This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 30 March 2020

කොරෝනාවලින් මියගිය මීගමුවේ තැනැත්තාගේ තොරතුරු හෙළිවේ!! පුතා කෝ?

කොරෝනා වයිරසයෙන් මීගමුවේ තැනැත්තෙකු මියගොස් ඇති බවත්, ඔහු රෝගය සගවා ප්‍රථමයෙන් මීගමුව නවලෝක රෝහලටත්, පසුව මීගමුව රෝහලේ 20වෙනි වට්ටුවටත් ඇතුලත් කර ඇති බවත් අද (30/03/2020) දින හවස්භාගයේදී මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී එම තැනැත්තා මියගිය බවත් වාර්තා විය. 

පපුවේ අමාරුවක්යැයි කියමින් රෝහල් ගතවුවද පසුව සිදුකල පරීක්ෂණවලදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බව හෙළිවී තිබේ. එම නිසා මීගමුව රෝහලේ 20වෙනි වාට්ටුවේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තාවේ. රෝගියා තමාට කොරෝනා වයිරසය ශරීරගතවී ඇත්දැයි කලින් දැන සිටියේද? නැද්ද? යන්න තවමත් තහවුරු වී නැත.  

මෙසේ රෝහල් ගත කර කොරෝනා රෝගයෙන් මියගොස් ඇත්තේ මීගමුව පෝරුතෝට ආබ්දීන් පාරේ පදිංචි මොහොමඩ් ජවුෆර් මහතා බව හෙළිවී තිබේ. යාපනේ උපන් තැනැත්තෙකු බව කියන ඒ මහතා කලාන්තරයක් පුරා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. වකුගඩු සහ ඇදුම රෝගියෙකුයැයි සදහන් ඒ මහතා පදිංචිවී සිට ඇත්තේ සිය පවුලේ සමාජිකයින් සමගය. එකී පවුලේ සියල්ලන් නිරෝධානය සදහා යොමු කළේදැයි තවමත් නොදනී. විශේෂයෙන්ම ඒ මහතාගේ පුතා දැන් සිටින්නේ කොහේද? ඔහුට කුමක්වී ඇත්ද? යන්න දැනගැනීමට ප්‍රදේශවාසීන්ගේ දැඩි උනන්දුවක් පවතී. 

මියගිය තැනැත්තාගේ යැයි සදහන් ජයාරූපද ඉහත තොරතුරු සමග මාහට ලැබී තිබේ. කිසියම්  ආවරණයක් සහිතව එම ජයාරූපවලින් එකක් පලකිරීමට මම තීරණය කලේ කරුණු 2ක් නිසාය. 

1. කොරෝනා වයිරසය නිසා බ්‍රිතාන්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ජයාරූප දෙක මේ වනවිටත් සමාජ මාධ්‍යවල පලකර පසුව ලංකාවේ පුවත් වර්තාවලද පලවී ඇති නිසාත්, 

 2. එවන් පසුබිමක් තුල, මෙසේ යම් ප්‍රමාණයකට හෝ මුහුණ ආවරණය කර කොරෝනා වයිරසය නිසා මියගිය මීගමුවේ තැනැත්තාගේ ජයාරූපයක් පලකිරීම තුල ඔහුව හදුනාගන්නා, ඔහුව ඇසුරුකළ කිසියම් හෝ තැනැත්තෙක් වෙතොත් ඔවුන්ද වහාම තම තමන්ටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇත්දැයි පරික්ෂාකර ගැනීමට පෙලබවීමත් සදහාත්ය.  

එමෙන්ම සදහන් කල යුතු දෙයක්වනුවේ වයිරසය සෑදෙන සියල්ලන්ම මරණයට පත්වෙන්නේ නැති බවත් එහින් කිසිදු කෙනෙකු අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොවන බවය. කල හැකි හොදමදේ නම් යම් රෝග ලක්ෂ පෙන්වන කිසිවෙක් වෙතොත් වහාම ඇත්තම තත්වය සදහන් කර රෝහල්වීමත්ය. හැකිතරම් සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යමින් රෝගය පාලනය කිරීමට සහයවීමද සමාජ වගකීමකි. 

අප සියල්ලන් මතක තබා ගතයුත්තේ රෝගයක් වැළදීම හෝ ඉන් රෝගාතුරවී මියයෑම වරදක් නොවන බවය. එහෙත් බෝවන රෝගයක් වැලැක්වීමට කටයුතු නොකිරීම කිසිසේත්ම වගකිවයුතු පුරවැසියෙකුගේ සමාජ වගකීම නොවේ. 

ඒහින් අපේ නගරයත්, රටත්, මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවත් මේ වසංගත තත්වයෙන් රැකගැනීම සදහා වගකීමෙන් යුතුව  කටයුතු කරමු!!!! 

මාකස් ප්‍රියන්ත පෙරේරා
 30/03/2020

Friday 27 March 2020

වසංගතයකට වඩා වෙනත් භීතියක්ද, භීතියට වඩා වෙනත් වසංගතයක්ද නැත

කොරෝනා සුනාමියට අප දැන් මුහුණදීමට සුදානමින් සිටින්නෙමු. ක්‍රමයෙන් වැඩි වෙන කොරෝනා ආසාදිතයන් ගණන උදාවෙන මහා බියකරු නිමේෂයක් ගැන අනතුරු අගවයි. ජීවිතය කාලය තුල මරණය කෙතරම් අද්දරින් ගොස් ඇතිවුවද, මේ මාගේ වාරය නොවේයැයි ඒ සෑම අවස්ථාව සි කීරිගාමින් පුන පුනා කීවද, දන්න නාදුනන සියල්ලන් එයට ගොදුරුවෙන අයුරු දැන අසා හද කම්පා කරවයි. 

සුන්දර යුරෝපයේ රමණීය ඉතාලියේද, මල්බර නෙදර්ලන්තයේද, සද්දන්ත ජර්මනියේද, කකුල් කොටුවවන් බෙල්ජියමේද, සවුදිය පිරූ ස්පාඤ්ඤයේද, ආදරණීය ප්‍රංශයේද අප ඇවිදගිය අලංකාර මංමාවත්  දැන් මිනිස් පුළුටක් හෝ නොමැති විශාලාවන්ය. සිය ගණනින්, දහස් ගණනින් මරණ කියවෙන මළවුන්ගේ නගරය.

දෙදහස් විස්සට දෙදහස් ගණනින් ගන්න කියන්නට  මෙන්  ඊයේ දිනයේ පමණක් පමණක් දෙදහකට වැඩි වැඩිපිරිසක් එම නගරවල මියගොස් තිබුනී. හිරු බැස ගිය බි‍්‍රතාන්‍යයේද   හුන්මිටි තැබීමට මෙන් සීය ඉක්මවු පිරිසක් මියගියේය. ඉදිරිය මීට වඩා භයානක වීමට ඉඩ ඇතිබව පෙනීයන්නේ දැන් බි‍්‍රතාන්‍යයේ සෑම රෝහලක්ම කොරෝනා ආසදිතයන්ගෙන් පිරීයන බැවිනි.

ලන්ඩන් නගරයේ විශාලම සම්මන්ත්‍රණශාලාව පවා රෝගීන් 4000කට පිළිසරණ විහැකි තරම්  විශාල රෝහලක් බවට පරිවර්තනය කරමින් යයි. රජ පවුලේ සිට අගමැති ඇතුළු මැති ඇමැතිවරුද, හෙදියන් වෙදදුරන් සහ රෝහල් කාර්යමණ්ඩලයන්ද රෝගයට වේගයෙන් ගොදුරුවෙමින් සිටී. එහෙත් රෝහල් කාර්යමණ්ඩලවල කැපවීම නොවන්නට  මෙතාක් හෝ අස්වැසීමක් නැත. එහෙයින් ඊයේ රාත්‍රී 8ට රට වැසියන් සියල්ලෝම සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඔවුන් වෙනුවෙන්  අත්පොලොසන් දුන්නහ. ඔවුන්ගේ  ධෛර්යය සහ කැපවීම අගය කළහ. 

