This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 23 December 2016

ලොව කිසිදු නත්තලකට නොදෙවෙනි මිගමුවේ නත්තල

"They spent two years of captivity, including fifteen months in a Ceylonese prison at the Portuguese city of  Negombo, 'weighted down with iron'......a Cannon fire and the church bells welcomed December ...two days after they sailed to Goa, where they were to be part of an exchange of prisoners...." Manuel Lobato (1999) 'Politica e Comercio dos Portugueses na Islândia 1575-1605' page 87-88.  

පෘතුගීසින් විසින් වර්තමාන මැලේසියාවට අයත් ජාවා ප්‍රදේශයෙන් අල්ලාගෙන ගොස් මාස 15ක කාලයක් මීගමුවේ රදවා සිටි සිරකරුවන් පිලිබදව ජේසු නිකායික පුජකතුමන්ලා තබා තිබු වාර්තා සම්බන්දයෙන් සාකච්ඡා කරන Manuel Lobato (1999)ගේ උක්ත සටහන අනුව 1576 දෙසැම්බර් මාසයේ උදාව පෘතුගීසින් සමරා ඇත්තේ කාලතුවක්කු වෙඩිමුරයකින් සහ පල්ලියේ සීනුව නාද කිරීමෙනි. අද ද ජේසු උපත මුල්කරගත් නත්තල එලෙබෙන දෙසැම්බර් මාසයේ උදාව මීගමුව සමරනුයේ දැවැන්ත රතිඤ්ඤා හඩවල් සමගිනි. දෙසැම්බර් මාසයේ පළමුවෙනිදා පළමු පැයේ සිට ඇසෙන  කන්බිහිරි කරවන රතිඤ්ඤා  හැඩවලින් කියා පානුයේ මීගමුවේ ප්‍රධාන උත්සවසමය වන නත්තල ලග එන බවය. අද ඇසෙන රතිඤ්ඤා හඩ, ඉහත සටහනේ දැක්වූ ලෙස, මීට වසර 450කට පමණ පෙර පෘතුගීසින් විසින් දෙසැම්බර් මාසයේ උදාව සැමැරීම සදහා තැබු කාලතුවක්කු වෙඩිමුරය අනුව ඇතිවුවක්ද? නැද්ද? යන්න නිශ්චිතව කිවනොහැකි නමුත් නත්තල් උත්සව සමරන දෙසැම්බර් මාසයේ උදාව මීගමුවේ වැසියන් රතිඤ්ඤා පත්තුකරමින් සැමැරීමට හේතුවක් හෝ ඉතිහාසයක් තිබිය යුතුය. 

රතිඤ්ඤා පත්තුකරමින් දෙසැම්බරය පිළිගැනීම කෙසේ වෙතත්, නත්තල මීගමුවට ලැබුනේ පෘතුගීසින්ගේන් බව නොඅනුමානය. මීගමුවේ පෘතුගීසි පාලනය 1644 දී අවසන්වුවද ඔවුන්ගේ මෙන්ම, ඉන් අනතුරුව පැමිණි ලන්දේසි, ඉංග්‍රීසි සහ දේශීය ලක්ෂණද අද  මීගමුවේ සමරන නත්තලේ අඩුවක් නැතිව දැකිය හැක. යුරෝපයේ කලින් කලට එකතුවූ විවිධ අංගෝපාංග එකතු කරගනිමින් විකාශනයවූ නත්තල් සමරුව මීගමුවේ ප්‍රධානතම  සංස්කෘතික උත්සවකි. එහෙත් මීගමුවේ පවා එය ඇතැම්  ඇතැන්වලදී එයටම සුවිශේෂ ආකාරයක් ගනී. 

එහිලා එක් උදාහරණයක්වනුයේ මනමේ වැනි ජාතික වැදගත්කමකින් යුතු දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහිකිරීමට ඉවහල්වූ  මීගමුව දූව ග්‍රාමයේ සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකරගෙන ගොඩනැගී ඇති නත්තල් සම්ප්‍රදායය. එහි නත්තල සමරනුයේ පල්ලියේ මංගල්‍යයට සුදානම්වෙන ආකාරයට නුවාන (දින නවයක සන්ධ්‍යා දේවමෙහෙයන්) කරමිනි. එහෙත් ඒ නුවාන ආරම්භවන්නේ මංගල්‍යට මෙන් කොඩිගසක් එසවීමෙන් නොව  මීගමු දූවේ දෙනු ලබන මහා දානය සමගය. අහල ගම් හතක ජනයා වැල නොකැඩී පැමිණෙන මෙම මහා දානය සදහා බත්, මාළු, ව්‍යංජන ඇතුලත් වන අතර මෙම සම්ප්‍රදායට පැහැදිලිව වසර 180කට එහා ඉතිහාසයක් ඇත. 'මගේ නත්තල දුගියා බත්කනදාටයි' යනුවෙන් දැක්වූ මර්සිලින් ජයකොඩි පියතුමා 1937-39 කාලයන්හී මෙම දූව සින්ද්‍රාති දේවමතා පල්ලියේ මීසම්භාර පියතුමා ලෙස මෙම දානයට ඇපකැපව ක්‍රියාකල බව මෙහිදී සදහන් කරනුවටී.  


දූව සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකරගත් මීගමුව නත්තලේ තවත් ලක්ෂණයක් වන්නේ ජේසු උපතලැබූ ගවමඩුව සිහිකරමින් ගවලෙන ඉදිකිරීමය. අසීසයේ ප්‍රැන්සිස්තුමා වඩාත් ජනප්‍රියකරවූ මෙම නත්තල් අංගය පෘතුගාලය තුල වඩාත් ජනප්‍රිය නත්තල් අංගයකි. මෙම සම්ප්‍රදාය මීගමුවට පැමිණ ඇත්තේ සිරියානු-පෘතුගීසි මිෂනාරිකයන් වූ ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා ඔස්සේ බව කියවේ. 1864 අප්‍රියල් මස 22 දින දක්වා දූවේ සින්ද්‍රාති දේවමතා පල්ලියත්, මීගමුව නගර මාධ්‍යයේ ඇති ශා. පීතර පල්ලියත් කෙලින්ම පාලනය කලේ  ඉන්දියාවේ ගෝවේ අගරදගුරුවරයා විසින් මෙහෙයවූ  ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා විසිනි. ඒගැන මා මීට පෙර ලියූ පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව (එය මෙතැනින් කියවිය හැක ) යන ලිපියේ වැඩි විස්තර සදහන්ය. කෙසේවුවද  ජාකොබයිට් පියතුමන්ලා මීගමු දූවට හදුන්වා දුන් ගවලෙන් සම්ප්‍රදාය අනුව ලංකාවේ පැරණිම නත්තල් ගවලෙන තවමත් ඉදිකරන්නේ මීගමු දූව සින්ද්‍රාති දේවමතා පල්ලියේය. 
ඊට අමතරව රජතුන් කට්ටුව නාට්‍ය රගදැක්වීමද මීගමුව දූවේ සින්ද්‍රාති දේවමතා පල්ලිය කේන්ද්‍රකර ගත්තකි. රජතුන් කට්ටුව නාට්‍ය යනු හුදෙක් නත්තල් නාට්‍යයක් පමණක් නොව ලංකාවේ  මුල් යුගයේ නාට්‍ය කලාවේ නොනැසී ඇති සලකුණය. මා මෙයට පෙර ලියූ  මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි යන ලිපියේ සදහන් කල ලෙසම (එය මෙතනින් කියවිය හැක) මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ (1987)  'කැරොල්, පසම් කන්තාරු' පොතේ දක්වා තිබුනේ මනමේ නාටකයේ එන 'පවර ඒ  නිරිදුගේ පුත් කුමරා වෙමි,' 'මුළු දඹදිවටම තොප මහ රජ වුව' ආදී කොටස් මීගමුවේ දූවේ කිතුනුවන් නත්තල වැනි උත්සව අවස්ථාවන්හී ගයන පරමණ්ඩල ස්වර ලිපියේ එන 'අප  ණයකරුහට අප ගෙවනා ලෙස' යන තනුව අනුව බවය. එමෙන්ම මනමේ නාටකයේ එන  'ප්‍රේමයෙන් මන රංජිත වේ' නම් ප්‍රසිද්ද ගීතය (රජ තුන් කට්ටුව නාඩගමේ එන) 'ආරම්භයෙන් පෙර නිර්මිත මනු ලොව, ආදිත්‍යයුරු නිර්මලියේ සුර' නම් ගායනයේ  තනුව අනුව නිමවුවක් යැයි දක්වයි ( පිටු 172/173)(ඉහතින් දක්වෙනුවේ එම ගීයේ වීඩියෝවයි).

