු අනෙකුත් ආසියාතික රාජ්‍යයන්ද ඉන්දියාවේ පැනනැගුන බුද්ධාගම තුලින් සභ්‍යත්වය අත්කරගැනීම පිලිබදව අදහස් දක්වා තිබුණි. ඔහුගේ එකී අදහස් දැක්වීම ඉන්දියානු උපායමාර්ගීක ප්‍රවේශයක හැඩරුව දක්වන්නේද? එය එක්තරා ආකාරයකට එක් රාජ්‍යයක් විසින් තවත් රාජ්‍යයක ස්වෛරීභාවය ප්‍රතිලිවීමකට (overwrite) ලක්කිරීමක් නොවේදැයි යන්න ගැනද සාකච්ඡාවක්ද ඇතිවිය. පසුගිය වසරේ ඔහු දැක්වූ එකී අදහස් නැවත වරක් 30/04/18 දින ඉන්දියාවේ පැවති තවත් බෞද්ධ උත්සවයදී එක ලෙසම දක්වා තිබීම ඉන්දියාවේ බෞද්ධ රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගයක් (Buddhist diplomacy) පිළිබද අදහස නැවත මතුකර දක්වයි. 

"India has never had a history or tradition of attacking others' ideology or country. India has never been an aggressor. It has never encroached upon (the territory) of any other country....all ideologies which had originated in India were based on the welfare of humankind and the environment. The teachings of the Buddha had shaped the national character of several Asian countries....At a time when terrorism, casteism, dynasty politics appear to be overshadowing the teachings of the Buddha, the talk of affection and friendship are becoming more relevant and important..." (India has never been an aggressor nor an encroacher: PM Narendra Modi, 30/04/2018 - The Times of India).

2
018 වසරේද  ලංකාවේ වෙසක් සමරුව සදහාවූ  ඉන්දියාවේ උනන්දුව සමබන්දයෙන් කිසියම් හෝ අඩුවක් නොවිණි. ඔවුහු  සාරානාත් නුවර සිට ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීය. ඉන්දියාවේ සිට ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම  කාලාන්තරයක් තිස්සේ සිදුවන්නකි. 2012 දී 2600වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් කපිලවස්තු පුරයේ සිට ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවීය.

2018 වසරේදී ඉන්දියාව සහ පාකිස්ථානය වෙසක් සමයේදී ලංකාව තුල ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සදහා තරගයක නිතරවූ බව දැක්වේ (India and Pakistan Wage 'Relic Diplomacy' in Lanka -07/05/2018). මේ පිලිබදව සකච්ඡා කරන සුප්‍රකට
 ඉන්දියානු විදෙස් කටයුතු පිළිබද සගරාවක්වන The Wire සගරාව දැක්වා තිබුනේ, පකිස්ථානයෙන් වැඩම කල ධාතූන් වහන්සේලාට වඩා ඉන්දියාවෙන් ලංකාවට වැඩමකල ධාතූන් වහන්සේලාට වැඩි පිළිගැනීමක් ලැබුණු බවයි. මන්දයත්, පකිස්ථානයේ ධාතූන් වහන්සේලා ගැන එතරම් පිළිගතහැකි  ඉතිහාසයක් සහ මූලාශ්‍ර නොතිබීම එයට හේතුව ලෙස සදහන් කරයි. ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම තරගයක් බවට පත්කරගැනීම එම ඔස්සේ ප්‍රකාශවිනි.  

මේ ලිපියේ සාකච්ඡාවට ලක්කළ ඉහත කරුණු මෙන්ම, ලිපියේ මුලින් සදහන් කල නමුත් සාකච්ඡාවට ලක්නොකල, සියලු කරුණු අනුව  පෙනීයනුවේ ලංකාවේ වෙසක් සැමරුම හුදෙක් බුදු තෙමගුල සමරන ආගමික උත්සවයකට එහා ගිය, ආගමික, දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික උපායමාර්ග සහ  ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය පිළිබද අවධානය යොමුකරවන  සහ හැගවුම්කාරයක් බවට දැන් එය පත්ව ඇති බවය. 

තවද, එතෙක් පැවති සම්ප්‍රදායක වෙසක් සමරුවට එහා ගිය, ඉන් බැහැරව, එයට කිසිසේත්ම අයත් නොවූ, බටහිර  ක්‍රිස්තියානි ආගමීක සහ එහි සංස්කෘතිය ආභාෂයන් අනුව යමින් වෙසක් සැමරුව ඉතා ඉහල උත්සවශ්‍රීයකින් යුතු අතිඋත්කර්ෂවත් උත්සවයක් බවට  පත්කිරීමේ  අනගාරික ධර්මපාලයන්ගේ බෞද්ධ පුනරෝද (Buddhist revival) ව්‍යාපාරයේ ක්‍රියාකලාපයන් වෙසක් උත්සවය ආගමික, දේශපාලන ව්‍යාපෘතීන්ගේ අංගයක් බවට සහ ඉන්දියානු භූ දේශපාලන ප්‍රවනතාවයන්ගේ න්‍යාය පත්‍රයන්ට ලාංකීය ස්වෛරීභාවය අභිබවා යාහැකි අවස්ථාවක් බවට විට බුදු තෙමගුල සැමරීම පවා පත්කර ඇතිබවක්ද  මේ අනුව පෙනීයයි.

