This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 14 May 2015

සදාචාරවාදීන් යටපත්කල මීගමුව ගැන චිත්‍රපටි තුනක්


මීගමුව, එහි ධීවර කර්මාන්තය එහි සංස්කෘතික නිෂ්පාදනයන් පිළිබදව චිත්‍රපටි තුනක් 1934 දී, 1952 දී සහ 1980 දී නිෂ්පාදනය කර ඇත. ඉන් පළමුවැන්න 1934 දී සිය යටත්විජිත ප්‍රදේශ ගැන බ්‍රිතාන්‍ය යටත්විජිත ලේකම් කාර්යාලය සහ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය නිපදවූ (BBC) වාර්තා චිත්‍රපටියකි. බැසිල් රයිට් (Basil Wright) සමග ලයනල් වෙන්ට් නිෂ්පාදනය කල එය 'Negombo Coast' නමින් නම් කර ඇත. දෙවැන්න ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාව 1952 දී නිපදවූවක් වන අතර ජෝර්ජ් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටිය 'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) නමින් නම් කර ඇත. මෙම චිත්‍රපටි දෙකකම ශ්‍රී ලංකාවේ නිලවශයෙන් මේ දක්වා ප්‍රදර්ශනය කර නැත. එහිලා බලපා ඇති හේතු විකාර සහගතය. 

බැසිල් රයිට් (Basil Wright) සහ ලයනල් වෙන්ට් 1934 දී නිෂ්පාදනය කල 'Negombo Coast' චිත්‍රපටිය ඇත්ත වශයෙන්ම මීගමුව ගැන චිත්‍රපටියක් කිරීමේ උවමනාවෙන් නිපදවූවක් නොවේ. එය බ්‍රිතාන්‍ය යටත්විජිත ප්‍රදේශවල සංචාරක කර්මාන්තයත්, ශ්‍රී ලංකාවේ තේ  නිෂ්පාදනයත් ප්‍රවර්ධනය කිරීම සදහා නිෂ්පාදනය කල Song Of Ceylon (1934) චිත්‍රපටිය සංස්කරණය කිරීමෙන් ඉවත්කළ කොටස් අතරින් නිපදවූවකි. Song Of Ceylon චිත්‍රපටය බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය හා බද්දවූ ජනජීවිතය පිලිබදව ලෝකයට කියාපෑ අපුර්ව නිර්මාණයකි. විශිෂ්ඨ ඇගයීම්වලට ලක්වූ මෙම චිත්‍රපටිය යුරෝපීන්ගේ යටත්විජිත ග්‍රහණයට ලක්වූ ප්‍රදේශවල ජනයාට ඔවුන්ගේම වූ සුවිශේෂී ශිෂ්ටාචාරයක් පවතින බව ප්‍රදර්ශනය කලේය. එය යුරෝපීන් අතර කලින් ගොඩනගා තිබු බොරු මතයක් වූ යටත්විජිත ප්‍රදේශවල ජනයා මෙලේච්චයන්ය (savages) යන්න බිද දමන ලදී. පසුගිය කාලේ විවිධ සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ එම Song Of Ceylon චිත්‍රපටය මෙම යොමුව ඔස්සේ නැරබිය හැක https://www.youtube.com/watch?v=LWlxvC-eb-g.

එම චිත්‍රපටිය රූගත කිරීම සදහා ලංකාවට පැමිණි බැසිල් රයිට් (Basil Wright) ඇතුළු පිරිසගේ සහයට ඉදිරිපත්වුයේ මෙරට නුතනවාදී කතිකාවේ ප්‍රාරම්භකයෙක් වූ ලයනල් වෙන්ට්ය. ඡයාරූප ශිල්පීයෙකු  මෙන්ම කලා විචාරකයෙක්දවූ ලයනල් වෙන්ට්ව, 1971 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනු චිලී ජාතික, Pablo Neruda (1904-73)  හදුන්වා ඇත්තේ "සිය සංස්කෘතික ජීවිතයේ දී අධිරාජ්‍යවාදී මරු දෙඩවිලි ඉරාදමා මෙතෙක් භාවිතයට නොගත් ලාංකික අගයන් හී  මනුෂ්‍ය වටිනාකම් මතුකළ කේන්ද්‍රීය චරිතයක් ලෙසය." (The Sunday Times Plus Section, 26th November 2000, Sri Lanka) යටත්විජිතවාදී වික්ටෝරියානු කුහක සදාචාරවාදයෙන් යටකළ නොහැකිවූ නිරුවත් මිනිස්රූප ස්වභාවයන් සිය කාචය තුලත්, සමාන ලිංගික සබදතා සිය ජීවිතය තුලත් ලයනල් වෙන්ට් සනිටුහන් කරගැනීම ඉහත ප්‍රකාශයට විෂය වීමට ඇත. Pablo Neruda ගේ ඉහත ප්‍රකාශය මතු කථාවට අත්වැල සපයයි. 

