This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 27 August 2020

George Floyd ගේ මරණයෙන් පසු එම උද්ගෝෂණවලට සිදුවුයේ කුමක්ද?


මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව පුරාම පැතිරුණු වර්ගවාදයට එරෙහි පෙළපාලි, මහජන නැගිටීම්...'Black lives matters' උද්ගෝෂණ ව්‍යාපාරය...!!! ඒවා තවමත් නැවතිලා නැහැ.

මැයි 25 George Floyd මරාදැමීමට එරෙහිව මතුවූ එම උද්ගෝෂණ රැල්ල දැන් වෙද්දී එක පැත්තකින් කළු ජාතිකයින්ව පොලිස් වෙඩි පහරින් මරා දැමීමට එරෙහිව ඇතිවෙන උද්ගෝෂණවල පොදු සලකුණ බවට පත්වෙලා තිබෙනවා. ඒ කියන්නේ පසුගියදා ඇමරිකාවේ Wisconsin වල තවත් නිරායුධ කළු ජාතිකයෙක්ව එයාගේ ළමයි ඉස්සරහ වෙඩි තියලා මරලා දැම්මහම, ඊට එරෙහිව ඇතිවුණු උද්ගෝෂණ ව්‍යාපාරයේත්, ඊට කලින් සිදුවුණු තවත් එවැනිම කළු ජාතිකයින්ට වෙඩි තැබීම්වලට එරෙහි උද්ගෝෂණ ව්‍යාපාරවලත් පොදු සලකුණු බවට පත්වුණේ George Floyd, සහ ඔහු මරාදැමූවිට ඇතිවූ ආකාරයේ උද්ගෝෂණ...

ඇත්තටම, දැන් එංගලන්තය වගේ රටවල George Floyd ගේ මරණයත් සමග පෙරට පැමිණි 'Black lives matters' උද්ගෝෂණ ව්‍යාපාරය, George Floyd ගේ මරණයටත් වඩා එහා ගිය විශාල කතිකාවක් නිර්මාණය කිරීමට සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම එංගලන්ත ඉතිහාසය තුල ලොව පුරාම විවිධ ජන කණඩායම්වලට සිදුකල විවිධ අපරාධයන් පිළිබදව නැවත සමාජය අවධානය යොමුකරන, වහල් වෙළදාම සහ විවිධ ජන කොටස්වල සම්පත් මංකොල්ලකමින්, විවිධ අපරාධයන් මගින් මුදල් රැස්කරගනිමින් ධනවතුන් ලෙස මතුවෙමින්, අතිවිශාල මාලිගා තනමින්, මහා පරිමාණයෙන් දේපල රැස්කරමින්, සහ සිය ආදායමෙන් කොටසක් පොදු වැඩවලට යොදවමින් මෙරට ඉතිහාසය තුල 17 වෙනි සියවසේ සිට මුල්බැසගත් නව ප්‍රභූ පැලැන්තියකට අයත්වූ සියල්ලන්ගේ ජරාජීරණ ඉතිහාසය ගැන නැවත අවධානයට යොමුකරන තත්වය ගමන්කර තිබෙනවා. 

පසුගියදා සුප්‍රකට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ගොඩ නැගීමට මුල්වූ, ලොව පුර විවිධ ජනකණ්ඩායම් වලින් එකතුකරගත් භාණ්ඩ 71,000ක් පරිත්‍යාග කරමින් අනුග්‍රහය දැක්වූ, Hans Sloane ගේ ප්‍රතිමාව ඉවත්කලා. ඒ ඔහුගේ වහල් වෙළදාම සහ ජන ඝාතක අපකීර්තිමත් ඉතිහාසය නිසා. 

ඒවගේම එංගලන්තයේ ජාතික භාරකාර අරමුදලට (National Trust) අයත් දැන් මහජන ප්‍රදර්ශනයට තබා ඇති ඉහත කී විවිධ ප්‍රභූන්ගේ මාලිගා සහ ඔවුන්ගේ බඩු බාහිර ආදිය ප්‍රදර්ශනය කිරීමේදී එහි ඇත්ත ඉතිහාසය ප්‍රදර්ශනය කල යුතුය යන 'Black lives matters' උද්ගෝෂණ ව්‍යාපාරයේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා දැන් මෙරට ජනයා National Trust හී සමාජිකත්වයන් අත්හැරීමට මෙන්ම ඔවුන් මහජනයාට විවෘත කර ඇති ප්‍රදර්ශන ස්ථාන වර්ජනය කිරීමටත් පියවර ගෙන තිබෙනවා. 

මේ ආකාරයට George Floydගේ මරණයත් සමග පෙරට පැමිණි 'Black lives matters' උද්ගෝෂණ ව්‍යාපාරය නිසා ඉතිහාසයේ අශිෂ්ටත්වය, එහි සැහැසිකම් සහ ඒවායින් තරවුවන්ගේ ඊනියා ප්‍රභූත්වයේ සළුපට උනා දමන තත්වයකට ගමන් කරමින් සිටිනවා. 

මම නම් මෙවැනි ක්‍රියාදාමයන් තේරුම් ගන්නේ සුබවාදී සමාජ ප්‍රගමනයකට හේතුවෙන ප්‍රගතිශීලී ක්‍රියාකාරීත්වයන් ලෙසයි. කිසියම් සමාජයක් එම සමාජයේ අපරාධ ගැන පශ්චත්තාප වෙන්නේ නැති නම්, එම අපරාද තුලින් ප්‍රභූත්වයට සහ වීරත්වයට පත්වූවන් හෙළිකරගන්නේ නැතිනම් එම සමාජය තව තවත් සහසිකත්වයට පත්වෙනවා මිසක් යහපත් සමාජයක් බවට වෙන්නේ නැහැ...ඒ නිසා George Floyd ගේ මරණයත් එක්ක පෙරට පැමිණි 'Black lives matters' උද්ගෝෂණ ව්‍යාපාරය ඔස්සේ වර්ගවාදයට පමණක් නෙමේ මිනිස් ඉතිහාසයක සහසිකත්වයට එරෙහිව නැගී සිටීමට හැකි තත්වයක් මතුකරමින් තිබෙන බව කිව හැකියි...

