This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 21 May 2018

හැරී සහ මේගන්ගේ විවාහය ආදර අන්දරයක්ද? රාජකීය විජ්ජාවක්ද?

හැරී සහ මේගන්ගේ විවාහය හුදෙක් පිරිමියෙක් සහ ගැහැණියක් අතර  සිදුවූ විවාහයක් හෝ බ්‍රිතාන්‍ය රජ පවුලේ තවත් තැනැත්තෙක්ගේ විවාහයකට වඩා එහා ගිය දෙයක් බව දැන් ලියවෙන, කියවෙන දේවල් අතරින් පෙනීයයි. 

බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරයෙකු මෙතක් සිදුකල විවාහයන්ට වඩා වෙනස් විවාහයක් හැරී කුමරු කරගෙන තිබෙන බව ඇත්තය. ඔහු විවාහවූ මේගන් මර්කල් මීට කලින් විවාහයකින් දික්කසාදවූ කාන්තාවකි. එමෙන්ම ඇය මිශ්‍ර වාර්ගික (mixed race) අප්‍රිකානු-ඇමෙරිකානු (African-American) කාන්තාවකි. ඇගේ පියා අයර්ලන්ත ජාතික සුදු ජාතිකයෙක්වෙන අතර මව අප්‍රිකානු සම්භවයකින් යුක්තය. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් නොව ඇමරිකානු ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවකි. මේ සියලු කරුනු අනුව හැරී කුමරු කරගෙන ඇත්තේ මෙතෙක් පැවති සම්මතයන්ට වෙනස් විවාහයක් බව පැහැදිලිය. 

අතීතයේදී නම් මෙවැනි විවාහයක් කිසිසේත්ම සිදුනොවනු ඇත. හැරී කුමරුගේ මුත්තාවූ, 5වන ජෝර්ජ් (George V) රජගෙන් පසු රජකමට පත්වූ ඔහුගේ පුතාවන, 8වන එඩ්වඩ් (Edward VIII)  රජට ඇමරිකානු ජාතික Wallis Simpsonව විවාහකර ගැනීමට (1937) බ්‍රිතාන්‍ය රාජකීයන්ගෙන් ඉඩ නොලැබුණි. ඇයද විවාහ දෙකකින් දික්කසාදවූ තැනැත්තියක්වීම එයට හේතුවිය. එම නිසා 8වන එඩ්වඩ් (Edward VIII)ට රජකම පවා අතහැර ඇමරිකානු ජාතික Wallis Simpsonව විවාහ කර ගත්හ. එතැන් පටන් එඩ්වඩ් ආදිපාදයා ලෙස හැදින්වූ රජකම අත්හල එඩ්වඩ් කුමාරයාගේ සහ සිම්ප්සන් ආර්යාවගේ ආදර අන්දරය එකල මාධ්‍යයවලට රජ බොජුනක්විය. කවි, සින්දු, නවකථා, කෙටිකතා පමණක් නොව රූපවාහිනී වැඩසටහන්, නාට්‍යය,  චිත්‍රපටි පවා නිර්මාණය විය.  ඒ තරමට එය ජනාදරය දිනාගත් කථාවක් විය. එහෙත් ටික කලකින්ම දෙවන ලෝක යුද්ධය පැන නැගීම නිසා එම කථාව යටගියහ. නැවත මාධ්‍යය ඔවුන් ගැන අවධානය යොමු කරනවිට එඩ්වඩ් ආදිපාදයාගේ සෞඛ්‍ය පිරිහීමට ලක්වී තිබුණි.     

ඉන් වසර 80කට පසු ඇමරිකානු ජාතික, කලින් විවාහයෙන් දික්කසාදවූ, ඊටත් වඩා, මිශ්‍ර වාර්ගික (mixed race) කාන්තාවක් කිසිදු බාධාවකින් තොරව විවාහ කරගැනීමට හැකිවීම තුල රජ පවුල කිසියම් ආකාරයකට කලානුකූලව වෙනස්වෙමින් පවතින්නේයැයි යන හැගීමක් ඇති කිරීමට හේතුවනු ඇත.