කොළඹ සහ මීගමුව ද, රට අභ්‍යාන්තරයේ සෙසු ප්‍රදේශවල ද සිදුකල රූගත කිරීම වලින් අනතුරුව Song Of Ceylon චිත්‍රපටය  සංස්කරණය කිරීමේදී මීගමුවේ ධීවරයන් සහ එහි ධීවර කර්මාන්තය පිළිබද කොටස් ටික කපා ඉවත්කර ඇත. එපමණක් නොව එම චිත්‍රපටය තමන් පිළිගත් ඇගයීම් සහ උවමනාවන් වලට වඩාත් ගැලපෙන සේ  නැවත සකස්කර ගැනීමට Song Of Ceylon ව්‍යාපෘති මෙහෙයවූ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයත් (BBC) එහි අනුග්‍රහයකයන් වූ ශ්‍රී ලංකාවේ තේ  නිෂ්පාදන ප්‍රචාරකයිනුත් බැසිල් රයිට් ලවාම කටයුතු කල බව Martin Stollery ගේ 'Alternative Empires: European Modernist Cinemas and the Cultures of Imperialism', University of Exeter Press (2000) කෘතියේ වේ.  

එහෙත් පසුව Song Of Ceylon චිත්‍රපටයට රූ ගතකල මීගමුවේ කොටස් ටික 'Negombo Coast' නමින් වෙනම වාර්තා චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කිරීමට බැසිල් රයිට් සහ ලයනල් වෙන්ට් සමත්වී ඇත.  Song Of Ceylon චිත්‍රපටියෙන් මීගමුවේ කොටස් ටික ඉවත්වීමට හේතුව මීගමුවේ රූගත කල කොටස් සම්පුර්ණයෙන්ම ධීවර කාර්මිකයා සහ එම කර්මාන්තය පමණක් කැමරාවට හසුකරගෙන තිබීමත්, අනෙක් තැන්වලදී මෙන් අදාල ජනයා සහ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කැමරාවට හසුකරගෙන නොතිබීමත් බව යැයි 08 January, 2012 Sunday Times Plus Section යේ පළවූ Richard Boyle ගේ ලිපියක දැක්වේ. රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැහැදිලිවම ලොවට ගෙනහැර පෑමට නිර්මාණය කරමින් තිබු Song Of Ceylon චිත්‍රපටියට,  එම සංස්කෘතියට පරිබාහිර ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති මීගමුවේ ධීවරයන්ගේ ජන ජීවිතය පිළිබද රූප රාමු ඇතුලත් කල නොහැකිවීම එයට හේතුව බව නැවත කීමට අවශ්‍ය නොවේ. කෙසේවුවද, මීගමුවේ රූගත කල කොටස් ටික එකලස් කර නිපදවූ 'Negombo Coast' (1934) චිත්‍රපටිය එහි ධීවරයන් පිළිබද අපුරු තොරතුරු ගෙනේ http://www.colonialfilm.org.uk/node/730 . 


video

මීගමුව ගැන නිපදවූ අනෙක් චිත්‍රපටිය වූ ලංකා චිත්‍රපටි සංස්ථාව වෙනුවෙන් 1952 දී ජෝර්ජ් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ  'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) චිත්‍රපටියය. එය අවස්ථා දෙකකදී පමණ රජයේ චිත්‍රපටි සංස්ථාවේ විශිෂ්ඨත්වය ගැන පුරාජේරු කීමට පමණක් ප්‍රදර්ශනය කල, රටේ මහජනයාට ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටියකි. අද ද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවියේ මෙම චිත්‍රපටිය ගැන සදහන් වේ. මීගමුවේ පාරම්පරික ධීවර කර්මාන්තයත් එම ධීවරයන් ගේ ජනජීවිතයත් පිළිබද විශිෂ්ඨ වාර්තා වැඩසටහනක් වූ  'මීගමුවේ මස් මරන්නෝ'  චිත්‍රපටියට රෝමයේ පැවති අනතර්ජාතික චිත්‍රපටි උළෙලකදී හොදම වාර්තා චිත්‍රපටියට හිමිවන සම්මානය හිමිව තිබේ. එහෙත් 'මීගමුවේ මස් මරන්නෝ' චිත්‍රපටියට එරෙහිව, එය රට තුලත්, ඉන් පිටතත්  ප්‍රදර්ශනය නොකරන මෙන් ඉල්ලා එවකට රෝමයේ ලංකා තානාපති වරයා වූ ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතා  දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඔහුගේ විරෝධයට 
හේතුව ලෙස දක්වා තිබුනේ මීගමුවේ ධීවරයන් අමුඩය ඇඳ සිටීම නිසා එම චිත්‍රපටය නරඹන විදේශීකයන් ලංකාව ගැන වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බවයි. 

ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතා යනු ඩි. ඇස්. සේනානායක සමග සේරුවිල බෞද්ධ වෙහෙර විහාර නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතුකළ, 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට 'ගම්පොළ' ආසනයෙන් තරගකර පැරණි උඩරට නිලමේවරයෙකුවූ  ටී. බී. පානබොක්‌කේ අධිකාරම්ව චන්ද 184 කින් පරාජයකල තැනැත්තෙකි. ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ සිංහල මහ සභාවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවූ ඔහු 1947 මැතිවරණයේදී එ.ජා.පක්‍ෂයෙන් තරගකර වැඩි ඡන්ද 387 කින් 'ගම්පොළ' මන්ත්‍රී ලෙස ජයගෙන නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්ය නියමයක්‌ නැති ඇමැතිවරයා ලෙස ඩී. ඇස්‌. සේනානායක පත්කල තැනැත්තෙකි. එහෙත් එම මැතිවරණයේදී ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන්ට අඩන්තේට්‌ටම් කරන ලදැයි යන මැතිවරණ පෙත්සම නිසා මන්ත්‍රීධුරය ඔහුට අහිමි විය. එහෙත් ඩී. ඇස්‌. සේනානායක ඔහුව රෝමයේ ලංකා තානාපතිවරයා ලෙස දේශපාලන පත්වීමක් ලබාදී ඇත. එලෙස රෝමයේ ලංකා තානාපතිවරයා ලෙස පත්වන අධිනීතිඥය  ආර්. ඇස්‌. ඇස්‌. ගුණවර්ධන මහතාගේ 'මීගමුවේ මස් මරන්නෝ' (Fishermen Negombo) චිත්‍රපටයට එරෙහි විරෝධය ඒ අනුව හුදු ධීවරයන්ගේ අමුඩය හෝ සදාචාරය පදනම් කරගත්තකට වඩා එහා ගිය විරෝධයක් බව ඔහුගේ ඉහත දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. මීගමුවට ආවේණික වූ මසුන් මරන ක්‍රම සහ මීගමු ධීවරයන්ගේ එදිනෙදා ජීවිතය ගැන නිපදවූ මෙම මිනිත්තු 23ක වාර්තා චිත්‍රපටිය ගෙනහැරපෑවේ ඔවුන්ගේ එදා තත්වයයි. අද කොට-කලිසම් අදින බොහෝ මීගමු ධීවරයන්ගේ එදා පරම්පරාව ඇද ඇත්තේ ‘අමුඩය’ ය. එහෙත් එය ගොවීන්ගේ ‘අමුඩය' ට වඩා වෙනස් බව ලයනල් වෙන්ට්ගේ මෙම ඡයාරූපයෙන් පෙනේ.   
ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන මහතාගේ ඉහත විරෝධය නොතකමින්, එවකට රජයේ ප්‍රවෘත්ති නිලධාරියා වූ හුළුගල්ලේ මහතාගේ මැදිහත් බව නිසාම 'මීගමුවේ මස් මරන්නෝ චිත්‍රපටය තහනම්ට ලක් නොකර සිටීමටත්, 1952 මෙරට නිපදවූ හොඳම ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය ලෙස බ්‍රිතාන්‍ය චිත්‍රපටි උළෙල නියෝජනය කිරීමටත්, අන්තර්ජාතික සම්මානත් දිනා ගැනීමටත් හැකිවූ බව ඒ.ඩී. රන්ජිත් කුමාර ගේ 'අඩසියවසක රිදී රේඛාව' කෘතියේ (පිටු 41-42) දැක්වේ. අද ද කිසිදු මහජන ප්‍රදර්ශනයකින් තොරව එම චිත්‍රපටිය ජාතික චිත්‍රපටි සංස්ථාවේ හොදම නිර්මාණයක් ලෙස සුරැකිව තැම්පත්කර ඇත. 


එමෙන්ම 1980 දී ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාව සහ ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයින් පිරිසක් එකතුව නිර්මාණය කල 'දූවේ ධීවරයෝ' (Fishman of Duwa) චිත්‍රපටිය මීගමුවේ ධීවරයන්ගේ පාරම්පරික ධීවර කර්මාන්තයත්, ඔවුන්ගේ ජන ජීවිතයත් මෙන්ම ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික කලා සම්ප්‍රදායක් බිහිකළ ඔවුන්ගේ වර්ෂික භක්ති අභ්‍යාසයක්වන 'දූවේ පාස්කු' නාට්‍ය පුහුණුවීමේ විරල රූප රාමු ඇතුලත් නිෂ්පාදනයකි. එහෙත් අදටත් ශ්‍රී ලංකා  චිත්‍රපටි සංස්ථාව මෙම චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තබා නැත. එයට හේතුවක්ද 
 ඉදිරිපත් කර නැත.    එය මෙතනින් නැරබිය හැක 

එතෙර හෝ මෙතෙර ව්‍යජ සදාචාරවාදීන් විසින් යටපත් කරදැමීමට උත්සහ කල මීගමුව පිළිබද ඉහත චිත්‍රපටි තුන පසක් කරදෙන්නේ අධිපතිවාදී මහා ප්‍රවාහයට එරෙහිව මානව, සමාජ, සංස්කෘතික සහ ස්වභාව වටිනාකම් ආරක්ෂා කරගැනීමට ලයනල් වෙන්ට් ආදී නුතනවාදීන් ක්‍රියාත්මක කල  මානවවාදී ක්‍රියාකාරීත්වයන්ට නැවත පනදීම අවශ්‍ය බවයි. මන්දයත් මේ යටපත් කරමින්  ඇත්තේ ශ්‍රී ලංකාවේ  ජන කොටසගේ සංස්කෘතික කලා සම්ප්‍රදායක් සහ ඔවුන්ගේ අන්‍යතාවයන් පමණක් නොව  ශ්‍රී ලංකාවේ මහා ජාතික අන්‍යතාවය ගොඩනැගීමට නන්අයුරින් දායකවූ  කොටස්ය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/05/2015

උප ආඛ්‍යණය;

(බැසිල් රයිට් (Basil Wright) සහ ලයනල් වෙන්ට් 1934 දී නිෂ්පාදනය කල 'Negombo Coast' චිත්‍රපටිය ගැන තවදුරටත් මෙසේ කරුණු දක්විය හැක: මීගමුවේ මුහුද, ධීවරයන් සහ එහි ධීවර කර්මාන්තය පිලිබදව කැමරාවට හසුකරගෙන ඇති මෙම චිත්‍රපටියට අදාල මාදැල් අදින ප්‍රදේශය බොහෝ දුරට මීගමුවේ දූව සහ පිටිපනවීදිය අතර පිහිටි කනත්ත පිටුපස ප්‍රදේශ බව පෙනේ. එකල පිටිපන වීදියේ අදින ලද මාදැල් අයත්විය යුත්තේ මීගමු දුවේ පදිංචි ජෝෂොප් ක්ලෙමන්ට් (පරමණ්ඩල) මහතාගේ පියා වන බොනී මහතාගේ පිය පාර්ශවයටය. මෙම චිත්‍රපටිය රූප ගතකරන අවදියේ මෙම මාදැලේ මන්දේ රාලව (මෙහෙයවන්නා) සිට ඇත්තේ මෝරා මාළුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව 1940 දී මියගිය මරතේනුස් ප්‍රනාන්දු මහතාය. ඔහු මේම මාදැල් රූප රාමුවල සිටින බව අපගේ විශ්වාසයයි. පසුව ඔහුගේ වැඩිමහල් පුත් පියුස් ප්‍රනාන්දු මහතා 2011 මියයන තෙක්ම මෙම මාදැලේ මන්දේ රාලව සිට ඇත. මෙම චිත්‍රපටියට අදාල ප්‍රදේශ ගැන විමර්ශනයේදී ලැබුන තවත් තොරතුරක් වන්නේ මෙම චිත්‍රපටිය මීගමුවේ මහ ලෙල්ලමත්, ඉස්සන් ලෙල්ලමත් යන දෙකම දර්ශන තලවලට හසුකරගෙන ඇති බවයි. තවද මෙහි එන ඇතැම් කාන්තාවන් ගාල්ල/මාතර ප්‍රදේශ වල කාන්තාවන් මෙන් අත්දිග හැට්ට ඇද ඇත්තේ ඇයි යන්න සැලකීමේදී පෙනීගියේ, මීගමුවේ පිටිපන, දූව, පිටිපන වීදිය අතර ප්‍රදේශයේ වෙසෙන බොහෝ දෙනෙකු ගේ මුතුන්-මිත්තන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයන්ගෙන් සංක්‍රමණය වූ ජනයා බවයි. අද ද එහි වෙසෙන බොහෝ දෙනෙකුගේ වාසගම් දෙහිවලගේ, මාතරගේ යනුවෙන් ඇරබේ. වඩාත් ප්‍රකට උදාහරනයක් වනුයේ පිටිපන සුප්‍රකට මාටින් වේවැල්දෙණියේ මහතාගේ මවගේ නම, ඇයගේ මරණ දැන්වීමේ සදහන් කල ලෙස, මාතර කිරිගේ හෙලේනා ය. )

1 comment: