This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 5 April 2016

සුද්දාගේ අර්බුධය ක්‍රිකට් ඇසුරින් තේරුම්ගැනීම

විස්සයි 20 ලෝක කුසලානය පසුගියදා අවසන්විය. වැඩි සද්දයක් නැතිව සිටි සුද්දා පරාජයට පත්විය. එහෙත් ඔවුන්ට ඒගැන එතරම් විමතියක් නැත. කොහොමටත් පාපන්දු ජනප්‍රියම ක්‍රීඩාවවන එංගලන්තයේ සිය ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගයතෙක්ම පැමිණීම ගැන ඔවුන්ට සතුටුවිය හැක. කලක් ඔවුන් ස්වාමීත්වයදැරූ  අනෙක් බොහෝ දේවල්වල මෙන්ම  ක්‍රිකට් ක්‍රීඩාවේන්ද ඔවුන්ගේ ආධිපත්‍ය ගිලිහීගොස් ඇතිබව ඔවුන් දනී. එහින් කලක් සිය යටත්වැසියන්වූ කළු ජාතික බටහිර කොදෙව්වන්ගෙන් මෙන්ම බෙන්ගලින්ගෙන්ද, ඉන්දියානුවන්ගෙන්ද, පාකිස්ථානුවන්ගෙන් හෝ ලාංකීකයන් අතින්ද පරාජයවීම ගැන ඔවුන්ට දැන් මහත් අර්බුධයක් නැත. ඒ ඔවුන්ගේ කණ්ඩායම අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව දුර්වල බව ඔවුන් දන්නා නිසාය. ඒ ප්‍රතිවාදියාට වඩා ශරීර ශක්තිය අතින්වත්, හැකියාව අතින්වත්, තාක්ෂණය, දැනුම හෝ බුද්ධිය අතින්වත් නොවනබව  ඔවුන් දනී. සුද්දාට ඇති ප්‍රශනය අදට ගැලපෙන ලෙස තමන්ද, සිය කණ්ඩායමද නැවත ඔසවා තබන්නේ කෙසේද යන්නය. ඒ සදහා ඔවුන් සහ සිය ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දක්වන විචාරකයන්ගේ සහයෙන් කලින්කලට විවිධ  තියරි (theory) ගොඩනගන ලදී. 

කාලයක් ඔවුන් "bowl dry" තියරිය භාවිතා කළේය. එය පන්දුව දෝලනය නොවනවිට පිතිකරුවන් බෝලය හබායෑමට පෙලබවීම මගින් විකට් ලබාගෙන පන්දුයවන්නන්ගේ බලයෙන් ගොඩයෑමය. පසුව 'daddy hundred' තියරිය  භාවිතාවිය. එමගින් ක්‍රීඩකයන් හැකිතරම් විශාල ශතකයන් කරා ගොස් පිතිකරු බලය ගොඩනැගීමට යෑයුතුයැයි යෝජනා කළහ. ඊටත් පසුව 'no-fear cricket' තියරිය ආදේශවිය. එයින් යෝජනාකලේ පීඩාවකින් තොරව ක්‍රීඩකයන් නිදහසේ සිය දක්ෂතා දැක්වීමට දිරිමත් කිරීම තුල සාර්ථකත්වයක් ලැබීමය. දැන්  'new era' cricket නමින් නව තියරියක් පැමිණ තිබේ. මෙවර විස්සයි20 ලෝක කුසලානයට ඔවුන් ඉදිරිපත්වුයේ මේ අදහස පෙරටු කරගෙනය. එහෙත් මෙම 'new era' cricket යන්න තවමත් එතරම් පුලූල්ව අර්ථදක්වා නැත. Joe Rootට අනුව නම් මෙම  'new era' cricket යන්න තුලද අදහස්වන්නේ පැරණි තියරියක් වන 'attacking cricket' යන්නය. එහෙත් නායක Eoin Morganට අනුව නම් මෙම 'new era' cricket යන්න නව ප්‍රවේශයකි. එය අනාගතයේදී දැකිය හැක්කකි. 