එහෙත්, ඇත්ත කරණයවනුවේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ගේ දෙවන දරුවාවන හැරී කුමරුට රජකම ලැබීමට ඇති අවස්ථාව දැන් ඉතා සීමිත බවය. රජකම ලැබීම සම්බන්දයෙන් 2වන එලිසබෙත් රැජිනගෙන් පසුව චාල්ස් කුමරුද, ඔහුගේ පුත් විලියම් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනාද හැරී කුමරුට වඩා පිලිවෙලින් ඉදිරියෙන් සිටී. එම ලැයිස්තුවේ  හැරී කුමරු පසුවෙනුවේ 6 වෙන තැනටය. ඒහින් හැරී කුමරුට රාජකීයන්ගෙන් කිසිදු බලපෑමකින් තොරව, තමන් කැමති, තම ජීවිතයේ ඉදිරි කාලය සතුටින් ගෙවිය හැකි  තැනැත්තියක් සිය කැමැත්ත අනුව තෝරාගැනීමට පැහැදිලි ඉඩක් විවරව තිබුණි. 

එහෙත් හැරී කුමරුගේ කැමැත්ත හෝ ඔහුගේ තේරීම පිළිබද හේතු, ඔහු සිය සහකාරිය ලෙස ඇයව තෝරාගත්තේ ඇයි? වැනි පෞද්ගලික කාරණා වලට වඩා, මාධ්‍යය මගින් මෙම විවාහය ගැන  යොමුකල අවධානය මුළුමනින්ම යොමුවී තිබුනේ එය මෙතෙක් පැවති රාජකීය සම්ප්‍රදායට වඩා වෙනස්  විවාහයක්ය යන කාරණාය.

විශේෂයෙන්ම, සම්ප්‍රදායිකව සුදු ජාතිකයින්ගේන් සැදුම්ලත් (Predominantly white institution) බ්‍රිතාන්‍ය රජ පවුලට සුදු ජාතික නොවන කාන්තාවක් ඇතුල්වීමත්, ඇය පළමු විවාහයෙන් දික්කසාදවූ කාන්තාවක්වීමත්, ඇය බ්‍රිතාන්‍ය නොවන ඇමරිකානු සාමාන්‍යය කාන්තාවක්වීමත් ආදී කරුණු මාධ්‍ය වාර්තාකරණයේ මුල් තැනක් දිනාගත්හ. 

මෙම විවාහය ගැන ප්‍රවෘත්ති වාර්තාකල ඇමරිකානු මාධ්‍යය එය ඔවුන් 1776 දී බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනයෙන් සහ බ්‍රිතාන්‍යය කිරීටයෙන්  නිදහස්වූ රාජ්‍යක් බවට පත්වීමෙන් අනතුරුව එරට වැසියෙකුට බ්‍රිතාන්‍යය  රාජකීයත්වය තුල සාමාජිකත්වය ලැබීම නම්වූ සුවිශේෂීත්වයක් සහිත ප්‍රවෘත්තීයක්  ලෙස වාර්තා කළේය. විවාහයෙන් අනතුරුව හැරී කුමරු සහ ඔහුගේ බිරිද The Duke and Duchess of Sussex ලෙස නිලනාමයකින් පිදුම්ලබන බැවින්, මේගන් මර්කල් යනු ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථමවරට බ්‍රිතාන්‍යය රජ පවුලෙන් නිල තනතුරක් ලැබූ ප්‍රථම ඇමරිකානුවා බවට පත්විය.

ඉන්දියානුවෙකුට එම අවස්ථාව ලැබීමට තවත් කෙතරම් කල්යයි දැයි ඉන්දියානු සමාජමාධ්‍ය තුල සාකච්ඡාවට ලක්ව තිබිණි. 

අපේ රටේද මෙම විවාහය ගැන හාස්‍යයෙන්, උපහාසයෙන් මෙන්ම අතිශයෝක්තියෙන්ද  සාකච්ඡාවට ලක්ව තිබුණි. ඉන් එකකින් කියවුනේ එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියාය.

