This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 17 March 2020

හිර වීමද ! තනි වීමද ! විසදුම කුමක්ද?

කොරෝනා වයිරසය පැතිරයාම මර්ධනය කිරීම සම්බන්දයෙන් මේ මොහොතේ ලෝකයම පුරාම අනුගමනය කරනුයේ එක්කෝ A. කිසිවෙකුට යෑමට ඒමට නොහැකිසේ නගර පිටින් අගුලුලෑමය (lock-down), නැතහොත් B. ස්ව කැමැත්තෙන්ම  ස්වයං හුදකලාවකට (self isolation) යෑමය.

මෙහෙ (බ්‍රිතාන්‍යයේ) ආණ්ඩුව කියන්නේ නැහැ ඔවුන් රටම වහලා දාමන බව හෝ, lock-down කරන බව හෝ, පාසැල් වසාදමන බව හෝ, කඩ සාප්පු  වසාදමන බව හෝ, තැබැරුම්, චිත්‍රපටිශාලා, නාට්‍යශාලා වසාදමන බව හෝ, සියල්ලෝම ගෙදරටවී සිටිය යුතුබව හෝ  නැතිනම් දඩගසන බව...ඒ වෙනුවට ඔවුන් කියන්නේ 'අනිවාර්යෙන්ම උවමනා නැති, අතවශ්‍ය නොවන ගමන් බිමන් නොවනවා නම් හොදයි'... 'එක එක තැන්වල රංචු ගැසෙන්නේ නැති තරමට හොදයි'... 'වයස නම්, කල්පවතින  අසනීපයක්  තියෙනවා නම්, ගෙදරටවෙලාම ඉන්න'... 'ඒක සමාජයට කරණ ලොකු යහපතක්'...'ගෙදරට වෙලාම ඉන්නවා නම් හොදයි...'ආදී ලෙස තමයි කියන්නේ...ඒ අස්සේ අගමැති Boris Johnson කියනවා ''මම දන්නවා අපි මේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ තරමක් අමාරු දේවල්, එත් එහෙම කරනවා නම් අපි ඔක්කොටම හොදයි, පොඩි හරි ලක්ෂණයක් පෙන්නුම්  කරනවා නම් ගෙදරටවෙලා ඉන්න, එක අපේ පුද්ගලික සහ සමාජ වගකීමක් ලෙස සලකමු'' ආදී ලෙස බොහෝම ආචාරශීලීව  කියනවා. ඒ වගේම කියනවා ''අපිට අපේ ජීවිතකාලය තුලදී අපි ආදරය කරන ගොඩක්  අය  නැති වෙන්න  පුළුවන් මේ වයිරසය නිසා''කියලත් කියනවා.. ඒ අතර විෂය ගැන කෙළපැමිණි විශේෂඥයෝ ඇවිල්ලා කියනවා ''කොරෝනාවලට තවම බෙහෙත් නැහැ, ශරීරය ඇතුළෙන්ම ප්‍රතිශක්තිය හැදිලා තමයි මේකෙන් බේරෙන්න පුළුවන්, හැබැයි රට පුරාම පැතිරුනොත් ලක්ෂ 2ක්  විතර මැරෙන්නත් පුළුවන්.. එනිසා ගෙටවෙලා  ඉන්න'' කියලා කියනවා.

ඉතින් මිනිස්සු රටම වහලාදාන්න, lock-down කරන්න කලින්ම ස්ව කැමැත්තෙන්ම lock වෙනවා. නැතිනම් එහෙම වෙන්න කලින්ම හිත හදාගන්නවා. ඉතින් දැන් සියල්ල ක්‍රමයෙන්, ස්ව කැමත්තෙන්ම වහගන්නවා...සීමා කරගන්නවා...ඉබේටම ගෙටවෙලා ඉන්න ගන්නවා.. පාර්ක් එකට ගියත් ටිකක් ඈතීන් ඉන්නවා..එත් මේවා ප්‍රමාණවත්ද? මිනිස්සුන්ට මෙහෙම ඉන්න පුළුවන්ද? මිනිස්සු කියන්නේ සමාජ සත්වයෝ නේද... ඔවුන් රංචු ගැස්සෙන නේද පෙළබෙන්නේ.. මේ ක්‍රමය  හරිද ? ආදී ලෙස ප්‍රශ්න කරන  අයත්  ඉන්නවා. 

දැන් යුරෝපයේ, පෝලන්තයේ ඉදන් ස්පාඤ්ඤය දක්වා  නගර  පිටින් වහලා, එලියට ගියොත් දඩගහන  තත්වයක්  ප්‍රකාශ  කරලා..ඇයි බ්‍රිතාන්‍යයට  ඒ වගේ  කරන්න  බැරි... ඒකට ඊයේ  BBC Newsnight වැඩසටහනේදී හොද උත්තරයක්  දුන්නා. එහිදී  කියවුනා  ''අපිට පුළුවන් මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරන්න, උපදේශයක් දෙන්න, අපි මේකට සාමාජයක් ලෙස මුහුණදෙනවා මිසක් වෙන විසදුමක් නැහැ.. අපි ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයක්.. මිනිස්සුන්ගේ නිදහස කප්පාදු කරන එක අපේ එකම තේරීම නොවයි..'' කියන එක. වසංගත තත්වයක වුනත් බ්‍රිතාන්‍යය සිය දේශපාලන පතිවත ආරක්ෂා කරගන්න කථා කරනවා.. සිය දේශපාලන අනන්‍යතාවය මතු කරන්න උත්සහ කරනවා.

මට මේක අහපුවහම හිතුනේ දැන් කොරෝනා වයිරසය පැතිරයාම මර්ධනය කිරීම සම්බන්දයෙන් මේ මොහොතේ ලෝකයම පුරාම අනුගමනය කරනුයේ එක්කෝA. කිසිවෙකුට යෑමට ඒමට නොහැකිසේ  නගර පිටින් අගුලුලෑම (lock-down) නැත්තනම් B. ස්ව කැමැත්තෙන්ම ස්වයං-හුදකලාවකට(self isolation)යෑම විතරද ඉතුරුවෙලා තියෙන්නේ කියන එකයි. ඒ වගේම හිතුන දෙයක් තමයි දෙකෙන්ම අවසාන වශයෙන් කරන්නේ එකම දෙයක් නෙමේද? පුද්ගලයාව තනිකිරීම නෙමේද? වෙන්නේ කියලා හිතුනා. 

එත් නගර අගුලුලෑම (lock-down) බලහත්කාරයෙන් නීතිය යොදවා කරන දෙයක්, එක්තරා ආකාරයක මර්ධනයක්. එක තමයි චීනයේ  ක්‍රමය. චීනය වුහන්වල කොරෝනා වයිරසය පැතිරීම නැවත්වුයේ එහෙමයි. මුළු නගරයම  වහලාදාලා, හිරකරලා, දැඩි දඩුවම්දීලා, දඩ ගහලා, දැඩි හස්තයකින් තමයි පාලනය කලේ. එහෙත් තවමත් නිට්ටාවටම ලෙඩේ සනීප නැහැ. තවමත් චීනයෙන් කොරෝනා රෝගීන් මතුවෙනවා. හැබැයි ඉස්සර තරම්ම නෙමේ. දැන් ඒ ක්‍රමයම යුරෝපයත් අනුගමනය කරන්න පටන් අරන් තියෙන්නේ. චීන පිළිවෙත-චීන ක්‍රමය විසදුමක් විදිහට බාර අරන්. එකට හේතුවුනේ යුරෝපයේ ජනයා මේ වයිරසය සම්බන්දයෙන් නිකුත්කළ උපදෙස් පිළිගැනීමට දැක්වූ පැකිලීමයි. විශේෂයෙන් ඉතාලියේ, ස්පාඤ්ඤයේ ජනයා, වයසක අය පවා  නිවෙස්වලටවී සිටීම ප්‍රතික්ෂේපකලා. අවසාන වශයෙන් බලෙන් නීති පනවා, දඩ  ගසා  චීනයේ මෙන් අගුයලුලෑම (lock-down) සිදුවුනා පමණක් නෙමේ රෝගය උග්‍ර අතට පත්වෙද්දී ප්‍රමුඛතාවය වයසක අයට වඩා තරුණ අයට යොමුවෙන බව දන්වන්නටවුනා. එය ඉතාම ඛේදනීය තත්වයක්. නමුත් ටයිටැනික් නැව ගිලෙද්දීත්කලේ ඕකමයි. යුරෝපය එය කාලයක් තිස්සේ ක්‍රියාවට නන්වන සමාජ සත්තාවක් priority over the rights කියලා හදුන්වන්නේ එයයි.

එහෙත් ඊට  වඩා  වෙනස්  ක්‍රමයක්  තියෙනවා? බලකිරීමකින් තොරව, ස්වකැමැත්තෙන්ම, ස්වයන් හුදකලාවට (self isolation) යෑමට යොමුකිරීම බ්‍රිතාන්‍යය ක්‍රමයද? එය මේ මොහොතේ ලිබරල් ප්‍රජාත්නත්‍රවා වටිනාකම් ආරක්ෂා කිරීමක්ද? නැතිනම් බ්‍රිතාන්‍යයටත් අවසාන වශයෙන් චීන ක්‍රමයම අත්හදා බැලූ,  යුරෝපයේත් දැන් භාවිතා කරන මර්ධනකාරී චීන පිලිවෙත්ටම යන්න වෙයිද? ඒ ගැන කියන්න දැම්ම බැහැ.

