This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 25 October 2015

මීගමුවේ 'ගේ ලෝඩ්ස්' ?


1983 ජුලි කලබලවලට පෙර ජර්මනියේ Peter Klein විසින් ගනු ලැබු, මීගමුවේ පරණ හලාවත පාරත්, මහවීදිය (Main Street ) පාලමත්, අසරප්පා පාරත් අතර පාරේ දකුණු පැත්තේ කොටසේ (මහවීදිය පල්ලිය දෙසට යනවිට) ඉතා දුර්ලබ ඡයාරූපයක් Old Ceylon වෙබ් පුටුවේ 21/01/2014 දී පළකර තිබුණි. එම ඡයාරූපය සම්බන්දයෙන් මම එම දිනවලම මගේ facebook පිටුවේ ලිව්වෙමි. මේ එහි දිගුවකි. 

මෙම ඡයාරූපයේ විශේෂත්වය වනුයේ එය මීගමුව නගරයත් දාවඅළුකල 1983 ජුලි කලබලවලට පෙර ගැනු ඡයාරූපයක් වීම නිසාවත්, එවකට අයියලා-මල්ලිලා තිදෙනෙක් කරගෙන ගිය පාලම අයිනේ ඉටිරෙදි වෙලදාම ඡයාරූප ගතකළ නිසාවත් නොව, එය එවකට මීගමුවේ ෂාවුල් හමීඩ් මහතාට අයත්ව තිබු පාලම අයිනේ නිල්පාට ගොඩනැගිල්ලේ ලියා ඇති 'ගේ ලෝඩ්ස්' නම් වැකිය නිසාය. 

1990 දශකයේ මුල්කාලයේදී මීගමුවේ පදිංචි වී සිටි කාමසුඛල්ලිකානු යෝගයෙන් දිවිගෙවූ 'බහුමාන්' නම් සුවිස් ජාතික ධනකුවේරයෙකු පවත්වාගෙන ගිය සංචාරක නිකෙත්නයන් නිසා මීගමුව සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය කරන නරක නගරයක් යැයි කළු පැල්ලමක් ඇතිවී තිබිණි. බහුමාන් ගේ සංචාරක නිකෙත්නයන් විසින් යුරෝපයේ ලිංගික අවශ්‍යතා සදහා රට රටවලට යන සංචාරකයින් මීගමුවටද ගෙන්වා ගැනීම සදහා  යුරෝපයේ පලකල වෙළද දැන්වීම්වල මීගමුවේදී ඔවුන්ට අවශ්‍යනම් බාලවස්කාර පිරිමිදරුවන් පවා ලබාගත හැකියැයි දැන්වීම් පවා පලකල බව එවකට ජූඩ් ලාල් ප්‍රනාන්දු පියතුමා නායකත්වය දුන් 'කිතුසර' කණ්ඩායම විසින් බෙදාහැර තුබූ පත්‍රිකාවල සහ ඔවුන්ගේ 'කිතුසර' පත්තරේ එවකට පලකල වාර්තාවල ද පළවිණි. 

'කිතුසර' කණ්ඩායම, මීගමු එත්තුකාලේ 'දොන් බොස්කෝ' ආයතනය, එහි කතෝලික පියතුමන්ලා සහ මීගමුවේ සමස්ථ කතෝලික පල්ලියම බහුමාන්ටත්, ඔහුගේ සංචාරක ව්‍යාපෘතියටත් එරෙහිව ඔහුගේන් විවිධ ලාභ ප්‍රයෝජන ලැබූ දේශපාලයන්ගේත්, රාජ්‍ය නිලධාරීන්ගේත්, එවකට මීගමුව පොලිසියේ සිටි ඇතැම් නිලධාරීන්ගේත් තර්ජන-ගර්ජන, මැර ප්‍රහාර, අත් අඩංගුවට ගැනීම සහ සිරගතකිරීම්වලට ලක්වෙමින් දැඩි අරගලයක් දියත්කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස බහුමාන්ගේ සංචාරක නිකෙත්නයන් වසාදැමීමටත්, ඔහුව නීතිය ඉදිරියට ගෙන ඒමටත්, පසුව නැවත කිසිදිනක ලංකාවට පාතැබීමට නොහැකිලෙස රටින් පිටුවහල් කිරීමට කටයුතු කිරීමටත් හැකිවිනි. එම අරගලය එම යුගයේ තරුණ අපට ඉතිරිකලේ සදා අනුස්මරණීය මතකයකි. දශක දෙකකට වඩා ගතවුවද 'බහුමාන්' ආදීන් මීගමුවට එක් කල කළු පැල්ලම තවමත් මකාදැමිය නොහැකිව ඇතිබව මාගේ පෞද්ගලික විශ්වාසයයි.   