කෙසේවේතත්, මෙම එංගලන්ත කණ්ඩායමේ නවතාවයක් නම් දැකිය හැක. එනම් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් බහුතරයකගේ සම්භවය බ්‍රිතාන්‍ය පැරණි යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට දිවයෑමය.  නායක Eoin Morgan අයර්ලන්තයේද,  Jason Roy දකුණු අප්‍රිකාවේද, Ben Stokes නවසීලන්තයේද, Chris Jordan බාබඩෝස්හීද උපත ලැබුවන්ය. කාටත් පැහැදිලි ලෙස  Rashid සහ Moeen Ali  පාකිස්ථාන කාශ්මීර සම්භවයකින් පැවැත එන්නෝය. ක්‍රිකට් මෙන්ම එංගලන්තයේ බොහෝ ක්ෂේත්‍රවද මෙම යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සම්භවය කැපීපෙනේ. ඒ අනුව මෙම 'new era' යන්න තුල ඉහත  කොටසට හිමිදාකත්වය නිරූපණයවේ. 

තවද, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වියයුතුද?නැත්ද? යන්න සම්බන්දයෙන් පැවැත්වීමට යෝජිත ජනමත විචාරනයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුයැයි (Brexit) යෝජනා කරන පිලේ නායකත්වය දරන,ලන්ඩනයේ නගරාධිපතිවරයාවන Boris Johnsonද බ්‍රිතාන්‍යයේ 'new era' වක් ගැන කථාකරයි. එය ඔවුන්ගේ පැරණි යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාගේ සම්මිශ්‍රණයකින් සැදුම්ලද්දක් වියයුතුබව ඔහු අවස්ථා කිහිපයකදීම දක්වා තිබේ. එහෙත් සුද්දා වැඩිපුරම ආගමන-විගමන නීති තදකරන්නේද එම කොටසටමය. ඒගැන නම්  Boris Johnson ලාගේ කිසිම කථාවක් නැත. 

සුද්දාගේ මේ එකිනෙකට වෙනස්, පරස්පර ප්‍රතිපත්ති ගැන සැවොමදනී. විශේෂයෙන්ම අද මානව හිමිකම් හෝ කුමන ධනාත්මක නිර්නායකයන් ඉදිරිපත්කලද සුද්දා ඉතිහාසගතව සිය යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාට, ඔවූන්ගේ රටවලට සැලකුව ආකාරය මෙන්ම තවම සලකන ආකාරය ගැනද එම ජනයාට හොද මතකයක් තිබේ. ඒහින් කළු ජාතික බටහිර කොදෙව්වන් අතර තරගයකදී මෙන්ම බෙන්ගලින්, ඉන්දියානුවන්, පකිස්ථානුවන් හෝ ලාංකීකයන්  අතර තරගයකදී ද නැවත එලියට එන්නේ මෙම සුද්දා ගැන ඇති විරෝධයය. බටහිර කොදෙව්වන්ගේ සාර්ථකත්වයේ රහස එය බව Fire In Babylon (2010) නම් BBC වාර්තා වැඩසටහනින් (Documentary) කියවේ. ශ්‍රී ලාංකීකයන්ගේ 1996 ලෝක කුසලාන සාර්ථකත්ව පිටිපස තිබු රහසද ඔස්ට්‍රේලියානු 'ඩුප්ලිකෙට්' සුද්දාගේන් එල්ලවුණු පීඩාව එරෙහිව නැගී සිටීම බව නොකියමනාය. 

ඇත්තටම, සුද්දාගෙ අර්බුධය වන්නේ ඔවුන්ගේ යටත්විජිත සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජනයාට, ඔවූන්ගේ කණ්ඩායම්වලට, ඔවූන්ගේ රටවලට ඇති ඉහත ආකාර මානසික උත්තේජනයක ඔවුන්ට නැතිවීමය. ඔවූන්ට සිය හමේ ඇති උදාරබව හෝ සිය උදාර ඉතිහාසය ගැන තවත් කථාකල නොහැක. මන්දයත්, එය අනෙකා ප්‍රකෝපකරන, අපකීර්තිමත් ගදගැසුණු ඉතිහාසයක් නැවත මතක්කිරීමක්වන  නිසාය. අඩුම තරමින් අතීතයේමෙන් 'New Jerusalem' යැයි කියමින් තමන්ගේ වර්ගයා හෝ රට ගැනද අලංකාර වාක්‍යය තවත් කිවනොහැක. එයද පිටස්තරයන්ගෙන් පිරීගොසිනි. 

