This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 19 May 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව- තෙවන කොටස

ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා දිනපතා ලියන ''දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත්'' සාකච්චා කරණ ලිපි එකතුවේ තුන්වන කොටස පහතින් පළවේ. මෙම ලිපි එකතුවේ 1 සිට 7 දක්වා වූ මුල් කොටස ඉකුත් මැයි මස 05වෙනිදා පලවිය. එය මෙම යොමුව ඔස්සේ කියවිය හැක. 8 සිට 13 දක්වා වූ දෙවන  කොටස පසුගිය බදාදා (13/05/20) පලවිය. එම කොටස මෙම යොමුවට පිවිසීම ඔස්සේ කියවිය හැක. දෙවන කොටස තුල එතුමා සාකච්චාකල ''ශුද්ධවූ කතෝලික සභාව විසින් දේවමාතාවන්ට ලබාදී ඇති අනෙකුත් විශේෂ නාමයන් කීපයක් පිළිබඳව දැනුවත්'' කිරීම මෙම කොටස තුලද අඛණ්ඩව දිග හැරේ. මේම තෙවන කොටස මැයි මස 14වෙනිදා සිට අද (19/05) දක්වා එතුමා ලියූ ලිපිවලින් සමන්විතය. දේවමාතාවන්ට කැපකල මේ මැයි මාසය අවසන් වන තෙක්ම එතුමා දේවමෑණියන්ට  ලබා දී ඇති එක එක නාමයන් පිලිබදව ලිපි පලකරණු  ඇත.  

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි. විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි.

******************************************************


14. "ජපමාලයේ අප මාතාවෝ" - "Our Lady of the Holy Rosary". 
=============================================
"රාජේශ්වරී" යන නාමයත් සමග දේවමාතාවන් හා සම්බන්ධ වූ විශේෂ නාමයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත් අප දැන් පිවිසෙන්නේ කතෝලික සභාවේ දේවමාතා බැතිය හා පවතින විශේෂ භක්ති අභ්‍යාසයන් හා බැඳුණු දේව මෑණියන් ලත් විශේෂ නාමයන් කීපයක් පිළිබඳව දැනුවත් වන්නටය. ඒ අතරෙන් අප පළමුව පිවිසෙන්නේ "ජපමාලයේ අප මාතාවෝ" යන නාමය පිළිබඳව දැනුවත් වන්නට ය.

ජපමාලය උච්චාරණය කිරීම කතෝලික ජනතාව අතර පවතින විශේෂ යැදුම් අභ්‍යාසයක් වන අතර එය දීර්ඝ කාලයක් පුරා පැවත ගෙන එන යැදුම් මෙහෙයකි. දේවමාතාවන්ට "ජපමාලයේ අප මාතාවෝ" යන නාමය ලැබීම හා කතෝලික සභාවේ ජපමාල මාතාවන්ගේ මංගල්‍යය සැමරීම හා සම්බන්ධව විශේෂ සිද්ධීන් දෙකක් ඇති බව අපි දකින්නෙමු.

1. ප්‍රංශයේ ධර්මදූත සේවාවේ ප්‍රධාන වශයෙන්ම නිරතව සිටියේ ඩොමිනිකන් නිකායෙහි ගරු පියවරුන්ය. වර්ෂ 1206 දී ප්‍රංශයේ ප්‍රොයිල් (Prouille) නැමති ප්‍රදේශයේ ජීවත් වූ 'ඇල්බිගනේසියන්' (Albigenesian) නැමති ආදි ජනතාව නැවතත් කතෝලික දහම සඳහා රැගෙන ඒමට ශුද්ධවූ ඩොමිනික් මුනිතුමන්ට අවශ්‍ය විය. නමුත් මෙම ජනතාවගේ නූගත්කම නිසා එම කාර්යය කිරීමට ශු. ඩොමිනික් මුනිතුමාට අපහසුවිය. එවිට දේවමාතාවන් ශුද්ධවූ ඩොමිනික් මුනිතුමන්ට දර්ශනයවී ජපමාලය ලබාදී ඇති බවත්, එම ජපමාලය උච්චාරණය කිරීමේ භක්ති අභ්‍යාසයට ඔවුන් යොමු කිරීම තුළ නැවතත් ඔවුන්ව කතෝලික දහමට රැගෙන ඒමට ශුද්ධ වූ ඩොමිනික් මුනිතුමන්ට හැකිවූ බවත්, ඩොමිනික් සම්ප්‍රදාය තුළ කියැවේ. ජපමාලයක් ලබාදීම නිසා එම මාතාවන් "ජපමාලයේ අප මාතාවන්" ලෙස හඳුන්වන ලදී.

2. පහලොස් වන ශතවර්ෂයේදී තුර්කියේ 'ඔටෝමාන් සුල්තාන්' අධිරාජ්‍යයා (Ottoman Sultan) ඉතා ප්‍රබල යුධ නායකයෙකු ලෙස සිටි බව ඉතිහාසය තුළ අපි දකින්නෙමු. ඔහු විසින් ඉස්ලාමීය හමුදාව සමඟ ඉතාලිය ආක්‍රමණය කිරීමට පැමිණුන විට දී, වර්ෂ 1571 දී පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන්, ස්පාඤ්ඤයේ සහ අනෙකුත් ක්‍රිස්තියානි රටවල උදව්ව ඇතිව ඔහුගේ ආක්‍රමණයට විරුද්ධව නැගී සිටි ඇති බව පැහැදිලිය. විශේෂයෙන්ම සයිප්‍රසයේ සිරවී සිටි ක්‍රිස්තියානින් බේරා ගැනීමත්, ඉතාලිය ආක්‍රමණය කිරීමට ඔවුන්ට ඉඩ නොදීමත් පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් ගේ අභිලාෂය විය.

මේ සඳහා ඉතාලියේ මෙසිනා හා සිසිලියා වරායන් අසලින් යුදනැව්, 1571 ඔක්තෝම්බර් මස 7 දා පිටත්ව ගිය අතර එම නාවික හමුදාව හඳුන්වන ලද්දේ 'ශුද්ධවූ සේනාංකය' (Holy League) ලෙසය. ඉතාලියේ ලෙපන්තො හිදී ඔටෝමාන් ගේ නාවික හමුදාව සමග යුද්ධයකට යොමුවූහ. මෙය හඳුන්වන්නේ 'ලෙපන්තෝ යුද්ධය' ( Battle of Lepanto) ලෙසය. යුද්ධය යන අතරතුර සියලුම කතෝලික ජනතාවට ජපමාලය උච්චාරණය කරන ලෙස ශුද්ධෝත්තම පියාණන් ඉල්ලා සිටි අතර, යුද්ධය ජය ගනු සඳහා රෝමයේ ජපමාල රැලියක් ද පවත්වන ලදී. පැය 5 ක යුද්ධයකින් පසුව 'ශුද්ධවූ සේනාංකය' ජයගත් අතර දේවමාතාවන්ගේ මැදිහත් බව එහිදී අත්දුටු බැවින් දේවමාතාවන් "ජයග්‍රහණයේ මාතාවෝ" (Our Lady of Victories) ලෙස හඳුන්වන ලදී. අදටත් 'ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය' ලෙස පාසලක් මොරටුවේ ඇත.

එබැවින් පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මුලින්ම "ජයග්‍රහණයේ මාතාවන්ගේ මංගල්‍යය" සැමරීම ආරම්භ කරන ලදී. 1573 දී දොළොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් "ජයග්‍රහණයේ මාතාවන්ගේ මංගල්‍යය", "ජපමාල මාතාවන්ගේ මංගල්‍යය" ලෙස වෙනස් කළ අතර පළමුව එය සමරන ලද්දේ ඔක්තෝබර් මස පළමු ඉරිදාය. මෙම මංගල්‍යය පළමුව රෝමයේ හා ස්පාඤ්ඤයේ සැමරූ අතර 1671 දී දහවන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් මුළු ලෝකය පුරාම සමරනු ලබන මංගල්‍යයක් බවට එය පත් කරන ලදී. 1913දී දහවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙය ඔක්තෝබර් 7 සමරනු ලබන මංගල්‍යයක් බවට පත් කරන ලදී.

අද අප ද නපුර සමග, අදෘශමාන, අයහපත් බලවේග සමග නිරතුරුවම සටන් කරන නිමා නොවන යුද්ධයකට මැදිවී සිටිමු. "ජපමාලයේ අප මාතාවන්" අප කැඳවන්නේ එම යුද්ධය ජය ගැනීමට ය. ජපමාලයේ බලය ඒ තුළ අප අත්දැකිය යුතුය. "ජපමාලයේ අප මාතාවනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 14/05/2010).

15. "සදාසරණයේ මාතාවෝ" - 'Mother of Perpetual Help". 
========================================
දේවමාතා බැතිය අතර ලෝකය පුරා ඉතා සුප්‍රසිද්ධ වූ මරිය මාතා බැතියක් ලෙස 'සදාසරණ නුවානය' හැඳින්විය හැක. එසේම මරිය තුමිය හා සම්බන්ධව ඇති විවිධ නිර්මාණයන් අතර බොහෝ දේව ධාර්මීක ඉගැන්වීම් අඩංගු වූ නිර්මාණයක් ලෙසද 'සදාසරණ මාතාවන්ගේ පින්තූරය' සැළකිය හැක. එබැවින් පළමුව මෙම පින්තූරය පිළිබඳවද, එම පින්තූරය හා බද්ධ වූ සදාසරණ බැතිය පිළිබඳවද යම් දැනුමක් ලබා ගැනීමට අපි යොමු වෙමු.

කතෝලික සභාවේ දේවස්ථාන වල ප්‍රතිමා සහ විවිධ පින්තූර තිබුණද, පෙරදිග ඕතඩොක්ස් කිතුනු සභාවේ (Eastern Orthodox Church) දේවස්ථානවල ප්‍රතිමා නොමැති අතර ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, මරියාවන්ගේ හා අපෝස්තුළුවරුන්ගේ පින්තූර පමණි. එම පින්තූර 'අයිකොන්' (Icon) ලෙස හදුන්වන අතර ඒ සියල්ල ඉතා අලංකාර ලෙස සිතුවම් කොට, එම දේවස්ථාන වල අදටත් විරාජමානව ස්ථාපිත කර ඇති අයුරු අපට දැක ගත හැක. එම පිංතූර හා බැඳුණු විශේෂ යෙදුම් මෙහෙයන් අදටත් එම දේවස්ථාන වල සිදුවේ.

කොන්ස්තන්තිනෝපල් නගරය (වර්තමානයේ ඉස්තාන්බුල්) කේන්ද්‍රකොටගෙන බයිසන්ටයින් අධිරාජ්‍යය ( Byzantine Empire) ගොඩ නැගුණු අතර, ක්‍රිස්තු වර්ෂ 330 සිට 1453 දක්වා එය පෙරදිග රාජ්‍යයන් පාලනය කළ අතර එම සමයේදී බොහෝ දේවස්ථාන ගොඩනැගුණු අතර කිතුනු දහම කේන්ද්‍රකොටගත් කලා නිර්මාණ රාශියක් බිහි විය. සදාසරණ මාතාවන්ගේ පින්තූරයද පෙරදිග ඕතඩොක්ස් සභාවට අයිති ග්‍රීසියේ ( Keras Kardiotissas Monastery) කෙරාස් තාපසාරාමයේ දී නිර්මාණය වූ 'බයිසැන්ටයින් පින්තූරයක්' ( Byzantine Icon) ලෙස සලකනු ලැබේ. අප මෙය 'සදාසරණ මාතාවන්ගේ' පින්තූරය ලෙස හැඳින්වූවද, මෙම පින්තූරය තුළ ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා සම්බන්ධ බොහෝ කරුණු අඩංගු නිසා මෙය පෙරදිග ඕතඩොක්ස් සභාව විසින් හඳුන්වනු ලබන්නේ "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමේ කන්‍යා දේවමාතාව" ( Virgin THEOTOKOS of the Passion) ලෙසය. එබැවින් මෙම පින්තූරයේ ඇති විවිධ සංකේත හා ඒ තුළ ගැබ්ව ඇති අරුත වටහා ගන්නට උත්සාහ කරමු. 

