This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 28 February 2016

මීගමුවේ වතුර ප්‍රශ්නය සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....

මීගමුවේ වතුර ප්‍රශ්නයක් තිබේ. ඒ වතුර නැතිකම නොවේ. බොහෝ තැන්වල අඩි කිහිපයක් කැපූවිට පවා වතුරු සොයාගත හැක. එහෙත් වතුර ලවන රසින් යුතුය. විශේෂයෙන්ම මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි මීගමුවේ වෙරළ අද්දර බොහෝ ප්‍රදේශවල මෙන්ම කලපුවත් මුහුදටත් මැදිව පිහිටි මුන්නක්කරය, තලාදූව, දූව, පිටිපන, තලාහේන, බසියාවත්ත, දුන්ගාල්පිටිය, පෝරුව ආදියෙහිද, උතුරැ කෙලවරේ පිහිටි පෝරුතොට, පල්ලන්සේන ආදී ප්‍රදේශවලද,  කට්ටුව, පලගතුරේ, දළුවකොටුව සහ දළුපොත ආදී බොහෝ ප්‍රදේශවලද වතුර ලවන රසින් යුතුය. එහෙයින් මීගමුවේ වතුර ප්‍රශ්නය යනුවෙන් හදුන්වනුවේ ලවන රසින් තෝර පිරිසිදු ජලය සපයා ගැනීමය. 

අතීතයේ පටන් පැවති මෙම ප්‍රශ්නය ඒ කාලයේ විසදාගත් එක් ආකාරයක් ගැන මීට වසර 165කට පමණ පෙර එනම් 1849 දී An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) නමින් කෘතියක්  ලියන Charles Pridham දක්වයි. ඔහු මීගමු කුට්ටිදූව ප්‍රදේශයේදී මැටියෙන් තැනූ හිස් භාජන රාත්‍රීකාලයේදී වැල්ලේ ගිල්වා තබා උදෑසනදී පිරිසිදු, මිහිරි රසැති වතුර රැස්කිරීම සදහා යෙදවූ පිරිස් සිටි බව වාර්තා කරයි. එම කෘතියේ 641 පිටුවේ දැක්වෙන එම විස්තරය ඔහු රචනා කර ඇත්තේ මෙසේය: 'The water is extremely brackish, unless it be procured from Kottidewe, or Children's Island, where persons are employed for the purpose of sinking pitchers, in the sand over-night, which in the morning are found full of pure and sweet water that has filtered in the interval' Charles Pridham, (1849), An historical, political, and statistical account of Ceylon and its dependencies (Volume 2) T. and W. Boone 29 New Bond Street, London, page 641. මීගමුව ගැන ඔහු තවත් විස්තර දක්වා ඇති අතර එම කරුණු කාරණා පසු දිනක සටහන් කිරීමට බලාපොරොත්තුවෙමි.

මෙම කරුණට තවත් එකතු කිරීමක් කරන R. L. බ්‍රෝහියර් (R.L. Brohier) ගේ 'Links between Sri Lanka and the Netherlands' (1978) කෘතියේ දක්වනුයේ ලන්දේසීන් මීගමුව දිස්ත්‍රික් පරිපාලන ඒකකය සදහා භාවිතාකල ලාංචනය (Coat Arms)වන,  'වතුර සහ බදුන' ලාංචනය  මීගමුවේ මෙම වතුර එකතු කිරීමේ ආකාරය සහ මේ පළාතේ පැවති මැටි කර්මාන්තය මත පදනම්ව නිර්මාණය කරගත්තක් බවයි. ඔහු එය රචනාකර ඇත්තේ පහත ආකාරයට: 'Perhaps this simple domestic practice, coupled with the fact that pottery was a handicraft in the district, inspired the design for the arms.' (page  36). එම ලාංචනය පහතින් දැක්වේ.
ලන්දේසීන් සිය පරිපාලන ඒකකවල ලාංචන සදහා සෑමවිටම තෝරාගත්තේ එම පළාත් සහ බැදි, එම පළාතටම විශේෂ යමකි. ඔවුහු යාපනයේ ලාංචනය සදහා තල්ගසද, කොළඔ සදහා කොළ පිරි අබ ගසද යොදාගත් අතර මීගමුව සදහා එහින් භාවිතා කර ඇත්තේ  මීගමුව සමග බැදුනු, මීගමුවට සම්බන්ද යමක්ය යන්න පැහැදිලිය. ඉහත විස්තරවල සදහන් ආකාරයේ භාජන කිහිපයක් තවමත් මීගමුවේ  ස්ථාන කිහිපයක මෙන්ම කිහිපදෙනෙකු සතුවද තිබේ. ඒ අතුරින් වැඩිදෙනෙකුගේ නෙතගැටුණු භාජනය වූයේ කලින් මීගමුව Brown's Beach හෝටලය පිටුපස වෙරළේ  තබා තිබු පහත බදුනය. 