ඒ කොහොමවුනත් විද්‍යාව කොච්චර දියුණුවූත්, මේ රටවල කෙතරම් සමුච්චිත ප්‍රාග්ධනයක් තිබුනත්, කොච්චර සෞඛ්‍ය පහසුකම් දියුණුයි කිව්වත් අන්තිමට කරන්නේ එක දෙයයි, තනිකිරීම. හුදකලාකර දැමීම. හුදෙකලාව fun එකක්, adventure එකක් කරගන්නත් පුළුවන් ඕනේ නම් කෙනෙකුට. එත් ඒක ටික කාලයකට විතරක් කරගන්න පුළුවන් දෙයක් විතරයි. දිගටම තනිවෙලා, හුදෙකලාවෙලා ඉන්න බැහැ.. ආර්ථිකය කඩා වැටෙනවා..මුළු පද්ධතියම අකර්මන්‍යවෙනවා. ඒ ඔක්කොටම වැඩියෙන් මිනිස්සු මානසිකව කඩා වැටෙනවා..අවසාන වශයෙන් එකෙන් කියවෙන්නේ චීන ක්‍රමය විතරක් නෙමේ ලිබරල් ක්‍රමයත් අර්බුධයක්ම තමයි...

ඒ තත්වය තුල තමයි අර Von Slavoj Zizek වගේ අය (The End of the 
World As We Know It,12/02/2020, ලිපියේ) කියනේ චීනයට වගේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයටත් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී (Chantal Mouffe - (2005) කියන අර්ථයෙන්මද කියලා පැහැදිලි නැහැ) ප්‍රතිසංස්කරණ නොකර යන්න බැහැ කියලා: ''What if the opposite is true? If we designate as “liberals” those who care for our freedoms, and as “Communists” those who are aware that we can save these freedoms only with radical changes since global capitalism is approaching a crisis, then we should say that, today, those who still recognize themselves as Communists are liberals with a diploma - liberals who seriously studied why our liberal values are under threat and became aware that only a radical change can save them.'' ඒ වගේම  ඔහු  රුසියන් ප්‍රවෘත්ති සේවයට  කිව්වා  මේ කොරෝනා වයිරස වගේ ගෝලීය අර්බුධකාරී තත්වයක් තුල ඉස්සෙල්ලම පරාජයවෙන්නේ ජාතික, වර්ගවාදීන්, සහ ජාතිකවාදීන් බව.. ඔහු කියනවා ගෝලීය ප්‍රජාවක් විදිහට විසදුම් සොයනවා මිසක් තනි තනි රාජ්‍ය ලෙස විසදුම් නැහැ කියලා. කොරෝනා වයිරසයට මුහුණදීමේදී ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වූ විකාර සහගත ප්‍රවේශය ඔහු වැනි  දක්ෂිණාංශික ජනප්‍රියවාදීගේ රෙදිගලවා ඇති තත්වයක් තුල Slavoj ඉහත අදහස තහවුරු කරන බවක් පෙනීගියත් යුරෝපා සංගමයෙන් ඉවත්වෙලා (Brexit) තනි ගමනක් යන්න යන බ්‍රිතාන්‍යය ගැන කොහොම ආදාලවෙයිද කියලා තවම කියන්න බැහැ. ඒවගේම ඔහු කියනවා සෝවියට් රුසියාව බිදදැමීමට චර්නෝබෙල් ඛේදවාචකය බලපෑවේ කොයි ආකාරයටද  ඒ වගේම කොරෝනා  වයිරසයත් චීන කොමියුනිට්ස් ක්‍රමය බිදදැමීමට බලපානවා කියලා...එහෙත් දැන් කොරෝනා වයිරසය මර්ධනය කරන්න චීනය යොදාගත් දැඩි චීන පිළිවෙතම යුරෝපයත් ක්‍රියාවට නගන්න පටන් අරන්...බ්‍රිතාන්‍යයත් මර්ධනය වෙනුවට ස්ව කැමැත්ත තුල පොලබවන්නෙත් එයටමයි.

එත් හුදකලාව කියන්නේ කලාවක් නෙමේ වලාවක්..එපිට මෙපිට නොපෙනෙන තද කළු වලාවක්...
   

මාකස් ප්‍රියන්ත  පෙරේරා
17/03/2020

No comments:

Post a Comment