(😂..... අර විවාහය මෙහෙ සිද්ධ උනා නම්😂 රැජින(අපේ නම් ආච්චි) "ඔය මගුල කෙරෙන්නෙ මගෙ මිනිය උඩින් තමා. අපේ හත්මුතු පරම්පරාවෙ වත් වෙච්ච දේවල්ද මේ.." තාත්තා- උඹ අපේ නම්බුව කෑවා..මූනෙ දැලි ගෑවා සෙසු නෑයෝ(විශේෂයෙන්ම නැන්දලා)- මේවා දැකල අපේ ළමයිත් නරක් වෙනවා. අපේ ජාතියෙ එකියකුත් නෙවෙයිලු...! ආදී දෑද...)
තවත් ඒවායින් කියවුනේ මේගන්ගේ ඇදුම්-පැළදුම්, රූපලාවන්‍ය සහ ස්වර්ණාභරණ ගැනය. ඒවා බොහොමයක් අපේ රටේ තත්වය හා  ගැලපීමට උත්සහකර තිබුණි. එහෙත් ඇත්නම් කරුණු වැරදිය. හුදෙක් මතුපිටින් පෙනෙන කරුණු ගැන නිවැරදි අධ්‍යනයකින් තොරව ප්‍රචාරණය කරණ ලැබූ කරුණුය. උදාහරණයක් ලෙස මෙම විවාහය සරල චාම් විවාහයක් යැයි කීම වැරදිය. මෙම විවාහ මංගල්‍යය සදහා පවුම් මිලියන 36ක් වියදම් කර ඇත. ඇගේ ඇදුම සදහා පමණක් පවුම් මිලියන 3ක් වියදම් කරතිබේ. එය ප්‍රංශ සන්නා නාමයක් (brand) වන Givenchy හි අධ්‍යක්ෂිකාවක්වූ  Clare Waight Keller විසින් නිර්මාණය කරන ලද්දකි. එම ඇදුමේ දිගු වේල්පොට පොදු රාජ්‍යය මණ්ඩලයට අයත් රටවල් 53කගේ මල්වලින් සකසා තිබුණි. එය සදහා පැය 100කට අදික කාලයක් ගත කර තිබේ. මෙම මල් මැසීමේදී සෑම පැය භාගයකට වරක්ම අත්සේදීමට සිදුවූ බව කියවේ.
කෙසේවුවද මෙකී සියළු පුවත්වලින් අපිට  සම්ප්‍රේක්ෂණය කරනුයේ කුමක්ද?  

ඇත්තටම,  හැරී කුමරු සහ මේගන් මර්කල් අතර ප්‍රේම සම්බන්දයක් පවතින බව බ්‍රිතාන්‍යය  පුවත්පත් වාර්තාකලේ ඔහු 'සුරූපී  තළඑළලු ස්ත්‍රියක්' (glamorous brunette) හා ප්‍රේම සම්බදයක් අරබා ඇති බවත් එය එතෙක් ඔහු ඇසුරු කළ දුබුරු පැහැති (blondies) කාන්තාවන්ට වඩා වෙනස් අත්දැකීමක් ඔහුට එකතුකරනු ඇති බවත්ය. එම වාර්තාකරණය තුලම කිසියම් සරාගීත්වයක් සහ වාර්ගික හැගීමක් මෙන්ම හැරීගේ සෙල්ලක්කාර ජීවිතයද නිරූපණය කරන්නේ දැයි යන සාකච්චාවක්ද ඇතිවිය. 

රැජිනගේ ප්‍රධානත්වයෙන්  බකින්හැම් මාලිගයේ පැවැත්වෙන වාර්ෂික නත්තල් උත්සවයට පසුගිය වසරේදී (2017) මේගන් මර්කල්ට ආරාධනා කිරීමත් සමග ඇයට  බොහෝදුරට රජ පවුලේ පිළිගැනීම හිමිවී ඇතිබව පෙනී ගියහ.

ඒ සමග බ්‍රිතාන්‍යය මාධ්‍ය මගින් මේගන් මර්කල්ගේ යටගියාව අනාවරණය කරන්නට විය. විශේෂයෙන්ම ඇයගේ පියාට හතරවටේම දරුවන් ඇති බවද, ඇයගේ කලින් විවාහයේ ජයාරූපද, කලින් පෙම්වතුන් ගැනද, ඇය රගපෑ චිත්‍රපටිවල සිපගන්නා ජයාරූපද, ඇගේ මිතුරන් කමකට නැති බවද, එක් මිතුරෙක් ඇමරිකාවේ නිත්‍යානුකූල ගංජා තවානක හිමිකරුවෙක් බවද වාර්තාකළේය. 

එහෙත් ඒ කිසිවකින් හැරී සහ මේගන්ගේ ප්‍රේම සම්බන්දය දෙකඩ නොවිණි. ඔවුන් විවාහවීමට තීරණය කලබව නිවේදනය කළේය. ඇත්ත වශයෙන්ම, හැරීගේ මගුල් ගැන එතරම් උනන්දුවක් පොදු ජනයා අතර නොතිබුන නමුත් විවාහය නිවේදනය කිරීමත් සමග මහජනයා අතර ඒගැන යම් උනන්දුවක් ඇතිවිය. මෙතෙක් කෙළිලොල් ජීවිතයක් කතාකරමින් සිටි හැරී දැන් තලත්තැනීවී සිටින බවද ඔහුගේ තට්ටය පවා දැන් පෑදෙමින් තිබෙන බවද ඉන් පසුව මධ්‍යය වාර්තාකළේය. මාධ්‍යයේ වෙනස සිදුවූයේ කෙසේදැයි ඉන් හොද හැටි බලාගත හැක. 