එහෙත් ඉහත ඡයාරූපයේ එන 'ගේ ලෝඩ්ස්' යන්න කිසිම ලෙසකින් ඉහත සදහන් කල ලිංගික සංචාරක ව්‍යාපෘතියන් සමගවත්, සමලිංගික කටයුතු සමගවත් බැදුනක් නොව, එය සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ව්‍යාපාරයක නමක් පමණි. මෙහි 'ගේ ලෝඩ්ස්' යන්නෙහි ගැබ්වී තිබුනේ ගේ-දොර සැදීමේ ද්‍රව්‍යයන්ගේ සිට ගේ-දොර උපකරණ සැපයීම දක්වා වූ සියලු සේවාවන් මෙම වෙළෙද සැල ඉටුකර දෙන බවයි. 

 එහෙත් ව්‍යාපාර නාමයක් සදහා 'ගේ ලෝඩ්ස්' යනුවෙන් නාමයක් පාවිච්චි කලේ කවුද ? ඒ ඇයි ? යන්න විමසා බැලීමේදී පෙනීගියේ, එය 80 දශකයේ මීගමුවටත් ගසාගෙන ආ, එවකට බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා තරුණයන් අතර පැතිරුණු ජනප්‍රිය 'මොඩ්' (Mod) සංස්කෘතිය සහ බැදී පැවතුනක් බවයි.
කලින් කලට විවිධාකාර සංස්කෘතික අංග-උපාංග වලට නිතර නතුවන මීගමුව, 80 දශකයේ ආරම්භයේදී 'මොඩ්' සංස්කෘතියේ (Mod Culture) අභාෂය ලැබූවන්ගේන්ද නොඅඩුව පැවත ඇත. එවකට මීගමුවේ සංගීතය, ඇදුම් විලාසිතා , සයිඩ්බර්න්ස් (sideburns) ඇතුළු කොන්ඩ සහ රැවුල් විලාසිතා ආදිය දෙස බැලීමේදී පෙනී යන්නේ එය පැහැදිලිවම මොඩ් (Mod) සංස්කෘතියේ අභාෂය ලැබුවක් බවයි. 

ඉහත බිත්තියේ සදහන් කර ඇති ව්‍යාපාරය පවත්වාගෙන ගිය තරුණයා (දැන් වියපත් Uncle) මීගමුවේ එවකට මොඩ් Mod සංස්කෘතිය නියෝජනය කල කණ්ඩායම් හොදින් ඇසුර කල ඔවුන්ගේ සංස්කෘතික දිවිපෙවතේදී ඔවුන් රසවිධි විවිධ දෑ හොදින් දැන සිටියෙකුවේ. ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන අළුත් ව්‍යාපාරයට 'ගේ ලෝර්ඩ්ස්' යන නම උපුටාගනු ලැබුවේද මීගමුවේ මොඩ් (Mod) තරුණයන් අතර 1980 මුල් යුගයේ අතීශයෙන් ජනප්‍රියව පැවති 'Smokey and the Bandit II' නම් බටහිර චිත්‍රපටියේ, Jackie Gleason රගපෑ 'Gaylord Justice' ගේ චරිතය ඇසුරිනි. 
Smokey and the Bandit  චිත්‍රපටි පෙළත්, Jackie Gleasonරගපෑ 'Gaylord Justice' ගේ චරිතය පමණක් නොව එහි එන ඇතැම් යෙදුම් පවා එම යුගයේ මීගමුවේ මොඩ් (Mod) තරුණයන් අතර ජනප්‍රියව තිබු බව මෙම 'ගේ ලෝඩ්ස්' නම පිලිබදව මා කල සොයාබැලීමේදී පෙනීගිය දෙයකි. කිසිසේත්ම සමලිංගික කටයුතු හා බැදුනක් නොවු මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ව්‍යාපාරය පවත්වාගෙන ගිය වෙළද ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරය සදහා එවැනි නමක් යොදාගැනීමේදී පැකිලීමට කිසිදු කරණක් නොතිබි අතර ඔවුන්ට අනුව නම් 'ගේ ලෝඩ්ස්' යන්න තවත් එවකට ජනප්‍රිය සංස්කෘතියේ එන මොඩ් (Mod) නමක් පමණක් වනලදී. එය මීගමුවේ කිසිවෙකුටත් කිසිසේත්ම ගැටළුවක් වී නොතිබිණි. ඒ බහුමාන් ආදීන් මීගමුවට කළු පැල්ලමක් එක්කිරීමට පෙරය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(25/10/15)

Monday, 19 October 2015

මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!