මාකස් ප්‍රියන්ත පෙරේරා 
27/08/2020

Tuesday 25 August 2020

උදේ 6ට අමාත්‍යංශයට ගොස් නිමල් ලාන්සා ඇදගෙන නෑම

දැක්කද නිමල් ලාන්සා උදේ 6ට අමාත්‍යංශයට ගිහින් කෝ මේ office වල කට්ටිය කියලා හෙව්වා කියන පොස්ට් එකක්...නිකන් ඇදගෙන නාන වැඩනේ...එකට ඔය කොල්ලෝ එක එක පොස්ට් හදලා දාලා චොරකරලා තිබුනා. ඔය පොස්ට් වලට හේතුවුනේ නිමල් ලාන්සා එයාගේම facebook පේජ් එකේ දාපු පොස්ට් එකක්. ''නිමල් ලාන්සා උදේ 6ට අමාත්‍යංශයට'' කියලා ඔර්ලොසුවකුත් එක්ක පොස්ට් එකක් දැම්මේ එයාලම තමයි. එකෙන් ඒගොල්ලෝ පෙන්වන්න හැදුවේ නිමල් ලාන්සා උදේම වැඩ පටන්ගන්නවා, වැඩට හරි උනන්දුයි කියලයි. නිමල් ලාන්සා මීගමුවේ නගරාධිපති වෙලා ඉද්දී උදේ පහමාර වෙද්දී නගරසභාවට ඇවිත් පාරවල් පිරිසිදුකරන නගරසභා සේවකයින් වැඩට ආවද, අද කොයිපාරවල්ද සුද්ද කරන්නේ, ප්‍රශ්න මොනවද කියලා බලලා, උදේ හත වෙද්දී ඒ පාරවල්වල රවුමක් ගහලා වැඩ වෙලාද, උදේ වෙද්දී පුස්ථකාලවලට දවසේ පත්තර ටික ගියාද කියලා හොයලා බැලුවා කියලා නගරයේ හුගාක් දෙනෙක් දන්නවා..

නගර සභාවේ වැඩ කලේ එහෙමයි කියලා අමාත්‍යංශයට උදේ 6ට ගිහින් වැඩ කරන්න බැහැනේ..රාජ්‍ය ආයතන වැඩ පටන්ගන්නේ අට-නමය වේද්දී. ඉතින් අර නගර සභාවේ එක ඔලුවේ තියාගෙන අමාත්‍යංශවලටත් උදේ 6ට ගියා කියලා එයාගේ ප්‍රචාරක කණ්ඩායම් පොස්ට් දාපුවහම නිකම් සවුත්තුවෙලා යන එක අහන්න දෙයක් නෙමේ...

ඔහොම ලාභ ප්‍රචාරක වැඩවලට ගිහින් නිකම් සවුත්තු වෙනවාට වඩා හොද නැද්ද මීගමුව මුන්නකරයේ නාගරික මන්ත්‍රී නිමල් ඩයස් 'ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්' (නිමල් ලාන්සාගේ අමාත්‍යංශය) යටතේ මුන්නකරයේ සිරි කුරුස පාලම හදලා දෙන්න කියලා ඉල්ලපු ලිපිය අමාත්‍යංශ ලේකම් වරයාට ඔහුගේ අනුමැතිය ඇතිව 17/08/2020 යොමුකලා වගේ නිව්ස් එකක් දාන එක. මිනිස්සු දැනගන්න කැමති ඒ වගේ දේවල් නේ... මම හිතන්නේ ඒ දේවල් ගැන, ඒ කියන්නේ දැන් මේක අර ලේකම්ගේ/අර ඇමැතිවරයාගේ අනුමැතිය යටතට යොමුකලා, වගේ දේවල් ගැන කියන්න දේශපාලකයෝ උනන්දු නැහැ. මොකද එහෙම කිව්වහම වෙන්නේ, ඔවුන්ට බලයක් නැහැ වගේ අදහසක් යනවා..තව කෙනෙකුගෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ වගේ අදහසක් යනවා...ඒක එහෙමවුනත් ඒක පෙන්නන්න ඒ අය කැමති නැහැ...අනික, මිනිස්සු පස්සෙන් පාරෙන් ඇවිල්ල අහනවා කෝ අර වැඩේට මොකද වුනේ...ලිපියටට අනුමැතිය ලැබුනාද? සල්ලි පාස්වුනාද? ආදී දහසකුත් දේවල්..එතකොට දේශපාලකයාට වෙනවා අමාත්‍යංශවල ඇත්ත ප්‍රශ්න කථා කරන්න...ප්‍රමුඛතා ලැබෙන්නේ මොනවාටද? ඒ ඇයි? අමාත්‍යංශවලට මුදල් කොච්චර මුදල් ලැබුනාද? ඒවා වෙන්වුන ව්‍යාපෘති මොනවාද කියලා මිනිස්සුන්ට කියන්න...

අන්න එතකොට තමයි මිනිස්සුට තේරුම් යන්නේ ඇයි මුන්නකරයේ සිරි කුරුස පාලමේ බැමි දෙකවත් අවුරුදු ගානක් හැදෙන්නේ නැත්තේ? ඇයි අපේ පළාත්වලට ආණ්ඩුවෙන් වැඩක් නොකෙරෙන්නේ? රටේ සමහර පළාත්, සමහර නගර, ගම් සංවර්ධනය වෙද්දී අපේ පලාත්වල බෝක්කුවක් හැදෙන්නේ නැත්තේ ඇයි කියන එක...ඇත්ත දේශපාලන ප්‍රශ්න තියෙන්නේ එතන. ඒත් දේශපාලකයෝ කැමති එවත් එක්ක හැප්පෙන්න නෙමේ...මොනාවා හරි හොද හෝ නරක ප්‍රචාරක වාසියක් අත්කරගෙන, මිනිස්සුන්ට යම් යම් දේවල් ටිකක් බෙදලා දීලා, පොඩි පොඩි වැඩ ටිකක් කරලා ඊලග චන්දෙනුත් ගොඩ එන්න තමයි එයාලා හදන්නේ.