1. 17" x 21" ප්‍රමාණයට සකස් කරන ලද මෙම පින්තූරය අල්තාරයේ තැබීමට අවසර නැත. 
2. දේවමාතාවන් පැළඳගෙන සිටින ඇතුළත ඇති ඇඳුම රතුපාටය. බයිසන්ටයින් අධිරාජ්‍යයේ රැජින අඳින ලද්දේ මෙම පාටින් යුතු ඇඳුම් ය.
3. මරිය තුමිය ජනතාව දෙස බලා සිටින අතර ඇයට තුරුළුව සිටින්නේ දුක් ප්‍රාප්තිය හා කුරුසියේ මරණය සංකේතවත් කරන දෑ දුටු, බියපත් වූ ජේසු පුතණුවන්ය. ජේසු පුතණුවන්ගේ බිය උන්වහන්සේගේ පයෙහි තිබූ පාවහන් වැටීම තුල ද ප්‍රකාශ වේ. 
4. මරියාවන්ගේ අතින් ජේසුගේ අත අල්ලා සිටීම තුළ, නිරතුරු ව ම උන්වහන්සේ ගේ සහයට මරියාවන් සිටිය බව ප්‍රකාශ වේ.
5. ජේසු පුතණුවන්ගේ සිරුර හා මරිය මාතාවන්ගේ සිරුර සංසන්දනය කරන විට මරිය මාතාවන්ගේ සිරුර ප්‍රමාණයෙන් විශාලය. ඇයට සාමාන්‍ය මිනිස් ජීවිතයට වඩා උසස් ජීවිතයක් හිමිව තිබූ බව ඉන් ප්‍රකාශ වේ.
6. ඇයගේ කුඩා මුඛය තුළින් ඇය ස්වල්පයක් පමණක් කතා කළ මාතාව බව කියවේ. 
7. ඇයගේ හිසට උඩින් ඇති MP - ΘΥඅකුරු තුළින් මරියාවන් 'දේවමාතාවන්' (THEOTOKOS) යන්න ප්‍රකාශවේ.
8. මරියතුමියගේ වම් පැත්තේ සිටින්නේ ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූතයායි. OAM යන ග්‍රීක මුල් අකුරෙන් එය ප්‍රකාශවේ. ශුද්ධවු මිඛායෙල් අග්‍රදූතයාගේ අතේ ඇත්තේ ඇලයට අනින ලද හෙල්ල සහ ජේසුගේ මුවට ළං කළ තිත්ත විනාකිරි පෙඟවූ මුහුදහත්ත ගසා තිබූ බටලී යයි.
9. මරියාවන්ගේ දකුණු පැත්තේ සිටින්නේ ශුද්ධ ගාබ්‍රියෙල් දේව දූතයා වන අතර ඒ අසල ඇති OAΓයන ග්‍රීක අකුරු තුළින් එය ප්‍රකාශවේ. ඔහු අත ඇත්තේ කුරුසිය සහ ඇණ තුනයි.
10. මරියාවන්ගේ නළල මත ඇති තරුව මගින් ඇය මුහුදේ දිලෙන තරුව බවත්, නළල මත ඇති කුරුසිය මගින් මෙම පින්තූර නිර්මාණය කළ ග්‍රීක තාපසාරාමයත් සංකේතවත් වේ 
11. IC - XC යනු ජේසුස් වහන්සේ හැඳින්වීම සඳහා භාවිතා වූ ග්‍රීක මුල් අකුරු වේ.
12. මෙහි පසුබිම රත්තරන් පාටින් නිර්මාණය වී ඇති අතර එය දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබිඹු කරන්නක් වේ.

ග්‍රීසියේ තාපසාරාමයේ තිබූ මෙම පින්තූරය වෙළඳාමේ යෙදුණු යම් පුද්ගලයකු විසින් 'සොරකම්' කරගෙන රෝමයට ගෙන ආ බවත්, ඔහුගේ නිවසෙහි එය ඔහු ස්ථාපිත කරගෙන තිබූ බවත් ඉතිහාසය තුළ සඳහන්වේ. පසුව 1499 මාර්තු 27 වැනිදා එය කතෝලික සභාවට ඔහු විසින් භාර දුන් අතර පළමුව එය අවුරුදු තුන්සියයක් පුරා රෝමයේ ශු. මතෙව් දේවස්ථානය තැන්පත් කර තිබුණි. ඉන්පසුව එය දිව්‍ය ගැළවුමිකාරයාණන් ගේ නිකායෙ ගරු පියවරුන්ට ලැබුණු අතර එය වර්ෂ 1866 සිට රෝමයේ ශුද්ධ වූ අල්ෆොන්සුස් මුනිඳුන්ගේ දේවස්ථානයේ තැන්පත් කර ඇත. අදටත් මෙම සදාසරණ මාතාවන්ගේ පින්තූරය එම දේවස්ථානයේ අපට දැකබලා ගතහැක.

1866 නමවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙම පින්තූරයේ අනුරූ සැදීමට දිව්‍ය ගැලවුම්කාරයාණන්ගේ නිකායෙ ගරු පියවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, ඔවුන් බොහෝ රටවලට එම අනුරූ සාදා බෙදා හරින ලදී. එලෙසම සදාසරන මාතාවන්ගේ නුවානය ආරම්භ කරන ලද්දේ ඒ සමගය.

අදටත් සදාසරණ නුවානය ට සහභාගි වන ඒ නිසාම දේවමාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ බහුලවූ වරප්‍රසාදය අත්දකින ජනතාව ලෝකය පුරා විසිරී සිටිති. "සදාසරණ මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද කරුණාකර මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 15/05/2020).

16. "අභිරහස්මක රෝස කුසුම මෑණියෝ" - " Mother Rosa Mystica" 
==============================================
'සදාසරණ නුවානය' මෙන්ම මෑත ඉතිහාසය තුළ කතෝලික ජනතාව අතර ඉතා ප්‍රචලිත වූ මරිය බැතියක් ලෙස 'අබිරහස්මය රෝස කුසුම මෑණියන්ගේ' යැදුම් මෙහෙය සැලකිය හැක. එබැවින් දේවමාතාවන්ට මෙම නාමය ලැබීම තුළ ඇති දේව ධාර්මික පනිවුඩය පිළිබඳව අපි දැනුවත් වෙමු. දේවමාතාවන් "රෝස කුසුම මෑණියන්" ලෙස හැඳින්වීමට පටන් ගත්තේ අද ඊයේ නොවේ. අපෝස්තුළුවරුන් පවා දේවමාතාවන්ව "අභිරහස්මක ක්‍රිස්තු දේහයේ මාතාවෝ" ලෙස හඳුන්වා ඇති බව බව අපි දකින්නෙමු. 12 වන ශතවර්ෂයේ දී පමණ ලියැවුණු 'දේවමාතා ප්‍රාර්ථනාව' තුළ දේවමාතාවන් 'රෝස කුසුම' ලෙස හැඳින්වූ හඳුන්වා ඇති බව අපට පෙනේ.

'Rosa Mystica' යනු ඉතාලි වදනකි. එහි අරුත නම් 'අබිරහස්මක රෝස කුසුම' යන්නයි. මෑත ඉතිහාසයේ අපට හමුවන 'අබිරහස්මක රෝස කුසුම මෑණියන්ගේ බැතිය' ඇරඹෙන්නේ ද ඉතාලියේ ලොම්බාර්දි කලාපයේ, බ්‍රෙෂියා පදවියේ, මොන්තිකියාරි (Montichiari) ගම්මානයෙනි. පියෙරිනා ගිල්ලි ( Pierina Gilli) උපන්නේ වර්ෂ 1911 අගෝස්තු 3 මොන්තිකියාරි ගම්මානයේ දුප්පත් පවුලකය. ඇය පුංචි කාලයේදීම ඇයගේ පියා මිය යන අතර, ඇය ඇති දැඩි වූයේ ගරු කන්‍යා සොහොයුරියන්ගේ පාලනය යටතේ තිබූ අනාථ මඩමකය. අධ්‍යාත්මීක පසුබිමක් තුළ ඇයගේ ජීවිතය ගොඩ නැගුණු අතර පැවිදි දිවියට පිවිසීමට ඉමහත් ආශාවක් ඇය තුළ තිබුණද, නිතර දෙවේලේ ඇය ගොදුරු වූ විවිධාකාර රෝග පීඩාවන් නිසා ඇයට එය කළ නොහැකි විය. එහෙත් ඉතාමත් ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයක් ඇය ගත කළ අතර, දේවමාතාවන්ට විශේෂ බැතියක් ඇයගේ හදවතේ තිබුණු අතර ඇය රෝහල් හෙද සේවිකාවක් ලෙස රැකියාවේ නිරතව සිටියාය.

වර්ෂ 1947 සිට 1966 දක්වා කිහිප වරක්ම දේවමාතාවන් ඇයට දර්ශනය වූ බව කියවන අතර ඉන් වැදගත් අවස්ථා කීපයක් මෙලෙස සනිටුහන් කළ හැක.

1947 වසන්ත සමයේ පළමු දර්ශනය, රෝහලේ ඇයගේ කාමරයේ සිදුවී ඇති අතර දේවමාතාවන්ගේ මුහුණ වේදනාවෙන් පිරී තිබුණු බවත්, එතුමිය ගේ හදවත කඩු තුනකින් සිදුරු වී තිබූ බවත් කියවේ. පළමු කඩුව තුළින් දේව කැඳවීම් නොමැති වීම නිසා ඇති වූ වේදනාවත්, දෙවන කඩුව තුළින් පූජක හා පැවිදි ජීවිත ගතකරන අයගේ අයහපත් ජීවිත පැවැත්ම නිසා ඇති වූ වේදනාවත්, තුන්වන කඩුව තුළින් පූජකවරයා හා පැවිදි වරය අත්හැර යන අය විශ්වාසය අත්හැර දැමීම හා සභා විරෝධීන් බවට පත්වීම නිසා ඇතිවන වේදනාවත් සංකේතවත් කළ බවට ප්‍රකාශ වුණි. එමනිසා යාඥාව, පශ්චත්තාපය හා පරිත්‍යාගය (Prayer, Penitence, Expiation) තුළ ජීවිත වෙනස් කිරීමට ජනතාව යොමු කරන මෙන් ඇයගෙන් දේවමාතාව ඉල්ලා සිටියාය.

1947 ජුනි 13 වන දින දෙවන දර්ශනය රෝහලේදී සිදුවූ අතර දේවමාතාවන්ගේ පපුව මත කඩු තුන වෙනුවට පාට තුනකින් යුත් රෝස මල් තුනක් දිස්වුනි. රෝස පාටින් යුත් මල තුළින් 'පරිත්‍යාගයේ ජීවිතයත්', සුදු පාටින් යුත් මල තුළින් 'යාඥාවේ ජීවිතයත්', කහ හෙවත් රන්වන් පාට මල තුළින් 'පශ්චාත්තාපයේ ජීවිතයත්' සංකේතවත් වුණි. එහිදී කතෝලික සභාවේ 'අලුත්' මරිය බැතියක් ලෙස මෙම 'අභිරහස්මක රෝස කුසුම මෑණියන්ගේ බැතිය' ආරම්භ කරන ලෙසත්, සියලුම පැවිදි හා පූජක ආයතන වල විශේෂයෙන්ම මෙම බැතිය සිදුකරන ලෙසත්, සෑම මසකම දහතුන් වන දින එම බැතිය ඉටු කරන ලෙස හා ජූලි13 දා 'රෝස කුසුම මෑණියන්ගේ මංගල්‍යය' පවත්වන ලෙසත් ඇයගෙන් දේවමාතාවන් ඉල්ලා සිටි බව කියැවේ.

ඉන්පසු අවස්ථා කිහිපයකදීම දේවමාතාවන් මෙම මොන්තිකියාරි ගම්මානයේ දර්ශනය වී ඇති අතර පියරිනා ගිල්ලි පමණක් නොව ගරු පූජාප්‍රසාදිවරුන්ද, ගරු කන්‍යා සොහොයුරියන් ද, එම ස්ථානයට එක්රොක් වූ ජනතාවද තම දෑසින් ම එය දැක ඇති බව කියවේ. එලෙස දර්ශනය වූ සෑම මොහොතකම ඇය දුන් පණිවුඩය නම් ලෝකය තුළ ඇති අශුද්ධ වූ පාපයට හිමි දඬුවමින් ගැලවෙනු සඳහා යාඥාව, පශ්චත්තාපය හා පරිත්‍යාගය තුළ ජීවිත වෙනස් විය යුතු බව ය. විශේෂයෙන්ම පූජක හා පැවිදි වරුන්ගේ ජීවිත තුළ ඇතිවිය යුතු වෙනස හා ඒ තුලින් ජනතාව අත් දැකිය යුතු වෙනස ගැන ඇය ප්‍රකාශ කර ඇත.
1966 අප්‍රේල් 17 වන දින රෝස කුසුම මෑණියන් නැවතත් පියරිනා ගිල්ලිට දර්ශනය වී රෝගීන් සුවපත් කරන දිය උල්පතක් පිළිබඳව සඳහන්කර ඇත. අදටත් එම ස්ථානයේ එම දිය උල්පත අපට දැකගත හැක. වසර ගණනාවක් යන තුරු කතෝලික සභාව නිල වශයෙන් පියරිනා ගිල්ලි ලැබූ මෙම දර්ශනයන් නිල වශයෙන් පිළිගත්තේ නැත. නමුත් 'අභිරහස්මක රෝස කුසුම මෑණියන්ගේ බැතිය' ලෝ පුරා පැතිරුණු අතර විශේෂයෙන්ම ඒ තුළ පූජක හා පැවිදි වරුන් වෙනුවෙන් යාඥා කිරීමට ජනතාව යොමුවිය. 2019 දෙසැම්බර් 07 ඉතාලියේ බ්‍රේෂියා පදවිය මොන්තිකියාරි ගම්මානයේ දේවමාතාවන් දර්ශනය වූ තැන 'රෝස කුසුම මෑණියන්ගේ සිද්ධස්ථානයක්' බවට පත් කරන ලදී. අදටත් එම මාතාවන්ගේ මැදිහත් බව තුළ පිහිට ලැබූ දස දහසක් ජනතාවගේ සාක්ෂි ලොව පුරා ඇත.