සිය  ඉතිහාසයන් තුල මෙවැනි රටවල් මේආකාර මහා විනාශයන්වලට අනත්ත අප්‍රමාණව මුහුණදී ඇතිමුත් ඒ සෑම අවස්ථාවකම සාර්ථකත්වයන් මෙන්ම අසාර්ථකත්වයන්ද ඔවුන් විදඇත. එහෙත් ව්‍යසනයකදී අප අනෙකාට වඩා හොදයි යනුවෙන් ඉස්මතුවීමක් හෝ ඉස්මතුකර පෙන්වීමක් නම් දැකිය නොහැක. ව්‍යසනයකදී ශිෂ්ටත්වය හෝ සාර්ථකත්වය උකහා බැලීම කුහකත්වය ප්‍රදර්ශනය කිරීමකි. මියයන ගන්න, මරණයට මුහුණදෙන ගන්න, රෝගයට ලක්වෙන ගන්න ඉලක්කන්  නොව  මිනිස් ජීවිතය. ඉස්මතුවීමේ  හෝ  ඉස්මතු කිරීමෙ උවමනා හමුවේ එකී මිනිස් ජීවිත බරක් නැති හුදු සංඛ්‍යාය. ඔවුන්ගේ භූමදානයන් පවා අන් ජාතියකගේ උත්තරීතරත්වය පිළිබද වරනගන අවස්ථාය. 

අහෝ ඊනියා දේශපාලනයකට යටවූ සමාජයක ගෝෂාව. මනුෂ්ත්වයේ ශිෂ්ටත්වය විදිමට ඔබට තව කොපමණ මලකදන් මත්තෙන් යායුතුද? මෙවන් විපතකට ඔබ නම් කිසිසේත්ම මුහුණ නොදිය යුතුය. එය ඔබට හොදටම බර වැඩිය. යුද්ධයට, මුහුද කඩාගෙනා සුනාමියට, පාස්කු ප්‍රහාරයට ලක්වූ ඔබට තවත් හැඩීමට කදුළු නැත. එහෙයින් බොහෝ ලොකු රටවලට කල නොහැකිවූ දේවල් පුංචි සිරි ලකට කලහැකිවු  බව කියමින් සතුටුවුව මැනව. ආඩම්බරවුව මැනව. 

එහෙත් අවදියෙන්  පසුවිය යුතුය. ඇසට නොපෙන්නේ  මේ මාරයා එන බව මීට වසර9යකටම පෙර, 2011දී, Contagion නමින් චිත්‍රපටියක් තනමින් හොලිවුඩය ලෝකයටම පෙන්නුවද එය කිසිවෙකුගේ අවදියෙන් බලාසිට නැත. Steven Soderbergh අධ්‍යක්ෂණය කල එම සිනමාපටය දැන් සිනමා ශාලාවෙන් පිටත සමස්ත ලෝකය පුරමා දිග හැරෙමින්  තිබේ. අප සියල්ලන්ම  එහි  දැන්  ජීවත්වෙමින්  සිටී. චීනයේ එක්කොනක වව්ලෙක් සහ ඌරෙකු ඇසුරින් පැතිරෙන වයිරසය අතින් අත, කැස්සෙන්, කිවිසුමෙන්, ස්පර්ෂයෙන් ගොස් මුළු ලෝකයේම මිලියන ගණනක ජනතාවක් මරණයට ලක්කරන එකී චිත්‍රපටිය දිවැසක් වැකියක් සේ දිගහැරෙමින තිබේ. මුහුණ ආවරණ, හුදෙකලා වී සිටීම, ස්පර්ශයෙන් වැළකී සිටීම, දුරස්ථව සිටීම ආදී එකී චිත්‍රපටියේ කියූ සියල්ලම අපි දැන් කරමින් සිටි. නගර වනසන මේ ඇසට නොපෙන්නේ මාරයා පරාජය  කිරීමට  සමත්  එන්නතක් සොයා ගන්නා තුරු අපි වසන්තයටද, ග්රිස්මයටද, හේමන්තයට ද  සමුදී සිටිමු.

 එහෙත්  ශක්තිය, ධෛර්යය ඇතිව විශ්වාසයෙන් එකම මිනිස් කැලක් ලෙස මුහුණ දෙමු!! මන්දයත් වසංගතයකට වඩා වෙනත් භීතියක් නැතිවා සේම භීතියට වඩා වෙනත් වසංගතයක්ද නැත !!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
27/03/2020

Sunday 22 March 2020

වසංගතකින් ආරම්භවුනු පාස්කු දැක්ම වසංගතයක් නිසාම කල්දාලා

ලංකාවේ දුවේ පාස්කු දැක්ම වගේම ප්‍රසිද්ධ පාස්කු දැක්මක් තමයි ජර්මනියේ Oberammergau ගමේ පාස්කු දැක්ම. 1634 සිට වසර 400යකට කිට්ටු කාලයක් පුරා සෑම වසර 10කට වරක්ම පවත්න Oberammergau පාස්කු දැක්ම ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ පාස්කු දැක්මක්. විවිධ රටවලින්, නන් දෙසින් ජනයා ඇදී එන මෙම පාස්කු දැක්ම මේ වසරේ (2020) අප්‍රියල් මාසේ සිට සැප්තැම්බර් මාසේ දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. ගිය වසර මැද වෙද්දීම ටිකට් පවා විකිණි අවසන්විය වසර 10කට වරක් පවත්න නිසා මෙම පාස්කු දැක්ම නැරබීමට ති ඉල්ලුමද ඉතා ඉහලය.

නමුත් දැන් ජර්මනියේ Oberammergau ගමේ පාස්කු දැක්ම 2022 දක්වා කල්දමා ඇත. ඒ කොරෝනා වසංගතය නිසා. ජර්මනිය පුරාද කොරෝනා වසංගතය පැතිරිලා දැනටමත් පැතිරි අවසන්ය. 2020, මාර්තු 20 වන දින වනවිට 22,364 දෙනෙකුට ආසාදනයවී, මරණ 84ක් වර්තාවී තිබුණි එහෙත් 2021 මාර්තු 12වන දින වනවිට 2,546,510 දෙනෙකුට ආසාදනයවී, මරණ 73,560ක් වර්තාවී තිබුණි. එරට අගමැති (chancellor) Angela Merkel දක්වා තිබුනේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව එරට මුහුණපාන විශාලතම අර්බුධයට දැන් එරට මුහුණපා ඇති බවය. මේ තත්වය තුල Oberammergau පාස්කු දැක්ම පැවැත්වීමට ඉඩක් නැත යන්න පැහැදිලිය.

ඇත්තටම, Oberammergau පාස්කු දැක්ම පවත්වන්න පටන් අරන් තියෙන්නේම 1633 ජර්මනිය පුරාම පැතිරුණු Bubonic වසංගත තත්වය හමුවේය. ජර්මනියේ Oberammergau ගමේ මිනිස්සු එකතුවෙලා පල්ලියේවුන බාරයක් ඔප්පු කරන්නයි. ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ වසංගතයෙන් මිනිස්සුන්ව බේරාදෙන්නේ නම් ලබන වසරේ (1634) සිට සෑම වසර 10කට වරක්ම ජෙසුස් වහන්සේගේ දුක් පරප්තිය රගදක්වනවා කියලයි. ඒවෙද්දීත් ඊට වසර 150කට විතර ඉහත මුළුමහත් යුරෝපයෙත්, ආසියාවේත් පැතිරුණු හම කළුවී කුණුවී වැටෙන Black Death (මහාමාරියා ?) වසංගතයෙන් මිනිස්සු හොදටම බැටකාලයි හිටියේ. ඉතින් 1633 හටගත් Bubonic වසංගතයත් ඒවගේ රෝග ලක්ෂණ පෙන්වලා ජර්මනිය පුරාම පැතිරී යද්දී තමයි Oberammergau ගමේ මිනිස්සු අර විදිහට දෙවියන් ඉදිරියේ බාරහාර වෙලා තියෙන්නේ.

කොහොම හරි ලෙඩේ හොදවෙලා 1634 ඒ ගමේ මිනිස්සුන්ට ජේසුගේ දුක් ප්‍රාප්තිය පාස්කු දැක්මක් විදිහට රගදක්වන්න පුළුවන් වෙලා තියෙනවා විතරක් නෙමේ ලෝකයේ අද්විතීය පාස්කු නාට්‍යක් ලෙස එය ඉදිරිපත් කරන්නත් සමත්වී තියෙනවා. Othmar Weis, J A Daisenberger, Marcus Zwink, Otto Huber, Christian Stuckl, Rochus Dedler, Eugen Papst, Ingrid H Shafer වැනි එවකට ජර්මනිය සිටි විශිෂ්ත කලාකරුවෝ එකතුවෙලා රචනාකරලා ඉදිරිපත්කල මේ පාස්කු නාට්‍ය තවමත් නොනැසී ඉදිරිපත් කරනවා. දැන් එය 2022 වෙනකම් කල්දාලා.

මේ වෙද්දී ලංකාවේත් ඇතිවී ඇති තත්වයන් හමුවේ මීගමු දුවේ පාස්කු දැකමත් කරන්න පුළුවන්වෙයිද කියලා දෙගිඩියාවක් ඇතිවෙලා. දුවේ පාස්කු දර්ශනය පවත්නා මණ්ඩපයේ වැඩ කටයුතුවලින් සීයට අසුවක් ඉවරවුනත්, පුහුණු සහ සුදානම්වීම් බොහෝදුරට සිදුවී තිබුනත් දුවේ පාස්කු දැක්මත් මේ වසරේ පවත්වයිද කියන්න බැහැ.එහෙමවුනොත්  ආපහු දුවේ පාස්කු දර්ශනය  තියෙන්නේ Oberammergau පාස්කු දර්ශනය  පවත්වන 2022 වසරේදීයි .  
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
20/03/2020
දෙවන සංස්කරණය
12/03/2021

Friday 20 March 2020

කොරෝනාවලට කොහොඹ කොළ !!!

ඊයේ දිනය තුල චීනය වාර්තාකලා එරටින් කිසිදු නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව. එය එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. 

අපි දන්නවා චීනය කොහොමද කොරෝනා වයිරසය මැඩ පැවත්වීමට ක්‍රියාකලේ කියලා. වුහාන් නගරය විතරක් නෙමේ තවත් නගර රාශියක් කිසිවෙකුට යෑමට ඒමට නොහැකිවන ලෙස සම්පුර්නයෙන්ම වහලා දැම්මා... සම්පුර්ණයෙන්ම lock down කලා... කවුරුහරි ඒක කඩකරලා එහෙ මෙහෙ යන්න ගියානම් දැඩි දඩුවම් දුන්නා.ආර්ථිකයට කෙතරම් දරුණු බලපෑමක් එල්ලවුනත් එය කෙටි කාලයකට පමණක් යැයි සලකමින් සතයකට (yuan එකකට) ගනන් ගන්නේ නැතිව දැඩි මර්ධනකාරී පිළිවෙතකින් තමයි චීනය කොරෝනා වයිරසය පැතිරීම පාලනය කලේ. ඒ නිසා ඊයේ චීනය කොරෝනා පරදා ජයගත් ජාතියක් ලෙස උද්දාමයට පත්වීමට ඔවුන්ට පැහැදිලි හේතුවක් තිබුනා. 

එත් අවාසනාවකට අද වෙද්දී නව කොරෝනා රෝගීන් 39යකට වඩා චීනයෙන් සොයාගෙන, 3 දෙනෙකුට වඩා මැරිලා..

මම මේක කිව්වේ අපි හිතන තරම් ඉක්මනින් කොරෝනාවලින් නිදහස්වෙන්න බැහැ කියලා හිතන නිසයි. එහෙම එක්මන් විසදුමක් තියෙනවා කියලා හිතන්න බැහැ. කොහෙත්ම නිසි ප්‍රතිකාරයක් තවමත් නිල වශයෙන් සොයාගෙන නැති තත්වයක් තුල කෙතරම් දැඩි නීතිරීති පනවලා, lock down කලා හරි පැතිරීමයම් සීමාවකට ගේන්න පුලුවන්වුනත්, සම්පුර්නයෙන්ම නිදහස් වෙන්න බැහැ. ආපහු කොහෙන් හරි හිස ඔසවනවා.

මුළු රටම ලොක් කරලා, ඇදිරිනීතිය දාලා, පාසැල්, පල්ලි, සියළු ආයතන වහල විතරක් නෙමේ හදිස්සි නීතිය දාලවත්, ඉතාලියෙන් හරි වෙනත් පිටරකින් හරි ඇවිත් ඉන්න ඔක්කොමල්ලා අල්ලලා ගාල්කරලා, නිරෝධායනය කරලා හරි මේකෙන් සම්පුර්නයෙන්ම ගැලවෙන්න බැහැ...සුමාන, මාස ගණන් එහෙම අල්ලන් සිටියත් කොහෙන් හරි මතුවෙන්න පුළුවන්...තවමත් නිසි ප්‍රතිකාරයක් නැති නිසා කවදා කොහෙන් මේක මතුවෙයිද කියන්න බැහැ...එනිසා lock down, නිරෝධායනය වගේ දේවල් ගැන අධිවිශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ. එක නෙමේ විසදුම. 

විසදුම තමයි, රෝග ලක්ෂණ තියෙනවා නම් ස්ව කැමැත්තෙන්ම හුදකලාවෙන එක. එහෙම හුදකලා වෙන්න ඕනේ අයට අවශ්‍ය වටපිටාවක් හදන්න ජන සමාජයක් ලෙස දායක වෙන්න මිනිස්සුන්ව දැනුවත් කරන්න එක. හුලගෙනුත් ඒඩ්ස් හැදෙනවා කියලා බයවුනු මිනිස්සු ඉන්න රටක කොරෝනා කියපුවහම මැරෙන්න එනවා වගේ හැගීමක් එන එක ගැන පුදුමවෙන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ව තව තවත් ත්‍රාසයෙන් හීතිය පත්කරන කතාවන් ක්‍රියාවන් අවශ්‍ය නැහැ. 
අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ව එන ඕනෑ දෙයකට මුහුණ දෙන්න පුළුවන් ලෙස විශ්වාසය සහ ශක්තිය ඇතිව ගොඩ නගන වැඩපිලිවෙලකුයි. බොරුවට කුලප්පු කරන එකවත්, කුලප්පුවෙන එකවත් තේරුමක් නැති වැඩක්. 

දැන් අපි නිතර පැරණි ලාංකික සමාජය ගැන ඉතා ආඩම්බරයෙන් කථාකරන සමාජයක්නේ... එහෙනම්, එකෙන්වත් යමක් උකහා ගන්න බලන්න ඉස්සර ලංකාවේ පැපොල, සරම්ප, කහඋණ, කම්මබුල්ගාය වගේ බෝවෙන, පැතිරෙන, වසංගත රෝග හැදුනාම මොකද කලේ.. කියන්න එපා කොහොබ අත්තක් එල්ලුවා කියලා..ඒකේ විෂබීජ නාශක ශක්තියක් තිබුනත් මුලික වශයෙන් එක එල්ලුවේ බෝවෙන රෝගයක් තියෙනවා කියලා අනෙක් මිනිස්සුන්ට දැනුම් දෙන්න...එහෙම කරලා මොකද කලේ... සුමානයක් දෙකක් යනකන් ඒ මිනිස්සු පැත්තකට වෙලා හිටියා, ගෙට වෙලා හිටියා...ඔය self isolation කියන්නෙත් එකයි. (සුද්දත් ඉගෙන තියෙන්නේ ඔහෙන්....) අපි කොහොඹ කොළේ එල්ලුනා  මිසක්  එහි  මුලික  අදහස  අල්ලාගත්තේ  නැතිවාවත්ද?  

තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් පැත්තකට වෙලා ඉන්න. එහෙම කරන්න පුළුවන් ඉඩක් හදන සමාජ සම්මතයක් හදන්න. එහෙම කරනවා මිසක් අවසාන කොරෝනා ආසාදිතයා අල්ලා හෝ ඉතාලියෙන්  හෝ වෙනත් රටකින් ආව සියල්ලන්ව අල්ලාගෙන අපි කොරෝනා රෝගයෙන් නිදහස්වෙමු වගේ නරුම තැනකට නම් යන්න එපා. මුළු සමාජයක්ම එවැනි  නරුම  අස්ථානයකට එතැනට තල්ලු කරන්නත් එපා.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
20/03/2020.

Tuesday 17 March 2020

හිර වීමද ! තනි වීමද ! විසදුම කුමක්ද?

කොරෝනා වයිරසය පැතිරයාම මර්ධනය කිරීම සම්බන්දයෙන් මේ මොහොතේ ලෝකයම පුරාම අනුගමනය කරනුයේ එක්කෝ A. කිසිවෙකුට යෑමට ඒමට නොහැකිසේ නගර පිටින් අගුලුලෑමය (lock-down), නැතහොත් B. ස්ව කැමැත්තෙන්ම  ස්වයං හුදකලාවකට (self isolation) යෑමය.

මෙහෙ (බ්‍රිතාන්‍යයේ) ආණ්ඩුව කියන්නේ නැහැ ඔවුන් රටම වහලා දාමන බව හෝ, lock-down කරන බව හෝ, පාසැල් වසාදමන බව හෝ, කඩ සාප්පු  වසාදමන බව හෝ, තැබැරුම්, චිත්‍රපටිශාලා, නාට්‍යශාලා වසාදමන බව හෝ, සියල්ලෝම ගෙදරටවී සිටිය යුතුබව හෝ  නැතිනම් දඩගසන බව...ඒ වෙනුවට ඔවුන් කියන්නේ 'අනිවාර්යෙන්ම උවමනා නැති, අතවශ්‍ය නොවන ගමන් බිමන් නොවනවා නම් හොදයි'... 'එක එක තැන්වල රංචු ගැසෙන්නේ නැති තරමට හොදයි'... 'වයස නම්, කල්පවතින  අසනීපයක්  තියෙනවා නම්, ගෙදරටවෙලාම ඉන්න'... 'ඒක සමාජයට කරණ ලොකු යහපතක්'...'ගෙදරට වෙලාම ඉන්නවා නම් හොදයි...'ආදී ලෙස තමයි කියන්නේ...ඒ අස්සේ අගමැති Boris Johnson කියනවා ''මම දන්නවා අපි මේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ තරමක් අමාරු දේවල්, එත් එහෙම කරනවා නම් අපි ඔක්කොටම හොදයි, පොඩි හරි ලක්ෂණයක් පෙන්නුම්  කරනවා නම් ගෙදරටවෙලා ඉන්න, එක අපේ පුද්ගලික සහ සමාජ වගකීමක් ලෙස සලකමු'' ආදී ලෙස බොහෝම ආචාරශීලීව  කියනවා. ඒ වගේම කියනවා ''අපිට අපේ ජීවිතකාලය තුලදී අපි ආදරය කරන ගොඩක්  අය  නැති වෙන්න  පුළුවන් මේ වයිරසය නිසා''කියලත් කියනවා.. ඒ අතර විෂය ගැන කෙළපැමිණි විශේෂඥයෝ ඇවිල්ලා කියනවා ''කොරෝනාවලට තවම බෙහෙත් නැහැ, ශරීරය ඇතුළෙන්ම ප්‍රතිශක්තිය හැදිලා තමයි මේකෙන් බේරෙන්න පුළුවන්, හැබැයි රට පුරාම පැතිරුනොත් ලක්ෂ 2ක්  විතර මැරෙන්නත් පුළුවන්.. එනිසා ගෙටවෙලා  ඉන්න'' කියලා කියනවා.

ඉතින් මිනිස්සු රටම වහලාදාන්න, lock-down කරන්න කලින්ම ස්ව කැමැත්තෙන්ම lock වෙනවා. නැතිනම් එහෙම වෙන්න කලින්ම හිත හදාගන්නවා. ඉතින් දැන් සියල්ල ක්‍රමයෙන්, ස්ව කැමත්තෙන්ම වහගන්නවා...සීමා කරගන්නවා...ඉබේටම ගෙටවෙලා ඉන්න ගන්නවා.. පාර්ක් එකට ගියත් ටිකක් ඈතීන් ඉන්නවා..එත් මේවා ප්‍රමාණවත්ද? මිනිස්සුන්ට මෙහෙම ඉන්න පුළුවන්ද? මිනිස්සු කියන්නේ සමාජ සත්වයෝ නේද... ඔවුන් රංචු ගැස්සෙන නේද පෙළබෙන්නේ.. මේ ක්‍රමය  හරිද ? ආදී ලෙස ප්‍රශ්න කරන  අයත්  ඉන්නවා. 

දැන් යුරෝපයේ, පෝලන්තයේ ඉදන් ස්පාඤ්ඤය දක්වා  නගර  පිටින් වහලා, එලියට ගියොත් දඩගහන  තත්වයක්  ප්‍රකාශ  කරලා..ඇයි බ්‍රිතාන්‍යයට  ඒ වගේ  කරන්න  බැරි... ඒකට ඊයේ  BBC Newsnight වැඩසටහනේදී හොද උත්තරයක්  දුන්නා. එහිදී  කියවුනා  ''අපිට පුළුවන් මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරන්න, උපදේශයක් දෙන්න, අපි මේකට සාමාජයක් ලෙස මුහුණදෙනවා මිසක් වෙන විසදුමක් නැහැ.. අපි ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයක්.. මිනිස්සුන්ගේ නිදහස කප්පාදු කරන එක අපේ එකම තේරීම නොවයි..'' කියන එක. වසංගත තත්වයක වුනත් බ්‍රිතාන්‍යය සිය දේශපාලන පතිවත ආරක්ෂා කරගන්න කථා කරනවා.. සිය දේශපාලන අනන්‍යතාවය මතු කරන්න උත්සහ කරනවා.

මට මේක අහපුවහම හිතුනේ දැන් කොරෝනා වයිරසය පැතිරයාම මර්ධනය කිරීම සම්බන්දයෙන් මේ මොහොතේ ලෝකයම පුරාම අනුගමනය කරනුයේ එක්කෝA. කිසිවෙකුට යෑමට ඒමට නොහැකිසේ  නගර පිටින් අගුලුලෑම (lock-down) නැත්තනම් B. ස්ව කැමැත්තෙන්ම ස්වයං-හුදකලාවකට(self isolation)යෑම විතරද ඉතුරුවෙලා තියෙන්නේ කියන එකයි. ඒ වගේම හිතුන දෙයක් තමයි දෙකෙන්ම අවසාන වශයෙන් කරන්නේ එකම දෙයක් නෙමේද? පුද්ගලයාව තනිකිරීම නෙමේද? වෙන්නේ කියලා හිතුනා. 

එත් නගර අගුලුලෑම (lock-down) බලහත්කාරයෙන් නීතිය යොදවා කරන දෙයක්, එක්තරා ආකාරයක මර්ධනයක්. එක තමයි චීනයේ  ක්‍රමය. චීනය වුහන්වල කොරෝනා වයිරසය පැතිරීම නැවත්වුයේ එහෙමයි. මුළු නගරයම  වහලාදාලා, හිරකරලා, දැඩි දඩුවම්දීලා, දඩ ගහලා, දැඩි හස්තයකින් තමයි පාලනය කලේ. එහෙත් තවමත් නිට්ටාවටම ලෙඩේ සනීප නැහැ. තවමත් චීනයෙන් කොරෝනා රෝගීන් මතුවෙනවා. හැබැයි ඉස්සර තරම්ම නෙමේ. දැන් ඒ ක්‍රමයම යුරෝපයත් අනුගමනය කරන්න පටන් අරන් තියෙන්නේ. චීන පිළිවෙත-චීන ක්‍රමය විසදුමක් විදිහට බාර අරන්. එකට හේතුවුනේ යුරෝපයේ ජනයා මේ වයිරසය සම්බන්දයෙන් නිකුත්කළ උපදෙස් පිළිගැනීමට දැක්වූ පැකිලීමයි. විශේෂයෙන් ඉතාලියේ, ස්පාඤ්ඤයේ ජනයා, වයසක අය පවා  නිවෙස්වලටවී සිටීම ප්‍රතික්ෂේපකලා. අවසාන වශයෙන් බලෙන් නීති පනවා, දඩ  ගසා  චීනයේ මෙන් අගුයලුලෑම (lock-down) සිදුවුනා පමණක් නෙමේ රෝගය උග්‍ර අතට පත්වෙද්දී ප්‍රමුඛතාවය වයසක අයට වඩා තරුණ අයට යොමුවෙන බව දන්වන්නටවුනා. එය ඉතාම ඛේදනීය තත්වයක්. නමුත් ටයිටැනික් නැව ගිලෙද්දීත්කලේ ඕකමයි. යුරෝපය එය කාලයක් තිස්සේ ක්‍රියාවට නන්වන සමාජ සත්තාවක් priority over the rights කියලා හදුන්වන්නේ එයයි.

එහෙත් ඊට  වඩා  වෙනස්  ක්‍රමයක්  තියෙනවා? බලකිරීමකින් තොරව, ස්වකැමැත්තෙන්ම, ස්වයන් හුදකලාවට (self isolation) යෑමට යොමුකිරීම බ්‍රිතාන්‍යය ක්‍රමයද? එය මේ මොහොතේ ලිබරල් ප්‍රජාත්නත්‍රවා වටිනාකම් ආරක්ෂා කිරීමක්ද? නැතිනම් බ්‍රිතාන්‍යයටත් අවසාන වශයෙන් චීන ක්‍රමයම අත්හදා බැලූ,  යුරෝපයේත් දැන් භාවිතා කරන මර්ධනකාරී චීන පිලිවෙත්ටම යන්න වෙයිද? ඒ ගැන කියන්න දැම්ම බැහැ.