හැමදාම එහෙම යන්න බැහැ...මිනිස්සු වුනත් මේ දේවල් ගැන තේරුම් ගන්න දවසක් එනවා...එහෙම ආපුහම UNPයට යන කල යනවා...මේ පාර මීගමුවේ හිටපු UNP සංවිධායක කාවින්දටත් මීගමුවේ මිනිස්සු මනාපදීලා තියෙන්නේ ගියපාරටත් වඩා අඩුවෙන්...මීගමුවේ මිනිස්සු මෙවර වැඩිම මනාප චන්ද ප්‍රමාණය දීලා තියෙන්නේ නිමල් ලාන්සාට. ඒ කියන්නේ 24, 532ක් මනාප චන්ද නිමල් ලාන්සාට දීලා තියෙනවා. දෙවෙනියට වැඩිම මනාප ප්‍රමාණයක් දීලා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට 23,298... මිනිස්සු දැනන් හිටියා මේපාර ගේමක් නැතිව පොහොට්ටුව දිනනවා ඉතින් මිනිස්සු තීරණය කරනවා මේ අයව තමා අපේ පළාතේ අපි පත්කර ගන්නා මන්ත්‍රීවරු කියලා..දැන් වෙන්න ඕනේ දෙය ඒ මිනිස්සුට සේවය කිරීම.

ඉතින් office අරින්නත් කලින් උදේ 6යට ගියා කියලා වෙන දෙයක් නැහැ. වෙන්න ඕනේ කොහොම හරි කැබිනට් ඇමතිවරුන්ගෙන්, රාජපක්ෂලාගෙන්, සල්ලි පාස් කරගෙන අපේ පළාත්වලට වැඩක් කරන එක. ඒ අය සල්ලි පාස් කරලා දෙන්නේ නැතිනම් එකත් මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ව සංවිධනය කරන්න. ඒක ඔය උදේ හයට ගියා කියලා දාන මෝඩ ප්‍රචාරක උපක්‍රමවලට වඩා වදින යමක්..

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/08/2020

Friday 21 August 2020

පාස්කු ප්‍රහාරයට මාස 16යි, ජනාධිපති කොමිසමේ හෙලිවෙන්නේ, නොවන්නේ මොනවාද?

පාස්කු ප්‍රහාරයට අදට මාස 16ක් ගතවී ඇත. තවමත් ප්‍රහාරයට සමබන්ද මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පොරොන්දුවූ ප්‍රකාර පාස්කු ප්‍රහාරයට සම්බන්ද මෙන්ම එය වැලක්වීමට කටයුතු නොකල පුද්ගලයින්ව වහා වහා අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුවද ඔහු විසින් පිහිටවූ ජනාධිපති කොමිසම මේ වනවිටත් ක්‍රියාත්මකවෙමින් පවතී.

එම කොමිසම ඔස්සේ මතුවෙමින් පවත්නා කරණු අනුව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරයක් ගැන තොරතුරු 2019 අප්‍රියල් 5 වෙනිදා සිට දැන සිටිබව කියවේ. එහෙත් එය වැලක්වීමට ඔවුන් කටයුතු නොකලේ මන්ද යන්න ඔහුගේ සාක්ෂිවලින් හෙළිනොවීමට තරම් ඔවුන් පරිස්ස්ම්වීමට වගබලාගත් බව පෙනේ.

ප්‍රහාරය ගැන කොමිසමේ කරුණු අනුව පෙනීගිය තවත් කරුණක්වුයේ හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් වරක් සහරාන්ව මුහුදු මාර්ගයෙන් මන්නාරමේ සිට ඉන්දියාවට පිටත්කර හැරීමට කටයුතු කරතිබු බවයි. ඒ සම්බන්දයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශය තොරතුරු දැනගත්තේ බදුර්දීන්ගේ සහෝදරයා මෑතකදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවද නැතිනම් ඊට කලකට පෙරසිටමද යන්න කොමිසම හමුවේ නොකියවිණි.

සහරාන් ඉන්දියාවට යෑම් එම ගැන පමණක් නොව කටුවපිටිය පල්ලියේ බෝම්බය පිපිරවූ මොහොමඩ් කස්තූන්ගේ බිරිද ලෙස දැක්වූ පුලස්තිනි රාජේන්ද්රන් ද දැන් ඉන්දියාවට පලාගොස් ඇතිබව ජනාධිපති කොමිසමේදී කියවිණි. කලින් දක්වා තිබුනේ ඇය සයිදමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය පිරිස අතරවූ බවයි. එහෙත් ඇය ඔවුන් අතර නොවූ බව දැන් හෙළිවී ඇත. මේ සම්බන්දයෙන් 09/08/2020 සතිඅග අරුණ පුවත්පතට ලිපියක් ලියන කලින් පැවති බී. බී. සී. සිංහල සේවයේ සේවයකල නන්දන වීරරත්න දක්වනුයේ ඇය බොහෝදුරට ඉන්දීය ඔත්තු සේවයේ ක්‍රියාකරීනියක්වීමට ඉඩ ඇති බවයි. ඉන්දීය රෝ ඔත්තුසේවයේ ප්‍රහාරය ගැන නිවැරදි මෙන්ම නිශ්චිත තොරතුරු රැස්කර ගත්තේ ඇයගෙන් වියහැකි බවත්, දැන් ඇය නවදිල්ලියේ ආරක්ෂක නිවසක නැවතී සිටීමට ඉඩ බවත් දක්වත් නන්දන වීරරත්නගේ එම ලිපියේ දක්වා තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ අවධියේම අපි මතුකල කරුනක්වුයේ පාස්කු ප්‍රහාරය පිටුපස 'සහරාන්ලා මෙන්ම කූබියෝද' සිටින බවයි...කූබියෝ යන්නෙන් අදහස් කලේ කූබියෝ ටෙලිනාට්‍යයේ මෙන් තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන්නන් සිටින බවයි. ඔවුන් කවුරුන් දැයි තවමත් හෙළිවී නොමැත. කෙසේවෙතත් ප්‍රහාරය දියත්වුයේ ඉන්දියාවේ මහා මැතිවරණ සමයේ බවත් ප්‍රහාරයෙන් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ මුස්ලිම් විරෝධය මුල්කරගත් මැතිවරණ ව්‍යාපාරය විශාල සාර්ථකත්වයක් අත්කරගත් බවත් මීට පෙරම ලිව්වෙමි. තවද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ භාරතීය ජනතා පක්ෂය විශාල බහුතරයක් ලබමින් ජයගැනීමත් සමග මුස්ලිම් ජනයා මෙන්ම ක්‍රිස්තියානි ජනයාද මහත් තැතිගැන්මකට ලක්වී ඇතිබව ද මීට පෙර ලිව්වෙමි. (එම ලිපිය මෙම යොමුවෙන් කියවිය හැක) මන්දයත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ කිතුනුවන්ටද විවිධ තාඩන පීඩන, වද හිංසාවන් එල්ල කරන බැවිනි. එහියින් ලංකාවේ කිතුණුවන්ට එරෙහිව ප්‍රහාරයකදී වුවද එවැනි ඉන්දියානු සාධකයන්ට ඇගිල්ල දික්වීම ඉඩකඩ පවතී. කෙසේවෙතත් ප්‍රහාරය ගැන ඉන්දියාව ලංකාවේ ආක්ෂක අංශ දිගින් දිගටම දැනුවත් කල බවද අප අමතක නොකල යුතුය. එහෙත් ඒ අනතුරු ඇගවීම ගැන ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා ආරක්ෂා අංශ කටයුතු නොකළේ ඇයි? යම් විදිහකින් ඉන්දියානු අංශ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාවවත් දැනුවත්කලේ නම් මේසා විශාල මිනිස් විනාශයක් සිදුවීමට ඉඩනොතිබුණි.

මරණයේ වේදනාව ඇත්තේ මියගිය තැනැත්තන්ට නොව ජීවත්වී සිටිනන්ට බව පැහැදිලිය...මියගිය අපේ ජනයා ගැන ප්‍රහාරයෙන් මාස 16යකට පසුත් කදුළු සලන්නෝ එමටය. තවමත් ප්‍රතිකාර ලබන්නෝ එමටය. සදාකාලික ශාරීරික සහ මානසික පීඩාවක පසුවන්නො එමයට. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවන් යුක්තිය සහ සාධරණය ඉටිකළ යුත්තේ එමනිසාය. එහිලා මුලසිටම ක්‍රියාත්මකවු කාදිනල්තුමා මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාවද කිසිලෙසකින්වත් එම වගකීමෙන් ඉවත් නොවිය යුතුය. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා රජයේද, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේද වගකීමය. අනන්ත අප්‍රමාණ ලේ ගංගාවලින් තෙත්වූ ලක් පොළොවේ මියගියවුන් වෙනුවෙන් යුක්තිය සහ සධාරණය ඉටුකිරීම යනු තවදුරත් මහජනයා අනවතර බිලිපුජාවන් බවට පත්වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමකි.

මළාවූ සියළු ආත්මයන් සමාදානයේ පසුවෙවා..විපතට පත් සියළු ජනයාට සැනසීමක් අත්වේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/08/2020

Monday 17 August 2020

රත්නාලෝක, ඥාණහෝදර කථා වස්තුව

තංගලුනුවර කාල්ටනාරාමයේ වැඩවසන අප මහා අප්පචියානන් වහන්සේට, ශ්‍රී ධර්මද්වීපයේ ඇතිවන්නට යන මහා ව්‍යසනයක් පෙනිණි. එනම් රත්නාලෝක සහ ඥාණහෝදර සග රජුන් අතර දියවන්නා පළඟක් බෙදාගන්නට සටන් වැදීමට සූදානම් වන බවය. අප්පචියානන් වහන්සේ සැමවිටම අගය කළේ භින්නයයි. බේද භින්නයෙන් ලක් විජය ජය ලද ඕතොමෝ රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් අතර ගැටුමට හේතුවූ දියවන්නා පළඟක් පුජාකළ මැකොතුමෝ කැදවා 'ඔබ නම් ගණනයේ කෙල පැමිණියෙක්ය...අපහට මස් වැදැලි පිටින් පුදුනකල රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් හට කටු කැබැල්ලක් වීසිකලේ මන්දැයි' විචාලහ...'ස්වාමිනී මා දැන් මහල්ලෙක්මි...විශ්‍රාම සුවය ලැබ අම්බලන්ගොඩාරාමයක බවුන් වඩන්නට සිතා සිටින හෙයින් මා මේ වියවූල මතු පැමිණෙන්නෙක් හට විසදාලන්නට හැරපියා පිටවන්නට අදිටන් කරගෙන ඇත්තෙමි' යැයි කීහ. 'තොප වූකලී වරක් මගේ පඩුපුල් ආසනයටද කෙළියෙක්ය...එහෙත් එය මට නැවත උරුමකරදීමට කෙතරම් නම් සුමට සූත්තර ඇටවූවෙක්ද...එහින් මා තා හට සුවසේ විශ්‍රාමයාමට සලස්වමි යැයි වදාල සේක... එසනෙහිම පස්වගක් පිනා ගිය මැකෝතුමෝ දොහොත් මුදුන්දී පසග පිහිටුවා වැඳ එකත්පස්ව පිටව ගිහය. 

රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් අතර භින්නයේන් පස්වගක් පිනාගියද, අපුරු ආශ්වාදයක් ලද්ද ද සග රජුන් අතර භින්නය තම පාලන තන්ත්‍රය කෙරෙහි අහිතකරවන්නට හැකි බව සිය තුන්කල් දක්නා නුවණින් දත් අප මහ අප්පචියානන් වහන්සේ පුරෝහිත බැසිල් රෝහණයන් කැදවා මේ සම්බන්දයෙන් කුමක් කලමුදැයි විචාලහ...'මහරජතුමෙනි, සංගයෝ නම් අර්ථයෙන්ද, ධර්මයෙන්ද කෙලෙස් නසමින් සසරින් එතරවීමට උත්සහ කරති...එහෙත් රත්නයෝ නම් රසදියෙහි එල්ලී බටහිරයන් නසමින්ද, ඥාණායෝ නම් නම්බි නසමින් ද මේ බිම අපහට පරම්පරා ගණනකට උරැමකරදීමට මහත් වෙහෙසක් දැරුවෝය...එහින් දෙපොළටම සුගතියන් වන ලෙස මෙම ගැටුම විසදුව මැනවයි' කීහ. එකෙනෙහිම රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් කෙරෙහි මහා කරුණාවක් ඇතිකරගත් මහා අප්පචියානන් වහන්සේ අභයාරාමයට වැඩමකර දෙපිරිස අතරෙහි සාමය සහ සමෘද්ධිය වඩවන්නට ඊටා ගත්හ. නිකිණි මස 5වෙනිදායින් පසු පොහෝදින ගෙවී ගොස් ඇති බැවින් තවදුරත් අභයාරාමයේ හෝ වෙනත් ආරාම අතරේ මල් පහන් පුජාකිරීම අනවශ්‍යය යැයි දක්වාලු බැසිල් රෝහණ පුරෝහිතයන් මේ කටයුත්ත නන්දසේන ගෝඨාභය ජනපතිතුමන්ටම පවරමු යැයි යෝජනා කළේය. සග රජුන් අතර මහත් අභිනන්දනයකට පත්ව සිටින නන්දසේනයන් මෙහිලා සුදුසුම තැනැත්තේ බව එක් වරම වටහාගත් අප මහා අප්පචියානන් වහන්සේ එම කටයුත්ත මහත් සන්තුෂ්යෙන් නන්දසේනයන් හට පැවරුසේක. 

පවරන ඕනෑම කටයුත්තක් එක සිතින් ඉෂ්ට කිරීමේ ජගතෙකු යැයි කිරුල පලන් ගෝඨාභය නන්දසේනයානෝ බිදුවක්වත් කල් නොගෙන රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද වහා ඇතුල්කෝට්ටේ නුවර පිහිටි ටයිල්වත් නොඇල්ලු සිය නිවසට කැදවුහ. ජනපති නන්දසේනයන්ගේ ආරාධනය අනුව දනක් යැයි සිතා දෙපිළම මහත් සද්ධාවෙන් එහි වැඩියෝය. සුදුරෙදි එලා පවුල පටින් පසග පිහිටුවා වැද දන් පිළිගන්වා දෙපිලගෙන්ම අවවාද අනුශාසනා ඇසුසේක. රත්නයෝ නම් රසදියෙහි එල්ලී බටහිරයන් මේ ධර්මද්වීපයේ කරමින් ඇති නස්පතියක මහත ගැන දෙසුහ. මේ ද්වීපය පුරාම බටහිරයන්ගේ මේ මහා අනතුරට එරෙහිව සටන් කිරීම තම තිර අදිටන බව රත්නාලෝකයෝ වදාලාහ. මුසල්මානුවන් ජාතිය වද කරමින්, විහාර ගම්බිම් අත්කරගමින්, දේශයේ කුල කාන්තාවන් පවා බඩකරලමින් වර්ග සංහාරක ආක්‍රමණයක නිරතවී ඇති අයුරු අත්, හිස්, දන, පා, ඇගිලි ලෙලලෝමින් කාහල නාදයෙන් ඥාණහෝදරයන් දෙසුසේක. සියළු අනුශාසනාවන් දොහොත්මුදුන් දී සාවදානව අසාහුන් නන්දසේනයෝ අවසානයේ දියවන්නා පළඟ ගැන කුමක් කරන්නේ දැයි ඇසුහ? 

එකෙණිහිම එකවර නන්දිකාල් කලපුව බිද පැමිණෙන මහා සතුරැ ප්‍රහාරයක්වන් මහා ගිනිවිජ්ජුම්බරයක් බදු කාලගෝට්ටියක් ඇති කරමින් රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද දියවන්නා පළඟ හිමිවිය යුත්තේ තමන්ට යැයි කියමින් කෑකෝ ගසමින් මහා කලගැබෑනියක් ඇතිකළහ. 

එකල් හී කොරෝනාවෙන් බැටකෑ ඇමරිකානුවෙක් සේ එකවරම ආවේෂවූ නන්දසේනයෝ වහා පුස්තක කාමරයට වැද කෞතුකාගාර කඩුවක් ගෙන ක්ෂ්නිකයෙන් පැන අසල තිබු පුටුවක් දෙපළු වන්නට ගැසුහ. සිදුවුයේ කුමක්දැයි එකවරම තේරුම් ගතනොහැකිව රත්නයෝද, ඥාණහෝදරයෝද දෙපළු වූ අසුන දෙසද, කඩුව දෙසද නැවත නැවත නෙත් යොමුකරන්නට වුහ. ඒ වනවිටද නන්දසේනයෝ කෞතුකාගාර කඩුව ලෙලදොවමින් විජ්ජුලතා මවමින් උන්හ. ඒ වූ කලී සිය කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයෙක් නොවූ බව රත්නාලෝකයන්ටද, ඥාණහෝදරයන්ටද පසක්කල මොහොත විය. කඩුව ඇතැතිව සිටි සිංහයා තමන් ඉදිරියේ තුබූ අසුන මෙතරම් ක්ෂණිකයෙන් දෙපළු කල හැකිවී නම් තමන් අඩ දබරවෙන දියවන්නා අසුන පමණක් නොව තමන්ටවුවද කුමක් නම් වෙද්දෝයි යන්න කල්පනාවන්නට විය. 

ඝන අන්දකාරයෙන් මිදී ආලෝකය ලද්දන් සේ රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද, දියවන්නා පළඟක් සමබන්දයෙන් සුදුසු යමක් කරම් යැයි සිතා නන්දසේනයන් අභිමුවෙහි සමගි වූහ. මෙසේ මේ ශ්‍රී ධර්මද්වීපයේ සිදුවන්නට ගිය විශාල ව්‍යසනයක්, ලේ ගැලීමක්, වළක්වා ගන්නට අප මහා අප්පචියානන් වහන්සේ නන්සේන ජනපතිදුන්ගේද, බැසිල් රෝහණ පුරෝහිතයන්ගේද සහය ඇතිව කටයුතු කලේ එසේය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/08/2020

Wednesday 12 August 2020

'සතුට' - නව කැබ්නට් මණ්ඩලය පත්කීරීමේ පදනමයි


හතරවන රාජපක්ෂ යුගයේ නවතම කැබිනට් මණ්ඩලය වූකලී ඩිජිටල්, තිරසර සංවර්ධන, ක්‍රිස්තියානි, මුස්ලිම්, ජාතික ප්‍රතිපත්ති, සමාජ සවිබල ගැන්වීම්, දක්ෂිණ සංවර්ධන, ජාතික සංවාද, ගුවන්සේවා ආදී එක් එක් අරුමෝසම්, විච්චුරණ, තොරම්බල් නැති දන්න කියන විෂයන් අනුවම පමණක් අමාත්‍යාංශ බෙදා වෙන්කළ කැබිනට් මණ්ඩලයකි. දෙකක් හැරුනුකොට, එහි අළුත් මුහුණු නැතිවා මෙන්ම අළුත් අමාත්‍යාංශද නැත.

විෂයන් සහ අමාත්‍යාංශ බෙදා වෙන්කිරීමේ පදනම ගතානුගතික ස්වරූපයක් ගත්තාවුවද, එකී අමාත්‍යාංශය සදහා ඇමතිවරුන් තේරීමේ පදනමවී ඇත්තේ පොහොට්ටු සන්ධානයේ කුඩා පක්ෂවල නායකයින්ට නිසි නියෝජනයක් ලබාදීමය. ඔවුන් සතුටු කිරීමය. ඇමතිවරු 26 දෙනා අතරින් කොලබ දිස්ත්‍රික්කයෙන් පමණක් ඇමතිවරු 05ක් පත්වන්නේද, හම්බන්තොටින් 3ක් පත්වෙන්නේද, රත්නපුරයෙන් ඇමතිවරු2ක් පත්වෙන්නේද, විමල්, ගමන්පිල, දිනේෂ්, අමරවීර, වාසු යන පොහොට්ටුවේ කුඩා පක්ෂවල නායකයින්ට කැබිනෙට්ටුව තුල නියෝජනයක් ලබාදීමට සිදුවී ඇති නිසාමය. ගම්පහ වැනි විශාලතම ජනගහනයක් ඇති දිස්ත්‍රිකවලට හිමිවී ඇත්තේ එක් කැබිනට් ඇමතිධුරයක් පමණි. ඇමතිධුර බෙදීමේදී ජනගහනය  සහ ජාතික වැදගත්කම යන්නට වඩා සුළු පක්ෂ නායකයින්ට නියෝජනයක් ලබාදීම මුලිකවී ඇතිබව පෙනීයන තවත් අවස්ථාවක් ලෙස ජාතික වැදගත්කමකින් යුතු ධීවර වැනි අමත්‍යාංශයක් ඩග්ලස් දේවනාදන්ට හිමිවීම තුලවුවද දැකිය හැක. ඊට අමතරව පොහොට්ටුවේ නායක චරිතවලට මොන චෝදනා පැවතියද මුල් පුටුටික ලබාදීමටද කටයුතු කර ඇත. බැරිම නම් ඊලග පුටු ටික හෝ ලබාදී ඔවුන් සතුටු කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ ඇති සීමාවන් ඉක්මවා යෑමට රාජ්‍ය ඇමතිධුර පත්කිරීම තුල උත්සහකර තිබුණි. එහිදී ඇතම් විෂයන් සදහා රාජ්‍ය ඇමතිවරු පත්කිරීමෙදී එම විෂය සහමුලින්ම පාහේ එක් දිස්ත්‍රිකයකට ලඝු කිරීමද දැකිය හැක්කකි. උදාහරණයක් ලෙස මහවැලි ඉඩම් සහ මහවැලි අමාත්‍යංශයේ විෂය ක්ෂේත්‍රයම පොළොන්නරුවේ රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් ආදී පොළොන්නරුවේ මන්ත්‍රීවරුන් අතර බෙදාදී ඇත. මෛත්‍රීපාල සිරිසේනට මහවැලි කැබිනට් ඇමතිකම ලබාදුනහොත් මුළු මහවැලි අමාත්‍යංශම පොළොන්නරුව දිස්ත්‍රිකයට උරුමකර දී ඇත.

අනෙක් අතට ඇතැම් රාජ්‍ය ඇමතිවරු පත්කර ඇත්තෙම කිසියම් ප්‍රජාවක්, කුලයක්, කේන්ද්‍රකරගෙනම. නැතහොත් අදාල විෂයට ඊටම ආදාල බැදීමක් හෝ පසුබිමක් ඔවුන්ට ඇතයි යන පදනම මතය. කැලණියේ ප්‍රසන්න රණවීරට වේවැල්, පිත්තල , මැටි , ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයද, වතුකරයේ ජීවන් තොණ්ඩමන්ට වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්, විමලවීර දිසානායකට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන කිරීමද, දයාසිරි ජයසේකරට බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනද, කංචන විජේසේකරට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන ආදිය ලබා දීමද ඊට උදාහරණ ලෙස දැක්විය හැක.

