This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 19 October 2015

මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!


මීගමුවේ පල්ලි ප්‍රංශ ජාතික පියතුමන්ලා විසින් පාලනය කරමින් සිටි 

1930 දශකයේදී, ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව මීගමුවේද පල්ලියක් ගොඩනැංවීමට උත්සාහයන් 02 ක් ගෙන තිබුණි. ප්‍රථමයෙන් කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය ඒ ආකාරයෙන් ගොඩනැංවීමට උත්සහකර තිබුණි. 

එහෙත් අරමුදල් හිගකම නිසා එම උත්සාහය සාර්ථක නොවීය. දශක දෙකකටත් වඩා කාලයක් මන්දගාමීව සිදුවෙමින් තිබු එම පල්ලිය ඉදිකිරීම කතෝලික ආගම දේශීයකරණය විය යුතුයැයි විශ්වාස කල, එමෙන්ම හෙල හවුලේ සමාජිකයෙකුදවූ, අබා කොස්තා පියතුමාගේ පැමිණීමෙන් පසුව පෝටිකොවක් සහිතව දේශීය උරුවක් මත ඉදිකර අවසන් කරන ලදී. 
ප්‍රංශයේ ලෝක ප්‍රකට රේයිම්ස් දේවස්ථානය සියවස් 10ක් වත් පැරණි විශිෂ්ඨ ගොතික් (Gothic style) ආකෘතිය මත ඉදිකළ දේවස්ථානයකි. පළවන හෙන්රි කුමාරයා සහ ඈන් කුමරිය විවාහ මංගල්‍ය එහි සිදුකර තිබීමත් (19 May 1051), දෙවන ඉනසෙන්ට් පාප්තුමා විසින් ( Pope Innocent II) හත්වන ලුවී (Louis VII) රජ අභිෂේක කරමින් 'ශුද්ධවූ රෝම අධිරාජ්‍ය' (Holy Roman Empire) බිහිකිරීමට මුලපිරීමත් නිසාද එය තවදුරත් ඉතිහාස ගතය. එම ප්‍රංශ ආකෘතිය කිසියම් වෙනස්කමකට ලක්කර වියදම යම් ආකාරයකට පාලනය කරගනිමින් ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය ඉදිකිරීම සදහා එවකට මීසම් පාලකයවූ Fr. G. Gannon පියතුමා සැලැස්මක් සකස්කල අතර ඒ අනුව 1936 පෙබරවාරි 02 කොළබ අගරදගුරුවරයා වූ Peter Marque විසින් මුල්ගල තබන ලදී. 

ඒ වනවිටත් වැල්ලවීදිය දේවස්ථාන භුමියේ කුඩා ශා.සෙබස්තියන් පල්ලියක්  පැවති අතර එය 1800 දී පමණ ඉදිකළ පල්ලියක් නවීකරණය කර නැවත ඉදිකල බවට තොරතුරු පවතී. පෘතුගීසි යුගයේ සිට පැවත එන ශා.සෙබස්තියන් පල්ලියක් මීගමුවේ පැවති බවට තොරතුරු සදහන් වුවද එය මීගමු කටුවපිටිය ප්‍රදේශයේ ඇති ශා.සෙබස්තියන් පල්ලියද නැතහොත් වැල්ලවීදිය ශා.සෙබස්තියන් පල්ලිය යන්න නිශ්චිතව කිව නොහැක. 

කෙසේවුවද, 1930  වන විට ද මීගමුවේ ප්‍රබලව පැවති සුර්ය කුලයන් වන මහවීදියේ කුරුකුලසුරියවරුන්ට මහවීදිය ශා. මරියා පල්ලිය ද, දූවේ මිහිදුකුලසුරියවරුන්ට දූවේ සින්ද්‍රාති පල්ලිය මෙන්ම මීගමුව ශා. පීතර පල්ලියද හිමව තිබු නමුත් මීගමු වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන්ට එවැනි අති විශාල දේවස්ථානයක් නොතිබීනි. 
ඒම කරුණ මීගමු වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන් ඇතුළු ප්‍රදේශයේ ජනයාට ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය අති උත්කර්ෂවත් ලෙස තනා නිමකිරීමට පෙලබවීමක් ඇති කරන ලදී. 
ඒ අනුව මහවීදියේ කුරැකුලසුරියවරුන්ගේ ශා. මරියා පල්ලියට සහ මිහිදුකුලසුරියවරුන්ගේ මීගමුව ශා. පීතර පල්ලියට නොදෙවෙනි  ලෙස වැල්ලවිදියේ වර්ණකුලසූරියවරුන්ද තම පල්ලිය ඉදිකිරීම සදහා සෑම සතියකම සිය ධිවර කර්මාන්තයෙන් ඉපැයූ මුදලින් කොටසක් ලබාදුන් බව ගම්වැසියෝ අදත් පවසති. ඉදිකිරීම් සදහා අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය ප්‍රවාහනය කරතිබුනේ මීගමුවේ හැමිල්ටන් ඇළ මගින් රට අභ්‍යන්තරයේ  සිටය. වැල්ලවිදිය පල්ලියට මීටර් 200ක්වත් දුරින් නොපිහිටි හැමිල්ටන් ඇළ මේම පල්ලිය ඉදිකරන සමයේ එකම ප්‍රවාහන මාර්ගයක් වී තීබී ඇත.

පල්ලිය ඉදිකිරීමට දායකවූ පරපුරේ කිසිවෙකු දැන් ජීවතුන් අතර නොසිටියද එම විස්තර එයට දායක වූ සීයලාගෙන් අසා දැනගත් පිරිස් තවම සිටිති. මමද එවැන්නෙකි. මෙම පල්ලිය ඉදිකිරීමට දායක වූ මීගමුව ඇල පාරේ ආබ්‍රහම් බාස් ද, විෂ්මකර්මයක් ලෙස එහි වහල ඉදිකළ වැල්ලවීදිය පල්ලිය පිටිපස පදිංචිව සිටි 'පින්තූ' මහතා ගැනද අප අසා තිබේ. අපි කුඩා අවදියේ මෙහි බංකු කිසිවක් නොතිබි අතර ලොකු කුඩා සියල්ලෝම බිම වාඩිවී පුජාවට සවන්දුනි.  තවමත් ඉදිකර වසර 80 වක්වත් ඉක්ම ගොස් නැති මෙම පල්ලිය ප්‍රදර්ශනය කරනුයේ කතෝලික ආගම දේශීයකරණයවිමට ගොස් එහෙටත් නැතිව මෙහෙටත් නැති වෙනවාද? එසේත් නැතිනම් එහි යුරෝපියානු පදනම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින්, යම් සකස්කර ගැනීමක් පමණක් කරගන්නේ නම් කෙතරම් ලස්සනද යන්න නොවේද ? 

මෙහි ප්‍රධාන ඡයාරූප අතර  Reims දේවස්ථානයත්, අනෙක් ඡයාරූප 1980, 2007, 2013 ද වේ.
මාකස් ප්‍රියන්ත පෙරේරා
19/10/2015.

No comments:

Post a Comment