* නේපාලය සහ ලංකාවේ රාජ්‍යය තාන්ත්‍රික සබදතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් 2007 වෙසක් සමයේ නිකුත්කල මුද්දරයක්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/05/2018.

2 comments:

  1. වෙසක් පොහොය දින බෞද්ධයින් සමරන්නේ ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණයට පත්වීම යන කාරණා තුනය. බෞද්ධාගමට අනුව මේ කරණු තුනම සිදුවී අැත්තේ වෙසක් පොහෝ දිනයන් වලය. පොහොය දිනය කවදාද යන්න තීරණය කරන්නේ චන්ද්ර මාස ක්රමය නම් පැරණි ක්රමයට අනුවය. ඒ අනුව චන්ද්ර වර්ශයකට පොහොය 12ක් අැත. ඒ්වා දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, අැසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උදුවප් නම් වෙයි. ඒම සෑම මාසයකටම දින 30ක් අැතුලත් වෙන අතර ඒ්වා පුර පක්ෂය අව පක්ෂය ලෙස කොටස් දෙකකට බෙදා දැක්වෙයි.අමාවක දිනට පසු දින අාරම්භ වන චන්ද්ර මාසයක් අවසන් වන්නේ ඊළග අමාවක දිනයේදීය. 13 වන ග්රෙගරි පාප් වහන්සේට ගෞරවයක් ලෙස ඒ නමින් නම් කර අැති අද අප භාවිතා කරන නූතන කැලැන්ඩරයට අනුව වර්ෂයකට දින 365ක් අැති අතර චන්ද්ර මාස ක්රමයට අනුව වර්ෂයකට අැත්තේ දින 360කි. ඒනිසා කිසිදු චන්ද්ර වර්ෂයක් සැම විටම ග්රෙගරි කැලැන්ඩරයේ දින සමග නියතව නොපවතී. සෑම වසරකම මෙම දිනයන් වෙනස් වේ. ලංකාව තුළ වෙසක් සැමරුම සිදු කරන්නේ වෙසක් පොහොය දිනයේය. චන්ද්ර මාස ක්රමයට අනුව මෙම වසරේ වෙසක් පොහොය ඒළැඹුනේ ග්රෙගරි කැලැන්ඩරයෙන් අප්රේල් මස 29 වෙනිදාය. ඒ අනුව බෞද්ධයින් මෙම වසරේ සම්බුදු තෙමගුල සැමරුවේ සත්‍ය වශයෙන්ම වෙසක් පොහොය දිනයේය.

    මෙම ලිපියේ ප්රධාන හරය ලෙස දැකිය හැකි බෞද්ධාගම රාජ්‍යතාන්ත්රික උපායමාර්ගයක් ලෙස භාවිතා කිරීම යන කරුණේ පැති කිහිපයක් අැත. ඒක් අතකින් මේ ප්රවනතාවය බෞද්ධයින්ට හොදය. මෙරට බෞද්ධාමික ආයතනවලට ආධාර කිරීම, පුහුණුවැඩසටහන් දියත්කිරීම හා ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ මෙරට ප්රදර්ශනය කිරීම බෞද්ධාගමිකයින් ඉතා ඉහළින් අගය කරන කරුණකි. නමුත් බෞද්ධාගම මූලික කරගෙන මෙරට අභ්‍යන්තර දේශපාලනයට අැගිලි ගැසීමට යම් රාජ්‍යයක් උත්සාහ දරනවානම් ඒය ඒසේ සිදු නොවීමට වග බලා ගැනීමට තරම් මෙරට රජය සහ සියලුදේශපාලන නායකයින් දක්ශ විය යුතුය. ඒසේ නොමැති නම් බෞද්ධාගම පමණක් නොව ඉන්දියාවෙන් ගෙන්වන ත්රීවීල් මෝටර් සයිකල් භාවිතා කර වුවද ඔවුන්ට ඒය සිදු කළ හැකි වනු අැත.

    ReplyDelete
  2. බුද්ධාගම යොදාගෙන හෝ ඉංදියාව කරන්න උත්සාහ කරන්නේ ඔවුන් හැමදාම කරපු දේ කරන්නයි. ඒ තමයි කලාපීය බලවතාට, කලාපීය වැඩිමහල් සහෝදරයා,(the big brother) යන චරිතයට පනපොවමින්
    විදේශ ප්‍රතිපත්තිය තුල අදිකාරිවාදීව හැසිරීම.

    ReplyDelete