මේ ආකාරයට නත්තල් ගවලෙන් ඉදිකිරීම සහ නාට්‍ය ඉදිරිපත්කිරීම පෘතුගීසි නත්තල් සම්ප්‍රදායෙන් පැවැත ආවද නත්තල් ගස් ඉදිකිරීමේ සම්ප්‍රදාය මීගමුවට පැමිණ ඇත්තේ ලන්දේසින්ගේන්ය. ජර්මනියෙන් ආරම්භවූ නත්තල් ගස් ඉදිකිරීම ඕලන්දයේ කැල්වින්වාදීන් විසින් සිය රටතුලත්, යටත්විජිතවලත් ජනප්‍රිය කරනු ලැබුවකි. ලන්දේසි යුගයේ ලංකාව තුලත්, මීගමුව තුලත් නත්තල්ගස් ඉදිකිරීම ගැනත්, නත්තල් තරුව එහි උත්කර්සවත් ලෙස පැලදීම පිලිබදවත් බ්‍රෝහියර්ගේ
සටහන්වල පවා (1976)  දැකිය හැක්කකි. එපමණක් නොව නත්තල් සමයේ වැඩි ඉල්ලුමක් ඇති වර්තමාන ක්‍රිස්මස් කේක්, ලන්දේසි  බෟෟඩර් කේක් (Dreudher Cake), love cake ආදියද, 'නත්තල් බත' හෙවත් කහ පැහැති, මුදරන්පලන් (Raisin) යෙදු බත් සමග මස්, මාළු, වම්බටු ආදිය ඇතුලත් බත්ද ඔවුන්ගේ කාලයේ ඇරබුවක් යැයි කියවේ. 

මීගමුව නත්තලේ තවත් වැදගත් අංගයක් වනුයේ කැරොල් ගායනාය. පෘතුගීසි යුගයේ පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් (Portuguese Creole Carol) මීගමුවේ ඉතා ජනප්‍රිය අංගයක්ව තිබී ඇත. ලන්දේසි යුගයෙදී එම පෘතුගීසි කැරොල් සිංහල සහ දෙමළ පද යොදා ගැයූ බව සුනිල් ආරියරතන මහතා දක්වයි (1987: පිටු 91). කෙසේවෙතත් ලන්දේසි යුගයේදී කතෝලික ආගමිකයන් හැකිතාක් දුරට කෙල්වියානු රෙපරමාදු
ආගමට බදවාගැනීමට වෙර දැරුවද, පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් ගයනා සම්ප්‍රදාය නොනැවතී පැවතිනි. එහෙත් ඉංග්‍රීසි යුගයේදී මීගමුවේ පැවති එම පෘතුගීසි ක්‍රෙයෝල කැරොල් ගයනා සම්ප්‍රදාය ඉංග්‍රීසියට පරිවර්තනය විය. නිවූස්ටෙඩ් විදුහල බිහිකළ රොබට් නිව්ස්ටේඩ් පියතුමා එහිලා විශාල කාර්යභාරය ඉටුකළ බවද මා මීට සති කිහිපයකට පෙර ලියන ලදී. මීගමු හැමිල්ටන් ඇළ ඔස්සේ ඇදීගිය පාරු ඉතා අලංකාරලෙස සලසා කැරොල් සංදර්ශන පැවැත්වූ බව දැක්වේ. කැරොල් පාරු එම පාරු හදුන්වාදී ඇත.