ඒ කොහොමවුනත් විද්‍යාව කොච්චර දියුණුවූත්, මේ රටවල කෙතරම් සමුච්චිත ප්‍රාග්ධනයක් තිබුනත්, කොච්චර සෞඛ්‍ය පහසුකම් දියුණුයි කිව්වත් අන්තිමට කරන්නේ එක දෙයයි, තනිකිරීම. හුදකලාකර දැමීම. හුදෙකලාව fun එකක්, adventure එකක් කරගන්නත් පුළුවන් ඕනේ නම් කෙනෙකුට. එත් ඒක ටික කාලයකට විතරක් කරගන්න පුළුවන් දෙයක් විතරයි. දිගටම තනිවෙලා, හුදෙකලාවෙලා ඉන්න බැහැ.. ආර්ථිකය කඩා වැටෙනවා..මුළු පද්ධතියම අකර්මන්‍යවෙනවා. ඒ ඔක්කොටම වැඩියෙන් මිනිස්සු මානසිකව කඩා වැටෙනවා..අවසාන වශයෙන් එකෙන් කියවෙන්නේ චීන ක්‍රමය විතරක් නෙමේ ලිබරල් ක්‍රමයත් අර්බුධයක්ම තමයි...

ඒ තත්වය තුල තමයි අර Von Slavoj Zizek වගේ අය (The End of the 
World As We Know It,12/02/2020, ලිපියේ) කියනේ චීනයට වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයටත් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී (Chantal Mouffe - (2005) කියන අර්ථයෙන්මද කියලා පැහැදිලි නැහැ) ප්‍රතිසංස්කරණ නොකර යන්න බැහැ කියලා: ''What if the opposite is true? If we designate as “liberals” those who care for our freedoms, and as “Communists” those who are aware that we can save these freedoms only with radical changes since global capitalism is approaching a crisis, then we should say that, today, those who still recognize themselves as Communists are liberals with a diploma - liberals who seriously studied why our liberal values are under threat and became aware that only a radical change can save them.'' ඒ වගේම  ඔහු  රුසියන් ප්‍රවෘත්ති සේවයට  කිව්වා  මේ කොරෝනා වයිරස වගේ ගෝලීය අර්බුධකාරී තත්වයක් තුල ඉස්සෙල්ලම පරාජයවෙන්නේ ජාතික, වර්ගවාදීන්, සහ ජාතිකවාදීන් බව.. ඔහු කියනවා ගෝලීය ප්‍රජාවක් විදිහට විසදුම් සොයනවා මිසක් තනි තනි රාජ්‍ය ලෙස විසදුම් නැහැ කියලා. කොරෝනා වයිරසයට මුහුණදීමේදී ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වූ විකාර සහගත ප්‍රවේශය ඔහු වැනි  දක්ෂිණාංශික ජනප්‍රියවාදීගේ රෙදිගලවා ඇති තත්වයක් තුල Slavoj ඉහත අදහස තහවුරු කරන බවක් පෙනීගියත් යුරෝපා සංගමයෙන් ඉවත්වෙලා (Brexit) තනි ගමනක් යන්න යන බ්‍රිතාන්‍යය ගැන කොහොම ආදාලවෙයිද කියලා තවම කියන්න බැහැ. ඒවගේම ඔහු කියනවා සෝවියට් රුසියාව බිදදැමීමට චර්නෝබෙල් ඛේදවාචකය බලපෑවේ කොයි ආකාරයටද  ඒ වගේම කොරෝනා  වයිරසයත් චීන කොමියුනිට්ස් ක්‍රමය බිදදැමීමට බලපානවා කියලා...එහෙත් දැන් කොරෝනා වයිරසය මර්ධනය කරන්න චීනය යොදාගත් දැඩි චීන පිළිවෙතම යුරෝපයත් ක්‍රියාවට නගන්න පටන් අරන්...බ්‍රිතාන්‍යයත් මර්ධනය වෙනුවට ස්ව කැමැත්ත තුල පොලබවන්නෙත් එයටමයි.

එත් හුදකලාව කියන්නේ කලාවක් නෙමේ වලාවක්..එපිට මෙපිට නොපෙනෙන තද කළු වලාවක්...
   

මාකස් ප්‍රියන්ත  පෙරේරා
17/03/2020

Sunday 15 March 2020

කොරෝනා වයිරසය කතෝලික පල්ලි වසා දමයි

කොරෝනා වසංගතය හේතු කොටගෙන ඉරිදා (15/3) සිට ඉදිරි සතිදෙකක කාලයක් සදහා ලංකාවේ කතෝලික පල්ලිවල පුජාවන් නොපැවැත්වෙන බව දැනගැනීමට ලැබුණි.

ලංකාවේ පමණක් නොව ඉතාලිය, ස්පාඤ්ඤය ආදී රටවලද කතෝලික සභාවන් විසින් දිව්‍ය පුජාවන් නොපැවැත්වීමට පියවර ගෙන ඇත. චීනය, දකුණු කොරියාව සහ ඉරානයෙන් අනතුරව කොරෝනා වයිරසය දරුණු ලෙස බලපා ඇත්තේ ඉතාලියට සහ ස්පාඤ්ඤ යන රටවලටය. හරියටම කිවහොත් චීනයෙන් පසුව කොරෝනා වසංගතය වඩාත් බලපා ඇත්තේ ඉතාලියට. තත්වය පාලනය කිරීම සදහා ඉතාලිය මෙන්ම ස්පාඤ්ඤයද පළාත් පිටින් වසා ඇති තත්වයක් තුල පුජාවන් පැවත්වීම ප්‍රායෝගික නැත.

ලංකාවේ තත්වය කිසිසේත්ම එවැනි අඩියක නොතිබුණද ලංකා රජය ගෙන ඇති කලබලකාරී පියවරයන් සමග උත්ගතවී ඇති තත්වය හමුවේ ලංකා කතෝලික සභාවද දිව්‍ය පුජා නැවත්වීමට කටයුතු කිරීම අවස්ථානුකූලය.

එංගලන්තයේ කොරෝනා වසංගත තත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබුනද රජය තවමත් පාසැල්, කඩසාප්පු වසා දැමීමට තීරණය කර නොමැත. ඒ අනුව කතෝලික, ක්‍රිස්තියානි පල්ලිද පුජාවන් නැවත්වීමට තීරණය කර නැත. එහෙත් පැහැදිලිවම ඒ ඒ රටවල උද්ගතවෙන තත්වයන් හමුවේ කටයුතු කිරීමට ඒ ඒ රටවල කතෝලික සභාවන්ට ඇති ඉඩකඩ අනුව යමින් එංගලන්තයේ කතෝලික සභාව කොරෝනා වසංගත තත්වය හමුවේ යම් යම් පියවර ගෙන ඇත.

ඒවා නම් 1. සත්ප්‍රසාද වහන්සේ අතට පමණක් ලබාදීමට. 2. මුද්‍රික පානය පිළිගැන්වීම අත්හිටුවා ඇත. 3. පුජා පොත් සහ ගීතිකා පොත් බෙදා නොහරී. 4. සාමය පතා අතට අත දීම නවත්වා ඇත (ලංකාවේ මෙන් එකිනෙකට සාමය පැතීමට භාවිතාකරන ආචාර විදිහ මුලදී යෝජනාවී ඇති නමුත් පසුව මුළුමනින්ම නැවත්වීම වඩා යහපත් යැයි තීරණය කර ඇත්තේ, පුරුද්දට මෙන් නැවත අතට අතදීම සිදුකිරීමට පෙලබේයැයි සිතාය) 5. සතියේ දැන්වීම් පත්‍රිකා කියවා ආපසු භාරදීම සිදුනොකරන ලෙස ඉල්ලා ඇත. 6. පුජාවට පැමිණීමට නොහැකි අයට ඉන්ටනෙට් එකෙන් හෝ දුරකථනයෙන් පුජාවට සවන්දීමට ක්‍රමයක් සකස්කර ඇත.

මේ පියවරයන් ඔවුන් ගෙන ඇත්තේ මේ අවස්ථාවේ පවතින තත්වය අනුවය. ඒඅනුව ඉදිරියේදී ඉතාලියේ, ස්පාඤ්ඤයේ හෝ ලංකාවේ මෙන් මෙහිද පල්ලි වසා පුජාවන් නවත්වා දැමීමට ඉඩ ඇත.

එහෙත් අද, චතාරික සමයේ තුන්වන ඉරිදා, 15/03/20, සුවිශේෂයට කියවෙන සමාරියා ස්ත්‍රිගෙන් වතුර ඉල්ලු ජේසු අවසානයේ ඇයට කියූ දෙය අතුරින් එක දෙයක් නම් පැහැදිලිය: “believe me, a time is coming when you will worship the Father neither on this mountain nor in Jerusalem....God is spirit, and his worshipers must worship in the Spirit and in truth.” (John 4: 21& 24).




