This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 17 August 2020

රත්නාලෝක, ඥාණහෝදර කථා වස්තුව

තංගලුනුවර කාල්ටනාරාමයේ වැඩවසන අප මහා අප්පචියානන් වහන්සේට, ශ්‍රී ධර්මද්වීපයේ ඇතිවන්නට යන මහා ව්‍යසනයක් පෙනිණි. එනම් රත්නාලෝක සහ ඥාණහෝදර සග රජුන් අතර දියවන්නා පළඟක් බෙදාගන්නට සටන් වැදීමට සූදානම් වන බවය. අප්පචියානන් වහන්සේ සැමවිටම අගය කළේ භින්නයයි. බේද භින්නයෙන් ලක් විජය ජය ලද ඕතොමෝ රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් අතර ගැටුමට හේතුවූ දියවන්නා පළඟක් පුජාකළ මැකොතුමෝ කැදවා 'ඔබ නම් ගණනයේ කෙල පැමිණියෙක්ය...අපහට මස් වැදැලි පිටින් පුදුනකල රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් හට කටු කැබැල්ලක් වීසිකලේ මන්දැයි' විචාලහ...'ස්වාමිනී මා දැන් මහල්ලෙක්මි...විශ්‍රාම සුවය ලැබ අම්බලන්ගොඩාරාමයක බවුන් වඩන්නට සිතා සිටින හෙයින් මා මේ වියවූල මතු පැමිණෙන්නෙක් හට විසදාලන්නට හැරපියා පිටවන්නට අදිටන් කරගෙන ඇත්තෙමි' යැයි කීහ. 'තොප වූකලී වරක් මගේ පඩුපුල් ආසනයටද කෙළියෙක්ය...එහෙත් එය මට නැවත උරුමකරදීමට කෙතරම් නම් සුමට සූත්තර ඇටවූවෙක්ද...එහින් මා තා හට සුවසේ විශ්‍රාමයාමට සලස්වමි යැයි වදාල සේක... එසනෙහිම පස්වගක් පිනා ගිය මැකෝතුමෝ දොහොත් මුදුන්දී පසග පිහිටුවා වැඳ එකත්පස්ව පිටව ගිහය. 

රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් අතර භින්නයේන් පස්වගක් පිනාගියද, අපුරු ආශ්වාදයක් ලද්ද ද සග රජුන් අතර භින්නය තම පාලන තන්ත්‍රය කෙරෙහි අහිතකරවන්නට හැකි බව සිය තුන්කල් දක්නා නුවණින් දත් අප මහ අප්පචියානන් වහන්සේ පුරෝහිත බැසිල් රෝහණයන් කැදවා මේ සම්බන්දයෙන් කුමක් කලමුදැයි විචාලහ...'මහරජතුමෙනි, සංගයෝ නම් අර්ථයෙන්ද, ධර්මයෙන්ද කෙලෙස් නසමින් සසරින් එතරවීමට උත්සහ කරති...එහෙත් රත්නයෝ නම් රසදියෙහි එල්ලී බටහිරයන් නසමින්ද, ඥාණායෝ නම් නම්බි නසමින් ද මේ බිම අපහට පරම්පරා ගණනකට උරැමකරදීමට මහත් වෙහෙසක් දැරුවෝය...එහින් දෙපොළටම සුගතියන් වන ලෙස මෙම ගැටුම විසදුව මැනවයි' කීහ. එකෙනෙහිම රත්නාලෝකයන් සහ ඥාණහෝදරයන් කෙරෙහි මහා කරුණාවක් ඇතිකරගත් මහා අප්පචියානන් වහන්සේ අභයාරාමයට වැඩමකර දෙපිරිස අතරෙහි සාමය සහ සමෘද්ධිය වඩවන්නට ඊටා ගත්හ. නිකිණි මස 5වෙනිදායින් පසු පොහෝදින ගෙවී ගොස් ඇති බැවින් තවදුරත් අභයාරාමයේ හෝ වෙනත් ආරාම අතරේ මල් පහන් පුජාකිරීම අනවශ්‍යය යැයි දක්වාලු බැසිල් රෝහණ පුරෝහිතයන් මේ කටයුත්ත නන්දසේන ගෝඨාභය ජනපතිතුමන්ටම පවරමු යැයි යෝජනා කළේය. සග රජුන් අතර මහත් අභිනන්දනයකට පත්ව සිටින නන්දසේනයන් මෙහිලා සුදුසුම තැනැත්තේ බව එක් වරම වටහාගත් අප මහා අප්පචියානන් වහන්සේ එම කටයුත්ත මහත් සන්තුෂ්යෙන් නන්දසේනයන් හට පැවරුසේක. 

පවරන ඕනෑම කටයුත්තක් එක සිතින් ඉෂ්ට කිරීමේ ජගතෙකු යැයි කිරුල පලන් ගෝඨාභය නන්දසේනයානෝ බිදුවක්වත් කල් නොගෙන රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද වහා ඇතුල්කෝට්ටේ නුවර පිහිටි ටයිල්වත් නොඇල්ලු සිය නිවසට කැදවුහ. ජනපති නන්දසේනයන්ගේ ආරාධනය අනුව දනක් යැයි සිතා දෙපිළම මහත් සද්ධාවෙන් එහි වැඩියෝය. සුදුරෙදි එලා පවුල පටින් පසග පිහිටුවා වැද දන් පිළිගන්වා දෙපිලගෙන්ම අවවාද අනුශාසනා ඇසුසේක. රත්නයෝ නම් රසදියෙහි එල්ලී බටහිරයන් මේ ධර්මද්වීපයේ කරමින් ඇති නස්පතියක මහත ගැන දෙසුහ. මේ ද්වීපය පුරාම බටහිරයන්ගේ මේ මහා අනතුරට එරෙහිව සටන් කිරීම තම තිර අදිටන බව රත්නාලෝකයෝ වදාලාහ. මුසල්මානුවන් ජාතිය වද කරමින්, විහාර ගම්බිම් අත්කරගමින්, දේශයේ කුල කාන්තාවන් පවා බඩකරලමින් වර්ග සංහාරක ආක්‍රමණයක නිරතවී ඇති අයුරු අත්, හිස්, දන, පා, ඇගිලි ලෙලලෝමින් කාහල නාදයෙන් ඥාණහෝදරයන් දෙසුසේක. සියළු අනුශාසනාවන් දොහොත්මුදුන් දී සාවදානව අසාහුන් නන්දසේනයෝ අවසානයේ දියවන්නා පළඟ ගැන කුමක් කරන්නේ දැයි ඇසුහ? 

එකෙණිහිම එකවර නන්දිකාල් කලපුව බිද පැමිණෙන මහා සතුරැ ප්‍රහාරයක්වන් මහා ගිනිවිජ්ජුම්බරයක් බදු කාලගෝට්ටියක් ඇති කරමින් රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද දියවන්නා පළඟ හිමිවිය යුත්තේ තමන්ට යැයි කියමින් කෑකෝ ගසමින් මහා කලගැබෑනියක් ඇතිකළහ. 

එකල් හී කොරෝනාවෙන් බැටකෑ ඇමරිකානුවෙක් සේ එකවරම ආවේෂවූ නන්දසේනයෝ වහා පුස්තක කාමරයට වැද කෞතුකාගාර කඩුවක් ගෙන ක්ෂ්නිකයෙන් පැන අසල තිබු පුටුවක් දෙපළු වන්නට ගැසුහ. සිදුවුයේ කුමක්දැයි එකවරම තේරුම් ගතනොහැකිව රත්නයෝද, ඥාණහෝදරයෝද දෙපළු වූ අසුන දෙසද, කඩුව දෙසද නැවත නැවත නෙත් යොමුකරන්නට වුහ. ඒ වනවිටද නන්දසේනයෝ කෞතුකාගාර කඩුව ලෙලදොවමින් විජ්ජුලතා මවමින් උන්හ. ඒ වූ කලී සිය කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයෙක් නොවූ බව රත්නාලෝකයන්ටද, ඥාණහෝදරයන්ටද පසක්කල මොහොත විය. කඩුව ඇතැතිව සිටි සිංහයා තමන් ඉදිරියේ තුබූ අසුන මෙතරම් ක්ෂණිකයෙන් දෙපළු කල හැකිවී නම් තමන් අඩ දබරවෙන දියවන්නා අසුන පමණක් නොව තමන්ටවුවද කුමක් නම් වෙද්දෝයි යන්න කල්පනාවන්නට විය. 

ඝන අන්දකාරයෙන් මිදී ආලෝකය ලද්දන් සේ රත්නාලෝකයන්ද, ඥාණහෝදරයන්ද, දියවන්නා පළඟක් සමබන්දයෙන් සුදුසු යමක් කරම් යැයි සිතා නන්දසේනයන් අභිමුවෙහි සමගි වූහ. මෙසේ මේ ශ්‍රී ධර්මද්වීපයේ සිදුවන්නට ගිය විශාල ව්‍යසනයක්, ලේ ගැලීමක්, වළක්වා ගන්නට අප මහා අප්පචියානන් වහන්සේ නන්සේන ජනපතිදුන්ගේද, බැසිල් රෝහණ පුරෝහිතයන්ගේද සහය ඇතිව කටයුතු කලේ එසේය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/08/2020

2 comments:

  1. චීවර ධාරියන්ට තේරෙන විදිහටම ලියපු එක හොඳයි. මදැයි 'බල කාම අග්නිය' නිවන්න ආපු දෙන්නගෙ කෙරුවාව. හිකිස්.

    ReplyDelete
  2. බල කාම අග්නිය නිවන්න හැටි බලාගන්න ඔන්න දැන් හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා

    ReplyDelete