ඇතැම් රාජ්‍ය ඇමතිධුරයන්දීමේදී සමහර ඇමතිවරුන්ගේ පදනම සම්පුර්නයෙන්ම නොසලකා හැර ඇතිවාක් පමණක් නොව සිය ජන පදනම්වලට බලාපොරොත්තුවූ සේවයක් කල නොහැකි අමාත්‍යංශ හිමිවී ඇති බවක්ද පෙනීයැයි. නිමල් ලන්සාට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සැපයීම එවැන්නැක් යැයි මට සිතේ. නිමල් ලන්සාට හිමිවූ අමාත්‍යංශය වෙනුවට ඔහුට ධීවර, සංචාරක හෝ ගුවන්තොටුපලට සම්බන්ද ඇමතිධුරයක් ලැබුනේ නම් මීගමුව, වත්තල ආදී ජනයා වඩා සතුටුවනු ඇත.

ඒ වෙනුවට නාලක ගොඩහේවාට නාගරික සංවර්ධන, වෙරළසංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු ආදී අමාත්‍යංශ ලැබීම මීගමුව ජනයාට වැඩි බලාපොරොත්තු දල්වන්නක්වී තිබේ. නාලක ගොඩහේවාගේ මැතිවරණ ව්‍යාපාරය මීගමුවේ බොහෝ පොහොට්ටු සමාජිකයින් කරට අරන් කරගෙන යන ලද්දේ නාලක ගොඩහේවා විවාහවී සිටින්නේ මීගමුවෙන්වීමත්, ඇයගේ පියා මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කැපී පෙනේන වැදගත් තැනැත්තෙකුවීම නිසාත් පමණක් නොව ලාංසලා වෙනුවට මීගමුවට උගත්, බුද්ධිමත් වැදගත් දේශපාලකයෙකු පත්කර ගතයුතුයැයි යන අදහසක් ඔවුන් තුල පැවති නිසාය. මීගමුවේ නාලක ගොඩහේවාගේ ජන්ද ව්‍යාපාරය කෙතරම් සාර්ථවී ඇත්දැයි පැවසුවහොත් මීගමුවේ ඇතැම් කොට්ටාශ වල නිමල් ලන්සාට වඩා නාලක ගොඩහේවාට මනාම ලැබුන බව කියවේ. ලන්සලාට වඩා ගොඩහේවාගේ අමාත්‍යංශය හරහා මීගමුවේ ජනයාට, මීගමුවට, මීගමුව නගරය සංවර්ධනය කරගැනීමට වැඩි වැඩක් ඇතැයි යන හැගීමක් දැන් මීගමුවේ ජනයා තුල ඇතිවී ඇත.

 

ඒ කෙසේවෙතත් නිමල් ලාංසා මෙන්ම නාලක ගොඩහේවාටද තමන්ට ලැබුන ආමාත්‍යාංශ ගැන ඉදුරාම සතුටුවෙනු ඇත. තවදුටත් ගම්පහ දිස්ත්‍රිකයේ ඈත ගම්වලට සේවය කර සිය පදනම් තවතවත් තවුරුකරගනීමට නිමල් ලන්සාට හොද අවස්තාවක් හිමිවනු ඇත.

මෙවර කූට්ටම අනා ඇත්තේ කිසියම් ආකාරයකට පොහොට්ටුවේ බොහෝ බලකණු, සුළු පක්ෂ පමණක් නොව විවිධ ඇමතිවරුන්වද සතුටු කරන අරමුනද පෙරදැරි කරගෙනමය. එය හරියට 'කෙහෙළියට කරලිය' ලැබුනා සේය. සියළු නාට්‍ය පමණක් නොව නාටක නටිකාවන් දැන් ඔවුන්ට අවැසි ලෙස රගදැක්විය හැක. ඔවුන් එසේ සතුටින් සිටිනා සද රාජපක්ෂවරුන්ටද අවැසි ලෙස කටයුතු කල හැක. එමෙන්ම ඔවුන්ගේ විෂයන්වල බර ඇදීමට මෙන්ම එම විෂයන් අවශ්‍ය ලෙස හැසිරවීමටද ඔවුන්ට දැන් හැකිය.

කෙසේවුවත් ගතානුගතිකත්වය ඉක්මවා ගිය නව විෂය ක්ෂේත්‍ර හදුන්වාදී රටේ රැඩිකල් වෙනසක් සිදුකිරීමට සමත් ප්‍රවේශයක් මේ අමාත්‍යංශ, ඇමතිවරුන් සහ විෂයන් බෙදාවෙන් කිරීම තුල දැකිය නොහැකි බව මගේ අදහසයි.

වගකීම් සහ සුදුසුකම් වෙනුවට සතුට මුල්කරගැනීම මෙවර කැබිනට් මණ්ඩලය පත්කිරීමේ පදනම ලෙස දකින මා මෙකී ඇමතිකම් බෙදාදීම අතුරින් වඩාත්ම උන්නදු සහගත, වැඩි විභවයක් පවතින කැබිනට් පත්කිරීම ලෙස දකිනුයේ නාමල් රාජපක්ෂට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය පිරි නැමීමය. රට කුමන ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නද, ජනයා කෙතරම් පීඩාවට සහ අහේනියට පත්වුවද ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය ඔසවා තැබීමට කටයුතු කළහොත් ලංකාව අත්කරගන්නා කීර්තිය සහ ජයග්‍රහණ ඔස්සේ ජනයා ප්‍රීතියෙන් ඔසවා තබනවා පමණක් නොව. ලාංකිකයන් සොයන වීරත්වය සහ ජයග්‍රහණයේ සාපිපාසවද පිනවා ලනවා ඇත. සතුට යනු මෙවර කැබිනට් මණ්ඩලය පත්කිරීමේ පදනම ලෙස දක්වන්නේ එහිනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
12/08/2020

Wednesday 5 August 2020

2020 මහා මැතිවරණය - තනි අශ්වයෙක් දිනන රේස් එකක ඇති ලල් එක මොකද්ද?

One-horse race එකක දිනන අශ්වයා ගැන හැමදාම රේස් පත්තරේ බලන එකාට උනත් එච්චර විචිකිච්චාවක් තියෙන්න විදිහක් නැහැ වගේ මේ සැරේ මහ චන්දය ගැන උනත් මට එහෙම ලොකු උනන්දුවක් නැහැ...