මාකස් ප්‍රියන්ත පෙරේරා
 15/03/20203

Friday 13 March 2020

කොරෝනා චීනයෙන් පලාවිත් යුරෝපයට රිංගයි, දැනටමත් මරණ 1500 ඉක්මවයි


කොරෝනා වයිරසයේ නවතම කේන්ද්‍රය බවට යුරෝපය පත්ව තිබේ. මේ වනවිටද යුරෝපයේ කොරෝනා ආසාදිතයින් 35,000 කට වඩා සොයාගෙන තිබෙන අතර 1500යකට වඩා වැඩි පිරිසක් මියගොස් ඇත. ඉන් වැඩිම පිරිසක්, 17 660, ඉතාලියෙන් වාර්තාවී ඇති අතර 1266ක් මියගොසිනි. ඊළගට වැඩිම පිරිස, 4333, ස්පාඤ්ඤයේන්  වාර්තාවී තිබෙන අතර මරණ 122ක් සිදුවී තිබේ. ප්‍රංශයේන් කොරෝනා රෝගීන් 2882ක් වාර්තා වී ඇති අතර මරණ 61ක් වාර්තාවී ඇත. ජර්මනියේ 3156 ක් වාර්තාවී මරණ 7ක්ද, බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගීන් 1114ක් වාර්තාවී මරණ 21ක්ද, නෙදර්ලන්තයේ 1004 වාර්තාවී මරණ 10ක්ද, මීට අමතරව බෙල්ජියමේ, ස්වීඩනයේ, නොර්වේ ආදි රටවලත් 500කත වඩා වැඩි කොරෝනා රෝගීන් පිරිසක් වාර්තාවී තිබේ.

මේ නිසාම රෝග ලක්ෂණ පෙන්නුම් කරන ජනයාට සමාජ කටයුතුවලින් බැහැරව හුදකලාව ඉන්නා ලෙස ඒ ඒ රටවල් ඉල්ලා ඇත. ඊට අමතරව විවිධ රටවල විශාල සහ කුඩා ප්‍රමාණයේ මිනිස් ඒකරාශිවීම් සහ ආගමන - විගමන කටයුතු නවතා දමා තිබේ. ඩෙන්මාර්කය, අයර්ලන්තය, ප්‍රංශය වැනි ඇතැම් රටවල් සති 2ක කෙටි කාලයක් සදහා පාසැල් වසා ගෙදර වැඩ ළමයින්ට ඊ මේල් කිරීම, සහ ඔන්ලයින් අධ්‍යයන පහසුම් සලසා ඇත. වෙළද සැල්වල බඩු මිලදී ගැනීමට විශාල පෙලබීමක් දක්නට ලැබේ. ඒ විශේෂයෙන්ම වසංගතයේ උච්චම අවස්ථාවේදී සති 2ක කාලයක් නිවෙස්වලටමවී සිටින්න යැයි ඉල්ලා සිටියහොත් එයට මුහුණදීම සදහාය. 

කෙසේවෙතත්, වසංගතයේ උච්චම අවස්ථාවට යුරෝපය තවමත් පත්ව නැති බවත් ඉදිරි සතිවලදී එසේ වියහැකි බවටත් දක්වා තිබේ. එංගලන්තය වැනි රටවල් විශ්වාස කරන්නේ මෙම වසංගත මාස6ක කාලයක් දක්වා පැවතිය හැකි බවත්, එය වසරින් වසර නැවත පැමිණිය හැකිබවත්ය. ඒ සදහා ක්‍රමානුකූලව ඇතිවෙමින් අති තත්වයන්ට පියවරෙන් පියවර මුහුණදීම ඔවුන්ගේ සැලැස්මයි.

මාකස් ප්‍රියත්න පෙරේරා
14/03/2020.

Wednesday 11 March 2020

මීගමුවේ මිනීමරුවන්ගේ පැටිකිරිය හෙළිවේ -පොහොට්ටුවේ චන්ඩි

මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ආපනශාලාවක මුස්ලිම් තරුණයෙක් මරා දැමු කණ්ඩායමේ පැටිකිරිය දැන් හෙළිවෙමින් පවතී. 

ඔවුන් සියළු දෙනා දිවුලපිටිය - මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට අයත් කටුවැල්ලේ ගම, හීනටියන, යටියන යන ගම්වල පදිංචි කරුවන්ය. 

නිසි රැකියාවක් නොකරන ඔවුන් දේශපාලකන්ගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරන බෝඩි ගාඩ්ලාය. ප්‍රධාන සැකකරුවා වන මිලාන් දසනායක පොහොට්ටුවේ දිවුලපිටිය මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ගේ පුද්ගලික ආරක්ෂකයාය. ඔහු ඊට පෙර මීගමුව හිටපු මන්ත්‍රී, මීගමුව කලපුව සංවර්ධනය ලබාදුන් මුදල් අයතා ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් නඩු පැවරී ඇති, සරත් ගුණරත්නගේ ආරක්ෂකයාය. ඔවුන් තවමත් සරත් ගුණරත්නලා සමග සමීප සබදතා පත්වන  කණඩායමකි. සිද්ධිය සිදුවූ දිනයේදීද පෙරියමුල්ල අවන්හලට පැමිණ ඇත්තේ මීගමුව සංචාරක කලාපයේ ඇති සරත් ගුනරත්නගේ අවන්හලක සිට බවද ස්ථීර නොකළ තොරතුරු හෙළිකරයි. 

මෙම මිනී මැරුමට සම්බන්ද කණ්ඩායමේ ඇතමුන්ට මිනුවන්ගොඩ කඩ ගිනි තැබීම ගැනද චෝදනා නැගෙන බව කියවේ. 

මිනීමරුම සිදුවූ ඊයේ දිනයේදී තලවිල පල්ලි ගොස් පැමිනෙමින් සිටි ජනයා ආගම් බේදයකින් තොරව පෙරියමුල්ල මුස්ලිම් කඩවලින් පවා ආහාර ගැනීම ගැනද ඔවුන් විවිධ දෑ දෙඩුබවද වාර්තා වේ.

අපරාදකරුවන්ව ඊයේ දිනයේදීම පොලිසියට බාරදීමට මෙන්ම අද උසාවියට ඔවුන් ඉදිරිපත් වන විටද පොහොට්ටුවේ දේශපාලකයින් කිහිපදෙනෙකුම පැමිණ සිටි බවත් ඒ අතර පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාද වූ බවත් කියවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
 11/03/2020.

Monday 9 March 2020

මීගමුවේ කෑමකඩේක මුස්ලිම් තරුණයෙක් මරාදමයි - මැතිවරණයට පෙර ජාතිවාදී ගැටුමකට පාරකැපීමක්ද?


අද (09/03/2020) හවස රාත්‍රී 9.30 පමණ මීගමුව පෙරියමුල්ලේ අන්සාර් ආපනශාලාවට ආහාර ගැනීමට පැමිණි තරුණයින් කණ්ඩායමක් එහි  මත්පැන් පානය කිරීමට උත්සහකර ඇති අතර එම ආපශාලාව  තුල මත්පැන් පිළිගන්වන්නේ හෝ මත්පැන් පානයට කිරීමට නොහැකි යැයි ආපනශාලා හිමියා දන්වා සිටීම නිසා ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් ආහාර ගැනීමට යැයි කියා පැමිණි එම තරුණයන් පිරිස ආපන ශාලා හිමියාට සහ එහි සේවකයින්ට පිහිවලින් ඇන එහි සේවකයෙක් මරා දමා තවත් තිදෙනෙකුට තුවල සිදුකර ඇත. 


ආහාර ගැනීමට පැමිණ තරුණයින් ගණන 06කි. ඔවුන් පැමිණ ඇත්තේ අංක WP - PA 2394 දරන මැස්ඩා බොන්ගෝ රථයෙනි. ඔවුන් මීගමුවේ පදිංචිකරුවන් නොවන පිටින් පැමිණි පුද්ගලයින් යැයි කියනු ලැබේ. පිහි ඇතිව පැමිණීම නිසාම මෙය කල්තබා සැලසුම් කරන ලද කිසියම් ප්‍රහාරයක්දැයි යන සැකයක් ඇතිව තිබේ. 

පාස්කු ප්‍රහාරයෙන් පසුව මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ආපනශාලා නිරන්තරයෙන් ජාතීවාදීන්ගේ ඉලක්කයක් වී තිබුණි. මෙම කඩවලට කිසියම්ම හෝ ප්‍රහාරයක් එල්ලකර මීගමුවේ මුස්ලිම් - ක්‍රිස්තියානි ජනයා අතර ජාතිවාදී ගැටුමක් කෙසේ හෝ ඇතිකර රටපුරාම එකී ගැටුම පැතිරවීමට කිසියම්ම හෝ පිරිසක් උත්සහකරමින් සිටින බවක් දිගින් දිගටම වාර්තාවී තිබුණි. 