මීගමුවේ පල්ලි ප්‍රංශ ජාතික පියතුමන්ලා විසින් පාලනය කරමින් සිටි 

1930 දශකයේදී, ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව මීගමුවේද පල්ලියක් ගොඩනැංවීමට උත්සාහයන් 02 ක් ගෙන තිබුණි. ප්‍රථමයෙන් කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය ඒ ආකාරයෙන් ගොඩනැංවීමට උත්සහකර තිබුණි. 

එහෙත් අරමුදල් හිගකම නිසා එම උත්සාහය සාර්ථක නොවීය. දශක දෙකකටත් වඩා කාලයක් මන්දගාමීව සිදුවෙමින් තිබු එම පල්ලිය ඉදිකිරීම කතෝලික ආගම දේශීයකරණය විය යුතුයැයි විශ්වාස කල, එමෙන්ම හෙල හවුලේ සමාජිකයෙකුදවූ, අබා කොස්තා පියතුමාගේ පැමිණීමෙන් පසුව පෝටිකොවක් සහිතව දේශීය උරුවක් මත ඉදිකර අවසන් කරන ලදී. 
ප්‍රංශයේ ලෝක ප්‍රකට රේයිම්ස් දේවස්ථානය සියවස් 10ක් වත් පැරණි විශිෂ්ඨ ගොතික් (Gothic style) ආකෘතිය මත ඉදිකළ දේවස්ථානයකි. පළවන හෙන්රි කුමාරයා සහ ඈන් කුමරිය විවාහ මංගල්‍ය එහි සිදුකර තිබීමත් (19 May 1051), දෙවන ඉනසෙන්ට් පාප්තුමා විසින් ( Pope Innocent II) හත්වන ලුවී (Louis VII) රජ අභිෂේක කරමින් 'ශුද්ධවූ රෝම අධිරාජ්‍ය' (Holy Roman Empire) බිහිකිරීමට මුලපිරීමත් නිසාද එය තවදුරත් ඉතිහාස ගතය. එම ප්‍රංශ ආකෘතිය කිසියම් වෙනස්කමකට ලක්කර වියදම යම් ආකාරයකට පාලනය කරගනිමින් ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය ඉදිකිරීම සදහා එවකට මීසම් පාලකයවූ Fr. G. Gannon පියතුමා සැලැස්මක් සකස්කල අතර ඒ අනුව 1936 පෙබරවාරි 02 කොළබ අගරදගුරුවරයා වූ Peter Marque විසින් මුල්ගල තබන ලදී. 

ඒ වනවිටත් වැල්ලවීදිය දේවස්ථාන භුමියේ කුඩා ශා.සෙබස්තියන් පල්ලියක්  පැවති අතර එය 1800 දී පමණ ඉදිකළ පල්ලියක් නවීකරණය කර නැවත ඉදිකල බවට තොරතුරු පවතී. පෘතුගීසි යුගයේ සිට පැවත එන ශා.සෙබස්තියන් පල්ලියක් මීගමුවේ පැවති බවට තොරතුරු සදහන් වුවද එය මීගමු කටුවපිටිය ප්‍රදේශයේ ඇති ශා.සෙබස්තියන් පල්ලියද නැතහොත් වැල්ලවීදිය ශා.සෙබස්තියන් පල්ලිය යන්න නිශ්චිතව කිව නොහැක. 

කෙසේවුවද, 1930  වන විට ද මීගමුවේ ප්‍රබලව පැවති සුර්ය කුලයන් වන මහවීදියේ කුරුකුලසුරියවරුන්ට මහවීදිය ශා. මරියා පල්ලිය ද, දූවේ මිහිදුකුලසුරියවරුන්ට දූවේ සින්ද්‍රාති පල්ලිය මෙන්ම මීගමුව ශා. පීතර පල්ලියද හිමව තිබු නමුත් මීගමු වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන්ට එවැනි අති විශාල දේවස්ථානයක් නොතිබීනි. 
ඒම කරුණ මීගමු වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන් ඇතුළු ප්‍රදේශයේ ජනයාට ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය අති උත්කර්ෂවත් ලෙස තනා නිමකිරීමට පෙලබවීමක් ඇති කරන ලදී. 
ඒ අනුව මහවීදියේ කුරැකුලසුරියවරුන්ගේ ශා. මරියා පල්ලියට සහ මිහිදුකුලසුරියවරුන්ගේ මීගමුව ශා. පීතර පල්ලියට නොදෙවෙනි  ලෙස වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන්ද තම පල්ලිය ඉදිකිරීම සදහා සෑම සතියකම සිය ධිවර කර්මාන්තයෙන් ඉපැයූ මුදලින් කොටසක් ලබාදුන් බව ගම්වැසියෝ අදත් පවසති. ඉදිකිරීම් සදහා අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය ප්‍රවාහනය කරතිබුනේ මීගමුවේ හැමිල්ටන් ඇළ මගින් රට අභ්‍යන්තරයේ  සිටය. වැල්ලවිදිය පල්ලියට මීටර් 200ක්වත් දුරින් නොපිහිටි හැමිල්ටන් ඇළ මේම පල්ලිය ඉදිකරන සමයේ එකම ප්‍රවාහන මාර්ගයක් වී තීබී ඇත.

පල්ලිය ඉදිකිරීමට දායකවූ පරපුරේ කිසිවෙකු දැන් ජීවතුන් අතර නොසිටියද එම විස්තර එයට දායක වූ සීයලාගෙන් අසා දැනගත් පිරිස් තවම සිටිති. මමද එවැන්නෙකි. මෙම පල්ලිය ඉදිකිරීමට දායක වූ මීගමුව ඇල පාරේ ආබ්‍රහම් බාස් ද, විෂ්මකර්මයක් ලෙස එහි වහල ඉදිකළ වැල්ලවීදිය පල්ලිය පිටිපස පදිංචිව සිටි 'පින්තූ' මහතා ගැනද අප අසා තිබේ. අපි කුඩා අවදියේ මෙහි බංකු කිසිවක් නොතිබි අතර ලොකු කුඩා සියල්ලෝම බිම වාඩිවී පුජාවට සවන්දුනි.  තවමත් ඉදිකර වසර 80 වක්වත් ඉක්ම ගොස් නැති මෙම පල්ලිය ප්‍රදර්ශනය කරනුයේ කතෝලික ආගම දේශීයකරණයවිමට ගොස් එහෙටත් නැතිව මෙහෙටත් නැති වෙනවාද? එසේත් නැතිනම් එහි යුරෝපියානු පදනම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින්, යම් සකස්කර ගැනීමක් පමණක් කරගන්නේ නම් කෙතරම් ලස්සනද යන්න නොවේද ? 

මෙහි ප්‍රධාන ඡයාරූප අතර  Reims දේවස්ථානයත්, අනෙක් ඡයාරූප 1980, 2007, 2013 ද වේ.
මාකස් ප්‍රියන්ත පෙරේරා
19/10/2015.

Monday, 12 October 2015

ජනාධිපතිතුමෙනි, මීගමුව රෝහලේ නව ගොඩනැගිලි දෙකට ස්තූතියි, එහෙත් අපේ ඉල්ලීම් ඉටු නොකර 'පූච්චානම්' කථා නම් තවත් එපා !!!

කඩා වැටීමට ආසන්න මීගමුව මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල වසා දමා දැන් මාස 05කි. මෙම කාලය තුලදී මීගමුව මහ රෝහලට පැමිණි රෝගීන් විවිධ අපහසුතාවයන්ට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම ගොඩනැගිල්ල ඉදිකළ දා සිට එහි වතුර කාන්දුවක් පැවති බවත්, එය ප්‍රතිසංස්කරණ කිරීමට හෝ ඒ පිලිබදව සලකා බැලීමටවත් හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපතිතුමා වන, මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නොතිබි බව මම මීට පෙර ලිව්වේමි. තවද, අඩුම තරමින් ඔහු සෞඛ්‍ය ඇමැතිව සිටියදී  මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල සම්බන්දයෙන් දැනුවත්ව, එක කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත්කර තිබුනේ නම් ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී, එනම් 01/01/2015 දින, මීගමුව 'ලේයිටං පාර්ක්' හී පැවැති ඔහුගේ රැලියේදී 'තමන් මහින්ද රාජපක්ෂ රජයට මීගමුව මහ රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කල නමුත් ඔහු එය අවඥාවෙන් බැහැර කල බව' කියනු ඒකාන්ත යැයි මම තර්ක කලෙමි. ඒ වෙනුවට ඔහු මීගමුව 'ලේයිටං පාර්ක්' හී ඔහුගේ රැලියේදී කලේ, ජාතික වීරයන්ට වඩා විජාතික වීරයන් හොදින් අදුනන, මීගමුවේ ජනයා 'චූන්' කිරීමට, ඇමෙරිකාවේ සිවිල් සහ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ගැන සටන්කල ක්‍රිස්තියානි පුජකයෙකු වූ, 'මාටින් ලුතර් කිං' ගැන කථා කිරීම යැයි ද, ඔහු කරන්නේ ද 'මාර්ටින් ලුතර් කිං' කල ඉතිහාසගත කාර්යට සමාන කාර්යක් යැයි පසක් කරදීමට වෙර දැරීම යැයිද මම ලිව්වෙමි (එය මෙතනින් කියවිය හැක). රෝහලේ එම ගොඩනැගිල්ලේ පැවති තත්වය මෙම වීඩියෝවෙන් දැකිය හැක.
ඉන් අනතුරව සිදුවුයේ මීගමුව මහ රෝහල එහි  සත්මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වී අවට පිහිටි 'ප්‍රියශාන්ත ගොඩනැගිල්ල' වැනි ගොඩනැගිලිවලට මහ රෑ ගුවන් හමුදා භටයන් යොදවා එහි වාට්ටු රැගෙනයාමට උත්සහ කිරීමයි. එහෙත් බස්නාහිර පළාත් සභාව හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතරම් කුලී මුදල් සොයාගැනීමට නොහැකිවීම නිසා එම අදහස අත්හැර නැවතත් මීගමු මහ රෝහලේම තාවකාලිකව ඉදිකල ගොඩනැගිලිවලට වාට්ටු රැගෙනයාමයි. ඉන් නොනැවතී මීගමුව මහ රෝහලේ විවිධ වාට්ටු, ප්‍රතිකාර අංශ සහ වෙනත් කොටස් අවට රෝහල්වලට අනුයුක්ත කර මීගමුව රෝහල ක්‍රමයෙන් හකුළුවා දැමීමට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කිරීමට සැරසෙන ලදී. නිදහසින් පසුව ගෙවීගිය දශක හය ( 6) තුලදී මීගමුවට සිදුවූ විවිධ අකටයුතුකම් ඉවසා-දරා සිටි මීගමු වැසියන් එයට විරුද්ධව මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීම මත දැවැන්ත විරෝධතා රැළියක් සංවිධානය කර බස්නාහිර පළාත් සභා පාලනයෙන් මීගමුව රෝහල ඉවත්කර මාධ්‍ය ආණ්ඩුවට පවරා ගන්නා ලෙසත්, මීගමු රෝහලේ කිසිම කොටසක් අවට පිහිටි වෙනත් රෝහල්වලට ගෙනගොස් මීගමු රෝහල හකුළුවාලීමට කටයුතු නොකරන ලෙසත් ඉල්ලා සිටින ලදී. ඒ ගැන මෙතනින් කියවිය හැක

එන පොට හොද නැති බව තේරුම්ගත්, මීගමු ජනයාගේ ඡන්දයට ණයගැති, මෛත‍්‍රීපාල සිරිසේන සහ ඔහුගේ යහපාලන නඩයේ 'හයි' කාරයෙකු වන වර්තමාන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා වහා වහා මීගමු රෝහල් භුමියේ, දින 50ක් තුල, යුරෝපයේ මෙන්, කොන්ක්‍රීට් පදනමක් මත යකඩ සැකිල්ලක් ගසා, තට්ටු දෙකක සහ තට්ටු තුනක ගොඩනැගිලි දෙකක් තනා එහි ශල්‍යගාරයක් ද ඇතුළුව  වාට්ටු සංකීරණයක් ඉදිකළ අතර එය අද (12/10/2015) උත්සවාකාරයෙන් විවෘතකරන ලදී. 