මේ අනුව  මීගමුවේ නත්තල යනු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුගතුන ඔස්සේම විකාශනය වුවකි. එහෙත් ඒ සියල්ල තුල එය මීගමුවටම උරුම අනන්‍යතාවයක්ද ගොඩනගාගෙන ඇත. විශේෂයෙන්ම එහි ඇති උත්සවත්ශ්‍රීය ලංකාවේ වෙන කිසිම ප්‍රදේශයක අත්දැකිය නොහැක්කකි. 

දෙසැම්බර් මුල් සතියේ සිට පාසැල්, දහම් පාසැල්, මීසම් සහ පල්ලි මට්ටමින් සුදානම් කරන නත්තල් නාට්‍ය සහ කැරොල් ප්‍රසංග ඇතුලත් නත්තල්  ප්‍රසංග සදහා සහභාගීවීමට ප්‍රදේශයේ දරුවන්ගේ සුදානම්වීම එහි පෙර ගමන් ගමන්කරුවන්ය. විශේෂයෙන්ම මෙවෙනි උත්සවවලින් තෑගී දිනාගැනීමට සහ සැම ළමයෙකුටම  තෑගී බෙදාදීමද එහි මුල් තැන්නක් ගන්නකි. 

අනතුරුව එළබෙන සතිවල සිට මීගමුව නගරය එකම හිස්ගොඩකින් පිරී යැයි. ලංකාවේ මුදල් සංසරණය අතින් කොළඹට පමණක් දෙවෙනිවන මීගමුව නගරය වානිජ්‍ය සහ වෙළදා අතින් කවදත් ඉදිරියෙන් සිටී. එහෙත් නත්තල් සමයේදී මෙම තත්වය දෙගුණ තෙගුණවේ. සෑම නත්තලකටම අළුත් දේවල් ගැනීමට පෙලෙබන මීගමුවේ ජනයා මීගමුව පෙරියමුල්ලේ පිහිටුවා තිබු ලංකා පිගන් කම්හල පැවැති සමයේ  දී සම්පුර්න පිගන් කට්ටල එහෙම් පිටින් මිලදී ගැනීමට අති මහත් උනන්දුවක් දැක්වූ බව මම මේ වසරේ මුල ලියූ 'මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල' යන ලිපියේ විස්තරකරන ලදී (එය මේ යොමුව ඔස්සේ කියවිය හැක)
අළුත් පිගන්වල උණු උණුවේ අලුතින් උයන 'නත්තල් බත' පිළිගැන්වීමට මීගමු ගෘහනියන් දැඩි කැමැත්තක් දැක්වුහ. නත්තල්ට කෑම සදහා පිලියල කරන කෑම බීම අතර විවිධ ක්‍රමයට පිළියෙළ කරන ඌරු මස්, හරක් මස් බ්ස්ටෙක්, මිරිසට උයන කුකුල් මස්, වම්බටු මොජු, විවිධ වර්ගවල අච්චාරු, හුරුල්ලෝ මාළු ස්ටුව, අල තෙල්දැමීම, ඉස්සෝ/කකුළුවෝ/දැල්ලෝ, පිසූ මාළු වර්ග, මිශ්‍ර තක්කාලි සලාද සහ කට්ලට් ආදිය කෑමට මීගමුවේ ජනයා දැඩි රුචිකත්වයක් දක්වති. නත්තලට මස් පිණිස ඌරන්, කුකුලන් හදන  නිවෙස්ද, වැඩි මාළු ජාඩිදමා නත්තලට ජාඩි මුට්ටි වශයෙන් සකසන නිවෙස්ද ( එය ලන්දේසින්ගෙන් මීගමු ජනයා උරුමකරගත් සම්ප්‍රදායකි),  අච්ච්රු මට්ටි පිළියෙළ කරන නිවෙස්ද, ඒ සදහා රා වලින් විනාකිරි පෙරා ගන්නා නිවෙස්ද, රා සහ පළතුරු යොදාගනිමින් නත්තලට අරක්කු පෙරාගන්නා පිරිස්ද (එය නත්තල් වඩිය ලෙස හැදින්වේ), තැඹිලිවලින් සහ ලොවි වලින් වයින් පෙරා ගන්නා පිරිස්ද එහි සිටී. විවිධ කේක්, විශේෂයෙන් නත්තල් කේක්, බිබිකන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, පුඩින් සහ බිස්කට් ආදියද  වෙනම පිලියල කර ගනිති. 
මුදල් ඇතොත්, ඕලන්දයෙන් ගෙන්වන Edam cheeseද, ඉතාලියේ සිට ගෙන්වන Panettone cakeද, පෘතුගාලයෙන් ගෙන්වන Port wine, ලිංගුස් සහ සොසේජස් වර්ගද, වියලි මස් සහ මස් තවරුම් (pate), හම්පර්වර්ග (hamper) විවිධ වර්ගයේ බීර, රටබීම වර්ග, සුරුට්ටු සහ සිගරට්වර්ග බ්‍රිතාන්‍ය යටත්විජිතයුගයේ සිට මීගමු ඇපොතිකරයෙන් (Negombo Apothecary) සහ මන්ත්‍රී සාප්පුවෙන්  මිලටගත හැකිව තිබුණි. 

අඩු අදායම් ලාබීන් පවා නත්තල සරුවට සැමරීමට වසරේ මල සිටම සැරසේ. එහිලා ඔවුන් සිදුකරනුයේ කිහිපදෙනෙකු එකතුකරගෙන නත්තල් සීට්ටුවක් දැමීමය. අන් සීට්ටු මෙන් නොව මෙම සීට්ටුව බඩු සීට්ටුවකි, මාස් පතා එකගවූ ලෙස මුදලක් එකතුකරන්නාට දුන්නද ඔහු ඒ එකතුකරන මුදල්වලට සරිලන ලෙස බඩු ලබාදෙන්නේ දෙසැම්බර් 20 පමණය. එමගින් නඩත්තුවෙන මුදලාලිලා කිහිපදෙනෙකු සිටිනවා සේම එමගින් හාල්, පොල්, මස්, මාළු, බිස්කට් කේක් කා, අරක්කු ටිකක් බී නත්තල් දිනය ඉතා ඉහලින් සමරන පවුල් රාශියක්ද මීගමුවේ සිටී. එමෙන්ම මීගමුවේ ඇති හැකි පවුල් සෑම එකක්ම පාහේ තවත් දිළිදු පවුලකට නත්තල වෙනුවෙන් කිසියම්ම හෝ උපකාරයක්, ත්‍යාගයක්දීමට අමතක නොකරයි. එය එක්තරා ආකාරයකට එය තම සතුට අන්අය හා බෙදා ගැනීමකි.