එහෙයින් එංගලන්තයේ සුද්දාට තම රටටත් සිය කණඩායමත් නැවත ඔසවා තැබීමට මානසික උත්තේජනයක් සපයන නව ප්‍රවාදයක් (thesis) අවශ්‍ය. ඔවුන්ගේ අර්බුධයවන්නේ එවැන්නක් ගොඩනගා ගැනීමට තවම නොහැකිවීමය.

ලංකාවේ නම් 'ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට නොහැකිවීම' යනුවෙන් කියූවිට එකවරම  මතකයට එන්නේ නලින් ද සිල්වා ඇදුරුතුමා වියයුතුය. ඒ ඔහු 'සිංහලයාට ප්‍රවාදයන් ගොඩනගා ගැනීමට නොහැකි යැයි' නිතර ලියන නිසාය. එහිදී ඔහු ප්‍රවාදය (thesis) යන්න යොදාගනුවේ තියරි (theory) වෙනුවටම බව ලියා ඇත ('මම තියරී යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි). ඔහුගේ අනෙකුත් බොහෝ මත පිළිබද මෙන්ම මෙලෙස තියරියත් (theory) ප්‍රවාදයත් (thesis) එකක් ලෙස සැලකීමේද අවුලක් තිබේ. එහෙත් තියරියේත් (theory) ප්‍රවාදයේත් (thesis) ඇති වෙනස්කම් කථාකිරීමට වඩා ඔහු 'ප්‍රවාදය' යොදාගන්නේ (භාවිතාර්ථයෙන්) 'යමක් පිළිබද පුළුල් අදහසක්' යන්න විස්තර කිරීමට බව පිළිගැනීමවටී. ඒ අනුව ඔහු 'සිංහලයාට ප්‍රවාදයන් ගොඩනගා ගැනීමට නොහැකි' යැයි කීවිට ඉන් අදහස් වන්නේ සිංහලයාට 'යමක් පිළිබද පුළුල් අදහසක් ගොඩනගා ගැනීමට නොහැකිවීම' යන්න විය යුතුය. ඔහු යෝජනාකරන ප්‍රවාදය (ඔහුගේ අර්ථයෙන් තියරිය) අනෙකක් නොව ලංකාවේ සියලු ප්‍රශ්නවලට හේතුව සුද්දා සහ ඔවුන්ගේ යටත්විජිතවාදී ප්‍රතිපාත්තිය. 

එහෙත්, ලාංකීකයන්ට මෙන්ම සුද්දාටද, වෙනත් කිසිවෙකුටද, සිය ඉතිහාසය වෙනස්කල නොහැක. කල හැක්කේ පවත්නා ගැටළුවලට පිළිතුරු සෙවීමට, ඉතිහාසය තවදුරටත් තොරොම්බල් නොකරන, නව තත්වයන්ට ගැලපෙන නව  ප්‍රවාදයක් ගොඩනගා ගැනීමය. ඒ සදහා මුලික වශයෙන් අවශ්‍යවනුවේ දැන් ඇත්තේ නව කාලයක් ('new era') බව තේරුම්ගැනීමය.  එංගලන්තයේ මෙන්ම ලංකාවේද ක්‍රිකට්වලට මෙන්ම සෙසු සියල්ලටම අවශ්‍යවන්නේ එයය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
05/04/2016
ජයාරූපය,11/06/14 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරගයේදී ඇතිවූ සිද්ධියක් ගැන මා මාගේ ලියූ facebook පිටුවේ ලියූ සටහනකට භාවිතා කල ජයාරූපයකි. එහි විස්තරයද පහතින් වේ. 