මේ සම්බන්ධයෙන් අපි බොහෝ වාරයක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහ  වර්තමාන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළුව එහිලා කටයුතු කල සියලු දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වෙමු. නැවතත් අපි ඔබතුමලාගේ රජයට  ස්තූතිවන්ත වෙමු. අපි සියල්ලෝම ඒ ගැන ස්තූතිවන්ත විය යුතුය.  ඒ මන්දයත්, මීගමුව මහ රෝහල සිය සත්මහල් ගොඩනැගිල්ලේන් ඉවත්වීමෙන් පසු එහි ඇදවල් නැතිව, වැසිකිලි පහසුකම් නැතිව, කොරිඩෝවල, කණුයට, විවිධ දුක්ගැහැට විදිමින් දුක්විදි මීගමු රෝහලේ සිටි රෝගීන්ට යම් හෝ සහනයක් ඉන් අත්වන බැවිනි. 


මෙහිදී නිමල් ලාන්සා අමාත්‍යවරයා කොඩිවැල් අදිමින්, විවිධ ප්‍රචාරක කටයුතු කරමින් ජනාධිපතිතුමාගේ හිත දිනාගැනීමට කටයුතු කල ආකාරයවත්, ජනාධිපතිතුමා ලගට වී ෆොටෝ ගැනීමට රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ගත් උත්සාහයන් පිලිබදවත් මම යමක් නොලියමි.  ඒ ප්‍රශ්නය ඇත්තේ එතන නොවන නිසාය. 

ප්‍රශ්නය ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා වාට්ටු සංකීරණය විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයේදී පැවසු කරනු පිළිබඳවය. මෙම උත්සවයේදී මෙම දෙපොලම කලින් කතාබස් කර සුදානම්ව පැමිණියා සේ, හොදට හරි-බරි ගසමින්, ලුණු-ඇබුල්, රස කාරක දමා කිවේ, මීගමුව රෝහල මාධ්‍යම රජයේ පාලනයට ගන්නේ නැති බවයි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ නොගන්නා බවට එහෙම්-මෙහෙන් කරුණු-කාරණා ඉදිරිපත් කල අතර, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා තමා සිටගන්නේ මීගමුව රෝහල මාධ්‍යම රජයේ පාලනයට ගන්නවාට එදා මහ ඇමැති ප්‍රසන්න රණතුංගටත් වඩා විරුද්ධ ස්ථාවාරයක් දරන හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ වැන්නවුන් සමග බව ඔප්පුකරන ලදී.

එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන්ම  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමාගේ ද කථාවලින් නොකියවුනේ, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාම මුල්ගල තැබූ, කඩාවැටීමට ආසන්න මීගමුව මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලට කුමක් කරන්නේ දැයි යන්නයි. වරක ජනාධිපතිතුමාගේ කතාවෙන් කියවුයේ එය කඩා දැමීමේ යෝජනාවල් ද තිබෙන බවයි. මේ වනවිට එහි වැසිකිලි, ජලාප්‍රවාහන පද්ධතිය සහ නාන කාමර පවා දැන් ගලවා ඉවත්කර ඇති නමුත්, එහිලා කඩිනම් ප්‍රතිකාරයක් කරනබවක් නොපෙනේ. 

මීගමුව මහ රෝහල මෙන්ම, මෙතෙක් මීගමුව ද සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඇති, බස්නාහිර පළාත් සභා පාලනයෙන් මීගමුව මහ රෝහල ඉවත්කර මධ්‍යම රජයේ ඍජු පාලනයට පවරාගන්නා ලෙස ඉල්ලීම මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉල්ලීමක් පමණක් නොවේ. එය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව සහ වත්මන් යහපාලනය බලයට ගෙන ඒමට ඡන්දය දුන් සහ නොදුන් මීගමු රෝහලට බෙහෙත් ගැනීමට පැමිණෙන සියළු ජනී-ජනයාගේ ඉල්ලීමය. එම ඉල්ලීමට ගරු කර, එය ඉටු නොකර විවිධ බොරු කථාකීමෙන් පලක් නොවේ. එවැනි බොරු, පුහු කථා කියන්නන්ට මීගමු ජනවහරේ කියනුයේ 'පූච්චානම්' කථා කියනවා ලෙසිනි. එය දෙමළ භාෂාවෙන් බිදී ආවකි. දකුණු ඉන්දියාවේ කේරළ, දෙමළ, තෙළිගු සහ මරාති  භාෂාවලින්ද 'පූච්චානම්' යන්න පුහු හෝ බොරු යන්න ය. එමෙන්ම උතුරු ඉන්දියාවේ භාවිතාවන හින්දියෙන්ද මරණ පරීක්ෂණයට (Postmortem) කියනුයේද  'පූච්චානම්' යනුවෙනි. එයට හොදම උදාහරණය ප්‍රකට හින්දි චිත්‍රපටියක් වන  'Pyaar Ka Punchnama' චිත්‍රපටියේ නමයි. එහි තේරුම ආදරයේ මරණ පරීක්ෂණය නොහොත් (Postmortem of Love) යන්නය. 

