This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 7 March 2016

90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ මතුවීම

1990 දශකය ආරම්භවන විට මීගමුවේ තරුණ-තරුණියන්ට නිදහසේ ආදරය කිරීමට නොහැකි තත්වයක් මතුවිය. රාජපක්ෂ උයනද, මීගමු වෙරළ තීරයද, කලපුව අසබඩ පෙදෙස්ද තරුණ-තරුණියන්ට තහනම් විය. එවකට පැවති රීගල්, කිංග්ස් සහ මීපුර සිනමා ශාලාවල බැල්කනි සහ බොක්ස්වල ප්‍රේමකරන පෙම්වතුන්ට චිත්‍රපටිය අතරතුර ටෝච් ගසා බලන වොචර්ලා සිටියහ. මීගමුව බස් නැවතුම් පොලේද පෙම්වතුන්ට නිතර අවවාද නිකුත්කරන 'ටයිම්කීපර්ලා' සහ 'සේකුරිටිලා' විය. ක්‍රමයෙන් සෑම සෙනසුරාදාවකම පොලිසිය විසින් පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී. දිගින් දිගටම සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම්වලට විරුද්ධව කටයුතු කිරීමට මීගමුවේ අභීත පුත්‍රයෙක් ඉදිරිපත්විය.

ඔහු ලංකාවේ පළමු කථානාද චිත්‍රපටිය ලෙස සලකන කඩවුණු පොරොන්දුව චිත්‍රපටියේ රගපෑ හියුගෝ ප්‍රනාන්දු මහතාගේ බල පුත්‍රයාවූ බ්‍රිටෝ ප්‍රනාන්දු. එවකට නව සම සමාජ පක්ෂයේ මීගමුවේ ප්‍රධාන සංවිධායකයාවූ ඔහු මෙලෙස පෙම්වතුන් අත්අඩංගුවට ගන්නවාට විරුද්ධව මීගමුවේ උද්ගෝෂණයක් දියත්කළේය. හරි අපුරු උද්ගෝෂණයක්වූ එය සින්දු කියමන්, ගිටාර්, ඩොල්කි, චල්වළලු ආදිය වයමින් රාජපක්ෂ උද්‍යානය සහ මීගමු වෙරළ අවට, කලපුව අසල, මීගමුවේ  සිනමා ශාලා ඉදිරිපිට සහ මීගමුව බස් නැවතුම්පොළ තුල   කොළ බෙදමින් මේ අත්අඩංගුවට ගැනීම් නිතිවිරෝධී බවත් එමගින් මානව හිමිකම් කඩවෙන බවත් දක්වමින් විශාල ගෝෂාවක් නගන ලදී. රටේ මානව හිමිකම් ගැන එතරම් කථාවක් නොතිබි ඒකාලේ  බ්‍රිටෝ ප්‍රනාන්දු යනු මානව හිමිකම් වෙනුවෙන් සටන්කල කප්පිත්තෙක් විය. වරක් 'නිදහසේ වේදිකාව' නම් රාජ්‍ය නොවන සංවිධාන එකතුව විසින් සංවිධානය කල උත්සවයකට සහභාගීවූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 'නිදහසේ වේදිකාව' රටේ මහජනයාට මානව හිමිකම් රකින හැටි ඉගැන්වුයේයැයි පැවසුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ඔහුවටා සිටි පිරිස්වල ඉහත ක්‍රියාකරිත්වන් ගැන අගමැතිවරයා හොදින් දන්නා නිසා විය යුතුය. 

එහෙත්, පොලිසිය පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම දිගටම සිදුකරන ලද අතර ඔවුන්  පැවසුවේ මේසේ පෙම්වතුන් අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගෙන් සමහරක් කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණියන් සහ මීගමුවට පංතියාමට පැමිණෙන තරුණියන් රවටා ඔවුන් අමාරුවේ දමන බවත්, කුඩා ළමයෙකුට පවා වෙරළේ සෙල්ලම්කල නොහැකි ලෙස අශෝභන ලෙස හැසිරෙන නිසාත් බවත්ය. 

ඔය අතර එක්වරක් 400යකට අධික තරුණ-තරුණියන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර මීගමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු නව සමසමාජ පක්ෂ ක්‍රියාකාරීන් එයට විරුද්ධව විශාල උද්ගෝෂණයක් මීගමුව උසාවිය අසල පවත්වන ලදී. ඒ කාලයේම සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමද අපූරු ගීතයක් නිකුත්කරන ලදී:
"කෝඩුකාර නංගීලාට 
විසේකාර මල්ලිලාට 
අහන් ඉන්න හොද ප්‍රවෘර්තීයක්
මේ තරුණ වයසේ ආදරේට 
හරස්කපලා සෝබනේට 
වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්
මේවා හොදට හිතට ගන්න
ගනන් ගන්න එපා හොදද
ඊරිසියාව හින්ද කලවැඩක්
ඔය ඕවා වැඩද තරුණ අපට 
ප්‍රේමකරමු වැඩිය හොදට 
මේක ප්‍රේම පැරඩයිස් එකක්
ප්‍රේම කරමු සැවම එක්වෙලා
එන්න නංගී මල්ලි
රොක්වෙලා..
කෙසේවුවද, මේ සියල්ලේම ජයග්‍රහනය තහවුරු කරමින් මීගමු උසාවියේ මහේස්ත්‍රාත්තුමා විසින් මෙලෙස පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව දක්වන ලදී. ඒ සමග මීගමුවේදී තරුණ-තරුණියන්ට නිදහසේ ආදරය කිරීමට තිබු බාදා අහෝසිවිය. පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමද නතරවන ලදී. 

ඒ 1990 දශකයේදී මීගමුව විසදාගත් එක් ගැටළුවකි. අනෙක් ගැටළුව නම් ඒඩ්ස් රෝගයත් සමග ඇතිවූ සමාජ භීතිකාවය. විශේෂයෙන්ම, මේ කාලයේ ඒඩ්ස් රෝගය වැළදී මියගිය අය ගැන මීගමුවෙන් වාර්තාවන්නට විය. ඇතැම් තොරතුරු කිසිම පදනමක් නැති ඒවාය. 'සන්ෂයින්' සංගීත කණඩායමේ ගිටාර්වදකයෙක් ගැන එවැනි බොරු වාර්තා පලවිය. එයටත් වඩා මීගමුවේ දුන්ගාල්පිටියේ පිට්ටනිය අසල නිවසක් ගිනි තබා විනාශ කරන ලදී. මේ පසුබිම තුල පොලිසිය සමග කුමන හෝ වාදයක පැටලුනු තරුණයෙක්ට පොලීසිය කලේ 'ඒඩ්ස් රෝගයෙන් පෙලෙන්නේදැයි පරීක්ෂා කිරීමට' අවශ්‍ය යැයි කියමින් අත්අඩංගුවට ගැනීමය. මුලින් මීගමු උසාවියේ මහේස්ත්‍රාත්තුමා එයට ඉඩදෙන ලදී. එහෙත් මීගමුවේ පල්ලිවල කතෝලික පියතුමන්ලාද, විශේෂයෙන්ම ෆින්ටෝ පියතුමා සහ දොන් බොස්කෝ ආයතනයත්, ජූඩ් ලාල් ප්‍රනාන්දු පියතුමා සහ කිතුසර කණ්ඩායමත්, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසුත් මෙම 'ඒඩ්ස් රෝගයෙන් පෙලෙන්නේදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි' කියමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලට විරුද්ධවත්,  ඒඩ්ස් රෝගය වැළදුණු සහ එම රෝගයෙන් මියගිය අයගේ සහ ඔවුන්ගේ අබුදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් මහා මැදිහත්වීමක් සිදුකරන ලදී. එම දේව දයාබරකමේ සහ දයාවේ සේවය තුල  ඒඩ්ස් රෝගය වැළදුණු, සහ එම රෝගයෙන් මියගිය අයගේ, සහ ඔවුන්ගේ අබුදරුවන්ට ආරක්ෂාව සහ රැකවරණ දෙන්නට මීගමු ජනයා කිසිම චකිතයකින් තොරව ඉදිරිපත්වන ලදී. වරක් ඒඩ්ස් රෝගය වැළදී මියගිය පියකුගේ දරුවෙක් ගැන දිවයින පුවත්පතේ පලවූ ලිපියක් ගැන ඉතා තදින් උරණවූ දොන් බොස්කෝ ආයතනයේ ෆින්ටෝ පියතුමා අදාල පුවත ලියූ තැනැත්තාගේ නිවසටම ගොස් එහි ආදීනත්වය ගැන ඔහුට අවබෝධකර දෙනලදී. එතැනින් නතර නොවූ එම පියතුමා මීගමුවෙන් එපිට පිහිටි වෙනත් කතෝලික පාසැලකට එම දරුවා ඇතුලත් කරමින් එම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කරන ලදී. 

දශක දෙකකට පසුව මේ දිනවල කොලඹ ටොරින්ටන් හී පිහිටි නිදහස් චාතුරශ්රයේ පෙම්වතුන්ට මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතාවයනුත්, හර්ෂ ඇමතිවරයාගේ මැදිහත්වීමත්, කුලියාපිටිය දරුවාගේ පර්ශනයේදීත්, නැවතත් මාගේ මතකයට ආවේ 90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ විසදාගෙන නැති බවය. ඇතැම්විට ඔවුන් මීගමුවේ අත්දැකීම ගැන කිසිදු අවබෝධයක් නැතිව සිටිය හැක. ඒ සම්බන්දයෙන් මා යෝජනා කරනුයේ  පොතේපතේ නොමැති බොහොමයක් දේවල් මීගමුව ගැන සිදුකරන අධ්‍යනයකින් උගත හැකි බවයි. රටම මීගමුවේ අත්දැකීම් ගැන ඉගෙනගන සිටියේ නම් ටොරින්ටන්හී පෙම්වතුන්ගේ ප්‍රශ්නය පමණක් නොව  කුලියාපිටිය දරුවාගේ පර්ශනයද ප්‍රශ්නයක් නොකරගනු ඇත. අඩුම වශයෙන් මීගමුවෙන් අර සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම කියන පාඩමවත් ඉගෙනගනිමු 'ප්‍රේම කරමු සැවොම එක්වෙලා,  එන්න නංගී මල්ලි රොක්වෙලා" !!!!
මාකස් ප්‍රියන්ත පෙරේරා 
07/03/2016.

6 comments:

  1. කදිම සටහනක් - විශේෂයෙන් 1990 කාලයේ බටහිර පවා උග්‍ර ඒඩ්ස් භිතිකාවක් තිබුනා - එවැනි සමයක මේ කතෝලික පියතුමන්ලාගේ නිර්භීත සමාජ සත්කාරය ගැන අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි

    ReplyDelete
  2. Very Interesting...Negambo people are an example of religious harmony .

    ReplyDelete