This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 3 February 2016

ලංකාවේ පළමු නිදහස් දිනය මීගමුව සැමරූ අයුරු.

1948 පෙබරවාරි 04 දින කොළඹ පැවති ලංකාවට නිදහස ලබාදීමේ මුලික උත්සවයට සමගාමීව රටේ විවිධ පළාත්වලද ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා විවිධ උත්සව පවත්වා ඇති බව එවකට පළවූ පුවත්පත් වාර්තාවලින් හෙළිවේ.  

මේ අතරින් ලංකාවේ පලමු නිදහස් දිනය සැමරීම සදහා මීගමුවේ පැවති විවිධ උත්සව සහ සමරු වැඩසටහන්වලට යම් විශේෂ අවදානයක් යොමුවූ බව කලක් කොළබ සරසවියේ සහ දැන් නෙදර්ලන්තයේ Leiden සරසවියේ සේවය කරන මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ Dressing the Colonised Body: Politics,Clothing and Identity in Colonial Sri Lanka (2003) කෘතියේ 26-27 පිටුවලත්, නැවතත් ඇයගේම Sri Lanka in the Modern Age. A history of contested identities (2006) කෘතියේ 150-152 පිටුවලත් එන විස්තරවලින් පෙනේ. 

එම විස්තර වලට අනුව මෙන්ම එවකට පළවූ පුවත්පත් වාර්තාවලට අනුවද ලංකාවේ පලමු නිදහස් දිනය සැමැරීම සදහා උත්සව 04ක් 1948 පෙබරවාරි 04 දින මීගමුවේ පවත්වා තිබේ. 

ඉන් මුල්ම උත්සවය ආරම්භ වී ඇත්තේ උදැසන 10.30ට, ලංකාවේ ප්‍රධාන දේවස්ථාන කිහිපයෙන් එකක්වන මීගමුව මහවීදියේ ශාන්ත මරියා පල්ලියේ පැවති දේවමෙහෙයකිනි. කමිස, සාරි, කෝට්, කබා, කුර්ත මෙන්ම ජාතික ඇදුමින් සැරසුන පිරිස් පිලිගැනීමට  මීගමු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ/ බාලදක්ෂකාවන් දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිට ඇති අතර විශාල ජනතා සහභාගීත්වයක් පැවතිබව වාර්තාවේ. සීනු ගසමින්, ගීතිකා කියමින් මහත් උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇති මෙම උත්සවයෙන් අනතුරුව ආහාරපාන සංග්‍රහයක්ද පවත්වා ඇත. 
මෙම උත්සවය අවසානවනවාත් සමගම තවත් පිරිසක් මීගමුව මහවීදිය ශාන්ත මරියා පල්ලියට පිටුපසින් පිහිටි 'උස්පිල ගෙදර' නම් පැරණි නිවසක් අසල ශ්‍රී ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණ කර ඇත. ඒ   ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවටගෙන ඉංදියාවට පිටත්කර යැවීමට පෙර මෙම නිවාසේ රැයක් ලැගුම් ගත්තේ යැයි විශ්වාස කරන බැවිනි. එම යුගයේදී දෙමළ ජාතික මහළු යුවලකට අයත්ව තිබු මෙම නිවාස පසුව 1960 දශකයේදී ගැලැස්ටන් ප්‍රනාන්දු මහතා මිලටගෙන තිබේ. 1980 දශකයේදී ඔහුගේ පුත් රාජ් ප්‍රනාන්දු විසින් මෙම නිවාස ‘ශ්‍රී වික් රාජ්’, ලෙස නම් කර තිබේ.  
                         කෙසේවුවද, 1948 පෙබරවාරි 04 දින මෙම නිවාස ඉදිරිපිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කල පිරිස්වල විශ්වාසයවී ඇත්තේ මෙම නිවස මීගමුවේ සිටි ප්‍රකට 'සූර්යකුල' තුනෙන් එකක්වූ  කුරුකුලසූර්යවරුන්ගේ 
නායකයෙක්වූ,  කුරුකුලසූර්ය මුදියන්සේට අයත්ව තිබූවක් බවයි. මීගමුවේ මෙම 'සූර්යකුල' සහ 'සූර්යවරුන්" ගැන මම මීට පෙර (06/11/2015 දින,පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය) යන ලිපියේ ලියා ඇත. එය මෙතනින් කියවිය හැක.

එහෙත් මීගමුවේ ප්‍රධාන නිල නිදහස් සමරු උත්සවය පවත්වා ඇත්තේ මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) මීගමුවේ (අද විනාසයට යාමට ඉඩ හැර ඇති) පැරණි ලන්දේසි කොටුව ඉදිරිපිට ඇති කොටුව පිටියේය(Negombo Fort Esplanade)එවකට මීගමුව නගරාධිපති වරයා වූ, මීගමුව, පෙරියමුල්ල, කැනල් පාරේ මඩු සුරැවම අසල නිවසේ පදිංචිව සිටි C.M.ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. සැමදා යුරෝපියානු ක්‍රමයට කාලිසම්-ෂර්ට් සහ ටයි-කෝට් ඇදි එවකට මීගමුව නගරාධිපති C.M.ප්‍රනාන්දු මහතා මෙම නිදහස් දින උත්සවයට ජාතික ඇදුමින් සැරසී සිට ඇති බව වාර්තාවේ. දහස් ගණනින් ජනයා පැමිණ ඇති මෙම උත්සවය ජාතික කොඩිය ඔසවා ආරම්භකර ඇති  අතර දිළිදුන්ට ආහාරපාන ලබාදීමක් ද සිදුකර ඇත. 

උත්සවයේ වැදගත්ම අංගය වී ඇත්තේ 1927 නොවැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා  මීගමුවට පැමිණි ඉංදියානු නිදහස් සටනේ වීරයාවූ,  ඉංදියාවට නිදහස දිනාදුන් මහත්මා ගාන්ධි තුමාව සැමරීමය. මහත්මා ගාන්ධිතුමාගේ මීගමු ගමන ගැන (11/12/15 දින මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය )  මා ලියූ සටහන මෙතනින් කියවිය හැක.

ලංකාවේ පළමු නිදහස් දිනය සැමරීම රටේ විවිධ පළාත්වල  මේ ආකාර ලිහිල් සහ විවිධාකාර වීම ගැන කරුණු දක්වා ඇති ඉතිහාසය පිළිබද මහාචාර්යවරියෙකුවන නීරා වික්‍රමසිංහ, කතෝලිකයන් බහුතරක් වෙසෙන මීගමුවේ පැවති ලංකාවේ පළමු  නිදහස් උත්සවයේදී ලංකාවේ  නිදහස දිනාගැනීමට සම්බන්ද කිසිවකු සමරන්නේ නැතිව, ලංකාවේ නිදහසට කිසිසේත්ම සම්බන්දක් නැති, ඉංදියාවේ මහත්මා ගාන්ධිව සහ දෙමළ සම්භවයක් ඇති, ජාතික වීරයෙකු ලෙස පිළිනොගන්නා, දුෂ්ඨ පාලකයෙකු ලෙස සලකන ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කිරීමේ අදාලත්වය ගැන ඇගේ ඉහත පොත්වල ඇය ප්‍රශ්නකර  තිබේ. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මෙන්ම මහත්මා ගාන්ධිතුමාද මීගමුවට පැමිණි ඇතිබව සහ ඒහින් මීගමුවේ ජනයාට ලංකාවේ පළමු නිදහස් දිනයේදී ඔවුන් දේපලව අනුස්මරණය කිරීමට සාධාරණ හේතු තිබූබව ඇයගේ අධ්‍යනවලට හසුනොවී තිබීම කණගාටුවට කරුණකි.  

කෙසේවුවද, ඉහත නිදහස් දින උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ කරමින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයේන් මහාචාර්ය නීරා වික්‍රමසිංහ මහත් ඇගයීමකට ලක්කර තිබේ. මීගමු දිස්ත්‍රික් සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර ඇත්තේ  මහත්මා ගාන්ධිමෙන් නිදහස දිනාගැනීමට සටන්කල හෝ ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටිබවත් එම අඩුව නිදහසින් පසුව එළබෙන යුගයේදී අපට විශාල අඩුවක් ලෙස මතුවෙන බවය. ඔහුගේ එම වචන ගැන ඇය ඇගේ පොතේ දක්වා ඇත්තේ මෙසේය: "By honoring the Indian nationalist leader instead of any sons of the soil, any Ceylonese national hero, the chairman of the Negombo UC was making a clear and uncompromising political statement. Ceylon had no real nationalist fighter, no leader of the messes who united or attempted to unite classes, castes and religions of the caliber of Mahatma Gandhi." (Dressing the Colonised Body: Politics, Clothing and Identity in Colonial Sri Lanka, (2003), page 26)

මේ ආකාරයට උදෑසන 10.30ට ආරම්භවූ මීගමුවේ පැවති ලංකාවේ පළමු නිදහස් දින සමරු වැඩසටහන් අවසාන වනුයේ ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමේ ප්‍රධාන උත්සවයේ බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් රාජාසන කතාව පැවැත්වීම සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය මීගමුව නව තානායමේ පැවැත්වීමෙන් බව පෙනේ. 

එය 2012 මාර්තු මස 04 වන දින ලංකාදීප online හී පළවූ පුවතක් මගින් අදාල ඡයාරූප සහිතවම ස්ථීරකල අතර ඒ අනුව  1948 පෙබරවාරි 04 දින මෙරට ප්‍රථම නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය සහ ඔවුන් දෙපලගේ සමුගැනීමේ සාදය පවත්වා ඇත්තේ මීගමුව නව තානායමේය.
මේහි දැක්වෙනුවේ මීගමුව නව තානායමේදී බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයාත්, එම මැතිනියත් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දින රාත්‍රී ආහාරය ගත් මොහොත යැයි සදහන් එම පුවතේ පලවූ ඡයාරූපයය. ඉහත රාජකීය භෝජන සංග්‍රහය පැවති මීගමුවේ නව තානායමයම වූ කලී මම ඉතා මෑතකදී සොයාගත් ලෙස බ්‍රිතාන්‍ය 6 වන ජෝර්ජ් රජතුමා රජවීමට පෙර ඔටුන්න හිමි කුමාරයෙක් දෙසද, මා මීට කලින් මගේ facebook පිටුවේ ඡයාරූප සහිතව පලකල ලෙස බ්‍රිතාන්‍යයේ 2වෙනි එලිසබෙත් රැජින 1954 දීද පැමිණි, 1940 දශකය උදාවෙන විටත් විවිධ රටවල සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පලකල, දැන් මීගමුවේ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විසින් අසල වෙරළ තීරය අත්කරගෙන පරිසරය වනසමින්, දුගන්දයෙන් මුළු පළාතම අපාගත කරමින් සිදුකරන මාළු කරෝල කිරීමේ ව්‍යාපාරය නිසා විනාශවී ගොස් ඇති අතීතයේදී මහත් කීර්තියක් ඉසිලූ තානායමකි. විශේෂයෙන්ම මුහුදු ආහාර පිළිගැන්වීම අතින් වඩා හොද නමක් දිනාගෙන තිබූ තානායමකි. අදටද බ්‍රිතාන්‍ය ග්ලොස්ටර් ආදිපාදවරයා සමග ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඞී.එස්. සේනානායක මහතා රාජ්‍ය භෝජන සංග්‍රහය බුක්තිවිදී ශාලාවේ පසුබිමෙහි වූ ලී තිරය මීගමුව නව තානායමේ ඇති අතර 2013 අගෝස්තුමාසයේදී මට එය ඡයාරුප ගතකිරීමට හැකිවිය. එය ලංකාදීප පුවතේ පළවූ මුල් ඡයාරුපය හා මනාව සැසදේ. 

කොළඹ සිට සැතපුම් 23 ගෙවා, ගාලුමුවදොර හෝටලය වැනි හෝටල් කොළඹ ඕනෑ තරම් පැවතියේදී, ග්ලොස්ටර් ආදිපාදවරයා ඇතුළු පිරිස භෝජන සංග්‍රහයකට මීගමුවට පැමිණිම සහ මීගමුව නව තානායාමේ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීම විය හැක්කක් වන්නේ මීගමුව නව තානායාමට උරුමවූ ඉහත පසුබිම නිසා වියයුතුය. ඒහෙත් ග්ලොස්ටර් ආදිපාදවරයා නිදහස් උත්සවය සදහා ශ්‍රී ලංකාවට පැමිණියේ දින කිහිපයට පමණක් වීමත්, එවකට පැවති 'මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර සහ මීගමුව ගුවන් තොටුපල (වර්තමාන කටුනායක ගුවන් තොටුපල) පැවතියේ මීගමුව අසල වීමත්, එමෙන්ම 1940 හේ දශකය උදාවීමටත් පෙර සිටම මීගමුව නව තානායම යුරෝපයේ පවා සංචාරක ප්‍රවර්දන දැන්වීම් පල කල ලෝ පසිදු ස්ථානයක් වීමත් නිසා ලංකාවේ පළමු නිදහස දිනයදා රාජ්‍ය භෝජන සංග්‍රහය මීගමුවේ නව තානායමේ පැවැත්වීමට තිබු ඉඩකඩ දෙගුණ තෙගුණ කරනු නියතය.

කෙසේවුවද, මහවීදිය ශාන්ත මරියා පල්ලියේ දේවමෙහෙයෙන් අරඹා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා මහත්මා ගාන්ධි සමරා, ග්ලෝස්ටර් ආදිපාදගේ සමුගැනීමේ සාදයෙන් අවසන්වූ දිනය පුරාම දිවගිය අපූරු නිදහස් දින සමරුවක් ලංකාවේ පළමු නිදහස් දිනය යෙදුන 04/02/1948 දිනයේ මීගමුවේ පැවති බවට ඉහත තොරතුරු සාක්ෂි සපයයි. එහෙත් කෙතරම් අදාල තොරතුරු, දත්ත, සහ කරුණු-කරනා ඉදිරිපත්කලද ලංකාවේ කිතුනුවන්ගේ අගනගරය හෙවත් 'පුංචි රෝමය' (Little Rome) ලෙස සලකන මීගමුවට නූතන ලාංකීය ඉතිහාසය තුල හිමිවිය යුතු වැදගත්කම ලබාදීමට මැලිවෙනබව පෙනේ. ඉහින් සදහන් කල මීගමුව නව තානායම මෙන්ම මීගමුව ලන්දේසි කොටුව ආදී මීගමුවේ සියලු පැරණි ස්ථාන සියල්ල කිසිදු රැකවරණයකින් තොරව විනාශවීමට ඉඩහැර ඇත. ඒ පිලිබදව කිසිදු රජයකින් කිසිවක් කරන්නේ නැත. එහෙයින් අපට නැවත සිහියට නැගෙනුයේ මීගමුවේ පවතී ලංකාවේ පළමු නිදහස් දින සමරු උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ (Urban District Council) එවකට සභාපතිවරයාවූ C.M.ප්‍රනාන්දු මහතා දැක්වූ අදහසය. එනම් ජාති, ආගම්, භාෂා, කුල, පංති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියළු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලුදෙනා එකතුකළ හැකි ඉංදියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙක් ශ්‍රී ලංකාවේ නොසිටිමේ අඩුව තවදුරටත් තදින් දැනෙන බවයි.


මාකස් ප්‍රියන්ත පෙරේරා
04/02/16.

4 comments:

  1. මොකද්ද හැබෑටම අර PHENOMENA චිත්‍රයේ තේරුම. (http://marcuspriyanthaperera.blogspot.com/2015/12/enrique.html)
    මමත් හරි ආසයි ඔයවගේ චිත්‍ර වලට ඒ වුනාට තනියම හිතලා තේරුම් ගන්න බෑ. රෆායල් බයිබලයේ හෙලිදරව්ව කතාව ආශ්‍රයෙන් ඔයවගේ චිත්‍රයක් ඇඳලා තියෙනවා ඉතින් බලූ බැල්මට හිතුනේ මේක ක්‍රිස්තියානි අපායක් වෙන්න ඇති කියලා. පස්සේ උනන්දුවෙන් බැලුවාම මේකේ බය හිතෙන දේවල් නෑ. දැන්නම් මේක පෙනෙන්නේ ‍බුද්ධාගමේ තියෙන ප්‍රේත ලෝකයක් වගේ. :D

    ReplyDelete
    Replies
    1. Pavel Tchelitchew ගේ phenomena චිත්‍රය ගැන තිබෙන විග්‍රහ තමයි එය සිහිනය සහ යථාර්ථය අතර ඇති ආතතිය විස්තර කරන්නක් කියන එක. එම විග්‍රහය බොහෝදුරට පදනම් වෙලා තිබෙන්නේ Surrealism කියන කලා සහ සංස්කෘතික ගුරුකුලය ඉදිරිපත්කරන අදහස් මතයි.

      Delete