කෙසේවුවද, මීගමුවේ වැඩිවෙන ජනග්‍රහණය හමුවේ ඉහත මීගමු කුට්ටිදූවේ වතුර රැස්කිරීමේ ක්‍රමය තවදුරත් භාවිතා කල නොහැකිව ඇති අතර කුට්ටිදූවේ ප්‍රදේශයේ ඉදිකිරීම්ද කුට්ටිදූවේ ඉහත  වතුර එකතු කිරීමේ ක්‍රමය කාලයේ වැලිතලාවට එම භාජන සමගම වළලා දැමීමට හේතුවන ලදී.    

ඉන් අනතුරුව, ජනයා පිරිසිදු ජලය සපයාගත හැකි ළිං තිබු තැන්වලට ගොස් වතුර ගෙනඑම සිරිතක් ලෙස සිදුකර ඇත. මෙම ලිපියේ මුලින්ම එන පින්තුරයේ දක්වනුයේද එවැනි ආකාරයට කළවලට වතුර පුරුවාගත් කාන්තාවක් ඔරුවකින් ගමන්කරන ආකාරයයි. ඇය වතුර රැස් කරගෙන ඇත්තේ මීගමු කොටුව ආසන්න තැනකින් විය යුතුය. මීගමු වැල්ල වීදිය ආරම්භයේ පිහිටි 'ළිං ගෙදර' නොහොත් 'කටු-කුරුදු ගේ' ඉතා මිහිරි, පිරිසිදු වතුර තිබු ළිදක් පැවති කොටුව අසල නිවෙස්වලින් එකකි. ශාන්ත ලූසි (St.Lucy) නිවස ලෙස නිලවශයෙන් හදුන්වන මෙම නිවාස ඉඩම් හිමි වැවිලිකරුවෙකුවූ  බෙන්ටලී ගැස්පර් ප්‍රනාන්දු (Bentley Gaspar Fernando) මහතාට අයත්ව තිබු අතර දැන් එහි පදිංචිව සිටිනයේ ඔහුගේ මුනුබුරෙකුවන අමිත්ත්‍රනාදන් (Amirthanathan) මහතාය. ඔවුන් සතුව එසේ වතුර රැස්කල හෝ වතුර රැස්කිරීමට පැමිණි පිරිස් ඔවුන්ට තෑගිකල භාජන කිහිපයක් වේ. එය පහතින් දැක්වේ. තවද මෙම ලිපියේ මුලින්ම එන පින්තුරයේ  වතුර  භාජන රැගත් ඔරුව ගමන්
කරනුයේ මුන්නක්කරය
ප්‍රදේශයට විය යුතුය.  එහි 
පසකින් ඇති මීගමු කොටුවේ පිහිටි එංගලන්ත
සභාවට අයත් ශා. ස්ටීවන්
පල්ලිය 1936 දී පැවති ආකාරය ඉතා දැකුම්කළුය.  හද කම්පාකරවන සුළුය.
එය මා මෙතෙක් එකතුකර ඇති මීගමුව සම්බන්ද ඡයාරූප, ලිපිලේඛාන, post card සහ වාර්තා ආදිය අතර ඇති  වඩාත් සිත්ගත් පින්තුර අතරින් එකකි. 


තවද මීගමුවේ වතුරගෙන යන කාන්තාවන්ගේ තවත් ඡයාරූපයක් 1910දී පලකල Henry William Cave ගේ (1910) 'The Ceylon Government Railway' කෘතියේදවේ. එය මෙම ලිපියේ අවසානයට පළවේ. මීගමු රේගුපාරේ මැද සිටගෙන ඇති මෙම ඡයාරූපයේ වතුර ගෙනයන කාන්තාවන් පමණක් නොව, එවකට පැවති මුන්නක්කරය මහ පාලමද, පැරණි ලන්දේසි නගර සංවර්ධන සැලැස්ම අනුව ඉදිවූ කලපුව අසල බැම්මේ කොටසක්ද, රා, අරක්කු, බියර් හෝ වෙනත් මත්පැන් ප්‍රවාහනය සදහා යොදාගත් පීප්ප කිහිපයක්ද ඇතිබව එම ඡයාරූපය හොදින් බැලූවිට පෙනේ. 

කෙසේවුවද, මීගමුවේ වතුර ගැටළුවට ස්තීර විසදුමක් ලැබුනේ මීගමුවට ජාතික ජලාප්‍රවාහන මණ්ඩලය විසින් මහඔය පදනම් කරගනිමින් ජලය සම්පාදනය කිරීමට ආරම්භ කිරීමත් සමගය. ඒ විජයපාල මෙන්ඩිස්  මහතා මීගමුවේ නගරාධිපතිවරායව සිටි සමයේය. මුලින්ම උස්‌ටැබවල්  බදු ජල ටැංකි ඉදිකර ජලනළ මගින් ජල සම්පාදනය කිරීම සිදුකළහ. අදටත් පෙරියමුල්ල අභයසිංහපුර, කාමච්චෝඩයේ සහ කොච්චිකඩේ නගරය යන ප්‍රදේශවල මේම වතුර ටැංකි දැකිය හැක. පසුව 1980 දශකයේදී  මීගමුව 'සෝන්ඩර්ස්' පාරේ ජල පිරිපහදු සහ ජලාප්‍රවාහන ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග නළජලය සැපයීම ක්‍රමවත් කරන ලදී. අද මීගමුවේ පිටිපන, පිටිපන විදිය, පේරුව සහ පෝරුතොට වැනි ස්ථාන කිහිපයක හැර මීගමුවේ බොහෝ පාරවල් අසල එවැනි පොදු ජලනළ හෝ කරාම දැකිය නොහැක. කලක් එවැනි පොදු ජලනළ බහුලව දැකිය හැකිවූ වූ අතර එම ජලනළ අසල වූ ගෙඩි, පනිට්ටු, බාල්දි, බාස්කට්, කෑන් ආදියෙන් සමන්විතවූ පෝලිම මීටර් කිහිපයක් දිගුවිය. ඒ වෙනුවට අද සීයට අනුවකට (90%) වඩා මීගමුවේ නිවෙස්වලට ජලය සපයා තිබේ. එහෙත් මීගමු ජලාප්‍රවාහන මණ්ඩලය කිසිවෙකු පදිංචි නැති හිස්ඉඩම් වලට ජලය සැපයීම ප්‍රතික්ෂේප කර තිබේ. එය එක් ආකාරයකින් අදායමක් ලැබන්නේ නැති, බිලක් කැඩෙන්නේ නැති තැන්වලට ජලය සැපයීම නොකරන බවට ඉගියකි. ජල බිලද මීගමුවේ ජනයාගේ තවත් ප්ර්ශනයකි. එහෙත් ඔවුන් ඒගැන මැසිවිලි නගනවාට වඩා ජලය මෙන්ම ධනයද පරිස්සමින් කළමනාකරණය කරගනිති. සීයට සීයක්ම මීගමුවේ ජල ප්‍රශ්නය විසදාගැනීමට ආසන්න මේ මොහොතේදී අප පසක්කල යුතු කරුන වන්නේ එය අපේ  ජනයා ඉතිහාසය පුරාම වදවිදි ගැටළුවක් බවත්, එය  කාලාන්තරයක් පුරාම මීගමුවේ ජනයා ඉල්ලා සිටි ඉල්ලීමක ප්‍රතිපලයක් බවත්ය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
(28/02/2016).

6 comments:

  1. Thanks for the post. Also in tamil Negombo called as "Neer Colombo". Neer means water.

    ReplyDelete
    Replies
    1. Yes, Tamil name நீர்கொழும்பு (Nir(Neer)-kolombu) does have that mean- clear or sacred water. But it derived from something els. I will write it later.

      Delete
  2. Very good exploration about Negombo

    ReplyDelete