රෝස කුසුම් මෑණියන් අපවද අද දවසේදී කැඳවන්නේ, යාඥාව, පශ්චාත්තාපය හා පරිත්‍යාගශීලී දිවිපෙවතක් හරහා මුළු ලෝකයම වෙනස් කිරීමටය. "අභිරහස්මක රෝස කුසුම් මෑණියනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.

ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 16/05/2020). 
17. "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාව" - "Mary Mother - Help of Christians". 
==============================================
දේවමාතාවන් සම්බන්ධයෙන් භාවිතා කරන නාමයන් අතර "ජපමාලයේ මාතාවෙනි" හා "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවෙනි" යන නාමයන් අතර යම් බැඳියාවක් ඇති බව අපට දැකගත හැක. එනමුදු "ජපමාලයේ මාතාවනි" යන්න අප අතර ජනප්‍රිය වු දේවමාතා නාමයක් වූවද "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවෙනි" යන නාමය ගැන ද, ඒ තුළ සැඟවී ඇති අරුත ගැන ද අප බොහෝ දෙනෙක් නොදනිති.

සභා පියවරුන් විසින් මරියාවන් හැඳින්වීමට භාවිතා කළ පොදු නාමය වූයේ "දේව මාතාව" (THEOTOKOS - තෙයටොකොස්) යන්නයි. එනමුත් 'තෙයටොකොස්' මෙන්ම "බොඑතෙයියා" (BOETHEIA) යන ග්‍රීක නාමයද සභා පියවරුන් විසින් මරියාවන් හැඳින්වීමට යොදාගෙන ඇති බව පැහැදිලිය. "බොඑතෙයියා" යන ග්‍රීක පදයේ තේරුම "සහයවන්නා" ( Helper) යන්නයි. 

තුන්වන ශතවර්ෂයේ ලියැවුණු පැපයිරස් ලිපියක මරියාවන් සම්බන්ධ යැදුමක දී ඇයව හඳුන්වා ඇත්තේ 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාරය' ලෙසය. මුලින්ම දේවමාතාවන් "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාව" ලෙස හැඳින්වීමට යොමුවූ සභා පියා වන්නේ ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටම් මුනිතුමාය. උන්වහන්සේ මරියාවන් හැඳින්වීම සඳහා නිරතුරුවම 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාරය' යන්න භාවිතා කර ඇති බව ඉතිහාසය තුළ පැහැදිළි ය. එතුමියට මෙම නාමය ලැබීම සහ එම නාමයෙන් එතුමියගේ මංගල්‍යය සමරන දිනය සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතා විශේෂ සිද්ධීන් දෙකකි.

1). මීට ඉහත ද දැක්වූ පරිදි පහළොස් වන ශතවර්ෂයේ දී තුර්කියේ ඔටෝමාන් සුල්තාන් අධිරාජ්‍ය ඉතා ප්‍රබල ඉස්ලාමීය යුද්ධ ආක්‍රමණිකයෙකු ව සිටි අතර ඔහුගේ අභිලාෂය වූයේ යුරෝපය ආක්‍රමණය කොට ක්‍රිස්තියානි රාජ්‍යයන් බිඳ දැමීමය. වර්ෂ 1571 දී ඉතාලිය ආක්‍රමණය කිරීමට ඔහු පැමිණුනු විට දී එවකට සිටි පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන්, ස්පාඤ්ඤය සහ අනෙකුත් ක්‍රිස්තියානි රටවල් වල හමුදා ශක්තිමත් කොට ඔහු සමග ඉතාලිය බේරා ගැනීම සඳහා යුද්ධයට පිවිසුණි. මෙම යුද්ධය 'ලෙපන්තෝ යුද්ධය' (Battle of Lepanto) යනුවෙන් හැඳින්වුණ අතර කතෝලික ජනතාව සියලු දෙනා යුද්ධය ජය ගනු සඳහා ජපමාලය උච්චාරණය කරන ලදී. 

'ශුද්ධවූ සේනාංකය' (Holy League) හෙවත් ක්‍රිස්තියානි හමුදා යුද්ධය ජයගත් අතර එය සිදුවූයේ දේවමාතාවන්ගේ මැදිහත් බව තුළ සියලු දෙනා විශ්වාස කළහ. එමනිසා දේවමාතාවන් "ජයලත් අප ස්වාමි දුව", "ජපමාලයේ මාතාව" හා "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාව" යන නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරන්නට කතෝලික සභාව යොමු විය. දේවමාතා ප්‍රාර්ථනාවට "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාරයෙනී" යන්න පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් එකතු කළේ මෙම සිද්ධියත් සමගය.

2). ප්‍රංශයේ පළමුවන නැපෝලියන් අධිරාජයා වතිකානුව ආක්‍රමණය කොට හත්වන පයස් ශුද්ධෝත්තම පියාණන් 1808 ජූනි මස 02 දින සිරකරුවකු ලෙස ප්‍රංශයට රැගෙන යන ලදී. මෙම සමය සභාව විවිධාකාර තාඩන පීඩනවලට ගොදුරු වූ සමයක් විය. කතෝලික ජනතාව ශුද්ධෝත්තම පියාණන්ට නිදහස පතා ජපමාලය උච්චාරණය කිරීමට යොමුවිය. වසර පහකට ආසන්න කාලයක් සිරකරුවකු ලෙස ප්‍රංශයේ සිටි හත්වන පයස් ශුද්ධෝත්තම පියාණන් 1814 මාර්තු 17 නිදහස ලැබීය. උන්වහන්සේ රෝමය දක්වා පැමිණි ගමන පුරාවට හමුවූ මරියාවන්ට කැප වූ විශේෂ සිද්ධස්ථානවල නැවතී දේවමාතාවන්ගේ ප්‍රතිමාවලට, උන්වහන්සේ ලැබූ වරප්‍රසාදවලට ස්තූතියක් වශයෙන් ඔටුනු පලඳවන ලදී. උන්වහන්සේ රෝමයට පිවිසියේ 1814 මැයි 24 දින දීය.