මේ සියල්ල අතරින්, ඒ සියල්ලටමත් වඩා පල්ලියට සහ ආගමට ප්‍රමුඛත්වයදීමට ඔවුහු කිසිවිටක අමතක නොකරති. වෙනත් කිසිදු දිනක පල්ලි නොගියද මීගමු කිතුනුවෝ නත්තලට, මහා සිකුරාදාට සහ පාස්කු ඉරිදාට පල්ලි යෑමට අමතක නොකරති. ඔවුහු තමන් සතු හොදම අදුම ඇද පල්ලි යති. පල්ලියේ මාධ්‍යම රාත්‍රී පුජාවට පල්ලි යන ඔවුන්, පාරදෙපස සෑම නිවසකම කුමන හෝ නත්තල් සැරසිල්ලක් දැකීමට සතුටුය. මාධ්‍ය රාත්‍රී පුජාව අවසාන වෙනවාත් සමග ඔවුහු පල්ලිය තුලම එකිනෙකා වැළදගනිමින්, එකිනෙකාට අත්තට අත දෙමින් එකින්එකාට සුභ පතති. නත්තලට සුභ පතති. රාත්‍රී පුජාව අවසාන වෙනවාත් සමග මුලු මීගමුව රතිඤ්ඤා සහ ගිනිකෙලි හඩින් ගිගුම්දේ. පාර දෙපස සිංහල මෙන්ම ඉංග්‍රීසිද නත්තල් ගීත ඇසීමෙන් අඩුවක් නැත. තරුණයෝ පාර දෙපස බබර චක්‍රනම්  ගිනිකෙළි විශේෂය පත්තුකරති. ඒ සියල්ල වින්දනය කරමින් නිවෙස් වෙත පැමිණන ඔවුහු නැවතත් පවුලේ සියළු දෙනාටම සුභ පතා ගනිති. කේක්, නත්තල් කේක්, බිබිකන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, බිස්කට් ආදි රස කැවිලි කා කළු කොපි බොති. ඉගුරු, කුරුදු සහ සුදුරැ මිශ්‍ර විශේෂ කළු කොපිවර්ගයක් බීමට මීගමු ජනයා යටත්විජිත යුගයේ සිට පුරුදුව සිටියහ. අනතුරුව ඔව්හූ නත්තල් තෑගී බෙදා ගනිති. වැඩිහිටියෝ පොඩි අඩියක් ගසති. තරුණයෝ වෙරල අද්දර අවන්හලකට ගොස් පාන්දර වෙනතුරු කා බී විනෝද වී එළිවෙන විට ගෙදර පැමිණ නිදාගනිති. මීගමුවේ වෙරල අද්දර අවන්හල්වල් බොහෝ අවන්හලවල් නත්තල් උදාවෙන දෙසැම්බර් 24 වෙනිදා රෑ එළිවෙනතුරුම විවෘතව පවතී. ඔවුහු  නැවත අවදිවන්නේ ගෙදර මස් මාළු උයන සුවද සිය නාස් පුඩුතුලට රිංගාගත් විටය. ඉන් අනතරුව එළබෙන නත්තල් දින මාධ්‍යහනයේදී  ඔව්හූ පවුලේ සියලු දෙනා සමග එක්ව දිවා ආහාරය භුක්තිවිදිති. නෑ ගෙවල්වල යෑම් ඒම්, එදින සවස්වරුවේ සිට ඊලග දින දෙක කිහිපයේම  යෙදේ. 

එවැනි නත්තලක් ඔබ  සැමට උදාවේවා !!!!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
23/12/16. 

*මෙම ලිපියේ මුලින්ම ඇති ජේසු උපත දැක්වෙන චිත්‍රය මීගමුවේ මහා සිත්තරාවූ, මීගමුවේ මයිකල් ඇන්ජලෝ ලෙස හදුන්වන, N.S. ගොඩමන්න ශූරින් විසින් මීගමුව මහවිදිය පල්ලියේ  පැති බිත්තියක 1942දී අදින ලද්දකි-photo credit goes to Mr.  Harin Amirthanathan.

4 comments:

  1. මාකස්... මේ මීගමුවේ නත්තල තමයි නත්තල. මේ වතාවේ ලංකාවට එන්න බැරි එක තමයි දුක...

    ReplyDelete
    Replies
    1. https://kochchimiris.blogspot.com/2016/12/blog-post_23.html?m=1

      Delete
  2. කියවගෙන යද්දී ගෙදර මතක් වුණා...
    සුභ නත්තලක් වේවා...!!!

    ReplyDelete
  3. මමත් එක නත්තලක් මීගමුවේ ගත කරා. අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete