This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 25 May 2023

Tina Turner මීගමුවට Set වීම


මීගමුව කාමාච්චෝඩේ රා තැබෑරුම අසල තිබුන නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාවේ චිත්‍රපටි පෙන්වන්න කලින් චිත්‍රපටි ශාලාවේ සෙනග අසුන් ගන්නා අතර තුර ශාලාව කුල්මත් කරමින් නිතර වාදනය වෙන ගීත එකතුවක්  තිබුනා. ඒ ගීත එකතුවේ තිබුනේ එක ගීත ඇල්බමයකට (album) අයත් ගීත නෙමේ. නමුත් එක් ගායිකාවකට අයත් ගීත එකතුවක්. ගායිකාව තමයි Tina Turner. 

නඩරාජා ටෝකීෂ් හෙවත් මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු Tina Turner ගේ ගී එකතුවට 1990 ගණන්වල අලුතින් නිකුත්වු ඇගේ I Don't Wanna Fight, Simply The Best, We Don’t Need Another Hero, What's Love Got to Do with It, වගේම ඇය Ike Turner එක්ක නිර්මාණය කල Proud Mary, Nutbush City Limits වගේ ගීතත්, ඇය Ike Turner ගෙන් වෙන් වෙලා තනියම performed කරන්න ගත්ත 1980 ගණන්වලින් පසු ගැයූ Private Dancer, Better Be Good to Me, Steamy Windows වගේ ගීතත් තිබුනා.  මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු එම ගී එකතුව පිටු පස පැහැදිලිවම Tina Turner ගේ දැඩි රසිකයෙක් ඉන්න ඇති. එම රසිකයා Tina Turner ගේ music career එක මුල ඉදලා අගට follow කල තැනැත්තෙක් බවට කිසිම සැකයක් නෑ. අපිට ඒ සිංදු එකතුව තුබූ කැසට් එක අයිති කාටද, එම රසිකයා කවුද කියලා හොයන්න වුවමනාවක් තිබුනේ නෑ... අපි හෙව්වේ Tina Turner ගැන.. ඇගේ music ගැන..

ඔය කියන 1990 ගණන්වල යුරෝපය දෙවනත් කල pop රැල්ල ලංකාවට ගසාගෙන ආව කාලය. ඔය කාලේ මැඩෝනලා, විට්නි හියුස්ටන් ලා, සින්ඩි ලූපර් ලා, ටිනා ටර්න ලා, ජෙනට් ජැක්සන්ලා, සමන්තා ෆොක්ස් ලා, සෙලින් ඩියෝන්ලා වගේ ගායිකාවන් තොග පිටින් අපේ ලෝකවල හොල්මන් කරපු කාලේ... 

ඔය අතරින් Tina Turner ව අපේ ගමට සෙට් වෙන ගතියක් තිබුනා..ඒ ඇගේ කඩ හඩ. ටී වී එකෙන් අපි දැක්ක ඇගේ ජව සම්පන්න ගායනය. කට ඇරල කෑ ගහලා, ස්ටේජ් එකේ දගල ලා ෆුල් විසෙන් ඇය සිංදු කියන විදිහ, උස මහත කළු මාළු ගෑනියෙක් වගේ ඇගේ පෙනුම...ඕවා සියල්ල අපේ ගමට, මීගමුවට හොදට සෙට්වෙලා ගියා.. ටිනා ටුනා (tuna) කියලත් සමහරු කිව්වා. කොහොමත් ටීන ලා, tuna ලා (කෙලවල්ලෝ) අපේ පැත්තේ එමටයිනේ...

Tina Turner ගැන කියද්දී අපේ ගම්වල නිතර කියවුන දෙයක් තමයි "ඔය ඔක්කොම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් ආව අයනේ" කියන එක. ඒක ඇත්ත. ටීනා ටර්නත් පල්ලියේ ගීතිකා කණ්ඩායමේන් (church choir) එකෙන් අත්පොත් තැබූ  gospel singers ලා වගේ පසුබිමක් සහිත අය තමයි. එහෙත් ඇයව ගායිකාවක් කලේ පල්ලියේ කන්තාරු කණ්ඩායම නෙමේ, ඇගේ සැමියා වූ Ike Turner. 

එතෙක් Anna Bullock වු ඇයව Tina Turner කලේ Ike Turner. ඔහු ඒ වන විටත් සංගීත කණ්ඩායමක් ඇති club වල සින්දු කියන්නෙක්. ටිනා තමයි ඔහුව හොයාගෙන ගිහින් ඔහුට එකතුවෙන්නේ. ඒ එකතුව තුල දෙදෙනාටම දිගු ගමනක් යන්න පුලුවන් වෙනවා...එතෙක් අන්ත දරිද්‍රතාවයෙන්, දෙමාපියන් ගේ පවා ආදරය අහිමි කමින්, නොසලකා හැරීමට ලක්ව, අනාගතයක් ගැන බලාපොරොත්තු නැතිව, ජීවිතයේ ගැහට සංගීතයට යට කිරීමට ඉඩ දෙමින් නිස්සාර ජිවිතයක් ගතකරමින් සිටි Anna Bullock ට Ike Turner ජීවිතයක් ගෙනත් දෙන්නෙක් වුනා. ගැහැනු ළමයි තුන් දෙනෙක්වුනු Anna Bullock හෙවත් ටිනා ටානර්ගේ පවුලේ බාලම දැරිය වු ඇය නිතර කියපු දෙයක් තමයි ඇය ඇගේ දෙමාපියන්ට අවශ්‍ය නොවූ (unwanted child) දැරිවියක් බව. පියාගේ වදබන්ධනයන්ගෙන් පීඩා විදිමින් සිටි ඇගේ මව පියාගෙන් වෙන්වී යෑමට උත්සහ කල මුත් ඇගේ උපත නිසා ඇගේ මවට තවත් අවුරුදු ගණනාවක් සිය පියාගේ වදබන්ධනයන් ඉවසා සිටීමට සිදුවූ බව ඇය දක්වා තිබෙනවා. එය ඉතා වේදනාකාරී හැගීමක්...එහෙම හැගීමක් එක්ක ඇයට සිය ළමා කාලය වගේම ගැටවර වියත් ගෙවන්න වීම මොන තරම් නම් වේදනාත්මකද? ඊ ලගට ඇයට ඇගේ ජීවිතයටම එය අත්දකින්න වුනාම මොන තරම් අභාග්‍යයක්ද? 

Tina Turner ගේ සැමියාවූ Ike Turner ගෙන් ඇයට විදින්න වුනෙත් බරපතල වදබන්ධනයක්. ඇය එක තැනකදී කියනවා ඇගේ ශරීරයේ එක කොටසක් නැතිව ඇතිලු ඔහුගෙන් වද නොවින්ද.. හිංසාවට වේදනාවට පත් නොවෙච්ච..Ike Turner සමග 16 වසරක ඇගේ විවාහය මුල් කාලයේ ඉතා සාර්ථක වූවක්. ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධ වෙනවා, හොදින් මුදල් උපයනවා, රට පුරාම සංගීත ප්‍රසංග පවත්වනවා, පිරිමි දරුවන්ම 4 දෙදෙනෙක් ලැබෙනවා.. එත් ඒ විවාහය, ඒ එකතුව, ක්‍රමයෙන් බිද වැටෙනවා..එයට හේතුව  Ike Turner මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වීම කියලා කියනවා...ඒත් මත්ද්‍රව්‍ය වලින් Ike Turner මුදවාගන්න ටිනාට හැකිවෙන්නේ නෑ...දෙදෙනාම එකිනෙක්කෙනාගෙන් දුරස්වෙනවා.. Ike Turner ටිනා ව ගොඩ නගන්න, ගොඩ දාන්න, කටයුතු කලත් ඔහුට අවශ්‍යම අවස්ථාවේ Tina Turner ගෙන් ඒ උදව්ව ඔහුට හම්බවෙන්නේ නෑ..Ike Turner ව ගොඩ දාන්න ටිනට බැරිවෙනවා. එනිසාම Ike Turner වරක් ටිනව මරන්න ගියා ගියලා ඇගේ ජීවිත කතාව අයත් චිත්‍රපටයේ තියෙනවා.. ගැහැනියෙක් කොහොමද  "මේ මිනිහා මාව මරන්න යන්නේ" කියලා හිතන තැනක ඉදන් තවදුරටත් එකට පවුල් කන්නේ ? ඔවුන් කටුක ලෙස දීර්ඝ දික්කසාද නඩුවකින් පස්සේ වෙන් වෙනවා.. Ike Turner තමන් සමග කාලයක් ජීවිතේ එකට සැප දුක බෙදා ගත්ත Tina Turner ගේ නම තමන්ට අයිතියි කියලා Tina Turner කියන නමේ අයිතිය ඉල්ලනවා.. ඒ නම යටතේ උපයූ වත්කම් ඉල්ලනවා... සල්ලිත් එක්ක මිනිස්සු මොන තරම් නම් නරුමයෝ වෙනවද? උසාවිය Tina Turner ගේ නමේ අයිතිය Tina Turner ටම දෙනවා. ඒත් දික්කසාදයෙන් පස්සෙත් Ike Turner බාරගත්ත ප්‍රසංග කිහිපයකම  එකට වැඩ කරන්න ඇයට නියෝග කරනවා..

ඉන් අනතුරුව Tina Turner වගේම Ike Turner ත් ක්‍රමයෙන් නිවී යනවා.

එහෙත්, දික්කසාදයෙන් පස්සේ, ඔය කලබැගෑනි ඔක්කොම ඉවරල වෙලා, අවුරුදු 4 - 5 කට පස්සේ, හදිස්සියේම ටීනා ආපහු පත්තුවෙනවා...ඉතා දීප්තිමත් ව පත්තුවෙනවා...නැවතත් බැස නොයන්නටම පත්තුවෙනවා - We Don’t Need Another Hero...We Don’t Need Another He.ro.. ඔව් අපිට තවත් වීරයෙක් ඕන නෑ.. ඇයම වීරයා වෙනවා... වේදිකාව දෙවනත් කරන...මුළු වේදිකාවම එක මිට ට, එක පොදියට කැටිකර ගන්න..දැවැන්ත වීරවරියක් වගේ ඇය සංගීත රසකාමීන්ගේ ලෝකය ආක්‍රමණය කරනවා... ඇගේ What's Love Got to Do with It ගීතය සමග ඇය අපේ ලෝකයේ සදහටම වාඩිලා ගන්නවා...එය අපේ විතරක් නෙමේ මුළු ලෝකයටම ගායිකාවක් ගැයූ අති සාර්ථක ගීත කිහිපයෙන් එකක් බවට පත්වෙනවා... 

ඇගේ මේ දෙවෙනි ගමනට ප්‍රධාන වශයෙන් හේතුවුනේ සංගීත ලෝකයට ඒවන විට අළුතින්ම හදුන්වා දුන් Synthesiser නැතිනම් ඉලෙක්ට්‍රොනික ඕගන් සංගීතය හේතුවුනා කියලත් කියනවා...අපි දන්නවා Tina Turner වගේම Ike Turner ගේ මුල් කාලින සින්දු ඔක්කොම වගේ Cover Songs. ඒ කියන්නේ කලින් කෙනෙක් කියපු සින්දු අළුත් විදිහට කියපු එක. ඒත් ඇගේ දෙවෙනි ගමන එහෙම නෑ. ඇය ඇගේම අනන්‍යතාවක් එක්ක එන්නේ...අපි දන්න Tina Turner අර 80/90 ගණන්වල ආව ඇග කුල්මත් කල ජවසම්පන්න Tina Turner මිසක්, 60/70 කාලේ Covers කියපු ටිනා ටානර් නෙමේ...

මම නම් විශ්වාස කරන්නේ Tina Turner ගේ අති සාර්ථක දෙවන සම්ප්‍රාප්තියට හේතුව Synthesiserවත්, ඉලෙක්ට්‍රොනික සංගීතයවත් නෙමේ...ඇගේ ජීව්ත අත්දැකීම...යටපත්කල නොහැකිවූ ඇගේ හැකියාව..අප්‍රතිහත ධෛර්යය.. නොනැවතිය නොහැකිවු අභිප්‍රාය...ඇගේ passsion එක... මම හැමදාම කියන දෙයක් තමයි...fashion එක නෙමේ කාරණය passsion එකයි කාරණය කියන එක...passsion එකට ඕනෑ දුක්ප්‍රාප්තියක් විදින්න පුලුවන් හැබැයි යටපත් කරන්න බෑ.. fashion (විලාසිතා/ විච්චුරණ) කරන ගැනූන්ට වඩා passsion ( අභිප්‍රායක්/දැඩි උවමනාවක්/ ලලසාවක්) තියෙන ගැහැනුන්ව කිසිසේත්ම නවත්වන්න බෑ..යටපත් කරන්නත් බෑ..ඒ අය නැගිටිනවා නැගිටිනවාමයි..Tina Turner කියන්නෙත් එහෙම passsion එකක් තිබ්බ ගැහැනියෙක් !!❤️❤️

මාකස් ප්‍රියන්ත පෙරේරා 

25/05/23

4 comments:

  1. ඒ වගේම තමයි රාජ් එකේ හැරී බෙලාෆොන්ටේගෙ සින්දු ඇහුනේ.

    ReplyDelete
    Replies
    1. මම ඕක අහලා තියෙනවා. ස්තුතියි මතක්කලාට.

      Delete
  2. ඉස්කෝලේ කලේ පතුරු ගහපු සී ඩී තමා ,, ජිවිත කථාව අද යි දැනගත්තේ.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි.. සින්දු ඇහැව්වාට කියන්නේ කවුද? කියන්නේ මොනවද? කියලා එච්චර හොයන්නේ නෑ

      Delete