රෝමයට උන්වහන්සේ පිවිසීමත් සමඟ උන්වහන්සේ සහ කතෝලික සභාව අත්දුටු වේදනාවන් සිහිකරනු සඳහා 'වික්ශෝප මාතාවන්ගේ මංගල්‍යය' සැප්තැම්බර් 18 දිනත්, 'ලෙපන්තෝ යුද්ධය' ජයගත් දිනයවූ ඔක්තෝබර් 7 'ජපමාල මාතාවන්ගේ මංගල්‍යය' සමරන දිනය ලෙසත්, උන්වහන්සේ නිදහස ලබා රෝමයට පිවිසි දිනය වූ මැයි 24 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවන්ගේ මංගල්‍යය' සමරන දිනය ලෙසත් ප්‍රකාශයට පත් කරන ලදී.

සභාව තුල 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවන්ගේ' බැතිය ලොව පුරා ප්‍රචලිත කළ විශේෂිත වූ සාන්තුවරයා වූයේ ශු. දොන් බොස්කෝ (1815 - 1888) මුනිතුමාය. උන් වහන්සේ විසින් 1868 දී ඉතා විශාල බැසිලිකාවක් 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවන්ගේ' නාමයෙන් ඉතාලියේ ටියුරින් හි ගොඩනගන ලදී. එසේම ගරු කන්‍යා සොහොයුරියන්ගේ අලුත් පැවිදි පන්තියක්, 'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවන්ගේ දියණියෝ' (The Daughters of Mary, Help of Christians) ලෙස ආරම්භ කරන ලදී. උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද සැලේසියානු නිකායේ ගරු පියවරුන්ට ලෝකය පුරා මෙම බැතිය ප්‍රචලිත කරන ලෙස ඉල්ලා සිටි අතර අද ද ඔවූහු සෑම රටකම එම දූත සේවාවේ නිරත ව සිටිති.

'ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාව' අද ද පාපයට එරෙහිව අප කරන යුද්ධයේදී ජයගැනීමට අවශ්‍ය බලය ද, කතෝලික සභාවට අදත් එල්ල වන විවිධ අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමට අවශ්‍ය බලය ද, දෙවි පියාණන් වහන්සේගෙන් අපට ලබා දෙන්නීය. "ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැන ගැනීම සඳහාද මෙම සටහන කරුණාකර SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 17/05/2020).

18. "අඩක්කල මාතාවෙනී - "පව්කාරයින්ගේ සරණයෙනී" - "Mother, Refuge of Sinners".
==============================================
"කානික්ක මාතාව" සේ දමිළ පදයක් සමග සිහල භාෂාව තුළ දේවමාතාවන් අමතන අනෙක් නාමය "අඩක්කල මාතාවෙනී" යන නාමයයි. "අඩක්කල" යන දමිළ වචනයේ තේරුම 'සරණාගතයින්ට සරණය වූ' යන්නයි. එබැවින් "අඩක්කල මාතාවෙනී" යන්නෙහි තේරුම 'සරණාගතයින්ට සරණය වන මාතාවෙනී' හෝ 'අනාථයින්ට සරණය වන මාතාවෙනී' යන්න ලෙසද දැක්විය හැක. නමුත් ඉංග්‍රීසි වදනින් මෙය හඳුන්වන්නේ "Refuge of Sinners" හෝ "පව්කාරයින්ගේ සරණයෙනී" යන වදන්වලිනි. එම නිසා මෙම නාමය තුළ ඇති ගැඹුරු දේව ධාර්මික ඉගැන්වීම සොයාගැනීම ඉතාම වටින්නේය.

මරියාවන් යනු 'අනාථ වීම', 'සරණාගත වීම' මුළු ජීවිතය පුරාම අත්දුටු මාතාවකි. විවාහ වීමට පෙර දරුවකු කුස පිලිසිද ගැනීම ජුදා සමාජය තුළ අනාත වීමකි. ශුද්ධවු ජුසේ මුනිදුන් නොවන්නට එය එලෙසම වන්නට ඉඩකඩ තිබුණි. දරු ගැබක් දරා ගෙන ගෙදරින් ගෙදරට ගිය විට ප්‍රතික්ෂේප වීම් තුළ ඇය අත්දැක්කේ එම අනාථභාවයයි. කාත් කවුරුත් නැතිව තට්ට තනිවම දරුවකු බිහි කරන්නට සිදුවීම තුළ ඇය අත්දැක්කේ එම අනාථ භාවයයි. දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා නොදන්නා රටකට යාම තුළ ඇය අත්දැක්කේ එම අනාථභාවයයි. සරණාගතයින් ලෙස මරියාවන්ගේ පවුලට වසර ගණනාවක් නොදන්නා වූ එම රටේ දිවි ගෙවන්නට සිදුවීම තුළ ඇය අත්දැක්කේ එම අනාථ භාවයයි. ශුද්ධවු ජුසේ මුනිදුන්ගේ මරණයත් සමග වැන්දඹුවක් බවට පත්වීම තුළ ඇය අත්දැක්කේ එම අනාථ භාවයයි. ඇස්පනාපිටම සිදු වූ තම දරුවාගේ වේදනාකාරී මරණය තුළ ඇය අත්දැක්කේ එම අනාථභාවයයි.

එබැවින් 'අනාථ වීම', 'සරණාගත වීම' යනු කුමක්දැයි හොඳින් අත්දුටු ඒ මාතාව අසරණ වූ, අනාථ වූ ජනතාව වෙනුවෙන් නිරතුරුව ම මැදිහත් වන බව කතෝලික අපේ විශ්වාසයයි. කානා නුවර දී අත්දුටුවේ අනාථ වන්නට ගිය එම පවුල වෙනුවෙන් සිදුවූ ඇයගේ මැදිහත් භාවයයි. එබැවින් මරියාවන් 'අනාථයින්ට සරණය වන මාතාව' හෙවත් "අඩක්කල මාතාවන්" ලෙස හැඳින්වීම ඉතාමත්ම නිවැරදිය. 

මෙම නාමය ලතින් භාෂාවෙන් ප්‍රකාශවන්නේ 'රෙෆුජියුම් පෙක්ටෝරැම් ( Refugium Pectorum)' ලෙසයි. එහි අරුත Refuge of Sinners හෙවත් 'පව්කාරයන්ගේ සරණය' යන්නයි. මෙම වදනට ඉතිහාසයක් හා ගැඹුරු අරුතක් ඇත.

ජොර්දාන් නදිය දෙපස තිබූ ලෙවී ගෝත්‍රයට අයත් වූ නගර හයක් සමාජයේ සිටි පව් කරුවන්, අපරාධකාරයින් සම්බන්ධයෙන් විශේෂ වූ නගර හයක් විය. ඊශ්‍රායල් දේශයේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ, විවිධ වැරදිවලට හා අපරාධවලට අසූවී දඬුවම් ලැබීමට නියමිත පුද්ගලයින්ට ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා ජුදා සමාජය තුළ අවස්ථාවක් ලබාදී තිබුණි. එනම් තම ගම් බිම් වලින් ඉවත්ව ගොස් ඉහත කී ලෙවී නගරවලට ඇවිදින්, දඬුවම් ඉවත්වන තුරු පදිංචි වීමටද, එම පදිංචිව සිටින කාලය තුළ ජීවිතය නිවැරැදි කර ගැනීමට ද, නිවැරැදි කරගෙන නැවත තමන්ගේ ගම්බිම් වලට යෑමේ අවස්ථාව ද ලබාදී තිබුණි. එම නගරවල් වල අපරාධකාරයින්, පව්කාරයින් යැයි සම්මත පුද්ගලයින් ජීවත් වන විට දී ඔවුන්ව රැක බලා ගැනීමේ අයිතිය සහ වගකීම එම ලෙවී නගරවල ජීවත් වූ ජනතාව සතු විය. මේ ආකාරයෙන්ම මිනිසුන්ට නිවැරදි වීම සඳහා ගොඩනැගුණු විශේෂ රෝම හා ග්‍රීක නගර ද තිබී ඇති බව ඉතිහාසය තුළ පැහැදිළිය. මෙම නගර හඳුන්වන ලද්දේ 'Asylum Cities', 'සරණාගතයින්ගේ නගර' ලෙසය. අදටත් තම උපන් රටෙහි ජීවත් වීමට නොහැකිව වෙනත් රටක ජීවත් වීමට වරම් පතන අය හඳුන්වන්නේ (Asylum Seekers) සරණාගතයින් ලෙසය.

ශුද්ධ වූ ජෝන් ඩැමසීන් මුනිතුමා මෙම සංකල්පය මුල් කරගෙන දේවමාතාවන් ද පව්කාරයින්ටද සරණය පතාගෙන දිව ආ හැකි නගරයක් (City of Refuge) ලෙස මරියාවන්ව දක්නා ලදී. දේවමාතාවන් යනු පාපය ප්‍රතික්ෂේප කළ මාතාවයි. නමුත් පව් කරුවන් ආදරයෙන් වැලඳගත් මාතාවයි. එලෙස ඔවුන් ඇය වැළඳ ගත්තේ එම ජීවිත වෙනස් කිරීම සඳහායි. එතුමියගේ කුසින් බිහි වූයේ පාපය ජයගන්නට මුළු ජීවිතයම කුරුසිය මත පූජා කළ මුළු ලෝකයේම ගැලවුම්කරුවාණෝයි. උන්වහන්සේ ලෝකයට අයත් කර දුන් ගැලවීම, පව් කරුවන්ද අයත් කරගෙන ජීවිත වෙනස් කර ගන්නවා දැකීම මරියාවන්ගේ ද නිරන්තර අභිලාෂයයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ශුද්ධවූ සභාව මරියාවන් "පව්කාරයින්ගේ සරණය" ලෙස "අනාථ වූවන් ගේ සරණය" ලෙස හඳුන්වන්නීය. ඒ නිසාම දේව මාතා ප්‍රාර්ථනාවට "පව්කාරයින්ගේ සරණයෙනී" යන පදය ද එකතු කරන ලදී. 

වෙන කවරදාටත් වඩා අද අපි අනාථව අසරණව ජීවත් වන්නෙමු. ස්වාමිපුරුෂයා අහිමිවූ වැන්දඹුවන්, දරුවන් අහිමිවූ දෙමව්පියන්, තමන් ජීවත් වූ තම ගම් බිම් අහිමි වූ, සරණාගතවූ ජනතාව සමඟ අපි දිවි ගෙවන්නෙමු. ජීවිතේ ඇබ්බැහි වූ විවිධාකාර පාපතර ක්‍රියාවන් නිසා විනාශ වූ ජීවිත අප අතරය. ඒ සැමට මරියාවන් කැඳවන්නේ එතුමියගේ තුරුල්ලට පැමිණෙන්නට ය. "පව්කාරයින්ගේ සරණයෙනී - අඩක්කල මාතාවෙනී - අප නිසා යාච්ඤා කල මැනව". 

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද මෙම සටහන හැකිනම් කරුණාකර SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 18/05/2020).

19. "තුෂාරයේ අප ස්වාමිදූ" - Mother, Our Lady of Snow".
=======================================
දේවමාතාවන් සම්බන්ධයෙන් භාවිතා වන නාමයන් අතර ඉහත කී නාමය අපට එතරම් හුරු පුරුදු නාමයක් නොවූවද, එම නාමය ඉතාමත්ම ඓතිහාසික නාමයක් නිසා ඒ පිළිබඳවද දැනුවත් වීම අවැසි යයි මම සිතමි. 

රෝමයේ විසූ ජෝන් (Giovanni) සහ ඔහුගේ බිරිඳ ඉතාමත්ම ධනවත් දෙදෙනෙක් වූහ. එනමුදු ඔවුන්ට දරුවන් නොසිටි අතර ඔවුන් සතුව තිබූ මහා ධනස්කන්ධයෙන් යමක් කතෝලික සභාව වෙනුවෙන් කිරීම ඔවුන්ගේ එකම අභිලාශය විය.

ක්‍රිස්තු වර්ෂ 352 දී අගෝස්තු මස එක්තරා දිනකදී ඔවුන්ට දර්ශනය වූ දේව මාතාව 'එස්කියුලින් කන්ද' ( Esquiline Hill) මත එතුමියට කැපවූ දෙව්මැදුරක් ගොඩ නගන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියාය. මෙම ඉල්ලීම ඔවුන් දෙදෙනා පිළිගත්තද, එය ස්ථිර වනු සඳහා සලකුණක් ලෙස, හිම නොවැටෙන සමයක 'හිම වැස්සක්' ඔවුහු දෙදෙනා දේවමාතාවන් ගෙන් ඉල්ලා සිටියහ. එලෙසම ඔවුන් අත්දුටු මෙම අත්දැකීම ඔවුන් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ එවකට ශුද්ධෝත්තම පියාණන් ලෙස කටයුතු කළ ලිබේරියස් ශුද්ධෝත්තම පියාණන් (352 - 366) හට දන්වා සිටින ලදී. උන්වහන්සේගේ ඉල්ලීම වූයේ ද එය සත්‍යයක් දැයි දැනගනු සඳහා වැඩි වැඩියෙන් දේවමාතාවන්ට යාඥා කරන ලෙසය.

