This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 19 May 2019

කිතුනුවන්ට යුක්තිය ඉටුකරන්නේ කවුද? කවදාද?


ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව සිය ඉතිහාසයේ මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට පසුගිය පාස්කු ඉරිදා (21/04/2019) ලක්විය. 

ඒ හරියටම මීට වසර 10යට කලින්, 2009 මැයි 19දා, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්දේ අවසාන දිනයේදී ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලීම පරිදි ඉතිරිවී සිටි LTTE සටන්කරුවන් සහ ඔවුන්ගේ දරුපවුල් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට බාරවීම සදහා සම්බන්දීකරණය කල ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා අතුරුදහන්වී වසර 10යකට පසුවය

හමුදාවට බාරවෙන්නේ නම් LTTE සටන්කරුවන්ට සහ ඔවුන්ගේ දරුපවුල්වලට ආරක්ෂාව සපයන බවට ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් සහතිකකර ප්‍රකාශයට පත්කළ නිසා ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා එහිලා මැදිහත්ව කටයුතු කළේය. ඒ අනුව 360ක පිරිසක් ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාගේ වචනය පිළිගෙන හමුදාවට බාරවිය.  ආරක්ෂක හමුදාවල බස්රථවලට මේ පිරිස පටවාගෙන යද්දී ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාත් එක් බසයකට ගොඩවී ඇත්තේ තමන්ගේ වචනය විශ්වාස කර බාරවූ පිරිසගේ ආරක්ෂාව ඇත්තටම සහතික කරනවාද සොයා බැලීමටය. එහෙත් අද වනතුරුද හමුදා බස්වල එසේ රැගෙන ගිය කුඩා දරුවන් ඇතුළු 360 දෙනාද, ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාද සොයාගැනීමට නැත. ඔවුන්ට සිදුවූ දෙයක් පිලිබදව ශ්‍රී ලංකා රජය හෝ ආරක්ෂක හමුදා කිසිවක්  ප්‍රකාශ නොකරයි.  ඒ සම්බන්දයෙන් කිසිදු පරීක්ෂණයක්ද සිදුකර නැත. උත්තර දීමටද කිසිවෙක් ඉදිරිපත් නොවේ. අවාසනාකට ශ්‍රී ලංකා කතෝලික සභාව අඩුම තරමින් ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාට සිදුවූ දෙය ගැන හෝ සොයාබැලීමට විධිමත් පරීක්ෂණයක් ඉල්ලනේද නැත. 



පසුගිය කාලේ මැල්කම් රන්ජිත් කාදිනල්තුමා නිතර මතුකළ ''ලාංකීය කිතුනුවන්ගේ පෝෂණය සදහා බෞද්ධ සංස්කෘතිය ඉවහල්වූ'' බව මෙන්ම ''මගේ සංස්කෘතිය බෞද්ධ'' යැයි යන්න මුලින්ම කියු පියතුමෙක්වූයේ බුත්තල විසු මයිකල් රොද්‍රිගු පියතුමාය. එතුමාව 1987 නොවැ. 10 දින, හීෂණ සමයේදී, නාදුන්න තුවක්කුකරුවන්ගේ ගිණුමට බැරකර මරාදමන ලදී. ඒ කවුද? කුමක් සදහාද? යන්න සොයාබැලා දැනගැනීමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය උන්නදු නොවීය.  මයිකල් රොද්‍රිගු පියතුමා ප්‍රදේශයේ ඉඩම් උක්වගාකරුවන්ට අයත්වීමට විරුද්දව හඩනැගුවෙක් නිසා ඉඩම් සහ ව්‍යාපාර හිමි ධනපතීන්ගේ ඉල්ලකයක් බවටද, ප්‍රදේශයේ ජනයා මයිකල් රොද්‍රිගු පියතුමා යටතේ සංවිධානයවීම නිසා ප්‍රදේශයේ භික්ෂුන්ගේ සහ බෞද්ධ නායකයින්ගේ නොරිස්සීමටද  භාජනයවුවෙක් විය. මයිකල් රොද්‍රිගු පියතුමාගේ ඝාතනය ගැන තවමත් කිසිදු පරීක්ෂණයක් සිදුව නැත. ශ්‍රී ලංකා කතෝලික සභාවද ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් සුදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවක්ද නොපෙනේ.