කෙසේවුවද, හැරී කුමරු ඇමරිකානු ජාතික, සාමාන්‍ය පවුලක, කලින් විවාහයකින් දික්කසාදවූ මිශ්‍ර වාර්ගික (mixed race) අප්‍රිකානු-ඇමෙරිකානු (African-American) කාන්තාවක් විවාහ කරගැනීම තවත් සින්ඩරේල්ලා (Cinderella)  වර්ගයේ කතාවක් හෙවත් Brian Reed ගේ Modern Enchantments: The Cultural Power of Secular Magic (2004) කෘතියේ විස්තර කරන අර්ථයෙන් තවත් ලෞකික විජ්ජාවක් (secular magic)දැයි යනුවෙන් ප්‍රශ්නකල මාධ්‍යද නොතිබුනාම නොවේ. 

මියැදෙන්නට පෙර දේශනයක් ඇසීමට තරම් අපි වාසනාන්තයන් වූ අපේ යුගයේ විශිෂ්ඨ දේශපාලන ශාස්ත්‍රඥයෙක් වූ එරික් හොබ්ස්බාවම් (Eric Hobsbawm) විසින් රචිත The Invention of Tradition (1983) කෘතියේ 102වන පිටුවේ සදහන් කල ලෙස 'නුතන සමාජයටද මිත්‍යාව සහ චාරිත්‍රවාරිත්‍රද අවශ්‍ය බවත්, රජවරුන් සහ පාලනතන්ත්‍රයන් පවතින්නේ ඒවා මහජනයාට සැපයීමෙන් බවත්' යන්න හැරී සහ මේගන්ගේ විවාහය ඔස්සේ නැවත සනාථවන්නේ දැයි Times සගරාව (17/05/2018) පවා මතුකරන ලදී. 

"The historian Eric Hobsbawm, analyzing the “secular magic of monarchy,” suggested that while it’s tempting to ask what role a royal wedding plays in a time of social change, it is often because of that change that the weddings have such significance.''

ඒ ඔස්සේ රට, ජාති, ආගම, වර්ගය, හමේ පැහැය, පන්තිය, ලිංගිකත්වය, විවාහක-දික්කසාද, සම්ප්‍රදාය-නවීන ආදී විවිධ බේදයන්ගෙන් බෙදී වෙන්වීම වෙනුවට මනුස්සකම සහ ශිෂ්ට සම්පන්න කම මුල්කරගනිමින් එක්වෙන නව සමාජයට අනුව බ්‍රිතාන්‍ය රජ පවුලද නවීනත්වයට පත්වෙමින් තිබෙන්නේ දැයි යන පණිවිඩයක් මෙම විවාහය ඔස්සේ ලබා දීමට කටයුතු කලේද? නැතහොත් තවත් රාජකීය විජ්ජාවක්දැයි? යන්න ඒ ඔස්සේ ප්‍රශ්න කෙරිණි. 

එහෙත්, මෙම විවාහයට එයට වඩා පදනමක්, බැදීමක් සහ දර්ශනයක් ඇතිබව පෙනීගියේ මුළු විවාහයේ තේමාව (theme) ලෙස ප්‍රේමය (love) යන්න තෝරාගැනීම නිසාය. මුළු විවාහය පුරාම ගායනාකල ගායනා කණ්ඩායමේ (Afro-American choir) ගීතිකා සහ ගායනාවල සිට, 19 හැවිරිදි ශෙලෝ (cello) වාදකයෙක්වූ Sheku Kanneh-Mason වාදයන් වල පවා තේමාවවුයේ ප්‍රේමයය.  (ඔහු වාදනය කලේ Franz Schubert ගේ "Ave Maria," Gabriel Fauré ගේ "Après un rêve" සහ Maria Theresia von Paradis ගේ "Sicilienne" නිර්මාණයන්ය). විවාහයේ  තේමාව වඩා හොදින් තේරුම් කරදීම සදහා සිය විවාහයේ දේශකයා ලෙස හැරී සහ මේගන් යුවල ඇමරිකාවේ සුප්‍රකට ඉවැන්ජලික් (evangelical) ක්‍රිස්තියානු  බිෂොප්වරයෙකු වූ  Michael Curryව චිකාගෝ නුවර සිට ගෙන්වා තිබුණි. 

ඔහුගේ දේශනය හැරී කුමරුගේ සහ මේගන්ගේ මුළු විවාහයම ඒකාලෝක කළේය.  බිෂොප්වරයා දැක්වුයේ ක්‍රිස්තුන් වහන්සේගේ මුළුමහත් ඉගැන්වීමේ හරය ප්‍රේමය බවය. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ ඉගැන්වීම මුළු මිනිස් ලෝකය පුරාම නොනවතින විප්ලවීය ක්‍රියාවලියක නිරතවූ බවත්, මාටින් ලුතර් ඇමරිකාවේ කළු ජනයාගේ අයිතිවාසිකම් දිනාගත්තේද ප්‍රේමයේ බලය (power of love) තුලින් බවත් දැක්වීය. සිය දේශනය අවසන් කිරීමට ප්‍රංශ ජේසු නිකායික කතෝලික පියතුමෙකු මෙන්ම  ශාස්ත්‍රඥයෙක් සහ විද්‍යාඥයෙක්වූ Pierre Teilhard de Chardin (1881-1955)ගේ රචනයක් ගෙන හැරපෑහ. ඉන් කියවුනේ මිනිසා ගින්දර සොයාගනිමින් සිය මුළු ඉතිහාසයම වෙනස් කරගත්තා සේ ප්‍රේමයේ ගින්න දල්වා ගතහොත් ලෝකයේ යුද්ධ, සාගින්දර, දිලිදිකම ආදිය සදහටම වදවී යන බවය:
  
"de Chardin said fire was one of the greatest discoveries in all of human history. "And he then went on to say that if humanity never harnesses the energy of fire again, if humanity ever captures the energy of love - it will be the second time in history that we have discovered fire. "(Dr King was right:) We must discover love - the redemptive power of love. And when we do that, we will make of this old world, a new world." 

හැරී කුමරුට සහ එම ආර්යාවට සිය ජීවිත ඇසුරෙන් මෙන්ම සිය සේවය තුලින්ද ලෝක ප්‍රජාව තුල ප්‍රේමයේ ගින්න දැල්විය හැකිනම් මෙම විවාහය ලෝකයට කෙතරම් වැදගත් නම් විය හැකිද?
මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/05/2018

4 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_853.html

    ReplyDelete
  2. /එතැන් පටන් එඩ්වඩ් ආදිපාදයා ලෙස හැදින්වූ රජකම අත්හල එඩ්වඩ් කුමාරයාගේ සහ සිම්ප්සන් ආර්යාවගේ ආදර අන්දරය..../

    ඔවුන් දෙදෙන හැඳින්වුනේ වින්ඩ්සර් ආදිපාදවරයා සහ වරිය ලෙසයි. (Duke & Duchess of Windsar). 1973 වසරේ ආදිපාදවරයා මියගිය විට ලංකාවෙ ප්‍රවෘත්තිපත්‍රවල ඔවුන්ගේ ආදර අන්දරය සවිස්තරව පලවූවා මට මතකයි..

    ස්තූතියි මාකස් අපූරු ලිපියක්...

    ReplyDelete
  3. ඔබ හරි වින්ඩ්සර් ආදිපාදවරයා සහ වරිය ලෙස (Duke & Duchess of Windsor) තමයි ඔවුන්ව 60 ගනන්වලින් පසුව හැදින්වුයේ, ඒවගේම ඔවුන්ව එඩ්වඩ් ආදිපාදයා සහ වරිය ලෙස හැදින්වූ බවත් පෙනී යනවා. විශේයෙන්ම ඔවුන් නැවත රජ පවුල සමග සම්බන්දවුවායින් පසුව ඔවුන්ව හැදින්වුයේ වින්ඩ්සර් ආදිපාදවරයා සහ වරිය ලෙස (Duke & Duchess of Windsor). ඇත්තවශයෙන්ම මෙම රජ පෙළපත හැදින්වන්නේද House of Windsor ලෙසයි. ඒ වික්ටෝරියා රැජිනගෙන් පසුව බලයට පැමිණි 5වන ජෝර්ජ් රජගෙන් පසුව.

    ReplyDelete