This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 21 August 2020

පාස්කු ප්‍රහාරයට මාස 16යි, ජනාධිපති කොමිසමේ හෙලිවෙන්නේ, නොවන්නේ මොනවාද?

පාස්කු ප්‍රහාරයට අදට මාස 16ක් ගතවී ඇත. තවමත් ප්‍රහාරයට සමබන්ද මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පොරොන්දුවූ ප්‍රකාර පාස්කු ප්‍රහාරයට සම්බන්ද මෙන්ම එය වැලක්වීමට කටයුතු නොකල පුද්ගලයින්ව වහා වහා අත්අඩංගුවට ගැනීමක් සිදුනොවුවද ඔහු විසින් පිහිටවූ ජනාධිපති කොමිසම මේ වනවිටත් ක්‍රියාත්මකවෙමින් පවතී.

එම කොමිසම ඔස්සේ මතුවෙමින් පවත්නා කරණු අනුව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරයක් ගැන තොරතුරු 2019 අප්‍රියල් 5 වෙනිදා සිට දැන සිටිබව කියවේ. එහෙත් එය වැලක්වීමට ඔවුන් කටයුතු නොකලේ මන්ද යන්න ඔහුගේ සාක්ෂිවලින් හෙළිනොවීමට තරම් ඔවුන් පරිස්ස්ම්වීමට වගබලාගත් බව පෙනේ.

ප්‍රහාරය ගැන කොමිසමේ කරුණු අනුව පෙනීගිය තවත් කරුණක්වුයේ හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් වරක් සහරාන්ව මුහුදු මාර්ගයෙන් මන්නාරමේ සිට ඉන්දියාවට පිටත්කර හැරීමට කටයුතු කරතිබු බවයි. ඒ සම්බන්දයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශය තොරතුරු දැනගත්තේ බදුර්දීන්ගේ සහෝදරයා මෑතකදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවද නැතිනම් ඊට කලකට පෙරසිටමද යන්න කොමිසම හමුවේ නොකියවිණි.

සහරාන් ඉන්දියාවට යෑම් එම ගැන පමණක් නොව කටුවපිටිය පල්ලියේ බෝම්බය පිපිරවූ මොහොමඩ් කස්තූන්ගේ බිරිද ලෙස දැක්වූ පුලස්තිනි රාජේන්ද්රන් ද දැන් ඉන්දියාවට පලාගොස් ඇතිබව ජනාධිපති කොමිසමේදී කියවිණි. කලින් දක්වා තිබුනේ ඇය සයිදමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය පිරිස අතරවූ බවයි. එහෙත් ඇය ඔවුන් අතර නොවූ බව දැන් හෙළිවී ඇත. මේ සම්බන්දයෙන් 09/08/2020 සතිඅග අරුණ පුවත්පතට ලිපියක් ලියන කලින් පැවති බී. බී. සී. සිංහල සේවයේ සේවයකල නන්දන වීරරත්න දක්වනුයේ ඇය බොහෝදුරට ඉන්දීය ඔත්තු සේවයේ ක්‍රියාකරීනියක්වීමට ඉඩ ඇති බවයි. ඉන්දීය රෝ ඔත්තුසේවයේ ප්‍රහාරය ගැන නිවැරදි මෙන්ම නිශ්චිත තොරතුරු රැස්කර ගත්තේ ඇයගෙන් වියහැකි බවත්, දැන් ඇය නවදිල්ලියේ ආරක්ෂක නිවසක නැවතී සිටීමට ඉඩ බවත් දක්වත් නන්දන වීරරත්නගේ එම ලිපියේ දක්වා තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ අවධියේම අපි මතුකල කරුනක්වුයේ පාස්කු ප්‍රහාරය පිටුපස 'සහරාන්ලා මෙන්ම කූබියෝද' සිටින බවයි...කූබියෝ යන්නෙන් අදහස් කලේ කූබියෝ ටෙලිනාට්‍යයේ මෙන් තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන්නන් සිටින බවයි. ඔවුන් කවුරුන් දැයි තවමත් හෙළිවී නොමැත. කෙසේවෙතත් ප්‍රහාරය දියත්වුයේ ඉන්දියාවේ මහා මැතිවරණ සමයේ බවත් ප්‍රහාරයෙන් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ මුස්ලිම් විරෝධය මුල්කරගත් මැතිවරණ ව්‍යාපාරය විශාල සාර්ථකත්වයක් අත්කරගත් බවත් මීට පෙරම ලිව්වෙමි. තවද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ භාරතීය ජනතා පක්ෂය විශාල බහුතරයක් ලබමින් ජයගැනීමත් සමග මුස්ලිම් ජනයා මෙන්ම ක්‍රිස්තියානි ජනයාද මහත් තැතිගැන්මකට ලක්වී ඇතිබව ද මීට පෙර ලිව්වෙමි. (එම ලිපිය මෙම යොමුවෙන් කියවිය හැක) මන්දයත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ කිතුනුවන්ටද විවිධ තාඩන පීඩන, වද හිංසාවන් එල්ල කරන බැවිනි. එහියින් ලංකාවේ කිතුණුවන්ට එරෙහිව ප්‍රහාරයකදී වුවද එවැනි ඉන්දියානු සාධකයන්ට ඇගිල්ල දික්වීම ඉඩකඩ පවතී. කෙසේවෙතත් ප්‍රහාරය ගැන ඉන්දියාව ලංකාවේ ආක්ෂක අංශ දිගින් දිගටම දැනුවත් කල බවද අප අමතක නොකල යුතුය. එහෙත් ඒ අනතුරු ඇගවීම ගැන ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා ආරක්ෂා අංශ කටයුතු නොකළේ ඇයි? යම් විදිහකින් ඉන්දියානු අංශ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාවවත් දැනුවත්කලේ නම් මේසා විශාල මිනිස් විනාශයක් සිදුවීමට ඉඩනොතිබුණි.

මරණයේ වේදනාව ඇත්තේ මියගිය තැනැත්තන්ට නොව ජීවත්වී සිටිනන්ට බව පැහැදිලිය...මියගිය අපේ ජනයා ගැන ප්‍රහාරයෙන් මාස 16යකට පසුත් කදුළු සලන්නෝ එමටය. තවමත් ප්‍රතිකාර ලබන්නෝ එමටය. සදාකාලික ශාරීරික සහ මානසික පීඩාවක පසුවන්නො එමයට. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවන් යුක්තිය සහ සාධරණය ඉටිකළ යුත්තේ එමනිසාය. එහිලා මුලසිටම ක්‍රියාත්මකවු කාදිනල්තුමා මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාවද කිසිලෙසකින්වත් එම වගකීමෙන් ඉවත් නොවිය යුතුය. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා රජයේද, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේද වගකීමය. අනන්ත අප්‍රමාණ ලේ ගංගාවලින් තෙත්වූ ලක් පොළොවේ මියගියවුන් වෙනුවෙන් යුක්තිය සහ සධාරණය ඉටුකිරීම යනු තවදුරත් මහජනයා අනවතර බිලිපුජාවන් බවට පත්වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමකි.

මළාවූ සියළු ආත්මයන් සමාදානයේ පසුවෙවා..විපතට පත් සියළු ජනයාට සැනසීමක් අත්වේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/08/2020

No comments:

Post a Comment