Captain Cook !!! 

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර ටෙස්ට් තරගයට පෙර නැවත වතාවක් ශ්‍රී ලංකාව ජෝස් බ්ට්ලර් (Jos Buttler)ව දවාගත් ආකාරය පිලිබදව සාකච්ඡාව පැනනැගී ඇත. එංගලන්ත පිලේ නායක අලෙස්ටෙයා කුක් (Alastair Cook)ට අනුව ජෝස් බ්ට්ලර් ගේ සිද්ධියේදී 'ශ්‍රී ලංකාව සිය සිමාව ඉක්මවා කටයුතු කලේ යැයි’ දක්වයි. ඒයින් ඔහු ලෝකයට කියන්නට උත්සහ කරන්නේ එංගලන්තය එවැනි අවස්ථාවක එසේ නොකරන, තවදුරටත් 'ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණය' රැක ගනිමින්, පිළිගත් නීතිවලට අනුවම ක්‍රීඩාවේ නිරතවන කණ්ඩායමක් වන බවද ? එවැනි ප්‍රකාශ පිළිගැනීමට සුදානම් කවුද?

එවැනිම කුක් (Cook) කථාවක් ඉතිහාසයේද තිබේ. ඒ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික දේශගවේෂකයකු වන කැප්ටන් ජේමස් කුක් (Captain James Cook) ගැනය. ඉංග්‍රීසි වාර්තා වලට අනුව 1779 ජනවාරි 17 දින හවායි (Hawaii) දුපත්වාසීන්ගේ පුජනීය‘මොකැහැයි’ දිනයකදී (festival of Makahiki) එම දුපත්වලට ගොඩබසින කැප්ටන් ජේමස් කුක්ව (Captain James Cook) තම ලෝනෝ (Lono) දෙවියන්ගේ නැවත පැමිණීමක් සේ සලකා උත්සවත්ශ්‍රීයෙන් පිළිගන්නා හවායි වැසියන් පසුව ඔහුව කෘර ලෙස මරාදමන ලදී. එය සුදු නොවන ජාතීන්ගේ මේලේච්චත්වයට, නොදියුණුකමට සහ අශිෂ්ට කමට හොද උදාහරණයක්යැයි පසුගිය සියවස දක්වාම ඔවුන් පිළිගන්නාලදී. නමුත් පසුගිය වසර තිහක කාලයතුල කල පරීක්ෂණ මගින් එම මතය වැරදි බව පිළිගෙන ඉතිහාස විෂයමාලාවේද එය නිවැරදි කරන ලදී. එනම් කැප්ටන් කුක්ගේ මරණයට හේතුව ඔහුගේ කෘරකමත්,අශිෂ්ටමත් සහ ඔහුගේ ආධිපත්‍යවාදී හැසිරීමත් බව පිළිගන්නා ලදී. මේ පිලිබදව තවදුරටත් අධ්‍යනය කල, ඇමෙරිකාවේ වාසයකරන, ශ්‍රී ලංකාවෙන් බිහිකල, විශිෂ්ඨ සමාජ සහ මානව විද්යාීඥනයෙක් වන ගනනාත් ඔබේසේකර (Gananath Obeyesekere) මහතාගේ 'The Apotheosis of Captain Cook: European Myth making in the Pacific' (1997) කෘතිය ප්‍රශ්න කලේ 'වෙනත් මිනිසුන්, සුදු මිනිසුන්ව ශිෂ්ට සම්පන්න, වීරත්වයෙන් සහ දේවත්වයෙන් පිදුම්ලද පිරිසක් ලෙස සැලකුවාද ? එසේත් නැත්නම් එය සුදු මිනිසුන් ඔවුන්ව සතුටුකර ගැනීම සදහා ඔවුන් විසින්ම ගොඩනගා ගනු ලැබූ කල්පිතයන්ද යන්නයි. ජේමස් කුක්ගේ කතන්දරයට අනුව නම් එය සුදු මිනිසුන් විසින්, ඔවුන්ගේ වැරදි වසාදමමින්, ඔවුන්වම උසස් කරගැනීමට ගේතුවක් බව දැන් පැහැදිලිය. එහෙත් අලුත් කුක්ට, අලෙස්ටෙයා කුක්ට, කැප්ටන් ජේමස් කුක් ගේ කථාවේ මෙන්, ඒත්තුගැන්විය හැකි කිසිවක් නොවිනි. ඒ ජයග්‍රහණය හැර වෙන කිසි අරමුණක් දැන් ක්‍රීඩාවේ නොමැති බවත්, එය සෑම කණ්ඩායමකටම පොදු බවත්, ජයග්‍රහණය ඔවුන් නියෝජනය කරන රටේ හෝ ජාතියේ අනන්‍යතාවය සහ වෙනත් වාසි රැසක් හා බැදී තිබෙන බවත් අප සියල්ලන්ම දන්නා නිසාම පමණක් නොවේ. ඒනම්, කැප්ටන් ජේමස් කුක්ගේ කාලයේ මෙන් 'සුදු (ජාතිකයන්) නිසා, තමගේ ජයග්‍රහණය සදහා ගන්නා සෑම ක්‍රියා මාර්ගයක්ම, නිවැරදියැයි පිළිගන්නට හෝ ඒ සදහා ගන්නා සෑම ක්‍රියා මාර්ගයක්ම නිවැරදියැයි කියන්නට හෝ පිරිසක් එංගලන්තයෙවත්, බටහිරවත්, මුළුලෝකයමත් දැන් ඒහැටි නොමැතිවීමය. එහෙත් අපේ රටේ නම් 'හරිදේ හරි කීමටත්, වැරදි දේ වැරදියි' කීමටත් පිරිස නැතිවී ගියේදැයි සිතෙන වාර අනන්තයි නේද ?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
11/06/14.
(https://www.facebook.com/photo.phpfbid=323980927753658&set=pb.100004252602057.-2207520000.1459836259.&type=3&theater)