ක්‍රිස්තු වර්ෂ 352 අගෝස්තු 4 ලිබේරියස් ශුද්ධෝත්තම පියාටද දේවමාතාවන් දර්ශනය වූ අතර එතුමිය ගේ ඉල්ලීම සත්‍ය බව අවබෝධ කරගනු සඳහා, පසුදා එනම් අගෝස්තු 05 වැනි දා රාත්‍රියේ හිම වැස්සක් රෝමයට ලැබෙන බව ඇය උන්වහන්සේට ප්‍රකාශ කළාය.

අගෝස්තු මස යනු යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුවයි. එම සමයේ කෙලෙසකවත් යුරෝපයට හිම වැටෙන්නේ නැත. එසේම ශීත සෘතුවේදී පවා කොයිතරම් ශීත තිබුණද රෝමයේ පවතින කාලගුණික තත්වය නිසා කිසිදිනක රෝමයට හිම වැටී නැත. එනමුදු දේවමාතාවන් පැවසූ පරිදිම ක්‍රිස්තු වර්ෂ 352 අගෝස්තු මස 05 වැනිදා රාත්‍රියේ රෝමයේ එස්කියුලින් කන්ද මතට 'හිම වැස්සක්' වැටී ඇත. එම හිම වැටී ඇත්තේද දෙව්මැදුරක් ගොඩනැගිය යුතු ආකාරයේ රටාවකටය.

කිසිදා හිම නොවැටුණු රෝමයට, අධික රස්නය තිබූ රාත්‍රියක, මෙලෙස හිම වැටීම දේවමාතාවන්ගේ සලකුණක් ලෙස දුටු ලිබේරියස් ශුද්ධෝත්තම පියාණන් ඇතුළු සැම දෙනා එතුමිය ඉල්ලූ පරිදි ම එම ස්ථානයේ දෙව්මැදුරක් ක්‍රිස්තු වර්ෂ 358 දී ගොඩ නගන ලදී. එලෙසම එය "තුෂාරයේ අප ස්වාමිදුව - (Mother of Snow)" ලෙස කැප කරන ලදී. එසේම "තුෂාරයේ අප ස්වාමිදුවට" සිදු කරන බැතිය මෙයත් සමග ආරම්භ වූ අතර, දේවමාතාවන් සම්බන්ධයෙන් කතෝලික සභාව තුළ ඇති ඉතාමත්ම පැරණිතම දේවමාතා බැතිය මෙය වේ.

එලෙස ක්‍රිස්තු වර්ෂ 358 දී ගොඩ නැගුණු එම දෙව්මැදුර කාලයෙන් කාලයට වෙනස් වූ අතර වර්තමානයේ එම ස්ථානයේ ඇති දෙව්මැදුර හඳුන්වන්නේ "Basilica of St. Mary Major" හෙවත් "ශාන්ත මරියාවන්ගේ ශ්‍රේෂ්ඨතම බැසිලිකාව" ලෙසය. රෝමයේ ඇති ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක් වන මෙම බැසිලිකාව සම්බන්ධයෙන් කරුණු කීපයක්ම සටහන් කළ යුතුය.

බෙත්ලෙහෙමේ ගවලෙනෙහි කොටසක් මෙම බැසිලිකාවේ අදටත් තැන්පත් කර ඇත. ඒ නිසාම විටක මෙම දෙව්මැදුර "ගවලෙනේ මරියාවන්ගේ දෙව්මැදුර" ලෙස හඳුන්වන ලදී. සුවිශේෂ ශුද්ධ වූ ලූක් මුනි තුමා විසින් අඳින ලදැයි සළකනු ලබන ශුද්ධ වූ හෙලේනා මුනිවරිය විසින් ජෙරුසලමේ සිට රැගෙන ආවා යැයි සලකනු ලබන දේවමාතාවන්ගේ විශේෂ පින්තූරයක් ස්ථාපිත කර ඇත්තේද මෙම බැසිලිකාවේ ය. එම දේවමාතා පිංතූරය "Salus Romani Populi ( සාලුස් රොමානි පෝපුලී) හෙවත් 'රෝම ජනතාවගේ ගැලවීම' ලෙස හඳුන්වනු ලැබේ. ක්‍රිස්තු වර්ෂ 596 දී මීයන් නිසා රෝමය පුරා පැතුරුණු දරුණු වසංගත යෙදී මරියාවන්ගේ මැදිහත් බව තුළ දෙවිඳාණන් ගේ පිහිට පතා රෝමයේ පැවතුණු පෙරහරේ දී ශුද්ධවූ ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් (590 - 604) විසින් රැගෙන ගියේ මෙම දේව මාතා පින්තූරයයි.

මෙම බැසිලිකාවේ මංගල්‍යය රෝමයට හිම වැටුණා යැයි සැලකෙන අගෝස්තු මස 05 දින සමරනු ලබන අතර එම මංගල්‍යය Dedication of the Basilica of Saint Mary Major හෙවත් ශාන්ත මරියාවන්ට කැප වූ ශ්‍රේෂ්ඨතම බැසිලිකාව කැප කිරීමේ මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබේ. ලෝකය පුරා ගොඩනැගී ඇති "තුෂාරයේ අප ස්වාමි දුව" ගේ දෙව්මැදුරු වල ද මංගල්‍යය ද සමරනු ලබන්නේ එදිනමය.

හිමමෙන් සුදෝසුදු මරියාවන්ගේ පිරිසිදු ජීවිතය පිළිබඳව ද, අහසින් හිම වැටෙන්නාක් මෙන් නිරතුරුවම අප වෙත ගලාගෙන එන දෙවියන් වහන්සේගේ නිමක් නැති වරප්‍රසාදය ගැන ද, මඩ පිරුණු බිමක් පවා හිම වැටීමත් සමග සුදෝ සුදු වන්නා සේ දෙවියන් වහන්සේගේ එම වරප්‍රසාදය අප ජීවිතවලට පැමිණීමත් සමඟ ඇතිවිය යුතු ජීවිත වෙනස ගැනද, "තුෂාරයේ අප ස්වාමිදුව" අපට කියා දෙන්නීය. "තුෂාර අප ස්වාමිදුවෙනී - අප නිසා යාච්ඤා කල මැනව".

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය කරුණාකර SHARE කරන්න. 
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 19/05/2020).

******************************************************
ඉහත ලිපියේ කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා සතුබව කරුණාවෙන් සලකන්න.  

මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/05/2020 

No comments:

Post a Comment