එම භීෂණ සමයේම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකටව සිටි, කටාන-හල්පේ පල්ලියේ ශ්‍රී ලාල් පියතුමාද අභිරහස් ලෙස මිය ගියේය. ඒ ගැන මෙන්ම මීගමුව මල්වත්ත පාරේ සා. ජෝසජ් දේවස්ථානය තුලදී මරාදැමූ ආබා කොස්තා පියතුමා ගැනද පරීක්ෂණයක් ඉල්ලා හඩ නැගීමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ප්‍රමාණවත් කිසිවක් නොකලේය. ආබා කොස්තා පියතුමාව මරා දැමීම ගැන ප්‍රදේශයේ ප්‍රකට දේශපාලකයෙකුටද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද එල්ලවූ චෝදනා ගැන පරීක්ෂණයක් සිදුකලයුතුව තිබුණි. එහෙත් ඒ සම්බන්දයෙන් කිසිවක් සිදුනොවීය. 



1995 ජුලි 09 වෙනිදා යාපනේ නවාලි සා. පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දැමීම නිසා පල්ලියේ සිටි 125 දෙනෙක් මිය ගියේය. යාපනේ රදගුරුවරයාගේ සහ ද්‍රවිඩ දේශපාලන බලවේගවල දැඩි බලපෑම නිසා  ඒ ගැන සොයාබැලීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය කොමිසමක් පත්කළේය. එම කොමිසමෙන්ද වැඩක් නොවිණි. එම කොමිසමේ අවසන් නිගමන ගැන එම ප්‍රදේශයේ ජනයාගේ අදහසවුයේ ''අපි අපටම බෝම්බ ගහගත්තා'' වැනි අදහසක් කොමිසමේ වාර්තාවෙන් කියවෙන බවය. එම බෝම්බ ප්‍රහාරය සම්බන්දයෙන් මෙන්ම, කොමිසමේ නිගමන ගැනද, අදාල වරදකරුවන්ට එරෙහිව ක්‍රියා නොකිරීම ගැනද එල්ලවූ විරෝධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් 1995 දෙසැම්බරයේදී යාපනේ අල්ලාගැනීමත් සමග ඇතිවූ විජයග්‍රාහී මානසිකත්වයත් සමග යටපත්කර දමන ලදී.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී හලාවත ධීවර උද්ගෝෂණයකදී මරා දැමු හලාවත ඇන්ටනී සම්බන්දයෙන්ද, කටුනායකදී මරා දැමු රොෂේන් චානකව මරාදැම්මා සමබන්දවද, රතුපස්වලදී එල්ලවූ හමුදා ප්‍රහාරයෙන් බේරීම සදහා පල්ලිය ඇතුලට පැමිණි සිටි මිනිස්සුන්ටද ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පල්ලිය ඇතුලට පැමිණ ලේ හැලෙන තුරු පහරදීම ගැනද, ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් විරෝධයක් සහ ශක්තිමත් ක්‍රියා මාර්ගයකට නොඑලබෙන ලදී. එම මරණ ගැන කාදිනල් රන්ජිත් මැල්කම් ඒ සම්බන්දයෙන් අනුගමනය කලේ උදාසීන පිළිවෙතකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ පාස්කු ඉරුදින සාහසික කිතුනු සංහාරය නිසා විපතට පත් ජනයාට සියළු සහයන් සහ සහනයන් සපුරමින් සිටියද, යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමට මැල්කම් රන්ජිත් කාදිනල්  ප්‍රමුඛ ලංකා කතෝලික සභාව ප්‍රමාණවත් ලෙස සක්‍රියව දායක වෙන බවක් නොපෙනේ. එය අපේ ජනයා තවත් අනතුරකට ගොදුරුවීමට ඇති ඉඩකඩ නොවැලක්වීමකි.

ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාට සහ ශ්‍රී ලංකා කතෝලික සභාවට   හිමිවිය යුතු පැසසුම්, ප්‍රසංසා එතුමාට ලබාදීම අවශ්‍ය දෙයකි. විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග රටතුල වර්ගවාදී ගැටුම් ඇතිවීම වැලක්වීමට කටයුතු කිරීමට ඔවුන් දැක්වූ මැදිහත්වීම විශේෂයෙන්ම අගය කලයුත්තකි.