විශේෂයෙන් මැතිවරණ සමයකදී එවැනි ජාතිවාදී ගැටුමක් නිර්මාණය කර දේශපාලන වාසි සොයන පිරිස් ලංකා දේශපාලනයේ නොඅඩුව සිටින තත්වයක් තුල පාස්කු ප්‍රහාරයට ලක්වූ මීගමු ජනයාව තවදුරටත් කබලෙන් ලිපට ඇද දැමීමටත්, මීගමුව නගර දවා අළුකර දැමීමටත් කිසියම් පිරිසක් නිරත්තර උත්සහයක සිටින බවට නගරයේ ජනයා තුල විශාල සැකයක් මුල් බැසගෙන තිබේ.

මේ අතර නගරය පුරාමා පොලිසිය සහ හමුදව යොදවන බවක් පෙනීයයි. ඒ මීගමු නගරයේ සහ එහි වැසියන්ගේ  ආරක්ෂාව සහතික කිරීමට යැයි දැක්වේ. කෙසේ හෝ මෙම සිද්ධිය දුරදිග ගොස් ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය නොවීමට වගබලා ගැනීම බලධාරීන්ගේ වගකීමය. 

මාකස්ප්‍රියන්ත පෙරේරා
09/03/2020




Thursday 5 March 2020

එංගලන්තයට කොරෝනා පැමිණීම

මට අද ලංකාවෙන් ආව call කිහිපයකින්ම ඇහැව්වේ දැන් මෙහෙත් (එංගලන්තයේත්) කොරෝනා වයිරසය පැතිරිලා නේද? ඇත්තද ඔහේ ඉස්කොලාත් වහන්න යනවා, පාර්ලිමෙන්තුවත් වහන්න යනවා, ඔක්කොම උත්සව, සෙල්ලම්, තරග, ආදියත් නවත්වලා නේද? කඩවල බඩුත් නැහැ නේද? කියලා ඇහැව්වා...

ඉස්සෙල්ලාම කියන්න ඕනේ ස්තූතියි, ඔව් අපි දැනට සනීපෙන් ඉන්නවා. එත් හෙට ගැන කියන්න දන්නේ නැහැ...මොකද මෙහෙත් දැන් කොරෝනා පැතිරෙන්න පටන් අරන්. හෙට, අනිද්දා, ඉදිරියේදී...මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියන්න දන්නේ නැහැ...එත් අපි දැනට හොදින් ඉන්නවා. 

ඔව්, මිනිස්සු නම් බඩු එකතුකරන්න පටන් අරන්...මම ඊයේ රෑ ලොකු සුපර්මාකට් එකකට ගිය වෙලාවෙ එකේ පස්ටා වගේ ජාති ඔක්කොම ඉවරවෙලා රාක්ක හිස්...නමුත් තවම අර ඇහැව්වා වගේ ඉස්කෝලා, විශ්ව විද්‍යාල, ක්‍රීඩා තරග, උත්සව ආදිය සම්පුර්නයෙන්ම නවත්වන්න තීරණයක් අරගෙන නැහැ.. එත් සමහර ඉස්කෝලා සහ ලන්ඩන් පොත් ප්‍රදර්ශනය වගේ සමහර උත්සව නම් වහලා හෝ නවත්වලා තියෙනවා. 

එත් තත්වය තවම දරුණු නැහැ, කොරෝනා වයිරසය වැළදුන රෝගීන් 80කට වැඩියෙන් සොයාගෙන තිබුනත්, මිනිස්සු අසීමිත බයකින් සහ අවධානමකින් පසුවුවත් එදිනෙදා කටයුතු තවම සාමාන්‍යය පරිදි සිදුවෙනවා. ඒ අතර රටේ වගකිවයුතු අංශ හීන් සීරුවේ පුද්ගලයින් පරික්ෂාව, වෙනත් සෞඛ්‍ය අවශ්‍යතා සදහා අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. කොහොමත් දන්නවානේ සුද්දා කටයුතු කරන විදිහ-Keep Calm and Carry On. ඇත්තටම ඒ වැකියත් නිර්මාණය කලේ දෙවන ලෝක යුද්ධය වෙලාවේ, 1939 විතර. 

දැන් ආණ්ඩුව කියන්නේත් ඒ අයට කොරෝනාවලට විරුද්ධවත් battle plan එකක් තියෙනවාලු !! කොහොමද කොරෝනා මර්ධනය කරන්නේ, වැඩි පිරිසකට හැදුනොත් කොහොමද කටයුතු කරන්නේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු නොකඩවා පවත්වාගෙන යන්නේ කොහොමද, ආහාර හිගයක් ඇතිවුනොත් කටයුතු කරන්නේ කොහොමද, ඉස්පිරිතාල රෝගීන්ගෙන් පිරිලා ගියොත් මොකද කරන්නේ ආදී ඔය සියල්ලටම මුහුණදීමට අධියර කිහිපයක සැලැස්මක් ඔය battle plan කියන එක ඇතුලේ සැලසුම් කරලා තියෙනවාලු.. 

පැහැදිලිවම එකේ එක අධියරක් තමයි මහජනයාව දැනුවත් කරන එක, ඕනෑම තත්වයට මුහුණ දෙන්න සුදානම්කරණ එක, අනවශ්‍ය බියකින් තොරව ඇත්ත තත්වයට මුහුණ දෙන එක. මේ රටත්, යුරෝපයත්, මේ වගේ අවස්ථා රාශියකටම මුහුණදීලා තියෙනවා , black death වසවසංගතයේ (1347-1351) ඉදලා Spanish flu (1918) දක්වාත්, දැවැන්ත ලෝක යුද්ධ දෙකක් දක්වාත් ආදී ලෙස, විවිධ වසංගත සහ හදිස්සි අවස්ථා ගනනාවකට මුහුණ දීලා තියෙනවා... එයට අවශ්‍ය මහජන විශ්වාසය ගොඩනැගිය හැකි ඔය battle plan වැනි වචන මාලාවකුත් තියෙනවා, ඒ ටිකත් දැන් දැන් භාවිතයටත් අරන් ඇවිත්. 

අවසාන වශයෙන් කොරෝනා නෙමේ ඕනෑ තත්වයට මුහුණ දෙන්න මිනිස්සුන්ට ආත්ම විශ්වාසය හදන්නේ භාෂාවෙන්, එහි වචනවල හයියෙන්. අර හිට්ලර් ප්‍රංශය යටත්කරගෙන Calais වල තිබුන බ්‍රිතන්‍ය හමුදා කදවුරත් අත්පත්කර ගෙන Dunkirk වෙරළට හමුදාව ලක්ෂ ගානක් කොටුකරපු වෙලාවේ... බ්‍රිත්නය දැන් වැටෙයි, දැන් අල්ලයි කියලා හිතපු වෙලාවේ... හිට්ලර්ට විරුද්ධව කොහොමද Winston Churchill අගමැතිවරයා බ්‍රිත්න්යා ජනතාව සුදානම්කලේ, mobilise කලේ, කියන එක ගැන film එකක් තියෙනවා The Darkest Hour (2017) කියලා... අන්න එකේ එක තැනක කියනවා Churchill කලේ වෙන මොකවත් නොවේයි 'ඉංග්රී භාෂාව සවිබල ගන්වලා යුද්ධයට ඇරපු එකලු කලේ කියලා කියනවා - “he mobilised the English language and sent it into battle”.

එන්න ඒවගේ අපි කලබලවුනාට, බොහෝ සුදු මිනිස්සු අතර දැන් විශ්වාසයක් තියෙනවා ඒ අයට කොරෝනාවලට මුහුණ දෙන්න පුළුවන්, මේකත් නිකන් උණක් වගේ එකක් කියලා...මේ දිනවල මේ රටේ ක්‍රමයෙන් සිදුවෙන්නේ ඒ විශ්වාසය ගොඩ නගන එක. විශ්වාස කියන්නේ ඉතා බලවත් දෙයක් .. එකෙන් අබමල් රේණුවක තරම් ප්‍රමානයක් තියෙනවා නම් පුළුවන්ලු මේ ගහට මෙතැනින් ගැලවිලා ගිහිල්ලා මුහුදේ පැලවෙයන් කියලා කිව්වහම පැළවෙන්න...

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
05/03/20

Tuesday 3 March 2020

මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමක් කරමුද?


ඊයේ විසුරුවා හරින ලද ලංකා පාර්ලිමේන්තුව යනු ලංකා ඉතිහාසයේ අප දකිනා ලද බලු-බල-පොරය වඩාත්ම කලහකාරී ලෙස ඉස්මතුවී වැඩිම පාර්ලිමේන්තු දින ගණනක් අපතේ ගිය නමුත් ජනාධිපතිධුරයේ ඇතැම් අත්තනොමතික බලතල අඩුකිරීම වැනි සමහර ධනාත්මක වර්ධනයන් සිදුවූ පාර්ලිමේන්තුවකි.

එයට මුලික හේතුව වුයේ ජනාධිපතිවරණයෙන් පැරදි, මැදමුලන ජනේලේ එල්ලී, තොරතෝන්චියක් නැතිව ආඩපාලි කියමින්, දසඅතේ දෙස්දොවල්දි දී සිටි 'රට බේරාගත් දියසේන කුමාරයයි' කියූ මහින්ද රාජපක්ෂව නැවත බලයට පත්කරන්නට රාජපක්ෂවාදීන්ද, දුෂිත රාජපක්ෂ පාලනය පරාජය කර මෛත්‍රී පාලනයක් ගෙනෙන බව කී     මෛත්‍රීපාල සිරිසේනද, ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ ඊලග කේන්ද්‍රස්ථානය කර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හදනවයි කී රනිල් වික්‍රමසිංහගේද දේශපාලන අරමුණුවලවූ පරස්පරයන්ගේ ගැටුම සහ එකගතාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවී, රනිල් වික්‍රමසිංහ එදාම අගමැති ලෙස දිවුරුන්දී නිර්මාණය කල අලුත් ආණ්ඩුවේ පළමු දින 100 තුල රාජපක්ෂවාදීන්ගේ යම් අවනතකමක් දිනාගැනීමට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සමත්වුවද රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒමේ උත්සහය ක්‍රමයෙන් දියත්වීමත් සමග ඒ ආණ්ඩුවට තිබූ සහයෝගය සීඝ්‍රයෙන් පහල  ගියා පමණක් නොව  විරෝධයත් ක්‍රමයෙන් වැඩිවිය.

රාජපක්ෂලා මුලින්ම කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම සිරිසේනටදී එහි මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහ අවනතභාවය තමන් අතේම රදවා ගැනීමට කටයුතු කිරීමය. ඒ සදහා එක් පැත්තකින් ඔහුගේ ප්‍රතිරූපය දිගටම නඩත්තු කිරීමටත්, අනෙක් පැත්තෙන් සිරිසේනගේ ප්‍රතිරූපය නැතිකිරීමටත් ඔහුගේ ප්‍රචාරකයෝ කටයුතු කළහ. පසුව එළබි  පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ පෙරමුණේන්ම තරග කර නැවත මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ගේ දේශපාලන වලංගුභාවය නැවත තහවුරුකර ගන්නත්, සිරිසේනගේ ගොඩට වඩා තමන්ගේ ගොඩ සහතික කරගන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.

එයට මුහුණදීමට  මෛත්‍රීපාල සිරිසේන කලේ රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය නිසා පරාජයට පත්වූ S.B. ලා, ඩිලාන්ලා වැනි අයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම්දී තමන්ගේ ගොඩ වැඩිකරගන්නට කටයුතු කිරීමය. පසුව ඇටවූ ජාතික ආණ්ඩුව තුල සිරිසේන උත්සහකලේ එම පිරිස  සමග  'සරල ජනාධිපති' ලෙස හදුන්වාදෙමින් තමන්ගේ දේශපාලන ගමන සහතික කරගැනීමටය.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වන සෑමවිටකදී මෙන්ම මෙවරද  ඔහු   උත්සහකළේ තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල කෙසේ හෝ ක්‍රියාවට නගන්නටය. රනිල් වික්‍රමසිංහ බොහෝදුරට හිතනවා ඇත්තේ J.R. මෙන් තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල තහවුරුකලොත් තමන්ගේ පක්ෂයට දිගටම බලයේ සිටින්නට පුළුවන් කියාය. ඒහින් ඔහු කෙසේ හෝ තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කොට දකිනවා මිසක පක්ෂ දේශපාලනය, තමන්ගේ පක්ෂ සහ එහි පුද්ගලයින් යන්න දෙවේනියට දමා කටයුතු කරන බවක් පෙනේ.

පහුගිය ආණ්ඩුව තුල ඔහු කරන්න ගියේ එක පැත්තකින් ඔහුගේ දේශපාලන-ආර්ථික වැඩපෙලිවල ක්‍රියාවට නන්වන අතරම මහින්ද සහ සිරිසේන පාර්ශව අතර ගැටුම දිගටම යන්න දී බලන් සිටීමය. සිරිසේන මුල්කාලේ බලාපොරොත්තුවුයේ රනිල්ගේද, ආණ්ඩුවේද බලය උපයෝගී කරගෙන මහින්දලාව දේශපාලන වශයෙන් අතුගාල දාමා ඒ හිඩැස තමන්ගෙන් පුරවාලන්නටය. රනිල් යටතේ එවැන්නක් සිදුනොවෙන බව පෙනීගිය වහාම සිරිසේන කලේ මහින්ද සමග එකතුවී රනිල්ව ඉවත්කිරීමට පුලුවන්ද කියලා බැලීමය. ඒ සදහා සිරිසේන නොකල දෙයක් නැත. රනිල් ඉද්දීම මහින්දවත් අගමැති කළේය...මහින්දලා පාර්ලිමේන්තුවට මිරිස්කුඩුද  ගැසීය. කථානායකගේ පුටුවත් කැඩුවේය. නොකළේ පාර්ලිමේන්තුවට  ගිනි තැබීම  පමණි. ඊට පසු, යන යකා කොරහත් බිදගෙන යනවායි කියන්නා සේ පාස්කු ප්‍රහාරය වෙන්නට ඉඩදීලා බලන් සිටියේ එමගින් හෝ රනිල්ව ඉවරකර දැමීය හැකියැයි සිතු නිසාද?  

රනිල්ට වුවද තිබුනේ අර හොර අගමැති මහින්ද ඉවත්වී නැවත අගමැති ලෙස දිවුරුම්දුන් මොහොතේම එක්කෝ සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනේන්නය. නැතිනම් විපක්ෂය සමග  එකතුවී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කිරීමය. එසේ කලේ නම් අඩුම තරමින් පාස්කු ප්‍රහාරය සිදුනොවෙන්නටද තිබුනි. එයට වන්දි ගෙව්වේ අපේ මිනිස්සුය. අහිංසක මිනිස්සුය. රටේ මිනිස්සුය...

රනිල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගියේ නැත. දිගටම සිතුවේ තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තමන්ගේ පක්ෂයට දිගටම බලයේ සිටින්නට පුළුවන්යැයි කියාය. ඒතුල සිය දේශපාලන බලය තහවුරු කරගන්නට හැකියැයි විශ්වාස කළේය. එහෙත් දැන් දේශපාලන බලය තහවුරු වන්නේ හුදෙක් දේශපාලන-ආර්ථික වැඩපිළිවෙලක් තුලම නොව, පවත්නා තත්වය තුල නිර්මාණය වෙන ප්‍රතිවිරුද්ධ තත්වයන්ද මතය.

දැන් මේ පාර්ලිමේන්තුව විසිරුවා ඇති මොහොතේ තත්වයද එය ය. පොහොට්ටුවට තුනෙන් දෙකක් ලැබෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේද ගෝඨාභය සමග part of the package ලෙස පැමිණි, මහින්ද රාජපක්ෂලාට ඇති ප්‍රතිවිරුද්ධ තත්වයන් මතය. මහින්ද යනු  මීට කලින්  පරාජය කල පැරණි කුජිත දේශපාලකයාම බව මේ මාස තුනේදීම නැවත නැවතත් ඔප්පුකර තිබේ. ඔහුවත්, ඔහුගේ කාණ්ඩායමවත් කිසිම වැදගැම්මකට නැති කාලකන්ණි රෑනක් බව නැවත නැවතත් ඔප්පුකර තිබේ. ඔවුන්ට ආපසු තුනෙන් දෙකක බලයක් දෙනවා නම් ජනතාවද ඒතරම්ම කුජීත බවත්, එවැනි ජනතාවක් කෙරෙහි කිසිම බලාපොරොත්තුවක් තබාගැනීම අරුත්සුන් බවත්  පෙනී යනු ඇත. එසේ නම් යක්කුන්ගේ හැටියටම විමානේ හදාගත්තාවේ යැයි කියා සිතා ගත්තාට කම් නැත. 

එසේ නොවේනම් මේ මැතිවරණයේදී කලහැකිව තිබෙන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් නොදී ප්‍රතිවිරෝතාවයන් තවදුරත් නඩත්තු කිරීමය

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/03/2020