This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 3 March 2020

මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමක් කරමුද?


ඊයේ විසුරුවා හරින ලද ලංකා පාර්ලිමේන්තුව යනු ලංකා ඉතිහාසයේ අප දකිනා ලද බලු-බල-පොරය වඩාත්ම කලහකාරී ලෙස ඉස්මතුවී වැඩිම පාර්ලිමේන්තු දින ගණනක් අපතේ ගිය නමුත් ජනාධිපතිධුරයේ ඇතැම් අත්තනොමතික බලතල අඩුකිරීම වැනි සමහර ධනාත්මක වර්ධනයන් සිදුවූ පාර්ලිමේන්තුවකි.

එයට මුලික හේතුව වුයේ ජනාධිපතිවරණයෙන් පැරදි, මැදමුලන ජනේලේ එල්ලී, තොරතෝන්චියක් නැතිව ආඩපාලි කියමින්, දසඅතේ දෙස්දොවල්දි දී සිටි 'රට බේරාගත් දියසේන කුමාරයයි' කියූ මහින්ද රාජපක්ෂව නැවත බලයට පත්කරන්නට රාජපක්ෂවාදීන්ද, දුෂිත රාජපක්ෂ පාලනය පරාජය කර මෛත්‍රී පාලනයක් ගෙනෙන බව කී     මෛත්‍රීපාල සිරිසේනද, ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ ඊලග කේන්ද්‍රස්ථානය කර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හදනවයි කී රනිල් වික්‍රමසිංහගේද දේශපාලන අරමුණුවලවූ පරස්පරයන්ගේ ගැටුම සහ එකගතාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවී, රනිල් වික්‍රමසිංහ එදාම අගමැති ලෙස දිවුරුන්දී නිර්මාණය කල අලුත් ආණ්ඩුවේ පළමු දින 100 තුල රාජපක්ෂවාදීන්ගේ යම් අවනතකමක් දිනාගැනීමට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සමත්වුවද රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒමේ උත්සහය ක්‍රමයෙන් දියත්වීමත් සමග ඒ ආණ්ඩුවට තිබූ සහයෝගය සීඝ්‍රයෙන් පහල  ගියා පමණක් නොව  විරෝධයත් ක්‍රමයෙන් වැඩිවිය.

රාජපක්ෂලා මුලින්ම කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම සිරිසේනටදී එහි මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහ අවනතභාවය තමන් අතේම රදවා ගැනීමට කටයුතු කිරීමය. ඒ සදහා එක් පැත්තකින් ඔහුගේ ප්‍රතිරූපය දිගටම නඩත්තු කිරීමටත්, අනෙක් පැත්තෙන් සිරිසේනගේ ප්‍රතිරූපය නැතිකිරීමටත් ඔහුගේ ප්‍රචාරකයෝ කටයුතු කළහ. පසුව එළබි  පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ පෙරමුණේන්ම තරග කර නැවත මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ගේ දේශපාලන වලංගුභාවය නැවත තහවුරුකර ගන්නත්, සිරිසේනගේ ගොඩට වඩා තමන්ගේ ගොඩ සහතික කරගන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.

එයට මුහුණදීමට  මෛත්‍රීපාල සිරිසේන කලේ රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය නිසා පරාජයට පත්වූ S.B. ලා, ඩිලාන්ලා වැනි අයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම්දී තමන්ගේ ගොඩ වැඩිකරගන්නට කටයුතු කිරීමය. පසුව ඇටවූ ජාතික ආණ්ඩුව තුල සිරිසේන උත්සහකලේ එම පිරිස  සමග  'සරල ජනාධිපති' ලෙස හදුන්වාදෙමින් තමන්ගේ දේශපාලන ගමන සහතික කරගැනීමටය.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වන සෑමවිටකදී මෙන්ම මෙවරද  ඔහු   උත්සහකළේ තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල කෙසේ හෝ ක්‍රියාවට නගන්නටය. රනිල් වික්‍රමසිංහ බොහෝදුරට හිතනවා ඇත්තේ J.R. මෙන් තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල තහවුරුකලොත් තමන්ගේ පක්ෂයට දිගටම බලයේ සිටින්නට පුළුවන් කියාය. ඒහින් ඔහු කෙසේ හෝ තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කොට දකිනවා මිසක පක්ෂ දේශපාලනය, තමන්ගේ පක්ෂ සහ එහි පුද්ගලයින් යන්න දෙවේනියට දමා කටයුතු කරන බවක් පෙනේ.

පහුගිය ආණ්ඩුව තුල ඔහු කරන්න ගියේ එක පැත්තකින් ඔහුගේ දේශපාලන-ආර්ථික වැඩපෙලිවල ක්‍රියාවට නන්වන අතරම මහින්ද සහ සිරිසේන පාර්ශව අතර ගැටුම දිගටම යන්න දී බලන් සිටීමය. සිරිසේන මුල්කාලේ බලාපොරොත්තුවුයේ රනිල්ගේද, ආණ්ඩුවේද බලය උපයෝගී කරගෙන මහින්දලාව දේශපාලන වශයෙන් අතුගාල දාමා ඒ හිඩැස තමන්ගෙන් පුරවාලන්නටය. රනිල් යටතේ එවැන්නක් සිදුනොවෙන බව පෙනීගිය වහාම සිරිසේන කලේ මහින්ද සමග එකතුවී රනිල්ව ඉවත්කිරීමට පුලුවන්ද කියලා බැලීමය. ඒ සදහා සිරිසේන නොකල දෙයක් නැත. රනිල් ඉද්දීම මහින්දවත් අගමැති කළේය...මහින්දලා පාර්ලිමේන්තුවට මිරිස්කුඩුද  ගැසීය. කථානායකගේ පුටුවත් කැඩුවේය. නොකළේ පාර්ලිමේන්තුවට  ගිනි තැබීම  පමණි. ඊට පසු, යන යකා කොරහත් බිදගෙන යනවායි කියන්නා සේ පාස්කු ප්‍රහාරය වෙන්නට ඉඩදීලා බලන් සිටියේ එමගින් හෝ රනිල්ව ඉවරකර දැමීය හැකියැයි සිතු නිසාද?  

රනිල්ට වුවද තිබුනේ අර හොර අගමැති මහින්ද ඉවත්වී නැවත අගමැති ලෙස දිවුරුම්දුන් මොහොතේම එක්කෝ සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනේන්නය. නැතිනම් විපක්ෂය සමග  එකතුවී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කිරීමය. එසේ කලේ නම් අඩුම තරමින් පාස්කු ප්‍රහාරය සිදුනොවෙන්නටද තිබුනි. එයට වන්දි ගෙව්වේ අපේ මිනිස්සුය. අහිංසක මිනිස්සුය. රටේ මිනිස්සුය...

රනිල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගියේ නැත. දිගටම සිතුවේ තමන්ගේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තමන්ගේ පක්ෂයට දිගටම බලයේ සිටින්නට පුළුවන්යැයි කියාය. ඒතුල සිය දේශපාලන බලය තහවුරු කරගන්නට හැකියැයි විශ්වාස කළේය. එහෙත් දැන් දේශපාලන බලය තහවුරු වන්නේ හුදෙක් දේශපාලන-ආර්ථික වැඩපිළිවෙලක් තුලම නොව, පවත්නා තත්වය තුල නිර්මාණය වෙන ප්‍රතිවිරුද්ධ තත්වයන්ද මතය.

දැන් මේ පාර්ලිමේන්තුව විසිරුවා ඇති මොහොතේ තත්වයද එය ය. පොහොට්ටුවට තුනෙන් දෙකක් ලැබෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේද ගෝඨාභය සමග part of the package ලෙස පැමිණි, මහින්ද රාජපක්ෂලාට ඇති ප්‍රතිවිරුද්ධ තත්වයන් මතය. මහින්ද යනු  මීට කලින්  පරාජය කල පැරණි කුජිත දේශපාලකයාම බව මේ මාස තුනේදීම නැවත නැවතත් ඔප්පුකර තිබේ. ඔහුවත්, ඔහුගේ කාණ්ඩායමවත් කිසිම වැදගැම්මකට නැති කාලකන්ණි රෑනක් බව නැවත නැවතත් ඔප්පුකර තිබේ. ඔවුන්ට ආපසු තුනෙන් දෙකක බලයක් දෙනවා නම් ජනතාවද ඒතරම්ම කුජීත බවත්, එවැනි ජනතාවක් කෙරෙහි කිසිම බලාපොරොත්තුවක් තබාගැනීම අරුත්සුන් බවත්  පෙනී යනු ඇත. එසේ නම් යක්කුන්ගේ හැටියටම විමානේ හදාගත්තාවේ යැයි කියා සිතා ගත්තාට කම් නැත. 

එසේ නොවේනම් මේ මැතිවරණයේදී කලහැකිව තිබෙන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් නොදී ප්‍රතිවිරෝතාවයන් තවදුරත් නඩත්තු කිරීමය

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/03/2020

2 comments:

  1. මාකස් අයියේ
    මහින්දගේ දේ මහින්දට දෙන්න, දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න.

    මම යෙහෝවාගේ සාක්කිකාරයන්ට ගරුකරන හේතුව තමයි උන් පොලවේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ.
    ඒවුනාට කතෝලිකයෝ නම් වේසිගේ පුතාලා වෙන්නමයි හදන්නේ.

    ReplyDelete
  2. saharanata monaath denna oni nadda ...

    ReplyDelete