9 comments:

  1. නලීන් ද සිල්වා මහත්තයා කිව්වේ වියුක්ත ප්‍ර‍වාද නිර්මානයේදී සිංහලයන් දුර්වල බවයි. එයින් අදහස් වන්නේ පුලුල් පරාසයක සිද්ධීන් පැහැදිලි කරන ආකෘති ගොඩනඟා ගැනීමේදී සිංහලයන් දුර්වල බවයි. සිංහලයන් පුරුදු වී ඇත්තේ එක් එක් සිදුවීමට වෙන වෙනම ප්‍ර‍තිචාර දැක්වීමට බවයි නලීන් ද සිල්වාගේ මතය.
    වියුක්තප්‍ර‍වාද ගොනඟා ගැනීමට නම් වියුක්තව සිතීමට පුරුදු විය යුතුයි.
    ලංකාවේ නිධන් හොරෙක් බුදුපිලිම කැඩීම සහ ඇෆ්ගනිස්ථානයේ තලිබාන් වරුන්ගේ බුදු පිලිම කැඩීම අතර වෙනස හඳුනා ගැනීමට, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සිරකරුවන් සහ එල්ටීටීරීයට සම්බන්ධ සිරකරුවන් අතර වෙනස හඳුනා ගැනීමට, රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස අවබෝධ කරගැනීමට, අජිත් ජී පෙරේරා දෙමළ බසින් ජාතික ගීය ගැයීම ගැන කියන රසකතා වල බොරුව තේරුම් ගැනීමට වියුක්ත චින්තනය අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ජගත්, මම හිතන්නේ ඔබේ පැහැදිලි කිරීම හරි. එහෙත් ඔයා නලින්ද සිල්වා මහතාගේ පසුගිය සුමානේ ලිපිය දැක්කාද ? එහිදී එතුමා කියනවා කොටින් සහ JVP අතර වෙනසක් නැතිබව. එනම් දෙගොල්ලොම රාජ්‍යට විරුද්ධව සටන්කරන්නන් ලෙස සැලකිය යුතුබව. මට ආපහු අත්වෙන්නේ එතුමාගේ සංකල්පවල ඇති අවුල. එහෙත් මම ඒ ගැන එතරම් කරදරවෙන්නේ නැහැ. එතුමාගේ මුලික තර්කය අවබෝධකරගන්න උත්සහකරන එක තමයි කරන්නේ. එහෙත් ඔබේ නිවැරදි කිරීමට ස්තූතියි.

