This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 6 May 2015

හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්




හෙට (07/05/2015) පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණය සදහා ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනයට කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරගවදින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට සංක්‍රමණිකයන්ට එරෙහි බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයක් වන බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන් (United Kingdom Independence Party – UKIP) එම ආසනයටම තරගවදින ප්‍රතිවිරුද්ධ රොබට් බ්ල්යේ (Robert Blay) ගෙන් දැඩි වර්ගවාදී විවේචනයක් එල්ල වී තිබේ.


තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) බ්‍රිතාන්‍යයේ වසර 400 ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි බවත් රනිල් ජයවර්ධන ගේ පරපුරට ඇත්තේ වසර 40 ක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බවත් දක්වයි. රොබට් බ්ල්යේ (Robert Blay) ට අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිවරණයෙන්ම පරාජය කලයුතු බවත් එවැන්නෙකුගේ හිසට උණ්ඩයක් යැවීමට තමා පසුබට නොවන බවත් මාධ්‍යවේදියෙකුට පවසන ආකාරය දක්වන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 





තවද රනිල් ජයවර්ධන ගේ ප්‍රථම දරු උපත පවා මෙම මැතිවරණය ඉලක්ක කර ප්‍රචාරක වාසියක් වශයෙන් සැලසුම්කර සිදුකල බවට චෝදනා කරන රොබට් බ්ල්යේ (Robert Blay), මැතිවරණයට මාස කිහිපයකට පෙර 1970 දශකයේදී ගණකාධිකරණය ඉගැනීමට එංගලන්තයට පැමිණි රනිල් ජයවර්ධනගේ පියා තමාට (රොබට් බ්ල්යේ-Robert Blay) මුණගැසුන බවත්, ඔහු ලංකාවේ දේශපාලන තත්වය නරක අතට හැරෙමින් තිබෙන නිසා 70 අග භාගයේදී බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට තීරණය කලබව ඔහුට කීයැයි එම වීඩියෝවේ දක්වයි. තවද ජයවර්ධනලා දෙමළ යැයි ඔහුට කවුද කී බවත් ඉන්දියාවේ සිට සංක්‍රමණයවූ දෙමළ ජාතිකයන්ට ලංකාවේදී පස්සට ගසා එලවූ නිසා ඔහු එංගලන්තයට පැමිණියෙක් යැයි කරුණු හරිහැටි නොදැන හුදු වර්ගවාදය පතුරවමින් චන්දය ඉල්ලන රොබට් බ්ල්යේ (Robert Blay) කියා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වේ.


සිය පියා ලංකාවේ උපන්නෙක් වුවද, සිංහල වාසගමක් දැරුව ද, සිංහල භාෂාව වත් භාවිතා කල නොහැකි, පෙනුමෙන් වත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට වඩා වෙනස් නොවෙන, රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ LSE (London School of Economics and Political Science) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ද ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකුකරුවෙක් වන ඔහු, තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී ඩේසි නම් සති කිහිපයක් වයස ඇති දියණියගේ පියෙකි. පාසැල් සමයේ සිටම කොන්සර්වෙටිව් (Conservative) ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි, 2008 සිට බ්‍රිසින්ස්ටෝක් සහ ඩේන් (Basingstoke and Deane borough) නගර සහාවේ උප නගරාධිපතිවරයාව ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කල තැනැත්තෙකි.

එවැනි බ්‍රිතාන්‍ය සමාජයට හොදින් අනුගතවූ තැනැත්තෙකුට වර්ගවාදී විවේචන එල්ලවීම බ්‍රිතාන්‍ය සමාජයෙන් බහුතරයකගේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර රොබට් බ්ල්යේ (Robert Blay) ව වහා අත් අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක්ද මතුව තිබේ. දැනටමත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party – UKIP) රොබට් බ්ල්යේ (Robert Blay)ගේ අපේක්ෂත්වය අත්හිටවා ඔහු ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වුවද මෙවැනි වර්ගවාදී විවේචන වලින් රනිල් ජයවර්ධනගේ ජයග්‍රහණය වලක්වාලීම කල නොහැක්කකි. ඒ සම්ප්‍රදායක කොන්සර්වෙටිව් (Conservative) ආසනයක් වන ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනය පසුගිය මහා මැතිවරණයේදී මෙන්ම මෙවරත් වැඩි චන්දයෙන් කොන්සර්වෙටිව් පක්ෂයත්, ඔහුත් ජයගනු නියත නිසාය.

රනිල් ජයවර්ධනට අමතරව චමාලි ප්‍රනාන්දු නම් තවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂිකාවක් කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් කේම්බ්‍රිජ් (Cambridge) ආසනයට තරග කරන අතර සම්ප්‍රදායක ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) ආසනයක් වන එය ජය ගැනීමට ඇයට අපහසු බව පෙනේ. ඇය බ්‍රිතාන්‍ය උපත ලද වෘත්තීයෙන් නීතිවේදිනියකි. ඇගේ පියා 1970 දශකයේදී දී ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූවෙකි. මුලදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවක් වූ චමාලි ප්‍රනාන්දු එහි සභාපතිත්වයට තරග කල සිය සොහොයුරාගේ පරාජයත් සමග එම පක්ෂයෙන් ඉවත්ව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයට බැදුනි. මානසික ආබාධිතයන් අනෙක් අයගෙන් වෙන්කර හදුනා ගැනීම සදහා අත්පටියක් පැලදිය යුතුයැයි දැක්වීම තුල ඇය බ්‍රිතාන්‍ය සමාජය තුල දැඩි විවේචනයට ලක්විය. එය ද ඇයට අවාසිදායක වතාවරණයක් ගොඩනගන ලදී.

කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරග කරන මෙම දෙදෙනාට අමතරව නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය සදහා ලේබර් / කම්කරු (Labour) පක්ෂයෙන් උමා කුමාරන් (Uma Kumaran) නම් ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති අපේක්ෂිකාවක්ද තරග කරයි. නැගෙනහිර හැරෝ (Harrow East) ආසනය වර්තමානයේ කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය යටතේ පැවැතිය ද උමා කුමාරන්ගේ දක්ෂ සංවිධාන ශක්තියත්, ආකර්ෂණයත් නිසා මෙවර එම ආසනය ලේබර් (Labour) පක්ෂයට හිමිවෙන බව පෙනේ. බ්‍රිතාන්‍ය උපන්, වෘත්තීයෙන් මාධ්‍යවේදිනියක් වන ඇයගේ මුතුන්මිත්තන් ශ්‍රී ලංකා සිවිල් සේවයේ සේවය කල කීර්තිමත් නිලධාරීන්ය. යුද්ධය නිසා එංගලන්තයට සංක්‍රමණය වූ සිය දෙමාපියන් සමග කුඩා කල සිටම දේශපාලන කටයුතුවල නිරතවූ ඇය ලේබර් පක්ෂයේ ඉතාමත් කැපීපෙනෙන, නැගී එන නායිකාවකි.

මෙවර බ්‍රිතාන්‍ය මහා මැතිවරණ සදහා ඉහත ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඇතුළුව 70 කට ආසන්න ආසියානු සහ අප්‍රිකානු සම්භවයක් ඇති අපේක්ෂක-අපේක්ෂිකාවක් පිරිසක් තරගවැදීම බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ ආසියානු, අප්‍රිකානු ජනයාගේ දෙවන පරම්පරාව බ්‍රිතාන්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන විව්‍යහය තුලට කෙතරම් බද්ද වී තිබේද, ඔවුනට කෙතරම් පිළිගැනීමක් හිමිව තිබේද යන්න මොනවට පිළිබිඹු කරයි.

ආසන 650 වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙවර මහා මැතිවරණය මගින්ද තවත් සභාග රජයක් බිහිවීමට වැඩි ඉඩක් පවතින අතර දැනට සිදුකර ඇති මැතිවරණ සමීක්ෂණ ප්‍රතිපල අනුව කොන්සර්වෙටිව් (Conservative) පක්ෂය 35% හෙවත් ආසන 228 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන අතර, ලේබර් / කම්කරු (Labour) පක්ෂය 32% හෙවත් ආසන 208 ක් දිනා ගනු ඇතැයි විශ්වාස කරන, ලිබරල් ඩිමොක්‍රටික් (Liberal Democrats) පක්ෂය 9% ක් හෙවත් ආසන 59 ක් ද, ඉතිරි ආසන 155න් බහුතරයක් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය (United Kingdom Independence Party-UKIP) සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂය අතර බෙදී යනු ඇතැයි විශ්වාස කෙරේ. වේල්ස් සහ උතුරු අයර්ලන්ත පක්ෂවලටත් යම් නියෝජනයක් හිමිවීමට නියමිතය. මීට අමතරව හරිත පක්ෂයට එක් ආසනයක් සහ ස්වාධීන අපේක්ෂකයින් 03ක් ජයගැනීමේ යම් ඉඩක් පවතින බවක් ද පෙනේ. 

සමබිම වෙබ්අඩවියට (http://www.samabima.com/?p=12223) ලියන ලද්දකි. 

ඡයාරූප - රනිල් ජයවර්ධනගේ සහ උමා කුමාරන්ගේ මැතිවරණ ප්‍රචාරක වෙබ්අඩවි වලිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
( 06/05/2015)

2 comments:

  1. ලාංකාදීපයේ තිස්ස මඩවල එහේම් පිටින්ම ඡේදයක් කොපිකරලා; "රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ප්ෂයර් පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකුකරුවෙකි. තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී සිටී. ඔවුනට ඩේසි ජයවර්ධන නම් සති කිහිපයක් වයසැති දියණියක් ඇත.
    පාසල් සමයේ සිටම කොන්සර්වෙටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 සිට බ්‍රේසින්ස්ටෝක් සහ ඩේන් නගර සහාවේ උප නගරාධිපතිවරයා ලෙස ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් ලොකු සේවයක් කළේය." http://www.lankadeepa.lk/index.php/top_story/315405

    ReplyDelete