ඒහෙත් අප අමතක නොකළ යුත්තේ ලංකාවේ මුල්ම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්වරයා යනු  වර්තමාන කාදිනල් රන්ජිත් මැල්කම්ට පමණක් නොව අද ලංකාවේ කතෝලික සභාවටද මහගු පරමාදර්ශී නායකත්වයක් දුන්න තැනැත්තෙක් බවය. කුරේ කාදිනල්තුමා දේශපාලකයන් පස්සේ ගියේ නැත. කොටින්ම, සිය ජීවිතකාලය පුරාම රටේ අගමැතිවරයාව සහ රාජ්‍ය නායකවරයාව (විලියම් ගොපල්ලව ව) මුණගැසී ඇත්තේ දෙපාරකි.  ඔහු දේශපාලකයින්ට බැන බැන සිටියේ ද නැත. ඔහු  ශ්‍රී ලංකා කතෝලික සභාව ගොඩනැගීමට සිය මුළු ශක්තියම යෙදවීය. පදවි පියතුමන්ලාව බිහිකිරීමටද, ජාතික දෙව්සත්හල් සැදීමටද, තේවත්ත ජාතික බැසිලිකාව වැනි පල්ලි හැදිමටද, ගුරු විදුහල් බිහිකිරීමටද, කතෝලික පාසැල් බිහි කිරීමද, ගොවිපොළවල් බිහිකිරීමටද ඔහු කටයුතු කළේය.

1962 කුමන්ත්‍රණය දඩමීමාකරගෙන කතෝලික ආගම ඇදහු නිලධාරීන් රජයේ ඉහල තනතුරුවලින් අයින් කරද්දී ඒ අයට අවශ්‍ය නීතිමය කටයුතුවලට ඔහු උදව් කළේය. කතෝලික පාසැල් රජයට පවරාගෙන කතෝලික ජනයාගේ අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා දැනුම මොටකර දැමීමට කටයුතු කරද්දී ඒ සම්බන්දයෙන් විවිධ ක්‍රියාමර්ග ගත්තේය. සභාවේ ගිහි පැවැදි සංවිධාන කැදවා උද්ගතවී ඇති තත්වය ගැන සාකච්ඡා කලේය. රෝහල්වල, පාසැල්වල ඇප උපස්ථාන කටයුතු කල, ඉගැන්වීම් කටයුතු කල විදේශීය සිස්ර්ලා, පියතුමන්ලාගේ වීසා තහනම්කර රටින් පිටුවහල් කිරීමට සිරිමා බණ්ඩාරනායක රජය කටයුතු කලවිට අඩුම තරමින් ඔවුන්ගේ වීසා අවසන්වනතුරු හෝ ඔවුන් මෙරට රදවා තබාගැනීමට ඔහු  සටන් කලේය. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට කඩදාසි නොදී එම පත්තරය වසා දැමීමට ආණ්ඩුව උපක්‍රම යොදද්දී ඊට වඩා උපායශීලීව කඩදාසි පමණක් නොව මුද්‍රණ යන්ත්‍ර පවා ගෙන්වා ගැනීමට  කාදිනල් කුරේ පියවර ගත්හ. එතුමා ඔහුගේ ඥාතීන් කිසිවෙකුට ඔහුගේ තනතුරුවලින් කිසිම ලාභයක් ලබාගැමීමට ඉඩ දුන්නේ නැත. එවැනි වාසි සලසාගැනීමට ක්‍රියාකල ජයමාන්න කෙනෙකුට සිදුවූදෙයක් පිලිබදව මීගමුවේ ජනයා දනී. කාදිනල් කුරේ මිශ්‍ර විවාහවලට ඉතාම තදින් විරුද්ධවූ බව සත්‍යකි. ඒ තමන්ගේ ප්‍රජාව දිය නොවී ආගමික විශ්වාසය තුල රැකගැනීම සදහාය. එතුමා කතෝලිකයින් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය විය යුතුයි ඉතා තදින් පේනවා දුන්නේ අනාගතයේ තම ප්‍රජාව සංස්කෘතික වශයෙන්එහෙටත් නැති මෙහෙටත් නැති පිරිසක් හෙවත් ගන්දබ්බ තත්වයකට පත් නොවීම සදහාත්, අපේ අනන්‍යතාවය රැකගැනීමේ වැදගත්කමක් ඇති බව දුටු නිසාත්ය. එවැනි ප්‍රවේශයක් අද වෙනදාට වඩා අවශ්‍යය බව කාදිනල් මැල්කම් රන්ජිත් ඇතුළු ලංකා කතෝලික සභාව තේරුම්ගත යුතුව තිබේ. 



ලංකාවේ අංක එකේ සිංහල-බෞද්ධ ජාතිවාදියෙක් වන චම්පික රණවක මහතා පසුගියදා දෙරණ 360ට වැඩසටහනේදී කියා සිටියේ  පෘතුගීසින් මුස්ලිම්වරුන් මරද්දී බේරාගත්තේ සිංහල රජවරුන් බවත්, ලන්දේසීන් කතෝලිකයින්ව රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට බැදෙන්නට කියලා බලපෑම් කරද්දී මාතලේ දිස්ත්‍රික්කයේ වහකෝට්ටේ ගමට පැමිණි පවුල් 24ට ආරක්ෂාව දුන්නේ සිංහල රජවරුන් බවත්, සිංහල රජවරු හැමදාම එසේ  සුළු ජාතීන්  අරාක්ෂා කල බවත් දැක්වීය. එහෙත් ඒ කතාව තවත් කියන්නට දැන් නොහැක. අද එහෙම සිංහල රජවරු නැත. එය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී හොදටම පෙනුනි. ප්‍රහාරයක් එල්ලවෙන බව පමනක් නොව, එල්ලවෙන්නේ පල්ලිවලට බවද දැන දැන ක්‍රිස්තියානීන් මරාදැමීමට ඉඩදී ශ්‍රී ලංකා රාජ්‍ය බලධාරීන් සහ නිලධාරීන් බලාසිටියහ. කිතුණුවන්ව දැන දැන බිල්ලට දුන්හ. අහිංසක මිනිස්සු සිය ගණනින් මැරි යන්නට ඉඩදී බලන් උන්හ. 
අපි කොතරම් සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් අපේ උපරිමදායකත්වය උපරිමයෙන් ලබාදෙමින් රට ජාතිය දියුණු කිරීමට කොතරම් කැපවීමෙන් ක්‍රියාකලද, ඔවුහු අපිට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නේ නැත. අපේ ජනයාගේ දක්ෂකම් මත කණ්ඩායමට එක්වුවද,  ඒකී කණඩායම් තුල හොදින් ක්‍රීඩා කරමින් දිනවා දුන්නද, කණඩායමේ නායකයා කිතුනුවෙක් වෙනවා දැකීමට ඔවුහු අකමැතිය. කණ්ඩායමේ ක්‍රීඩකයන් ''පිතා පුත්‍රයා දානවාට'' (කුරුස ලකුණ අදිනවාට) ඔවුහු ඇමතිය. මුළුරටම මර බීයෙන් එලියටවත් බහින් නැතිව වෙසක් කලාප පවා තහනම් කරපු අවස්ථාවේ, ''අපේ පාස්කුව අපිට නැතිවුනාට අපි උබලාගේ වෙසක් නැතිවෙන්න ඉඩ තියන්නේ නැහැ'' යැයි කියා කිතුනු කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ පල්ලිවලත් වෙසක් කූඩු සදා උපරිමයෙන්ම වෙසක් උත්සවය සමරන්නට කටයුතු කරනවාට ඔවුහු කැමති නැත. වෙසක් කූඩුවේ කුරුසේ ගැහැව්වේ ඇයි? කියා ඔවුන් ප්‍රශ්න කරති. සමහර තැන්වල එසේ කුරුස ලකුණ යෙදු කූඩු ගිනි තබා තිබේ. පල්ලිවල පවා වෙසක් කූඩු හදමින් වෙසක් සැමරූ කිතුනු කෙල්ලෝ කොල්ලන්ගේ මහන්සියට හිස නමා ස්තූතියි කියනවා වෙනුවට ඔවුහු ''අපේ ධර්මචක්‍රය පල්ලියට ගියේ කෙසේද?'' කියා ප්‍රශ්න කළේය.

ලාංකික කිතුනුවා ජීවත්වන්නේ මෙවැනි වටපිටාවක බව පැහැදිලිවම අවබෝධකර ගත යුතුය. ඔවුන්ට යුක්තිය දිනාදීමට කාදිනල් මැල්කම් රන්ජිත් ප්‍රමුඛ ලාංකික කතෝලික සභාව අසමත්නම් ඔවුන්ට යුක්තිය සහ සදාරණත්වය දිනා දෙන්නේ කවුද? මියගිය අපේ සහෝදර සහෝදරියන්ට පමණක් නොව ජීවත්වී සිටින කිතුනුවන්ටවත් යුක්තිය ඉටුකරන්නේ කවදාද?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/05/2019 


4 comments:

  1. In 30 years of war all Sri Lankan suffered, not only Catholics.

    We could ask the same question about lot of people (like 600 Policemen), this is not the time to start divisive politics in the name of Catholics.

    If you must, ask the question about all missing Sri Lankans.

    ReplyDelete
  2. Well, I know we all have various issues to raise, indeed, and we all should, otherwise society will not overcome its inhumane acts.

    ReplyDelete
  3. Any government must protect n care all citizens of country
    Give chance to reveiw real matters
    Need JUSTICE

    ReplyDelete