අපි කවුරුත් දන්නවා ආණ්ඩුව ගේමක් නැතිව මේ චන්දේ දිනනවා... හැබැයි ඒ අයට ඔය හිතනවා වගේ තුනෙන් දෙකක් හෙවත් මන්ත්‍රීධුර 150ක්වත්, බැසිල් රාජපක්ෂ කියනවා වගේ මන්ත්‍රීධුර 130-135ක් වත් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ...බොහෝ දුරට මන්ත්‍රීධුර 120 ගානක් එයි..127 ක් විතර එනවා නම් ඩග්ලස් දේවානන්දලා සහ තවත් කිහිපදෙනෙකු එකතුකරන් මන්ත්‍රීධුර 130ක් විතර සීමාවට එන්න පුළුවන්..ඒ කියන්නේ කිසිම අභියෝගයක් නැතිව තනි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්, එත් තුනෙන් දෙක නැතිව.

UNPය රනිල්- සජිත් ලෙස දෙකට බෙදිලා ඉන්න නිසා ආණ්ඩුවේ ජය තවත් පහසුකරලා තියෙනවා විතරක් නෙමේ සමහර දිස්ත්‍රිකවල ආණ්ඩුවට බෝනස් ආසනයකුත් ගෙනත්දීමට හේතුවෙනවා ඇති. ඔවුන් දෙගොල්ලොම දෙකට බෙදිලා තරගකිරීමෙන් සිද්ධවෙන්නේ දෙගොල්ලනටම මන්ත්‍රීධුර 80ක් වත් ගන්න බැරිවෙන එකයි. මම හිතන්නේ සජිත්ලාට උපරිම ගන්න පුළුවන් 57 කට ආසන්න මන්ත්‍රීධුර ප්‍රමාණයක් විතරයි. මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිශ්ඩ්ගේ පක්ෂයේ වෙනම ඉල්ලන අය ටෙලිෆෝනය එක්ක ඉන්න තීරණය කළහොත් ඔවුන්ට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීධුර 60කින් යුතු ප්‍රධාන විපක්ෂය ලෙස හිටගන්න පුළුවන් වෙයි. ඒත් අර කියපු දෙතුන් දෙනා විපක්ෂයේ ඉදියිද? ආණ්ඩු පක්ෂයේ ඉදගනීද? කියලා කියන්න බැහැ. රනිල්ගේ UNP අලියට මෙවර මන්ත්‍රීධුර 20ක් පහුකර යන්න පුළුවන් උනොත් එකත් මැදෑ...ඒ අයට ඉන්න වෙන්නේ ඒ සීමාවේ තමයි..

දැඩි උත්සහයක් දැරුවත් මාලිමාවට මේවරත් සුවිශේෂි ජයග්‍රහණයක් අත්කරගැනීමට පුළුවන්වෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ..එහෙත් එහෙම වෙනවා නම් හොදයි. මෙවරත් ජවිපාවුන්ට සෙසු සිව්පාවුන් අතර සුවිශේෂී සත්ව කොට්ටාශයක් ලෙස මන්ත්‍රීධුර 6කට ආසන්න ප්‍රමානයක් ඇතිව සිටීමට හැකිවේවි. කොහොම වුනත් ඔවුන්ගේ ප්‍රමාණාත්මක සංඛ්‍යාවට වඩා ගුණාත්මක දායකත්වය තමයි වටින්නේ.

දෙමළ සන්ධානය කොහොමත් යාපනය, වන්නිය සහ මඩකලපුව ජයග්‍රහණය කරයි. ත්‍රිකුණාමලය නම් බැරිවෙයි. එත් ඒ අය මන්ත්‍රීධුර 14ක්වත් දිනයි. විනේශ්වර්න්ට කොහොම ප්‍රතිචාරයක් තියේවිද කියලා කියන්න බැහැ....

මේ මැතිවරණයේ උනත් පොඩ්ඩක් හරි ලල් එකක් තියේද කියලා හිතන කෙනෙකුට ඕනේ නම් උන්නදුවෙන්න පුළුවන් කාරණයක් තියෙන්නවා... ඒ තමයි සිරිසේනගේ උකුසු ප්‍රහාරය... සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් තරගකරලා මන්ත්‍රීධුර 15ක් විතර ගන්න පුළුවන් උනොත් ආණ්ඩුවට එක මාර ඇණයක් වෙනවා විතරක් නෙමේ, සිරිසේනත් ලේසි අණ්ඩයෙක් නෙමෙයි කියලා ඔප්පුකරයි...ඒවගේම විමල්ගේ පක්ෂයත් මන්ත්‍රීධුර 4-5ක් ගොඩදා ගත්තෝත්, ගොම්මන්පිලත්  එන එකේ බහුතර බලයක් තියෙන ආණ්ඩුවේ 'අගේ ඉදන් කණ කන' පුළුවන් තත්වයකට පත්වේවි...ඒවගේම රනිල් එකතුවෙලා ජාතික ආණ්ඩුවක් අටෝමු කියලා ගේමක් ගැහැවොත් ගිය ආණ්ඩුවට කලදේ මේ පත්වෙන අළුත් ආණ්ඩුවටත් කරන්න පුළුවන් වෙයි. එකෙන් රාජපක්ෂලාට වෙන්නේ අනුන්ට කැපු වලේ තමන්ම වැටෙන එකයි...

ඒ නිසා මේ මැතිවරණයේ නෙමේ නියම රේස් එක තියෙන්නේ ආණ්ඩුව පිහිටවූවායින් පසුව ඇතිවෙන දේශපාලන පෙළගැස්ම තුලයි නියම රේස් එක තියෙන්නේ...

ඉතින් පාන්දරින්ම පරදින රේස් කාරයෝ හැන්දෑව වෙද්දී ආපහු ආශ්වයෝ පිට නගින බව දන්න අපි අද දවස ශේප් එකේ ගතකරලා ඊලග දවසවෙද්දී  තරගයට ආපසු අවතීරණය වෙමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/08/2020