      Delete
  2. ඔබගේ බ්ලොග් අඩවිය හමුවීම සතුටකි. බ්ලොග් අවකාශයේ සිංහලෙන් ක්‍රිකට් සම්බන්ධව ලියවෙන්නේ බොහෝ කළාතුරකිනි. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන කෙනාට කවුරු දිනුවත්, කවුරු දස්කම් දැක්වූවත් එකලෙස සතුටු විය හැකිය. මෑතකදී ඉන්දියාව ක්‍රිකට් තුල පවත්වාගැනීමට සුදානම් වන ආදිපත්‍යය හැර අනෙක් කිසි දෙයක් පිලිබඳ මටනම් විවේචන නැත. සුද්දන් ක්‍රිකට් තුලින් උපේක්ෂාව පුහුණු කරගෙන ඇත. අප ඇතුළු සෙසු රටවල් ජය පිටුපසම හඹා යති. වඩා දියුණු මානසික තත්වය ඇත්තේ කාහටද යන්න පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක, මට ඔයාගේ ඇවිද්ද පය මීට පෙර හමුවෙලා තිබෙනවා, ඒ මාතලන්ගේ සින්ඩියෙදී, අර ඔරලෝසුවේ කථාව මට මතකයි. ඇත්තටම මම ක්‍රිකට් ගැන ලියන කෙනෙක් නෙමෙයි. මම මුලික වශයෙන් ලියන්නේ මීගමුව ගැන , ඒ මම එකතුකරලා තියෙන තොරතුරු ටික බෙදාගන්න. එහෙත් රටේ ලෝකේ සිදුවන සිදුවීම්ගැනත් උන්නදුයි. ඒවත් ලියනවා. දැන් මට දිගටම ඔයා ලියන ඒවා කියවිය හැකියි !!!

      Delete
  3. New era වලට බාධාවෙන්නේ සුද්දන්ගෙන් පමණක් නොවේ.
    ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශය හා තවත් රටවලින් ආ සමහරු පදින්චි රටේ කිසිම දෙයක් ගැන කිසිම ඉන්ටෙරෙස්ට් එකක් නැතුව Ghetto ලෙස ජීවත් වීමද බාධාවක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත, හුගාක් අපිවාගේ රටවලින් ආපු අය ජීවත්වෙන්නේ ඔයා කියනවා Ghetto වල තමයි. කිසිමදෙයක් ගැන කියවීමක් නැහැ, අධ්‍යනයක් නැහැ. කොටින්ම ඒ අයට ඒගැන උන්නදුවකුත් නැහැ. රස්සාව,සල්ලි, ගෙවල් (mortgage), වාහන ආදිය ගැනිල්ල ගැන තමයි අවධානය වැඩිපුර යොදවන්නේ. එහෙත් ඒ අය ඒගොල්ලන්ගේම විවිධ එකතු හදාගෙන, ඒගොල්ලෝ කැමති කෑමක් බීමක් කලාබීලා, කැමති ආගමක් චාරිත්‍රයක් කරගෙන ජීවිත්වෙනවා. හැබැයි ඒඅයගේ දෙවන පරම්පරාව බොහෝ දුරට මේ රටවලට අනුගතවෙනවා. දෙමාපියෝ නම් එහෙටත් මෙහෙටත් නැතිව ඉන්නවා.

      Delete
  4. අපේ මීගමුව කියනකොට ඔයත් Ghetto තත්වයට වැටෙනවා නේද

    ReplyDelete
  5. නැහැ ජගත් මීගමුවේ තියෙන්නේ ගෝලීය සංස්කෘතියක්, බහු සංස්කෘතියක්.

    ReplyDelete
  6. හොඳ ලිපියක් මාර්කස්.

    ReplyDelete