ඉතින්, අපට කීමට ඇත්තේද, මීගමු ජනවහරේ එන ලෙස, අපේ ඉල්ලීම් ඉටුනොකර 'පූච්චානම්' කථා නම් තවත් මීගමුවේ අපට නොකියනු මැනවි කියාය !!!

මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි දෙක විවෘත කිරීමෙ උත්සවය සහ එහිදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා කල කථා මෙතනින් නැරබීය හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/10/2015.

Thursday, 8 October 2015

ඉරානය හිට්ලර්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක


දේශපාලනයට පැමිණීමට පෙර ඔස්ට්‍රියාවේ වියානා (Vienna) නුවර චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කල ඇඩොල්ෆ් හිට්ලර් විසින් 1910-20 අතර කාලයේදී අදින ලද දුර්ලභ චිත්‍ර දැන් ඉරානයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයක ප්‍රදර්ශනය කරමින් තිබේ. 

දෙවන ලෝක යුධය අවසානයේ දී ඉරානයේ ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් යුරෝපයේ වටිනා චිත්‍ර එකතු කරන්නෙකුගෙන් මෙම චිත්‍ර මිලට ගෙන ඉරානයට රැගෙන ආවේයැයි සැලකේ. 1979 ඉරාන ඉස්ලාමිය විප්ලවයෙන් පසුව මෙම චිත්‍ර එරට මුස්ටශේෆාන් ඉස්ලාමිය පදනමට (Mostazafan Foundation) ලබාදී තිබේ. 

ඇඩොල්ෆ් හිට්ලර් වැනි ලේපිපාසිත වර්ගවාදී ඒකාධිපතියෙකු විසින් මෙවැනි අති දක්ෂ චිත්‍ර නිර්මාණයන් නිමවුයේ කෙසේදැයි මෙම ප්‍රදර්ශනය නැරබීමට පැමිණෙන ඉරානීය ජනයා විමතියෙන් විමසන්නේ යැයි ඉරාන ප්‍රදර්ශන සංවිධායකයන් පවසයි. 
එහෙත් ඊශ්‍රායල සහ තවත් බටහිර රටවල් ප්‍රකාශකරනුයේ මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයන් මගින් ඇඩොල්ෆ් හිට්ලර් වැනි බිහිසුණු වර්ගවාදී ආඥාදායකයන් නැවත උත්කර්ශනයට පත්කරන බවයි. තවද එය ඔහුගේ පාලනය යටතේ සාහසික අපරාධයන්ට ලක්වූ සහ වධකාගාරවල මියගිය දහසකුත් ජනයාගේ ඥාති-මිත්‍රාදීන්ට තවදුරටත් මානසික හිංසනයක් කැදවන බවට ඔවුන් තර්ක කරයි. 

ඉරානයේ හිටපු පාලක (2005-13) මොහොමඩ් අහමඩිජාන් (Mahmoud Ahmadinejad) මීට පෙර කිහිපවතාවක්ම ප්‍රකාශ කලේ තමන් හිට්ලර්ගේ පාලනය යටතේ 60 ලක්ෂයක් යුදෙව් ජනයා සමූලඝාතනය වූ බව ප්‍රතික්‍ෂේප කරන බවයි. වර්ගවාදයට, හිංසනයට සහ සාහසිකත්වයට විරුද්ධ බොහෝ දෙනාගේ විරෝධයන් හමුවේ පවා ඔහු (අහමඩිජාන්) ප්‍රකාශකලේ එය යුදෙව් ජනයා ලෝකය පුරාම පතුරුවූ ප්‍රබන්ධයක් පමණක් බවයි. අවශ්‍යනම් එය ඔප්පුකිරීමට තමන් ඉරානයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රනයක් සහ ප්‍රදර්ශනයක් කැදවන බව ඔහු කලකට පෙර ප්‍රකාශකළේය. මේ එහි අරම්හයක් දැයි කිසිවෙකුට ප්‍රශ්න කල හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
08/10/2015.